Sunday, 2 April 2017

කිරිපල්ල

"නෑ ගමන යන්නේ මේ ගොනා"


නිදහසින් පසු ලාංකික දේශපාලන ,ආර්ථික හා සමාජීය ගමන් මග පිළිබඳව යතාර්ථවාදී කියැවීමක් ලෙසින් යටි අරුත් දෙන අපූර්වතම ගීතයකි,සුජීව හෙට්ටිතන්ත්‍රීගේ විසින් රචිත අමිත් ලියනගේයනගේ් සංගීතයට රෝහණ බැද්දගේයන් සහ සමන් ලෙනින් ගායනා කරන කිරිපල්ල ගීතය.

බට දැල්ල කාලා
ඉරවල්ලෙ හිටියා
උඩු තල්ලේ දත් නැති මී ගොනා

සුජීවගෙ මින් අදහස් කරන්නට ඇත්තේ කුමක්ද ?කුඹුරක ඉරවල්ල යනුවෙන් හැදින්වෙන කොටස යනු කුඹුරේ වගාව අස්වැන්න, නඩත්තුව පිළිබඳව තීරණය කෙරෙන ප්‍රදේශයයි.කුඹුර නැමති රටේ පාලන තන්ත්‍රය නැමති ඉරවල්ල තුල සිටිනුයේ,එතුල සිටිය යුතු අයමද යන්න සුජීව ප්‍රශ්න කරයි.එතුල සිටින නොගැලපෙන සත්වයා නොහොත් පාලකයා අනුභව කරන්නේ "බට දැල්ල"ය.ඒ ඌ වටා යම් පිරිසක් අවදානයෙන් සිටින නිසා විය යුතුය .එසේ නොවන්නට පැල ගොයම කන්නට බෙහෙවින් ඉඩ තිඹිණ.මී ගවයාගේ උඩුතල්ලේ දත් පිහිටන්නේ නැත.පාලකයා තුල ස්වං තීරණ ගැනීමේ නොහැකියාව කියා පාන්නට මෙයිට වඩා හොඳ යෙදුමක් තිබේද ?යුරෝපා සංගමය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ආදී සංවිධාන හරකාගේ උඩුතල්ලේ දත් වලින් කරන කාර්යය කරනවාදෝ වෙලාවකට සිතේ.එක් අතකට එලෙස දත් නොමැති කම යහපතක් ලෙසටද පෙනී යයි.ඒ මන්ද යත් ඔය කියන ඒකාධිපති බලතල නොහොත් දත් කුළු මී ගොනෙකුට ලැබුනොත් මොනවයින් මොනවා වෙයිද යන්න හිතා ගත නොහැහි නිසාවෙනි .

සීයේ
පිට බෙල්ල කහනා
කණ කොක්කු නඩයට
කිනිතුල්ලෝ මී පැණි වුනා

මින් සුජීව කුමක් කියා පාන්නට උත්සාහ කරන්නට ඇත්ද යන්න සැලකීමේදී මෙසේ කිව හැක.පාලන ත්‍රන්ත්‍රය වටා ගොඩ නැගී ඇති රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන හෙන්චයියන්ගේ ක්‍රියාකලාපයේ එදාමෙදා තුර පිළිඹිබුව විය නොහැහියැයි කිව හැකිද?

කාලෙන් කාලයට ගොනා මාරු වීමේ ක්‍රියාවලීන් තිබේ..ඒවා ජනාධිපතිවරණ,මැතිවරණ නමින් හඳින්වේ😂.ගොනා මාරුවෙන අවස්ථාවේ දී කොකුන් තාවකාලිකව ගහකට මාරු වේ..අලුත් ගොනා ආ පසුව නැවතත් ඒ ගොනාගේ පිටේ වසති..කොකාට ගොනා අදාලම නැත.මොන ගොනා ආවත් උගේ පිටේ වසති.කණ කොකා යනු විනාශයේ සංකේතයක් ලෙස ජන වහරේ සැලකේ..රටේ විනාශට රාජ්‍ය නිලධාරීන් නොහොත් කණ කොක්කු රෑණ කෙලින්ම සම්බන්ධ වගට ඔහු නොකියා කියයි.මී ගොනා ඉරවල්ලෙ ඉඳන් රටේ සාරය උලා කයි.දේශපාලන හෙන්චයියන් නොහොත් කිණිතුල්ලන් ගොනාගේ සාරය උර බොයි.අහෝ කරුමෙක මහත!ඒ කිණිතුල්ලන්ව ඉවත් කර ගැනීමට මී ගොනා නොහොත් පාලකයාට ශක්තියක් නැත.ඒ ඒ කිණිතුල්ලන් ඒ ඒ රසයට කැමතිය.සමහරු පස් උරා බොති.සමහරු වැලි උරා බොති.තව සමහරු වනාන්තර ගිලිති.මැණික් පතල් කපති.මහා කළුගල් ගොඩි පිටින් ගිලිති.වෙල් ගොඩ කරති,ගංගා හාරති.නිදන් ගොඩ දාති.😢රජයේ කාර්යාල තුල ගැවසෙති.නිලධාරීන්ට ජරාව දෙති.එදා මෙදා තුර ඔය කාරණා අවිචින්නව පැවතෙති..ඉතින් කොහොමද රටක් විදිහට ඉදිරියට යන්නෙ?😂

දරුමල්ලෝ රකිනා
කිරිවැදුනු ගොයමට
මයෙ අම්මපල්ලා විණ කලා

දරුමල්ලන් රකිනු පිණිස ගොවිතැන් කරද්දී එම ගොයමට වස විෂ ගසා විනාශ කලා යැයි වාච්චාර්ථ ගැන්වුවද මින් අදහස් වන විශාල යටි අරුතක් තිබේ යැයි කිව හැකිය.එකල ලාංකීය සමාජය තුල වැඩිහිටි නිවාස/ළමා නිවාස තිබුනේ නැත.ඒ දරුවන්ට සලකන වැඩිහිටියන්ට ගරු කරන හර පද්දතීන්ගෙන් සමන්විත සදාචාර සම්පන්න සංස්කෘතියක් තිබුණ නිසාය.

එහෙත් නිදහසින් පසු සිදුවූයේ කුමක් ද?කිරි වැදුනු ගොයම නැමති එම හර පද්ධතිය විනාශ මුඛයට ඇද වැටිණ .වැඩිහිටි නිවාස,ළමා නිවාස බටහිරින් මෙරටට සංක්‍රමණය විය.හැමදාම සලකපු වැඩියෙන් වෙනුවෙන් එක් දිනයක් වෙන් විය.මව්වරුන්ගේ දිනය,පියවරුන්ගේ දිනය,ගුරු දිනය,පෙම්වතුන්ගේ දිනය ආදී වශයෙන් එක් එක් දින වෙන් විය.හර පද්ධතීන් නැමැති කිරි වැදි ගොයම නැවත පණ දිය නොහැකි තරමටම විනාශ විය.වෙමින් පවතී.

ලොකු අම්මා කිව්වා
මයෙ රත්ති කෙල්ලට
කිරිපල්ල පෙන්නල මේ යකා

උක්ත කොටසින් සුජීව කියන්නට උත්සාහ කර ඇත්තේ කුමක් ද යන්න විමසා බලමු.කිරිපල්ල යන යෙදුම සිංහල සාහිත්‍යයේ කීප තැනක යෙදී ඇත.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල්දූව කෘතියේ "කිරිජ්ජපල්ල" යනුවෙන් යොදා ඇත.ප්‍රවීණ කිවිවර රත්නශ්‍රී විජේසිංහයන් ගේ "සුබ උදෑසන " කාව්‍ය සංග්‍රහයේ 'එකමත් එක රටක' නැමැති කවියේ දී යොදාගෙන තිබේ.

(පුංචි එවුන් කිරිපල්ලත් අත ගෑවා..) එහි හා මෙම කිරිපල්ලේ යම් සමානතාවයක් දැකිය හැකිය.

