Wednesday 30 December 2015

වෙරළු ගෙඩිය ....

වෙරළු ගෙඩිය හරි අඩකට කපාගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
වුන් අප එදා සත්කුළු පව් විලාසෙන
පැල ඉනි වැටට අද ඇයි ඇන කොටා ගෙන


පොඩි උන් දොහේ මල් මතකය ඉරා ගෙන
හොද හිත ගිහින් උඩු හුළගට ගසා ගෙන
මහ ගෙයි බිමට තනි උරුමය කියාගෙන
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

තිරිසන් වුණෝතින් කිසි හව්හරණ නැතී
ලන්දක කකා ලන්දක කල් යල් හරිතී
එක මිනි සයන කාටත් නිදි සුවය දෙතී
බිම් පන්ගුවට ලොල් වී මළ ගම් නොයතී

අපි පුන්චි ළමයි කාලේ වෙරළු ගෙඩියක් වගේ පුන්චිම පුන්චි දෙයක් වුණත් බෙදා හදා ගන්න අපි පුරුදු වෙලා හිටියා.වෙරළු ගෙඩියෙන් කොටසක් දෙගුරුන්ටත් ඉතුරු කරලා ඉතිරි කොටස තමයි අපි බෙදාහදා ගත්තෙ.ඒ කාලේ අපේ සහෝදර බැදීම සත්කුළු පවු වගේ ශක්තිමත්.එදා ඒ විදියට හිටිය අපි, ඒ තරම් පුන්චි දේත් බෙදාහදා ගත්ත අපි අද ඉඩකඩම් නිසාවෙන් ඇනකොටාගන්නේ ඇයි.

අපේ සුන්දර අතීතය, අපි එකා වගේ සතුටින් සමගියෙන් බෙදාහදාගෙන ජීවත් වුණ අපේ ළමා කාලයේ සුන්දර මතකයන් සියල්ලක්ම අරන් අපේ හොද හිත් සුළගේ ගසා ගෙන ගිහින්. අපි එකා වගේ ජීවත් වුණ ඒ නිවස ඒ වටපිටාව තනියම අයිති කරගන්න සිතාගෙන අපි අද සතුරන් වගේ අපිටම දොස් තියාගන්නවා.

අපි මේ විදියට රන්ඩු සරුවල් ඇති කරගන්නේ අපි මිනිසත් බව ලබා ඉපදුන නිසාවෙන්ද.මොන තරම් දේවල් අයිති කර ගත්තත්,රැස් කර ගත්තත් අපි සැවොම කෙදිනක හෝ මේ සියල්ල හැර දමා වෙන් වී යනවා මරණයත් සමග.ඉතින් ජීවත් වෙන ටික කාලයේ ඇයි අපි මේ විදියට බිම් අගලකට අපේ හොද හිත යට වෙලා යන්න ඉඩ දෙන්නේ..

මේ ගීතයෙන් සහෝදරයන් දෙදෙනෙකුගේ කතාවක් පිළිබඳ සිදුවීමක් විස්තර වෙනවා.ළමා වියේ බෙදාහදා ගෙන සමගියෙන් ජීවත් වුන ඔවුන්ගේ ඒ අතීත සහෝදරත්වයේ බැදීම අද බිම් අගලක් නිසා විනාශ වෙලා.ඔවුන්ගේ අතීතය ඉතා සුන්දරයි.නමුත් ඒ සියල්ල ඔවුන්ගේ හොද හිත් සමගම සුලගේ ගසාගෙන ගිහින්.පුන්චි කාලේ තිබුණු සහෝදර බැදීම් නැති වෙලා ගිහින්.

~~යෝජිකා සංජීවනී~~


උදුම්බරා මනාලියේ....

ගීතයේ අර්තයටත් වඩා ගීතයක ඇති වචන වල ශබ්ද රසයට, තනුවට පමණක් ඇලුම් කරන රසිකයන්
ඉන්නවද? මමත් වෙලාවකට ඒ වගේ රසිකාවියක්.. මං මේ කියන්න යන ගීතයටත් මං ඒ වගේ ඇලුම් කලා... ඒත් ලොකු තේරුමක් නොදැන..

උදුම්බරා මනාලියේ,
රුවින් උතුම් කුමාරියේ...


මේ ගීතය මුලින්ම මට හිතට කා වැදුනෙ මං ඒලෙවල් කරන කාලෙදි වාදනය ප්රධාන විෂය කර ගත්ත දෙවැනි පාරට අපිත් එක්ක ඒලෙවල් කරන්න සංගීත පන්තියෙ වාඩි වුන අයියා කෙනෙක්ගෙන්... 

වාදනය ප්ර ධාන විෂය වුනාම ඒ කෙනෙක්ගෙන් ඉතින් ගීතයක් අහන්න පුළුවන් වෙන්නෙ හරිම කලාතුරකින්... ඒකට හොඳම අවස්ථාව වෙන්නෙ පැට්රිකල් වෙලාව තමා... මොනවම හරි එක දෙයක් ගායනා කරලා පෙන්නන එක අනිවාර්යෙයයි... එයා ගීතය ගායනා කරන වෙලාව එනකන් මං මගෙ පුහුනු වීම් ඉවර වුනත් නොගිහින් හිටියා මතකයි... කොච්චර හිතට වැදුන ද කිව්වොත් එයාගෙ පුහුනු වීම් ආරම්බ වෙලා ඒ ගීතය ගායනා කරද්දී එලියෙ හිටියත් ගිහින් පැදුරෙ කොනකින් වාඩි වෙලා අහගෙන ඉන්නවා වගේම මං ඒ ගීතය රෙකෝඩ් කර ගෙනත් තියා ගත්තා... විශේෂ බැඳියාවක් අපි අතර නොතිබුනත් මං ඒ ගීතයේ තනුවට, වචන වලට පුදුම විදිහට ඇලුම් කලා... 

මේ විදිහට තමා මං මුලින්ම මේ ගීතයට ආදරේ කරන්න පටන් ගත්තෙ... මේ ගීතය පුරාම කාන්තාවක් වරණනය කරන හැටි දැක ගන්න පුළුවන්... ඒත් උදුම්බරා කියන්නෙ කවුද?
සමහර අය සිරි කාලකන්නි ජාතකය අහලා ඇති... සිරි කාලකන්නියා නැතිනම් පිංගුත්තර දිසාපාමොක් ඇඳුරු ලඟ ඉගනුමට යනවා.. හොඳම ශිෂ්‍යයාට තම දියණිය පාවා දීම සිරිතක් වුන නිසා ඇදුරු දියණියව පිංගුත්තරට පාවා දෙනවා... 

මුල්ම දවසෙ හොඳින් සැරසිලා සිරි යහනට කුමරිය යන කොටම මේ කාලකන්නියා බිමට බහිනවා... කුමරිය බිමට එනකොට මේ පිංගුත්තර නැතිනම් කාලකන්නියා ඇඳට යනවා... ඔහොම කරලා මහන්සි වුනාම මේ සෙල්ලම නවත්තලා කුමාරිය තමන්ගෙ පාඩුවෙ ඉන්නවා... සතියක් ඇදුරු නිවසෙ මෙහෙම ගත කලත් රූප සෝබාවෙන් අනූන මේ කුමරියට පිංගුත්තරගෙ සිත යන්නෙම නෑ... 

නමුත් සිරිත් විදිහට කුමරියත් කැඳවා ගෙන තම රටට යන්න වෙනවා.. යන අතරමඟදි කුසගින්නක් දැනිලා කුමරියව දිඹුල් ගසකට නග්ගනවා... දිඹුල් කියන්නෙ අට්ටික්කා කියලයි මං අහලා තියෙන්නෙ... වැරදි නම් නිවැරදි කරන්න? කාලකන්නියා නැති නම් පිංගුත්තර දිඹුල් ගසේ යට කටු ගොඩක් වට කරලා දානවා කුමාරියට බහින්න බැරි වෙන්න... එහෙම කරලා පිංගුත්තර තනියම තම රටට යනවා... 

ඊටපස්සෙ උයන් කෙලියකට ආව රජතුමා මේ කුමාරියව දැකලා රූප සෝබාවට වශී වෙලා අරන් යනවා... දිඹුල් ගහේ හිටපු නිසා ‘උදුම්බරා’ කියලා නම දානවා.. ‘උදුම්බරා’ කියන නමේ තේරුම නම් මං හරියටම දන්නෙ නෑ.. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න... ඉතින් මේ කුමාරියගේ රූප සෝබාවට සමාන කරලා පෙම්වතෙක් තම හිත ගිය පෙම්වතිය වර්ණනා කරන හැටි තමා මේ ගීතයෙන් කියන්නෙ... 

වෙනකාටවත් ප්රේමයේ දොරටු නාරින ලෙස ආයාචනාවක්ද කරනවා... මම නම් වැඩියෙන්ම ඇලුම් කරන්නෙ මේ ගීතයේ වචන වලට සහ තනුවටයි... ඒ වගේම දයාරත්න රනතුංගයන්ගේ කටහඬත් මේ ගීතයත් සමඟ මනාවට ඒකාත්මික වෙනවා... එක දිගට සිය පාරක් වුනත් මට මේ ගීතය අහන් ඉන්න පුළුවන් තරමටම මං මේ ගීතයට ඇලුම් කරනවා...

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ //
උදුම්බරා

අංජන මධු සුවඳ පැනින් රූ සිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා.....

කෝකිල රජ දහන් පවා හඩින් උමතු වෙලා
සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුළු කලා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා....

ගායනය - දයාරත්න රණතුංග
සංගීතය - සරත් දසනායක
ගී පද - උපාලි ධනවලවිතාන

~~ඉශානි ප්‍රදීපිකා~~


කිරි අම්මාවරු දනට වඩිනවා....

"අම්මා"...නැත්නම් "මව් පදවිය"..කියන්නෙ මේ ලෝකෙ තියන උතුම්ම පදවිය..දරු පැටියෙක් කුසේ පිළිසිඳ

ගත්ත දවසෙ ඉඳල අම්ම කෙනෙක් විඳින දුක් කන්දරාව මෙච්චරයි කියල අපිට සීමා කරන්න බෑනෙ නේද..මිනිසෙකුට දරාගන්න පුලුවන් උපරිම වේදනාවටත් වඩා වේදනාවක් විඳ දරා ගන්න අම්ම කෙනෙක් කිරි කැටියගෙ මූණ දැක්ක ගමන්ම ඒවේදනාව නැති වෙලා යන්නෙ උණු සතුටු කඳුලු වෙලා දෝරෙ ගලාගෙන..

නමුත් මට අද මතකෙට ආපු ගීතයෙන් කියන්නෙනම් එහෙම අම්ම කෙනෙක් ගැන නෙමෙයි..මන් අද උදේ පාන්දර 2.30ට කිරි අම්ම දානෙකට අම්මල කීපදෙනෙක් එක්කන් එන්න ගියා..ඒ වෙලාවෙ තමයි මේ ගීතය මගෙ තොල් අතර මිමිණුනේ..හරි හරි ඒව මොකටද නේද?? 

ගීතය දහාට හැරෙමුකො..මව් පදවිය කියන ඒ උතුම් පදවිය ලබන්න පෙරුම් පුරන කාන්තාවක් ගැනයි ගීතෙන් කියන්නෙ..ඒ උනත් ඇයත් මවක්..තමන්ගෙ කුසින් නොවැදුව දරුවෙකුට මව් සෙනෙහස දෙමින් දරු සුරතල් බලමින් මවකගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කරන මවක්..ඒත් ඒ අම්මගෙ හිතේ එක බයක් තියෙනව..ඒ වෙලාවට මවට එන සිතිවිලි ගැන රචකයා ඉතා සංවේදීව පවසනවා..

රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට පණ දෙන චන්ඳාලේකා පෙරේරාගේ තියුණු හඬ ඔබේ නෙත් කොනක් තෙත් කරනවා නොඅනුමානයි..එහෙනම් අඩුපාඩු හදල වැඩි දුර කතාකරන එක ඔයාලට බාරයි..ස්තුතියි..ජය වේවා...!!!


කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුලු ගම්මානේ..
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතණුවනේ
මා සිත රිදෙන නිසා...

නෙත නිදිවරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවේ දුක් විඳලා..
එනමුත් කුසයේ හොවමින් බිහිකර
ඇඟලේ කිරිකර නැත පොවලා..

කිරි අම්මාවරු..

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා..
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහිකර කිරි මව වීලා..

කිරි අම්මාවරු...

~~දුල්ශාන් චමින්~~


අත්වැල ගිලිහී ලොව තනි වුදා...

ආශාව තන්හාව කියන දේ විවාහ ජීවිතයකට කොච්චර වැදගත් ද? හැබැයි ඒ ආශාව තන්හාව නිසාම විවාහ
ජීවිතයක් තුළ කොච්චර ගැටළු ඇති වෙන්න පුළුවන්ද?
“ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති ?...”

දෙදෙනෙක් විවාහ ජීවිතයක් ආරම්බ කරන්නෙ දෙමව්පියන්ගෙ වගේම සියළු නෑදෑයන්ගෙ ආශිර්වාදයත් එක්ක හැමදාම දුක සැප බෙදා ගනිමින් සතුටින් ජීවත් වෙන බවට පොරොන්දු වෙලා වගේම ආශිර්වාද අරගෙන... බිරිඳක් නම් සැමියාව හොඳින් රැක බලා ගැනීම, කැමති කෑම ජාති උයලා දෙන එක, ගොඩක් ආදරෙන් කල් ගත කිරීම, අගය කිරීම වගේ දේවල්කරන්න පෙලබෙන්නෙ නිරායාසයෙන්මයි... සැමියෙකුත් ඒ විදිහටම බිරිඳගෙ ඕනෑ එපාකම් හොයල බලමින්, ලස්සන දේවල් වලින් සංග්රහ කරමින් ගොඩක් සතුටින් තියන්න උත්සාහා කරනවා... හැබැයි විවාහ ජීවිතයක් තුලදි තන්හාව අධික වුනොත්, සමහර විට සැමියට බිරිඳ අමතක වෙනවා... මේ තන්හාව මුදල් හම්බ කිරීමටම පමණක් වෙන්නත් පුළුවන්... නැත්තම් වෙනත් කාන්තාවකට තන්හා සිතක් ඇති වෙන්නත් පුළුවන්... අනෙක් අතට කාන්තාවකටත් වෙනත් පිරිමියෙකු කෙරේ තන්හාවක් ආශාවක් ඇති වෙනවා වගේම, සැමියගෙ මුදල් වැරදිලා හරි පව්ලෙ වෙන කෙනෙකුට වියදම් කලොත් ඒ සල්ලි ටික නංගිට වියදම් කලා නේද? මෙච්චර වැඩ තියෙද්දි අක්කට දුන්නා නේද වගේ ප්රශ්න ඇති වෙන්න පුළුවන්... මේ හැම තැනකදිම තීරණයක් ගන්නකොට දෙදෙනාම සාකච්චා කලා නම්, තමන්ගෙ හිතට එන තන්හාව, ආශාව උහුලන්න පුළුවන් වුනා නම් මේ ගැටළු නෑ නේද?...


උහුලනු හැකි වෙද තන්හා ආශා,
සඟවනු හැකි වෙද සිතුවිලි මාලා,
ඉවසනු හැකි වෙද සෝ දුක් සංකා,

තන්හාව ආශාව උහුලන්න පුළුවන් වුනොත් ඒ ආශ්‍රිතව හට ගන්න සිතුවිලි සඟවන්න පුළුවන් වේවි... ඒ වගේමයි හැම වෙලාවකම සතුටක් ම පතන්නෙ නැතිව වේදනාත්මක අවස්ථාවනුත් ඉවසන්න හැකි වේවි... එහෙම නොවීම තුළ අවසානය, ආශා දැහැනේ වැනසී යාම පමනක්ම සිදු වේවි... මෙහෙම පටන් ගන්න ගැටළු ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා... ඊටපස්සෙ මුළු ලෝකෙටම පේන්න පෝරුවක් උඩ අත් පැන් වක්කරලා දෑඟිලි පටලලා බැන්ද වරපට නැතිනම් රන්හුය බිඳෙනවා.... ඒ කියන්නෙ දෙදෙනෙක් වෙන් වෙන එක... එතකොට ඉස්සර ඉඳන් ප්රාර්තනා කරපු ජීවිතේ ඒ බලාපොරොත්තු කොහෙද? ඒ ආදරේ වපුරපු සරු කෙත දැන් විනාශ වෙලා ඉවරයි... ආශාව නිසා වැනසුන මේ ජීවිතය තුල අත්වැල් ගිලිහුනාට පස්සෙ ඉදිරියක් ගැන සිතේවිද? ඊටපස්සෙ ආශාව මුල් කර ගෙන ජීවිතේ විනාශ කර ගත්ත දෙදෙනාම ඒ හැමදේම පැත්තකට දාලා ඇයි මට මෙහෙම වුනේ, මොකක්ද කල වැරැද්ද, කොහොමද මෙහෙම වුනේ වගේ ප්රශ්න තමන්ගෙන්ම අහනවා වගේම ලෝකෙන්ම ගැරහුම් විඳිනවා... ඉතින් දැන් අතීතය තුළ මතක ආවර්ජනය කරමින් ජීවත් වෙනවා හැරෙන්න, ඒ ගැන සිතමින් දුක් වෙනවා හැරෙන්න පෙරමඟට යන්න ලකුනක්වත් සිතේ නැති වෙනවා...ඒ විතරක්ම නෙමෙයි... දෙදෙනාගේම සෙනෙහසේ ප්රතිඵලයක් වුන දරුවන්? ඔව්නුත් වේදනාවට පත් වෙනවා... අමරසිරි පීරිස් ගායකයාණන්ගෙ මේ ගීතය හරියට වෙලාවකට බණ පදයක් වගෙයි මට නම් දැනෙන්නෙ... හැම වෙලාවකම දෙදෙනාම දෙදෙනාගේම සතුට වෙනුවෙන් ජීවත් වුනා නම්, කැප වුනා නම්, අවබෝධයෙන් ජීවත් වුනා නම් මෙවන් අත්වැල් ගිලිහීම්, දික්කසාද නඩු අඩු වෙවි නේද?...

අත්වැල ගිලිහී ලොව තනි වුදා
දකිනා පෙරමඟ ලකුණු නැති
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති ...//

උසුලනු හැකිවෙද
තණ්හා ආශා
සඟවනු හැකිවෙද
සිතුවිලි මාලා
ඉවසනු හැකිවෙද
සෝ දුක් සංකා
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති

දෑඟිලි එක්කල
වරපට දෙදරා
සෙනෙහස වැපුරූ
සරු කෙත වනසා
පුහුදුන් හදවත
සෝගිනි දල්වා
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ජයතිස්ස බොරළුගොඩ
තනුව - කළණි පෙරේරා

~~ඉශානි ප්‍රදීපිකා~~


ප්‍රථම ප්‍රේමය නපුරුයි ....

