Monday 30 November 2015

සිත ඔබ පාමුල රඳවා...

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා....

අසුරු සැණක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක්සේ
සදා රැඳේවා ඔබේ ලොවේ.....

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ
සදා රැඳේවා ඔබේ හදේ...

ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
තනුව : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ


මගේ සිත හරියාකාරව හැඳින ගන්නට හැකිවුනේ නුඹට පමනයි. මනැස කෙතරම් සතුටු වුනාදැයි කියා මා දන්නේ නෑ. හිත නම් ගොඩාක් සතුටු වුනා. ඒත් හිතට නොදැනුනු මොකද්දෝ මන්දා කිසියම් නුහුරු හැඟීමක් දැනුනෙ මනසට. ඒක මොකද්ද කියල කියන්න තේරුනේ නැතත් එය ක්ෂණයෙන් අමතක කර දැමීමට පැමිනියේ හිත.


හිත ඔබට නොසෑහෙන ලෙස පෙම් බැන්දා. මනසේ නැගුනු සිතුවිලි මකා දැම්මේ හිත. ඒ සිතුවිලි මනස්ගාත බවට පත්කලෙත් හිතම තමයි. මටත් වඩා මගේ සිත ඔබට ලෙන්ගතු වුනා. හිත යන වේගය වැඩියයි කියන්නට මේ මගේ හිත කිසිවිටක මනැසට ඉඩ ලබාදුන්නේ නෑ.


එහෙව් හිත අද තිබෙන්නේ කොතැනද? මට එය තබාගන්නට "හිතක්" නෑ. ඔබේ පාමුල මගේ හිත තබන්නම්. ඇයි ඒ එය ඒ තරමටම නොවටිනා නිසාද? එසේත් නැතිනම් ඔබේ පය ලඟ දැවටෙන දුහුවිල්ලකටවත් සම කරන්න බැරි නිසාද? එය ඔබට බාරයි.


ඔබේ ලෝකයේ රැජිනවී කිරුළුපලන්නට බලාසිටි මාහට දැන් අහිමි විජිතයකින් සමුගෙන යන්නට සිදුවෙලා. නිකම්ම නොවෙයි, බිඳුනු සෙනෙහසේ ගිණ්දරත් කර පින්නාගෙන.
ඔබට දුකක් තැව්ලක් නොමවේවායි, මගේ ප්‍රාර්ථනය.


ඉතින් මේ අහිංසක යුවතිය බිඳුනු පෙමත් තුරුළු කරගෙන ඔහුගෙන් නික්ම යන්නේ ඔහුට ශාප කරමින්වත් ඔහු කෙරේ ද්වේශයකින්වත් නොවේ. තමාට මේ ලැබුනු දුක ඔහුට හිමි නොවේවායි ප්‍රාර්තනා කරමින්.
ඇයට සිහියට නැගෙනවා ඔහු හා ගතකල සුන්දර අතීතය. ඒ සොඳුරු කාලය ඔහු තුල සදහටම මැකී නොපවතීවායැයි ඇය ප්‍රාර්ථනා කරන්නීය.


ඔහුගේ වෙනස්වීම ඇයට කිසිසේත් දරා ගැනීමට නුපුළුවන. තමාගේ හද මල සැනසූ සැතපූ ඔහු සිත වෙනකෙකු වෙත යාවුනාවත්ද? තමාව නොසලකා හැරීමට තරම් ඔහු සිත කුරිරු වුනේ මන්ද?


ඔබට මගේ හිත පුදදී අවසානයි. එසේනම් ඒ හිතේ විරාගය ඔබේ සිතෙත් රැඳෙන්නට ඕනෙ. නිකම්ම නෙමෙයි කැටපත් පවුරක ලියැවුන ගීතයක් විලසට.


ඒ කියන්නෙ ඔබේ හිතේ හැමදාටම මා ජීවත්කරවන්න. මට ඔබේ විජිතය අහිමි නමුත් ඔබේ සිත තුල ජීවත්ව එහිම මියැදෙන්නට ඉඩ දෙන්න. මේ ජීවිතයේ, මින් මතු ජීවිතයේ පමනක් නොව සදාකාලයටම!!!!!!!

~~තේජන අබේදීර~~


Friday 27 November 2015

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ....


දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ගායනය - අප්සරා ද සිල්වා
සංගීතය - ප්‍රියන්ත ඩිරෙක්ස්
පද රචනය - චාරුක සුරවීර

මේ ගීතය මම මුලින්ම දකින්නේ සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ ජාතික රූපවාහිනියේ විකාශයවූ 'යාත්‍රා' වැඩසටහනේදී. මේ ගීතය කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාණයක්. ගායිකාව අප්සරා ද සිල්වා, ඇය එවකට විශ්ව විද්‍යාලයේ සිටි හොඳම ගායිකාව. ගේය පද නිර්මාණය චාරුක සුරවීර. 'උක්කුං මහත්තය' කියල රේඩියෝ චරිතයක් මතකද, ඒ ඔහු චාරුක සුරවීර. සංගීත නිර්මාණය ප්‍රියන්ත ඩිරෙක්ස්, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි මාෂල් වරයෙක්. මේ ගීතය පටිගත කර තිබෙන්නේ බිෂොප් පැලස් ශබ්දාගාරයේදී. වයලීනය වාදනය කර තිබෙන්නේ රෝහණ ධර්මකීර්ති සංගීතවේදියානන් විසින්.

ඉතින් මේ ගීතය බිහිවෙලා තියෙන්නෙ රුසියානු සංස්කෘතිය ආභාෂයෙන්. මෙහිදී රුසියානු සාහිත්‍ය ගැන සිත් යොමුවන්නේ නිතැතින්. චින්ගීස් අයිත්මතෝව් ගේ 'ගුරු ගීතය', මිහායිල් ෂෝලහොව් ගේ 'පෙරලූ නැවුම් පස',මක්සිම් ගෝර්කිගෙ 'ළමාවිය, මගේ සරසවි, මිනිසුන් අතර, අම්මා', ජනප්‍රිය සාහිත්‍ය කෘති අතරට වැටෙන්නේ නිරායාසයෙන්.

නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ 'How the steel was tempered' එහෙම නැතිනම් සිංහලට පෙරලූ පසු  'වානේ පන්නරය ලැබූ හැටි' හි ප්‍රධාන චරිතය වන්නේ 'පාවෙල් කොර්චාගින්'. මේ පාවෙල් තමයි පවුලූෂා ලෙසට අප අතරට පැමිනෙන්නේ. ඉතින් කොහොමද මේ පවුලූෂා 'ඉවාන් පවුලූෂා' වුනේ. ඔබ ලස්සන වසිලිස්සා කියන පොත කියවා ඇත්නම් 'ඉවාන්' කියන චරිතය මතක ඇතුවාට සැකයක් නෑ. මේ ගීතයේ ප්‍රධාන චරිතයක් වන ඉවාන් පවුලූෂා මේ ආකාරයට හැදෙන්නට ඇති. ගීතයට පදනම් වෙලා තියෙන්නේ 'වානේ පන්නරය ලැබූ හැටි' හි පාවෙල් කොර්චාගින්ගේ කතාවයි.

මෙහිදී මටනම් 'නිකොලායි ඔස්ත්‍රොව්ස්කි' ගැන නොකියා ගියොත් එය සෑහෙන අඩුපාඩුවක් ලෙසට දැනේවි. ඔහු සෝවියට් දේශය පෝලන්ත හමුදා  වලින් බේරාගැනීමට සෑහෙන කැපවීමක් කල පුද්ගලයෙක්. ඔහුට ජීවත් වීමට ලැබෙන්නේ අවුරුදු තිස් දෙකක් වැනි කෙටි කාලයක්. එයිනුත් වසර දොළසක්ම ගතකරන්නේ රෝගීව. ඉතාම දුක්බරම සංවේදී කොටස වන්නේ අවසාන වසර අට ඔහු ගත කරන්නේ අඳුර සමග. ඔහු අන්ධභාවයට පත්වෙනවා. මෙන්න මේ අවදියේදී තමයි මොහු අතින් 'වානේ පන්නරය ලැබූ හැටි' ලියැවෙන්නේ. ඔහුගේ නොපසුබට උත්සාහය මෙහිදී අගය කල යුතුමයි.  

ඉතින් ගීතයේ පසුබිම සහ රුසියානු සාහිත්‍යය ගැන කතා කරා ඇති කියලා හිතෙනවා. ගීතය දෙසට අප මනැස යොමු කරමු. 'දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ'
මෙහිදී 'හිම' යන වචනයේ යොදාගැනීම පැසසුමට ලක්විය යුතුයි, මන්දයත් එයින් අපට අදහස් දෙකක් හිතාගන්න පුලුවන්. පලමුව හිම යනු අයිස් ලෙස ගත හැකියි. ජීවිතයේ පවතින හිම දියවීම මෙහිදී කියැවේද? එහෙමත් නැතිනම් හිම යන්න 'මොහොත' ලෙස අර්ථ දැක්විය හැකියි. 'හෙට උදය වන විට ජීවිතය දියවී යාම' යැයි සිත්න්නටත් පිලිවන.

මෙම ගීතයේ කතා නායිකාව 'ඉවාන් පවුළුෂා' කියන රුසියානු තරුණයාට පෙම් බඳිනවා. තරුණිය, තරුණයා පිලිබඳව සෑහෙන විමසිල්ලකින් සිටින බව පෙනේ. තරුණයාගේ නෙත වරක් මේ තරුණිය කෙරේ යොමුවෙනවා. ඇයගේ ලාලිත්‍යයට ඔහුගේ නෙත් ඔහුටත් හොරෙන් මේ තරුණිය වෙත ඇදී යාමනම් කෙසේ වලක්වන්නද? තරුණියට මෙය වැටහෙනවා, 'ඇයි මගේ දිහා හොරෙන් බලන්නෙ, මාත් එක්ක නැටුමකට එන්නට අදහසක් නැද්ද?' මගේ බඳ වෙලාගෙන මා සමග නර්ථනයේ යෙදෙන්නට පමා ඇයි?'

ඉතින් මේ කාලය නම් එතරම් යහපත් කාලයක් නොවේ. මොකද රුසියානු සිවිල් යුද්දය පැවතුනු 1920 වර්ශයේ තමයි අප සිටින්නේ. මේ තරුණයා බොල්ෂෙවිකයන්ගේ පක්ෂය නියෝජනය කරමින් තමයි සටනට එක්වන්නේ. මෙම යුදමය කටයුතු නිසා ජීවිතය දැඩි අවදානම් තත්වයක පසුවන බව  ඔවුන් නොදන්නවාම නොවේ. හෙට දිනයේ ජීවිතය ගැන විශ්වාසයක් නෑ, ජීවිතය අඳුරු අගාදයකට ඇද වැටීමටත් ඉඩකඩ බොහොමයි. 'අනාගතයේ වෙන දෙයක් වෙද්දෙන්' යැයි සිතන මේ තරුණිය, තරුණයාට ඇය සමග ගී ගයා බැලලයිකාව වයා සතුටු වන ලෙසට ආරාධනා කරනව. සටන් පාඨ කියමින් මහමග යනවාට වඩා  මෙසේ මොහොතක් හෝ සතුටුවෙන්නට උත්සාහ කරමු' ඇය පවසනවා.

ඇය මේ සඳහා ඔහු පොලඹවා ගැනීමට දිගින් දිගටම උත්සාහ කරනවා.
අපි නර්ථනයේ යෙදෙමු, එයින් අපිට රූබරයක් වත් නෙලාගන්නට හැකිවෙයි. ඇත්තටම පවුළුෂා, අපට රූබරයක තරම්වත් සතුටක් ලබන්න පුලුවන් වෙයි. ඒ සතුට සැමරීමට අපි ගී ගයා නටමු. බැලලයිකාව වගේ මාව තුරුල් කර ගන්නවා නේද? කියන්න පවුළුෂා. මගේ එකම සිහිනය ඔබ සමග 'මෂූර්කා' නැටුමකට එක්වීම. අද විතරක්වත් මා සමග නැටුමට එන්න.

පවතින සමාජ තත්වයෙහි ඇති විපරීත බව ඈ මනාව ගෙනහැරපායි. 'හිනහවෙවී අපි නැටුවත් පොලොවට මොන වෙහෙසක්ද? අපේ මහන්සිය වෙනුවෙන් කඳුලැලි, දහඩියකෙතරම් හෙලුවත් මහ කලු ගල් වලට එයින් පලක් නෑ. ඔවුන්ගේ සිත් උනුවෙන්නේ නෑ. හැබැයි එහෙම උනා කියල මගේ හිතේ දුකක් නෑ. මගේ හිත වාවන් නැත්තෙ ඔබ නිසා පවුළුෂා. ඔව් ඒ ඔබ නිසාමයි. මම විතරක් නෙමෙයි, අනෙක් තරුණියන් පවා ඔබගේ එක බැල්මකට වශී වෙනවා. මගේ හිත හරිම කලබලයි, හරියට ගිනි ජාලාවක් වාගේ. ඔබේ උරහිසේ සැතපෙන්නට මම ආසයි. ඒකෙන් මගේ හිතේ තියන ගිනි නිවී යාවි.

එන්න පවුළුෂා අපි නටමු, මෂූර්කා නැටුම අපවත් ඕන වෙලා වගේ. ඔබයි මමයි, ඔව් ඔබයි මමයි....


~~තේජන අබේදීර~~


Thursday 26 November 2015

සායම් කිරිල්ලී..

උසස් පෙළ උපකාරක පන්ති යන කාලෙ සිදුවුන සිදුවීමකින් ආරම්භ කරන්න හිතුනා. අපි ක්ලාස් ගියේ
නුගේගොඩ රොටරියට, සක්යා එකට සහ ලීඩ්ස් එකට. මේ කියන සිදුවීම වුනේ රොටරියේ මහින්ද බණ්ඩාරණායක සර්ගෙ ක්ලාස් එකේදි. අපේ ක්ලාස් එක තිබුනෙ වලේ, වලේ තියන ක්ලාස් හෝල් එක රොටරියට ගිය කවුරුත් දන්නවා ඇති. මහින්ද සර්ගෙ ක්ලාස් එකේදි අපි හිටියෙ හරිම සැහැල්ලුවෙන්. වලේ හෝල් එක තරමක් විශාල බව ඔබලා දන්නවා. ඒක පිරෙන් ගානට සිසුන් හිටියේ නෑ. බොහොමයක් ළමයි හිටියෙ තැන් තැන් වල. සමහරු එක ඩේස් එකක තනියම හිටියා. සමහරු කල්ලි ගැහිල හිටියා. තවත් සමහරු පන්තියෙ කොනකට වී තනියම හිටපු අවස්ථාත් නොතිබුනා නොවේ.

ඉතින් සර් දවසක් පන්තියේ පාඩම කරන අතරතුර එතරම් උසක් නැති, සාමාන්‍ය ශරීරයකින් හෙබි ළමයෙක් සර්ව හම්බවෙන්න ආවා. ඒ ළමයාගේ අතේ 'බුක් මාර්ක්' බන්ඩලයක් තිබෙන බව අපට පෙනුනා. සර් අපිට කිව්වා මේ ළමයා දුර ඉඳන් ඇවිල්ලා ඉන්නෙ, ඔහු 'ඒක පුද්ගල ස්වර දැහැනක්' කරනව ඒකට උදව්වක් විදියට 'බුක් මාර්ක්' එකක් ගන්න කියලා. අපිත් විරුද්දවුනේ නෑ. අපි වගේම කොල්ලෙක්නෙ.