කාන්තාවන්ට ගෞරව කිරීමේ සිරිතට කණ කොකා හඬවමින් ඔවුන්ව ලිංගිකව සූරා කෑමේ ක්‍රමය ද නිදහසින් පසු මෙරටට පැමිණි වග පවසන්නට එම යෙදුම ප්‍රමාණවත් නොවන්නේ ද?

දරුවෙක් පාසලකට දා ගන්නට විදුහල්පතිගෙ කිරිපල්ල අත ගෑ යුතුය ..නැතිනම් දරුවාගේ මෑණියන්ගේ කිරිපල්ල අතගාන්නට විදුහල්පතිට ඉඩ දිය යුතුය .අනෙකුත් ක්ෂේත්‍රයන් හි ද මෙම ලිංගික හිංසනය/අල්ලස අඩු වැඩි වශයෙන් සිදු වේ..

වරමන්ද ගහලා
රන් ගෙජ්ජි දාලා
බරබාගේ බැන්දේ සීයලා

ඉරවල්ලෙ සිටි බට දැල්ල කෑ මී ගොනාවම මෙතනදි සුජිව බරබාගේ බඳීයි.බරබාග වල මී ගවයින් බඳින සම්ප්‍රදායක් නැත.ඔහු මෙතනදි සිතා මතාම මෙය කලා විය හැකිය.මන්ද අපි එදා සිටන්මැ කරත්තයට බැන්ඳේ හරි ගොනාව නොවේ.එපමක් නොව රූපවාහිනී වලට ඇවිල්ලා,මාධ්‍ය සාකච්ඡා තියලා රත්තරං ගෙජ්ජිත් ගෙල පළදවනවා.ඒ අපේ සීයලා කල වරද දැන් දැන් මුණුපුරන් ට අවබෝධ වෙන බව දැකිය හැකිය ..

කෙවිටෙන් තලාලා
දැන් එලවපල්ලා
නෑ ගමන යන්නේ මේ ගොනා

එසේ බරබාගේ බැඳගත් මී ගොනා මේ ගමන යන්නේ ද?නැත.දැන් කෙවිටි බාවිතා කර එලවන්නට දත කති.මොනවද හැබෑටම මේ කෙවිටි?

සැබවින්ම මේ කෙවිටි තිබෙන්නේ

ලිප්ටන් වටරවුමෙ,කොටුව දුම්රියපොළ ඉදිරිපිට .මහා මාර්ග වල,වෘත්තිය සමීති වල,ජනමාධ්‍ය ආයතන,තව ෆේස්බුක් එකේ..ආදී තැන් වලය.එහෙත් ගොනාට ඒ ගැන ගානක්වත් නැති තරමය.

"නෑ ගමන යන්නේ මේ ගොනා"

මෙම කොටසේ ද්විත්ව අර්තයක් තිබේය යන්න මොහොක සිතේ..

ඒ "ගමන නොයෑම"සහ "ඤාති ගමන යෑම" ලෙස අර්ථ ගැන්විය හැකිය.එදා මෙදා තුර ගැල බැඳි ගොනුන්ගේ ඤාති පරපුර ගැන බැලීමේ දී,ඒ සිතුවිල්ලේ ද වරදක් ඇති වග නොසිතේ..

ගීතයේ සංගීතය ගැන විමසීමේදී ආරම්භයේ පටන් අවසානය දක්වාම අමිත් ලියනගේ යන් සිය අනසක පතුරවා ඇති ආකාරයක් පෙනී යයි.ජනශ්‍රැති ආශ්‍රිත සංගීත නාද රටා එකතුකර ගනිමින් පර්යේෂණාත්මක නිර්මාණයක නිරත වූ ඔහු ගැන මා උඩින් පල්ලෙන්කතා කිරීම ඔහුට කරන අසාධාරණයකි .

රෝහණ බැද්දගේයන්ගෙ සහ සමන් ලෙනින්ගේ ගායනය ගැනද කිසිවක් නොකියමි.ඒ මොකුත් නිසා නොව මට ඒ ගැන ඇගයීමට තරම් දැණුමක් නොමැති කම නිසාය ..

කිරිපල්ල ගීතයේ මාගේ කියැවීම අනාගතයේ දවසක කියවීම සඳහා මෙසේ අකුරු කරන වගයි..

(බුද්ධික ප්‍රදීප් )

2017/03/30..


සුද්දා තොලොංචි වූ දා සිට අපේ කතාව
කිරිපල්ල
ගායනය -රෝහණ බැද්දගේ ශුරීන් සමග සමන් ලෙනින්
පද -සුජීව හෙට්ටිතන්ත්‍රි
සංගීතය- අමිත් ලියනගේ
රූප සංස්කරණය- බණ්ඩාර බෙලිකටිමුල්ල

Tuesday, 28 March 2017

ඔබට වරම් නැති මටද වරම් නැති

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ... //

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැදුනේ...

ඔබට වරම් නැති.....

ආ මඟ වැරදී ඔහුද ඔබද මා
දෛවයේ තුන්මංසල හමුවී..
බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
කඳුලක් නැ දෙනුවන පිපුනේ...

ඔබට වරම් නැති.....

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රංජිත් රූපසිංහ
සංගීතය : නාලක අංජන කුමාර

ප්‍රථම ප්‍රේමය ගැන ලියවුණු තවත් එක් ගීතයක ලෙස පමනක් අරුත් ගැන්වීම අතිශය හදවත් වලට දැනුනු හදවත් කීරී ගැස්සවූ මේ ගීතයට කරන ඉමහත් අසාධාරණයක් ලෙස මට හැගේ..ප්‍රේමයෙන් වියෝගයට පත් හදවත් පමනක්ද මේ ගීතයට ඇලුම් කරන්නේ.සැකයක් නැත.එය එසේ නොවේ.ආදරය හදුනන කලාකාමී,සිංහල ගීතයේ අරුත් බර රස තැන් සොයානා ඕනේම සංවේදී සිත් ඇත්තෙක් මේ ගීතයට ප්‍රිය නොකරයිනම් එය ඇදහිය නොහැකි තරම් වන්නේය.එතරම්ම හදවත් වලට සමීප වූ ගීතයක් ලෙස දැක්වීම ගීතය අතිශෝක්තියෙන් වර්නනා කිරීමක්ද නොවේ.

ගීතයෙන් කියන්නේ අහිමි වූ පලමු පෙමක් ගැනයි.නමුත් මගේ හුදෙකලා සිතිවිල්ලක් වනුයේ ප්‍රේමය නැමැති හැගීම නොඉදුල්ව තබා ගැනීමට 'ප්‍රථම' යන වචනය යොදාගන්නා බවයි.පලමු පෙමට මේ තරම් ඉහල අගයක් ලැබී ඇත්තේද මෙවැනි ගී නිර්මාන මතද කියාත් තරමක සැකයක් ඇත. සියල්ලගේම ප්‍රේම කතා සැලකූවිට පලමු පෙම යනු ජීවිතයේ තවත් එක් ආදර කතාවක් වූ අය බොහෝය.සැබෑ කරගැනීම ගත් විට සැලකිය නොහැකි තරම් සුලු තරමකි.එතරම්ම දුර්ලබය.සැබෑව නම් එයය.කෙසේ උවත් ප්‍රථම ප්‍රේමය ජයගත් අයද නැතිවාම නොවේ.පලමු ආදරයෙන්ම සෑබැවටම තමන් සොයන අය හමුවීම සැබෑවටම වාසනාව,එසේ නොවෙනම් පතාගත් අය හමුවීම ලෙසද අරුත් ගැන්වීම අවැසිනම් කල හැක.

ඒ සටහන තැබුවේ ගීතයට පිවිසුමක් ලෙසටය.මේ ගීතයේ පද,ගායනය මෙන්ම සංගීතයද එකකට එකක් නොදෙවෙනි ලෙස මුසුව තිබෙන අයුරු දැනීමට එකවරක් හෝ ඇස් පියවමින් ගීතය රස විදින්න.ගීතයේ සංගීතය මූසල එකකි.ඒ මූසල බව තුල මහත් අපූරු බවක් රැදී ඇත.සංගීතයේ මූසල බව ගීතයට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුව තිබූ එකකි.කෙසේ නමුත් සියල්ල මනාවට ගැලපෙමින් ගීතය පරිපූර්ණ බවට පත් කොට තිබේ.

ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනැද සැගව ගියේ යන ප්‍රශ්නාර්ත ආරම්භයෙන්ම ප්‍රේමය නැතිවීම ඔහු මංමුලා කර ඇති බව කියාපා තිබේ.ආදරය අහිමි වූ කල ඒ අහිමිවීම ගැන පසු විපරමක් ලෙස ගීතය ලියවී තිබේ..

නමුත් ගීතයේ දෙවන කොටස ගත් විට ප්‍රේමය අහිමි වීම දේවේශයෙන් යුතුව ප්‍රකාශ කොට ඇත. ඔහුට පුදන්නට පූජාසනයේ නොකොලිටි මල් පිපුනේ කෙසේදැයි ඇයගෙන් විමසා සිටී. එය ප්‍රේමයේ ආත්මාර්ථය ලෙසද දැක්විය හැක.ඔහුට ඇය සමග ගතකල සමයේ කල කී දෑ ඈ පැවසූ දේ ආවර්ජනය වන්නට ඇත.සිත දමනය කල කෙනෙක් හට නම් මේ සියල්ල කිසියම්ම හෝ තරහකින් තොරව බැහැර කල හැකිව තිබුනි.නමුත් සාමාන්‍ය සිත් ඇති හැගීම් දැනීම් දැනෙන කෙනෙකුන් හට එය එසේ නොවේ.ඔහුගෙ පෙම බොරුවක් නොවේ.එය හදවතින්ම පුදකල නිකැලැල් එකකි.පරසතු කුසුමක් තරමට දුර්ලබ එකකි.එහෙත් එතරම්ම දුර්ලබ උතුම් ප්‍රේමය උවද නැතිවී ගොසිනි.ඒතරම් අප්‍රමාන වූ ඔහුගේ ප්‍රේමය පසක දමා ඇය වෙන කෙනෙකුන් ලග රැදී ඇත.

අවසානයේ ඔහු විසින් සියල්ල උපේක්ෂාවෙන් දරා ගෙන ඇති බවක් පෙනේ.ඇය වෙතම වරද නොපටවමින් ඔවුන් ආ ගමන වැරදි මගක් ඔස්සේ ආ බව කියා ඇත.දෛවයේ තීරනයක් නිසා ඔහුට ඇයගෙන් වෙන් වීමට සිදුවූ බව ඔහු කියා ඇත.ඇයට වෙනත් අයකු මුන ගැසීමද ඔහු විසින් දෛවයේ තීරනයක් ලෙස දකිනමින් බොහෝ දෙනෙක්‍ හට නැති ඉවසීම පෙන්වා දී ඇත.තව දුරටත් ඔහු ප්‍රේමය අහිමිවීම නිසා ජීවිතය කඩාකප්පල් කරගැනීමක් නොවන බව මේ පද පේලියෙන් මනාවට පසක් කොට ඇත..බලා හිදිනු මිස හඩා වැටෙන්නට කදුලක් නෑ දෙනයන පුපුනේ..බුද්ධිමත් තරුනයෙක්ගේ සිතීම ගීතය අවසානයේ දක්වා ඇත.සැබැවින්ම ගීතය තුලින් විය යුත්තේ මෙය නොවේද.ආනන්දයෙන් ඇරබී ප්‍රඥාවෙන් අවසන් වී තිබේ. ගීතයට තිබූ ආදරය වැඩි කරන්නට ගීතයේ වටිනාකම වැඩි කිරීමට මෙයද මටනම් ඉවහල් විය.

~~නිපුන සම්පත්~~


කවුරුන්ද ඔබ මගේ

මීට සමාන අදහසක් තියෙන තවත් ගීත තියෙනවද..


කවුරුන්ද ඔබ මගේ..
කවුරුන්ද මා ඔබේ..

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු..
හදවත් ගැහෙනා රිද්මය අතරේ....
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු..

ප්‍රේමය ගොළුවී හඬා වැටීලා..
ඔබ හද මා හද රිදවන මොහොතේ..
ජීවිතයට හුරු පැරදුම හමුවේ..
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු..

හඬ - සුනිල් එදිරිසිංහ
පද- සමන් ආතාවුදහෙට්ටි
ස්වර - රෝහණ වීරසිංහ

කවුරුන්ද ඔබ මගේ ගීතය ඇත්තටම විශේෂ ගීතයක්.. ඒ නිසායි මම ඉහත ඇහුවෙ මීට සමාන ගීතයක් තියෙනවද කියලා..

බොහෝ ප්‍රේම ගීත වගේම මෙතනත් ඉන්නවනෙ දෙනේනෙක්.. ඒ දෙන්නා අතර තියෙන බැඳීමක්.. නමක් නැති බැඳීමක් කියලා හිතෙන්නෙ ඒ දෙන්නට දෙන්නා තමන් කවුද කියලා සොයන්න උත්සහ කරන නිසා.. එතකොට නමක් නැති බැඳීමක් හැම විටම සෘණාත්මක සම්බන්ධයක් විය යුතු නැහැ නේද? හරි.. ඔවුන් දෙදෙනා ගතින් එක්තැන් වෙලා.. ගතින් එක්තැන් වීම විවාහයක්ම විය යුතුද? ඒක හමුවීමක් පමණක් වෙන්න බැරිද.. මෙහෙම හිතමු නිතරම මුණ ගැහෙන කතා බහ කරන ආශ්‍රය කරන දෙන්නෙක් වෙන්න පුළුවන් නේද? ඊළඟට මොවුන් දෙදෙනාම සිතිනුත් එක් තැන් වෙලා.. ගතින් කොහොම එක්තැන්ව හිටියත් සිතින් එක් තැන් වෙන එක..? ඒක හරිම විශේෂයිනෙ..

කවුරු මොනවා කිව්වත් හිතින් ඇති වෙන බැඳීම් හරි ප්‍රබලයිනෙ.. එතකොට මම ඔබත් එක්ක හිනා වෙනවා.. ඔබේ දුකේදිත් මගේ දුකේදිත් අපි දෙන්නාම කඳුළු හෙලනවා... ඊළඟට ප්‍රේමය ගොළු වෙලා.. මේ දෙන්නා අතර ප්‍රේමයක් තියෙනවා ඒත් ඒක සාර්ථක කරගන්න, තේරුම්ගන්න එකිනෙකාට කියාගන්නට බැහැ... මොකක් හරි බාධාවක් නිසා.. සමහර විට මේ දෙන්නා වෙන දෙන්නෙක්ට අයිති දෙන්නෙක් වෙන්නත් පුළුවන්.. ඉතිං මේ ගොළු වෙච්ච ප්‍රේමය ඔබේ හදත් රිදවනවා.. මගේ හදත් රිදවනවා.. තීරණයක් ගන්න බැහැ.. ඒ නිසා නොදොඩා ගොළුවී බලාගෙන ඉන්නවා..

