Wednesday 25 October 2017

සයිබර් සලබයෝ

සංහිඳේ දෙයියන්ගෙ පාමුල,
කිරිපල්ලෙන් පසු ආචාර්ය සුජීව හෙට්ටිතන්ත්‍රීන් රචනා කල නවතම ගීතය "සයිබර් සලබයෝ" ගැන මා දකින විදිහ.
කියවා බලා අදහසක් සටහන් කරගෙන යන්න...

සයිබර් සලබයෝ...

ආලයේ දැලේ
ජාලයේ කැලේ
කාලයේ කදුළු
ලපැටියන්ට පොවනා
සයිබර් සලබයෝ

ස්පර්ෂ තිර පුරා
රාගයේ මුහුණු පළදා
ඩිජිටල් සළෙලුන්
පික්සල් වනේ පිපෙනා
සින්තටික් මල් සිඹිනා

අවකාශයේ
අනියම් යහනේ
ට්‍රෝජන් කාචයෝ
අනුරාගයේ වෛරසය වැළඳී
ආදරේ අසාධ්‍ය වූ අඩවියේ

සයිබර් සලබයෝ ගීතය මෑත කාලයේ අසන්නට ලැබුණු කිසියම් ආකාරයක වෙනස් ස්වරූපයක් ගත් නිර්මාණයක්ය. අද අපට අසන්නට ලැබෙන ගීත වල විශේෂ ලක්ෂණය වන්නේ ඒ සෑම ගීතයක්ම පාහේ කිසියම් ඒකාකාරි වචන සමුදායකට සහ නාද රටාවකට උරුම කම් කීමයි. බොහෝ නව නිර්මාණ වල මට නිර්ක්ෂණය වූ තවත් කරුණක් වන්නේ ඇතැම් ගීත මත පැරණි සාර්ථක නිර්මාණ වල සෙවනැලි පතිත වී තිබිමයි. නැතහොත් ඒවා ඇසෙන එක විටම පෙර ගීතයක් සිහිපත් වීමයි. ඇතැම් විට රචකයාගේ දුර්වල පරිකල්පනයත් හදිස්සියත් සංගිතඥයා නිර්මාණයක් සදහා සැලකිය යුතු පරිනත වීමේ කාල පරාසයක් නොගැනිමත් මෙයට බලපෑ එක් වැදගත් සාධකයක්ය. තවත් මෙයට බලපාන හේතුන් විශාල ප්‍රමාණයක් කවරෙකුට වුව හදුනා ගත හැකිය. මේ ඒකාකාරීව ගලාගිය ආකෘතියෙන් වෙනස් වූ නිර්මාණයක් ලෙස සයිබර් සලබයෝ ගීතය හඳුනාගත හැකිය. අමරපිරි පීරිස් නම් ගාන්ධර්වයාගේ භාවමය හඬින් අප අතරට එන මෙම ගීතයේ රචකයා වන්නේ සුජිව හෙට්ටිතන්ත්‍රීය. එමෙන්ම පවතින රාමුවෙන් වෙනස් වූ කිසියම් නවමු සංගිත රිද්මයක් මෙයට මුසුකර ඇත්තේ අමිත් ලියනගේ නම් තරුණ සංගීතවේදියා විසින්ය.

ගීතය ගැන විචාරයකට යොමු වීමට පෙර මේ නිර්මාණය ස්තාන ගතකොට ඇති සමාජ ව්‍යුහය ගැන යම් අවබෝධයක් මූලිකව ලබාගැනිම වැදගත්ය. නිදහස් වෙළද ප්‍රවේශයක් අපේ අර්ත ක්‍රමයට ආරෝපණය කිරිමත් සමග කේන්ද්‍රයේ සිට අපේ රටට නොයෙක් දේ සීමාවකින් තොරව ගලා ආවේය. නිවැරදි ප්‍රතිපත්ති සම්ප්‍රධායක් සහ නියාමන ක්‍රමවේදයක් නොපැවතීම නිසා නිදහස් වෙළදපොල ක්‍රමයේ වාසි සහගත තත්වයන්ට වඩා අපට අත්වූයේ එහි අනිටු ප්‍රතිපල වලට සමාජයක් ලෙස මුහුණ දිමටය. පැවති අවිධිමත් කෘෂිකාර්මික ක්‍රමය තව දුරටත් ආන්තික කිරිම මෙන්ම උග්‍ර බටහිර සංකල්ප අමු අමුවේ වැළඳ ගැනිම නිසා පැවති විකෘති සමාජය තව දුරටත් විකෘති වූවා මිස වෙන යමක් වූයේ නැත. කෘෂිකාර්මික ජීවන ක්‍රමයත් සමග කාලාන්තරයක් පරිණාමය වෙමින් සමාජය මත පැවති පරිකල්පනය මිනිසා තුළින් ක්‍රමයෙන් වියැකී යන්නට පටන්ගත් අතර රට තුළින් ස්වදේශීය අපට ආවේණික සංවර්ධනයක් මතුකර ගැනිමට පැවති ඉඩ ප්‍රස්තාව සමාජීය පරිකල්පනය මොට වීමත් සමග අහිමි විය. දේශීය සංවර්ධන ප්‍රවේශයක් මතුකර ගැනිම නිර්මාණාත්මක පරිකල්පනයක් නොමැති කිසිම සමාජයකට කල නොහැකිය. එහි අනිටු ප්‍රතිඵලය වන්නේ භාහිර සමාජ ගතිකයන්ට ඉවක් බවක් නොමැතිව පුද්ගලයා ආකර්ෂණය වීමයි. තොරතුරු තාක්ෂණය නැත්නම් අවකාශීය දැනුම අපේ රටට ගලා එන්නේ මෙවැනි සංක්‍රාන්ති සමාජ ව්‍යුහයක් ලෙස ලාංකිය සමාජය ස්ථාන ගත වූ තත්වයක් තුළය.