ප්‍රථම ප්‍රේමය නපුරුයි

එත් මතකය සොඳුරුයි
ඔබේ සුවද මා ළඟ දැවටෙයි
නමුදු ඔබ මට අහිමි


සිතින් ඔබ ළඟ රැදී නිබදව
සුසුම් හෙලුමට පුරුදුයි
සොරා ගෙන ඔබ මගේ හදවත
මා ඉවතලූ ඔබ නපුරුයි
ඈත ඉඳ ඔබ මා හඬවයි

සිතින් ඔබ ළඟ ගතින් ඈ ලග
කඳුල මට හුරුපුරුදුයි
ඔබට පෙම් කල එකය මා කල
වරද දඩුවම හරි නපුරුයි
විදිමි මම එය ඔබ හිනැහෙයි

ප්‍රථම ප්‍රේමය නපුරුයි
එත් මතකය සොඳුරුයි
ඔබේ සුවද මා ළඟ දැවටෙයි
නමුදු ඔබ මට අහිමි

ප්‍රථම ප්‍රේමය නපුරුද?? සොඳුරු ද?? මෙම ගීතය වැඩි දෙනෙක් අසා නැතුව ඇති බොහෝ දුරට.මෙම ගීතය කියන්නේ මොරිස් විජේසිංහ මහතා.ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න ,දූ විල්ලෙන් වත්සුණු තවරා,සන්දේ තනියට ලඟින් හිටි තරුවේ වැනි ගීත ගයනා කර ඇත්තේ මෙතුමා.සප්ත කන්‍යා චිත්‍රපටයේ ද ගායනයෙන් දායක උනා.ගීතය ගැන ගත්තොත් විවාහයක් එහෙම කර ගත් තරුණයෙක් තමන්ගේ කුලුදුල් ප්‍රේමය ගැන විවාහක යුවතිය සමග සිටින විටදී මතක් වීම හා එය හිතට වඩ දීම කියන්නාවූ මුලික කාරනවා මත දිවයනවා.ඇත්තටම මෙම තරුණයා අවංකව තම ප්රෙමවන්තියට ආදරේ කලත් ඇය ඔහුගේ හිත රිදවා යනවා.
සිතින් ඔබ ළඟ ගතින් ඈ ලග
කඳුල මට හුරුපුරුදුයි
ඔබට පෙම් කල එකය මා කල
වරද දඩුවම හරි නපුරුයි
විදිමි මම එය ඔබ හිනැහෙයි

මෙම පද කිහිපය ගැන විමසීමක් කලොත් හුඟක් වෙලාවට බහුතරයක් පිරිමි ගැහැණු දෙපාර්ශ්වයටම විවාහය හෝ ආදරය විදින අතර වාරයේදී තම නොස්තැල්ජියානු මතකයන් සිහියට නැගෙනවා.හුඟාක් දුරට එම මතකයන් සම්බන්දතාවයන් දෙදරා යාමටද හේතු වෙනවා. කෙනෙක් ගැන සිතමින් තවත් කෙනෙක්ගේ උනුහුමේ ඉන්නා එක එක්ත්රාකරයකට ලෝකේ ආදරය කරන්න වූ මිනිසුන්ට ලැබෙන්න උ දඩුවමක්.හැබැයි අන්තිමේදී මෙම ප්‍රේමවන්තය ඒ දඩුවම විදීමට හේතු වූ කරනය සොයා ගන්නවා. “ඔබට පෙම් කල එකය මා කල -වරද දඩුවම හරි නපුරුයි”.හැමෝගෙම ප්‍රථම ප්‍රේම ය නපුරු වෙන්නේ නේ.හැබැයි මතකය නම් සොඳුරු වෙයි.එය ජීවිතයේ දීර්ග ගමනකට පය තැබූ එක් පුංචි පියවරක්.

~~කූජන අවිශ්ක~~


දුර ඈත වුවද ගතිනා..

කුඩා කල පිරිමි දරුවෙකුගේ වෙස් අරගෙන පන්සලට ගිහින් පිරිමි ළමයිනුත් එක්ක කරතොට ධම්මාරාම
හාමුදුරුවන්ගෙන් ගජමන් නෝනා කවි පබඳින්න හුරු වුනේ පුදුමාකාර විදිහට... ගජමන් නෝනගෙ කවීත්වය කොච්චර ද කියනවනම් අවුරුදු 36 ක් මහණදම් පිරුව ඇලපාත ධම්මරතන හාමුදුරුවන් වහන්සේ සිව්රු හැර ඇලපාත මුදලි බවට පත් වෙනවා... ඒ උපැවදි වීමට නම් තවත් හේතු තිබුන බව සඳහන් වෙනවා... ඒ කොහොම වුනත් මේ දෙදෙනාගේ කවි හුවමාරු නිසාවෙන් මාතර කවි යුගය වර්ණවත් වුන බව නම් පේනවා... ඇලපාත මුදලිගෙ මේ ආදරය ප්රකාශ කරන්නට වෙහෙස වීම තුළ ඇති වුන ගජමන් ඇලපාත සිදුවීම යමුනා මාලනී පෙරේරා රචිකාවිය අපූර්ව විදිහට ගීතයට රැගෙන ඇවිත් තියනවා...

දුර ඈත වුවද ගතිනා..
ලඟ පාත නොවෙද සිතිනා..
ඇලපාත මුදලි මං..
මද හාස නගන් ගජමන් නෝනා..

තමන්ගේ පලමු ස්වාමිය වන ප්‍රකට කවියෙකු ලෙස සැලකෙන තල්පේ මෙරෙංචි ගෙයි ගාර්දියෙස් ආරච්චි වගේම දෙවන ස්වාමිය වුන මාතර ප්ර දේශයක මුහන්දිරම් කෙනෙකු වුන ඔහුත් මිය පරලොව ගිය බැවින් ගජමන් නෝනාට තවත් විවාහයක් අවැසි වුනේ නෑ... ඊටත් පන්සලට යාම හේතු කොට ගෙන හැදුන කට කතා ඇත්ත බව පෙන්නන්න කොහොමටවත් උවමනාවක් තියෙන්න නැතුව ඇති... කැත්තට පොල්ල වගේ ගජමන් නෝනා ඇලපාත මුදලිට පිලිතුරු ලිව්වත් ඇලපාත මුදලි උත්සාහය නම් අත ඇරියෙම නෑ... 

සාමාන්යෙයන් ගැහැණියක් තම රුව වර්ණනා කරනවා අහන්න පුදුමාකාර විදිහට ආශා කරනවා... ඒ නිසාම වෙන්න ඇති ඇලපාත මුදලිත් පුදුම විදිහට ගජමන් නොනාගෙරුව වර්ණනා කරලා තියෙන්නෙ... රචිකාවියත් ඇලපාත මුදලිගෙ ඒ සිතුම් පැතුම් ඉස්මතු වෙන ආකාරයටම ගීතය නිර්මාණය කරලා තියනවා...
ඇලපාතට ගජමන් නෝනා හරියට අඳුරෙදිත් එලිය දෙන සඳක් වගේ පෙනෙන්නෙ... ගජමන් නෝනාගෙ විවාහයන් දෙකම අසාර්තක වුන නිසා ඇලපාත මුදලි හිතන්නෙ ගජමන් නෝනා සිරි යහනෙ තනියම කඳුලින් පසු වෙනවා ඇති කියලයි... ඒ වගේම ඒ කඳුල නිවන්න හැකි එකම කෙනා ඔහු බව සිතනවා..

එම නිසාවෙන් ඔහුත් සමග උදහාසයෙන් පසු වෙන ගජමන් නොනගෙන් මදහාසයක් නිරන්තරයෙන් ඇලපාත මුදලි බලාපොරොත්තු වෙනවා... ඇලපාත මුදලිගෙ රූ වරුනාව, ඇයගෙන් ආදරය ආයාචනා කරන විදිහ ගීතයට හරියට ම නගලා තියනවා කියලා පැහැදිලි වේවි ඇලපාත මුදලි පබදින ලද මේ කවිය බැළුවොත්...

ඇලපාත මුදලි
චන්ද සූරියා වැනි එළඳගෙ වුවන
ඉන්ද නීල දෙක වැනි ළමැද එන තන
අන්දකාරයට ඇවුළු පහන මෙන
කින්ද තනි යහන නිදියන්නේ නෝන?...

මේ ප්රශ්න වලට කිසි විටෙකත් ගජමන් නෝනාගේ හිත නම් වෙනස් වුනේ ම නෑ.... ඒ වගේම පිලිතුරු කවි හැමවිටම පහර ගසන කවියක් වුනා... ඉතින් මේ උදහාසය ඇලපාතට දැනුන විදිහ ගීත රචිකාවිය අපූර්ව විදිහට ඉදිරිපත් කරනවා...

අමනාප කිමැයි - උදහාස කිමැයි..
මද හාස නගන් ගජමන් නෝනා...

ගජමන්නෝනාගේ අකමැත්ත කොච්චර ද කියලා අර උඩින් ලිව්ව ඇලපාත මුදලිගෙ කවියට ගජමන් නෝනා දුන්න පිලිතුර බැළුවහම හොඳට ම තේරේවි...

ගජමන් නෝනා
බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින
නින්ද මෙමට පුරුදුය තනියම යහන
වින්ද රති සැපත මට මතක නැති වුණ
කින්ද ඔහෙට විමසන්න කාරණ?...

ඇලපාත මුදලි ගජමන් නෝනාගේ රූසපුවට වගේම කවීත්වයටත් පුදුම විදිහට ඇලුම් කලා... දෙදෙනාටම එක විදිහට පිහිටලා තිබුන කවීත්වය ඇලපාත මුදලි නම් දැක්කෙ රන්රස වගේ ගැලපෙන දෙයක් විදිහටයි... ඒ වගේ
ම ගජමන් නෝනගේ කවි විඳින්න ඇලපාත මුදලි හැම වෙලාවකම ගොඩක් ආශා කලා... ඉතින් මේ කවි රසය දැනුනාම පෙමින් නොබැඳී හිඳින්නෙ කොහොමද? ඒ මේ ගීතයේ විදිහට ඇලපාතගෙ අවසාන පැනය...
කරුනාරත්න දිව්ල්ගනේ මහතාගේ කටහඬ වගේම ගීතයේ සංගීතය විශේෂයෙන් සිතාරය, බටනලාව තුලින් නැගෙන ඉමිහිරි නාද සංකලනය ඇලපාත මුදලිගෙ හුදකලා බව වගේම සුන්දර ගම්මානයක සුන්දර පරිසරයකට ගෙන යනවා වගේ හැගීමක් මට නම් දැනෙන්නෙ... ලස්සන පද රචනාවක්, සංගීතයක්, ගීතයටම සරිලන කටහඬක් එක්තැන් වුන සාර්තක ගීතයක් විදිහට මේ ගීතය කියන්න පුළුවන්...

දුර ඈත වුවද ගතිනා..
ලඟ පාත නොවෙද සිතිනා..
ඇලපාත මුදලි මං..
මද හාස නගන් ගජමන් නෝනා..//

පුන්සඳ ලෙද කළුවර යහනේ..
පුන්සිසිවත කඳුළින් තෙමුනේ..//
තහනම් ද සතුට ලදුනේ..
මේ දුකද සැපයි - නුඹෙ හිතට කැපයි..
මද හාස නගන් ගජමන් නෝනා...

රන් රස සේ ගැලපෙන සේමා..
දුන් රස කව් රස විද බෝමා...//
නොබැදෙම් ද පෙමින් කෝමා..
අමනාප කිමැයි - උදහාස කිමැයි..
මද හාස නගන් ගජමන් නෝනා...

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : යමුනා මාලිනී පෙරේරා

~~ඉශානි ප්‍රදීපිකා~~


Friday 25 December 2015

සුදෝ සුදට පේවී අපි නෙළුවෙමු සුදු මල්


















සුදෝ සුදට පේවී අපි නෙළුවෙමු සුදු මල්
සඳේ නුඹත් දුටුවද මේ උතුරන හසරැල් 
ඝන්ඨාරේ හඬ අැසුනා සුනංගුයිද මං 
අනේ ඉන්න මාත් ඒනව යන්නට පන්සල් 

එදා ඉඳන් මට පුරුදුයි නුඹෙ ලෙන්ගතු කම් 
බුදු හිමිටත් දැනෙන්න ඇති ඒ හිතවත් කම් 
උඩ මළුවට මගෙ බැති සිත ආගන්තුක නම් 
යටි මළුවෙන් ඉන්නම් නුඹ වැඳලා එනකම් 

පර්දාවෙන් හැඩ වැටිලා ආවත් පන්සල් 
සම්බුදු නෙත ගැටුනේ අප හිතේ මිනිස්කම් 
මෙහෙම බැඳෙන්නට හැකිනම් අල්ලන් අත්වැල් 
ඉතින් අපට තව කුමටද වැට මුරකාවල්

ගායනය: ශානිකා සුමනසේකර
ගේය පද: ශාමිලා හුසෙයින්
සංගීතය: දර්ශන වික්‍රමතුංග

අද මම ලියන්න හිටියේ වෙන සිංදුවක් ගැන. ඒත් අහම්බෙන් වගේ මේ ගීතය මගේ සවනත වැකුනා. ශානිකා සුමනසේකර ගායනා කරන මේ ගීතයේ පද ශාමිලා හුසෙයින් අතින් ලියැවී තිබෙනවා. එයයි මේ ගීතයේ මා දකින අපූර්වත්වය. මේ ගීතරචිකාවිය මේ ගීතයට ඇයවම ආරූඩ කරගෙන තිබෙනවා. ඇත්තම කියනවානම් මේ ගීතය පිලිබඳව පමනක් සලකා බැලුවොත් ගේය පද, ගායනය සහ සංගීතය යන අංශ තුනෙන් ඉදිරියෙන් සිටින්නේ ඇය. ශාමිලා හුසෙයින්. මොකද මට නම් පෞද්ගලිකව මෙහි ගේය පද ගායනයට සහ සංගීතයට වඩා දැනෙනවා. හරිම සුන්දර කතාවක් මෙහි සැඟවිලා තියෙනවා කියල මට හිතෙනවා.

මෙහි සැඟවුනු කතාව පෙම්වතුන් දෙදෙනෙක්ගේ යැයි කියා මා සිතන්නේ නෑ. මොකද මේ පද රචනාවේ කොතැනකවත් ප්‍රේමයක් ගාවාගෙන නෑ. අනිත් කාරණය තමයි ඇය පවසනවා "එදා ඉඳන් මට පුරුදුයි නුඹෙ ලෙන්ගතු කම්" කියලා. එසේනම්  මේ දෙදෙනාගේ බැඳීම කාලයක පටන් ඇතිවුන දෙයක්. දිගටම නොකැඩී පවත්වා ගෙන ආ දෙයක්. මම හිතන විදියට මේ හොඳම යෙහෙලියන් දෙදෙනෙකු පිළිබඳ කතාවක්. ඒ වගේම යෙහෙලියන් දෙදෙනා ආගම් දෙකක බව බැලූ බැල්මටම පේනවා.

"සුදෝ සුදට පේවී අපි නෙළුවෙමු සුදු මල් "
මේ පද පේලිය සඳහා ශාමිලා යොදාගෙන තිබෙන්නේ අතීත කාලය. ඒනම් මෙය කාලයක සිටන් මේ දෙදෙනා සිදු කරන දෙයක්. මල් නෙලන්නේ සුදෝ සුදට පේවීගෙන. තවදුරටත් අර්ථය හොඳිනම වටහා ගැනීමට අපි ඊලඟ පද පෙල බලමු.
"සඳේ නුඹත් දුටුවද මේ උතුරන හසරැල්"
සඳ කොහොමද මේ දෙදෙනා මල් නෙලන විට උතුරා ගලායන හසරැල් දකින්නේ. සඳ උදා වෙන්නේ රාත්‍රියට, එහෙනම් මේවා සඳ දකින්නට විදියක් නෑ.
ඇත්තටම පද පෙලේ මතුපිට පෙනෙන දෙයට වඩා ගැඹුරු ලොකු අර්ථයක් සැඟවී තිබෙනවා. මෙයින් පැවසෙන්නේ මුස්ලිම් ආගම් යුවතිය සහ සිංහල බෞද්ධ යුවතිය දැඩි ලෙන්ගතු කමකින් වෙලිලා ජීවත් වෙලා තියනවා. ඔවුන්ගේ ලෙන්ගතුකම පවිත්‍රයි. ඇය 'සඳ' ලෙස අමතන්නේ තමාගේ අනිත් මුස්ලිම් ප්‍රජාව වෙත. මෙහිදී සඳ යොදාගැනීම ඉතා සාර්ථකයි. මුස්ලිම් ජනයා සඳ සමග සමීප සබඳකම් පවත්වන බැවු නොරහසක්. රාමසාන් කාලයේ දී ඔවුනට සඳේ වැදගත්කම ඔබ දන්නවා ඇති. මීට අමතරව ධජයේත් අඩ සඳ දක්නට ලැබෙනවා.
ඉතින් ඇය අසනවා සහෝදර  මුස්ලිම් ජනතාවගෙන්, මේ සිංහල මුස්ලිම් ලෙන්ගතුකම ඔබලා දුටුවාද කියා.  බලන්න මෙතැනදී ඇය පද යොදාගෙන ඇති ආකාරය. ලොකු අදහසක් ඇය කැටි කරනවා පුංචිම පුංචි පද පේලි දෙකකට.

