Friday 30 October 2015

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා....

නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදො අහිමි ආදරේ
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

පතන්නට පවා මා වරම් අහිමිවූ
හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ
දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු
රෝහණ බෝගොඩ
දයා ද අල්විස් 
ස්ටැන්ලි පීරිස් 

මෙම ගීතය දයා ද අල්විස් රචිකාවියට විශේෂිත ගීතයක්, මන්දයත් තනුවකට ඇය ලියන මුල්ම ගීත රචනය මෙය වන නිසා. ගී තනු ස්ටැන්ලි පීරිස් ගෙන්. ඒත් එක්කම මේ හා බැඳුනු කතාවකුත් තියනව. 
ඇය තම හඬ අවදි කරයි. 'රෝහණ බෝගොඩ ඔය තනුව පළමුව දීල තියෙන්නේ ප්‍රේම්ට (ප්‍රේමකීර්ති ද අල්විස්) ඔහු එම තනුවට රෝහණ බෝගොඩට ගීතයක් රචනා කරල දීල තියෙනවා. නමුත් බෝගොඩට අවශ්‍ය වෙලා තියෙනවා එම පද පෙළෙහි යම් තැනක සුළු සංශෝධනයක් කරගන්න. නමුත් ඒකට ප්‍රේම් කැමැතිවෙලා නැහැ. ඔහු කිව්වලු ලියල තියෙන විදියටම කියන්න ඕන කියලා. ඉන්පසු බෝගොඩ කිව්වලු එහෙනම් මම වෙන කෙනකුට කියල අලුතින් ලියව ගන්නම් කියලා. ප්‍රේම් ඒකට හා කිව්වලු. ඒ කිසිදෙයක් මට කියන්නේ නැතිව රෝහණ බෝගොඩ මට තනුව දීල පදපෙළ ලියල දෙන්න කිව්ව. මං එතකොට තනුවකට ගී පද ලියල තිබුණේ නැහැ. කොහොම හරි මගේ අතින් ලියවුණු පදපෙළ රෝහණ ගායනා කළා. එය අතිශය ජනප්‍රිය වුණා. ඉන් පස්සේ තමයි ප්‍රේම් දැනගත්තෙත් ඒක රචනා කළේ මම කියල. හැබැයි ප්‍රේම් මුලින් ගීතයක් ලියපු බව දන්නවනම් මම කවදාවත්ම ඒ ගීතය ලියන්නේ නැහැ'

පෙම්වතුන් යුවලක් සිටිනව ඔවුන් ආදරෙන් බැඳිල පසුව විවාහ වෙනව. කොහොම වුනත් පසුව ඔවුනට තේරුම් යනව ඔවුන්ගේ අදහස් එකිනෙකට නොගැලපෙන බව. ඊටත් වැඩියෙන් සමහර දේවල් තියනව ඔවුන්ගේ වෙන්වීමට මං පාදන. ඔවුන් ජීවිත ගමනේ සැලකියයුතු දුරක් පැමින අවසන්. ඒත් කලයුතු හොඳම දේනම් වෙන්වීම පමනයි. මෙම ගී පද කියැවෙන්නේ එක් පාර්ශවයකින්. ඇය හෝ ඔහු කවුරු වුනත් මේ වෙන්වීම හද කීරිගස්වන සුලුයි. වෙන්වීමට අකමැත්තක් තිබුනත් විකල්පයක් නෑ. සමහරවිට අනෙක් පාර්ශවයටද මේදේ මේ අයුරින්ම දැනුනා වෙන්න පුලුවන්. 

වෙන්වෙන්නට තීරණය කර තිබුනත් ඒකත් ඉතා අසීරු කටයුත්තක්. ඔවුන්ගේ වෙන්වෙන දවස අදයි. නෙතු යුග එකිනෙක ගැටුනත් ඒ වෙනදාමෙන් මුවේ සිනහ නංවන්නට නොව නෙත් කෙමි තෙත් කරන්නට. අඩුම තරමේ සිතේ දුක තුනීකර ගැනීමටවත් සිතා නොදැනීම නිහඬව දෑස් දෙස බලා සිටිති. දෑස් අගින් කඳුලු  බිඳු රූටා වැටේ. හැඬීමෙන් පල නැත, මේ දුක නිමාවක් නම් නොවේ. හද තුල ඇති අසීමිත ආදරයෙන් දැන් පලක් නැත. මේ ආදරය දැන් හිමි නෑ, මෙවන් ආදරයක් පෙර මට හිමි වුනේ ඇයි?

හෙට දිනයේ ඔබ මගේ නොවේ, ඔබව පතන්නට මට අයිතියක් නෑ. හෙටින් පසු මගේ ලෝකයට උරුම කඳුල පමනයි. මට දැන් අලුතෙන් ලබාගන්නට දෙයක් නෑ. බලාපොරොත්තුවක් නෑ. මොකද ඔබ මගේ ලෝකයට සමුදී අවසන් නිසා.

ඉතාමත් සංවේදී ගී පද පෙලක්. සමහර විටක මෙය ඔබේ නෙතඟ කඳුලක් නංවන්නට සමත් වේවි. එහෙම වුනොත් ඒකෙ පුදුමෙකුත් නෑ. මම කවදත් ආදරය කරන දයා ද අල්විස් රචිකාවියගේ ජීවිතයේ අත්දැකීමක් මෙම ගීතයෙන් මතුවූවාදෝයි මට සිතෙනව. එය හුදෙක් සිතුවිල්ලක පමනයි.


~~තේජන අබේදීර~~

තාත්තා වුනත් මා බත සරිකරන....

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...

මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

පෙම්වතුන් ආලය කෙලවර කර ගැනීමට කැමති විවාහයකින්. මෙතනදී කෙලවර කර ගැනීම යන වචනයේ නොගැලපීමක් මම දකිනව. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ හැටියට එහෙමයි. විවාහයට පෙර ප්‍රේම කරන කාලය තමයි පෙම්වතුන්ගෙ අගනා වටිනාම කාලය වෙන්නෙ. ඔවුන් ප්‍රේමය විඳගන්නෙ ලෝකයටම හොරෙන්. මට මතක් වෙනව ටී. එම් ජයරත්න මහතාගෙ 'හිරුට හොරෙන් සඳුට හොරෙන් තරු මල් උයනේ..ලොවට හොරෙන් සැදූ ලොවයි අපේ ආදරේ..'
කොමල සිනා, කවට වදන් වකින් සපිරුනු ඒ යුගයේ මිහිරියාව මෙතෙක්යැයි කියන්නට සමතෙක් සිටීදෝයි සැකයක් මතුවේ. බොළඳ වදන් වලින් රජයන පෙම් ලෝකයට අනාගතය ගැන වගකීමකින් සිතීමට සිදුවන්නේ විවාහය සඳහා ලක ලෑස්ති වන විටය. විවාහයෙන් පසු තරමක වගකීම් දැරීමක් සිදුවන නිසා පෙර මෙන්ම ඉතා සැහැල්ලුවෙන් ආලය කිරීමට අපහසුය. යහළුවන් හා විනෝදවීම පෙර ලෙස ඉඩ ප්‍රස්තා නැත. 'කොවුලා වගේ ලව් සිංදුම කියපු එකා මං...ඒත මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං'
ටික කාලයකින් දරු සම්පත් ලැබීමට වාසනාවන්ත වන යුවල තවත් වගකීම් වලින් බැඳෙනව. මෙහිදී අම්මාට ඇයගේ සම්පූර්ණ කාලයම වෙන්කරන්න වෙන්නෙ දරුවන් වෙනුවෙන්. ඇයගේ ආලය දරුවන් කෙරේ නිරායාසයෙන්ම යොමුවෙනව. පියා මෙය දකින ආකාරය විවිදයි. සමහර විට තමාට පෙර ආදරය කල යුවතිය මවක් වූ පසු ඒ ආදරයම දරුවන්ට ලබාදෙන්නේ නම් ඇය තමාට නොව තමාගෙන් ලැබුනු ආදරයට පමණක් ප්‍රේම කර ඇතිබව සිතෙන්නට ගන්නව. 'මට නොවේ ඔබ ආදරය කලේ.. මගෙන් ලද ආදරයට පමනයි ඔබ ආදරය කලේ'

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පියෙකුගේ සිතුවිලි දකින්නෙ වෙනමම විදියකට. ගෙදරක ගෘහ මූලිකයා පිරිමියා. බොහෝවිට ඔහු පමනක් රක්ෂාවකට යන්නේ දරුවන්ට මවගේ සෙනෙහස, උණුසුම හා ලෙන්ගතුකම නිතරම ලැබියයුතු නිසයි. කතානායක  පියා කතාවට මුල පුරයි. ඔහු පවසන ආකාරයට  තමා ගෙදර සියලුම විය පැහැදම් දැරුවත් ඇය, ඔහුගේ දයාබර බිරිඳ තම දරු දැරියන් රැක බලා ගනිමින් වැඩි වගකීමක් දරන බවයි.