හැබැයි සර් කිව්වා එහෙම නිකන්ම 'බුක් මාර්ක්' විකුනගෙන යන්න එපා, අපිට සිංදුවකුත් කියල යන්න කියල. ඒ ළමයා ඉතා කැමැත්තෙන් එය බාරගත්ත. අපෙන් ඇහුව මොන සිංදුවද කියන්න ඕනෙ කියල. අපි සර්ට කිව්වා සර් කැමති සින්දුවක් තියනවනම් එයාට කියල කියවන්න කියල. සර් ආස වුනේ චන්දන ලියනාරච්චිගෙ 'පොල් රුප්පාවේ' කියන ගීතයට. ඉතින් ඒ ළමයා ඉතාම ලස්සනට ඒ ගීතය ගායනා කලා. හැම සිසුවෙක් වගේම 'බුක් මාර්ක්' එකක් ගත්තා. මම එදා ගත්ත 'බුක් මාර්ක්' එක අදටත් මා ලඟ තියනවා.

ඉතින් කාලය ගෙවිල ගිහිල්ලා 'සුපර් ස්ටාර්' උන්මාදය පැමිනියා. එදා රොටරියේදී අපි ඉස්සරහ සිංදු කිව්ව කොලු ගැටයා මෙන්න සිරස සුපර් ස්ටාර් වේදිකාවෙ. මම ඔහුව හඳුනා ගත්තෙ නමින් සහ 'බුක් මාර්ක්' එකේ තිබුන මුහුනින්. එහි තිබුනෙ 'අනුරාධ ගී දැහැන' කියල. ඉතින් මේ අනුරාධ, සිරස සුපර් ස්ටාර් 'සීසන් 1' වල නමවන ස්ථානයට පැමිනියා. එදා සුපර් ස්ටාර් නැරඹූ ඔබට මතක ඇති ඔහුගේ කටහඬ.

ඉතින් සුපර් ස්ටාර් හරහා ජනප්‍රිය වු අනුරාධ මේ වනවිට ගීත රාශියකටම තම මදුර කටහඬ ලබාදී අවසන්. අද මම කියන්නට යන්නේ ඔහුගේ 'සායම් කිරිල්ලී' කියන ගීතය ගැනයි. ආ....දැන් ඉතින් ඔබ දන්නවානෙ මේ කියන්නෙ කා ගැනද කියල. ඔහු තීක්ෂණ අනුරාධ.

සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ
මාදම් කැලෑවේ මුවා උනා දෝ

මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුළේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං

තරහා වෙලා කඳුළැල් සලා
වරුවක් ගෙවීලා ගියා
නොදනී ඔයා කොහිදැයි කියා
මං සීතලේ තනි වෙලා

මල් දම් බදින්නම්......
සායම් කිරිල්ලී......
මල් දම් බදින්නම්......

කෝලම් කළේ බොරුවක් කියා
නොදනීද තරහා වෙලා
හිනැහී බලා සනසන්න මා
තව ඉන්න බෑ තනි වෙලා

කසුන් ප්‍රිමාල් ගේ ගී පද වැලකට සංගීත නිර්මාණය සඳරුවන් ජයසිංහගේ.

පෙම්වතා තම පෙම්වතිය දකින්නේ 'සායම් කිරිල්ලියක්' විලසට. 'කිරිල්ලිය' නිතර පෙම්වතිය වෙනුවෙන් යෙදන අවස්ථා තිබුනත්, මේ සායම් කිරිල්ලිය අපට බහුලව හමුවන්නේ නෑ. සායම් යනයෙදුම සමග ලස්සනක් ජනිත වෙනවා වගේම කෝල බොළඳ බවකුත් සැඟවිලා තිබෙනව කියල තමයි මගේ හැඟීම. පලමු පද පේලි වලින්ම පෙම්වතියගේ ඇති බොළඳ කම ඉස්මතු වෙනව. සායම් කිරිල්ලිය ඔහුව මගහැර ගිහින්, හරියටම කියනවනම් ඔහුට නොපෙනෙන්නට සැඟවිලා. ඉතින් ඇයි මේ පෙම්වතිය සැඟවිලා.. ඒක පසුව බලමුකො. පෙම්වතා නොයෙක්   උත්සාහ වල යෙදෙනව පෙම්වතිය සනසා ගැනීමට. මම ඔබට පෙම් ගීත ගායනා කරන්නම්, ඔබගේ හුරතලයේ දැවටෙන්නම් යනාදී වශයෙන් පවසා කෙලින්ම ඇයට තම ආදරය නොසඟවා ප්‍රකාශ කරනවා.

දෙවැනි පද පෙලින් කියැවෙනව ඇය ඔහු සමග තරහ වෙලා. ඇය සැඟවිලා කඳුලු සලනවා. පෙම්වතාට ඇයව නැතිව ගෙවුන කාලය ඉතා අපහසුවෙන් ගෙවූ බව පවසයි.
 ' නොදනී ඔයා කොහිදැයි කියා
මං සීතලේ තනි වෙලා'

ඉතින් පෙම්වතා ඇයව සනසන්නට හදනව. 'මම විහිලුවක්නෙ කලේ, ඔයාට විහිලු තෙරෙන්නේ නැද්ද? මට ඔයා ලඟින්ම ඉන්න ඕනෙ. ඉතින් මා දිහා බලන්න. ඔය මුවේ සුන්දර සිනාවෙන් ආයෙත් මාව සනසන්න'

ඉතා සරල බසකින් ආදරයේ එක් පැතිකඩක් හොඳින් නිරූපණය කිරීමට මේ ගීතය සමත්වෙලා තිබෙනව.

~~තේජන අබේදීර~~


Tuesday 24 November 2015

උදුම්බරා හිනැහෙනවා..(හඳුනාගත්තොත් ඔබ මා)

උදුම්බරා හිනැහෙනවා
ඉර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක
සැනසෙන එක හැන්දෑවක
උදුම්බරා හිනැහෙනවා......

මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා.....

කළුවර දුම එක හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරි සල්කිරි උදුම්බරා.....
සිනා කදුළු වගුරනවා

ආදරයේ ඔබ ඔබමය
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා......
හඳුනාගත්තොත් ඔබ මා......
හඳුනාගත්තොත් ඔබ මා......

ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම......
හඳුනාගත්තොත් ඔබ මා......

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය

උදුම්බරා කඳුළු සළයි......
උදුම්බරා කඳුළු සළයි......
කදුළු සළයි.... කදුළු සළයි.....

ගී පද : ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර

වර්ශ 1978 දී තිරගත වුනු 'බඹරු ඇවිත්' ධර්මසේන පතිරාජයන්ගේ සිනමා සිත්තමකි. මෙහි ධාවන කාලය පැයක සහ මිනිත්තු පනහකින් යුක්තය. විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ, විමල් කුමාරද කොස්තා,දයා තෙන්නකෝන් සහ අමරසිරි කලංසූරිය චරිත නිරූපණය කලෝය. සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.
මෙම ගීතය රචනාකර ඇත්තේ ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි. ඩබ්ලිව් ජයසිරිගේ දෙවන ගී පද රචනය මෙය වන අතර ඔහු ප්‍රතමයෙන් ගීයක් ලියාදී ඇත්තේ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාටය. ඒ “ සුළං හමයි, ලොව නැළවෙයි නිදි කුම්බා මල් කැකුළී ‘ කියන ගීතය. ධර්මසේන පතිරාජයන් ඔහුට කියනවා චිත්‍රපටය සඳහා තේමා ගීතය රචනා කරන්න කියා. මෙයින් ඔහු මවිතයට පත්වුනු බව ඔහු පුවත්පතකට කියා තිබුනා. මහගමසේකර, නැතිනම් හියුබත් දිසානායක ඒ සඳහා ගැලපෙන බව ඔහුගේ විශ්වාසය වුනා. කෙසේ හෝ ඔහුටම මෙය කිරීමට සිදුවුනා.
ඔහු පුවත්පතට මෙසේ පවසා තිබුනා. "ඇත්තටම ඒ ගීතය ලියැවුණේ “බඹරු ඇවිත් “ කේන්ද්‍රීය චරිතය වූ හෙලන් පාදක කරගෙන. හෙලන් ගේ චරිතය රඟපෑවේ මාලිනී ෆොන්සේකා. දිඹුල් ගෙඩිය හට ගන්නේ මල පිපෙන්නේ නැතිව. හෙලන් ගේ චරිතයත් එහෙම මලක් වෙන්න කලින් හට ගත්ත දිඹුල් ගෙඩියක් විදිහටයි මම දැක්කේ. සොබා දහම හා බැඳුණ මිනස් ජීවිතයේ අරුත මේ ගීතය තුළින් ඉස්මතු කරන්නයි මම වෑයම් කළේ. අවසානයේ මට මේ ගීතය වෙනුවෙන් ජනාධිපති සම්මානයකුත් පිරිනැමුණා"

1979 දී හොඳම චිත්‍රපටියට හා හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා ජනාධිපති සම්මානයට පාත්‍ර විය.  මීට අමතරව 1978 දී රුසියාවේ 'මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලෙහි' ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට මෙම සිනමා පටයට අවකාශ ලැබින.

මෙම චිත්‍රපටය නිර්මාණය සඳහා එවකට පැවති දේශපාලන වාතාවරණය බලපා ඇතිබව පෙනේ. චිත්‍රපටයෙන් විදහා දැක්වෙන්නේ දේශපාලනීකරණය තුල සමායයේ ඇතිවී තිබෙන වෙනස් තත්වයන්ය. ඔබ මෙය නරඹා ඇතිනම් මා පවසන දේ කෙතරම් දුරට නිවැරදිද යන්න වැටහේවි. මා චිත්‍රපට රසිකයෙක් වන නිසාම නොව මෙහි එවකට පැවති සමාජ තත්වය මනාව උලුප්පා පෙන්වන බැවින් එය ගැන යමක් නොකියා බැරි තරම්ය. චිත්‍රපටයට වඩා ගීතයට ඇළුම් කරන්නෝ මට කමා කරත්වා. 
චිත්‍රපට කතාව සැකෙවින් ගත්කල ධීවර ගම්මානයකට නගරයෙන් පැමිනෙන පිරිසක් නිසා එහි ගැමියන්ගේ ජීවන විලාශයට හා ආර්ථිකයට දැඩි පහරක් එල්ලවේ. නාගරික පිරිස ගමට පාතබන අවස්ථාවේ මේ පිලිබඳව කල්තියා හඳුනාගන්නා ධීවර ප්‍රධානියා ගම්මුන්ට පවසන්නේ 'උඹලා ප්‍රවේසම් වෙයල්ලා බඹරු ඇවිල්ලා' යනුවෙනි.

ටික කලකින්ම ගමම තම ආධිපත්‍යයට නතුකර ගැනීමට නගරයෙන් ආ පිරිස  සමත් වෙති. චිත්‍රපටය තුල ලේ වැගිරීම් කිහිපයක්ද දැකගත හැකිය. නාගරිකයන් අතරම සිටින තරුණයෙක් ගමට සිදුවන බලපෑම වටහාගෙන ඒ පිලිබඳව ගම්වැසියන් දැනුවත් කිරීමට කටයුතු කලත්...අවාසනාවක මහත, ගම්වැසියෝ කිසිවෙකුටවත් ඔහුගේ අදහස් තේරුම් ගැනීමට හැකියාවක් නොලැබේ. එයට හේතුව ඔහු එය පහදාදෙන අයුරේ වැරැද්දක්ද නැතිනම් ගැමියාගේ උගත්මේ ඌනතාවයක්ද යන්න වෙනමම කතාකල යුත්තකි. අවසනදී තරුණයා තම පරාජය පිලිගෙන නැවත කොළඹ බලා පිටත්වේ. මෙම තරුණයා එදා පැවැති වාමාංශික දේශපාලනය නියෝජනය වන බවක් පෙනේ. එවකට පැවති ධනවාදී සමාජ ක්‍රමය සහ ආර්ථිකය පිලිබඳව හා එයට එරෙහිවන වාමාංශික ව්‍යාපාරය පිලිබඳ මනාව විග්‍රහ කරන සාර්ථක සිනමා කෘතියක් ලෙසට මෙය ඉතිහාසයට එක්වේ.

කෙසේ වෙතත් උදුම්බරා යන නම අප ඉතිහාස කතා වලත් යෙදෙනවා ඔබට මතක ඇතුවාට සැකයක් නැත. අපේ පැරණි ජාතක කතාවක්වූ උම්මග්ග ජාතකයේ එන අතුරු කතාවක්වන සිරි කාලකන්ණි ප්‍රශ්නයේදී මෙය අපට සමුවේ. අතීතය පිලිබඳව මදකට සිත යොමු කලොත් උම්මග්ග ජාතකය ලියැවෙන්නේ කුරුණෑගල යුගයේදී. කතාව සැකෙවින් ගෙන එන්නට සිතේ. දිසාපාමොක් ආචාර්යවරයාගේ හොඳම ශිෂ්‍යයා වන පින්ගුත්තර නම් මානවකයා ඇදුරුතුමාගේ දියණිය සරණ පාවාගනී.
මානවකයාට ඇය රිසි නොවීය. දිනෙක් ගමට යන අතරතුර දිඹුල් ගසක් දැක මානවකයා ගසට නැග දිඹුල් තනිවම බුදින්නට වූවේය. ඇයද දිඹුල් ඉල්ලූ කල ගසට නැග කඩාගන්නා ලෙස ඔහු පැවසීය. ඇය ගසට නැග දිඹුල් බුදින්නට වූ කල පින්ගුත්තර ගසින් බැස ගස වටේට කටු දමා ගසින් බැස යාමට නොහැකි වන ලෙස මග ඇසිරීය. මේ කාලකන්ණි ගැහැණියගෙන් මිදෙම්යැයි සිතා ඔහු පලා ගියේය. වේදේහ රජතුමා මේ අසලින් ගමන් කරන කල ඇය දැක දිඹුල් ගසක් උඩ සිටි නිසා උදුම්බරා දේවිය ලෙස නම්කර ඇය සරණ පාවා ගත්තේය. මේ උදුම්බරා දේවිය රූපශ්‍රීයෙන් පරිපූර්ණ තැනැත්තියක්. රජතුමා පසුව දේවියගෙන් දැනගන්නවා පින්ගුත්තර ඇයව තනිකරදමා පලාගිය කතාව. රජතුමා එය පිළිගන්නේ නැහැ. ඇය වැනි කාන්තාවක් අතහැර යන පුරුෂයෙක් වේදැයි රජතුමා සැක පහල කරනවා. කෙසේහෝ මෙය විසඳා දෙනු ලබන්නේ මහෞෂධ පඬිවරයානණ් විසින්.

බඹරු ඇවිත් චිත්‍රපටයේ හෙලන්ගේ සමග විවාහ ගිවිසගෙන සිටින සිරිල් සහ නගරයෙන් ගමට පැමිනෙන වික්ටර් නොහොත් බේබි මහත්තයා යන තුන් කට්ටුව සිරි කාලකන්ණි ප්‍රශ්නයේ පින්ගුත්තර, උදුම්බරා දේවිය සහ වේදේහ රජතුමා සමග තරමක ගැලපීමක් ඇති කරනු පිනිස පද රචකයා විසින් මෙම ගීතයේදී 'උදුම්බරා' යන්න යොදාගෙන ඇතිදැයි සිතේ.
එය ගැලපීමක් වන්නේ හෙලන් උදුම්බරා මෙන්ම රූපකායෙන් යුක්ත තැනැත්තියක් ලෙස චිත්‍රපටයේ පෙන්වාදී තිබීමයි. නමුත් සිරිල් පින්ගුත්තර මෙන් නොව හෙලන්ට සිත පතුලෙන්ම ආදරය කල තැනැත්තෙකි. ඒ කෙසේ වුවත් මට මේ කතා වලින් කියන්නට අවැසි වූයේ 'උදුම්බරා' යන නම මේ ගීතයට ඈඳා ගැනීම පිලිබඳවය.