"එදා ඉඳන් මට පුරුදුයි නුඹෙ ලෙන්ගතු කම්
බුදු හිමිටත් දැනෙන්න ඇති ඒ හිතවත් කම්"

ඉතින් මම කලින් කිව්වා වගේ මේ යෙහෙලියන් දෙදෙනා කාලයක පටන් දැඩි මිත්‍රත්වයක් පොදි බැඳගෙන එනවා. ඒක කොච්චර ප්‍රභලයිද යනවග ඈ කියාපාන්නේ 'බුදු හිමිටත් දැනෙන්න ඇති ඒ හිතවත් කම්' යනුවෙනි. මැය තම යෙහෙලිය සමග යන්නේ බෞද්ධයාගේ පූජනීය ස්ථානයකට. බුදු දහම කෙරේ ඇයගේ භක්තිය තිබුනාට එය බුදුන් වැඩ සිටින තැනට යන්නට ප්‍රමාණවත්දැයි ඇය කල්පනා කරනවා. ඇය බුදු දහමට කෙලෙසකවත් නිගරුවක් වෙනවාට කැමතිනෑ. ඇයගේ නොදන්න කමින් යම් නුසුදුසු දෙයක් සිදුවේවි කියා සිතන ඇය තම යෙහෙලිය වැඳපුදාගෙන පැමිනෙන තෙක් යටි මලුවේ සිටිනවා.
නමුති මට මෙතැනදී ඊටත් වඩා එහා ගිය දෙයක් දැනෙනවා.
මට හැඟෙන විදියට මෙතැනදී ඇය අමතන්නේ සිංහල ප්‍රජාවට. 'උඩ මළුවට මගෙ බැති සිත ආගන්තුක නම්'
බෞද්ධාගම ගැන මගේ තිබෙන භක්තිය ඔබලාට ආගන්තුකයිද? මම කාලයක් තිස්සේ හැදී වැඩුනේ මගේ සිංහල යෙහෙලියත් එක්ක. ඒක නිසා බුදු දහම පිළිබඳව මගේ තියෙන භක්තිය මගේ යෙහෙලියගේ හා සමානයි. නමුත් බොහොමයක් ඔබලා මෙය නොදන්නවා ඇති. කමක් නෑ මම යටි මලුවේ ඉන්නම්.
ඉතින් බලන්න මෙහිදී ශාමිලා කෙතරම් සංවේදී ලෙස මුස්ලිම් හා සිංහල ප්‍රජාවන් අමතන ආකාරය.

"පර්දාවෙන් හැඩ වැටිලා ආවත් පන්සල්
සම්බුදු නෙත ගැටුනේ අප හිතේ මිනිස්කම්"

ඇය පන්සල් පැමිනෙන්නේ පර්දාවෙන් සැරසී. ඔවු සාමාන්‍ය සිරිත නම් පන්සලකට අප යන්නේ සුදු වතින් සැරසිලා. මෙහිදී පර්දාවෙන් සැරසී පන්සල් පැමිනෙන ඇය හුදී ජනයා දකින ආකාරයෙන් නොවේ, බුධු හිමි දකින්නේ. ඇය පවසන ආකාරයට බුධු හිමියන් දකින්නේ අපේ ඇඳුම පැලඳුම නොව අප සිතේ පවතින මිනිස්කමයි. මේ ප්‍රකාශයට මම ඇය සමග එකඟ වෙනවා. තැනකට යායුතු පිලිවෙලක් තිබෙන්නට ඕනෑ තමයි. නමුත් මෙතැනදී ඇයට ඇයගේ ආගමට අනුව කටයුතු කරන්නටත් වෙනවා, ඇයගේ ආගමට කරන ගරු කිරීමක් වශයෙන් ඇය පර්දාව පලඳිනවා. අනෙක් අතින් අපි බෞද්ධයන් විදියට සුදු වතින් සැරසී මේ පූජනීය ස්ථානයට ගෞරවය ලබා දෙනවා.

ඉතින් ඈ අවසනට පවසන්නේ
"මෙහෙම බැඳෙන්නට හැකිනම් අල්ලන් අත්වැල්
ඉතින් අපට තව කුමටද වැට මුරකාවල්"

අපි සිංහල මුස්ලිම් ජාති දෙකට අන්‍යෝන්ය අවබෝධයෙන් සමගියෙන් ලෙන්ගතු කමින් බැඳෙන්නට හැකිනම් සිංහලයාට මුස්ලිම් පල්ලියකට පිවිසීමටත්, මුස්ලිම් ජනයාට පන්සලකට පිවිසීමටත් වැටකොටු බැඳීම සිදුකල යුතු නොවේ.
මෙතැනදී අප සිතට ගත යුතු වැදගත්ම කාරණය නම්, අන්තවාදී මුස්ලිම්වරුන්ට සහ අන්තවාදී සිංහලයන්ට මෙය ගෝචර නොවන බවයි. ජාති දෙකෙහිම මේ ශ්‍රී ලංකා මාතාවට වින කරන එවුන් මුලිනුපුටා දැමිය හැකි දිනක් උදාවන්නේ නම් ලංකා මතාව වෙනුවෙන් එදිනට රණ බිමට වුවත් බැසීමට මා පසුබට නොවෙමි. මා මෙන්ම තව බොහෝ දෙනෙක් ඒ සඳහා එකතුවෙන බව දනිමි.
ප.ලි.  මා සිතන ආකාරයට නම් ජාතිවාදී වූවාට කම් නැත. එසේ නොවී රටක් තැනිය නොහැකිය. ජාතියක බේරා ගත නොහැකිය. නමුත් මේ ජාතිවාදී කියන්දේ හරිහැටි හඳුනාගත යුතුය. එයින් කියැවෙන්නේ අනෙක් ජාතීන් පහත් කිරීම හෝ ගැරහීම හෝ කුලල් කාගැනීම හෝ නොව තම ජාතිය කෙරේ ආලයෙන් යුතුව කටයුතු කිරීමයි.

~~තේජන අබේදීර~~









Wednesday 23 December 2015

අවපස අහසට තරු ලකුණක් සේ....

අවපස අහසට තරු ලකුණක්‌ සේ
අපමණ සයුරට තුරු දසුණක්‌ වී
දිගු දිවි ගමනේ
ඔබ කිම රැදුනේ

මාවත අවහිර නිමවා
දළ රළ පෙළ සැතපෙනවා
සැළ මුතු සෙනෙහස මද පවනක්‌ වී
ගැඹුරේ නිම මුමුණන්වා

දෝතක අසනිය ගවසා
ඔබ පෙර මග හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ ලකුණක්‌ වී
දෙනෙතේ සිත ලියවෙනවා........

ගායනය සුනිල් එදිරිසිංහ
පද රචනය: කුලරත්න ආරියවංස
සංගීතය: රෝහණ වීරසිංහ

ආදර ගී අතර මා වඩාත්ම ඇලුම් කරන ගී අතුරින් එකක් ලෙස මේ ගීතය හඳුන්වන්නට පුලුවන්. මේ ගීතය ගැන අදහසක් දෙන්න කියා මා උනන්දු කලේ මාගේ මිතුරු දිලානි වැලිවිට සහෝදරියයි. ඇය මෙන්ම තව බොහෝ දෙනෙක් මේ ගීතයට ඇලුම් කරන බව විශ්වාසයි. මේ ගීතය ලියලා තිබෙන්නේ කුලරත්න ආරියවංශයන් විසින්. මෙතුමා විසින් රචිත තවත් ආදර ගීත රාශියක් පවතී. 'මට මුලු ලොවම ඔබයි, මුලු ලොවම නැති උනත්, ඔබගෙ සෙවනේ, ප්‍රේමයේ මන්දහාසෙනී, ප්‍රේමයේ විල්තෙරේ, රත්තරන් නෙත් දෙකින්..' ආදී ගීත විශාල ප්‍රමාණයක් ඔහු අතින් ලියැවී ඇත. රෝහන වීරසිංහයන්ගේ සංගීත නිර්මාණ ගැන නම් කියන්නට මේ අවස්ථාව කෙලෙසකවත් ප්‍රමාණවත් නොවේ. මෙනිසා මම ඉදිරියේදී සවිස්තරාත්මකව ඒ ගැන ලියන්නට බලාපොරොත්තු වෙනවා.

අප බොහෝ වෙලාවට සිතන්නට සහ විශ්වාස කරන්නට පෙලඹී සිටින්නේ ජීවිතය කෙටියි කියා. 'මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා, අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ'
නමුත් ජීවිතය නියමාකාරයෙන් විඳින්නාට හෝ විඳවන්නාට මෙය කිසිමාකාරයකින් සත්‍ය වන්නේ නෑ. මෙහිදී විඳවීම ජීවිතය නැතිකර නොගෙන සිදු කරන විඳවීමක් විය යුතුයි.

ඉතින් මේ ඒකාකාරීව ගෙවෙන දිගු දිවියට යම්කිසි ප්‍රබෝධයක් ලබාදීමට හැකි දෙයක් වේද එය දිව ඔසුවක් වනවා නොඅනුමානයි. අවපස අහසකට තරුවකින් ලැබෙන්නේ අමුතුම සෞන්දර්වයක්. ඉමක් කොනක් නැති සයුරක සැරිසරන විට දුටු  ගොඩබිමක දර්ශනය සිතින් මවාගැනීමට හැකිනම් එය කෙතරම් අස්වැසිල්ලක්ද අනෙක් අතට එය කෙතරම් චමත්කාරජනකද?
මේ දිගු දිවි ගමනට ඔබ පැමිනියේ ඒ ආකාරයේ චමත්කාරයක් සමගයි. ඒ චමත්කාරය විඳින්නට තරම් මා පින්කල බව ඇදහීමට මැලිවීමක් මා තුල නැති බව පසක් කරනු කැමැත්තෙමි.

ජීවන ගමනේ බාධක කම්කටොලු බොහොමයි. ඒවා මැඩගෙන ඉදිරියට යාමට ඔබ මට ශක්තියක්. හරියට තමා ඉදිරියට එන සියලුම බාධක සිඳ වෙරළ කරා ලඟාවෙන රළ පෙලක් වගේ. ඔබෙන් මා ලබන සෙනෙහස නිම්කර නොහැකියි. ඒක හරියට සුළඟක්, නොනැවතී වනාන්තරයක් තුලටම, හෙලක් පතුලටම ඇදී යනවා වාගෙයි. එහි හැම අස්සක් මුල්ලක්ම පිරී සරනා තරම්ම ඔබේ සෙනෙහස සන්තතයි.

ජීවිතයේ සෑම දෙයක් සඳහාම ඔබ පෙරමගට වී සිටින්නේ ජීවිතයම සුභ කිරීමට වාගේයි. මාගේ සිහින තව දුරටත් සිහින ලෙසින්ම තබාගැනීමට ඔබ ඉඩ නොදෙන හැඩයි. ඒක ඔබේ ඇස් දෙකේ ලියැවිලා තියනවා. මගේ සුභ සිහින සියල්ලක්ම සැබෑ කරවන්නේ ඔබමැයි. ඉතින් අපේ ආදර කතාව එතැනින් නිමාවෙන්නේ නෑ. මේ දිගු දිවි ගමනේ එක්ව සැරිසරන තුරාවට අපේ ආදරය නොමැකේවි. ඉන් මතුවටත් එය එසේම වේවා!!!!!!



හිතවතුනි අද සුදු ඇදන් එන්න...

හිතවතුනි අද සුදු ඇදන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇදන් එන්න

පාසලේ අරලියා ගස් යට
ලියු එක කැවී පේලියක්
තවම වටහ ගන්න බරිවුනි
ඇසුරු කෙරුවත් කාලයක්
හිතවතුනි අද සුදු ඇදන් එන්න ..........

මතක ගොක් කොළ රැහැන් අතරින්
යලි ලියන්නට පෙම් කවක්
මටත් මගේ හිත හදා ගන්නට
දෙන්න අරලිය මල් මිටක්
හිතවතුනි අද සුදු ඇදන් එන්න ....

ගායනය-අමරසිරි පීරිස්
පද රචනය-ධම්මික බණ්ඩාර
සංගීතය -ඩේනිෂ්ටර් පෙරේරා
මුලින්ම මට මේ ගීතය ඇසීමට සැලැස්වූ මගේ මිත්‍රය වන Janith Isunika ට ස්තුති වන්ත වෙන්න ඕනේ.ගීතය ගැන බැලුවොත් මෙම ගීතය තුල කෙනෙකුට තේරුම් ගන්නට නොහැකි තත්ත්වයේ වචන හෝ යෙදුම් නම් නැ.බොහොම සරල වචන බවිතාවක් තුලින් ප්‍රථම ප්‍රේමය ගැන කතාවක් කියනවා.හුඟ දෙනෙකුගේ ප්‍රථම ප්‍රේමය වන්නේ පසල් ප්‍රේමය යි (මාත් ඇතුළුව).එක නව යොවුන් වියත් සමග හුඟක් තරුණ තරුණියන්ගේ දක්නට ලැබෙන දෙයක්.නමුත් එම පාසල් ප්‍රථම ප්‍රේමය විවාහයකින් කෙලවරවෙන අවස්ථාවන් බොහොම අල්පයි.එක බොහෝ හේතු තියෙන්නට පුළුවන්.

කාලයත් සමග තරුණයෙකු හෝ තරුණියෙකු වයසින් මුහුකුර යන විට තම ජීවිතයේ අතීත සිද්දීන් නැවත සමාලෝචනයට ලක් කෙරෙනවා.එවිට මේ තමන්ගේ ප්‍රථම ප්‍රේමය සුන්දර අතීතයක් කියල දැක්කත් ,එතැන් ඇත්තටම ආදරය කියන්නාවූ සංකීර්ණ කරණය තිබුනද යන්න ප්‍රශ්නයට ලක් වෙනවා(මටත් e ප්‍රශ්නය තිබුන).පෞද්ගලික වශයෙන් මම විශ්වාස කරන්නේ එතන ආදරයක් කියන දේ තිබුනේ නැ කියල.එතන තිබුනේ පොඩි කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කර කර අතින් අල්ලන්,තුරුල් වෙලා හිටපු බොළඳ කාරණාවන් ටිකක් කියල.

අතින අල්ලන් හෝ තුරුල් වෙල ඉන්නා කාලයට සමානුපාතිකව ආදරය කියනදේ මනින්න බැ.ආදරය කියන්නේ වියුක්ත අදහසක් හරියට ගණිතය හෝ සංගීතය වගේ.එත් e අත්දැකීම ලස්සනයි.සමහරවිට ජීවිතයේ සැන්දෑ සාමය ලක් වන විටත් e ඇතදැකීම මතක් වෙයි.

මම මේ ගීතය ලස්සන පද පේලිය ලෙස දකින්නේ මෙන්න මේ පද “මතක ගොක් කොළ රැහැන් අතරින් - යලි ලියන්නට පෙම් කවක්”.ප්‍රථම ප්‍රේමය හි මතකයන් අතරින් අලුත් පුළුල් වූ පරාසයක් තුල ආදරයක් කිරීමට හෝ පිදීමට යම් යම් උදව් ගත හැකි යන කාරණාව එම පද පේළිවලින් කියනව.ප්‍රථම ප්‍රේමය නපුරුද?? මීලග ගීතයෙන් විමසා බලමු.

~~කූජන අවිශ්ක~~


ජේසු ස්වාමි දරුවනේ... ජේසු ස්වාමි දරුවනේ

"ජේසු ස්වාමි දරුවනේ... ජේසු ස්වාමි දරුවනේ...

දුගී පැලේ දිනා මෙලෝ තලේ දිනූ..
ඔබේ දහම් තියේද දැන් දිව නෙතින් බලන්.."
කියලා දිව්‍ය නෙතින් ලෝකය දකින්න කියලා 'ජේසු ස්වාමි දරුවන්ගෙන්' පුංචි ඉල්ලීමක් කරන්න හිතුනා නත්තල ළඟ නිසා.

ඇත්තටම නත්තල කියන්නේ මොකක්ද? මම අපේ පුංචි උන් කීපදෙනෙක්ගෙන් ඇහුවා නත්තල කියන්නේ මොකක්ද කියලා 'නත්තල් ගහක් හදලා ඒක යට තෑගි තියලා ඔක්කොමලා එකතුවෙලා ලොකු පාටියක් දාලා ඒක ඉවර වෙනකොට අර තෑගි කඩලා බලන එක' වගේ ලඟින් යන උත්තර තමයි දෙන්නේ.
එතකොට පුතේ පල්ලි යන්නේ නැද්ද? 'ආහ්.. ඔව්. උදේ පල්ලි ගිහින් එනවා. අපි කැරොල් ගීතිකා කියනවා. පල්ලියෙත් සර්විස් එකෙන් පස්සේ එදාට පාටිනේ. අපිට තෑගිත් දෙනවා...'
එතකොට ජේසු බබා? 'ගව මඩුවක් හදලා ජේසු බබාව ඒකෙ තියනවනේ. ඒවා කරන්නේ ගොඩක් කලින්..'
වෙසක් ගැන ඇහුවත් ඔය ලඟින් යන උත්තරයක් තමයි ගොඩක් වෙලාවට ලැබෙන්නේ. තොරණ්, කූඩු, දන්සැල්, වෙසක් කාඩ් තමයි ප්‍රධාන. තෙමගුල අන්තිමට. මේ අපිට නිතර ඇහෙන පෙනෙන දේවල්. මේවට කලබල වෙන්න ඕනේ නැහැ ඒ පුංචි උන්ගේ වැරදුන මනස හරි ට්‍රැක් එකට දානවා මිසක්. 'හරි දේ මතුවෙනකොට වැරදි දේ පහව යනවා' කියන එක මම තදින්ම විශ්වාස කරන කෙනෙක්.

රන් රිදී මැණික් නොවීය ඔබැ සමීපයේ...
දළ පිළී විනා දුහුල් නොවී ශරීරයේ...
මන්ද මේ විළාසිතා දේව මන්දිරේ...
යළි ගලීලෙයෙන් නැගී මෙලෝතළේ බලන්...

ලස්සනට ඇඳගෙන පල්ලි ගියාට කමක් නැහැ. මොකද රජුන්ගේත් රජ්ජුරුවෝ, දෙවියන්ගෙත් දෙවියන් හමුවෙන්න යන නිසා. ඒත් විලාසිතා කිරීමේ සහ නත්තලේ සම්බන්ධය මොකක්ද? නත්තල අපි සමරන්නේ ඇයි. 'කන්‍යාවක් වූ මරියතුමිය තුල මාංශ ගතවූ දේව වචනය පොලව තුල බලවත් වූ ඒ මහා අත්දැකීම' කියලයි මට තේරෙන්නේ. එදා නත්තල කොහොම වෙන්න ඇද්ද? තමන් කන්‍යාවක් කියලා දන්නේ තමන් විතරයි. ඔව්. ටෝරා එකේ ලියවිලා තිබ්බට මුළු ලෝකෙම ඒක කියවලා නැති බව මරියතුමිත් දන්නවානේ. දැන් දරුවෙක් බිහිකරන්න යනවා. විවාහ ගිවිසගෙන හිටියට තමන්ගේ අතින් වැරැද්දක් උනේ නැහැ කියලා ජෝශප්ට හොඳටම ශුවර්. මේ දෙන්නගෙම ජිවිත ඇතුලේ හිත් ඇතුලේ මහා අරගලයක්. කාට කියන්නද? දෙයියනේ කියලා පවුලක් පන්සලක් වෙලා පිළිවෙලකට ජීවත් වෙන්න හිතුවා විතරයි. මෙන්න ගින්නක්. මේ ගින්න සමරන්නේ අපි. ඉතින් අධ්‍යාත්මය හැඩ නොකර මාංශය විතරක් හැඩ කරන එකද නත්තලේ විය යුත්තේ කියලා චුට්ටක් හිතමු.