'පෙර දවස ඔබ මට ආලය කෙරූ ආකාරය මට තාම මතකයි. ඔබ ඒ පිවිතුරු ආදරය අද දින බිඳක් නෑර අපගේ දරුවන්ට පුදකරනවා. ඒක ලෙහෙසි දෙයක් නෙමෙයි. දහවලක් රැයක් නොබලා ඔවුන් හා රැඳෙමින් ඔබ වෙහෙසෙන විට මට ඔබ කෙරේ ඇතිවන ආදරය ඔබ දුටු මුල් දිනේදිවත් දැනුනාදෝයි සැකයි. ඒ තරමටම මා සිතේ ආලය ඔබ කෙරේ උතුරා ගලා හැලෙනව. කවමදාවත් ඔබ කෙරේ මෙවන් ආදරයක් ඇතිවී නැතිබැව් සත්තයි'

'අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී'
පියෙකුගේ ඇති පිතෘ සෙනෙහස ගැන වැඩියෙන් කතාකරන සමාජයක පියෙකු තම බිරිඳ කෙරේ ඇති නොඅඩු සෙනෙහස මෙම ගීතයෙන් මැනැවින් කියාපානව.
ඔහුට තම බිරිඳ කෙරේ ඇතිවන ආදරය සෙනෙහස ඇය පිලිබඳව ගෞරවයක් ඇතිකිරීමටද සමත් වෙනව. ඇයගේ  බැතිබර හැඟුම් දනවන සුවඳ කිරිකැටි පුතුගේ මුව කමල තුලින් ඔහු විඳී. ඇය තම දරුවන්ට සෙනෙහස පාන අතරේ ඔහුව අමතක නොකිරීමටද වග බලා ගනී. එය ඈ සිත් පතුලෙන්ම එන්නකි. ඇය ඔහුගේ ලඟින් සිට ඔහු හිස සිඹී. මෙය හුදෙක් ප්‍රේමයෙන් ඔබ්බට ගිය සිප ගැනීමකි. ඔහු එම අවස්ථාවේ ඇයව දකින්නේ තම බිරිඳ ලෙස නොව මාතෘධාරක ස්නේහයෙන් යුත් මවක් විලසිනි.

විජය කුමාරතුංගයන් ගයන 'කවුළුව අතරින් සඳරැස් එනවා' ගීතය සිහියට නැගේ. 'නිදියනු සොඳුරිය නිදියනු මා පුත දෙවියෝ මට ඔබ රැක දෙනවා'

~~තේජන අබේදීර~~





Thursday 29 October 2015

හන්තානට පායන හඳ....

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න ....
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න ....

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න ....
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න ....
ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න ....
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න ....
පද රචනය : ධම්මික බණ්ඩාර
ගායනය : අමරසිරි පීරිස්
___________________________
සැබෑ ප්‍රේමය වූ කලී හිමිකර ගැනීමම නොවෙයි .... එය හුදෙක් ආධ්‍යාත්මික බැඳීමක් වටා ගෙතුණු ; අනෙකාගේ සුවය ; අනෙකාගේ සුඛය මුල් කොටගෙන පිදෙන සොඳුරු ආත්මීය පූජාවකි ...
මෙම ගීතය තුළින් ධම්මික බණ්ඩායන් පෙන්වා දෙන්නේ එකී ප්‍රේමගත කැඩපතෙහි දිස්වන පාරිශුද්ධ වූ ප්‍රේම පූජාවක ප්‍රතිබිම්භයයි ....
මීට වස්තුවිෂය වූයේද සත්‍ය සිදුවීමකි ...එය වරෙක ධම්මිකයන් විසින්ම මුහුණ දුන්නකි .... මෙතැන් සිට අපිද එය දකිමු ; විඳිමු ....
සිය උපකාරක පන්තියේ විවේක කාලය තුළදී හදිසියේම ගුරුවරයාගේ නෙතු සොරා ගන්නේ අපූරු දසුනකි ... එයනම් , එක බත් පත බෙදාගෙන ; නොයෙක් උසුළු විසුළු පාමින් ; බත් කන ; කවන තරුණයෙකු සහ තරුණියකගේ දසුනකි ....
නොයෙක් කරුණු කාරණා මත සිතමින් .. මොවුන් දෙදෙනා ඉඳුරාම පෙමින් බැඳුණු යුවළක් විය යුතුයැයි ගුරුවරයා හිතින් නිර්ණයක යෙදිණි ...
පසුව දින , සති ගෙවී ගොස් කාලයාගේ ඇවෑමෙන් මොවුන්ද උ.පෙළ විභාගයට මුහුණ දුන් අතර ඔය සිදුවීම ද ගුරුවරයාට අමතකව ගියේය ....
-------------------------------------
දිනක් නඟරයේදී මෙම ගුරුවරයාට හදිසියේ තරුණයෙකු මුණගැසෙයි ....
" sir ට මාව මතකද ...!? "
මොහොතක් සිතා බැලූ කල ගුරුවරයාට මොහු පිළිබඳ මතකයට නැඟෙයි ....
' ඔව් ...මේ ඔහු තමයි ... එදා එක බත් පත අනා කමින් සිය ප්‍රියාවිය සමඟ ආදරයෙන් මුකුළු පෑ ඒ තරුණයා මොහුයි ... '
Sir : ඉතින් කොහොමද ?... දැන් මොකද කරන්නේ දරුවෝ ...!? කෝ දැන් අර ඉස්සර බත් කවා ගත්තු ගෑනු ළමයා ආ ....!!??
තරුණයා : එයා දැන් campus එකේ sir...
දැන් අපේ සම්බන්ධය නෑ ...
Sir : මොකක් ...!? ඒ මොකද ඒ ...!? ඇයි ගෑනු දරුවා වෙනස් වුනාවත්ද campus ගියාට පස්සේ ...!?
තරුණයා : අනේ නෑ sir...!! එයා එහෙම කෙනෙක් නෙවෙයි .... ගොඩක් ....ගොඩක් ....හොඳ කෙනෙක් .....අපි දෙන්නම campus යන්න තමයි ආශා කළේ .... ඒත් මට ඒ හීනෙ හැබෑවක් කර ගන්න බැරි වුනානෙ sir...
එත් ,. එහෙමයි කියලා මට එයාගෙ සතුට නැති කරන්න බෑ ... එයා මට වඩා ගොඩක් ඉහළ ,.. ගොඩක් දුර යන්න පුළුවන් කෙනෙක් .... ඉතින් ,.. මං එයා එක්ක ඉන්නවා කියන්නේ එයාගෙ ගමනට බාධාවක් ....
අන්න ඒ නිසා ඉතින් කොච්චර අමාරු වුනත් ..... කොහොමින් හරි මේ හිත හදාගෙන මං එයාගෙන් දුරස් වුනා ...
ඒ එයාගෙ සතුට වෙනුවෙන් ... මට වඩා උගත් හොඳ කෙනෙක් එයාට ලැබෙයි .... එයා වෙනුවෙන් එයාගෙ අනාගතය වෙනුවෙන් ඉතින් මං මගේ ආදරය පූජා කළා sir....
ඔය වචන ටික ඇහෙද්දිම ගුරුවරයාට හිතුනලු අදටත් අධම ආදරවන්තයන් මැද මෙහෙව් සොඳුරු චරිතත් ඉන්නවනේ කියලා .... ඒ නැඟුණු සිතිවිලි කැටි කිරීම තුළින් තමයි මේ ගීතය බිහි වෙන්නේ ....
" හන්තානට පායන හඳ ලස්සනයි ද කියන්න ....
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න .... "
අපි දෙන්නා එකට පාඩම් කළේ ; සරසවියට එන්න හිතාගනනේ ..... ඒත් මට ඒක අහිමි හීනයක් වුනා .... හැබැයි මට සතුටුයි ... ඔයා අද ඒ හීනෙ හැබෑ කරගෙන ....
මට අහිමි ඒ සොඳුරු හන්තාන සඳ .... අද ඔයා දකිනවා ; විඳිනවා ...
ඉතින් කියන්න .... ඒ සඳ ලස්සන ද ...!? හැබෑ වුණු ඔයාගේ හීනෙ සුන්දරද ...!?
" අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න ....
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න ..."
" ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න ....
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න .... "
සරසවිය යනු සැබැවින්ම ප්‍රේම පාරාදීසයකි .... එහි සරන්නන් අතරතුර ප්‍රේමාතුරයන් නොසිටින්නේ කලාතුරකිනි ....
මෙහි ,...
' හතර වටින් කළුවර කරගෙන මන්දාරම් වැහි ඇද වැටෙනා ; සරසවි බිම තෙමෙනා මොහොතේ ..... කුඩය යටින් යනෙන නුඹට තනියක් නොදැනේවා ' යැයි කෙරෙන ප්‍රාර්ථනය තුළින්ම මෙකී ප්‍රේමවන්තයාගේ ආත්මීය පූජාවේ උත්තම බව විශද වෙයි ....
එසේම ,....
සරසවිය පුරා රැඳි තුරු ලතා , .. රුක් ගොමු , ... තණ ඇතිලිරි ..... ආලවන්ත කම් පිබිදීමට තෝතැන්නකි ....
අතරතුර සැදි ලතා මණ්ඩප .... පෙම්වතුනට හුරු ; නුහුරු ආලනුරා දඟකම් පෑමට ඇරයුම් කරන්නා සේ බලා සිටියි ...
ඉතින් නුඹ මා ගැන සොවින් තැවි තැවී නොසිට ; මා පිළිබඳ ඇති සියලූම වූ මතකයන් පොදි බැඳ ..... සරසවිය අසලින් ගලන මහවැලි නදියට දමන්න ....
අනතුරුව නුඹට හිමි ලෝකයේ සොඳුරුතා විඳින්න ....
නුඹට හිතැති උගත් ....ආදරණීය පෙම්වතෙකු හා ඔය සොඳුරු ලතා මඬුලු වල සරන්න ..... හීන් හිරි පොද වැස්සේ එක කුඩයක මුවා වෙලා සොඳුරු මිහිරි සුව විඳින්න ..... මට උරුම නැති ලෝකයේ කිරුළු පලඳින්න .... ඒ ලස්සන දුර ගමනට මගෙන් ආසිරි ....
------------------------------------
තම ප්‍රියයා හෝ ප්‍රියාවිය තමන්ට අහිමි වූ කල සාහසිකව හැසිරෙනා උමතු දනන් වෙසෙනා ලොවක ...... මෙවැනි බෝසත් චරිත පිළිබඳ අපි කුමක් කියමුද ...!?? සිතමුද ...!?
ප්‍රේමයේ නිසි අරුත දන්නා මෙවැනි උන් ළඟ සැබැවින්ම අප ප්‍රේමයට දුහුනන් නොවේද .....!?
( සිතීම ඔබට පවරමි... )