උදුම්බරා ගීතය පාදක වන්නේ 'හෙලන්' ගේ චරිතය තුලින් සාමාජය ගැන චිත්තරූපයක් මැවීමට. ඇය හිනැහෙනවා, නමුත් කොහොම සමාජයක් තුල හිඳගෙනද ඇය සිනාසෙන්නෙ?
ඇය ගමේ තරුණයෙකු සමග විවාහ ගිවිසගෙන සිටියාය. නමුත් එම තරුණයාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. නගරයෙන් ආ ආගන්තුකයෙකුවූ 'වික්ටර්' ගේ ග්‍රහනයට අසුවන ඇය අවසනදී ඔහුට දාව දරුවකු සමග ගමේ තනිවන්නට සිදුවේ. ඇයව සතුටින් තැබීමට ඇය සමග ඉදිරි ජීවිතය විඳීමට සිටීවි යැයි ඇය සිතා සිටි ඔහු ඇයව තනිකරඇත.
ඇයට කියන්නට ඇත්තේ 'හඳුනාගත්තොත් ඔබ මා......' කියායි. එයින් කියැවෙන්නේ ඔහු ඇයව හරිහැටි හඳුනාගෙන නෑ කියාද එසේත් නැතිනම් ඔහුට ඇයව හඳුනාගන්නට අවශ්‍ය නොවන බවද?
අවසනදී ඇයගේ සියලු බලාපොරොත්තු බිඳ වැටී 'උදුම්බරා කඳුළු සළයි...'

එවකට පැවැති සමාජයේ ආන්ඩු පෙරලියත් සමග සමාජයේ ඇතිවන වෙනස්කම් සහ එක් එක් පුද්ගලයන් එයට අනුරූප වන අයුරුත්, සමහරු ධනවාදී දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කිරීමද මැනැවින් විදහාපාන අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස මෙය හැඳින්වීම වරදක් යැයි මට නොසිතේ.

~~තේජන අබේදීර~~


නින්ද නැති රැයේ ..(2)

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ..

මට හිතෙන විදිහට මේ සින්දුවෙන් කියන්නෙ දෙමව්පියන්ට හොරෙන් ..යුග දිවිය පටන් ගන්න යන යුවලක් ගැන..ඒ දෙන්න තම්න් ගෙඅලුත්ජිවිතේ පටන් ගන්න පලවෙනි පියවරතියල..ඒ රත්‍රිය නින්දක් නැති රාත්‍රියක්...හඳ කඳූලු මදුමේ කියල රචකයා කියන්න හදන්නෙ වෙනදට හුගක් සුන්දරව පෙනෙන හඳ මේ නුහුරු..නුපුරුදු අත්දැකීම නිසා..බය නිසා..හිතට දැනෙන අසරන කම..චකිතය ...දෙමව්පියන්ගෙන් වෙන්වෙලා අවිත් ඉන්න මේ ගානු ලමය මේ හැම හැඟීමක් හින්දම අඬනව..එයත් එක්ක ආව කොල්ල අහනව ඇයි මේ..කියල.. තාරුකා වගේ වුනු බලාපොරොත්තු ඒ කන්දුලුවල ගිලිල..එවයෙ තිබුනු එලිය නිවිල ගිහින්.රෝස මල්වගේ වුනු බලාපොරොත්තු එව යතාර්තයක් වෙනකොට හිතපු තරමටම ලස්සනක් ..සතුටක්..නැති බව කොල්ලට දැනෙනව..එකයි රෝස පෙති කඩා හැලේ.. කියන්නෙ.............. 

කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යායුතුව තිබේ... 

මම අපි දෙන්න ආපු මේ ගමන ගැන දුක් වෙමින්..හිතෙන් වටෙන්නෙ නෑ..ඒ වෙනුවට මම ඔයාගෙ තුරුලේ උනුසුමට තුරුල් වෙලා මේ හැඟීම විඳින්න උත්සහ කරන්නම්..ඔයාගෙ උනුසුමෙන් සැනසෙන්න උත්සාහ කරන්නන්ම්..අපි මැව්ව හීන..අපි මැව්ව ජිවිතේ..තවදුරටත හිනයක් නෙවෙයි..ඒ හීනෙ ඇත්තක් වෙලා දැන්..හෙටින් පටන්ගන්නෙ අපෙ ඒ ඇත්තක් උන හීනෙ..හෙට උදෙන්ම අදිවෙන්නෙ අලුත් ජිවිතේක..අපි වැටෙන්නෙ නතුව ධහිර්යයෙන් ඒ හීනය ජීවත් කරමු.. 

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ... ..

අපි දෙන්න මේ අවදාඅනම් ගමන ආව..මේ රැය..මේ..අපිට දැනෙන හැඟීම..මේ සඳ..මේ හැමදෙයක්ම තාවකාලිකයි..මේ හමදෙයක්ම ගෙවිල..නිවිල යයි..නමුත් ජීවිතේ මීටවඩා..හුඟක් සන්කීර්නයි ...ගැබුරුයි..දුරයි...අපි.තව හුගක් දුර ජිවිත ගමන්ක් පටන් ගන්න යන්නෙ..මෙ අලුත් ජිවිතේට මගෙ පුන්චි අහින්සක කුමාරියව මම ආදරයෙන් පිලිගන්නව... අපි මේ ආව ගමන..අපිට ආව කරදර භාදක දුක..ක්ඳුල් ..අපේ ආදරය මල්වගේ සිනිඳු.. ලස්සන ..නැති කටුක දුශ්කර..කටු පිරුනු ගහක් වගේ කලත්..මම ඒ හැම කරදරයක්ම..අභියෝගයක්ම...සතුටින්..ආදරෙන් භාරගන්නම්...සොඳුරියේ..මගේ එක්ම ප්‍රාර්තනාව එයයි...

ඉතින් ම්ට හිතුනෙ මෙහෙම..හුගක් භාදක මැද හැම දෙනාටම විරුද්ද වෙලා..ත්මුන්ගෙම කියල ජිවිතයක් පටන් ගන්න ආව තරුන යුවලකගෙ. පලමුවෙනි රාත්‍රිය ගැන මේ සිදුවෙන් විස්තර වෙනව කියල..ඒ මට දැනුන විදිහ...

~චන්දුක සමරසිංහ~


Monday 23 November 2015

කම්බි තාප්පෙට හිර කරගෙන මා..

වෙන කෙනෙක් කරපු වරදකට වැරදි කාරයෙක් වෙලා. සිර දඩුවම් නියම වෙනව.. බෝගම්බර හිර ගෙදර.
තාප්ප වලටයි. කම්බි කූරු වලටයි හිර වෙලා මං. හැමවෙලේම මතක් වෙන්නෙ මගෙ අම්මව.. මම බෝගම්බර හිර ගෙදර තාප්පෙට හේත්තු වෙලා අහස දිහා බලාගෙන කල්පනා කරනව... මං කරපු වරද මොකක්ද අම්මේ.. .අම්මට එන්න බෑ කියල දන්නව.. හුලගට හරි කියල එවන්න අම්මෙ මං කරපු වැරැද්ද මොක්කද කියල..

හවස ඉර බැහැගෙන යනකොට දළදා මාලිගවේ තේවා හඩ මට ඇහෙනව. ඒත් මට වදින්න විදිහක් නෑ.. මං කෑම පිගාන අරන් ඒ වෙලාවට පොලිමට දුවන්න ඕනෙ.. දළදා හාමුදුරුවො මං වදින්නෙ මහ රෑට මගේ අම්මෙ...


කම්බි තාප්පෙට හිර කරගෙන මා අහස දිහා බලමින් අම්මේ...
මං කල වරද කියාපන් නුඹවත් හුළඟ දිගේ ඇවිදින් අම්මේ.....
මලහිරු බැස යන විට නිල් අහසේ නුවර පන්සලේ හඬ අම්මේ...
තැටිය අරන් පෝලිමට දුවනවා වඳින්නෙ මහ රෑටයි අම්මේ........

ඉස්සර අම්ම ලගට වෙලා අම්මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන නිදා ගත්ත මට මතකයි අම්මෙ.. අපි ගොඩක් දුප්පත්.. අපි කාපු හැටි මට හොදට මතකයි අම්මෙ..
අම්මට තනියම නුවර එන්න බෑ.. නුවර හරි ලොකුයි අම්මෙ.. අම්මව මට බලන්න බැරි නිසා .. මං අම්මාගෙ නම පපුවෙ කොටාගන්නව.. ඒ මගේ අම්මට මං ගොඩක් ආදරේ නිසා....

පරණ චීත්තෙට ඔළුව තියාගෙන පන් පැඳුරේ සුව පහස ලැබී
පුංචි කාලෙ ඉඳලම දුක් වින්දා කොස් ඇට වල රහ හොඳට දනී
අම්මට තනියෙම නුවර එන්න බෑ බෝගම්බර මහ සයුර වැනී
අම්මගෙ නම මම පපුවෙ කොටනවා ඉඳිකටු මිටියෙන් හැඩට ඇතී

මේ හිරගෙදර ඉන්න අය හැමෝම පසු තැවෙනව අම්මෙ. තමන් කරපු දේවල් ගැන.. හැම කෙනෙක්ටම අපි විදින දුක පේනව අම්මෙ.. අම්මට හිටිය මං විතරයි. අම්ම අද තනියම අඩන හැටි මට මැවිල පේනව.. මට දැනෙනව අම්ම දුක් වෙන හැටි.. මේ දුක දරා ගන්න බැරිම තැන මං හිරකූඩුවෙ කම්බි වල ඔලුව ගහගන්නව අම්මෙ..

වාට්ටුවේ අය එකා වගේමයි පසු තැවි තැවි තනියෙම අඬලා
රජසිටු මැතිවරු ලෝකෙ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකලා
තනිපංගලමේ මහ රෑ යාමේ නුඹ අඩනා හැටි මට මැවිලා
කම්බිකූරු වල ඔළුව ගහනවා පපුවේ ගින්දර මට දැනිලා

චාමර රණවක බෝගම්බර ඉන්නකොටලු මේ සිංදුව ලිවුවෙ.. චාමරගෙ පපුවෙ එයාගෙ අම්මගෙ නම කොටල තියනව... එයාගෙම අත්දැකීමක් තමයි මේ ලියල තියෙන්නෙ..

~~රසික ඉඳුනිල්~~

Sunday 22 November 2015

සඳකඩපහණක කැටයම් ඔපලා...

සුවහසක් රසික සිත් අමන්දානන්දයට පත් කළ "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය අපට තිළිණ වන්නේ
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්‍රපටයෙන්.
.

මෙම ගීතය වඩාත් සුවිශේෂී වන්නේ සිංහල ගීත වංශ කතාවේ එකම සිව් කුලුඳුල් ගීය ලෙස මෙය අභිෂේක වී තිබෙන බැවිනි.
.

01. සිය මුල්ම අධ්‍යක්ෂණයය ලෙස ‘මාතර ආච්චි’ චිත්‍රපටය බිහි කරමින් දොරට වැඩි අධ්‍යක්ෂකවරයා සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.

02. සුනිල් එදිරිසිංහ නම් අසහාය කළාකරුවාණන්ගේ තිඹිරිගෙය වන්නේ ද මෙම ගීතයයි.

03. එ වගේම චිත්‍රපටයේ තේමාව වචනයට ගොනු කරමින් ඒ වදන් අතරින් පිළිපන් ගේය පද රචකයා, ප්‍රවීන රංගන හා හඩ කැවීම් ශිල්පී වොලි නානායක්කාරයි. මෙය ඔහුගේ ප්‍රථම ගේය පද රචනයද වූවා.

04. තවද වික්ටර් රත්නායක සංගීතවේදියාණන් මෙම මියුරු ගීය සඳහා තනුවත් සංගීතයත් නිර්මාණය කරමින් තම සවර නිර්මාණ දිවියේ මුල් ම වරට චිත්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා.
.
සඳකඩ පහණක
.

සඳකඩ පහණ කියන්නේ සිංහල ගල් කැටයම් කලාවේ අපූර්වත්වය සහ සියුම් බව උපරිමයෙන්ම කියාපාන විශ්මිත නිර්මාණ වලින් එකක්. එය තැනීමට ගල්වඩුවා ගත් වෙහෙස අපමණයි. ඒ වගේම එහි ගැබ් කරලා තියෙන්නෙ සංසාරය පිළිබඳ ගැඹුරු අර්ථයක්. නමුත් මේ වටිනා කළා කෘතිය/සංඛේතය, හැමෝගෙම පයට පෑගෙන්නක්. වෙනෙකක් තියා මේක අපට හමුවන්නේත් පඩිපෙළක පාමුළ දීයි. ඒ කියන්නෙ පහළින් මයි. සියුම් ව්‍යන්ගාර්ථයක් එයින්ම කියවෙනවා නේද?

අතිමහත් වැරවෑයමෙන් ජීවිතය ගොඩනාගා ගන්නා “පෙම්වතා“ ඉතා වටිනා පුද්ගලයෙක් විය යුතුයි. නමුත් සමාජයේ ඔහුට නිසි තැන ලැබී නැහැ.

.
සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
.

ඉතිං මේ සඳකඩපහණ ඔප කරමින් පාවෙන දේදුණු ලැගුම් ගන්නා බවක් පැවසෙනවා. ඒ කියන්නෙ මට හැඟෙන ආකාරයට, පෙම්වතාගෙ ජීවිතය ඔපවත් කරන යම් සිදුවීමක් උදාවෙනවා. ඒක දේදුන්නක් මෙන් විචිත්‍රවත්... ඔහුගේ ජීවිතය බලාපොරොත්තුවේ සිහින වලින් පුරවාලීමට එය සමත්.

සඳකඩපහණ තියෙන්නෙ පොළවේ. ඒක කළින් කිව්වා වගේ පයට පෑගෙනවා. නමුත් දේදුන්න තියෙන්නෙ අහසෙ. දේදුන්න පාගන්න බැහැ. ඒ කියන්නෙ උසස් බලාපොරොත්තුවක් පෙම්වතාගෙ ජීවිතයට එකතු වෙනවා කියන එක වෙන්න පුළුවන්.

එහෙම නැත්නම් අපට එය පෙම්වතා සහ පෙම්වතියගේ සමාජ තත්ත‍්වය සහ ජීවන දර්ශනය පිළිබඳ ඉඟියක් ලබා දෙනවා විය හැකියි.

පෙම්වතාට සමාජයේ තැනත් නැහැ. නමුත් ඔහු ඉතා සාරගර්භ පුද්ගලයෙක්. පෙම්වතිය අහසෙ පාවෙන දේදුන්නක් වගේ විචිත්‍රවත් කාටවත් ලෙහෙසියකට ළංවෙන්න බැරි තරම් උඩින් ඉන්නේ.

නමුත් මේ දේදුන්න පාවෙලා ඇවිත් සඳකඩපහණේ ලැගුම් ගන්නේ එහි තිබෙන කැටයම් ඔපවත් කරමින්. ඒ කියන්නෙ ඇගේ සෙනෙහස පෙම්වතාට ධෛර්යයක්, ජීවිතයට ආලෝකයක්, බලාපොරොත්තුවක් ලබාදෙනවා.

.
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවේ
.

තරුණ හදවත් දෙකක නැගෙන ප්‍රේමය කියන්නේ ආදරය,මෛත්‍රිය, කරුණාව, රාගය ආදී වූ හැඟුමන් වල සම්මිශ්‍රණයක්. මේ හැගීම් වලින් ප්‍රේම තටාකයේ කැලතී එන රසය තුළින් පැන නගින්නේ බුබුලකි. දිය බුබුලකට ආයුෂ අඩු බව කාටත් නොරහසකි. නමුත් එය ආදරය නැමැති අකුරු වැල හදවත් දෙකේම සටහන් කරන්නට සමත්.