මට දැනෙන්නෙ මේ ගීතයේ තියෙන්නෙ සුන්දර බැඳීමක් කියලා.. ඒත් බිරිඳ මගේ ඔබ ගීතය හරිම පැහැදිළිවම ඔවුන් දෙදෙනා විවාහක යුවලක්.. දෙමව්පියන්ට සමාජයට ඕනෑ නිසා අතිනත අරගෙන තවමත් අනිත් අය වෙනුවෙන් මවාපෑමක් කරමින් ජීවත් වෙන..

```අමාලි වසුන්දරා```


කුඹුක් ගහේ මල් පිපිලා

මේ ගීතයට ප්‍රවිශ්ට වීමට පෙර මෙහි රචකයා පිලිබඳ වචන කීපයක් ඔබ හමුවේ තැබීමට මා සිතුවේ මෙහි පද
රචනය අබ්දුල් කේ සාලික් නම් මුස්ලිම් ජාතිකයෙකුන් සිදු වු නිසාවෙනි .

ඔහුගේ උපන් ගම වන්නේ හිඟුරක්ගොඩ වැනි ඉතාමත් දුෂ්කර පලාතක.. බුදු දහමට වඩා නැඹුරුවක් දක්වන ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ එම ගමෙහි පිරිවනකිනි.. කැලණිය විශ්වවිද්‍යාලයේන් පශ්චාත් උපාධියක් ලබන ඔහු රංගිරි දඹුලු බෙෘද්ධ ගුවන්විදුලි සේවයේ ද සේවයේ යෙදෙනවා... බුදු දහමට මෙන්ම සිංහල භාෂාව පිලිබඳ ඔහුගේ අැත්තේ මනා දැකීමකි. ඔහු බුදුදහම ප්‍රචාරය මෙන්ම එම දැණුම ලමයිට ලබා දෙමින් ගුරුවරයකු වශයෙන් සේවයේ යෙදෙන්නේ ය.

මුස්ලිම් ජාතිකයෙකු වුවත් ඔහුගේ මේ පදවැල් තුල ඔහු භාෂාව තමන්ගෙ ග්‍රහනයට කොතරම් නම් ලක් කර ගෙන ඇත්ද යන්න මෙය රසවින්දනය කරන ඔබට මට දැනෙනු ඇත. ගීතයේ සදහන් කුඹුක් /ඉලුක්/ ගහල/ මී මල් වලින් ගැමි ජීවන රටාවේ මනස්කාන්ත දර්ශන අප හිත් තුල ජනිත කරන්නට කවියා සමත් වෙයි. රත් පැහැ ගත් තිඹිරි ගෙඩි මතක් වෙන විට මතක් වෙන්නෙ ඉතාමත් පෝෂිත ජල ප්‍රදේශයේ වැව් ගං ඉව්රු වැවී ජලය සිපගන්නට මෙන් පහතට එල්ලෙන මනස්කාන්ත දර්ශනයකි. කුඹුක් වු කලී ද වැව් මෙන්ම ගං ඉව්රු වල සැදී මහත් සිසිලසක් පරිසරයට මුදාහරින ශාකයකි.. මෙවැනි දෑ යොදා ගනිමින් රචකයා මුලින් අප හිත්තුල ලස්සන චිත්තරෑපයක් මවා පායි...

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේ
තිඹිරි ඉදී රතු පාටින් පල බර වී නැමේ
හිත ඉගිළෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ

" හිත ඉගිලෙයි ඒදණ්ඩෙන්...." හිතකට ගමන් කිරීමට ඒදණ්ඩක් අවශ්‍යද.... නැත .. එනෙම් මෙහි මේ රූමතිය නෑමෙන් පසු ගමන් කරන්නේ ඒදණ්ඩෙන් බවයි.. ඒදඩු අප ගම් වල තවත් දකින්නට ලැබෙන සුලබ දසුනකි. ඔහුගෙ සිතට ඇය මේ ගමන් කරන මගට පවා ආදරය කරයි... සුද්දි නගා යනු ගැමි ලදකි.. නෑනට ද සුද්දි නගා යනුවෙන් අප ගම්වල අදටත් ගැමි ව්‍යහාරයේ භාවිතා වේ...ඇගෙ සිනාව ඉද්ද කැකුළු වලට ඔහු සම කිරීම තුළින් රචකයා කොතරම් නම් භාෂාව තම වහලෙක් කරගත් බව පැහැදිලි වේ.. " සුද්දි නගේ නුබේ හිනාව ඉද්ද කැකුළු වගේ.." කොතරම් නම් ප්‍රියජනක චිත්තරෑපයක් රසිකයන් තුල මැවේද යන්න මා අමුතුවෙන් පෙලහැර පෑ දැක්විමට උවමනාව නැත....

වක්කලමේ තොටමුණ ළඟ දිය රළ සැඩ නැතේ
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැවේ
ලැජ්ජාවෙන් මුව රතුවී නෙත් ඔබාන බිමේ
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ

වක්කල තොට අමුණ ගැමි පරසරයේ අපට නිතර ඇහැ ගැටෙන තැන්ය. මෙහි ජලය බැස යන්නේ ඉතාමත් සෙමින්ය.. බොහෝ දෙනා එදිනෙදා බොහෝ වැඩකටයුතු සදහා එක්තැන් වෙන තැන්ය. ඇය ද නෑමට පැමිනෙන්නේ මෙවැනි තැන් වලටය... ගහල වැලේ මල් පිපී ඇත.. එය කොතරම්ද කියතොත් එයට ගසා ඇති ආරුක්කුවද නැවීගොස්ය.. බලන්න පරිසර වර්ණනාවන්ට කොතරම් දේ කියාපාන්න පුලුවන් ද කියලා... රචකයා මෙය උපමා කරන්නේ නාගෙන යන මේ යුවතිය ඔහුගේ මුහුණට මුහුණ නෙත ගැටෙයි.. ඇය ලැජ්ජාවෙන් බිම බලා ගැනීමට නොවේද.. ඇය එතනින් පිටව යන ගමන් මාර්ගය කොතරම් නම් සුන්දර මනස්කාන්ත ප්‍රදේශයක් ද... " නාන තොටෙන් නුඔ යනවද මී මල් වැහි පොදේ.." මී ගස් වලින් වැටෙන මල් වැහි පොදක් වැනිය.. අහෝ කොතරම් නම් මනස්කාන්ත දර්ශනයක් ද.....

උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ
මට විතරක් ඇහුණම ඇයි හොඳ නැතිවද නගේ
හිතකට මං මේ තරම්ම එබිකම් කර නැතේ
ඉලුක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ

උණ පදුරක සිලිසිලි හඬ ඔහුට අැසෙන්නේ සී පද මෙනි... ඔහු නිතරම අැය ගැන සිහින දකියි.. මේ ගීතයේ මා සිත්ම ගත් පද පේලිය " හිතකට මං මේ තරම්ම එබිකම් කර නැතේ.." බලන්න රචකයා 'එබිකම්' කියන වචනය තුල ගැබ් කර ඇති දේ... ආදරය කොච්චරද කියලා සීමවෙක් නැතත් මේ වචනය තුල ආදරයේ අනන්තය දක්වා පෙන්වා දී ඇත... " ඉලුක් මලක් වෙන්න එපා හිත් ඉව්රේ මගේ.." ඔහුට බයක් දැනෙයි. ඔබට ඇය නැති වෙයිද කියා... ඉලුක් මල වු කලී පීදිමෙන් පසු සුලගෙන් විනාශ වී යන මලකි... ඔහුගේ සිතුම් පැතුම් ද එසේ විනාශ වී යයිද... අන්තිමට හිත් කොනක මතකයක් පමනක් වෙයිද.......

විචාරයේ ගුණ දොස් අගයමි.......

ගී පද - අබ්දුල් කේ. සාදික්
ගී තනු - දර්ශන රුවන් දිසානායක
ගායනය - සුනිල් එදිරිසිංහ

~~~~~ බණ්ඩාර ~~~~~~


Thursday, 16 March 2017

ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ

ඔබත් මුලා විය මමත් මුලා විණි....


ප්‍රේමය ම එක්තරා ගමනක්.. කොහේ කොතැනක සිට ඇරඹුනත් එක සුන්දරතම ගමනක්... ඒත් හැම ප්‍රේම කතාවකටම ගමනාන්තයක් තියෙනවාද.. අත් අත නොහැරම මහ දුරක් යන්නට නම් අඩුම තරමින් නිසැක මාවතක් ගමන් මගක් තියෙන්නටවත් තිබුණා නේද.. ඒ මග නොවැරදුණා නම් ගිමන් හලක් උවමනා වේවිද.. එහෙනම් මේ පැමිණ ඇත්තේ නොපෙනෙනා මගක.. නොගැළපෙන මගක..