]...ශක්ෂික රෝෂික...[


හිම දිය වී හිමාලයේ ...

ක්‍රි : හිම දිය වී හිමාලයේ ...
යමුනා ගඟ නඟයි තරංගා ...
සුදු පෙණ කැටි බලන්න රාධා ...

රා :
සුළඟ හමයි සීතල සාදා ....
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා ....
ක්‍රි :
සිනා රැලි නඟා උතුරන ...
ඔය හදවත් නීල ජලාශේ ...
පීනන මේ ස්වර්ණ හංසයෝ ....
අකීකරු ද මෙතරම් රාධා ...
රා :
ඉඩ දී දෙන්නට දඬුවම් ....
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා ....
ක්‍රි :
මල් පෙති පොඩි වී ඉකිලන ...
මේ හෝපලු යහන් තලාවේ ...
සඳ දිය මිණි මෙවුලට වැටිලා ....
දෑස නිලංකාරයි රාධා ...
රා :
ගිලිහී ගිය දෙන් මිණි කැට ...
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා ...
...............................................
පද රචනය : ධම්මික බණ්ඩාර
ගායනය : අමරසිරි පීරිස් & වසන්තා තිලකාංගනී
______________________________
රාධා - ක්‍රිෂ්ණා හුන්නේ කොතැනද එතැන ශෘංගාරයේ තිඹිරි ගෙයකි ....
ලොවෙහි පැවැත්මට තුඩු දෙන මුක්‍ය සාධකය කාම සම්භෝගය උවද ලොවෙහි බොහෝ දෙනා එකී කරුණ ප්‍රසිද්ධියේ කතා කිරීමට මැළි වෙති ..
මෙහිදී ධම්මික බණ්ඩාර යන් රාධා - ක්‍රිෂ්ණා පෙම් පුවත නිමිති කොටගෙන විවර කරන්නේ එකී ශෘංගාර ගත ප්‍රේම ද්වාරයයි ...
" හිම දිය වී හිමාලයේ .... "
යන මුල් කොටසින්ම පාරිසරික වැනුම් ඔස්සේ රාධා - ක්‍රිෂ්ණා තුළ දලුලන අසීමාන්තික ශෘංගාරයේ වපසරිය පිළිබඳ ධම්මිකයන් විසින් ඉඟි සැපයෙයි ...
අනතුරුව ,,
" සිනා රැලි නඟා උතුරන ...
ඔය හදවත් නීල ජලාශේ ... "
යන අන්තරා කොටසින් රාධාගේ හදවත නොහොත් ළපැත්ත සදිසි කෙරෙන්නේ නීල ජලාශයකට ය ... ඖචිත්‍ය පූර්ණ නව්‍ය රූපකයකින් ධම්මිකයන් වැඩ ගෙන ඇති අයුරු ඇත්තෙන්ම පැසසීම වටියි ... ඉන් නොනවතින ඔහු, ..... එම නීල ජලාශයේ ස්වර්ණ තිසරුන් පිහිනනා බව පවසයි .... නීල ජලාශය ළයනම් එහි වෙසෙන ස්වර්ණ හංසයන් කවුදැයි ; ඔවුන් ගණනින් කී දෙනෙකු දැයි ඔබට අමුතුවෙන් පැවසීම අවැසි නොවේයැයි සිතමි ...
එම තිසරුන් අකීකරු ලු ..... පුන් පයෝධර දුටු ක්‍රිෂ්ණා ගේ රාගික සිතැඟියාවන් සේම ඒවායෙහි ප්‍රමාණය ; ස්වරූපය පිළිබඳව ද මෙයින් කදිමට විශද වෙයි ....
ඊට පිළිතුරු ලෙස රාධගේ මුවට නංවා ඇත්තේ මෙවන් වදන් වැලකී ...
" ඉඩ දී දෙන්නට දඬුවම් ....
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා ....
මාගේ හද නැමැති නීල ජලාශයේ පිහිනනා කියන රන් තිසරුන් ඔය තරමට අකීකරු නම් ,.... ක්‍රිෂ්ණා ඔයා කැමති දඬුවමක් එයාලට දෙන්න .... මං මුකුත් නොකියා දෑස් පියාගෙනම ඉන්නම් ....
රස ශෘංගාර පූර්ණ වදන් පෙළකින් භාවාත්මක හැඟීම් මවාලූ අයුරු පෙනේද ....!!!!?
" මල් පෙති පොඩි වී ඉකිලන ...
මේ හෝ පලු යහන් තලාවේ ....
සඳ දිය මිණි මෙවුලට වැටිලා ....
දෑස නිලංකාරයි රාධා .... "
මොවුනට සුව පහසු මෙට්ට නැත ... ඇත්තේ හෝ පලු මල් පෙති වැටී සැදුණු මල් ඇතිරිලිය ..ආලයෙන් වෙළී ; රතියෙන් උමතුව හැසිරෙනා මොවුන් නිසා මල් පෙති පවා පොඩි වී ඉකි ගසනා බව පැවසීම තුළින් රති ගත දැඟලිල්ලේ තරම මැනවින් පෙනෙයි ....
ම්ණි මෙවුල යනු ආදි කතුන් තම රහසඟ වැසෙන සේ පැලඳි ආභරණයකි ... මොහොතකට පෙර හංසයන්ට දඬුවම් දීමට සැරසුණු ක්‍රිෂ්ණා ගේ දෑස් දැන් ඇත්තේ තවත් තැනකය ... ; සඳ රැස් වැටුණු මිණි මෙවුලෙහිය .... !!!! මෙතැන්හි ක්‍රිෂ්ණාවන් වක්‍රෝක්ති ගතව හඟවන්නේ වෙනමම දෙයකි ... මෙහිදී සැබැවින්ම මිණි මෙවුල හුදු සංකේතයක් පමණි .... ඒ මත සඳ රැස් වැටිලායැයි කීම තුළින් ,,, ක්‍රිෂ්ණා සිය නෙතින් දකිනා හෝ බලනා තැන ස්වරූපය ; ප්‍රභාව ; සුන්දරත්වය පිළිබඳ සිතුවම් මවයි .... සඳ රැස් වැටුණු මිණි මෙවුලට දෙනෙත් පාන ඔහුට පෙනෙන්නේ කුමක්දැයි පවසීම අවැසි නැතැයි සිතමි ... මං ද යත් , එය මා ඔබේ රස භාවයන්ට බලෙන් අත පෙවීමකි ...
අනතුරුව රධාවන් ,,
" ගිලිහී ගිය දෙන් මිණි කැට ...
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා ... "
යනුවෙන් පවසන වදනත් සමඟම ක්‍රිෂ්ණාවන්ගේ ශෘංගාර උමතුව පමණක් නොව , රාධා තුළ දැවෙන රති ආශ්වාදයෙහි ආශාව අධි ත්‍රීව්‍ර කොට දැක්වීමට රචකයා සමත් වෙයි ...
මාගේ මෙවුල් දමෙහි ඇති මිණි කැට පවා ගිලිහී , විසිරී ගිය දෙන් ...... ඔබ ඔබට රිසි ලෙසකින් හැසිරෙන්න ..... ඇගේ මුසපත් සිතැඟියාවන් ව්‍යංගාර්ථයෙන් පළ කළ සොඳුරු විලාසය පෙනේද ..!? ධම්මිකයන් ගේ ප්‍රතිභාන්විත පරිකල්පනයේ පෘථුල බව පිළිබඳ වෙන වැනුම් කුමට ....

( ප . ලි . - මෙහි අර්ථ පූර්ණ ; භාව පූර්ණ තවත් ඉසියුම් තැන් රැසක් වෙයි ... මා දුරකථනය ඔස්සේ මෙය ලියූ බැවින් එවැනි ඇතැම් තැන් හිතාමතා ම අත හැර මෙය හැකි තාක් සංක්ෂිප්ත කළෙමි ... ඉන් ඔබේ රසයට ඌනතා වූවේනම් කනගාටුවද පළ කරමි ... මං මින් පෙර විටෙක මේ ගීතය පිළිබඳ පැවසූ මොහොතක මා මිත්‍ර charith harshana සොයුරා මේ ගීතය පිළිබඳ විචාරයක් ලියන්න යැයි මට ඉල්ලීමක් කළ ද මා ඉන් හීන් සීරුවේ ලිස්සා ගියෙමි ...


]...ශක්ෂික රෝෂික...[

සිත්තම් කරමින්...