ජේසුගේ ඉපදීම වැදගත් වෙන්නේ උන්වහන්සේගේ උත්ථාන වූ නිසා විතරමයි. එහෙම උනේ නැති නම් ඒ උපතත් බොහොම සාමාන්‍ය දරුවෙකුගේ ඉපදීමක්. ඒ නිසා 'ජේසු ස්වාමි දරුවන්' නත්තලට වඩා බොහොම උත්සවශ්‍රීයෙන් සැමරිය යුත්තේ පාස්කු ඉරිදා කියලයි මට හිතෙන්නේ. එදාට අඬමින් කල් ගත කිරීම නෙවෙයි. උන්වහන්සේ කිව්වා "බැමි ලිහන්න.." කියලා. ඒත් අපි තවමත් බැඳගෙනම ඉන්නවා.

පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ...
මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ...
ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්...
ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා...

මේ දවස් වල හැම පල්ලියකම වගේ කැරොල්ස්. "අරයගේ පුතාට වඩා හොඳට මගේ දුව ප්ලේ කරනවා. අරයට වඩා මට සිංග් කරන්න පුළුවන්. එයා කියන්නෙම අවුට්. මොකට එයාට මයික් එකක් දුන්නද මන්දා..." වගේ දේවල් ඔබටත් ඇහෙනවා හෝ හිතෙනවා වෙන්න පුළුවන්. එහෙම ඔබට දැනෙනවා නම් ඒක අදාළ පුද්ගලයත් එක්ක කතා කරගෙන බේරුමක් කර ගන්න පුළුවන් නම් ඔබ නියම 'ජේසු ස්වාමි දරුවෙක්'. ඒත් මේ ගයන නත්තල් ගීතිකා තුලින් ඔබේ හිතට සමාදානයක් නැති නම් ඔබ ආපහු හැරෙන්න. ඔබට පුළුවන්. ක්‍රිස්තුන් වහන්සේගේ ඇසෙන් බලන්න දකින්න පුළුවන් වෙන දවස ගොඩක් ඈත නෑ. එදාට ඔබට තේරෙයි මයික් එකටත් රණ්ඩු වෙවී මේ නත්තලේ කථා කරන්න යන්නේ ගෙන්නන්න යන්නේ 'සාමයේ කුමාරයාව' කියන එක සහ ඔබ හිටියේ කොතනද දැන් ඉන්නේ කොතනද කියන එක.

මේ සාමයේ කුමාරයා ගැන කතා කරන මාසේ කන්න නැති කෙනෙකුට කන්න ටිකක් දෙන්න ඔබට පුළුවන් නම්, අම්මා නැති දරුවෙකුට අම්මා කෙනෙක් වගේ ආදරේ කරන්න ඔබට පුළුවන් නම්, ලෙඩ වෙලා ඉන්න කෙනෙකුගේ ශාරීරික මානසික සුවය වෙනුවෙන් බිඳක් ඔබට කැපවෙන්න පුළුවන් නම් ඔබ නියම 'ජේසු ස්වාමි දරුවෙක්' බව ඔබටම දැනෙයි. පුදුමාකාර වේදනාවක් විඳලා කුරුසියේ ජිවිතේ පූජා කරලා ලෝකෙට දුන්න පණිවිඩේ මොකක්ද? අපි කොතනද ඉන්නේ නේද? තව දවස් දෙකක් තියනවා. ඒ නිසා දැන්ම ලෑස්ති වෙන්න පුළුවන්. පරක්කු වැඩි නැහැ. මාසෙකට දෙකකට කලින් ක්‍රිස්මස් කේක් එක, තැඹිලි වයින් එක හදන්න ප්ලෑන් කරපු එකේ දවස් දෙකකට කලින් ක්‍රිස්තුස් වහන්සේගේ ඇසින් ලෝකය දිහා බලන හැටිත් ප්ලෑන් කරන්න. අමාරු නැහැ. ඔබට තේරෙයි මෙච්චර කල් පල්ලි ගියාට ඔබ 'ජේසු ස්වාමි දරුවෙක්' නොවුන බවත් දැන් ඔබ වෙනස් බවත්.

මේ ගීතයේ රචකයා බෞද්ධ පරිසරයකින් පැවත එන්නෙක්. මේ ටික ලියපු කෙනත් එහෙමයි. ඒ නිසා අඩුපාඩු තියෙන්නට පුළුවන්. ඒවා පෙන්නලා දෙන්න. හදාගන්න ඉගෙනගන්න ලැහැස්තියි.

හැමෝටම සුබ නත්තලක්!!! ජේසු පිහිටයි!!!

ගායනය: නන්දා මාලනී


~~නිසංසලා රත්නායක~~


මලක් වුණේ ඇයි නුඹ මට....

ගෙදර යන්න කියලා දුම්රියට ගොඩ වුණු වෙලේ ඉදන් මගේ හිතෙන් මිමිනුණු ගීතයක් හදිස්සියේම...


ටික කාලෙකට හරි, ජීවිතේ සුවද කරපු මලක්, ජීවිතේට මග කියපු තාරකාවක්, ජීවිතේ ගිමන් නිවපු සහන් ගීතිකාවක්, අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා. ඒත්, සිපගන්නට තහනම් මලකින්, දැනෙන සුවද තරම් සුවදක්, දෝතට නෙලා ගෙන සිපගන්නට ලැබුණු මලකින් නොදැනෙන බව නම් සත්තයි... මුමුණන්නට තහනම් ගීතිකාවක රසය, දෙතොල් අගින් මිමිණූ ගීතිකාවකින් නොදැනෙන බව ද සත්‍යයක්මය.

ඔබ ද,
සිපගන්නට තහනම් මලක් වූ කල්හි මාගේ ජීවිත මුලු කාලයම සුවද කරනු ඇත. මහදෙහි දල්වන්නට වරම් නොලද කල්හි, පහන් තාරකාවක් සේම ඔබ මාගේ ජීවිතයට පාර කියනු ඇත. මුමුණන්නට අවසර නොලද කල්හිම ඔබ මාගේ ජීවිතයේ වෙහෙස නිවාලන සහන් ගීතිකාවක්මැයි සැබැවින්ම මට හැගෙනු ද ඇත...

මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවද සලන..
එනමුදු සිප ගන්නට තහනම්..
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින..
දිය දෝතක් බොන්නට තහනම්..

පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්..
කියන්න..

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොදුරු වදන් මුමුණනු කෙලෙසින්..
කියන්න..

ළගින් හිද වැනසෙනවාට වඩා, දුරින් හිද සැනසිය හැකි නම්,
මා හට ඔබෙන් අවැසි වන්නේ තව අන් කවරක් ද . . . ?
විවාහය නම් පටු බැම්මෙන් කෙළවර නොවූ, සංසාරික, ආධ්‍යාත්මික, ගෞරවනීය වූ ආදරය... ඔබගේත් මාගේත් සිත් සුවපත් කරයි නම්... මේ කටුක වූ ජීවිතය සැහැල්ලුවෙන් ගෙවාලන්නට මා හට අවැසි අත්වැල ඔබයි. ඉතින්, ඔබේ ජීවන වදකාරිය නොවී, ජීවන සහකාරිය වන්නට පමණක් හදවතින් ප්‍රාර්ථනා කරමි...

~~රුවිනි අපේක්ෂා~~


විදුලිය එළිය දැක ගිනිහුල දියේ හොවා

විදුලිය එළිය දැක ගිනිහුල දියේ හොවා
මග වැරදිලා දිව්වේ ම0 මුලා වෙලා
පැන ගිය මුවන් ළග හැලුනයි නෙලූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

කස්තුරි කපුරු කෑ තරමට එපා වුණී
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණී
ඇස් රතු කළ කොලොප්පමකට හිනාවුණී
මහමෙර වගේ නුඹ නොදොඩා බලා වුණී

මෝල් ගහත් ඇවිලුණි කරුම ගින්නට
උණුහුම මදි වුණා ඔය පැලෙ ඉන්නට
ආගිය මාවතක් කිම නෑ පෙනෙන්නට
අම්මේ දොර හරින් නුඹෙ පොඩි හිගන්නිට

ගායනය:ඉන්ද්‍රානි බෝගොඩ

මෙය වචනයේ මතුපිට අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් කැටි වූ ගීතයක්.ඒ වගේම සමාජයට වටිනා ආදර්ශයක් සපයන ගීතයක්.මෙයින් කියවෙන්නේ අම්මාගේ උණුසුමින් මිදිලා තම පෙම්වතා සමග ජීවිතේ සතුට සොයාගෙන නික්මුණු තරුණියක් ගැනයි.නමුත් ඇය සිතූ පැතූ ආකාරයේ ජීවිතයක් ඇයට උරුම වී නැහැ.ටික කලක් ගත වෙද්දී ඇය තේරුම් ගන්නවා ඇය මුලා වී ඇති බව.ඇයට සිදු වෙනවා නැවත ඇගේ මව වෙත යන්නට.

විදුලිය එලිය දැක ගිනිහුල දියේ හොවා
මග වැරදිලා දිව්වේ ම0 මුලා වෙලා

ඈතින් පෙනුණු විදුලි එළියකට රැවටී මේ තරුණිය සිය අතේ තිබුණ ගිනිහුල එහෙම නැත්තන් ආලෝකය නිවා දමනවා.ඒ කියන්නේ ඇය සිය ඉගෙනීම් කටයුතු හෝ රැකියා කටයුතු සිය ආදරය වෙනුවෙන් අතරමග නතර කර දමනවා.ඇගේ ජීවිතේ සියලු දේ අරුත්සුන් ආදරයක් වෙනුවෙන් කැප කර අවසන්.ඒකයි ඇය කියන්නේ පැන ගිය මුවන් ළග හැලුනයි නෙලූ පලා කියලා.රැවටිලිකාර ආදරයකට හසු වී මුලා වූ පසු අවසානයේ ඇය මවගෙන් සමාව අයද සිටිනවා අම්මේ මට සමාවෙලා මාව ආයෙත් බාරගන්න කියලා.

කස්තුරි කපුරු කෑ තරමට එපා වුණී
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණී

කස්තුරි කපුරු කියන්නේ ආහාරයට ගන්න පුලුවන් දෙයක් නෙමෙයි.ඇයට විදින්නට සිදු වූ දුක් ගැහැට ඒ තරමටම නීරස බව හා සතුට,සොම්නස පැතූ ජීවිතය ඉතාමත් අමිහිරි බව ඇය පවසනවා.ඒ වගේම ඇය මේ තරම් විශාල වරදක් කළත් ඇගේ මව මහමෙර වගේ නොදොඩා නොසැලී සිටීම ඇයට ප්‍රශ්නයක්.මව මේ තරුණියගේ සිතේ ඇති දුකට වඩා දුකක් සිතේ සිර කරගෙන සිටිනවා විය හැකියි.
මෝල් ගහත් ඇවිලුණි කරුම ගින්නට..ඒ කියන්නේ මේ ගින්දර සුලු පටු ගින්දරක් නෙමෙයි කියලා.ඇය විදි අනේක දුක් වේදනාවන්හි ඇති දරුණු බවයි ඒ කියන්නේ.අම්මාගේ උනුහුම මදි වී ඇගෙ තුරුලින් මිදී මවගේ පැලෙන් නික්ම ගිය වරදට ඇය පසු තැවෙනවා.නමුත් සියල්ල සිදු වී අවසානයි.ඇයට ජීවිතේ ඉදිරි ගමන් මග අපහැදිලියි.ජීවන ගමනේ ආගිය මාවත් සොයා ගත නොහැකිව ඇය අතරමන් වෙලා.තම දරුවන්ගේ වැරදි වලට නිදහසට කරුණු නොවිමසාම සමාව දෙන ආදර මෑණියන්ගෙන් අවසානයේ ඇය ඉල්ලා සිටිනවා අම්මේ දොර හරින් නුඹෙ පොඩි හිගන්නිට කියලා.ආයෙම ඔය පැල්පතට එන්නට මට අවසර දෙන්න කියලයි ඒ කියන්නේ.

~~යෝජිකා සංජීවනී~~


Monday 21 December 2015

සෙනෙහස බිඳුනැයි ඉකිබිඳ හඬන්නෙපා.....

සෙනෙහස බිඳුනැයි ඉකිබිඳ හඬන්නෙපා
කිසිදින මා ගැන අහිතක් සිතන්නෙපා
ගැහැනුන් චපලයි කියලා කියන්නෙපා
මින්පසු ආයේ මා මුන ගැසෙන්නෙපා

පැතුම් පැතූවෙමි අහස උසට මම
ඔබ මා සෙනෙහෙන් බැඳුනු දිනේ
එක වහලක් යට සදා රැදෙන්නට
යලි කිසි දින වෙන් නොවන ලෙසේ

ආශාවන්ගෙන් වසඟවෙලා ඔබ
වියරු ලෙසින් හැසිරුනු මොහොතේ
ඔබ ගැන නිසි ලෙස හඳුනා ගත්තෙමි
ඔබ වන බඹරෙකි බමර තුඩේ

ගායනය : ස්වර්ණලතා කවීශ්වර
පද රචනය :ලක්ෂ්මන් මල්ලවාරච්චී
සංගීතය : නිමල් ගුණසේකර
පෙම්වතෙක් හෝ පෙම්වතියක් සැබෑ ආදරයක දැවටී ඇත්නම් ඔහු හෝ ඇය තම අනාගත ජීවන සහකරුවාගෙන් බලාපොරොත්තු වන්නේ මිල මුදල් යාන වාහන වලට වඩා බෙහෙවින් වටිනා නිකැලැල් පිවිතුරු ආදරයයි.

"ආදරයට බේරේක් නෑ ජීවිතයට රිවර්ස් නෑ" කියලා ත්‍රීවීලයක ගහල තියනවා දැක්කා. හරියාට හරි නේද? ආදරයේ වෙලුනාම අන් සියලුම දෙයට වඩා වටින්නේ දැනෙන්නේ විශ්වාස කරන්නේ ආදරයම මිස වෙන කුමක්ද?

ඉතින් මේ ආදරවන්තයන් ආලයෙන් මුසපත්වී එහිම වෙලිලා ඉන්න ගමන් අනාගතය ගැන කතාකරනවා. අනාගතය සැලසුම් කරනවා. සමහර වෙලාවට මේවා 'අහස් මාලිගා' වෙන වෙලාවනුත් තියෙනවා. මේ සියලුදේ කරන්නේ තම ආදරවන්තයා සමග ජීවිත ගඟ පැද යන්නට. මේ පැදයන රුවල් ඔරුවේ රුවල් ඉරී ගියොත් එය රුවල් ඉරී ගිය නෞකාවක් බවට පත්වෙනවා. එතැනදී සැබෑ ආදරවන්තයා තමාව රුදුරු දියඹට බිලිදී අනෙකාට ගැලවෙන්නට ඉඩ සලසා දෙයි. ඉතින් සැබෑ ආදරය මේ වගෙයි.

ඉතින් මෙතැන් පටන් අපි පෙම්වතිය ගැන කතා කරමු.
සැබෑ ආදරයක් දිනාගත්තායි කියා තුටුවෙන පෙම්වතියට සමහර වෙලාවට තම පෙම්වතාගේ සැබෑ ස්වරූපය ඉස්මතු වෙන්නේ කාලයක් ගතවුනු පසුවයි. ඒ මොහොත වෙනකොට ඔවුන්ගේ පෙම් රජ දහනේ අහස් මාලිගා තැනිලා ඉවරයි.
ප්‍රේමය වෙත රාගය කොයි මොහොතක හෝ පැමිනෙනවා. එය වලක්වන්නට අපහසු බව තමයි මගේ හැඟීම. එය පාලනය කරගත හැකියි.
ප්‍රේමයට රාගය අත්‍යවශද යනවග පුලුල්ව විග්‍රහ කලයුතු දෙයක්. එය විවාදයට විවුර්තයි. නන්දා මාලනියගේ ගීතයට අනුව 'ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලියසේ අචින්ත්‍යයි'. එ එක්කම 'ස්නේහයේ නගරයයි සිත මගේ, මාවතක් හෝ නොවු රාගයේ'
මේ අනුව සැබෑ ප්‍රේමයට රාගය නිසා හානියක් වෙයිද?

මේ ගීතයට අනුව පෙම්වතා රාගයෙන් මත්වී පෙම්වතිය දැඩි අපහසුතාවයකට පත්කල හැඩයි.
"ආශාවන්ගෙන් වසඟවෙලා ඔබ
වියරු ලෙසින් හැසිරුනු මොහොතේ
ඔබ ගැන නිසි ලෙස හඳුනා ගත්තෙමි
ඔබ වන බඹරෙකි බමර තුඩේ"

ඇය පවසන අන්දමට මෙම සිද්දියෙන් පසු තමයි ඔහුව හරිහැටි හඳුනාගෙන තිබෙන්නේ. ඇය සිතනා ආකාරයට ඔහුට අවශ්‍ය ආදරයට වඩා රාගය. මේ නිසා ඇය තීරණය කරනවා ඔහුගෙන් වෙන්වීමට. ඔහුට නොහඬා සිටින ලෙස ඈ පවසනවා, ඒ  අතරම ඇය ගැන අහිතක් සිතන්නට එපා යැයිද පවසනවා. පෙම්වතියක් පෙම්වතෙක්ව අතහැරියොත් බොහෝවිට ඇයට 'චපල' ලේබලය වදිනවා. මෙනිසා ඇය තමා චපල නැති බව පවසා යලි කිසි දිනක තමන්ගේ ජීවිතයට නොපැමිනෙන ලෙස පවසයි.

ඈ පෙම්වතාගෙන් බලාපොරොත්තුවන ආදරය වෙනුවට රාගය මුසුවූ ආදරයක් ලැබීම හේතුවෙන් ඔවුන්ගේ ආදරය නිමාවෙනවා. හැබැයි අපි මෙතනදී සිතිය යුතු වැදගත් දේ නම් ඔහුගේ හැසිරීම ඇය වියරු ලෙස දැකීමයි. සමහර විට ඔහු මීට වඩා සෞම‍ය වූවානම් අවසානය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුනා.
ඉතින් මම හිතන ආකාරයට ප්‍රේමයට රාගය එක්වීමේදී දෙදෙනා එකතුව කතාබස් කර එකඟතාවයකට එනවානම් මෙවැනි අකල් ප්‍රේම වෘත්තාන්ත හරිහැටි අවබෝද කරගෙන ඉදිරිය හොඳින් පවත්වාගත හැකියි.
ඒත් ඉතින් සමහරුන්ට නම් මේ රාගය කියන දේ ගැටලුවක්. කොහොමද මේක කරන්නේ. හරියට කරගෙන යන විදි තිබෙනවාද? යනුවෙන් නානාප්‍රකාර ගැටලු මතුවෙනවා.