ප්‍රාථමික සමාජානුයෝජනයේ මූලික සමාජ සංස්ථාව වූ විස්කෘත පවුල් ඒකකයේ පිරිහීම යටත්විජිතකරණයත් සමග ඇරඹුණු අතර විවෘත ආර්ථිකය විසින් එය න්‍යශ්ටික පවුල් ඒකකයක් දක්වා ව්‍යුහගත කරන ලදි. ආගමික සංස්ථාව දේශපාලනීකරණය වීමත් සමග නැතහොත් ශුද්ධ බෞද්ධ දර්ශනයේ හර පද්ධතීන්ගෙන් එය ව්‍යුත්ත වීමත් සමග ග්‍රාමීය පන්සල කේන්ද්‍ර කරගෙන පැවති සමාජානුයෝජනයද අහෝසි වී ගියේය. වික්ටෝරියානු සංස්කෘතියේ ස්වභාවිකරණය යටතේ මිෂනාරී අධ්‍යාපනික ආයතන පැවති දේශීය දැනුම් පද්ධතිය දේශපාලනිකව යටපත්කරනු ලැබු අතර ඒ වෙනුවට ආකෘතිගත අධ්‍යාපනයක් මගින් පවතින ධනවාදි ක්‍රමය ආරක්ෂා කරනු ලබන මානව සම්පත ප්‍රතිනිශ්පාදනයේ අයතන නැතහොත් පාසල් අපට හදුන්වා දුන්නේය. දේශීය යාතුකර්ම, දේශීය වෙදකම, දේශිය සටන් ක්‍රම, සංස්කෘතික උස්සව කේන්ද්‍රිය කලා අංග, ජලය මුල්කරගත් දැනුම් සමුදාය ආදි ස්වදේශීය දැනුම් පද්ධති ක්‍රමයෙන් පිරිහෙමින් ජන සමාජයෙන් ඇත් වී යන්නට පටන් ගත්තේය. ඒවා දැනට නූතනයේ පවතිනවා නම් ඒ හුදෙක් ධනවාදි මාධ්‍ය කේන්ද්‍රිය සංස්කෘතික ප්‍රාග්ධනය ප්‍රතිනිශ්පාදනයේ මෙවලම් පමණක්ය.නිදහස් වෙළඳ පොලත් සමග රූපවාහිනය අපේ කුටුම්භය ආක්‍රමණය කරනු ලැබු අතර පවුල් ඒකකයක් ලෙස සාමාජිකයන් අතර අන්නෝන්‍යව පැවති ආත්මීය බැඳීම ක්‍රමයෙන් පිරිහිමට පටන් ගන්නේ මේ තාක්ෂණික ආක්‍රමණයත් සමගය. මැජික් එකක් ලෙස රූපවාහිනීය වටා ආච්චි සීයා මෙන්ම මව පියා දරුවන්ද ආකර්ෂණය වීමෙන් දරුවාගේ මූලික සමාජානුයෝජනයට පවුල් ඒකකයට පැවති අයිතිය "සංස්කෘතික ඒජන්ත"වරයෙකු ලෙස රූපවාහිනය භාරගත්තේය. සින්තටික් නැත්නම් සරුවපිත්තල මනෝභාවයන්ගේ මූළික කළලයන් අපේ සමාජය මත පතිත කරන්නේ මෙරට ප්‍රාග්ධනය පිට රට පටවා අප ආනයනය කල මේ රූප පෙට්ටිය විසින්ය. කාර්මික විප්ලවයෙන් පසු තොරතුරු තාක්ෂයේ සිඝ්‍ර ප්‍රසාරණයත් සමග ගෝලීය වශයෙන් විවිද මෙවලම් නිශ්පාදනය වූ අතර සීඝ්‍රගාමී ලෙස ඒ අතරින් දුරකථන තාක්ෂණය දියුණු වෙන්නට පටන් ගත්තේය. එතෙක් අධි සුකෝපභෝගී භාණ්ඩයක් වූ ප්‍රභුන්ට පමනක් සීමා වූ දුරකතනය,තාක්ෂණයේ දිවුණුවත් සමග අපේ සමාජයේද සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් දක්වා වෙනස් වූයේය. පරිගකයද මේ කාල අවකාශය වන විට අපේ සමාජයට අවතීර්ණ වූ අතර මෙතෙක් කල් රූපවාහිනිය යටතේ පැවති තනි ඒකාධිකාරියෙන් කොටසක් ක්‍රමයෙන් ජංගම දුරතකය සහ පරිගනයකය වෙත විතැන් විය. වර්තමානය වන විට රටේ ජනගහනයට සමාන්තරව ජංගම දුරකතන පරිශීලනයේ වේගය සිඝ්‍රයන් වැඩි වී ඇති අතර සෑම පුද්ගයෙකුගේම එය ජිවිතයේ කොටසක් වී ඇත. පුද්ගල පරිගනක, ටජ් පෑඩ්, ලැප් ටොප්, ආදි විවිධ ආකෘති යටතේ පුද්ගල මනස පැහැරගන්නා සන්නිවේදන උපකරණ අද දවසේ ලාංකිය සමාජයේ සිට ගෝලිය අවකාශයට පුද්ගලයා සම්බන්ධ කිරිමේ ඒජන්තවරුන් ලෙස ක්‍රියාත්මක වෙමින් පවති. පුද්ගලයන් අත රැදි ජංගම දුරකතනය මින් ප්‍රධානම මෙවලම වන අතර සමාජ ජාල වෙබ් අඩවි, බොලොග් අඩවි, විද්දුත් මේල් පදධති සහ සන්නිවේදන ඇප්ලිකේෂන් යටතේ ලංකාවේ ගැහැණුන් මිනිසුන් නව අනන්‍යතා පසුපස හඹා යමින් පවති.