___ සිත්තම් කරමින් ___
සිත්තම් කරමින් මනසේ ඔබේ රුව
කවදා හෝ යළි දකින තුරා ....
රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගේ සවනත වැකෙන තුරා .....
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා ....
දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසලෙන් නැතිව ඇතී ....
ඔබ මගේ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇතී ....
භවයෙන් භවයේ අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා ....
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යළි හමුවෙමුයි පතා ....
>>>>>>>>><<<<<<<<<<<<
ගායනය : දයාන් විතාරණ
__________________________
සම්මතය තුළම සිර වූවෝ අසම්මතයට එරෙහි වෙති ; නිගරු කරති ...
එහෙත් අසම්මතය තුළ වුව , ළයට ගතු කම් පානා සොම්නස් සේම .... සුපෙම් හදවත් දෙදරවන දොම්නස් ද ගැබ් වෙයි ...
මේ ලිහන්නේ එකී ප්‍රිය විප්පයෝගයක දොම්නස් ගත වියවුල් ගැටයකි ...
" සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව .... "
යන වදන් පෙළින් මෙහිදී රචකයා තම අනුභූතිය විදර්ශනය ට අවකාශ සලසා ගනී ...
ප්‍රිය සමාගමයෙහි සේම විප්‍රයෝගයේදීත් තම ළබැඳියන් හද පත්ලෙහි සිතුවම් වීම නිරුත්සාහයෙන් සිදුවන්නකි ..
මෙහි එන පරිදි එකී අත්දැකීම ලබන්නේ ප්‍රේමවන්තයාය ...
හේතුව කවරක් වුව ,
ඔහුගේ නෙතු දෑලට රසඳුනක් වූ ඇගේ රුව දැන් ඔහුගෙන් දුරය ; ඔහු අසන්නට ආසා කළ ,... ඔහුගේ සවන් පත් අතරට මිහිරියාව ගෙන දුන් ඇගේ හඬ ඔහුගේ සවනින් දුරය ...
එනිසාම යළි දිනක තම ළබැඳිය නෙතු මානයේ දිස් වනා දිනයක් උදා වන තුරා ඔහු ඇගේ සොඳුරු රුව සිත් මානයේ සිතුවම් කර ගනී ; කලක් ඔහු සනසාලූ ඇගේ සුමියුරු සාදතෙපුල් සර මතක පෙත් අග රඳවා ගනී ...
නමුදු ඊට සාධක වූ හේතුව තවම නොපෙනෙයි ...
එයද රචකයාගේ පරිකල්පනමය සූරතාවයි ... මන්ද යත් , මෙම මුල් පද පේළි තුළ සරන සහෘදයා නිතැතින්ම ගීතයේ ඉතිරිය ඇසුමට දැවන ආශාවකින් පෙලඹෙයි ... පෙනේද රචකයා සිය ඒකාත්මිකයන් ගීතය වෙත ඇඳ බැඳ හොවාලූ සොඳුරු උපක්‍රමය ....!!
මෙහි කියැවෙන ප්‍රේමාතුර තරුණයා කවරෙකු වුවද , ඔහු පුන් අවංක සාර අයෙකු සේම තම ප්‍රේමියට මුළු හද පුරා අසීමාන්තික ව ආල පෑ ,... ඇගේ නමට මුළු දිවියම කැප කළ උත්තම පුරුෂයෙකු බවනම් නොරහසකි ...අනතුරුව ,,...
" විඳින්න දුන් ජීවිතය අරන් මම - විඳවන්නද මේ භවය පුරා ..."
ආදී ලෙස ගැයෙනා වදන් පෙළත් සමඟම පෙම්වතා තුළ වන අපේක්ෂා භංගත්වය , කනගාටුව , අහිමි වීම තුළින් දැවෙන සොව ආදී කරුණු රැසක් විශද කෙරෙයි ...
පෙනේද ...!?
මෙය තාවකාලික සමුගැන්මක් නම් නොවෙයි ... සත්තකින්ම ...!!! ඇයව ඔහුට සදහටම අහිමිව ගොස් ඇත ... විඳින්න ලැබෙන ජීවිතය තුළ ඔහුට විඳවීම උරුම ව ඇත්තේ එහෙයිනි ...
මනුෂ්‍ය ජීවිතයක් ලැබීම වුව දුර්ලභය .... ලැබූ ජීවිතය තුළ විඳවමින් ලතවීම නොව කළ යුතු වන්නේ විඳීමයි ... එහෙත් , ඔහුට එකී විඳීම අහිමිව ගොස්ය ...
කලකට ඉහත ඇගේ ප්‍රේමය තුළ ඔහුගේ ජීවිතයද සුන්දරව විඳිමින් ගලා යන්නට ඇති ....
එහෙත් ,... මේ අහිමි වීම .....!?
එය මොහුගේ දිවියේ අවාසනාවන්ත හැරවුම් ලක්ෂයයි .... මුල් පද කිහිපය තුළ සැඟවුණු අරුත මෙතරම් පුළුල්නම් ඉතිරිය ගැන වැනුම් කුමට ....!!
" දෙලොවක් අතරේ සරන ඔබේ හිත ......"
--- " මං ඔයාට ආදරෙයි රත්තරන් .... ගොඩාක් ආදරෙයි ... ඔයා තමයි මගේ ජීවිතේ ... මට ඔයා නැතුවනම් ඉන්න බැහැ .... සත්තයි ..."----