මට නම් කියන්න තියෙන්නේ 'උපන්දා සිට ගොඩබිමම හැදුනු වැඩුනු හංසයෙකු වුවත් දියට දැම්මහම, ඌට පීනන විදිය අමුතුවෙන් කියල දෙන්න ඕනෙනෑ'

~~තේජන අබේදීර~~



පෙමාතුර හැගුම් - ඇගේ නෙත් කැලුම්..

ආදරය අහිමි උන තරුණයෙක්.. ඇත්තටම ආදරය කරල අහිමි වී ගිය තම පෙම්වතිය ගැනම එයා හිතනව.
එයාට එතනින් එහාට ලෝකයක් නෑ.. අහිමි ආදරය ගැනම හිතන මෙයාගෙ හිත ගොඩක් දුර්වල වෙලයි තියෙන්නෙ එයාගෙ ඇස් අමතක කරන්න බෑ.. තරුණයගෙ හදවත කියනව එයාව අමතක කරන්න එපා කියල.. තාමත් එයාගෙ ආදරය. එයාගෙ පහස ලබන්න හිතන මගේ හිතින් මාවාගත්ත ලෝකයට මං ගොඩක් කැමති.

පෙමාතුර හැගුම් - ඇගේ නෙත් කැලුම්
හද සන්තනේ සදා සරණා අයචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්..

ගොඩක් වෙලාවට මේ තරුණය ඇස් පියාගෙන එයත් එක්ක කාලය ගත කරනව.. ඒක පහත් වින්දනයක් කියල එයාට හිතෙනව..ඒ වෙලාවට ආපහු ඇස් ඇරල ඇත්ත ලෝකෙට එනව... ඒත් එයාගෙ විනාශ වෙලා ගිය ආදර ලෝකයට සිතින් යන්නට තාමත් ආසයි..

නියාලුව හදින් - පියා නෙතු පියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්
අරාජික පරාදීසය සොය එමි සිතින්

ඉතින් මේ තරුණයට තමන්ගෙ සිතුවිලි පාලනය කරගන්න බෑ. තමන්ගෙ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නව. . ආදරය කරපු කෙනා විතරක් නෙවෙයි මෙයා හැම කෙනා එක්කම යහන් ගත වෙනව. හැමදාම හොදටම මත් වෙලා එන මෙයා.. එකෙන් තමන්ව පිනව ගන්න උත්සහ කරනව.. හැමදාම හීන ලෝකවල ජීවත් වෙනව..

අරා සිරි යහන් - නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
සුරා මල් පැණින් පොගා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සෙඳුරු සිහිනයෙන්

ඇත්තටම ආදරය කරල ඒ ආදරය අහිමි උනාම මෙහෙම වෙන්න පුලුවන්...

ගායනය - සනත් නන්දසිරි

~~රසික ඉඳුනිල්~~




මේ අහස මේ වගේ....

එදත් මේ අහස මේ වගේමයි. නිල්ම නිල් පාටයි.. ඔයාව මට හමුවෙලා ආදරෙයි කිවුවෙත් මේ වගේම දවසක..
එදා හරිප ලස්සනයි.. මගේ ජීවිතේ එලිය වුනෙ එදයි.. ඒ තමයි මගේ වසන්ත කාලය.. එදා මං මේ ලෝකෙම දැක්කෙ ගොඩක් ලස්සනට. . ඇත්තටම ඔයයි මමයි ලං වුන හැටි.. අපේ ආදරය... මට හීනයක් වගේ..

මේ අහස මේ වගේ
ගන නිල් සළුවකින් එතී
සැරසුණ එක් වසන්තයක
හමු වුණා අපී
හමු වුණා අපී............
ගහකොළද මල් පිපී
සැරසී සුළඟෙ දඟ වෙවී...
ඔබයි මමයි ලං කළ හැටි
සිහිනයක් වැනී
සිහිනයක් වැනී..........


ඔයයි මමයි එකතුවෙලා ගොඩනගපු අපේ ලෝකය.. අපේ අනාගතය අද මට මතක්වෙද්දි මං දන්නෙත් නැතුව මගෙ ඇස් වලට කදුලු පිරෙනව.. ඒ හැම හැම සිතුවිල්ක්ම දිගම දිග සුසුමකින් අතීතයට යවල මං ආයෙත් පියවි ලෝකෙට එනව.. ආදරය හිමි නැති මගේ ලෝකෙට...

ඒ අතීතයේ ඔබ මිමිනූ
වදන් යළි යළී
රාව නඟන විට දෙනුවන්
බොඳව යයි සැලී.......
අතීතයේ මතක සුවඳ
සුසුම් හා වෙලී
නටඹුන් සෙනෙහසේ නුවර
ගොස් ලැගුම් ගනී...........

අහස නම් එදා වගේමයි.. නිල්ම නිල් පාටයි.. එදා වගේම එලියයි. . වසන්තයේ මල් පිපෙනව. . මොකද කියල නම් දන්නෙ නෑ.. ඔයාගෙ හිතට කෙනෙක් ආවද.. ඔයාට ආදරයක් ලැබුනද..මේ ඔයාගෙ වසන්ත කාලයද.. එත් අපි දෙන්නගේ ආදරයටනම් තාමත් අකුණු ගගහ වහිනව....

ඒ අහසමයි යළිත් අද නිල්
සළුවකින් එතී
වසන්තයට මල් පිපෙනව
සුළඟෙ දඟ වෙවී ........
වසත් සියොත් කැල ගැයුවද
ප්‍රේමයේ කවී
අපේ හදේ වස්සානය
තවම නිම නැතී......

පද - සුනේත්‍රා අලුත්දුන්න
සංගීතය -නාලක සම්පත් වීරසිංහ/කරුණාරත්න දිවුල්ගනේ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

~~රසික ඉඳුනිල්~~


Saturday 19 December 2015

සොදුරිය කාලය කොතරම් නපුරුද?

සොදුරිය.. කාලය කොතරම් නපුරුද.. කාලය අපිට කොච්චර වෙනස්කම් කරනවද.

අපේ බැදීමට.. ඔයාට මං ජීවිතයටත් වඩා ආදරය කලා.. කදුල සුසුම මැද මං ඒ ආදරය පරිස්සම කරා. ඒත් කාලය මේ හැමදේම උදුරගෙන ගියා නේද.. මගේ ආදරය. මගෙ සෙනෙහස .. හැම දේම මට නැති කරා.. කාලය මට නම් ගොඩක් නපුරුකම් කරනව වගේ....

සොදුරිය කාලය කොතරම් නපුරුද?
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොදුරිය


ගොඩක් මහන්සිවෙලා.. ගොඩක් දුක් විදල දිනාගත්ත මගෙ ආදරය. ඒ ආදරයට ඔයා හරියට කවියක් උනා. ඔයා මගෙ ජිවිතය උනා.. මතකද ඔයාට... එදා ඔයාගෙ තිබුන ඒ ආදරය. ඒ සෙනෙහස අද නම් සිහිනෙකින්වත් එන්නෙ නෑ වගෙයි.. ඒ ආදරය කොච්චර නම් මිහිරිද.. අතිතයට මං කොච්චර නම් ආදරය කලාද..

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොදුරිය

ලෝකෙටම හොරෙන් අපි කොයි තරම්නම් අපේ උනාද. අපි ගොඩක් බලාපොරොත්තුවෙන් හිටිය අපේ ලෝකෙට පුංචි පැටියෙක්.. එත් අපිට පැටියෙක් නම් ලැබුනෙ නෑ තමයි.. ඒ දුක අපි දෙන්න එකට විද ගත්ත මතකද.. අපේ ලොකුම හිනෙ සැබෑ නොවනකොට.. අපි දුක බෙදාගෙන තුරුල් වෙලා අඩපු ඒ කාලය අදට වඩා කොච්චර නම් හොදයිද.. කොච්චර නම් මිහිරිද... මොන දේ නැති උනත් එදා මට ඔයාගෙ ආදරය තිබුන..

ලොවට හොරා විළි ලා බිහි කරගත්
වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය

ගායනය - අමරසිරි පීරිස්

~~රසික ඉඳුනිල්~~


සද දිය උතුරා අපතේ යයි ...

සද දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ ........
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ ........


තම පෙම්වතාට ආරාධනා කරනව... සද පායල තියන රැයක, මේ කාලය අපතේ අරින්න එපා. එන්න ප්‍රේමයේ රසය විදගන්න.. අපි තාරුණ්‍ය විද ගමු.. රාත්‍ර‍ය පුරාම අපි ප්‍රේමයේ මිහිර විදගමු.. එන්න මං ලගට. . . ඔයත් එක්ක මේ රසය විද ගන්න මං බලාගෙන ඉන්නව...

තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි .....
රාත්‍රියට ඇස් තියෙන නිසා
දග වැඩ හොද නෑ බලාගෙනයි......

අපි රාත්‍රියට හමුවෙන්නෙ හැමෝටම හොරෙන්.. ඒ නිසා ගොඩක් සද්ද කරන්නනම් එපා. . කාතා කරනවට වාඩ අපි මේ ආදරයේ මිහිර විදගමු.. හැබැයි තව දෙයක්.. අපි හොරෙන් ආදරය කලාට... මං හෙට ගෙදරට, සමාජයට ..මූණ දෙන්න ඔනෙ.. ඒ නිසා දග වැඩනම් එපා.. මාව ආරක්ෂා කරන්න.. මොකද රාත්‍රියට අපි හමු වෙලා මේ විදිහට ආදරය කලාට ඒ හැමදේම දවසක මේ හැමදේම එලි වේවී. . හරියට රාත්‍රියට ඇස් තිබුන වගේ....

හරිම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි.....
ඉර දුටුවත් නාඩන්න කියා
පනිවිඩයක් යැව්වොතින් හොදයි ......

ඔයත් එක්ක ඉන්නකොට වෙලාව යනව තේරෙන්නෙ නෑ,. රාත්‍රිය ගෙවිල යනව හරිම ඉක්මනට.. හරිම දුකයි. ඉර පායනකොට.. ඔයත් එක්ක තව ආදරයෙන් තුරුල් වෙලා ඉන්න ආසයි.. මට බෑ දැන්ම ඔයාට සමු දෙන්න.. අපි කුරුල්ලන්ට පණිවිඩයක් යවමු.
ඉර පෑයුවත් කෑහගන්න එපා කියල.. අපිට උදව් කරන්න කියල..

ගායනය: නිරෝශා විරාජිනී
පද: සුනිල් ආරියරත්න
සංගීතය: රෝහන වීරසිංහ

~~රසික ඉඳුනිල්~~


පැන මඩ කඩිති ....

පැන මඩ කඩිති “සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ”


ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ, මට අමාරුම පාඩම උනේ කුලක පාඩම. මොන හේතුවකටද මංදන්නෙ නෑ අනිත් උන් සේරටම ලේසිම පාඩමක් වෙච්ච කුලක පාඩම මට අමාරුම එක උනා. ඒ නිසා මුල ඉඳලම මං හිතන් හිටියෙ ඕලෙවල් වල ගණිත පේපරේ කුලක ගාන අත්තරින්න. හැබැයි.. කවදාවත් නොහිතපු විදියට මට කුලකත් ලේසිම පාඩමක් උනා. ඒ, අපේ අමරවර්ධන සර් අපිට උගන්නන්න පටන්ගත්තට පස්සෙ.

ඉස්කෝලෙ හිටපු හොඳම ගණිත ගුරුවරයා වගේම ඉස්කෝලෙ ඉඳපු සැරම ගුරුවරු අතරෙ ඉහලම ස්ථානයක් හිමිකරගත්ත ගුරුවරුවරයෙක් හැටියටයි අපි සර්ව දැනගෙන හිටියෙ. හැමෝම අපිට කිව්වෙත්. ඒත්, හරියටම සර් කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල අපි දැනගත්තෙ සර්ත් එක්ක වැඩකරන්න පටන්ගත්තට පස්සෙ. සර්ගෙන් ඉගෙනගන්න ගත්තට පස්සෙ.

අවුරුදු දහතුනක පාසැල් ජීවිතේදි මං ඕනිතරම් ගුරුවරු දැකලතියෙනවා, ඕනිතරම් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙනත් තියෙනවා. ඒත් සර් වගේ “ගුරුවරයෙක්” මට හම්බෙලා නෑ. ඇස්වහක් කටවහක් නෑ, සර්නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්. උගන්නන්න ඒ වගේ හැකියාවක් තියෙන මනුස්සයෙක්.. මටනම් හිතාගන්නවත් බෑ. ඕනිම ගොං මැටිමෝලක් සර් එක පැයෙන්, එක පාඩමෙන් ඔපදාල හැඩකරල ගනී සරස්වතී පිළිරුවක් වගේ. සර්ගෙ ජීවිතේම වෙලා තිබුනෙ උගන්නන එක. දහසක් දෙනාගෙ ඇස් පාදන එක. අනේ මංද, ඉගැන්වීම වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් සර් කොහොම කලාද කියාල.

සර් අපිට කියල දුන්නෙ ගණිතය විතරක් නෙවෙයි, සර් අපිට ජීවිතෙත් කියල දුන්නා. සර් අපිට සර්ගෙ ජීවිතෙන් අපිට ජීවිතේට පාර පෙන්නුවා. පොත්ත දිලිසෙන ඒත් මදේ හිස්, හක්කෙ බුදු බණ බොක්කෙ දඩමස් තියෙන බොරු හරබර දේසනා වලින් නොවුනත් සර් ජීවත් වෙනගමන් අපිට ජීවත් වෙන්න ප්රායෝගික පොතක් උනා සර් අපිට. ගොඩක් ඉස්කෝල වල ඉන්නවා තමන්ට කරන්න තියෙන දේ හරියට නොකර, ඒක කරනවා වෙනුවට තමන්ගෙ පෞර්ෂ්ය ගොඩනඟාගන්න බොරුවට ඇඩ් දාන ගුරුවරු. එක්කෝ කොල්ලෙක්ගෙ කොණ්ඩෙ අල්ලගනී, නැත්නම් කලිසමේ ඇදයක් හොයයි, එහෙම නැත්නම් සපත්තුවේ උල මනින්න හදයි, ඔය මොකක් හරි.නැත්නම් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ලවු හුටපටයක් හරි අල්ලගෙන ඒක මත්තෙ නහී. ඒත් ඒ ගුරුවරුන්ට මතක වෙච්ච දේ තම එයාල එයාලගෙ ජොබ් එක හරියට කරල නෑ කියන එක.

ඒත් අපේ අමරවර්ධන සර්ට මේ කිසි දෙයක් එච්චර අදාල උනේ නෑ. සර්ට ඕනි උනේ වැඩ. හැමදේටම කලින් හොඳට ඉගෙන ගන්න එක. කොල්ලන්ගෙ කලිසම තියෙන තැන හොයන්න කලින් සර් හෙව්වෙ ඌට පාඩම තේරුනාද කියලා. කොල්ලන්ගෙ සපත්තුවේ උල හොයන්න කලින් සර් හෙව්වෙ උන්ගෙ පැන්සල හොඳට උල් වෙලාද කියලා. කොල්ලන්ගෙ කොණ්ඩෙ, රැවුල කපන්න කලින් සර් බැලුවෙ උන් හරියට සමච්ඡේදකේ කපලද කියලා. අන්න ඒවා හරියට නැතිකොට, සර් දුන්න ගෙදර වැඩ කෙරිල නැතිකොට, සර්ගෙ පීරියඩ් එකක් කට් කෙරුවම, අන්න එතකොටනම් සර්ට අසූ හාරදාහට මල පැන්නා. මල විද්ද කිව්වොත් වඩා නිවැරදියි.

එවැනි බොහෝ අවස්ථාවල කරාටි ඉගෙන ගෙන නැති උනත් සර්, කොල්ලන්ගෙ පස්චාත් බාගයට සර් බැලන්ස් කරන කික් එකේ අවසන් ප්රතිපලය උනේ කොල්ලා ගානට පන්තියේ දොරෙන් එලියට වීසිවෙච්ච එක. අන්න එතකොටනම් සර් පට්ට සැරයි. එහෙම නැත්නම් බොහොම සුන්දර වදන් මාලාවක් සර්ගෙ මුවින් හරිම ලාලිත්යවත්ව නිරායාසයෙන් පිටවුනා.

සර්ට එහෙම කේන්තියන්න බොහොම සාධාරණ හේතු තිබුනා. ඇත්තටම සර්ගෙන් ඉගෙන ගන්න කිසිම එකෙක්, සර් දුන්න වැඩක් හරියට නොකර ඉන්න, සර්ගෙ ක්ලාස් එකක් කට් කරන්න, කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. සර්ගෙ කැපවීම ඒතරම්මයි. ඒ කැපවීමට සාධාරණ වටිනාකමක් නොදෙන උන්ට අම්මප හෙන ගැහුවත් මදි. සර් කිසිම දවසක සල්ලිවලට ඉගැන්නුවේ නෑ. සර් සල්ලිවලට යටවුනෙත් න, විකිණුනෙත් නෑ. ඉස්කෝලෙ බාගෙට උගන්නලා ඉතිරි ටික කරන්න ටියුශන් එකට එන්න කිව්වෙ නෑ සර් කවදාවත්. සර් ටියුෂන් කලේ නෑ. සර්ගෙ ඒ කාලෙත්, ඒ මහන්සියත් අපි වෙනුවෙන් නොමිලෙම වැය කලා.

හැම සතියෙම අඟහරුවාදයි බදාදයි හවස දෙකේ ඉඳල පහ වෙනකල් සර් අපිට අමතර පංති කලා. සතයක්වත් නොගෙන. ඊට අමතරම හැම සෙනසුරාදම උදේ අටේ ඉඳල දොලහ වෙනකල් සර් අපිට ඉගැන්නුවා. සර්ගෙ වියදමෙන් අපිට පාස් පේපර්, ටියුට් ගහල දුන්නා. මේ කිසි දේකට සර් තඹ සතයක් අය කලේ නෑ. ඒ නිසා දුප්පත් පෝසත් හැම එකාම හොඳට ඉගෙනගත්තා. එකොළහ වසර පන්ති හයම එකට දාල අපේ ඉස්කෝලෙ පරණම හෝල් එක වෙච්ච, අපි ආදරේට දැල් හෝල් එක කියපු ශාලාවෙ සර් අපිට අමතර පන්තිකලා.