අනෙක් අතට තවමත් ලිංගිකත්වය සංස්කෘතික වශයෙන් වැසුනු ව්‍යුහයක්ය අපේ සමාජයේ පවතින්නෙ ඒ සඳහා හරි අධ්‍යාපනයක් පුද්ගලයාට ලබාදීමට වෙනත් සංස්කෘතික සාධකයන් ඉඩ නොදේ. ඒ නිසා ලිංගික කුතුහලය මෙන්ම ලිංගික පීඩනයක් යටපත් කරගෙන සිටින සමාජයක් අප සතුය.

ලිංගිකත්වය වැනි මානව අවශ්‍යතා සංස්කෘතික වශයෙන් යටපත් කල නොහැකි අතර ඉඩ ලද සෑම විටම එය රබර් බෝලයක් මෙන් මතු පිටට පැමිනේ. අධ්‍යතන ලාංකිය සමාජයේ සමාජ වෙබ් අඩවි හරහා ස්පර්ශ තිර තුළින් යටපත් කරනු ලැබු ලිංගික ආතතීන් මතු පිටට පැමිනෙමින් තිබේ. එය සමාජයක් ලෙස අප අත්විඳින ඛේදවාචකයක් වන අතර පවුල් ඒකකයට ඉන් වන බලපෑම සුලුපටු නොවේ. ලංකාවේ යුද වාතාවරණයක් යටතේ බිඳුණු පවුල් ඒකක නිර්මාණය වූ අතර මැදපෙරදිගට මව හෝ පියා රැකියා සඳහා පිටත්ව යාමෙන්ද එවැනි තත්වයක් ඇති විය.නුතනයේ මේ තත්වය තොරතුරු තාක්ෂණයේ මහිමයෙන් අවකාශීය වශයෙන් අපේ සමාජයේ සිදුවෙමින් පවති. සත්‍ය වශයෙන්ම සයිබර් සලබයෝ නම් මේ නිර්මාණය සුජීව පතිත කරන්නේ මෙවැනි සමාජිය සංස්කෘතික ආර්ථික සහ දේශපාලනික ව්‍යුහයක් සහිත ලාංකිය සමාජ අවකාශය තුළය.වචන ප්‍රමාණයෙන් අඩු රචනාවක් වන මෙය ඇරඹෙන්නේ කිසියම් අපූර්වත්වයක් සහිතවය.