ආදි ලෙස සෙසු පෙම්වතුන් සේම මොවුහුත් පවසන්නට ඇති ; ප්‍රේම සප්ත සාගරයේ කිමිදෙන්න ඇති ; සුව කුටුම්භයක සුවෙන් වසන්න පැතුම් පතන්නට ඇති ...
ඒත් ...ඒත් ...
දැන් ඇය සරන්නේ දෙලොවකය ... මොහුගේ සෙනෙහස හිතෙහි රඳවගෙන ඇය ගතින් තවකෙකු ගේ වී ඇත ... ඇයට ආපසු හැරීමට බැරිය ... මන්ද යත් , දැන් ඇය පතිනියකි ...
මෙහිදී රචකයා ඉතා සියුම්ව පද ගලපා ඇති බැව් පෙනෙයි ... මේ තරම් දෙයක් සිදු වී ඇතත් පෙම්වතා පෙම්වතිය කෙරෙහි අමනාප නොවෙයි ....
ඒ අනුව එය ඇගේ උවමනාවක් තුළ සිදු වූ සරණ බැඳීමක් බැව් නොපෙනෙයි ....
ඉතින් ඇයද වැරදි නැත ...
ඇය තවමත් ඔහුට පෙම් කරයි .... දෙලොවක් අතර සරන්නේ එහෙයිනි ....
මෙහි සිතන්නට තවත් පැත්තක් ඇත ....
සැමියාගෙන් වෙන්ව සිය පෙම්වතා වෙත යාමටද ඇයට නොහැකිය ...
මන්ද යත් , සැමියාද ඇයට සෙනෙහෙවන්තය ... ඔහුද ගුණවන්තයෙකි ... මෙහිදී ඇය සැබැවින්ම අසරණය ....
දෙ + ලොවින් ..... ලොවක් තෝරා බේරා ගැනුමට හිතට එකඟව නොහැකිය ...
කුටුම්භ දිවියේ දී ඇයට ඉටුකිරීමට සිදුවන වගකීම් , යුතුකම් සමඟ ගැටීමේදී ඇතැම් විට මතක දුක වුව යම්තාක් දුරට සමනය වෙයි ...( එය මනෝවිද්‍යා පසුබිමක සිට සාකච්ඡා කළ යුත්තකි ..)
නමුදු ,... පෙම්වතාගේ මුළු ලෝකයම ඇයයි ... ඔහුගේ ජීවිතය ඇයයි ; ඔහුගේ වගකීම ඇගේ ප්‍රේමයයි .... විඳව විඳවාම ඇය ගැන සිතන්නේ ,.. පතන්නේ එහෙයිනි ...
සම්මතය - අසම්මතය තුළ දෝලනය වන යථාර්ථය සානුකම්පිතව මෙහිදී මවා පායි ...
" භවයෙන් භවයේ අහිමිව හිමිවන ....."
---" මයේ වස්තුවේ ,... අපිට අපිව මේ ආත්මයේ උරුම නෑ .... ඇයි ඒ දන්නවද ඔයා ... !? පෙර ආත්ම වල අපි අපේ වෙන්න කියලා ....ඔයයි , මමයි පෙරුම් පුරන්න නැතිව ඇති .... ඔයා මගෙන් මෙහෙම දුර ගියේ ... අපි අපේ නොවුනේ ඒ නිසා වෙන්න ඇති ... හැබැයි .....එන ආත්මෙදිනම් මං ඔයාව කාටවත් දෙන්නැහැ .... ඔයා මගේ ම ... ඔව් ........... මගේ ම කර ගන්නවා එතකොට .... ඒ වෙනුවෙන් අපි මේ භවයෙදි දැන් තියා පාරමිතා පුරමු ......"
පෙනේද ...!?
ඔහුගේ අපිරිමිත වූ නොකැළැල් ප්‍රේමයේ වපසරිය ....
රූපයට වහල් වී ලිංගික උත්තේජන ලබන ; විඳින අරමුණින් පෙම් කරන බොහෝ දෙනා අතර මොහු වැනි උත්තම ප්‍රේමවන්තයෙකුගෙන් ලැබන මෙවන් ආදරයක් විඳිනට යුවතියක ට ලෝබ සිතෙනු නොඅනුමානය .....
( සිතීම ඔබට භාර කරමි .)
මෙහි තවත් විශේෂත්වයක් මට පෙනිණි .... දුටුවාද ඔබ ....??!!
ඔහු සිය පෙම්වතිය ට පාරමීදම් පුරනට ආරාධනා කරන අතරම මේ භවයේ දී සමුගනිමු යැයිද පවසයි ...
රචකයාගේ රචනා දෘෂ්ටියෙහි පෘථුල බවනම් පැසසිය යුතුමය ....
ගීතයේ ආරම්භයේ දී පෙම්වතා සිය ප්‍රියාවිය දැකුමට නොතිත් ආශාවෙන් පසු වුවත් පසුව ඔහු විසින් ම ඇයගෙන් මේ භවයේ දී සමුගැන්මට සැරසෙයි .... මතු භවයක අපි අපේම වන තුරු හමුනොවෙමුයැයි කියයි ....
සැබෑ ආදරයනම් මෙයම නොවේද ...!? ' උඹ මට පෙම් කළානම් මගේම විය යුතුයි ' කියා ගහ මරා ගන්නා ලොවක .....
තමා හා ඇසුරින් .... තම ප්‍රේමවන්තියට කැළලක් , නිගරුවක් වේයැයි සිතා ඔහු ඇගේ ඇසුරින් ,.. නේත්‍ර පථයෙන් දුරට යයි .... මන්ද යත් , ඇය දැන් පතිනියක බැවින් ඔහුගේ ඇසුරින් ඇයට සමාජයේ අපවාද පැමිණිමේ ඉඩකඩ වැඩිය ..... ඒ නිසා අකමැත්තෙන් වුව ඔහුගේ දුරස් වීම ඇගේ දිවියට සැපයකි ....
සැබෑ පෙමක අරුමය මෙයම නොවේද ...!!!!!!!