මට මතක නෑ මං සර්ගෙන් ඉගෙනගත්තු අවුරුදු දෙකට්ම සර් නිවාඩු ගත්ත දවසක්. පීරියඩ් එකට පරක්කුවෙලා ආපු දවසක්. සර්ට, සර්ට කියල ගෙදරක් තිබුනෙ නෑ. සර් හිටියෙ ඉස්කෝලෙම චමරියක. පුංචි චමරියෙ බිත්තෙ හතරට කොටුවෙලා සරුයි සර්ගෙ පුංචි පවුලයි ජීවත් උනා. සර්ගෙ බිරිඳත් ගුරුවරියක්. හැබැයි අපේ ඉස්කෝලෙ නෙවෙයි, වෙන ඉස්කෝලෙක. සර්ගෙ ළමයි දෙන්නත් සර් වගේමයි. බොහොම නිහඬ චරිත. සර් ගෙව්වෙ බොහොම අල්පේච්ච ජීවිතයක්. ටීචත් එහෙම්මයි. හැමදාම සර්ගෙ හෙවනැල්ල වගේ සර් ලඟින්ම හිටිය, හැම දුකක්ම, කරදරයක්ම විඳගෙන. බිතුසිතුවමක් වගේ කවදාවත් සර්ට පිටුපෑවෙ නෑ. සර් වගේම අල්පේච්ච සරල ජීවිතයක් ඇයටත් තිබුනෙ. මාල වළලු අරුමෝසම් වලින් මිදිච්ච, හැබැයි හරිම ලස්සනට පිලිවෙලට ඇන්ද පැලැන්ද ඇයත් බොහෝම නිහතමානි ගුණ යහපත් කාන්තාවක්. සිල්ලර හීන පස්සෙ ගාල කඩාගෙන දුවන හිස් පොෂ් ගෑනු අතර ඇය ඇය පිපිල හිටිය සුදු නෙලුමක් වගේ. සර්ට මහලොකු සල්ලියක් තිබුනෙ නෑ, අතට පයට වැඩකාරයෝ හිටියෙත් නෑ. යන්න එන්න යාන වාහන තිබුනෙත් නෑ. සර් නිතරම ගියේ පයින්. සර්ට ඒක දැනෙන්නෙවත් නෑ. සෙනසුරාද අපිට පංති ඉවරකරල සර් යනව පොළට. අපේ ඉස්කෝලෙ ඉඳල ටවුන් එකට තියෙනවා කිලෝමීටර් දෙකක් විතර. ඒකාලෙනම් රුපිඅයල් හයක දුර. ඒත් සර් කවදාවත් බස් එකේ ගියේ නෑ. සර් ගියේ පයින්. ඒවගේම පොලෙන් ගත්ත බර බඩු මල්ලත් අරං සර් ආපහු ආවෙත් පයින්. ගිනි ගහන අවුවෙ පට්ට දවල් සර් එනවා, ඒත් සර්ට එක දාඩිය බින්දුවක්වත් දාල නෑ. ඒ සර්ගෙ තියෙන හිතේ හයියටද නැත්නම් පිංකාරකමටද නම් අපි දන්නෙ නෑ.

කොහොමත් සමාජෙ හොඳ මිනිහට තියෙන්නෙම කැපිලි කෙටිලි. ඒවගේම තමයි සර්ටත්. ස්ටාෆ් එකේ බොහෝ අය විතරක් නෙවේ, ප්රින්සිපල් පවා සර්ට අකුල් හෙලුව මිසක් එක ඩිංගිත්තක සහයෝගයක්නම් දුන්නෙ නෑ. හැබැයි සර් නැතුව ඉස්කෝලෙට කවදාවත් හොඳ ගණිත ප්රතිපලයක් ගන්න බැරිබවත් ඒ හැමෝම දන්නවා. ඒනිසා අර කපන්න බැරි අත ඉඹිනවා වගේ සර්ව තියාගෙන හිටිය මිසක් නැත්නම් අනිවාරෙන් මොකක් හරි කොක්කක් දානව උන් සර්ට. පොදු සමාජෙන් බොහෝ ඈත් වෙලා, සමාජශීලි නොවී සර් හිටපු නිසා සර්ගෙ ජීවන රටාව ඒගොල්ලන්ට දිරවන්න නැතුව ඇති. සාද සාජ්ජ, විනෝද චාරිකා, සර්ට හරි ගියේ නෑ. අරක්කු බිඳක්, දුම්වැටියක්, බුලත් විටක් කට අහලකටවත් නොගත්ත සර් හැමවෙලේම පන්සල්වල ලගින්න ගියේ නැතුවට හොඳ බෞද්ධයෙක් වගේ පන්සිල් ආරක්ෂා කරගෙන ජීවත් උනා.

පොල්ගහ ලකුණ රබර් සෙරෙප්පු දෙක දාල, ලා පාට කමිසෙ කලු කලිසමට යටකරල කොහේ ගියත් යන සර් කවදාවත් වයස ගියෙත් නැත්ද මංදා. දැන් අවුරුදු ගානකට කලින් දැක්ක සර්මයි තාමත් ඒ විදියමයි.

එකදවසක් සර් අපිට හවස පංතියේ උගන්න උගන්න ඉන්නකොට අපේ ප්රිසිපල්ට හදිසියකට වයිට් බෝඩ් එක ඕනි කියල සර් පාවිච්චි කර කර ඉඳපු වයිට් බෝඩ් එක උස්සන් ගියා. ඒතරම් කෙනෙහිලිකම් සර්ට. ඒදා ඒ වෙලාවෙ වේදනාව තද කරගත්තු සර්ගෙ ඇස්වල බිමට නොවැටුණු කඳුලු දීප්තිමත්ව දිලිසුනු හැටි මට අද වගේ මතකයි. ඒ හැමදේකින්ම තැලෙන්න තැලෙන්න සර් පන්නරය ලබල තව තවත් මුවහත් උනා මිසක් සර් කවදාවත් වැටුනෙ නෑ. ජීවිතේ අනන්ත බාධක දුක් ගැහට විඳල පොලොවෙන්ම පන්නරය ලබපු සර්ට අර කන්දක් ගිල්ල මිනිහට අග්ගලෙත් කජ්ජක්ද කිව්ව වගේ මේ හැමදේම නිකං පයට පෑගෙන දූවිලි වගේ. ඒ සිද්ධිය අපිට මහ දරුණුවටම දැනුනා. සර්ට තරම් දරාගැනීමේ හැකියාවක් නොතිබුන අපි හොරෙන් කඳුලු හංගගත්තා. එච්චරවත් හයියක් නොතිබුන අපේ කෙල්ලො ටික ඇඬුවා. කොහොම හරි ඕලෙවල් ලියන්න යන්න ලෑස්තිවෙලා අපේ කවිකාරියි (සර් එයාලගේ පංති බාර )එයාලගේ යාලුවොයි එකතුවෙලා සර්ට වයිට් බෝඩ් එකක් අරන් දීලා. අනිත් ගුරුවරු වගේ කවදාවත් තෑගි බලාපොරොත්තු නොවුන, දුන්නත් කිසිම තෑග්ගක් නොගත්ත අපේ සර් ඒ තෑග්ග නම් සතුටින් බාරගත්තලු. ඒ ඉදිරි පරම්පරාව වෙනුවෙන්මයි.

සර්ගෙ කැපවීමට, උත්සාහෙට පිං සිද්ධ වෙන්න ඉස්කෝලෙ විභාගෙට ලියපු එවුන් හැම අවුරුද්දෙම හැම එකාම පාස් උනා. එහෙමත් එකෙක් තමයි කලාතුරකින් ගනන් පේල් උනේ. ඉතින් අපිත් ඒ විදියට ඉහලින්ම විභාගෙ සමර්ථ උනා. බොහෝම දෙනා ඉතින් හොඳ හොඳ තැන්වලට ගියා. සමහරු අතාම ඉගෙනගන්නවා. සමහරු රස්සා කරනවා. සමහරු බැඳල ළමයිනුත් ඉන්නවා. සමහරු ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරන් බොහොම සැපෙන් ජීවිතේ ගෙවනවා. ඒත් අපේ සාර් තාමත් ඉස්සර වගේම ඉස්කෝලෙ යනවා. ඒ බාටා කෑලි දෙක ඒ විදියමයි. කලිසම, කමිසෙ එහෙම්මයි. සර් තාම පයින්. සර් තාම චමරියෙ.

කාලෙ ඔහොම ගෙවුන. සර්ව අපිට මඟ තොටේදි මුණ ගැහෙනවා. හම්බුනොත් අනිවාරෙන් කතාකරල අපේ විස්තර අහනවා. අපි හොඳින් හොඳ තැන්වල ඉන්නව කියල දැනගත්තම සර් අපිට හොරෙන් හංගගන්න සතුටු කඳුලු අපිට පේනවා. මං කලිනුත් කිව්ව වගේ සර් කවදාවත් මූණෙන් නම් වයස ගියේ නෑ. ඒත් හදිසියේම සර් වයසට ගිහින් කියල අපිට දැනුනෙ අපේ මල්ලිලා දහය වසරෙ ඉන්නකොට හදිසියේම සර් පෙන්ෂන් යනව කියල ආරංචි උනාමයි. මටනම් දැනුනෙ ලෝකෙම නතර උනා වගෙයි. ඒත් අපේ කාලෙ ගෙවිල උදාවෙලා තිබ්බ මල්ලිලාගෙ යුගයෙ ළමයින්ට සර්ගෙ එච්චර වටිනාකමක් තිබුනෙ නෑ කියල උන්ගෙ කතාබහින්ම අපිට තේරුණා. ඒත් සර්, සර්ගෙ යුතුකම අකුරටම ඒ කාලෙ වගේම ඉටුකලා. සර් වෙනස් වෙලා නෑ, ඒත් ළමයි වෙනස් වෙලා. සර් ඉස්කෝලෙ ගෙව්ව අන්තිම කාලෙ සර් කාටවත් වැඩිය සැරවැර උනේ නෑලු, ගැහුවෙ බැන්නෙත් නෑලු. සර් හැමවෙලේම කිව්වලු ළමයිනේ මගේ මේ ඉස්කෝල ජීවිතේ අන්තිම කාලෙ මට ඕනි නෑ පොලිසි උසාවිවල යන්න උඹලට උගන්නන්න ගිහින් කියලා. ඒ තරමට සමාජෙ වෙනස් වෙලා.

සර් සතයක්වත් අයනොකරගෙන මහන්සියෙන් කරපු අතිරේක පන්තිවලට අපේ කාලෙනම අපි හැමෝම එකෙක් නෑර නොවැරදීම සහභාගි උනා. මුලු එකොලහ වසරම, ඒ කියන්නෙ ලමයි 250ක් විතර අනිවාරෙන් සර්ගෙ පංති හිටියා. ඒත්.. කිව්වට විශ්වාස කරන්න, අපේ මල්ලිලාගෙ එකොලහ වසර බැජ් එකෙන් ළමයි තුන්දෙනයි සර්ගෙ පංතිවලට ඉඳල තියෙන්නෙ! ඒත් කෙල්ලො දෙන්නෙකුයි, අපේ එකයි. මං සර් ගැන කියල තියෙන හින්ද අපේ එකා ගියා, ඒත් ඌ කිව්ව විදියට අනිත් උනටනම් සර්ගෙ මේ අපරිමිත කැපවීම අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් දැනිල නෑ. ඒ සර් නිකං උගන්නන නිසා වෙන්නැති. ඒ කාලකණ්නින්ගෙ පවට පින දෙන්න බැ. කවදාවත් නොවිච්ච විදියට උන්ගෙන් කිහිපදෙනෙක්ටම ඒ ලෙවල ණයට කරන්න වෙලා. ඕලෙවල් ගනන් පේල් වෙලා.

සර් පෙන්ෂන් ගියාට පස්සෙත් ළමයි වෙනුවෙන්, ඒ තුන්දෙනා වෙනුවෙන් නොමිලෙ පංති කලා. මගේ ළමයි ටික අනාථකරන්න මට බෑනෙ කියලා.

සර් ජීවිතේ ප්ලෑන් කරල තිබුන විදිය හරිම පුදුමයි. අපිත් දුක් උනේ කල්පනා කලේ පෙන්ෂන් ගියාට පස්සෙ සර් ඉන්නෙ කොහෙද කියන එකයි. සර් ජීවිත කාලෙම ළමයි වෙනුවෙන් කැප උනා මිසක් සර් වෙනුවෙන් මොකුත් කරගත්තෙ නෑ. සර්ට තිබුනෙ සර්ගෙයි ටීචගෙයි සොච්චම් පඩිය විතරයි. ළමයි දෙන්නෙකුටත් උගන්නන ගමන්. මේ තියෙන සමාජෙ, මේ ආර්ථිකේ ජීවත් වෙන එක මොන යුද්ධයක්ද කියල අපි හැමෝම දන්නවා. ඒත් පෙන්ෂන් ගියගමන්ම ගෙඩි පිටින් අතින් සල්ලි දීල ලක්ෂ දහයකට එකවරම ඉඩමකුයි ගේකුයි ගත්තා. හරි ලස්සන හුරුබුහුටි ගේ පොඩ්ඩක්. නිස්කලංක පරිසරයක්. අපිට දැනුනෙ දරාගන්න බැරි සතුටක්. අපේ සර් ජොබ් එකට ආ දා ඉඳල සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුකරගත්ත සල්ලි ඒ ජීවිත කාලයක් පුරා. සර් කවදාවත් ලෝකෙට ණය උනේ නෑ. බැංකු වලින් ලෝන් ගත්තෙ නෑ. ඒ වෙනුවට කිලෝ මීටර් ගනන් පයින් ගිහින් සර් රුපියලෙන් රුපියල බැංකු පොතක ඉතිරිකරල ජීවිත කාලයක් පුරා…

සර් අපිට අදටත් මඟතොටේදි මුණගැහෙනවා. අපි සර්ව දකින්නෙ බස් එකේද, පේමන්ට් එකේද, පොලේද, කඩේකදිද, මේ කොහෙදි උනත් දණිස් දෙකම බිම ගහල සර්ට අපි වඳිනවා. හිතේ දරාගත්ත අපරිමිත භක්තියකින්. අපිට යාන වාහන වල යන්න පාර කපල දීල සර් අදටත් පාරදිගේ රබර් සෙරෙප්පු ගෙවෙනකල් පයින් යනවා. එහෙම යන වෙලාවක අපි ටවුමට යද්දි සර් උඩහට ආවත්,අපි අන්තිම හදිස්සි ගමනක් යද්දි සර්ව හම්බුනත්, බයික් එකේ පෙට්රල් ලෙල්ලටම හිඳිල බයික් එක බිමට ඇල කරල ස්ටාට් කරගෙන ගියත්, මොන මඟුලෙ කොහොම ගියත් සර්ව හම්බුන ගමන් අපේ ගමන් බිමන් සේරම අතෑරල දාල සර්ව සර් යනතැනට ඇරලවන්නෙ අපි උතුරන සතුටකින්. අපි සර්ව එක්ක යන්නෙ දළදා කරඬුව වඩම්මනවටත් වඩා භක්තියෙන්. සර් අපිට දුන්න දේවල් වලට අලගු තියන්න අපිට ආත්ම ගානකදිවත් බෑ. ඒත් ඒවගේ පුංචිම පුංචි දේකින් අපිට පුලුවන් සර් වෙනුවෙන් අපි පුංචි හරි දෙයක් කලා කියල ආත්ම තෘප්තියක් ලබන්න.

ජීවිතේ අපිට ගුරුවරු හම්බෙලා තියෙනවා, ඒත් මෙහෙම ගුරු දෙවියෙක් හම්බෙලා නෑ. අපි හැමෝම ඉස්කෝලෙ යන කාලෙ අපේ ගුරුවරුන්ට එක එක කාඩ් ගහනවා. අනිවාරෙන් වල් නමක් දානවමයි. අපේ ඉස්කෝලෙත් හැම ගුරුවරයටම එහෙම නමක් තිබුනා. නමක් නැත්නම් අඩුම තරමෙ සර්ගෙ නම කියල සර් නැති තැන්වල කතාකරනවා සර් කෑල්ල නොකිය. ඒක කොලු ගතිය. ඒත්.. එහෙම නමක් නොතිබිච්ච එකම එක සර් කෙනෙකුත් අපිට හිටියා. ඒ තමයි අපේ අමරවර්ධන සර්.. සර් අපිට හැමදාමත් අමරවර්ධන සර්මයි. ඉස්කෝලෙ හිටපු බ්රයිටටත්, අහින්සකයටත්, පරයටත්, මැරයටත් මේ හැමෝටම අපේ සර් “අමරවර්ධන සර්” මයි. ගුරුවරයෙක් මොන නම්බුනාම ගරු බුහුමන් ලැබුවත් මේ සම්මානෙ ගන්නෙකනම් බොහෝම අමාරුයි. කිසිම ගුරුවරයෙක්ට ඒක නොලැබෙන තරම්. ඒත් සර්ට ඒක තිබුනා. අපේ සර් වෙනුවෙන් කවදාවත් කවුරුවත් උපහාර උලෙලවල්, ගුණ කථනයන් පවත්වල නෑ, සර්ට එහෙම ඕනිවෙලත් නෑ, පැවැත්වුවත් සර් බාරගත්තෙත් නෑ.

ඒ කොහොම උනත් කවදාවත්ම ගුරුවරයෙක්ට ලබන්න බැරි, අපේ හදවත් වල සර් ගැන තියෙන භක්තියේ, ආදරයෙ, ගෞරවයෙ සදාතනික සම්මානෙ සර්ට ලැබිල තියනවා. මං හිතන්නෙ ගුරුවරයෙක්ට ලබන්න පුලුවන් උසස්ම සම්මානෙ ඒක.

මටත් තියෙනවා හීනයක්, මමත් හෙට අනිද්දට ගුරුවරයෙක්. ගුරුවරයෙක් විදියට මං ගන්න පළවෙනි පඩියෙන් මට ඕනි පහල මං දාල තියෙන සිංදුව බැක්ග්රවුන්ඩ් එකෙන් දාල විශාල කරපු සර්ගෙ ෆොටෝ එකක් සර්ට තෑගි කරන්න. ඒ වගේම තෑගි බෝග ගොඩාක් උස්සගෙන සර්ව බලන්න යන්න. ඒක මගේ සිල්ලර සිහිනයක්. ඒත් මට තියෙනවා ඊට්ර වඩා ගැඹුරු හීනයක්. ඒ සර් දැකපු හීනයේ සර් කපපු පාර දිගේ, සර් නවත්තපු තැනින් ඉදිරියට ගමන් කරන්න. සර්ගෙ හීනෙට තව තවත් ජීවය දෙන්න.