අප මෙහිදී පෙම්වතා ගලින් සැදි සඳකඩපහණ බවත්, පෙම්වතිය අහසේ පාවී යන දේදුන්න බවත් මතක තබාගත යුතුයි. මෙයින් ස්ථිර බව සහ අස්ථිර බව ගම්‍ය කර තිබෙනවා.

.
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී
.

චිත්‍රපටය මා නරඹා නොමැති වුවත් අසා ඇති ආකාරයට ඔහුට උසස් අධ්‍යාපණය සඳහා විදෙස් ගත වීමට වරම් ලැබෙනවා. මේ අතර තනිවන පෙම්වතිගේ අසරණ කම ප්‍රයෝජනයට ගන්නා ඇගේ මව් පියන් ඇයව බලහත්කාරයෙන් ඔවුන්ට අවශ්‍යය පුද්ගලයාට සරණ පාවා දෙනවා.

.

යුගයෙන් යුගයට නොමියෙන “ප්‍රේමය“ නැමැති දහම අභිමුවේදී පෙම්වතා තම විදෙස් අධ්‍යාපනය නිමවා කෙසේ හෝ දිවියට අඩිතාලමක් දමා ගනිමින් මෙරටට පැමිණෙනවා. නමුත් ඔහු පැමිණෙන විටත් වෙනෙකෙක් සියුමැලි ඇය මැලැවී යද්දීම (බලහත්කාරයෙන් විය හැකියි), ඇයව රැගෙන ගොසින් නොපෙනෙන ඈතකට... මෙතනදී මේ “සියුමැලි කැකුළ“ කියන්නේ ඔහුගේ හදේ පිපුණු සෙනෙහසේ කුසුම වෙන්නත් පුළුවන්.

මෙය මොන තරම් ඛේදවාචකයක් ද!

.

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු

.

කුඩා මී මැස්සා මලින් මලට රහස් කොඳුරමින් මල් දහස් ගණනක් වෙත පියඹා ගොස්, දුක් මහන්සි වී බිඳෙන් බිඳ එකතු කරගන්නා පැණි, තුඩින් තුඩ රැගෙනවිත්, වැඩි පරෙස්සම උදෙසා ගව්වක් ඉහළට පියඹා ගොස් සිය මීවදය බඳින්නේ අනන්ත අප්‍රමාණ වෙහෙසක් දරමිනි... ඒ අනාගතය උදෙසා දරණ වීර්යයි !

ඔහු ද මේ තත්ත්වයට ජීවිතය ගොඩනගා ගන්නනේ අපමණ වෙහෙස මහන්සි වී ය. කාටවත් ළංවිය නොහැකි ලෙස “ගව්වක් ඉහළින්“ බිඳෙන් බිඳ එකතු කරන් ආ ඉසුරින් ඔහු තම මී වදය තනන්නේ ඇයව එහි කැඳවාගෙන ගොස්, ඇයගේ පොපියන දෙතොල ඒ මී පැණියෙන් සන්තර්ණය කිරීමටය. එනම් ඔහුගේ දුක් මහන්සියේ ප්‍රතිඵලක් ලෙස ‍ගොඩනංවන ලද ඔහුගේ රාජ්‍යෙය් රැජින ලෙස ඇයව අභිෂේක කරන්නට ය.

නමුත් සිදුවූ අභාග්‍යයක තරම !

.
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවකෙක් ඈ වෙත හද රැන්දු
.

අහස ගුගරවා ජීවිතය පුරාවටම කළුවර වපුරනවා. මහන්සියෙන් බැඳපු මීවදයේ පැණි ඒ වැස්සට හේදිලා තත්ත්වයෙන් බාල වෙලා යනවා වගේම ඔහු දුක් කඳුළු මැදින් ගොඩනගපු රජදහනේ අගය නැතිවෙලා යනවා. වැහි බිංදු මෙන් කඩන් වැටෙන කඳුළු බිඳු අතරේ ඒ සිහිනය බොඳවෙලා යනවා... මෙයින් අදහස් වන්නේ අහස ගුගුරවාගෙන අකාලේ පැමිණි වැස්සක් මෙන් කුමණ හෝ හේතුවකින් මේ දෙදෙනාගේ පෙම් ලොව දෙදරැම්කෑ බවයි. මේ බිඳවැටුණු රජදහනේ නටඹුන් අතරින්වත් ඇයව රැගෙනයාමට අදහස් කරද්දී, එනම් පෙම්වතාගේ බලාපොරොත්තුවේ අවසන් ළා දල්ල ජීවත් වීමට වෙර දරද්දී... වෙනත් කෙනෙක් ඈ වෙත ළං වෙනවා...

.
හදවිල ඉපදුණු කැකුළක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
.

හදවත නැමැති විලේ පිපුණු සෙනෙහස නැමැති පොහොට්ටුව, නොකලට එනම් එය පෙති දිගහැර පිපෙන්නටත් පෙර ම අකාලයේ නටුනේ කඩාදමා ඈතකට යවා ඇත.

ඒ දුකින් රහසේම ඔහුගේ නෙතගින් පිටවන කඳුළක් මිහිකත ද කම්පා කරවමින් (තෙත් කොට), ආදරය වෙනුවෙන් කඳුළුසැලූ තවත් ඔහු බඳු ම සුවහ‍සක් පෙම්වතුන්ගේ කඳුළින් ලුණු රස ගැන්වූනු සප්ත මහා සාගරයට එක් වන්නේ කාටවත්ම සොයාගත නොහැකි වන පරිද්දෙනි.

තම ප්‍රියාවියගේ වියෝගය නිසා ඔහු කාටත් රහසේ, කාටවත්ම නොපෙනෙන සේ වැළපෙන අයුරු වොලි නානායක්කාර නම් වූ ඒ පුතිභාපූර්ණ ගේය පද රචකයා සහෘද හදවත් ප්‍රකම්පනය කරවන අයුරින් ඉතා සංයමයෙන් සටහන් කර ඇති අයුරු විශ්මය ජනක ය.

.

ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...
සිටී බලා....

.

සොඳුරිය,
ඔබ කවදා හෝ ඔය සියළු යස ඉසුරින් ආඪ්‍ය වූ රුවන් විමානය අතහැර දමා නැවත මා වෙත පියඹා ඒ යැයි ඔබට පමණක් අයිති, ඔබටම කැපවුණු, මේ රිදුණු - තැළුණු හදවත “තනිකම“ නැමැති මේ එක්ටැම් මැදුරේ සිරවී එහි කවුළුව අභියස නොඉවසිල්ලෙන් බලාගෙන සිටී...

පැමිනෙණු මැනවි...

*.*.*.*.*.*.*.*.

සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දු
ගව්වක් ඉහළක ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහු වුණු වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

හද විල ඉපැදුණු කැකුළක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...
සිටී බලා....

ගී පද - වොලී නානායක්කාර
ගී තනු - ආචාර්ය වික්ටර් රත්නායක
ගායනය - සුනිල් එදිරිසිංහ
චිත්‍රපටය - "මාතර ආච්චි "

.*.*.*.*.*.*.*

//සුනිල් එදිරිසිංහයන් පවසන අයුරින්....

‘‘ලේසි වුණේ නෑ වැඬේ....’ සුනිල් සිය මියුරු හඬ අවදි කළා. ‘‘ ඇයි සිසිර, කෙළින්ම රෙකෝඩින් එක කරනවානේ. දැන් වාගේ නෙවෙයි. සියලූම වාද්‍ය භාණ්ඩත් ඒ එක්කම රෙකෝඩින් එකට ගන්නවා. එක් කෙනෙක් වැරැද්දුවොත් ආයෙත් ඔක්කොම මුල ඉඳලා ගන්න වෙනවා. මගෙ මතකයේ හැටියට දාසය වතාවක් විතර ආය ආය කරන්න වුණා. එක වයලීනයක බෝ පාරක් එහා මෙහා වුණත් වික්ටර් අයියා සතුටු නෑනේ ’’

වික්ටර් රත්නායකයන් ව ‘‘වික්ටර් අයියා’’ නමිනුයි සුනිල් හඳුන්වන්නේ.

‘‘පටිගත කරපු අයටත් සෑහෙන්න වැඩ තියෙන්න ඇති?’’

‘‘අනේ ඔව් කැළණියේ සරසවි ශබ්දාගාරයේ දී මර්වින් රුද්‍රිගූ තමයි පටිගත කළේ. මේ වාගෙ වැඩවලදී පුදුම කැපවීමක් තියෙන්න ඕන. ඒ අතින් මර්වින් විතරක් නෙවෙයි, එතන වාදනයට හවුල් වුණ විශාරද විජේරත්න රණතුංග, රොක්සාමි, එඞ්ගා පෙරේරා, මර්වින් පෙරේරා, එන්.ඩබ්. පීරිස්, වයි.එම්. සුමනසිරි වගේ අයත් හරි උනන්දුවෙන් කළ වැඩක් මේක. මේ වගේ ප්‍රවීන පිරිසක් එක්ක ආධුනික මගෙන් උපරිම දේ ලබා ගන්න සෑහෙන්න වෙහෙසෙන්න වුණා.’’

‘‘අනික ඒ වෙලාවේ එතන එකතු වෙලා හිටිය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, බන්දුල විජේවීර, පුණසිරි මහවත්ත, සේන වීරසේකර වගේ අයගෙන් මට පුදුම හයියක් ලැබුණේ."//

~~විශාඛා කලුබෝවිල~~  






මිනිසෙකු පිට නැගි අසරුවෙකි..

සූදුවට ඇබ්බැහිවූ අමනෝඥ මිනිසුන් ගේ ජීවිතයේ ඛේදාන්තය මෙම ගීතයෙන් අරුත් ගන්වයි.

මිනිසකු පිට නැගී අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි
පාන්දරින් පැරදුන ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී....

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණුමිරිසෙන් ගතවෙනවා
කාසි මල්ල සතෙකුගේ පිට යනවා
දු දරුවන් පැදුරේ නිදියනවා....

ඉරණම විසදුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසකු පරදිනවා
දරුවන් බිරිදත් ගිනි උහුලනවා
හීනෙන් නුබ තව ගෙවල් හදනවා

ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: එච්. එම්. ජයවර්ධන


"මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි"


යමෙකු සූදුවට පෙළඹීම නිසා සිදුවන ධන හානියේ ප්‍රතිඵලය ලැබෙන්නේ ද ඔවුන්ගේම පවුලට ය.

"ඒ බර ගෙයි වහලට බරකි"

යන්නෙන් නිවසේ පැවැත්ම,ජීවය,ශක්තිය ,රැකවරණය ගෘහ මූලිකයා මත පැවරෙන බව ඇගවෙයි.

"පාන්දරින් පැරදුණු ඒ මිනිසා
හැන්දෑවෙත් අසු පිටට නගී"

වරක් පැරදීමෙන් සූදුව අත් හැර නොදමන ඔවුන් නැවත නැවතත් බලාපොරොත්තු තබාගනිමින් මුදල් ඔට්ටු අල්ලමින් දිනෙන් දිනම වලපල්ලට යයි.
ධනපති පංතියේ සූදු පොලවල් හිමියන් ඔවුන්ගේ පැවැත්ම උදෙසා මුග්ධ මිනිසුන් රවටා මුදල් සූරා කමින් ඔවුන්ගේ
බඩ සරි කරගන්නවා විනා කිසි දින අසරණ මිනිසුන්ට දිනුමක් නොදෙයි.ඔවුන්ගේ යටි අරමුණු වටහා නොගන්නා නූගත් මිනිසුන් තම දූදරුවන්ට කන්නට බොන්නට ඇති එකදු සොච්චමත් කිසි ලෝබකමකින් තොරව ගෙනගොස් සූදුවට පූජා කරන්නේ අද නැති සැප සම්පත් හෙට ලැබේයැයි අනියත විශ්වාසයෙනි.

"හෙට මම ගෙදරට සුරසැප දෙනවා
අද රෑ ලුණුමිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගේ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා"

නමුත් සිදුවන්නේ සුපුරුදු පරිදි පැරදීමම ය.අතැගිලි තුවාල කරගනිමින් අනේකවිධ දුක් කම් කටොලු විද අව් වැසි නොබලා නිදි වරා හම්බකරගත් කාසි පනම් වතුරේ යන්නේ ගෙදර අඹුදරුවන් ගේ දුක් පීඩා තවත් උග්‍ර කරමිනි.

"ඉරණම් විසදුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා"

දහඩිය වගුරවා උපයාගත් සන්තකය අවසානයේ හිමි වන්නේ තිරිසනුන් වැනි හිත් පිත් නැති ව්‍යාපාරික යන්ටය.නමුත් සූදුකාරයින් මැරෙන තුරුම සූදුවෙන්ම ගොඩ යන්නට හීන මවයි.

කුලී වැඩ කර එදාවේල බත සරි කරගන්නා ගෙවල් වල අනේකවිද ප්‍රශ්න රාශියකි...... .කුප්පි ලාම්පු එලියෙන් දංකුඩ බත් කා මදි පාඩුවට වතුර බී කුස පුරවාගෙන වැල් ඉරීගිය පැදුරු කඩමාල්ලක වැතිර තම දූ දරුවන් සමග නින්දට යන බිරිඳක් , අශ්ව සූදුවට ගිය තම සැමියා එනතෙක් මහ රෑ අවදියෙන් සිටින අයුරු........
හාත්පසින් වූ අනාරක්ශිත බව, කුසගින්න සහ දරිද්‍රතාවය යන සියල්ල එකට කැටිව ඇගේ ළය පිච්චී නැගෙන්නාවූ වේදනාව උණු කදුළු කර ගලා යනු ඇති........

ඒ කිසිවක වගක්වත් නැතිව සූදූ කෙලින්නට ගිය සැමියා පරාජවී හිස් දෑතින් ගෙට රිංගා වැතිර දහ අතේ කල්පනා කරමින් හෙට එළිවෙනතුරු හීනෙන් ගෙවල් හදමින් සිටී.........

~~දිමුතු ශානික~~  


Saturday 21 November 2015

දුදනොද බිඳ ලද තෙද කඳ..

දුදනොද බිඳ ලද තෙද කඳ

කඳ දෙවිරද සාමිනේ //

මගෙ කුකුළා නැසූ එකා...
මගෙ කුකුළා නැසූ එකා ධජය ඔබගෙ පාළුය කා
මගෙ කුකුළා නැසූ එකා ධජය ඔබගෙ පාළුය කා
තව එක බුද දිනක් කකා ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල හෙලුව හෙල්ල
මුලමැ බෙල්ල මරු තැනේ

කතරගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ
කතරගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස් ඇවිද වටේ පොළොවැ උලා නළල් ඇටේ

දිගට ඇදී...
දිගට ඇදී නැග පැහැදී
මහ හඬ දී දෙවියනේ
දිගට ඇදී...

රනින් කුකුළු රුවක් පුදමි රිදියෙන් බිජුවටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි රුවට රිදී රුවක් පුදමි

කතරගමේ...

කතරගමේ බල මහිමේ
දුටුද එමේ හැම තැනේ
කතරගමේ...

කියමින් නම කුළු ඔබගේ බොල දුන් ගෙට කිරි තොලගේ
නවතින්නට වඩමි අගේ එබසින් කිරි කඳුළු මගේ

දුදනොද බිඳ ලද තෙද කඳ
කඳ දෙවිරද සාමිනේ //

මට කළ මෙවිපත අනේ බලාගන්න දෙවියනේ
මට කළ මෙවිපත අනේබලාගන්න දෙවියනේ
වැජඹෙන නා මෙවිමනේ බලන්න නා සාමිනේ

නා සාමිනේ...