ආලයේ දැලේ
ජාලයේ කැලේ
කාලයේ කදුළු
ලපැටියන්ට පොවනා
සයිබර් සලබයෝ

ආලය නැතහොත් ආශාව කියන දැලෙහි නූතන මිනිසා පැටලි සිටි. ඔවුන් අයිතිකරගැනිම අරමුණු කරගෙන භෞතික වස්තුන් පිටුපස හඹා යයි. එහෙත් තමා ආශාව නැමැති දැලේ පැටලී සිටින බව නොදනී. සුජීව මෙතනදි උපයුක්ත කරගෙන ඇත්තේ ශුද්ධ බෞද්ධ ධර්ශනයේ හරයයි. නැතහොත් සැනසීිම ඇත්තේ අත්හැරීම කියන ප්‍රායෝගිකත්වය තුළ බවයි. ඔහු ජාලයේ කැලේ කියා මෙහිදි අවතීර්ණ වන්නේ ආශාවෙන් පෙලෙන මිනිසා නූතනත්වයදී අන්තර්ජාලය තුළ තම ආශාවන් මුදුන් පමුනුවා ගැනිමට උත්සාහ කරන බව පවසමින්ය. අන්තර්ජාලයද දැලක්ය. එමෙන්ම රචකයාට අනුව එය කැලයක්ය. දැන් මේ කැලය තුළ විවිද ක්‍රියාකාරකම් සිදුවෙමින් පවති. එය බැලු බැල්මට සුන්දරය. ආදුනිකයෙකුට දුටු විට ඇතුළු විමට ආකර්ෂණිය වේ. යා හැකි සිමාවක් නැත. පාලනය කරන්නට ‍කෙනෙක් නැත. මග පෙන්නන්න කෙනෙක් නැත. අතර මං විය හැකිය. මේ ආදි විවිද ලක්ෂණ වලින් මෙය හෙබිය. රචකයා එකවර සමාජ ඛේදවාචකය වෙත අසන්නා කැඳවාගෙන යනු ලබයි. ඔහු මනරම් යෙදුමක් එක මිටට කැටි කරයි. එය නම් කාලයේ කදුළු යන්නයි. ඔහු එයින් අදහස් කරන්නේ කුමක්ද? රචකයාට අනුව අන්තර්ජාලය නම් වනාන්තරයේ සයිබර් සලබයෝ නම් සත්ව කොට්ඨාශයක් ක්‍රියාකාරකම් වල නිරත වෙමින් සිටි. සලබයා යනු කෙටි ජිවිත කාලයක් ඇති නිතර වෙනස් වන සත්වයෙක්ය. සමනලයා මෙන්ම සලබයාද තම පැටවුන් කෙසේ ජිවිතය ලබනවාද යන්න නොදනි. මොවුන් අතර දැඩි දාරක බැදිමක් නැත. ඇත්තෙන්ම ඔවුන්ට තම දරුවන් ගැන, දරුවන් ඉන්නවාද යන්න ගැන වගකිමක් නැත. රචකයා සලබයා යන්න පාවිච්චි කර ඇත්තේ මේ අර්තයෙන්ය. සලබයා යන්න ඉදිරියෙන් සයිබර් නැමැති විශේෂණ පදය යෙදිමෙන් මානව සමාජය සංකේවත් කිරිමට රචකයා ගත් උත්සාහය පැසසිය යුතුය. සමාජ ජාල වලට ඇබ්බැහි වූවන් සයිබර් සලබයන්ය. ඔවුන් මව් ස්නේහයෙන් පිරි හදවතක් ඇති මවක හෝ දරුවන් කෙරෙහි පීතෘ සෙනෙහස වගුරන පියෙකු ලෙස තම දරුවන් කවා පොවා සනසවන්නේ නැත. ඔවුන් ජංගම තිර උඩ වසා මත් වී සිටින අතරතුර දරුවන් තමන්ගේ මුළු ළමා කාලයම කදුළු බොමින් ගෙවා දමයි. රචකයා කාලයේ කදුළු කියා අපට කියන්නේ මේ ඛේදාන්තය නොවේද? භෞතිකව පවුල් ඒකයක් ලෙස එකට මව පියා දරුවන් ජීවත් වූවද ආත්මීය වශයෙන් ඔවුන් නූතන තාක්ෂණය විසින් බෙදා වෙන්කරන අයුරු රචකයා මේ වචන දහයෙන් අපට ඉදිරිපත් කර ඇත.