ප .ලි -
මේ ගීතය ගැන විචාරයක් ලියන්නයැයි පෙර පරිදිම වාගේ මට ඇරයුම් කළේ මා මිත්‍ර ‪#‎charith‬ සොයුරාය ... ඔබට තුති ...! එසේම කවදත් මාගේ නිර්මාණ අගය කරන ‪#‎dilani‬ අක්කාත් නැවත ආරාධනය කළාය ... අක්කේ ඔබටත් තුති ...! මෙය රස විඳින ඔබ සියල්ලන්ටද මහද පිරි තුති ...!
( මෙම ගීතයේ රචකයා පිළිබඳ මා නොදන්නා බැවින් ,... දන්නා කෙනෙක් සිටීනම් ඔහුගේ නම දක්වන ලෙස ඉල්ලමි ..)


]...ශක්ෂික රෝෂික...[



නිර්මලා ....

පි : නිර්මලා ලොන්ඩරිය හිමි
සළු වඩන මැණිකේ නිර්මලා .....
මල් හිනා නුඹේ තැවරිලා .....
කිරි ඉද්ද මල් වැට පීදිලා ....

ගැ :
කුල ගෙවල් සැරසිලි කළත්
අපි සළු වඩා පාවඩ එලා ....
නිර්මලා නිර්මල නැතැයි මා ...
ඔබේ ලොවින් පිට මං කළා ...
පි :
පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් ඇස් රිදුණු දා ....
මා හෙලූ කදුළක්
මගේ දින පොතක තිබිලා හමුවුණා ....
ගැ :
යුධ වැදී නෑසියන් බලමුළු
අපේ ලොව ගිනි වැදුණු දා ....
මා හෙලූ කදුළින් තෙමුණු සළු
පිළි තවම නෑ වේලිලා ....
පි :
දොවාලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා ....
මගේ ඇඳුම් නුඹේ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා ...
ගැ :
එදා සෙනෙහස නොකිලිටව ඔබෙ
හිත පුරා පවතින නිසා ....
හිමි නැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියෙනවා ....
ගායනය : ගුණදාස කපුගේ & නිරංජලා සරෝජනී
_____________________
මෙහි වස්තුවිෂය ලෙස ගෙන ඇත්තේ ' නිර්මලා යැයි හැඳින්වූ හේනෙ කුලයක තරුණියක සහ ඇයත් සමඟ පෙමින් වෙළී හුන් ඉහළ පැලැන්තියක තරුණයෙකු අතර වන සංවාදයකි .... ලත් තැනම ලොප් ලොප්ව , බිඳී දෙදරා ගිය .... ඔවුන්ගේ ප්‍රේම අතීතාවර්ජනයක්' ලෙස එය හැඟෙයි ...
නිර්මලා යනු රදා නොහොත් ඩෝබි කුලයක තරුණියකි ... ඈට උරුම සෙස්සන්ගේ සළු පිළී සෝදා දීමයි ; පිරිසිදු කිරීමයි ...
මෙහි නිර්මලා යන සංකේත නාමය රචකයා සිය පරමාර්ථ විකාසනයට ගලපා යෙදූවකි ..
නිර්මලා = පිරිසිදු / පාරිශුද්ධ / පිවිතුරු / නිකැළැල් ස්ත්‍රිය ...යන්නයි ...
කුල ගර්වයෙන් ඉදිමී ; පුහු මෝහයෙන් පිම්බී වෙසෙනා ඇතැම් ඉහළ පැලැන්තිවල ඇත්තන්ගේ සළු පිළී සෝදනා ඇගේ සිත කොතරම් පවිත්‍ර වන්නේදැයි ඇගේ නමින්ම අපට හඟවයි ... මුවගේ නැඟෙන මල් හිනවකින් කිරි ඉද්ද මල් වැට පීදෙනා බැව් කීමෙන්ද හැඟෙන්නේ එයමැයි ... කිරි ඉද්ද යනු ද පාරිශුද්ධත්වයට ඉඟි පානා මලෙකි ...
ඈ කුලයෙන් හීන අහිංසකාවියකි .........සෙසු අමන සිත් මෙන් ඈ තුළ පුහු අහංකාකම් , ගර්වයන් නැත ...
ඔවුන් තුළ නොවන අහිංසක කම , හිත්පුරා පිවිතුරු බව ඇය වෙතින් වෑහෙයි ... ඇය ගැන හොඳ හැටි දන්නා පෙම්වතා ඇගේ පෙම සාධාරණීකරණය කරන්නේ එබැවිනි ....
" කුල ගෙවල් සැරසිලි කළත් ...... "
මෙහිදී ඇයගේ වදනින් අප හදවත් කීරි ගැහෙයි ... " මේ තරමට ඔබ වෙනුවෙන් ඔබේ පරපුර වෙනුවෙන් කටයුතු කළ , කුල ගෙවල් සැරසිලි කළ , සළු පිළී සෝදා දුන් මා නිර්මල බව අද ඔබ මෙසේ කීවද ... එදා ඔබේ සනුහරය මේ නිර්මලා නිර්මල නැතැයි කියමින් මා පිටමං කළ අයුරු ඔබට මතකද !?!...

" පංතියේ මිතුරන් එදා .... "
ළඳුනි ,, මා කියනා දෙයත් අසනු මැන ....
' මා ඔබ හා ප්‍රේමයෙන් වෙළුණු නිසාම මාගේ යහළුවන්ගේ උසුළු විසුළු වලට ලක් වීමට මට සිදු විය .... ඒ එදා හැඬූ තරම මේ ළඟදී දිනයකත් මා සිහියට නැඟිණි ... ' මා හෙලූ කදුළක් මගේ දින පොතක තිබිලා හමු වුනා ' යනුවෙන් කියා පාන්නේ එයමැයි ... මින් හඟින්නේ වෙනමම කරුණකි ... ' සොඳුරිය , ඒ මා හැඬුවේ මා වෙනුවෙන් නොව , කුල මල කරපින්නා ගත් මාන්නක්කාර යහළුවන් ඔබ වෙත කරනා පරිභවයන් උසුලනු නොහැකිවය .... මා නෙතු අග කඳුළු පිරුණේ පාරිශුද්ධ ප්‍රේමයේ නාමයෙනි ... මේ කරන ප්‍රකාශයත් සමඟ ඔහු සත්‍යවාදී පෙම්වතෙකු බව ඇයට මෙන්ම අපටද හැඟෙයි ... පද පේළි හතරකට කැටි කළ , රචකයාගේ පුළුල් සංකේත විදර්ශනය පෙනේද ?!....
" යුධ වැදී නෑසියන් බල මුළු ...."
' සොඳුර , නුඹට මා පෙම් කළ නිසාම නුඹේ කුලවත් බන්ධු බලමුළු පැමිණ අපේ ප්‍රේමයට එරෙහි වූ දා මා කෙතරම්නම් අසරණ වූවාදැයි නුඹ දනීද ?!... එදා ඔවුන් සියල්ල ඔබේ පසට වී මා වෙත චෝදනාවන් නඟද්දී මා සිත පෑරුණු තරම දන්නේ මා පමණි ....
" මා හෙලූ කදුළින් තෙමූ සළු
පිළී තවම නෑ වේලිලා ."
යන්නෙන් පවසන්නේ එයයි .... මට ඒ සිදුවීම සදා අමතක නොවෙනු ඇත ....... '
මෙහි විශේෂත්වය වන්නේ ,...
පෙර කී පෙම්වතා හෙලූ කදුළක් ... ඔහුට නැවතත් පරණ දින පොතකින් හමුවූවයැයි කීමත් , ඇය හෙලූ කදුළින් තෙමුණු ඇගේ සළුපිළි තවම වියළී නැතැයි කීමත් ය ...
පෙර දාක සිදුවූ ඒ සිදුවීම් ඔහුට අමතකව ගොස් තිබී නැවත කුමන හෝ කාරණයකට පෙර මතක මතු වූ බැවින් එය සිහියට නැඟුණු බව හැඟෙයි .... ඔහු එහිදී ඇයට නැවත අතීතය මතක් කර දෙමින් ඇයට සමීප වීමට උත්සාහ දරයි ... සමහරවිට ඒ නැවතත් ප්‍රේම ඇරයුමක් කිරීමට සැරසීමක් වියයුතුය ..