රැපියෙල් තෙන්නකෝන් කවියාගේ 'කුකුළු හැවිල්ල' නම්වූ මෙම ගී පද පෙළ ගීතවත් කරන්නේ සුනිල් ශාන්තයන්ය. රැපියෙල් තෙන්නකෝන් කිවියා අප මතකයට නැගෙන්නේ 'වවුලුව' නම් කෘතිය සමගයි. හෙළ බස වර්ණවත් කරන්නට ඔහුගෙන් ලද දායකත්වය ඉතා විශාලය. සුනිල් ශාන්තයන් ගැන බොහෝ දෙනා දන්නා නිසා කෙලින්ම අපි ගීතයට යමු.

මා අසා ඇති ආකාරයට මෙයට පාදක වන කතාව මෙසේය. ගැමි කාන්තාවකගේ කුකුළකු තවත් ගැමියෙකු විසින් මරා ආහාරයට ගනු ලබයි. මෙයින් කිපෙන ගැමි කත නා ගසක් වෙත ගොස්, එහි ඇතැයි සැලකෙන නා සාමීන් අබියස පළි ගසයි. ඒ සමගම කතරගම දෙවියන් ඉදිරියේ ඇගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරයි. එහිදී කාන්තාවගෙන් දිස්වෙන ක්‍රෝධය පද පෙල මගින් මනාව පිලිබිඹු කෙරේ.

ඇය කන්නලව්වක් ලෙසට මෙය ආරම්භ කරයි. "කඳ දෙව් රද සාමිනේ ."

නමුත් තව දුරටත් එය කන්නලවුවක් ලෙසට ගත නොහැකිබව ඊලඟ පද පෙල කියාපායි. "මගෙ කුකුළා නැසූ එකා"

එයින් නොනවතින ඇය කුකුළු හොරා දෙවියන්ටද අපහාස කර ඇතිබව හඟවයි. "දදය ඔබගෙ පාළු ය කා"

කතරගම දෙවියන්ගේ ධජයේ සිටින්නේ කුකුළායන්ය. කාන්තාව පවසන ආකාරයට දෙවියන්ගේ ධජය පාළුවට ගොස් ඇත. ඒ මක්නිසාදයත් සොරා විසින් කුකුළා මරා ආහාරයට ගෙන ඇත. ද්වේශයෙන් වුවත් ඇය ඉතා සියුම්ව පහර ගැසිය යුතු තැන පහර ගසන අයුරක් දිස්වේ.

මේසා විනාශයක් කල සොරාට ඊලඟ බුද දිනයට මත්තෙන් ඔහුව මකා දමා දඬුවම් කලයුතු බව ඈ පවසයි. එය සිදු කල යුතු ආකාරය පිලිබඳව ඈ විස්තර කරයි. 'බෙල්ලේ ඇති මරු නිලයන්ගෙන් අල්ලා හෙල්ලයෙන් ඇන මොහුව මරා දැමිය යුතුය'.

මෙය ඉටුකොට දුන්නොත් ඈ තම බාරය ඔප්පු කිරීමට පයින්ම කතරගමට එන බව පවසයි. බිම දිගාවී නලල බිම තබා දෙවියන් වන්දනා කරන ආකාරය ඈ පැහැදිලි කරයි. මෙලෙස කතරගමට පයින්ම ඇවිදින් ඈ බාරය ඔප්පු කරන්නේ,

"රනින් කුකුළු රුවක් පුදමි- රිදියෙන් බිජුවටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි -රුවට රිදී රුවක් පුදමි"

කතරගම දෙවියන්ගේ ගුණ වර්ණනා කිරීමටද ඈ අමතක නොකරන්නීය.

"කතරගමේ බලමහිමේ

දුටු ද එ මේ හැම තැනේ කියමින් නම’කුරු ඔබගේ
බොළඳුන් ගෙ ද කිරි කුඩ’ගේ රඟ දෙන්නට වඩමි අගේ
එකතින්හිමි සඳනි මගේ"


~~තේජන අබේදීර~~


කාන්නු ගොයියක් ...

කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි
කල්ලෝ බයියක් කටවරලා කීම ගේලුයි

ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි
මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි
ඌරෝ කයියක් හේනේ කාලා හේන පාලුයි
බල්ලෝ කයියක් වට කරලා ගේම කීලුයි

2002 වර්ශයේදී සිංහල සිනමා වංශ කතාවට එක්වුනු නොමැකෙන සටහනක් තැබූ 'අග්නිදාහය' මිනිත්තු 119 ක ධාවන කාලයකට රසිකයන්ව බැඳ තබා ගැනීමට සමත්විය.

ජයන්ත චන්ද්‍රසිරිගේ දැවැන්තම සිනමා නිර්මාණයක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. මාගේ මතකය නිවැරදිනම් මෙය ඔහුගේ පළමුවන සිනමා නිර්මාණය.

අප කුඩාකල නැරඹූ 'වෙද හාමිනේ' ඔබට මතක ඇතුවාට සැකයක් නෑ. එය ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණයක්. මීට අමතරව 'දඬුබස්නාමානය' සහ 'අකාල සන්ධ්‍යා' විශිෂ්ට ගනයේ නිර්මාණ ලෙස සැලකෙනවා. දඬුබස්නාමානය ගැන නම් වෙනමම කතා කරන්න වෙනවා. ඒ තරමටම දේවල් තියනව එය පිලිබඳ.

ඉතින් 'අග්නිදාහය' ගැන කතා කලොත් මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ 'ජැක්සන් ඇන්තනි, යශෝධා විමලධර්ම සහ කමල් අද්දර ආරච්චි'

'කාන්නු ගොයියක්' කියන ගීතය විශේෂ ගීතයක්. මෙය ජන සංගීතයේ එන 'පෙරළුම් කවි' ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දක්. මුල් පද පේලි කිහිපය කියෙව්වාට පසුව ඔබට තෙරුම් යයි ඊට පසුව තිබෙන්නේ ඒ පදවල පෙරළුව කියල.

~~තේජන අබේදීර~~


ආදරේ ඔබ මා හට ඇතිද කියා...

ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදිලා
මාව දමා මෙහි තනිකරලා
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා......


ආදරේ ඔබ හට කෙතරම්ද කියා
ගීතයෙන් කියෙනමි ඔබ හට පහදා
මේ දිවියේ අවසානය පුරා
මම ඉන්නම් ලං වීලා
ආදරේ දුක් වේදනා මා දෙන්නේ නෑ කිසිදා.......

මහ මුහුදේ යන අතරේ - මම මුහුදට වැටුනෝතින්
මම කිමිදීලා දිය යට පිහිනා - ඔබ බේරන් ගොඩ එනවා
මහ කැලේ යන විටදි - හොරු රැලකට අසුවේනම්...
සටනට වැදිලා උන් එලවාලා - ඔබ බේරන් මම එනවා

ආදරේ ඔබ මා හට ඇතිද කියා.....

වෙන ලදකට හිත ඇදිලා - මා අමතක කෙරුවෝතින්
රූ ලලනාවෝ හිටියත් කෙතරම් - මම ඔබ සොයලා එනවා
ඔබේ මව්පියෝ එරෙහි වෙලා - ඔබ මා හැරදා ගියොතින්
මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්- මම ඔබ කැන්දන් යනවා

ආදරේ ඔබ මා හට ඇතැයි කියා
මා සිතේ සැක දැන් ඇත දුරුවීලා
මේ දිවියේ අවසානේ තුරා
අපි ඉදිමු එක්වීලා
ආදරේ දුක් වේදනා
මතු වන්නේ නෑ කිසිදා ......

මරියසෙල් ගුණතිලක මහත්මිය ගායනා කරන මේ ලස්සන ගීතය ඔබට මතකද? සමහරු අහලා නැතිව ඇති. ඒ තරම් ගීතය පැරණි. මම කථා කරන්න උත්සාහ කරන්නේ ගීතය ගැන මගේ අදහසයි. ඒ හින්දා වැරදි තිබ්බොත් නිවැරදි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

මේ ගීතය අසුව දශකයේ මැද භාගයේ lambada නම් ප්‍රංශ ගීතයේ ජනප්‍රියත්වය නිසා අනූව දශකයේ මුල් භාගයේදි මුල් ගී තනුවටම හැදු මෙම ගීතය ලංකාවේ ජනප්‍රිය වුණා කියලයි මම හිතන්නේ. ඒත් පුදුමය කියන්නේ lambada නම් ප්‍රංශ ගීතය මුල් කෘතිය නොවිමයි. බොල්වියානු පොප් සංගීත කණ්ඩායමකගේ මුල් නිර්මාණයයි ප්‍රංශයේදි පර්වර්තනය වුනේ. එයත් අවසර නැතිව ප්‍රංශ භාෂාවට පර්වර්තනය කල ගීතයක් වුවත් මුල් ගීතයට වඩා lambada ලොව වටා ජනප්‍රිය වෙන්න ගීතයේ රූප රචනය/වීඩියෝව ගොඩාක් බලපාන්න ඇති. 

අද වන විට මුල් තනුවට හා තනුව සුළු වශයෙන් වෙනස් කර භාෂා ගණනාවකින් මේ ගීතය නිර්මාණය වෙලා තියෙනවා. remake,remix කරලා මේ ගීතය අදටත් විවිධ ස්වරූප වෙලින් ලොව පුරා ජනප්‍රිය වෙමින් තියෙනවා. 1981 සිට මේ දක්වා නොනැසි ජනප්‍රියතාව රැකගන්න මේ ගීතයේ තනුවට හැකිවීම හරිම පුදුමාකාරියි. 

සංගීතය ඇති විශ්ව භාෂාමය ස්වරූපයත් මරියසෙල් ගුණතිලක මහත්මිය සමග ජිප්සීස් සංගීත කණ්ඩායමේ මියුරු ගායනයත් නිසාම ගීතය ලාංකීය ආරෙකට විදගන්න හැකිවෙලා තියෙනවා.අවසාන වශයෙන් ගීතයේ තේරුම ගැන වචනයක හරි අදහසක් කියන්න හිතෙනවා. පෙම්වතියකගේ හදවතේ ඇති සැකය ගැන ගීතය පුරාවට විචිතව හා සරලව මෙම ගීතයෙන් කියවෙනවා. සුභ දවසක්!

~~ධනු~~



ඔබ හීනයක් වගේ .....

පුංචි කතාවක් තියනව මේ සිංදුව ඇතුලෙ... ගෑනු ලමෙක් කසාද බැදල යන්නෙ මහත්තයත් එක්ක සතුටින්
ඉන්නනෙ... ඒත ඉතින් ප්‍ර‍ස්න එනව... මේත් ඒ වගේ කතාවක්...

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි..

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...


ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල

ගෑනු ලමයෙක් බැදල එයාගෙ මහත්තයත් එක්ක එකට ජීවත් වෙනව. . මුල් කලෙ නම් ආදරෙන් ඉන්න ඇති .. කිස් එහෙම අඩුවක් නැතුව ලැබෙන්න ඇති. .එත් කාලයක් යනකොට මේ ආදරේ වෙනස් වෙනව... මේයාගෙ මහත්තය මෙයා ලගට එන්නෙ නෑ. එකම යහනෙ ඈතට වෙලා නිදා ගන්නව.. මේ ගෑනු ලමයට අවශ්‍ය ආදරය ලැබෙන්නෙ නැති දුකින් කියනව.. මම ස්වාමියෙක් ඉන්න කාන්තවක්.. ඉතින් ඔහොම ඉන්න එපා කියල....


ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//

වෙනද වගේ ආදරෙන් ලගට ඇවිත් හැමදේම එයාට දෙනකන් එයා බලාගෙන හිටිය.. ඇසේ කදුලු පිරුන වෙලාවල් අනන්තයි.. අසරණ වුන එයාගෙ ජීවිතයට ආයෙත් එයා එනකන් බලන් හිටිය.. වෙන කෙනෙක්ගෙන් ඒ පහස ලබන්න බැරුව නෙවෙයි... ආදරය නිසාම.. එයා ආරක්ෂා කරපු සීලය බිදල වෙන කෙනෙක් එක්ක සතුටු වෙන්න බැරි නිසාම...

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

ඒත් එයා එන්නෙම නෑ.. හදට දුක විතරයි.. මේ ගෑනු ලමයට දැනුන එයාගෙ මහත්තයගෙන් ඒ සතුට නම් ආයෙ ලැබෙන්නෙ නෑ කියල.. ඒ නිසා මෙයා වෙන කෙනෙකුට ආදරය කරන්න පටන් ගන්නව.. වෙන කෙනෙකු එක්ක එයා සතටුටු වෙනව. තමන්ට තමන්ගෙම මහත්තයගෙන් නොලැබුනු ආදරය වෙන කෙනෙකුගෙන් ලබා ගන්නව.. ඉත්න් දැන් එයා සතුටින්...

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...

කොච්චර දුරට සාදාරණද කියලනම් දන්නෙ නෑ. .ඒත් තමන් බැදපු කෙල්ලට ආදරෙන් හැමදාම ලග නොහිටියොත් මේ දේ තමයි වෙන්නෙ.. මොකද මිනිස්සු හැගීම් වලට යට වෙනව. එතකොට වැරදි කරනව...

~~රසික ඉඳුනිල්~~


නෙයිනගේ සූදුව...



බණ්‌ඩාරගම විසූ දොන් ආරොන් කොතලාවල මහතාට පුත්තු 17 ක්‌ ද, දියණියෝ 3 ක්‌ ද සිටියෝය. ඉන් වැඩිමල් ම දරුවා වූ

ජෝන් කොතලාවල නිර්භීත එඩිතර පුද්ගලයකු වූ අතර පොලිස්‌ සේවයට එක්‌ව සාජන් මේජර් තනතුරටද පත්විය. අපි අද කතා කරන සුප්‍රකට " නෙයිනගේ සූදුව " ඇල්ලුවේ ද ඔහුය. පොලිස්‌ සේවයෙන් විශ්‍රාම ගිය ඔහු මිනිරන් කර්මාන්තයට බැස විශාල ධනවතෙක්‌ විය. ඔහු තමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාට ජෝන් ලයනල් කොතලාවල යන නම තැබීය. ඔහු මෙරට බිහි කළ ආරක්ෂක විද්‍යාලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නම් වේ. ඒ ජෝන් කොතලාවල ගැන පුංචි හැඳින්වීමක්.


අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වන ජැක්සන් ඇන්තනී මහතා සහ අනුලා බුලත්සිංහල රංගන ශිල්පිනිය සමඟ එක්ව රඟපාමින් ගායනා කරන "නෙයිනගේ සූදුව" කියන සින්දුව ඔයාලා දන්නවා නේද ? ඉතිං ඒ ගීතයේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ හිටපු අගමැති ජෝන් කොතලාවල (1954 - 1956) ගේ පියාණන් 'ජෝන් ජ්‍යෙෂ්ඨ කොතලාවල' පොලිස්කාරයෙක් වෙලා හිටිය කාලේ " නෙයිනා " කියන මදාවියා මරදානේ පවත්වාගෙන ගියපු කැසිනෝ එක අල්ලපු ආකාරයයි.


ඒ ගීතමය ජවනිකාව ඇතුළත් වෙලා තිබුණේ දයානන්ද ගුණවර්ධනයන් විසින් නිෂ්පාදනය කරපු "මධුර ජවනිකා" කියන වේදිකා නාට්‍යයේ යි. "මධුර ජවනිකා" නාට්‍යයේ අරමුණ වුණේ රවණා ගේ යුගයේ සිට වත්මන් කාලය දක්වා ලංකා ඉතිහාසයේ එක් එක් අවස්ථාවන් නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. නෙයිනගේ සූදුව සින්දුව එවැනි එක් ඓතිහාසික ජවනිකාවක්. මේ ගීතයේ පද රචනයට හිමි කම් කියන්නේ දයානන්ද ගුණවර්ධනයන්මයි. සංගීතවත් කළේ බන්දුල විජේවීර මහතා.