මං දන්නව, මට වගේම මෙහෙම අත්දැකීම් ඔයාලටත් ඇති. අනිවාරෙන් අපේ ජීවිත කාලෙ තුලදි අපිට මෙහෙම ගුරුවරු හම්බෙනවා. මේ විදියට හදවතටම දැනුනු, ඔයගොල්ලො අද ඔයාල ඔය ඉන්න තැන්වලට ගෙනාපු, ඔයාලගෙ ජීවිත එලිය කරපු, ඔයා;අගෙ ජීවන ගමන මෙහෙම ලසනනට යන්න පාර කපල දුන්න සුන්දර ගුරු දෙවිවරු ඔයාලටත් ඇති. අපි ඒ මතකයන් අවධි කරමු. පඩි අරගෙන ගමට ගියාම, ඒ වයසක මිනිස්සුන්ට මොනාවත් අරං ගියේ නැතත් කමක් නෑ සල්ලි අමාරුයිනම්, ඒත් ඉන්න තැනකට ගිහින් ටිකක් හම්බෙලා කතාකරල වැඳල එන්න. පාලුවෙන් කාන්සියෙන් ඉන්න ඒ මිනිස්සු එක්ක ඒ කාලෙ අතීතෙ මතකයන් බෙදාගන්න. ඒ රත්තරං ජීවිත වලට ඒක කෝටියකටත් වඩා වටීවි. ඔවුන් අපරිමිත ආනන්දයක් ලබාවි.

අපේ දයාබර අමරවධන සර්ට උපහාරයක්ම වේවා.. එතුමන්ට දීර්ඝායුශ ලැබේවා. මේ විදියටම නිදුක් නිරෝගී සුවයෙන් තවත් සුවහසක් කාලයක් එතුමන්ගේ රැකවරණය ලැබීමට අපිට වාසනාව ලැබේවා..!


පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ

රන් මසු පටපිළී අභරණ උරන වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
තුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩකඩිති…

පද රචනය : මහින්ද චන්ද්රසේකර
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ

~~උපේන්ද්‍ර සමන්ත~~




රෑ වැඩමුරය අවසන් වෙන කණිසමට ......

මම උසස් පෙළ පංතියේ ඉගෙන ගන්න කාළේ අපේ මාමා ගන්නෝරුව ගාර්මන්ට් එකේ ළමයින්ට යන්න බස්
සර්විස් එකක් දාල තිබුණා. මගේ බස් ගාස්තුවත් ඉතුරු කර ගන්න පුළුවන් නිසා මම උදේ ඉස්කෝලේ ගියේ ඒ බස් වල. ඇඟලුම් සේවිකාවන්, අපේ භාෂාවෙන් කිව්වොත් ගාමන්ට් ළමයි මුලින්ම මට මුණ ගැහෙන්නේ ඒ බස් වලදී. සමහරු හරිම අහිංසකයි. ඒත් මහා සංකර උන් පාරේ කොල්ලෙකුටවත් යන්න නොදී විහිලු කරද්දී මට අර අහිංසක අය ගැන පුදුම දුකක් එනවා. මේ රස්සාව සහ ගැහැණුකම මේ විදියට ලාබ සහ බාල කරන්නේ ඇයි කියලා. මේ ළමයි ගැන අපේ ගෙවල් වල කතා වෙන දේවලුත් බොහොම හොඳ දේවල් නෙවෙයි. ඒ නිසාමද මම දන්නේ නැහැ මම මේ ළමයින්ට හරි බයයි.

ඊට අවුරුද්දකට දෙකකට පස්සේ මම උසස් පෙළ ප්‍රථිපල එනකල් කොළඹ පුංචි රස්සාවක් කරපු කාලේ. එක සෙනසුරාදාවක බස් ස්ට්‍රයික් එකක්. මම නුවර යා යුතුම නිසා කෝච්චියෙන් කොළඹ ඉඳන් නුවර එනවා. අලව්වෙදී කෝච්චිය කැඩුනා. දැන් මම ඉතුරු ටික යන්න දන්නේ නැහැ. ඒ කාලේ මොබයිල් ෆෝන් එහෙමත් නැහැ. මගේ සීට් එකේ හිටපු ගෑණු ළමයා මට කතා කරා. ඒ උසස් පෙළ සමත් ගාමන්ට් සේවිකාවක්. මම නුවරට තනියම යන්න බයේ ඉඳිද්දී එයා නුවර ගිහින් අනුරාධපුරේටත් යන්න ඕනේ කිව්වා. එතන ඉඳන් නුවර යනකල් එයා මට ජිවිතේ ඉගැන්නුවා. සල්ලි ඉතුරු කරන හැටි,. පිරිමහලා වැඩ කරන හැටි, දෙමව්පියෝ සහෝදරයෝ කොහොම සැලකුවත් එයාලට ආදරේ කරන හැටි, පිරිමි ළමයි පස්සෙන් එද්දී පරිස්සම් වෙන හැටි, වගේ ගොඩක් දේවල්. ඊටත් පස්සේ කාලෙක මට කොළඹදී හම්බ උනා තවත් ගාමන්ට් නංගි කෙනෙක්. එයයි මමයි ටික කාලයක් එකම ගෙදර නතර වෙලා හිටියා. එයා ගාමන්ට් එකේ වැඩ කරේ උසස් පෙළ ඉවර වෙලා රිසල්ට්ස් එනකල් කැම්පස් යන්න සල්ලි ටිකක් ඉතුරු කර ගන්න. ඒ අවුරුද්දේ එයා බදුල්ල දිස්ත්‍රික් උසස් පෙළ අංක එක. ගාමන්ට් වල 'කෑලි' වලට වඩා අක්කලා නංගිලා ඉන්න බව ඔවුන් මට ඉගැන්නුවා.

ගාමන්ට් වල රෑ ශිෆ්ට් ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ රෑ 9.30 ට 10 ට වගේ. කලුවරේම ඇවිත් බස් එකට නගිනවා මම දවස් දෙක තුනක් බලන් ඉඳලා තියනවා. සමහරු දවසම හිටගෙන ඉඳලා ඉඳගන්නෙ බස් එකට ඇවිත්. පරවෙලා වගේ හිටියත් ඒත් හරිම ලස්සන මල්. කපන සෙක්ෂන් එකේ ළමයින්ගේ දකුණු අතේ මහපට ඇඟිල්ල ළඟ ලොකු කරගැටයක්. ඒ අත් දැන් පදම් වෙලා නිසා තුවාල වෙන්නේ නැහැ.

රෑ වැඩමුරය අවසන් වෙන කණිසමට
නුඹේ මුව පෙනේ පරවුන 'කුසුමක්' ලෙසට

තවත් සමහරු රෑ එලිවෙනකල්ම වැඩ කරනවා. කුකුළා හඬලන්නේ ඔවුන්ට නිදාගන්න වෙලාව මතක් කරන්න වගේ. ඒක ඔවුන් පෙර කරපු පව් කියලා කියන්න නම් මගේ දිව නැමෙන්නේ නැහැ.

අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

ඔව්. පරවෙලා වගේ හිටියත් ඒත් හරිම ලස්සන මල්. බඩුවක් කෑල්ලක් වගේ සමහරුන්ට පෙනුනට ඒ මගේ අම්මා අක්කා නංගි වගේ දකින්න හිතන්න පුළුවන්නම්.

අපේ දවසට පැය විසිහතරක් උනාට ඔවුන්ගේ දවස අපිට වඩා දිගද කියලත් හිතෙනවා. ගාමන්ට් ෆැක්ටරියක් බොහෝ විට ලොකු ශාලාවක්. සිවිලිමේ අඩි තුනෙන් තුනට වගේ විදුලි බුබුළු එලිය දෙනවා. ඒ ආලෝකයට ඇස් නිලංකාර වෙනවා. ඒත් දවසම ඒ එලිය යට පිච්චි පිච්චි මේ දියවෙලා යන්නේ ජිවිතේ හොඳම කාලේ. ලස්සනම කාලේ. සුන්දරම කාලේ. මේ ලස්සන ජිවිතේ දිය කරන්නේ සමහර විට තමන්ගේ ලෙඩ ඇඳේ ඉන්න අම්මව තව දවසක් ජිවත් කරවන්නද, ගහෙන් වැටුන තාත්තට බෙහෙත් බඳින්නද, නංගිලා මල්ලිලාට හොඳට උගන්නන්නද කියලා දන්නේ ඇයත් උඩ ඉන්න දෙවියනුත් විතරමයි වෙන්නත් පුළුවන්. ශාලාවේ මැෂින් ඔක්කොම එකාට එකෙක් නොදෙවෙනි වෙන්න කෑගහද්දීත්, ඒ සද්දේ ඒ හිත් වලට ඒ කන් වලට කරදරයක් නෙවෙයි. ඒ ඊට වඩා හයියෙන් ඔවුන්ගේ හිත් මහා හයියෙන් අඬන නිසා..

තුන් තිස් පැයේ දැඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහා හයියෙන් හඬන්නේ

මැෂිමේ ඝෝෂාව අමතක කරලා ඒ හිත් අඬන සද්දේ අපිට අහගෙන ඉන්න පුළුවන් නම්, මහා සාගරේ කොයි තරම් ලොකු උනත් ඊට වඩා මේ කඳුළු බර වැඩියි කියලා අපිට දැනෙයි. හුළඟ වෙලාවකට මහා සුළි සුළඟක් වෙලා ගස් වැල් පොඩි පට්ටම් කරගෙන හැමුවත් ඔවුන්ගේ සුසුම් ඊට වඩා වේදනාත්මකයි කියලා අපිට දැනෙයි. ජිවිතේ ලස්සනම කාලේ මෙහෙම දියවෙනකොට, ඒ දුක අතරේ ප්‍රේමය ආදරය විතරක්ම හොයාගෙන පියාඹාගෙන යද්දී, ඒ ආදරෙයි කියලා කියපු එවුනුත් උන්ට ඕනේ දේ විතරක් අරගෙන හරිම ආත්මාර්ථකාමී විදියට තමුන්ව බඩුවක්, ගාමන්ට් කෑල්ලක් කියලා හංවඩු ගහනකොට "මෙච්චර කල් මහලා තියෙන්නේ මගේ ජිවිතේ නේද?" කියලා ඔවුන්ටත් හිතෙනවා ඇති...

නුඹේ කඳුලැලිද සයුරේ රල නගන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජිවිතයද මහන්නේ


ගායනය: සුනිල් එදිරිසිංහ
ගේය පද: බන්ධුල නානායක්කාරවසම්
සංගීතය: රෝහන වීරසිංහ

~~නිසංසලා රත්නායක~~

සූ සැට බරණින් සැරසීලා....

සූ සැට බරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විශාකා තොමෝ පැමිණි විලාශෙන්
මට එන්නට බෑ නිසන්සලේ

පමා වුනෝතින් මන්දාරම් වැහි
පලාපු දර ටික තෙමා දමාවී
පමා වුනෝතින් රත්තියි පැටියයි
ඕවිට අයිනේ තෙමී නැහෙයි

පමා වුණොත් දොළ දෙගොඩ තලාලා
ඒ දඩු මන්කඩ අගුලු දමාවී
එහෙම උණෝතින් උපුලියි චූටියි
කදුලු වතුර බී බලා ඉදියි...

විශාකා සිටු දේවිය ගැන ඔය හැමෝම අසා ඇති.එක් අවස්ථාවක ඇය සිය යෙහෙලියන්,සේවිකාවන් සමග මහමග ගමන් කරන අතරතුර මහ වර්ෂාවක් ඇද වැටුනා.ඇය සමග සිටි අන් සියල්ලෝම වර්ෂාවෙන් බේරීමට කලබලයෙන් දිව ගියත් විශාකාව සිය සන්සුන් ගමන් විලාසය අත නොහැරි බව සදහන් වෙනවා.කලබලයෙන් සමූහයක් අතරින් දිව යාම හා ඉක්මන් ගමන කාන්තාවකට නුසුදුසු බවත් විශාකාවගේ චරිතය ආදර්ශයට ගන්නා ලෙසත් ගුරුවරුන් අපට උගන්වා තිබෙනවා..මේ ගීතයේ මුල් කොටස විශාකාවගේ මේ කථා පුවත අසුරෙන් නිර්මාණය වී තිබෙනවා.

මේ ගීතයෙන් කියවෙන්නේ එක්තරා කාන්තාවක් පිලිබදවයි.ඇයගේ ජීවිතයේ ඇති යම් දුෂ්කරතා හේතුවෙන් ඇයට විශාකාවගේ ගමන් විලාසයෙන් යාමට නොහැකි බවයි ඇය පවසන්නේ.

මම පමා වුණෝතින් මන්දාරම් වැහි විත් පලා දැමූ දර ටික තෙමේවි.මහ වැස්සට කොහිද හිතක් පපුවක් මගේ දුක දැනෙන්නට තරම්.රත්තියි පැටියයි ඕවිට අද්දර.වැස්සට කලින් උන්ව නිවසට ගෙන ආ යුතුයි.ඒ නිසා මට මේ වෙලාවේ විශාකා තොමෝ පැමිණි ලෙසින් එන්නට බෑ.

පමා වුවොත් දොළ දෙගොඩ තලා ඒ දඩු මාවත ජලයෙන් වැසී යාවි.එහෙම වුනොත් මා කෙසෙද නිවස බලා යන්නේ.මට යාමට නොහැකි වුවොත් දරුවන් බිය වී හඩාවි.ඒ නිසා මට විශාකාවගේ නිසන්සල ගමන් විලාසය අනුගමනය කරන්නට බෑ..

මෙහි සදහන් උපුලුයි චූටියි ඇයගේ දරුවන්.ඒ වගේම මේ කාන්තාවගේ දිවියේ ඇති දුෂ්කර බව, දිලිදු බව සහ ඇය ජීවත් වන පරිසරයේ ගැමිකම ගීතයේ මනාව ගැබ්වී තිබෙනවා.ඒ වගේම සමාජයේ බොහෝ කාන්තාවන් මුහුණ පාන අත්දැකීම් ඉතා සරලව නමුත් අර්ථවත්ව මෙහි ඇතුලත් කර තිබෙනවා. මෙහි සදහන් බොහෝ දේවල් කාන්තාවන් එදිනෙදා ජීවිතයේ මුහුණ පාන දේවල්.


~~යෝජිකා සංජීවනී~~



Friday 18 December 2015

සොදුරිය කාලය කොතරම් නපුරුද?

සොදුරිය.. කාලය කොතරම් නපුරුද.. කාලය අපිට කොච්චර වෙනස්කම් කරනවද.
අපේ බැදීමට.. ඔයාට මං ජීවිතයටත් වඩා ආදරය කලා.. කදුල සුසුම මැද මං ඒ ආදරය පරිස්සම කරා. ඒත් කාලය මේ හැමදේම උදුරගෙන ගියා නේද.. මගේ ආදරය. මගෙ සෙනෙහස .. හැම දේම මට නැති කරා.. කාලය මට නම් ගොඩක් නපුරුකම් කරනව වගේ....

සොදුරිය කාලය කොතරම් නපුරුද?
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොදුරිය


ගොඩක් මහන්සිවෙලා.. ගොඩක් දුක් විදල දිනාගත්ත මගෙ ආදරය. ඒ ආදරයට ඔයා හරියට කවියක් උනා. ඔයා මගෙ ජිවිතය උනා.. මතකද ඔයාට... එදා ඔයාගෙ තිබුන ඒ ආදරය. ඒ සෙනෙහස අද නම් සිහිනෙකින්වත් එන්නෙ නෑ වගෙයි.. ඒ ආදරය කොච්චර නම් මිහිරිද.. අතිතයට මං කොච්චර නම් ආදරය කලාද..

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොදුරිය

ලෝකෙටම හොරෙන් අපි කොයි තරම්නම් අපේ උනාද. අපි ගොඩක් බලාපොරොත්තුවෙන් හිටිය අපේ ලෝකෙට පුංචි පැටියෙක්.. එත් අපිට පැටියෙක් නම් ලැබුනෙ නෑ තමයි.. ඒ දුක අපි දෙන්න එකට විද ගත්ත මතකද.. අපේ ලොකුම හිනෙ සැබෑ නොවනකොට.. අපි දුක බෙදාගෙන තුරුල් වෙලා අඩපු ඒ කාලය අදට වඩා කොච්චර නම් හොදයිද.. කොච්චර නම් මිහිරිද... මොන දේ නැති උනත් එදා මට ඔයාගෙ ආදරය තිබුන..

ලොවට හොරා විළි ලා බිහි කරගත්
වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය

ගායනය - අමරසිරි පීරිස්

~~රසික ඉඳුනිල්~~


Thursday 17 December 2015

සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී

ආදරය හමුවේ සියළුම දේ පුස්සක් බවට පත් කරමින් ඇය තමන් ආදරේ කළ දමිළ ජාතිකයා සමඟ විවාහ වෙනවා. ඇය ඔහුගේ ජාතියට අනුව ජීවත් වුනත් ඇයගේ සිංහල ගති විටින් විට ඉස්මතු වෙනවා. ඇය හදවතට ඉඩ දීලා තීරණයක් අරගෙන ඔහු සමඟ පැමිණියත් ඇයට ජීවත්වන්න සිදුවන්නේ ගිනි ගොඩක් මැද. රචකයා එය අර්ථ දක්වන්නේ මේ ආකාරයට,


"සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනි ගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී"

ඇය නළලේ තිලකය තියනවා. මොකද ඇයගේ සැමියා දමිළ නිසා. නමුත් යම් යම් අවස්ථා වල ඇයගේ සිංහල ගතිය ඉස්මතු වෙනවා.

"දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී "

ඔහුට සිංහල තේරෙන්නේ නෑ. ඇයට දෙමළ තේරෙන්නේ නෑ. ඒත් ඔහු කියන ආදර බස් වලට ඇය වශී වෙනවා. ඔහුගේ ආදරය ඇයට සියළු බාධාවන් අමතක කර දමනවා. ඇය දන්නවා ඇය යන්නේ ගිනි ගොඩකට බව. ඒත් ඇය ඔහු සමඟ විවාහ වෙනවා. "ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී" ඔහු ගිනි අවියක් අතට ගත්ත අයෙක්. එහෙත් එය ඇය තකන්නේ නෑ. ඇයට අවශ්‍ය වන්නේ ඔහුගේ ආදරය, උණුසුම පමණයි.