පෙර දාක මේ පෙම නිසාම ඉවසිය නොහැකි තරම් ඇඬුම් පෑ ඇයට නැවත ඒ දුක විඳීමට බැරිය ; ඒ සඳහා ඇගේ සිත සවිමත් නැත ... ' සොඳුර , නුඹේ ලෝකයයි මගේ ලෝකයයි කිසිදා නොපෑහෙයි ... සමාවනු මැන ! ... ' ඇය එය ව්‍යංගාර්ථයෙන් කියනා අයුරු මනාය ...
" දොවාලන්නට බැරි පිළී ගඳ .... "
කුමක් කළ යුතුයැයි මට නොතේරෙයි ... මා දන්නේ මා නුඹට ළෙන්ගතු බව පමණකි ... ඒ නිසාම ... මේ කුලමල කුණු තැවරුණු සළු පිළී නුඹ ලවා පිරිසිදු කර ගන්නට මට නොසිතෙයි ... එහෙත් එසේ නොකරත් බැරිය ...
පෙනේද ?.. එයද ඉඟියකි ....
' මාගේ මේ කුල ගර්වය නමැති නොනිසි පිළිලය පැතිරී ගිය දිවියට කිසිදාක නුඹ ළඟා කර ගත නොහැකි බැව් මටද හැඟෙයි ... එහෙත් , ඔබගෙන් දුරස් වීමට ද හිත ඉඩ නොදෙයි .... මම නුඹට ළං වනු රිසියෙමි .... මෙහිදී ඔහුත් අසරණය ... දෙමාපිය නෑදෑ බලමුළු හමුවේ ඔහුට කළ හැකි යමක් නැති බව හඟියි ...
" එදා සෙනෙහස නොකිලිටව ඔබෙ .... "
කුමක් කරන්නද සොඳුර ,.. නුඹ මා වෙත පිදූ සෙනෙහස අමිල සේම නොකැළැල් බව මම දනිමි .... නුඹ ගැනවත් නුඹේ සනුහරය ගැනවත් මා සිත තුළ කහටක් නැත ...
" හිමි නැතත් මට හුරු සුවඳ ඒ ඇඳුම් අතරේ තියෙනවා .... "
' නුඹව මට හිමි නූනත් නුඹ දුන් ප්‍රේමයෙහි මහිම මා සිත් පුරා සඳා රැඳෙනු ඇත .... මෙහි ( හිමි නැතත් ) යන්න තවත් ලෙසකින් ගත හැක ....
හිමි = ස්වාමියා
එසේ ගත් කල ,... නුඹ මාගේ ස්වාමියා නූනත් හිතින් මා සැමදා නුඹේ ළඟය යන අරුත සපයයි ....
රචකයාණෙනි ,...
කුලමල හා උස් පහත්කම් හේතුවෙන් භේදභින්න වී හැසිරෙනා සමාජයක සැඟවුණු යථාර්ථය පුළුල් ලෙස සංයමයෙන් විදර්ශනය කරනා ඔබ වෙත සාහිත්‍යයේ නාමයෙන් හිස නමා ආචාරය පුද කරමි මම ....

]...ශක්ෂික රෝෂික...[

Wednesday 28 October 2015

ලෙන්චිනා මගෙ නංගියේ.....

මෑතකදී කියවන්නට ලැබුණු සෙංකොට්ටං, මැටි වැනි පොත් කීපයක් නිසයි මේ ගීතය මතකයට ආවෙ.

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ //

පෙත්තරේ ලඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායලා
ලෙන්චිනා ඇති වැඩ කලා දැන්
ගෙදර යං කළුවර වුණා
ලෙන්චිනා මගෙ... //

පින්වතුන් කැල ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබලනා

ලෙන්චිනා මගෙ...//

සමාජ විශමතා ගැන කතා කරන කවුරුත් ජාති බේද, ආගම් බේද ගැන කතිකා ඇති කළත් කුල බේද ගැන කතා කරන්නෙ ටිකක් අඩුවෙන්.අතීතයේ වූ රැකියා ක්‍රම පදනම් කරගත් කුල ක්‍රමය වර්තමාන නිදහස් අධ්‍යාපන රටාවත් සමග මදක් අභාවයට ගිහින්.අළු යට ගිනි පුපුරු වගේ මතුවෙන අවස්ථාත් නැත්තෙම නැහැ.(පුවත්පත් මංගල යෝජනා පිටු වල වගේ)
කුල ක්‍රමය අනුභූතිය කරගත් සාහිත්‍ය නිර්මාණ අතරට මේ ගීතයත් දක්වන්න පුළුවන්.
ගොවි,කරාව,දේව,කුඹල්,වහුම්පුර වැනි නොයෙකුත් කුල අතර රජක කියන්නෙ ටිකක් පහත්යැයි සම්මත කුලයක්. මෙහි එන ලෙංචිනා රජක කුල තරුණියක්.(ජසයා සහ ලෙන්චිනා නාඩගමේ එන චරිතය ඇසුරින් මෙම නම යොදන්න ඇතැයි සිතිය හැකියි )
ලෙන්චිනා හැමදාමත් ගොංමන් අඳුරේ රෙදි සෝදනවා.මේ කියන අඳුර කුල වාදයේ අඳුර වෙන්න පුළුවන්, නූගත්කමේ අඳුර වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් දුප්පත්කමේ අඳුර වෙන්න පුළුවන්.
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ
ඇය හැමදාමත් මේ විදියට අඳුරට වෙලා වැඩ කරන්නෙ ඒක තමන්ගෙ උරුමය, එහෙම නැත්නම් කරුමය ලෙස සලකමින් වෙන්න පුළුවන්.
ඒත් ඒක හැමදාම එසේ විය යුතුද?රචකයා ඇයට යෝජනා කරන්නෙ මේ අන්ධකාරෙන් ගොඩ එන්න.මේ ක්‍රමයට තිත තියන්න.
ලෙන්චිනා ඇති වැඩ කලා දැන්
ගෙදර යං කළුවර වුණා
මෙතනදි ලෙන්චිනාගෙන් සංකේතවක් වෙන්නෙ හුදෙක්ම කුලයෙන් පහත් යැයි සම්මත පිරිසම නොවෙන්න පුළුවන්.ධනයෙන්, බලයෙන්,උගත්කමින් අඩු හැමදෙනාගෙම කුලකය ඈ නියෝජනය කරනවා.ඉහලින් සිටින කාගෙත් පව් සෝදන්න සිදිධ වෙන්නෙ ඔවුන්ට.ගම්මානයේ පව් සෝදනා කියන යෙදුම මෙතනදි ප්‍රබලයි.
ඒත් මේ කිළි කුණු කවදාවත් සෝදල ඉවර කරන්න බෑ.සෝදපු ඇඳුම් යළි යළිත් අපිරිසිදු වෙනව වගේ සමාජයේ පවතින මේ බේද, විෂමතා යළි යළිත් මතුවෙනවා.සමහර පැල්ලම් කොහොමවත් ඉවත් කරන්න බෑ.
පින්වතුන් කැල ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
ඒ උනත් මේ අසාධාරණකම්, නොපනත්කම් වලින් නොසැලෙන ඔවුන් එයින් පන්නරය ලබනවා.සෝදන්න සෝදන්න කිළිකුණු ඉවත් නොවුනත් ලෙන්චිනාලාගෙ දෑත් පිරිසිදු වෙනවා.උසස් යැයි සම්මතුන්ට වඩා ඔවුන් අධ්‍යාත්මිකව උසස්...
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබලනා

~~නිම්සරා හසරංගි~~

 

Sunday 25 October 2015

නොතැවෙන් සූරියකාන්තා....