පි: පළමු ව මම වැන්ද බුදුන් සිහි කර ගෙන ඒ ගුණ කඳ
ගැ: දෙවනු ව සද්ධර්මේ උතුම් මුදුනත් කර මෙන්න වැන්ද
පි: තෙවනු ව මහ සංඝරත්නෙ වැඳ සුරන් ට පින් දී සොඳ
ගැ: කියනවා අපි නෙයිනගෙ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ

පි: සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි ඉංග්‍රිස් රජුන්ට
කෙලින් ඉන්ට නො දී අපට බලේ ගත්ත ඔවුන් අතට
පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුණ කොළොං පුරට
ඔවුන් අතර හිටිය නෙයින තම්බි කියල කෙනෙක් ජයට

ගැ: සොඳින් මසන් ගස් හන්දියෙ නෙයින උන්නු ගෙයි විස්තර
නගින්ඩ එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර
තදින් ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර
පනින්ඩ බෑ අල්ලන්නට ආණ්ඩුවත් බයයි මිතුර

පි: මෙකලා වීරයෙක් උන්න කොතලාවල කියල සොඳට
හිතලා වැඩ කරන එතුමා ජෝන් නමින් පුරසිද්දෙට
ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට
එකලා ඔහු කළ දස්කං කියනවා මං පෙළින් පෙළට

ගැ: අල්ලස් දී පොලීසියට කොස් ගස් හන්දියේ ජයට
නෙයින තම්බි සූදු කෙළිය කාටත් බෑ අල්ලන්නට
ආණ්ඩුවත් සතුටු වෙලා රජෙක් වගේ උන්නු මැතිට
සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට

පි: එක්ක ගිහින් පොලිස් භටයො දොළොස් දෙනෙක් මරදානට
ඉක්මන් කර කම්බ සරොං පට ලේන්සු දී අදින්ට
සල්ලි දීලා ඔවුන් අතට යන්ට කිව්ව සූදු පොළට
ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට

ගැ: ඇඳ ගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස වට
ගා ගෙන තුන්නූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට
අර ගත්තා බෑග් එකක් නෝට්ටු කොළ දැම්ම ඊට
නැගගත්තා රික්ෂෝවක අපෙ මැතිදා යයි විගහට

පි: දකිමින් මේ හෙට්ටි අයිය නෙයින සලං දැම්ම හොඳට
“එන්න කාරියම් වන්ද දු සංගදි සොල්ලු ම් බෝමට”
“නවවංදදු විලයාට්ටු තුපන්කාර ඔන්ඩ කිට්ට”
ඔන්න ඉතිං “වාව” කියලා එක්ක ගියා ගේ ඇතුලට

ගැ: තට්ටු හතක් නැග්ග කලට නෙයිනගෙ ඒ සූදු පොළට
ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මැතිදුට අනින්ට
“වා සෙන්” කිව්වා නෙයිනා එළුවා ගියා දුන්නු අණට
දැනගෙන මේ රහස් සියළු මැතිඳා යයි ඔට්ටු පොළට

පි: බලන්න පුදුමයි මහතුනි නෙයිනගෙ ඒ සූදු පිටිය
එතන්ට චන්ඩියා තමයි සේද වත්තේ ජෝං ගොයිය
දිනන්ට අත ගත්තු ගමන් මැතිඳුට ඔහු ඔරව හිටිය
කොහෙං ආපු දෙමළෙක් දැයි කියල ජෝං නැගිට සිටිය

ගැ: කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එම විට
ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට
දැනගල්ලා මෙතන ඉන්නෙ කොතලාවල කිව්ව කලට
තනියෙන් මයි අල්ල ගත්තෙ විස්සක් අත් අඩංගුවට

පි: පැන්න කලට චණ්ඩි ජෝං පිහියක් අරගෙන අනින්ට
දුන්න මැතිද පයින් එකක් බිව් රං කිරි කටින් එන්ට
ඉන්න හිටින්ටත් බැරිවුණි මළ මුත්තර පිටවු කලට
ඔන්න එවිට ආව එළුවා පැනගෙන මැතිඳුට අනින්ට

ගැ: කාගෙන් බේරුණත් බැරිය එළුවාගෙන් මාරුවෙන්ට
වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට
උඹ ද මිතුරෙ හතර ගාතෙ චණ්ඩියා කියමින් මෙතෙන්ට
දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට

පි: ඉතිං අම්මෙ ඉදල මොටද කියල නෙයින පැන විජහට
අතිං පයිං නෙමෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට
ගනිං මේක කිව්ව නමුත් පත්තු නොවුනි මැතිඳු පිනට
මුනින් වැටුනි නෙයින තම්බි මැතිඳ දුන්නු මරු පහරට

ගැ: නෙයිනට රුපියල් දාහයි දහය බැගින් අනිත් අයට
ගෙව්වයි දඩ බොහෝ දෙනෙක් බැරිවුනි තව හත් දෙනෙකුට
හැත්තෑවක් ගෙවලා මැතිඳා ගත්ත ඔවුන් හැම එළියට
ඇත්තයි අපි මල් පුදන්ට ඕන ඔහොම වීරයන්ට

පි: එක්ක ඇවිත් ඒ හත් දෙන කෙහෙල් වත්තෙ පිට්ටනියට
පියෙක් ලෙසට ඔවදන් දී දුසිරිතයෙන් වලකින්නට
දෙකක් පාර බැගින් දුන්නෙ මිතුරනි එය මතක් වෙන්ට
කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳුට වැද ගියයි යන්ට

ගැ/පි: එතුමා කළ දස්කං නං එක කටකට බැහැ කියන්ට
හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තියෙයි හොඳට
හිටියානං අද වෙනතුරු රජ කරනව ලංකාවට
එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට


~~චානක වීරකෝන්~~







Friday 20 November 2015

සදේ ඔබ ඇයිද මේ යාමේ...

කථාව මෙහෙම පටන් ගන්නම්.

එක තරුණයෙක් තවත් තරුණියක්ට අසීමිතව ආදරය කරනව.. . එත් මේ ගෑනු ලමයට ඒ ආදරේ තේරුම් ගන්න බැරිවෙනව.. මේ තරුණය මේ ගෑනු ලමයට තමන්ගෙ ආදරේ කියනව.. ගොඩක් කල් පස්සෙන් යනව.. ඒත් මේ ගෑනු ලමය වෙන කෙනෙක්ව බදිනව. ගොඩක් දුක් වෙන මේ තරුණයටත් සිද්ද වෙනව අකමෙත්තෙන් උනත් වෙන කෙනෙක් සමග විවාහ වෙන්න...

දෛවයේ සරදමකට වගේ මේ දෙන්න ආයෙත් මුන ගැහැනව.. අහම්බෙන් වගේ.. තරුණිටය බබාලත් ඉනන්ව... මේ වෙද්දි මේ තරුණියට තේරුම් ගිහින් තියෙන්නෙ තමන්ට ඇත්තටම ආදරේ කරේ මේ තරුණය බව... ඉතින් මේ තරුණිය මේ තරුණයට ආදරේ බව කියනව....
එතකොට මේ තරුණය මෙහෙම කියනව...

සදේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැගුනේ
සිතේ දුක හිරු නිවා දැම්මේ
නැතුවද ඔබ දන්නේ

තමන් ආදරය කරපු සද ඔයා උනත්.. මගේ දුක නිවා දැම්මෙ හිරු , ඒ කියන්නෙ තමන් හා විවාහ වුනු කාන්තවා බව කියනව..
ඉතින් ඒක එච්චර සුන්දර නොවුනත් ... සද මගේ ලොකෙන් බැස ගිහින් හිරු මගේ ලෝකෙට ආලෝකයක් වුනා....

ගිනි හිරු පායා
සොමි සද බැසලා
මගෙ ලොව එලිය කලා..........
ඔයා ඔයාගෙ සැමිය, දරුවො සමග හිනා වෙලා ඉන්න කොට මගේ හිත තිබුනෙ ඔයා ලග... මගේ බිරිද මගේ හිතේ ගොඩක් දුරිනුයි හිටියෙ.... ඒත් මන් තේරුම් ගත්ත මට ඔබගෙන් පලක් නැති බව...
ඔබ තරු වට කර හිනැ හෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගෙන් කිමද පලේ

ඔබ දිහා බලාගෙන ඔබත් එක්ක එකට ජීවිතය ගෙනියන්න මන් ගොඩක් පෙරුම් පිරුව.. එක මට අමතක කරන්න බෑ.. එත් ඔබ තරම්ම සුන්දර නොවුනත් .. කටුක උනත් . මගේ බිරිදෙගෙන් මම ලබපු සෙනෙහස මට අමතක කරන්න බෑ.
සද දෙස බල බල මා පැතුමන්
අමතක කරන්න බෑ
හිරු මා දැවුවත් මා ලද උනුසුම
අමතක කරන්න බෑ

දැන් ඔයාටයි මටයි යන්න ගමනක් නෑ. ගොඩක් අවංක තරුණයෙක්....

~~රසික ඉඳුනිල්~~




නින්ද නැති රැයේ ...


ඔන්නෙ කොල්ලෙක් කසාදයක් බදිනව. . ඉතින් බැන්දට පස්සෙ වෙන ප්‍ර‍ස්නයක් ගැන තමයි මේ කියන්න යන්නෙ...


බැදල මේ දෙන්න සිරි යහනට යනව. . හැබැයි මේ ගෑනු ලමය නම් කැමැත්තක් තිබිල නෑ මේ විවාහයට.. මොකද එයා වෙන කෙනෙක්ටයි ආදරය කරල තියෙන්නෙ.. එයාගෙ ප්‍ර‍ථම ප්‍රේමය ඒක තමයි.. එයා ඇදට වෙලා හොරෙන් අඩනව.. හැබැයි මේ කොල්ල මේක තේරුම් ගන්නව.. එයා කෙලගෙන් මෙහෙම අහනව...


නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ


පරණ දේවල්ගැන හිත හිතා දුකෙන් ඉන්න එපා.. මන් ඔයාව හොදට බලා ගන්නම්.. මේ හැමදේම අමතක කරල මං ඔයාට තුරුල් වෙන්නම්.. ජීවිතය කියන්නෙ අපිට කැමති දේ ලැබෙන් එක නෙවෙයි.. අපි ඇත්තට මූන දෙන්න ඕනෙ.. කොල්ල මේ විදිහට තමන් බැදපු කෙල්ලට කාරනය පැහැදිලි කරනව...


කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ

තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ

ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ

හෙට උදේම අවදි වී යායුතුව තිබේ...


ජීවිතය අදින් ඉවර වෙන්නෙ නෑ. අපිට දව ගොඩක් දුර යන්න තියනව.. ඉතින් හිත හදාගෙන මට අවසර දෙන්න.. ඔයාව තුරුල් කර ගන්න. . ඔයා ආස නැති උනත්. . ඔයා මගෙ බිරිද.. ඔයාට මං ආදරෙයි...


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ

ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ

කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ

සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...


ගායනය : ගුණදාස කපුගේ

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය : ගුණදාස කපුගේ


මට හිතුනෙ මේ වගේ කථාවක්... හැබැයි මීට වඩා වෙනස් වෙන්න පුලුවන් මේකෙ තේරුම..



~~රසික ඉඳුනිල්~~






Thursday 19 November 2015

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක..




ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක

හීනයක් සේ ඉපදියන් තනිවූ විරාමෙක..

මා හැරදමාගිය මියුලැසී....


හෙටදිනක් පෙරමගක් අරමුනක් නැති ගෙවෙන දිවියේ..

ඉසිබුවක් ලෙස හෝ........ගෙවුනු රසබර මතක මතුකර හිනැහියන්...

මා හැරදමාගිය මියුලැසී .....


ගීතයක් සේ මතුවෙයන්නොසිතූ වෙලාවක

හීනයක් සේ ඉපදියන් තනිවූ විරාමෙක

මා හැරදමාගිය මියුලැසී ....


හිනැහෙමින් වැලපෙමින් තුටුසිතින් පෙම් පිරූ සමයේ...

සලකුනක් ලෙස හෝ.....

පුරුදු ඉමිහිරි සිහින සමගින් දැවටියන්...

මා හැරදමාගිය මියුලැසී.....


ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක

හීනයක් සේ ඉපදියන් තනිවූ විරාමෙක

මා හැරදමාගිය මියුලැසී....


ඔබ මා අතහැර දමා දැන බොහෝ කලෙකි. ඔබට මා ආදරය කළ තරම ඔබ දන්නේ නැත. ඔබ විසින් අතහැර දැමූ මට හෙට දිනක්, පෙර මගක් හෝ අරමුණක් නැත. ඒ ඉසිබුවෙක ඔබ ගීතයක් සේ නොසිතූ මොහොතක, හීනයක් සේ නොසිතූ විරාමෙක පෑදී පැරැණි රස බර මතකයන් සමඟින් දැවටෙන්නේ නම්?


අප හිනැහෙමින්, වැළපෙමින් පෙම් පිරූ යුගය අවසන් වී ඇත. නමුත් එහි සළකුණක් ලෙසවත් පුරුදු ඉමිහිරි සිහිනයක් සමඟ පැමිණ මා ළඟ දැවටෙන්න. ඔබ මගේ මියුලැසියයි.


අසංක ප්‍රියමන්ත විසින් බොහෝ කලෙකට පසුව ගයන ලද්දා වූ හෘදයාංගම ගීතයකි. පෙම්වතිය විසින් අතැර දැමනු ලද්දා වු පෙම්වතකුගේ හැඟීම් කදිමට මෙම ගීතය තුළ විස්තර වේ.


ඔබ කවර දිනෙක හෝ විරහ වේ වේදනාව විඳ තිබේ ද? ඔබ පෙම්වතිය ඔබට සමු දී තිබේ ද? එය විඳ නැති නම් මේ ගීතය අසන්න. හදවත පුරා විහිදී ගොස් හිත කීරි ගස්වන වේදනාව ඔබට ද යන්තම් හෝ දැනෙනු ඇත.


~~නිපුන සම්පත්~~

Wednesday 18 November 2015

මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ...

මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර වුණා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ

සංහිඳ ළඟ දේවාලේ යාතිකා ගොළුයි
චෙට්ටියාර්ගේ කඩේ රෑ පාන නිවෙයි
නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
රෑ කළුවර පමණයි

වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි
හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
රෑ කළුවර නපුරුයි

ගේය පද : සමුද්‍ර වෙත්තසිංහ
සංගීතය : සුනිල් දයානන්ද කෝණාර
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

"හීන දකින අප්පච්චී කලුවර නපුරුයි....රෑ කලුවර නපුරුයි"

සැබැවින්ම අප්පච්චිලා හීන දකින්නෝය. මව්වරුන් තරමටම සිහින දකින්නෝය. තම දරුවාගේ දියුණුව, ශුභ සිද්ධිය පිලිබඳ දෑස් අයා බලා සිටින්නෝය. ඒ අප්පච්චි සිංහළද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද යන්න හෝ ඒ අප්පච්චි කොළඹද, නුවරද, අනුරාධපුරයේද, අම්පාරේද, යාපනයේද, මන්නරමද යන්න හෝ ඒ අප්පච්චි දවසට ලක්ෂයක් හොයනවද අමාරුවෙන් රැපියල් දෙසීයක් හොයනවද යන්න හෝ මෙහිදී වැදගත් නොවන බව ඔබ මම හොදින් දන්නා අත් විඳ ඇති කරුණකි. ඒ කුමන කරුණක්වත් නොසලකා ඒ හැම අප්පච්චි කෙනෙක්ම තම දරුවන්ගේ අනාගතය පිළිබඳ සිහින දකිති.