ඉතින් තව කොච්චර කාලයක් ඉතිරි වෙලා තියෙනවා ද.. මේ කඳුළු සුසුම් හැමදාටම දරාගෙන ඉන්නට සදාකාලිකව ම අපට සිදු වේවි... ඉතින් තව දුරටත් බලාපොරොත්තු ඉතිරි වේවිද... ඉරක් හඳක් නැති ලෝකයක්. .. ඉතින් අපේ ලෝකය හැදෙන්නේ අඳුරක නම්...

කොහේ යන්නද කොහොම යන්නද... විමසන්න මග පෙන්නන්න කිසිවෙක් නැතිව අපිට තව කොපමණ මේ ගමන යන්නට හැකිද.. අද අපේ ඉදිරියේ තියෙන්නේ ඉමක් කොණක් නොපෙනෙන මාවතක්.. ඉතින් තව තවත් ඔබත් මමත් මුලා වන්නේ කුමකටද...

හඬ - රෝහණ වීරසිංහ

ස්වර - එඩ්වඩ් ජයකොඩි

පද - කුමාරදාස සපුතන්ත්‍රි


ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ...
ගිමන් හලක් හමුවීද මේ ප්‍රේම චාරිකාවේ...

නෙතින් ගැලු කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනි දැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා...
අපේ පෙම් ලෝකයේ...

ගමන් මගක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත් මානයේ
ඔබත් මුලා විය මමත් මුලා වුණි
ඉමක් කොනක් නැති මාවතේ...
විරහ පෙම් මාවතේ ...


--අමාලි වසුන්දරා--


Sunday, 12 March 2017

Jeene de Mujhe (ජීනේ දේ මුජේ - මට ජිවත් වෙන්න දෙන්න).....

    
මීට දවස් කීපයකට කලින් ලෝකයම ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවා. ඒ මාර්තු මාසේ 8 වෙනිදා. වැලන්ටයින් දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, සාහිත්‍ය මාසය ඔය කොයි දිනයත්, මාසයත් වගේ ජාත්‍යන්තර කාන්තා දිනයටත් මේ වෙද්දී වෙළඳ වටිනාකමක් ඇවිත්. මම එහෙම කිව්වේ, මාසේ පටන් ගත්ත දවසේ පටන් මේ වනතෙක් අහන්න දකින්න ලැබෙන දැන්වීම් කන්දරාව නිසා. මුළු මාසෙමත් මේවා අපිට අහන්න තියෙයි. කාන්තාවටම විශේෂිතවූ ගිණුම්, කාන්තාවන්ටම විශේෂිතවූ වට්ටම්, තෑගී, විවිධ වැඩසටහන් මේ ආකාරයේ බොහෝ වැඩසටහන් ගොඩයි. මාකටින් බොහෝයි. ලාබ ලැබීමේ බලාපොරොත්තුවෙන් ඇති කරලා තියෙන ඕනෑම ආයතනයක් ඉතිං තමන්ට ලැබෙන ඕනෑම අවස්ථාවකින් ප්‍රයෝජනයට ගන්නවා තමයි කියල ඔබ හිතයි. මට හිතෙන්නේ; කාන්තාවම වෙළඳ භාණ්ඩයක කරගත් සමාජයක කාන්තා දිනය ගැන කවර කතාද කියල. ඉතිං මේ ගැන හිත හිත ඉන්නකොට තමයි ගිය සතියේ දවසක මම ‘PINK’ චිත්‍රපටය නැරඹුවේ. මගේ යාලුවෙක් කියපු විදියට මම ඒක බලන්නත් ගොඩක් පරක්කුයි. මොකද චිත්‍රපටය නිකුත් වුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ.

කොහොමහරි මේ චිත්‍රපටය මගේ හිත ඇතුලේ සංවාදයක් ගොඩ නගන්න සමත් වුණා. මාර ලස්සනයි කියන්න පුළුවන් චිත්‍රපටයක් නෙමෙයි. නමුත් මාර සංවාදයක් අප තුළම ගොඩනැගෙන, මාර පීඩනයක් හිතට එන, නමුත් අවසානය සුබ වෙච්ච චිත්‍රපටයක්. මේචිත්‍රපටයේ එන විදියට අපේ රටේ, ලෝකයේ කාන්තාවටත් අවසානයේදී හරි සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියල අපි හිටියත් ගොඩක් වෙලාවට අපිට සැබෑ ලෝකයෙදි නම් එහෙම වෙනවා චිත්‍රපටයේ තේමා ගීතයට මගේ අවධානය යොමුවුණේ. මට හිතුණේ චිත්‍රපටයේ මුළු තේමාවම ගීතයේත් තියෙනවා කියල.

ඉතින් කාන්තා දිනය ගැන කතා කරලා පටන් ගත්තේ ‘PINK’ කියන්නේ රෝස පාට. රෝස පාට සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ ගැහැණියව / කාන්තාවව. චිත්‍රපටයේ තේමාවත් කාන්තාව. සමාජය කාන්තාව දිහා බලන විදිහ. ඒකට කාන්තාව වැරදි නැහැ කියන එක. ඇයටත් නිදහසක්, නිදහසේ සිටීමට, ස්වාධීනව ජීවත් වීමට අයිතියක් තියෙනවා කියල කතා කරන චිත්‍රපටයක් ‘PINK’ කියන්නේ.


‘PINK’ අධ්‍යක්ෂණය කලේ ශුජිත් සිර්කා, චිත්‍රපටය නිෂ්පාදනය කලේ රශ්මි ශර්මා, රොනී ලහිරි සහ ශිල් කුමාර් කියන නිෂ්පාදකවරු. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සංගීතඥයන් කීපදෙනෙක් අතින් සිදු වෙනවා. මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය, පද රචනය සහ ගායනය ෆයිසා මුජාහිඩ් විසින්; චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ; අමිතාබ් බච්චන්, තප්සි පානු, කිර්ති කුල්හාරි, අන්ද්රියා තාරියාන්ග් යන නළු නිළියන්. චිත්‍රපටය ගොනුවෙලා තියෙන්නේ දිල්ලි නගරය ආසන්නව තනිව ජීවත්වන තරුණියන් තුන්දෙනෙක් සහ යම්කිසි අවස්ථාවකදී ඔවුන් තම ආත්මාරක්ෂාව මත ගතිපු තීරණයක් නිසා අනෙක් පාර්ශවයේ තියෙන බලවත් කම මත ඔවුන්ට ඇතිවෙන ඉරණම සහ ඒ ඉරණම වෙනස් කරන්න උසාවියට සත්‍ය පහදලා දෙන නීතිඥයෙකු වටා. අරුතේ අරමුණ චිත්‍රපටිය ගැන කතා කිරීම නොවන නිසා මම මීට එහාට චිත්‍රපටය ගැන කියන්නේ නැහැ. කෙලින්ම ගීතයට යන්නම්. ඒත් ඔබ තවමත් නරඹා නැතිනම් ‘PINK’ නරඹන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා

ගීතය: Jeene de Mujhe (ජීනේ දේ මුජේ - මට ජිවත් වෙන්න දෙන්න).....


Yaar

Hat ja zara

Dekh le

Main hoon yahaan


මිතුර, මදකට පැත්තකට වෙන්න, බලන්න මෙතන මම ඉන්නා බව නොපෙනේද?


Meri zindagi hai

Yeh mera jahaan

Tu samjhe yahaan

Tu hi hai badshaah


මේ මගේ ජීවිතය, මේ මගේ ලෝකය...ඔබ හිතන්නේ මේ ලෝකයේ අයිතිකරු ඔබ කියාද?