නොතැවෙන් සූරියකාන්තා.....


නොතැවෙන් සූරියකාන්තා
නොහඬන් සූරියකාන්තා
නොතැවෙන් සූරියකාන්තා
නොහඬන් සූරියකාන්තා

සූරිය නාමෙන් නම ලදිමී
සූරිය වත මෙන් රුව ලදිමී
සූරිය පැහැයෙන් සළු ලදිමී
සූරිය කුමරුනි ඔබ පතමී

පිනි මල් ගඟුලේ මුව දෝවන්නේ
මිහි මත රන් සළු පිළි පළඳන්නේ
සූරිය මල් කිම තවම තැවෙන්නේ
හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නේ

නෙලුම් විලේ නැත ඔබෙ ලන්දූ
සුවඳ කුලේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් මල් ලන්දූ
මා නොවෙදෝ ඔබ දිණු ලන්දූ

අහස පොළොව කෙදිනද හමුවන්නේ
මලකට හිමිකම් කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ
මා එන පෙරමඟ බලා සිටින්නේ

නෙලුම් විලේ නැත ඔබෙ ලන්දූ
සුවඳ කුලේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් මල් ලන්දූ
මා නොවෙදෝ ඔබ දිණු ලන්දූ

ගායනය - ඉන්ද්‍රානි බෝගොඩ සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය - දයා ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

දයා ද අල්විස් සොබාදහමට බොහෝ ලෙස ඇලුම් කල තැනැත්තියක්. ඈ අතින් සොබාදහම පිලිබඳව කියැවෙන ගීත විශාල ප්‍රමාණයක් ලියැවෙනව. 'හිරුට අයිත් බව හිරු පවසනවා,  සඳක් නම් බැස යන්න තිබුණා, පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ ඒ අතරින් කිහිපයක් පමනයි.
හිරු සහ සූරියකාන්ත මල අතරඇති සබැඳියාව ගෙනහැරපාන 'නොතැවෙන් සූරියකාන්තා' ගීතය පරිසරය හා ඇය අතර ඇති සියුම් සබඳතාව මනාව පැහැදිලි කරනවා. වික්ටර් රත්නායකයන්ගේ මියුරු ස්වර රටා වලට අබේවර්ධන බාලසූරිය සමග ඉන්ද්‍රානී බෝගොඩ 'සූරියකාන්තා' ගීතවත් කරයි.

ගීතය ආරම්බයේම ශෝකජනක ජවනිකාවක් ජනිත කරවන්නේ හිරු විසින් සූරියකාන්තා මලට හඬන්නට සහ තැවෙන්නට එපා යැයි කීමෙනි. තැවුලට පත් මල ඇගේ හඬ අවදිකරවයි. 'මගේ නම ලැබී ඇත්තේ ඔබගේ නාමයෙන්. මට මගේ ස්වරූපය ලැබී තියෙන්නෙ ඔබගේ ආකාරයට, ඒ විතරක් නෙමේ මගේ පැහැය ඔබගේ පැහැයට සමානයි. ඉතින් අපි දෙදෙනා කෙතරම් සමානද? කෙතරම් ගැලපෙනවාද? සූරිය කුමරුනි, මම පතන්නේ ඔබව පමනක්මැයි'
ඇය සූරිය කුමරාට ආදරය කරන බව සූරිය කුමරුන් දන්නා බවත් ඈ දනී. නමුත් ඇය තමා හා ඔහු කෙතරම් දුරට ගැලපෙනවාද යන්නත් ඔහුට වටහා දීමට තැත් කරයි.

සූරිය කුමරා මල හා දොඩමළුවේ. උදෑසන පිණි බිංදු වලින් ඔබ මුව දෝවා දවස ඇරඹීම සඳහා කටයුතු කරමි. මිහිමතට රන්සළු පලන්දවා ආලෝකමත් කිරීමටද කටයුතු කරමි. ඉතින් සූරියකාන්ත මලේ තවම තැවෙන්නේ ඇයි. ඔබට දවස උදාකරදී ඔබ සතුටින් තැබීම තමයි මගේ උත්සාහය.

ඔහුගේ කතාවෙන් ඈය සෑහීමකට පත්වන ආකාරයක් පෙනෙන්නට නැත. ඇ‍ය මෙසේ පවසයි. 'ඔබ ගොඩක් මල් වලට ආලෝකය දෙනව ඇති. ඒත් නෙලුම් විලේ සිටින්නෙ ඔබගේ පෙම්බරිය නොවෙයි, සුවඳ හමන මල් දහසක් ඇතත් ඔවුන් ඔබේ පෙම්බරියන් නොවෙයි, නේක විද නේක පැහැයෙන් යුතු මල් ඔබේ පහස පතා තැවුනත්, ඔබව දිනාගැනීමට හැකිවූ එකම මල මම වෙමි'.  


සූරියකාන්තාව තමා පිලිබඳව ඉතා ඉහලින් බලාපොරොත්තු තබා ඇති ආකාරය සූරිය කුමරා දකී. ඇයගේ සිත රිදුනත් සත්‍යය පැවසීම වඩා උචිතයැයි ඔහු සිතයි. අහස හා පොලොව එක්වීම සිතළුවක් පමනක්මවේ. ඇයට තමාගේ හිමිකම මුලුමනින්ම පවරාදිය නොහැක. ඔහු දැඩි වගකීම් සමුදායක බැඳී ඇත. එක් මලක් පිලිබඳවම කටයුතු කිරීමට වඩා ඔබ්බට යන වගකීම් වලට මූලිකත්වය දිය යුතුය. මා ඔබව අත්නොහරිමි, නමුත් ඔබ මගේම කරගැනීමට පුලුවන්කමක් නොමැත. මම ඔබෙන් එක් ඉල්ලීමක් කරන්නෙමි, සෑමදාම මා එන පෙරමග බලාසිටින්න.

ඉතාම සංවේදී පද පේලි කිහිපයක්. මෙම පද්‍ය හුදෙක් සූර්ය කුමරු සහ සූරියකාන්තාව අලලා ලියූවද, සැබෑ ජීවිත්යේ සින්නක්කර සෙනෙහස,ආදරය අහිමි කාන්තාවක හා සමාජය පිලිබද බිඳීමට බැරි බැඳීමකින් යුක්තවූ පිරිමියෙක් අතර බැඳීමකට අපූර්වට යාවනවා නොඅනුමානය.

සමාජය පිලිබද බිඳීමට බැරි බැඳීමකින් යුක්තවූ පිරිමියෙක් සමාජයට කරන අසීමිත වූ මෙහෙවර නිසා මුලු සමාජයක් සතුටු වෙද්දී ඔහුගේ සෙනෙහස, ආදරය ලබන්නට නොහැකිවන කාන්තාවගේ ශෝකාලාපය මිහිලිය තෙත් කරවයි. විශාරද නන්දා මාලනියගේ හඬ මසවනෙහි රැව්දේ. 'පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ'. ටිකෙන් ටික මටත් නොදැනීම මා දේශපාලනය යන මාතෘකාවට සේන්දු වනවා පෙනේ. එය උචිත නොවන බැවින් මම මෙතැකින් නවතිමි.

අවසානයට කිව යුතු වන්නේ, ලෝකයා ඔහුට එරෙහිවී නැගිටුනු දවසක ඔහු  හා තනියට සිටින්නේත් පෙරකී සූරියකාන්තයම පමනි. සූරිය කුමරාගේ ඉල්ලීම පරිද්දෙන්ම ඇය ඔහු එන පෙරමග බලා සිටීවි අද, හෙට නොව මියෙනතුරාවටම.

~~තේජන අබේදීර~~