මෙම පද පේලිය, මෙම ගීතයේ අවසන් පද පේලිය වුවද මගේ අදහස පටන් ගැනීමට සුදුසුම තැන එය බව මට සිතෙන්නේ මේ ගීතය අසන අසන වාරයක් පාසා මෙහි අලංකාරම පද පේලිය මෙය බව මගේ සිත කියන නිසාවෙනි. මෙවන් ශුභ සිහින දකිමින් ඒ සිහින සැබෑ කර ගැන්මට දිවා රෑ වෙහෙසුණු අප්පච්චිලා කී දෙනෙක්නම් තම සිහින සැබෑ වන දිනක් නොදැක නපුරු ඝණ කලුවරේ මෙන්ම මහ දවල් ගිනි මද්දහනේද තම සිහින තුරුලු කරන් සැඟවී යන්නට ඇත්ද? ඒ අතිශය භයානක, නපුරු, අන්ධකාර අතීතය (එවකට වර්තමානය) ගීත රචකයා ශ්රාවක සිතට සියුම් ලෙස කාවද්දන්නට සමත් වී ඇති බවනම් නොකිවමනාය.
ගීතයක පද මාලාව තුලින් එම ගීතයට පදනම් වන පරිසරය පිළිබඳ ශ්රාවක සිතට අදහසක් දැනවිය හැකිනම් එය විශිෂ්ඨ බව මගේ හැඟීමයි. එවන් විටෙක ගීතයකට අමුතුවෙන් විශුවල් අවශ්ය නොවනු ඇත. චිත්ත රූප මවා ගනිමින් ගීය රස විඳීමට එය මනා පිටිවහලක් වනු ඇත.
"මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ - පිරිත් කියා නතර උනා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ…….මේ මැදියම් යාමේ”

ඈත රජරට මායිම් ගම්මානයක් මෙම ගීතයට පදනම සපයන බව පෙන්වාදීමට අතිශය සුදුසු පද පෙලකින් මෙම සුන්දර ගීතයේ ඇරඹුම සනිටුහන් වේ. පසුගිය දශක කීපය තුල තම ජීවිතය ගෙවූ ප්රාණියෙකුට යුද්ධය පිළිබඳ අමුතුවෙන් චිත්ත රූප මවා ගැනීමේ අවශ්යතාවයක් නොමැති බව සැබෑය. යුද්ධයේ කුරිරු බව ඒ තරමටම අපිද අත් විඳ ඇත්තෙමු. රට මැද දිවි ගෙවූ අප යුද්ධයෙන් එලෙස බැට කා ඇති තත්ත්වයක් තුල ඈත රජරට මායිම් ගම්මාන වල දිවි ගෙවූවන්ගේ ජීවිත වල දුඃකිතබව කෙතරම් වන්නට ඇත්ද?
මෙවැනි ගම්මානවල ප්රවාහනය අතිශය දුෂ්කරය. විශේෂයෙන්ම රාත්රී කාලයේදී ප්රවාහන පහසුකම් දුෂ්කර මෙන්ම භයානකය. ඔවුන්ට තිබුනේ ප්රවාහන පහසුකම් වලට වඩ ප්රවාහන අපහසුකම්ය. මේ ගම්මානයට රාත්රියේ පැමිණීමට ඇති අවසාන බස් එක මේ මන්නාරම් බස් එකයි. ඒ එන්නේත් බෝම්බ වෙඩි හඬ මැද්දෙන් වන කල රජරට සේවයද නතර වුණ රෑ මැදියම දක්වාම බස් එක නොපැමිණීම වැඩිහිටියෙකු වුවද බිය ගන්වනු නොඅනුමානය. එවැනි තත්ත්වයත් තුල අප්පච්චී ගෙදර එන තුරු බලා සිටින මේ පුංචි පැටවුන්ගේ සිතිවිලි ගැන සිතන්නේවත් කොහොමද?

“වන්නි වනන්තරේ නපුරු යුධ ගිණි පුපුරයි - අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි”
තත්ත්වය තවත් දරුණුය. මේ සිඟිත්තන්ගේ අම්මාත් ඔවුන් හැර ගොස්ය. ඇයද මා පෙර සඳහන් කළ අප්පච්චිලා මෙන්ම තම දරුවන් ගැන වූ ශුභ සිහින තුරුලු කරන් ජීවිත රඟ මඩලෙන් සමුගෙන ගොස් ඇත. එයටද කුරිරු යුද්ධය වග කිව යුතුද නැතිද යන්න ගී පද රචකයා අපට නොකියන්නේ ඒ පිළිබඳ අපට සිතීමට ඉඩ තබමින්ය. දරුවන්ගේ අත්තම්මා හෝ සීයා හෝ ඒ දෙදෙනාම හෝ ඔවුන් සමඟ තම දරුවා එන තුරු බලා සිටිනවා විය හැක. නමුත් තමන්ගේ අප්පච්චී ගෙදර එනතුරු පවතින දෙගිඩියාව සහ යුද්ධය විසින් උදුරා ගනිතැයි බියෙන් පසුවන ඒ ආදරය ඔවුන්ගෙන් පිරිමැසිය හැකිද? එය අතිශය භයංකාර සිතිවිල්ලකි.
“සන්හිඳ ලඟ දේවාලේ යාතිකා ගොලුයි - චෙට්ටියාර්ගේ කඩේ රෑ පාන නිවෙයි

නූල් පොටක් නැති අහසේ කලුවර පමණයි.... රෑ කලුවර පමණයි”
රාත්රියේ බියකරු බව තවත් තීව්ර කිරීමට පද රචකයා මෙහිදී සමත් වී ඇත. දේවාලේද යාතිකා ගොලුවී ඇත. චෙට්ටියාර්ගේ කඩේ පත්තුකර තිබූ පහනද නිවෙන්නට ආසන්න ය. අහසද කලුවර වී ඇත. රජරට අහස මහ වැසි කාලයකදී මිස තරු එලියක්වත් නොමැතිව අන්ධකාර විය හැකිද? පද රචකයා මේ තතනන්නේ දරු පැටවුන්ගේ අප්පච්චිට කරදරයක් වී ඇති බව කියා ගත නොහැකිවද?

~දිනූෂ ජයසිංහ~


කිරි අම්මාවරු දනට වඩිනවා....

කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නො අසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා

නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරි කර නැත පොවලා

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහි කර කිරි මව වීලා

ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
ගේය පද: හෙක්ටර් විජේසිරි
සංගීතය : රෝහණ වීරසිංහ

ඔබ ආයෙමත් ඇවිදින්, විසිරුණු මල් පෙති, ආදර මල් වල හා බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ...විචාරයන්ගේ පසුව පල කරන මාගේ පස්වන විචාරයයි.......

කිරි අම්මාවරුන්ගේ දානට අනික් හැම අම්මා කෙනෙක්ම යනවා ..ඇයි අම්මා විතරක් නොයන්නේ... පුතුනුවන් අම්මාගෙන් ප්‍රශ්නයක් අහනවා...

කෙසේ පුතුට පවසන්නද මා ඔබ බිහි නොකල බව... දරුවන් හදන්න මිසක් දරුවන් වදන්න පින් කර නැති බව.....

අපගේ සමාජයේ මෙවැනි ස්ත්‍රීන් කෙරේ වපර ඇසින් බලනවා..
.
ඔය ගෑනු උදේට දකින්නවත් හොඳ නෑ කියනවානේ...හරි මුස්පේන්තුයිලු... අපිට මේ වගේ කතාකරන අය කොච්චර සමාජයේ මුණගැහෙනවද?ඒවගේ හිතන හණමිටි අදහස් තියන අය කොච්චර ඉන්නවද..?
ඒ අම්මත් කොච්චර ආසා ඇත්ත වචනයේ පරිසමාප්තඅර්ථයෙන්ම අම්මා කෙනෙක් වෙන්න... තමන්ගේ හිතම කොච්චර රිදවනවා ඇද්ද ඒ හිත.... මිනිස්සුන්ගේ කතා කොච්චරක් වැටෙනවා ඇත්ද ඒ දෙසවනට..... අරුමයක්... ඒ දේ තවෙකෙකුට නොවැටහීම..

පුතනුවනි මට ඔබව වදන්න පින් මදි වුනාට මං ඒ හා සමාන දුක් විදලයි ඔබව උස් මහත් කලේ.. මේ සසරේ බැරි වුනාට මං මතු උපදින සසරක අම්මා කෙනෙක් උනාම කිරිඅම්මා වරුන්ගේ දානයට වඩින්නම්..
මේ ගීතයෙන් කියවෙන්නේ සමාජයේ බොහෝ පිරිසක් නොදකින පැතිකඩකි.....
.
.
.
හදපු අම්මාද, වදාපු අම්මාද උතුම්..?


~~මනොජ් අසංක~~


Saturday 14 November 2015

බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ.....



බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ.....


බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර සුවාමිනි

දුක හිතිලද සිරගෙට වැඩියේ මාගේ මරණ දිනේ

මගේ අම්මාවත් දොරටුව අද්දර සිටියද කියනු මැනේ

මා ගෙළලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ


අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා

ගෙළ වැලලුවොත් මගේ මලකද අම්මට පෙන්නන්න එපා

ඇතිදා ළග හුන් මිතුරන් මතු සසරේදී හමුවන්න එපා

නැතිදා ළග හුන් බුදු අම්මේ ඔබ දුක් ගිණි ගන්න එපා


නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනක සමා

මරණයේ දොරකඩ සිට ඔබේ පායුග සිබ සමුගනිමි මෙමා

කෙළිලොල් කම් තියු මා සතු දිවිමග දැන් දැන් වේවී නිමා

මරණ බයක් නැ අම්මා සිහි වෙයි ....

බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර සුවාමිනි

දුක හිතිලයි මා සිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ

දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුබ මගේ පුතුය අනේ

මතු උපදින දා මගේම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ...


අපි හැමෝම සනත් නන්දසිරි මහත්තයව දන්නෙ ගායකයෙක් විදියට. එහෙම නැත්නම් සංගීත අධ්‍යක්ශකයෙක්, තනු නිර්මාණකරුවෙක් විදියට. මේ එතුම අතින් ලියවෙච්ච පදමාලාවක්.. සංගීතය ගැන ඉතින් වෙනම කියන්න දෙයක් නෑ නෙ. මල්කාන්ති නන්දසිරි මහත්මිය යුග ගායනයෙන් දායක වෙනවා..


ගීතය අසන වීට ඇසට කදුලක් එක් කරනු නොඅනුමානයි... මරණයට නියම වූ සිර කරුවෙකුගේ ශෝකය මෙයින් විදහා දැක්වේ.. මරන් දන්ඩනයට නියම වූ සිර කරුවා පෝරකයට රැගෙන යන විට හාමුදුරු නමක් දකිනවා... බොහෝ විට බණ කීමට හාමුදුරුවන් සිර මැදිරි වලට වැඩීම සිදුවෙනවා.. සමහර පෝය දිනයන් වලදි ඔබ දැක ඇති....


මරන දණ්ඩනයට නියම වූ සිරකරුගේ හැගීම් ඉතාමත් සංයමයකින් මේ ගීතයේ රචනා කර තිබීම මේ ගීතයේ සාර්ථක බව කියා පානවා...


"අද මාව එල්ලලා මරනවා අපේ හාමුදුරුවනේ"


හිරගෙට වැඩි පන්සලේ හාමුදුරුවෝ ඉස්සරහා ඔහු වැඳ වැටෙනවා..


"මට මැරෙන්න බය නැහැ හාමුදුරුවනේ.. මම කරපු පව් මම විඳවන්න ඕනේ..මට තියෙන කාලේ හිටපු, මාව නොමගට යවපු එකෙක්වත් මට අද නැහැ.. මම කවදාවත් හැරිලා නොබලපු පන්සලේ හාමුදුරුවෝ, මගේ අන්තිම දවසේ මගේ හිත හදන්න හිර ගෙටම වැඩලා ..


ඔබ වහන්සේගෙන් එක ඉල්ලීමක් මම කරනවා..


මාව මැරුණට පස්සේ මගේ මළ කඳ අම්මට පෙන්නන්න එපා කියලා මම අවසන් ඉල්ලීමක් කල බව ඔවුන්ට කියන්න..

මුළු ලෝකෙටම මම අපරාධකරුවෙක් වුනත් මගේ අම්මට මම තාම එයාගේ පොඩි පුතා..මගේ මරණය එයාට දරා ගන්න බැරි වෙයි අපේ හාමුදුරුවනේ.."


ඔහුට කියන්න යන දේ..සම්පුර්ණ කරන්න ලැබෙන්නේ නැහැ.. ගීතය තුලම ඔහුගේ අවසානය සංකේතවත් වන්නේ එලෙසිනි..


පන්සලේ හාමුදුරුවන් හිරගෙයින් නික්මෙන විටම ඔහුගේ අම්මත් එනවා..


පෙර දින නැළවිලි ගී ගැයූ ඇය, හද පාරන වේදනාත්මක ස්වරයකින් සහ මාතෘත්වයේ අති උත්තම දාරක සෙනෙහසින් අද මෙසේ ගයනවා..


"මතු උපදින දා මගේම පුතු වෙයන්, හොඳ මිනිසෙකු ලෙසිනේ...!





~~‎මනෝජ් අසංක~~



Tuesday 10 November 2015

හෙමින් සැරේ පියා විදා...

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

ගායනය : ටී.එම්.ජයරත්න සමඟින් සුනිලා අබේසේකර
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : ධර්මසේන පතිරාජ


1980 දී  තිරගතවූ හංස විලක් චිත්‍රපටය සඳහා ටී.එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර ගායනාකල ගීතයකි. මෙහි ගේය පද රචනය ධර්මසේන පතිරාජයන් සහ සංගීත අධ්‍යක්ෂනය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගෙනි. 
ඔබ හංස විලක් නැරඹුවානම් දන්නවා ඇති මේ ගීය චිත්‍රපටයට කෙතරම් සමීපද යන වග. චිත්‍රපටයේ කිහිප අවස්ථාවකදීම මෙම ගීතය අපට ඇසෙන්නට ලැබේ. එහිදි මා සිත්ගත් හොඳම අවස්ථාව වනුයේ උසාවියේ නඩු තීන්දුව ලබාදෙන අවස්ථාවයි. අප සැවොම නඩු තීන්දුව දෙස අවධානයෙන් බලාසිටියද එහිදී මෙම ගීතය වාදනයවේ.  ධර්මසිරි බණ්ඩාරනයකයන්ගේ ප්‍රතිබාව මැනැවින් පිලිබිඹුවන් අවස්ථාවකි ඒ. හංස විලක් හි ප්‍රධාන චරිත් නිරූපනය කරන්නේ ධර්මසිරි බණ්ඩාරනයක, ස්වර්ණා මල්ලවආරච්චි, හෙන්රි ජයසේන සහ වසන්ති චතුරාණියි. 

මෙහිදී අති උත්කෘෂ්ට රංගනයක යෙදෙන ස්වර්ණා මල්ලවආරච්චි 1981 දී ඒ සඳහා ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලබනවා. ඇයගේ ප්‍රතිභාපූර්ණ රංගනයක් මීලඟට මා දකින්නේ 'සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා' තුලින්. මා සිනමා ශාලාවක් තුල මෙය දකින්නේ ඉතාම කුඩා කාලයෙදී. මාගේ මව සහ පියාට පින්සිදුවන්නට මේ සිනමා කෘතිය නරඹන්නට මම වාසනාව ලබනවා. එහි දර්ශණ අදටත් මා මතකයේ රැඳී තිබෙන්නේ ස්වර්ණා මල්ලවආරච්චිගේ අපූර්ව රංගනය නිසයි.