Jeene de Mujhe

Tu jeene de

Zindagi ka jaam tu peene de


මට ජිවත් වෙන්න දෙන්න, ඔබ මට ජිවත් වෙන්න ඉඩ දෙන්න, මට ජීවිතය රස විඳින්න දෙන්න


Jaisi bhi hoon mujhko

Tu rehne de

Dil mein jo hai

Woh ab kehne de


මම මොනවගේ වුනත්, ඒ විදියට මට ජිවත් වෙන්න දෙන්න

මගේ හදවතේ ඇතිදේ මට දැන් කියන්න දෙන්න


Tujhe kya pata

Meri dil mein hai kya

Jo keh doon toh

Tham jaayega yeh sama


මගේ හදවත කියන්නේ කුමක්ද කියා ඔබ දන්නේ කොහොමද

මගේ හදවතේ තිබෙන දේ කීවොත්, ලෝකය ගල් ගැසේවි (කාලය නවතීවි)


Saath hai mere khuda

Tu samjhe khud ko kya


දෙවියන් මා සමඟයි... ඔබ කවුරුන් කියාද ඔබ සිතාගෙන ඉන්නේ


Zamaane ki parvaah

Na mujhko yahaan

Tu bhool gaya mujhse hai Yeh jahaan


මට මේ ලෝකය කියන දෙයින් වැඩක් නැත...මේ ලෝකයේ පැවත්ම මං නිසා සිදු වෙන බවද ඔබ අමතක කොට ඇත...

ගීතයේ අරුත හරිම කෙටියි. ඒත් ඒකෙන් ලොකු පණිවිඩයක් දෙනවා. මේකේ ‘මම’ කියල හඳුන්වන්නේ චිත්‍රපටයේ එන චරිතයක් නෙමේ. ‘මම’ කියල හඳුන්වන්නේ ‘ගැහැණිය’. අපි දන්නවා මේ සමාජයේ ගැහැණියකට තරුණ දියණියකට තියෙන සමාජ සීමාවන්....ඒවා බොහෝයි. දැන් දැන් වෙනස් වෙමින් යනවා වගේ පෙනුනත්. තරුණියකට කොටට ඇන්දහම පිරිමි ළමයෙක් විහිලු කලොත් වැරැද්ද කොට ගවුම ඇඳපු තරුණියගේ, කාන්තාවක් තනියම ජිවත් වුණොත් ඒක පිරිමියෙක් සමඟ ඕනෑම වෙලාවක ලිංගිකව එක්වෙන්න සුදානමින් ඉන්නවා වගේ බලන එක, මත්පැන් වගේ දෙයක් පානය කරන ගැහැණිය දිහා වපර ඇහෙන් බලන එක, රැකියාව හින්ද රෑ වෙලා නිවසට එන ගැහැණිය ගේ චරිතය අපවිත්‍ර යයි සිතන එක, මේ වගේ ගොඩක් අපේ සමාජයේ මුල් බැසගත්...කාන්තාවක් නොකළ යුතුයි කියල මුල් බැසගෙන තියෙන ආකල්ප. ඒ වගේම ඒවා පිරිමි කරනකොට ඒක බොහෝවිට ‘පිරිමිකම’ නිසා කරන වැඩක් හැටියට හඳුන්වන එක. පිරිමියාව නාවල ගෙට ගන්න විතරයි තියෙන්නේ කියන ආකල්පය.


මේ වගේ දේවල් දැන් අපේ සමාජයෙන් තුරන් වෙන්න කාලය ඇවිත්. මේ සීමාවන් මඟින් අපි රාමුකරන්නේ ලස්සනට ගෙවන්න තියෙන ජීවිතයක් කියන එක අපිට අමතක වෙනවා. ලස්සනට අඳින්න, නිදහසේ ඉන්න, කැමති රැකියාවක් කරන්න, හොඳින් කන්න බොන්න සමාජ ජීවිතයක් ගතකරන්න ගැහැණියත් කැමතියි. යම්කිසි මනුස්සයෙක් සතුටු විය යුතු, නිදහසේ සිටිය යුතු සීමාව මොකද්ද කියල තීරණය කරන්න වෙනකෙනෙක්ට නැතිනම් සමාජයට බැහැ. නමුත් සමාජය එහෙම එකක් අතට අරන් තියෙනවා. අපි ඒකට සංස්කෘතිය කියලත් නමක් දාගෙන ඉන්නවා. හැබැයි තියෙන ප්‍රශ්නේ මේ කතාව පිරිමියාට මාරුවෙද්දී වෙනස් වෙන එක.


මේ ගීතයෙනුත් කියන්නේ ඒකයි. ගැහැණියට නිදහසේ ජිවත් වෙන්න දෙන්න. ඇය ජිවත් වෙන්න ඕන විදිය මොකද්ද කියල තීරණය කරන්න ඔබ කවුද? කියන එකයි.


තව ටිකක් එහාට හිතුවොත්, ගැහැණියකට කෙනෙක් බලෙන් ලිංගික ක්‍රියාවලියක යෙදුනත් ‘දුෂණය’ වුණා කියන්නේ ගැහැණියව. එතකොට අර බලහත්කාරය කරපු කෙනා ඊට කලින් හැඟීම් සහ සිතුවිලි වලින් මානසිකව දුෂණය වෙලා. තමන්ට අකමැති කෙනෙක්ට බලහත් කාරකමක් කරපු නිසා ඊට පසුව ශාරීරිකවත් දුෂණය වෙලා කියල තමයි මට නම් හිතෙන්නේ. එහෙම බැලුවහම ගැහැණිය එක පාරක් දුෂණය වෙනකොට පිරිමියාව දෙපාරක් දුෂණය වෙනවා. බස් එහෙක යනකොට ජැක් එකක් ගහන එක, පාරේ යනකොට පිරිමි ළමයි විසිල් ගහන එක විහිලු කරන එක, රැකියාවක් ගන්න, රැකියාවේ රැඳෙන්න විවිධ ලිංගික අල්ලස් දෙන්න සිද්ධ වෙන එක, ගෙවල් වල තමන්ගේ ස්වාමියාගේ අතින් හිංසනයන්ට ලක්වෙන එක....මේ හැම එහෙකටම ගැහැණිය මුහුණ දෙන්නේ කැමැත්තකින් නෙමේ. මේවා ලොකු පීඩනයක් ඒවාට ලක්වෙන කෙනාට සහ ඒවා අහන්න දකින්න ලැබෙන අයටත්. මේවාට එදිරිව නිතිය ඉස්සරහට ගියත් බොහෝවිට වැඩක් වෙන්නේ නැහැ. සහ හිංසනයන්ට ලක්වූ කාන්තාවන් ගැන තරුණියන් ගැන සමාජයේ තිබෙන ආකල්ප හේතුවෙනුත් මේවා නීතිය ඉදිරියට යන එකත් සිදු වෙන්නේ බොහොම අඩුවෙන්. යුක්තියට ගරු නොකරන නීතියක් බොහෝවිට ප්‍රායෝගිකව උපයෝගී වන රටක, වින්දිතයාට සාධාරණය ඉෂ්ඨ නොවෙන අවදියක අපි ඉන්නේ.


මම මේක කියවන මේ සමුහයේ සහෘදයින්ගෙනුත් ඉල්ලන්නේ....හැමවෙලේම හිතන්න...... මේ ප්‍රශ්නය සංයුක්තව බැලුවහොත් අපට තේරුම් ගත හැකියි, කාන්තාවකට කාන්තාවක් වුනු නිසාම සමාජයෙන් පීඩාවක් තියෙන බව වගේම, පොදු වේ සමාජයේ ආර්ථික සමාජ පීඩනයට පුරුෂයාද හසුවී ඇතිවග. ඉතින් ඔහු මේ පිට කරන්නේ ඒ පීඩනය වෙන්න පුළුවන්. රැකියාවක් නැති තරුණයා බෝක්කුව උඩ, මහපාරේ නිකරුනේ කාලය ගත කරන එක, තෘප්තිමත් නැති ලිංගික ජිවිත ඒ තෘප්තිය විවිධාකාර තාවකාලික ක්‍රම වලින් හොයන එක, තමන්ට අහිමිවූ බලය දුර්වලයාට පෙන්වන එක, වගේ කරුණු මේ පිටුපස තියෙන්න පුළුවන්. මේවාට විසඳුම් ද අපි සෙවීමට පෙළඹී ඇත්තේ තනි තනිව නිසා බොහෝවිට අපිට හමු වන්නේද තාවකාලික විසඳුම්. නමුත් අප කළ යුත්තේ සැවොම එකතුවී මෙවැනි අවභාවිතයන් සමාජයෙන් තුරන් කොට දැමීමයි.