‍යුධ ගිනි ඇවිලෙමින් පවතින යුගයක අවදානමක් රැගෙනයි ඇය මේ ගමන යන්නේ. තමන්ගේ ජාතියේ අය මියැදෙනවා ඇයට බලන්න සිදු වේවි. ඒත් තමන්ගේ ආදරය ඇයට බාර කරනවා ඔහු. මොකද එය ඇය රකින බවට ඔහුට තියන විශ්වාසය නිසා. ඇතැම් විට ඔහු මිය යන්නත් ඉඩ තියනවා. ඔහුගේ කඳුළු ඔහුගේ වේදනාව ඇයගේ අය වෙත ගෙනියන්න ඇයට හැකි වේවි කියලා ඔහු විශ්වාස කරනවා. "ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනඟ අඬාවී.... ඒ කඳුළු සිංහලට නගන්න ඔබට හැකිය ප්‍රියාවී.... ආදරේ නුඹට බාරයි රැක ගනින් දේවතාවී... " යුද්ධයේ ගිනි දැල් කොපමණ කුරිරුද කියා කිසිවෙකුත් දන්නේ නෑ. ඒත් උඹට පුළුවන් ඒක කියන්න. මා මළත් මගේ ආදරය පණ වගේ ආරක්ෂා කර ගනින්.

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

~~අකුෂ්ලා ෆනෑන්ඩු~~


වසත් කාලය මනරම් ...

වසන්තය ඉතා සුන්දර වේවි, නුඹ මගේ උයනේ නිකැලැල් මලක් වෙලා හැමදාම පිපෙනවා නම්. ඒත්.... නුඹ අන්සතු කැලැල් වුණු මලක්.

වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්
මගේ උයනේ නිකැලැල් පීදිලා එනු හැම කල්
ඔහු ව්‍යංගයෙන් කියනව, ඇය අන්සතු බිරිඳක් බවත් ඇය විවාහ නොවී නිකැලැල්ව ඔහු සතු වුනා නම් ජීවිතයේ තුරුණු විය ඉතා සුන්දරව ගතකිරීමට තිබුනු බවත්.

මම නුඹට පෙනෙන්න වත් ඉන්නේ, නුඹේ ලඟට ලංවෙලා ඒ ආදරේ විඳගන්න නොහැකිවීම ගැන ලතවිල්ලෙන්. මට නුඹට ආදරේ කරන්න තහනම් මොකද මම අන්සතු බිරිඳක්...
මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම්
අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම්
ඇය පවසන්නේ ඇය අන්සතු බිරිඳක් නිසා සමාජ සම්මතයන්ගෙන් පීඩා විඳින බව. ඒකයි ඇය දුරින් ඉඳන් ලතවෙන බව පවසන්නේ.

නෙලාගන්න බැරි මල් ඇයි මේතරම් සුන්දර, අකමැතිම මල් ඇයි මේතරම් ලඟින්. ඇයි මම ලබාගන්න ප්‍රාර්ථනා කරන සුන්දර මල මට නපුරු වෙන්නේ...
නෙලනු බැරි මල් ඇයි මේ සොඳුරූ
හිතක නැති මල් ඇයි මට නුදුරූ
පැතූ මලේ රුසිරූ මන්ද මට පස මිතුරූ
ඇය ගොඩක් සොඳුරු කතක්. ඔහු බොහෝවිට පිටත පෙනුම වගේම ඇයගේ ගතිගුණද සොඳුරු වග දන්නවා විය හැකියි. ඔහු අකමැති අය ඔහුට ලඟ බව පවසනවා. සමහර විට ඔහුත් විවාහකයෙකු විය හැකියි. නැතිනම් ඔහුට දෙමව්පියන් සොයාදුන් පෙම්වතියක සිටිනවා විය හැකියි. කෙසේ නමුත් ඔහු හිතන්නේ මේ අසල්වැසි අන්සතු ළඳ ඇයගේ ලස්සන නිසා ඔහුට පස මිතුරු වන බව. ඔහුට නපුරු වන වග.

ප්‍රාර්ථනා කල විදියේ බඹරෙක් නොලැබුණු මලක්. පිබිදෙන්නේ හුරු නැති දෑතක. ඉතින් සොඳුරු ආදරේ මට නොවෙයිද නපුරු වෙලා හතුරු වෙලා තියෙන්නේ...
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරූ
ආදරේ සොඳුරූ මට නොවෙද පස මිතුරූ
මම ප්‍රාර්ථනා කල විදියේ සැමියෙක් නෙවෙයි ලැබුනේ. මම ජීවත්වෙන්නේ වෙන අයෙකුට ඇවැසි විදියට.... මේ විදියට ඇය කියන්නේ, ඇයට විවාහයට පෙර පෙම්වතෙක් ඉන්න ඇති. නමුත් මේ නාඳුනන පුද්ගලයා එක්ක දෙමව්පිය කැමැත්තට විවාහ වෙන්න ඇති. ඒ නිසයි ඈ ඔහු ගෙන් අහන්නේ ඉතින් මට නෙවෙයිද ආදරේ හතුරු වුණේ.

වෙන අයෙක් නෙලාගත් මලක් වුණාට මට කමක් නෑ. මම දුරින් ඉඳන් රූසිරි නරඹනවා. ඒකට නපුරු වෙන්න එපා. මොකද කඳුල මගේ හොඳ යාළුවෙක්....
නෙළු මලක් වුව මල් ලොව කවුරූ
දුරින් ඉඳ මම නරඹමි රුසිරූ
නොවෙන් මට නපුරූ කඳුළ මගෙ ළඟ මිතුරූ
ඔහු මෙතනදි ආයාචනා කරනවා ඇයට, නුඹ කාට අයිති බිරිඳක් වුණුත් මට කමක් නෑ. මම දෑතින් ඉඳන් නුඹට ආදරේ කරනවා. නුඹ මට එයට නම් විරුද්ධ වෙන්න එපා. මොකද මට අහිමි වීම් හොඳට හුරුයි. මට කඳුළු පුරුදුයි. දුර ඉඳන්හෝ නුඹට පෙම් කිරීම මට සතුටක් කියලා ඔහු පවසන වගයි හැ‍ඟෙන්නේ.

මගේ හිත පුරාම නුඹේ රුව මැවිලා, ඇඳිලා.. මොන විදියකින්ද නුඹව මට අහිමි දුක වලක්වාගන්නේ.. නුඹ දුරින් ඉඳගෙන හදේ ගින්න නිවන්‍න. හැබැයි ගොඩාක් දුරින්නම් නෙවෙයි.
හිත පුරා ඇවිදින ඔබෙ පිළිරූ
අහිමි දුක වලකමි කොයි අයුරූ
දුරින් හිඳ නුදුරූ නිවනු මැන ගිනි පුපුරූ
ඇය පවසනවා ඇගේ හිත පුරාම ඔහුගේ රූපය මැවිලා තියෙන වග. එයින් කියන්නේ ඇය ඔහුට මුළු හදවතින්ම පෙම් කරනවා. ඒත් නුඹ මටම හිමි නැති දුක වලක්වන්නෙ කොහොමද?... ඇයම විසඳුමක් දෙනවා. - දුරින් ඉඳ නුදුරු - හරිම අපූරුවට ඇය කියනවා නිවසට දුරින් නමුත් මගේ හදවතට නුදුරින් ඉඳන් මේ ඇතිවුනු හදවතේ ගින්න නිවන්න කියලා... ඇය ඔහුගේ ආදරේ පිළිගන්නවා... තවත් අපූරු අනියම් පෙම් කතාවක ආරම්භයක්....

~~දිලානි වැලිවිටිගොඩ~~

චන්ද්‍ර මණ්ඩලේ සැඟවුන පුංචි සාවියේ(2)

ඔයාලා කාටහරි තියනවද කොච්චර ඇහුවත් පරණ වෙන්නේ නැති, ආය ආය ඇහුවට ඒක මුලින්ම අහනකොට දැනුන හැඟීම මැරෙන්නේ නැති සිංහල සිංදු.


'අපේ බත් පිඟාන මුහුද ඇවිත් අරන් ගිහින්...' කියන සිංදුව ඇහෙනකොට අදටත් මගේ පපුවේ මොකක්දෝ ලොකු ගුලියක් හිරවෙනවා වගේ. 'සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පලස එලා..' කියන්නෙත් මගේ ලෝකෙ පරණ වෙන්නෙ නැති සිංදුවක්. ඒ වගේ සිංදු ගණනාවක්ම තියනවා.

මම ඉස්සර ඉඳලම හරි ආසයි තනුවට ගායනයට වඩා පද වැල විඳින්න. මට ඒකෙ අමුතු රහක් තියනවා. ඒත් මේ ජීවිත කාලෙදි වැඩිපුරම දැනුන සිංදුව මොකක්ද කියලා ඇහුවොත් මට කියන්න එකක් තියනවා. මේ ආසම එක නෙවෙයි හොඳේ. හොඳටම දැනුන එක. ඒක කොච්චරවත් අහලා ඇති. ටිකක් චූටි කාලෙ හිතන් හිටියෙ හඳ ගැන කියන්නේ කියලා. ඒත් ඒක හරියටම දැනුනේ කතාව තේරෙනකොට.


"චන්ද්‍ර මණ්ඩලේ සැඟවුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පහන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ..."

හැමෝම අහලා ඇතිනේ. මේ සිංදුවේ නිධාන කතාව කියවලා දවස් ගාණක් යනකල්ම මට මේ වචන පුදුම විදියට දැනුනා. චිත්‍රපටියක් වගේ ඒ රූපෙ හිතේ ඇඳෙන්න ගත්තා. අම්මත් නැතුව කාගෙවත් සරණක් නැතුව දහදුක් විඳලා බඩට නොකා හදාගත්තු එකම කෙල්ල, තමන් ආදරේ කරන කොල්ලත් එක්ක පැනලා යනකොට "පට්ට..." කියලා පටන් අරන් අර කෙල්ලගේ පැටිකිරිය දිගහරින තාත්තලා ඉන්න සමාජෙක 'චන්ද්‍ර මණ්ඩලේ සැඟවුන පුංචි සාවියේ..' කියලා ඒ තාත්තා දරුවට ආමන්ත්‍රණය කරද්දි මගේ හිත හිරි වැටුනා. ඇත්තමයි. අනෙකාට එහෙම ආදරේ කරන්න පුලුවන් අපි කීයෙන් කීදෙනාටද? අපිට එහෙම ආදරේ කරන්න පුලුවන් නම්... 'ගෙදර පහන නිවුනා' වගේ. මුලු ගේම අඳුරුයි. මට පාලුයි. මේ තාත්තා කෙනෙක්.

'ලාබ රත්තරන් දිලිසෙන පාලු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ'
පැනලා යන එක මට මැජික් එකක් නෙවෙයි පුතේ. ඒක තුන්කල්හිම වෙන සහ වෙන්න පුලුවන් බොහොම සරල සිද්ධියක්. ඉස්සරත් ඕනෙ තරම් එහෙම දේවල් උනා. ඒත්,
'උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ...'
මෙච්චර ආදරේ කරපු දරුවා අතරමංවෙයි, තනිවෙයි කියන බය විතරමයි තියෙන්නේ. වෛරය තරහව අහලකවත් නෑ. ඇත්තමයි. මේ වචන ලියද්දිත් හිත හිරිවැටෙනවා.

'මාල බැඳන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ..'
ගේ වටේ පාරෙ කැරකුන කොල්ලෝ සුදු යකඩ මාල බැඳන් හිටියේ. වයිට් ගෝල්ඩ් නෙවෙයි. "මගේ කෙල්ලට අඳින්න පලඳින්න දෙනවා තියා කන්නවත් නැද්ද දන්නේ නෑ!..." කියන ඔක්කොම එතන තියනවා. ඒත්
'හීනෙනුත් දැනුනෙ නෑ මට මොකද කාරනේ..'
දැන් කෙල්ල ගිහින් ඉවරයි. කොහේ ඉන්නවද කියලවත් දන්නෙ නෑ. ඒ උනත් නිකමටවත්, හීනෙන්වත් මම කොහොම හිතන්නද මගේ කෙල්ල මට එහෙම කරයි කියලා.
ඒත් අන්තිමට "මගේ මරණෙටවත් තෝ එන්න එපා.." කියලා කියන්න පුලුවන් තරම් දුකක් තනිකමක් හිතේ තියෙද්දි "පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ..." කියනකොට හිත කීරි ගැහෙනවා. ඇයි අපිට බැරි මෙහෙම ආදරේ කරන්න. කොච්චර අපිව රිදෙව්වත්.

~~නිසංසලා රත්නායක~~


දවසක් පැල නැති හේනේ.......

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ..

ගායනය: ගුණදාස කපුගේ
ගේය පද: රණ්බන්ඩා සෙනෙවිරත්න


ගුණදාස කපුගේ මහතා විසින් ගායනා කරන මේ ගීතයෙන් කියවෙන දේ ගීපද රචක රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ජීවිතයට හුඟක්ම සමීපයි. තමන්ගේ කුඩා කාලය ගැන තමන්ගේ අම්මා ගැන සහ ජීවිතයේ සිදුවුණු වෙනස්කම් ගැන ගීතයේ සඳහන්.
භාෂා භාවිතයේ ඉතා අලංකාර තැන කිහිපයක් ගීතයේ දක්නට ලැබෙනවා. වචන වල තේරුමට වඩා එහා ගිය ගැඹුරු අරුතක් ගීතය සතුයි. එවැනි අවස්ථා කිහිපයක් පහතින් දැක්වෙනවා.
ගීතය පටන් ගන්නේ "දවසක් පැල නැති හේනේ" යන පද පේලියෙන්. පැල නැති හේනක් කියන්නේ කිසිම ආරක්ෂාවක් නැති තත්වයක්. පියා නැති පවුලකටත් ඒ වගේ. පියා නැතිව අම්මා තනිවම ගැටළු වලට මුහුණ දුන්න.

"පායන තුරු හිටි පියවර හිටිය ඔබ අම්මේ "

කියන්නේ අම්මා තවත් කසාදයක් කරගන්නේ නැතුව ප්‍රශ්න වලට තනිවම මුහුණ දීගෙන හිටිය එක කියල සමහර තැන වල සඳහන් වෙනවා.

"නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගිය යෝධ ඇලේ නැම්මේ "

තරුණ වියට එළඹුණු ඔහු නගරයට ගියා. එහිදී ඔහුට හමුවුණු කාන්තාවක් විවාහ කරගත්තා. මෙහි කියවෙන යෝධ ඇලේ නැම්මේ කියන කොටස ගැන කිහිප තැනකින් ඉතා අලංකාර විචාරයන් හොයා ගන්න පුළුවන් උනා. ඒවගේ සඳහන් විදිහට යෝධ ඇල කියන්නේ සැතපුමට අඟලක බැස්මක් තියෙන ඇළක්. ඒ වගේම තමා බිරිඳගේ ආදරයත්. ටික කලක් ගියහම තමයි තේරෙන්නේ ඇත්ත තත්වේ. නමුත් අම්මගේ ආදරය ඒ වගේ නැහැ. සදාකාලිකයි.
බිරිඳ ඔහු හැර ගියහම අම්මගේ සෙනෙහස මතක වෙනවා.

"ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ"

ගීයේ අවසානය විලාපයක්. එයින් අදහස් වන්නේ තවදුරටත් අම්මා ඔහු එන තුරු බලා සිටීමට ජීවතුන් අතර නැති බවයි. වෙනත් අදහස් තියෙන්න පුළුවන්. ගීතය අසා ඒ ගැන තීරණය කිරීම ඔබ සතුයි. රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ජීවිතයට සමීප, මවු ගුණ ගැන කියවෙන මෙම ගීතය සිංහල ගීත ඉතිහාසයේ එන ඉතාම ගැඹුරු අරුතක් සහිත ගීතයක්...

~~මනෝජ් අසංක~~




නව දැලි හේනක පෑව වැඳිරි රුව

නන්ද කුමාරයගෙ කතාව දන්නවනෙ... නන්ද කුමාරය මහණ වෙන්නෙ කැමැත්තෙන් නෙවෙයි.. . හිත තිබුනෙ තමන් විවාහ කරගන්න හිටපු ජනපද කල්‍යානි ගැන.. ඉතින් නන්ද කුමාරය දිනෙන් දින පිරිහෙනව. ශාරිරක වගේම මානසිකවත්.. මේක අනෙක් භික්ෂුන් වහන්සේලා බුදුරජානන් වහන්සෙට කියනව..


බුදු හාමුදුරුවො නන්ද හාමුදුරුවො කැදවල.. දිවිය ලෝකෙ එක්ක යනව.. . මේ යන ගමන් අලුතින් හේනක් දන්න පුලුස්සපු කැලේක බාගෙට පිච්චුන වැදිරියෙකුත් පෙන්නගෙනයි යන්නෙ.... ඉතින් දිවිය ලෝකෙට ගිහින් දිව්‍ය අංගනාවන් පෙන්නල ආපහු එක්ක එනව. අවිත් බුදුහාමුදුරුවො අහනව නන්ද ඔයාගෙ ජනපද කල්‍යානි .. සුරංනාවියො අතරයි වෙනස කොහොමද කියල.. එතකොට නන්ද හාමුදුරුවො කියනව. දිව්‍ය අංගනාවො එක්ක බලද්දි ජනපද කල්‍යානි අර හේනෙ බාගෙට පිච්චිලා හිටපු වැදිරි වගේ කියල... කාථාව තව දිගයි.
.

ඉතින් මේක නුතන නන්ද කෙනෙක් කියන කතාවක්... හැබැයි මේ නන්ද කුමාරය අර කතාවෙ වගේ කෙනෙක් නෙවෙයි.. මගේ කෙල්ලට වඩා ලස්සන අය ඉන්නව.. එක් මං දන්නව. එත් මං ආදරය කල මගේ කෙල්ලට මට නින්දා කරන්න බෑ.
මගේ ඇස් දෙක ලස්සනට රැවටෙන්නෙ නෑ..

"නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා

ලස්සන සුරංගනාවියන් දැක්ක . හිතේ හැටියට බැලුව.. එත් මං හදුනන මගේ හදවතේ ඉන්න ජනපද කල්‍යානි මට ගොඩක් ලගයි. මේ සුරංගනාවියන්ගෙන් මට වැඩක් නෑ...

සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි
සිත්ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා

මගෙ හිත හොදටම ලෙඩ වෙලා.. රැයක් දවාලක් නැතුව ජනපද කල්‍යානිම හොයනව. මං දැකපු සුරගනන් ඔනෙ නැ මට.. හදවතින් අාදරය කරපු. හදවත හදුන ගත්ත මගෙ ජනපද කල්‍යානි තමයි මට ඕනෙ...

"මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැය ද දිවා
නෙත දුටු සුරඟන රූසිරි කුමට ද
හද දුටු ජනපද කලණ නිසා"

ගි පද.. තනුව.. ගායනය කියන තුනම සෝමතිලක ජයමහ

~~රසික ඉඳුනිල්~~