මෙහි ගීත ගායනය දෙස බැලුවොත් ටී.එම්. ජයරත්නයන් හා සුනිලා අබේසේකර විසින් ගීතයට උපරිම සාධාරණයක් ඉටුකොට තියනව. ටී. එම් අප බොහෝ දෙනෙකුට සමීප ගායකයෙක් වන නිසා  ඔහු ගැන අටුවා ටීකා නැතිව සුනිලා කෙරෙහි යොමුවෙමු. මැයගේ ගායන කෞශල්‍යය 'උදුම්බරා'  නැතහොත් හඳුනා  ගත්තොත් ඔබ මා ගීතයෙනුත් මනාවට පිලිබිඹු වෙනව. මැය සංගීතවේදී කේමදාසයන්ගේ කල්ලියේ ගායිකාවක් ලෙස කටයුතු කලාය. මීට අමතරව වාමාංශික දේශපාලනයටද දායකවූ තැනැත්තියක් ලෙස ඇයව හැඳින්වීමට පුලුවන. අද දවස අප අතර නැතත් ඇයගේ  හඬ කිසිදිනෙක අමතකකිරීමට නුපුලුවන.

ධර්මසේන පතිරාජයන් අප බොහෝ විට දකින්නේ සිනමා අධක්ෂකයෙකු හැටියට. 'හංස විලක්' තුලදී ඔහු මෙම  ගීතය රචනාව අපට දායාද කරනවා. මෙය  ඉතාම විශිෂ්ට ගනයේ සැලකෙන පද පෙලක් වනවා මෙන්ම සිනමා පටය හා මනාව ගැලපෙනවා. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත අධ්‍යක්ෂණය ගැන අමුතුවෙන් කිවයුතු නෑ. ගීතයේ අරුත ඉස්මතු කිරීමට ඔහුගේ සංගීතයේ  දායකත්වය අති මහත්. බඹරු ඇවිත් චිත්‍රපටිය ඇතුලු චිත්‍රපටි ගනනාවක් සඳහා සම්මානයෙන් පාත්‍රවන මොහුට හංස විලක් සඳහා සම්මානයක් නොලැබීම මටනම් දැනෙන්නේ ඉතා අඩුවක් ලෙසටයි. බඹරු ඇවිත් හි 'උදුම්බරා' ගීතය මෙන්ම 'හිමින් සැරේ පියා විදා' ගීතය ඉහල තලයක තියනවා පමනක් නොව සුවහසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත්කල ගීතයක්.

ඉතින් අපි ගීතයේ පසුබිමෙන් ගීතයේ අරුත කරා යනවිට එය හොඳින් වටහාගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටීම වඩාත් යෝග්‍යයි. ඇත්තෙන්ම මෙයින් කියැවෙන්නේ විවාහක යුවල් දෙකක් අතර පිරිමියා සහ ගැහැණිය අතර ඇතිවන අනියම් සම්බන්ධයක්.
බොහොම සීරුවට මොවුන් දෙදෙනාගේ හැඟුම් උද්දිපනය වන ආකාරය රචකයා පවසන අයුරු පැසසිය යුතුයි. 'සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්..පලා ඇවිත් සිතුම් සියොතුන්'
සියොතුන් සීරුවට පියාසැලීම  ඔවුන්ගේ හැඟුම් අවදිවන ආකාරය දැක්වීමට භාවිතා කර ඇත.

පිරිමියා ස්ත්‍රිය දෙස බලන ආකාරය රචකයා මැනැවින් පදගන්වා ඇත. මලක් නිතැතින්ම සුන්දරය. නමුත් පිරිමියා එය දකින්නේ හා පතන්නේ ඉතාම ලස්සන හිත් බැඳගන්නා මලක් ලෙසටය. විලකට උපමා කරන ස්ත්‍රිය එහිදීද ඉතා පිරිසිදු වූත් දියෙන් යුක්ත වීමට පතයි. ඇත්තෙනම් මේ පද කිහිපයෙන් කියවෙන්නේ පිරිමියාට ඇයව කෙතරම් සුන්දර ලෙස පෙනෙනවාද යන්නය. සමහරවිට මෙය තහනම් පෙමක් නිසා සුන්දරත්වය තවත් වැඩිපුර ඔහුට දැනෙනවා ඇත. මන්දයත් සමාජයේ බොහෝ දෙනෙක් ලැබෙන හෝ ලැබී ඇති දෙයට වඩා නොලැබෙන දෙයට ලොබ බඳින බැවිනි.

දෙදෙනා රාගයෙන් මත්වී ඔවුනට අවශ්‍ය කම් සැප ලබාගැනීම රචකයා දකින්නේ 'සිහින නිම්නය සුපුෂ්පිත වෙයි' යනුවෙනි. සිරි යහනේ පවුරු බිඳදැමීමක් ගැන රචකයා සඳහන් කරයි. සාමාන්‍යයෙන් සිරි යහනෙදී අඹු සැමියන් එකිනෙකා හා එක්වේ. පවුරු බිඳදැමීම ලෙස දක්වන්නේ මේ අසම්මතයේ එකතුවීමයි. සැබෑ ජීවිතයේ ඇති සියලු බැමි  බිඳදා අසම්මත ප්‍රේමයට මග පෙහෙලි කිරීම හා එය ඉදිරියට ගෙනයාම මෙයින් දක්නට ලැබේ.

මෙහිදී පැවසිය යුතු තවත් දෙයක් ඇත. මේ සිනමා පටය තුල ගෙනහැරපාන අසම්මත ප්‍රේමය සැබෑ ජීවිතයටද ගෙන ගිය බවක් දිස්වේ. එය පසක් වන්නේ සම්මාන උලෙලකදී ස්වර්ණා මල්ලවආරච්චි පවසන ප්‍රකාශයක් අනුවය. ඇගේ ජීවිතේ ලැබුණ හොඳම සම්මාන තුන ලැබුණේ ධර්මසිරිගෙන් කියලා .මුලම සම්මානය හංස විලක් , දෙවනුව බව දුක හා බව කර්ම. ඇයගේ ජීවිතේට ඔහුගෙන් ලැබුණ හොඳම සහ වටිනාම සම්මානය ඇගේ දියණිය ලෙසයි ඇය සලකන්නෙ.

ඒ කෙසේ වෙතත් පුද්ගලයන් කිහිප දෙනෙක් අතින් හැඩවැඩ වුනු ලාංකික ගීත ඉතිහාසයේ  නොමැකෙන සටහනක් තැබූ ගීතයක් ලෙසට මෙම ගීතය අප අතරට එකතු වෙනවා.

~~තේජන අබේදීර~~




Sunday 8 November 2015

සඳ පහන් රැයේ...

සඳ පහන් රැයේ මේ..........
සඳ පහන් රැයේ
උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්‍රිය උනා නම්
මුව උඩින් පාත්වී හිඳී
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ළඟ ළඟම මා එතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනා නම්

ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ළං වෙලා හිදීමී
උරහිසේ හිස හොවා හඩන විට
හාදු වැස්සක් වෙලා වැටේ
සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ

සදාකල් ළඟින් හිඳින්නම්
මං නුඹව මලක් සේ රකින්නම්
අනේ මං මලක් සේ රැදෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ළං වෙලා හිදීමී
හාදු වැස්සක් වෙලා වැටේ

ඉන්දිකා උපමාලිගේ සඳ පහන් රැයේ.. ගීතය ආරම්භයේ පටන් අවසානය දක්වාම, අසන්නාව හීන නිද්‍රාවක ගිල්වන ගීතයක්..

මේ ගීතය අහන්න පටන් ගත්ත හැමදාකම වගේ, ගීතයේ මුල් පදය පටන් ගන්න මොහොතේ ඉඳන්, අවසානය දක්වාම, කිසිදා නුදුටු, හැඩරුවක් නොදන්නා සංකල්පමය කාන්තාවකට මම ආදරය කරන්න පටන් ගන්නවා.. ඇය ලස්සන ද අවලස්සන ද, ඒ කිසි දෙයක් ගැන කිසිම හැගීමක් නැහැ, නමුත්, යශෝධරා චරිතයක ආත්මීය හැඩ රුව ඒ හිතේ මැවුන "කාන්තාවගේ" හැංගිලා තියෙනවා. "අනේ, මම රාත්‍රිය වුනා නම්", මටත් හිතෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. ඒ, සිද්ධාර්ථ වගේ රෑ අඳුරේම හැංගිලා යන්න නෙවේ, ඒ හීන නිද්‍රාවේ තව තවත් මත් වෙන්න.. සමහර වෙලාවට සින්දුව රිපීට් දාගෙන, දුම්රියේ යන පැය දෙකක ගමනක් වුනත් ඇස් පියාගෙන ඉන්නේ මම ඒ නිසා වෙන්න ඇති.

මුව උඩින් පාත්වී හිඳී
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ගීතය ඉවරවෙලා සංගීතය අවසන් වෙද්දී, දිගම දිග හීනයක හිතාගන්න බැරි දුරක් ගිය හැගීමක මම අතරමං වෙලා යනවා.. "සඳ පහන් රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන ඇවිල්ලා, සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ.." ඔව්, අව්‍යාජ පද පෙලකින් හැඩවුන, කදිම සංගීත මුසුවකින් තැනුන පෙම් සිහිනයක්..

~~බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න~~


Saturday 7 November 2015

වන්නි වනපෙතේ ගම් දනවු පුරා....

ඔන්න මාත් පළමු වතාවට ගීතයකට පොඩි විචාරයක් ලියන්න හිතුවා. ඇත්තටම මං ඒකට දක්ෂ නෑ. ඒත් මේ
ගීතය ඉස්සර ඉදන් මං ගොඩක් ආස කරපු අර්ථවත් ගීතයක් හින්දා මට පුළුවන් විදියට පොඩියට හරි දෙයක් ඒක ගැන ලියන්න හිතුණා. අඩු පාඩු ඇතොත් පෙන්වා දෙන්න.


සමාජය සීඝ්රීයෙන් නවීකරණය පසුපස හඹා යයි. ජීවත් වීම දුෂ්කරය. ඉන්ට හිටින්නට බිම් අගලක් සොයා ගන්නවා යනු ද ඉතා දුෂ්කර සටනක් බවට පත් වෙමින් පවතී. හැම කෙනෙක්ම වාගේ දිවා රෑ නොබලා නොකා නොබී මුදල් උපයන්නට වෙහෙසෙති. බැංකු පොත් පුරා මුදල් පුරවන්නට ඔවුන් තමන්ගේද තම පවුලේ අයගේ ද සතුට උගසට තබති. එසේ කර ඔවුන් නගරයේ කොනක දුක සේ තැනූ නිවසකට වී බියෙන් සැකෙන් තම ජීවිතය ගෙවා දමති. ඒ අතරතුර අපේ ගම් වල වෙසෙන අපේ අප්පච්චීලා.......

වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...

ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...

කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

ගායනය - සුනිල් එදිරිසිංහ මහතා
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ

ඉස්සර අපේ ගම්වල ජීවත් වූ අපේ අප්පච්චීලා තම දිවි පෙවෙත බොහෝ සරලව ගෙවා දමති. ඔවුනට තම ජීවිතය බරක් වූයේ නැත. බියෙන් සැකෙන් ලෝබකමින් තම ධනය රැස්කර තබන්නට ඔවුනට අවැසි වූයේ නැත. නිදහසේ දාන මාන ආදියත් කරමින් පරලොව කරා ධනය රැස්කරමින් සතුටින් ජීවත් වන්නට ඔවුන් සමත් විය.

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා
ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...

තමන් දුක් මහන්සියෙන් හරි හම්බු කරගත් ගොවිතැන් බතින් මුලු ගමගට වුව ද කන්නට දෙන්න තරම් අපේ අප්පච්චීලා පොහොසත් ය. නිතර තමන්ගේ කුටියට පැමිණෙන කවර ගම් වැසියෙකුට වුව ද බත් මිටක් කන්නට දෙන්නට තරම් ඔවුන් නිරහංකාර මෙන්ම නිර්ලෝභී වූවෝ ය. බැංකු පොත් පුරා මුදල් උපයනවා වෙනුවට ඔවුන් මිනිසුන් උපයති. එවන් පියවරුන් වෙතින් ජාතක වන්නට පින් ඇතත් ඔවුන්ගේ බොහෝ දූ පුතුන් නගරයෙහි සේවයට ගොස් බොහෝ හිරිහැර දුක් ගැහැට විදිමින් මුදල් උපයන්නට වෙහෙසෙති...

කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

පරම්පරාවෙන් තමන් හට ලැබුණු දේ බොහො වුණත් ඉන් සෑහීමට පත් නොවන වර්තමාන ජනයා, නගරයට වී අනුන් යටතේ සේවය කරමින් බොහෝ සේ වෙහෙසී දුක් විද, මාසයක් අවසානයේ සොච්චම් මුදලක් අතට ගනී. තම අඹු දරුවන් හා සමග ජීවිතය ගැටගසා ගැනීමට එය ප්‍රමාණවත් නොවේ. අනුන්ට දන් දෙනවා තියා තමන්ගේ එදිනෙදා ජීවිතයටවත් ප්රයමාණවත් නොවන මුදල්, කොයි වෙලේ කවුරුන් විසින් පැහැර ගන්නේ දැයි නිතරම ඔවුන් බියෙන් ජීවත් වෙති... පුහු ආටෝපය විනා නිවසට පැමිණෙන නෑ හිතමිතුරකුට සංග්‍රහ කිරීමට තරම්වත් ඔවුන් නිර්ලෝභී නොවෙති.... ඔවුන් සැබැවින්ම අසරණය.......


~~රුවිනි අපේක්ෂා~~



Friday 6 November 2015

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි...

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලදී.......

විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී..
වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..
බමරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..
පද: බන්දුල නානායක්කාරවසම්
තනු: රෝහණ වීරසිංහ
හඬ: අතුල අධිකාරි

ඇසූ පමණින් ආදර විරහව ගැන කියවෙන ගීතයක් වුනත් මේක එහෙම එකක් නෙවේ.....අනූව දශකය මුල් භාගයේ මුලින්ම ඇසුණු මේ ගීතය යට සැඟවිලා තියෙන්නේ ඛේදාන්තයක්... අයිය කෙනෙක් සහ ඔහුගේ නැගණිය....මේ දෙන්න සල්ලි බාගේ තියෙන අය නෙවේ...දුප්පත් මිනිස්සු....මේ අහිංසක නංගිව සල්ලිකාර වගේම සෙල්ලක්කාර තරුණයෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙළෙසිලා....දැන් ඔහුව හොයාගන්නවත් තැනක් නෑ....තමන්ගේ අහිංසක නංගිට යතාර්ථය තේරුම් කර දීමට උත්සහ කරයි......මම මේ නංගිගේ මේ අයියා වුනානම් මම නංගිට මේ යතාර්ථය තේරුම කරල දෙන්නෙ මෙහෙමයි කියන එකයි මේ ගීතයෙන් කියවෙන්නේ......
අහිංසක බොළඳ නැගණිය.....කෙලෙසුණු ඇගේ ජීවිතය නැවත නිකැළැල් කරන්නට නිෂ්පල උත්සාහයක යෙදෙයි.....
සල්ලිකාර පිරිමි අහිංසක දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත ඇවිල්ල යනවා....එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.....ඔවුන් අසරණ වෙලා තනි වෙනවා...
ඉහළින් වැජඹෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා..
බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්‍රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ...
තිත්ත ඇත්ත මෙයයි.....මේ යතාර්ථයයි ....






~~මනොජ් අසංක~~