මොහොතක් සිතන්න .......ඔබට මේ ලෝකය තුළ නිදහසේ ජීවත්වීමට කොපමණ අයිතියක් ඇතිද...එම ප්‍රමාණයේම අයිතියක් අනෙකාටද ඇති බව.


--නිල් ගුණවර්ධන--


Wednesday, 22 February 2017

සොඳුරිය කාලය කොතරම් නපුරුද ..

සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය...

පෙරුම් පුරා දුක සේ ගළපා ගත්
කවිය ඔබම වී නැළැවුණු යුගයක
හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය...

ලොවට හොරා විළි ලා බිහිකර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදාගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය...

පද - සමන්ත හේරත්
ස්වර - ප්‍රේමසිරි කේමදාස
හඬ - අමරසිරි පීරිස්


කාලය.. ගෙවෙනා තත්පරයක් පාසා අතීතයට එකතුවෙන්නෙ මොනතරම් වේගයෙන්ද? අද ඊයෙ බවටත් හෙට දවස අද බවටත් පත් වෙද්දි අපි වටා එක් රොක් වෙච්ච කොයි තරම් නම් දේවල් අපෙන් ඈතට ඉගිලිලා යනවාද? අපි ළඟටම වෙලා හිටපු කී දෙනෙක් නම් අපෙන් ඈතට යනවද.. ඒ අතර හදවතේ ගැඹුරටම දැණුනු සමහර බැඳීම් වේදනාත්මක මතකයන් වෙලා හිත පාරවනවා.. ඒ මතකයක් පවා කෙනෙකුගෙ ජීවිතයකට හුස්මක් ශක්තියක් වෙන්න නොහැකිද?

ආලය, සෙනෙහස, ප්‍රේමය මේ මොන නමකින් හැඳින්වුණත් කෙනෙක් තව කෙනෙකු වෙනුවෙන් තමන්ගෙ හිතේ ඇති කරගන්නා බැඳීමක් තරම් සුන්දර දෙයක් තවත් ලෝකෙ තියෙනවාද? ඒ බැඳීම වෙනුවෙන් නොකරන කැප කිරීමක් නැති තරමට සමහරු ඒ වෙනුවෙන්ම ජීවත් වෙනවා..


ඒත් කාලය...

කාලයට කොයිතරම් නම් දේවල් වෙනස් කරන්න පුළුවන්ද? ළඟ නැතුව, එහෙමත් නැතිනම් කතානොකර එක මොහොතක් වත් ජීවත් වෙන්න බැරි වේවි යයි හිතන කී දෙනෙක් නම් කාලයේ සුළි සුළඟින් විසිරිලා ඈතට යනවාද? ඉතින් කාලය කොතරම් නපුරුද?

එහෙම යුගයක් තියෙන්නට ඇති.. සුවහසක් පෙරුම් පුරාගෙන ගළපා ගත්ත සුන්දර කවියක් වෙච්ච ඇගේ රුව.. දවසක් නෑර දකින්න හීන මවපු ඇගේ රුව ඉඳහිටක රෑක ඇස් වල මැවෙන හීනයකවත් නැති කාලයක් කවදා හරි එළඹේවි කියලා ඔහු නොහිතන්නට ඇති.. ඒත් ඒ මිහිරි රුව අද කොතරම් නම් දුරකද?

ආදරය වෙනුවෙන් තමන් ආදරය කරන කෙනෙක් එක්ක බෙදා ගන්න දුකක පවා කොයිතරම් සුන්දරත්වයක් තියෙනවාද? අඩුම තරමින් ඒ වියෝව වෙනුවෙන් ඉපදිච්ච දුකවත් හිතේ ඉතිරි වෙලා තියෙනවා නම්.. ඇය වෙනුවෙන් පුංචිම පුංචි ඉඩක්වත් ඉතිරි නොකරම ඒ දුකත් නොදැනීම ගිහින්... ඉතින් තවත් බලාපොරොත්තුවක් වත් නොතබාම ඒ මතකය නැති කරලා දාන්නට තරම් නපුරුකමක් වෙන කාට නම් තියෙන්නද?

කාලය.. නුම කොතරම් නපුරුද......

~අමාලි වසුන්දරා අතුකෝරල~


බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි

බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ
මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ

අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා
නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙළිලොල් කම් පිරි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්ම සිහිවෙයි..................................... ...

බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ

හඬ - සනත් නන්දසිරි/මල්කාන්ති නන්දසිරි
පද - සනත් නන්දසිරි
ස්වර - සනත් නන්දසිරි


ගීතයකට සමාජයේ කොයිතරම් නම් අහුමුළු සිදුවීම් ස්පර්ශ කරන්න පුළුවන්ද? ප්‍රේමය කියන්නෙ තරුණියක තරුණයෙකු අතර ඇති වන සෙනෙහසම පමණක්ද? මේකත් එක්තරා ප්‍රේමයක්..

ජීවිතේ යන මග වැරදිච්ච තරුණයෙක් ආපහු හැරෙන්නටම බැරි මංසලක ඉඳගෙන කරන එක්තරා පාපොච්චාරණයක් කිව්වොත් නිවැරදියි නේද? තමන් විසින්ම තෝරාගත්ත ජීවිතයක අවසානය වෙන්නෙ පෝරකය. කීදාහක් නම් බලාපොරොත්තු ආශාවන් පසුපස්සෙ මේ කාලය ඇතුළත අපේ හිත දුවනවද? සමහරු ජීවිතේ සතුට හොයන්නෙ කොයිතරම් නුසුදුසු දේවල් පසුපසද කියලා වැටහෙන්නෙ ආයෙමත් හදාගන්නට බැරි තරම් වැරදුණාට පස්සෙ.

තමන්ගෙ මරණය උදාවෙන බව නිසැකවම දැනගෙන තත්පරයෙන් තත්පරය ඒ මොහොත වෙනකල් බලාගෙන ඉන්න කෙනෙක්ගෙ සිතුම් පැතුම් කොහොම වෙන්න පුළුවන්ද? ඒ වගේ මොහොතක දෑස අභියසට එන ශාන්ත රුවකට හිත ඇතුළෙ දැවෙන ඒ ගින්දර නිවාලන්නට පුළුවන් නම්.. බුදු හාමුදුරුවන් ළඟ තියෙන සුවය ඔහුටත් ඒ භික්ෂූන් වහන්සේ තුළ දැනෙනවා. ඉතින් හරියටම බුදු හාමුදුරුවො දුටුවා වාගෙමයි. උන්වහන්සේගෙන් සරණක් අයැදිනවා.. බලන්න ඔහු විටෙක ඉල්ලන්නෙ තමන්ගෙ මවට තමන්ගෙ ගෙලලූ බව කියන ලෙසට.. තවත් විටක ඔහු ගෙලලන්නට ඉඩ නොදෙන ලෙසට.. ඒ කෙසේ වුවත් ඔහු සිය වරද පිළිබඳව දැන් පසු තැවෙනවා.. මරණයෙ දොරකඩ ඉතින් ඔහුගෙ අවසාන පැතුම ඔහුගෙ පළමු සෙනෙහස වුණු නැති දා ළඟ උන් ඇය.. අම්මා... දෙවෙනි අන්තරා කොටස අතර මගකින් නතර වෙනවා.. ඒ ඈ වෙනුවෙන්..

තමන්ගෙ දරුවකුගෙ මරණයක් දරා ගන්න තරම් අම්මා කෙනෙකුගෙ හිත ශක්තිමත් කරගන්න පුළුවන්ද? දරුවන් වෙනුවෙන් ආදරණීය අම්මා කෙනෙකුට කරන්න නොහැකි දෙයක් තියෙනවද.. ගීතයේ අතර මැදකින් ඇහෙන ඇගේ ශෝකාලාපය අසන්නා කම්පනයට පත් කරන්නට සමත් වෙන්නෙ නිරායාසයෙන්..

ගීතයේ පද පෙළටම උචිත තනුවත් හඬත් තවත් ඒ අදහස තීව්‍ර කරනවා.


~අමාලි වසුන්දරා අතුකෝරල~



සඳ තරු නිහඬයි

සිතිවිලි විතරක් අවදි වෙලා..........


සඳ තරු නිහඬයි
ගහකොළ නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා....

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව ත‍නිකම කුටියට අවුදින්
හදවත අවදි කළා...

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කළා....

පද - කුලරත්න ආරියවංශ
ස්වර - එච්. එම්. ජයවර්ධන
හඬ - ඩබ්. ඩී. අමරදේව


රාත්‍රිය.. දවසක විඩාව නින්දක දියකර හරින සුන්දර ම කාලයක්.. හැම තැනම පිරිලා පවතින නිහඬ නිසොල්මන් බව කියාපාන්නෙ හැම දෙනාම තම තමන්ගෙ ලෝකෙ සැනසීම සොයාගෙන ගිය බවක්.. මොහොතක් සවන් යොමු කරොත් ඒ නිහඬතාවය තුළ ලොව අපූර්වතම සංගීතයක් කැටි වෙලා තියෙන බව දැනෙනවා නේද? පාලුව තනිකම දෙනෝදාහක් අස්සෙන් වුණත් හදවතට රිංගාගෙන එන්නෙ සීතල සුළං රොදක් වගේ.. ඒකයි රාත්‍රිය වේදනාබර මතක අවදි කරන්නෙ... මුලු ලෝකෙම එකම සිහිනෙක.. ඒත් මගේ සිතිවිලි අවදි වෙලා කොහේ දෝ දුරකට මාව රැගෙන යනවා..


දෙනෙත් තදින් පියා ගත්තාම නින්ද අපි කරා ඉක්මනින් ඒවිද? අපි හිතන බලාපොරොත්තු වෙන හැම දේම ඒ විදිහටම වෙනවානම් ජීවිතේ රසයක් නැති වේවි නේද? ඉතින් සොබාදහමට ඉඩ දීලා මම පරාජය පිළිගන්නවා.. සිහින වලට සිතිවිලි වලට සීමා මායිම් වැට කඩොළු බඳින්න පුළුවන් කාටද? ඔහේ ගලාගෙන ඈතටම දිවෙන මගේ සිතිවිලි නවතිනවා එක් තැනක.. හිනාවෙන කතාකරන ඇස් දෙකක් ළඟ.. ඇත්තටම ඒ නුඹම නේද? ළඟ ළඟම වගේ ඒ ඇහෙන්නෙ ඔබේ ආදරණීය කට හඬම නේද?

ඔබ මතකයක්.. සුන්දර මතකයක්.. ඒත් සුන්දර මතකයකට පුළුවන් ද මේ තරම් හිත රිදවන්න.. ඇස්වලට කඳුළක් හදවතට රිදුමක් නැතිව ඔබ වෙතට ළං වෙන්න.. ඔබ ගැන හිතන්න ඇත්තටම බැරිද? කොහොමද දැනෙන හැඟීම් නතර කරන්නෙ. කිසිඳු හැඟීමක් දැනීමක් නැතිව ඔබ දකින්න විඳින්න පුළුවන් දිනක් කවදාහරි ඒවි.. ඒත් එදාට මේ ඉකිබිඳින කඳුළු ඇස් වලට පුරවන සෙනෙහස මා ළඟ ඉතිරි වෙලා තියේවිද?


~අමාලි වසුන්දරා අතුකෝරල~


සසර සැරි සරන තෙක්..

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලායයි රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි තුන් සිතම සලිතවේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළුදමා වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස්තල පොළෝ තල ඔබට මට පොදුවෙලා
හදවතින් එක්වුණත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

ගේය පද -ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක


සර්වකාලීන ගීතයක්.. ඒ වගේම අපි හොඳින් කියවලා බැලුවොත් මෙතන තියෙනවා පෙම් පුවතක්.. ඒ කියන්නෙ මේ ගීතය පසුබිම් වෙන්නෙ එක අවස්ථාවක් නොවෙයි. ඒ කියන්නෙ ඔහුත් ඇයත් වෙන්වුණ අවස්ථාවෙ නොවෙයි. අරගෙන බලන්න ඔවුන් හමුවෙනවා. හමුවෙද්දි හිතේ ඇති වුණ චකිතය, ලැජ්ජාසහගත බව ආගන්තුක බව මුළදි පේනවා නේද? මුලදීම ඔහු දකින්නෙ ඇගේ සිනාව, එහි සුන්දරත්වය.. ඊට කලින් එහෙම සුන්දරත්වයක් ඔහු විඳලා නැහැ. එවන් සුව පෙර නොවිඳි තුන් හිතම සලිත වෙයි.. එහෙමයි කියන්නෙ..

ඊළඟට ඔවුන් ළං වෙනවා. ටිකෙන් ටික.. ඊළඟට ඔහුට මතක් වෙන්නෙ ඇයගේ දෑස.. ඒ කියන්නෙ දැන් ඔවුන් පෙම්වතුන්.. දෑස් වලින් කතා කරන්නෙ නේද?
තුන් වෙනි කොටසට එද්දි බලන්න.. දැන් ඔවුන්ගෙ සම්බන්ධය තවත් දුරදිග ගිහින්. දැන් ඔහුගෙ හිත හිනාවකට හෝ ඇස් වලට නොවෙයි ඇගේ දෙතොල් වලට. ඔහු මතක් කරන්නෙ නා ගස්.. නාදළු කියලා කියන්නෙ සුමුදු දෙතොල් වලටනෙ. ඒ කියන්නෙ ඔහුට ඒ පහස දැනිලා තිබෙනවා. එළඹිලා තියෙන්නෙ වසන්තයනෙ..

දැන් බලන්න කාලයක් ගිහින් - යුග ගණන් -. මොකක් හෝ ගැටලුවක්.. පටලැවිල්ලක්. වැරදීමක්. ඔහු නෙමෙයි ඇය වෙන්වෙලා ගිහින් ඔහුවෙතින්.. ඒත් ඔහු තවමත් බලා ඉන්නවා. මේ කියන්නෙ ඇත්තම පාරක් ගැන නොවෙයිනෙ. පැහැදිළියි ඔහු ඈ වෙනුවෙන් තවමත් ඔවුන්ගෙ ආදර ලෝකයේ සිටින බව. දැන් මතක් වෙන්නෙ පෙර ඇසුර.. ඒ කියන්නෙ මේ මොහොත වෙද්දි ඇසුර නැවතිලා.

අවසානය බලන්න. එකම අහස, එකම පොළොව.. අහස පොළොව හැරුණාම දැන් අපේය කියන්න කිසිවක් ඔවුන්ට නෑ. අහස පොළොව පොදුයි කියන කාරණය මිහිමත ජීවත් වෙන හැම සත්වයෙක්ටම අදාලයිනෙ. හැබැයි ඔහු හදවතින් තවමත් ඇයට ආදරය කරනවා. එක්ව සිටින බව සිතනවා.. ඇයත් එහෙම ඇති කියා ඔහු උපකල්පනය කරනවා.. වෙන්න පුළුවන්නෙ. අපිත් එහෙමනෙ පතන්නෙ. මම හිතන තරමටම අනිත් කෙනාත් හිතනවා, දුක්වෙනවා, බලා ඉන්නවා ඇති කියලා. ඒත් බලා ඉන්න බැරි මට. සියොළඟම සැලෙන්නෙ මගේ.. ඉතින් මුල ඉඳන් අගටම එන එකම පැතුම..

සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...................................

මොන හේතුවකට වුණත් ගීතය අහල ඉවරවෙද්දි ඇස්වල කඳුළු......


~අමාලි වසුන්දරා අතුකෝරල~