මේ රචනාවේ සුවිශේෂි ආකෘතිය ගැන ඔබට කියන්නට මා කැමතිය. පැරණි සුභාවිත ගීතය තුළ දකින කොටස් අතර පවතින ඒකාබද්ධ බව මෙය තුළ දක්නට නොලැබේ. රචකයා ඉදිරිපත් කරන්නේ හුදකලා සිද්දි කිහිපයක්ය. ඒවා රචනය පුරා විසිරි පවති. එහෙත් එකවර අවසානයේදි ඒකීය ලක්ෂයට අසන්නා යොමුකරයි. එය මෙරට
ගීතයට නවමු මානයක් බව මගේ අදහසයි. එය අපට තරමක් ආධුනික වුවද දැනටමත් බටහිර සාහිත්‍ය නිර්මාණ තුළ දක්නට ලැබෙන ආකෘතික ලක්ෂණයක් සිංහල සුභාවිත ගීතය තුළ අත්හදා බැලිමට ගත් උත්සාහයක්ය. අනිත් අතට පහසුවෙන් නිර්මාණ කරුවෙකු අත නොගසන සයිබර්, පිස්සල්, සින්තටික්, ඩිජිටල්, වෛරසය වැනි වචන තම නිර්මාණයට යොදා ගැනිමට මේ රචකයා ඉදිරිපත් වී ඇත්තේය. භාෂාව මෙන්ම ගීතයද සමාජ වෙනස් කම් වලට අනුව අනුවර්තනය වී පරිනාමය විය යුතුය. එසේ නොවුවහොත් එය වඳ වී යා හැකිය. මේ භාෂාත්මක භාවිතයන් අපට හඬගා කියන්නේ ඒ සත්‍ය බව මගේ හැඟීමයි. මෙවැනි නිර්මාණ වින්දනය කල පෙර පුහුණු කල ශීක්ෂණයක් සහිත මනසකට නිසගයෙන්ම මේ ආකෘතිමය වෙනස් කම් එකවර ගහනය වීම නොඅනු මානය.

ස්පර්ෂ තිර පුරා
රාගයේ මුහුණු පළදා
ඩිජිටල් සළෙලුන්
පික්සල් වනේ පිපෙනා
සින්තටික් මල් සිඹිනා.

පළමු කොටසින් හාත්පසින්ම වෙනස් සිද්ධි දාමයක් ලෙස රචකයා දෙවන කොටස අප හමුවට ගෙන එනු ලබයි. සලබයන් වන් ගැහැණුන් මිනිසුන් හමුවන්නේ ශරීර වශයෙන් නොවේ. නවින තාක්ෂණයට පිහිට වෙන්නට අද ලිංගිකත්වය වර්චුවල් වැඩක්ය. වර්චුවල් ලිංගිකත්වයට ඇබ්බැහි වූවන් ශරිර වශයෙන් කරනු ලබන සංසංර්ගයෙන් නොලබන ආස්වාදයක් වර්චුවල් සංසර්ගයෙන් ලබා ගන්නා බව නූතන පර්යේෂණ පෙන්වා දේ. මේ සඳහා මොවුන් ඇතුළු වන්නේ ස්පර්ෂ තිර තුළින්ය. මව පියා යන භූමිකා රංගනයෙන් ඉවත් වී ඔවුන් දැන් නවමු රාගික මුහුණු පැළඳ සයිබර් වනාන්තරයට ඇතුළු වේ. ඔවුන් රචකයා හදුන්වන්නේ ඩිජිටල් සලෙලුන් ලෙසය. වින්දන ශීක්ෂණයක් ඇති කවරෙකුට වුවද රචකයා මවන මේ චිත්ත රූප සමුදාය ඉතා රසවත්ව විඳගත හැකිය. එය මට නම් මෙබඳුය.එය වනාන්තරයක්ය. දැන් ඒ වනාන්තරයට රාගයෙන් මත්ව ගැහැණුන් පිරිමින් ස්පර්ශ තිර නැමැති ද්වාර වලින් ඇතුල් වේ. බැලු බැල්මට එකවර මිනිසුන් ආකර්ෂණ කර මුලාකරන නාරිනතා මල් සේ පිපෙන පරවෙන සරුව පිත්තල මල් මේ වනය තුල සුලබය. රචකයා ඒ මල් හඳුන්වන්නේ සින්තටික් මල් කියාය. සින්තටික් යනු වෛයිවර්ණ එහෙත් ගුණාත්මක නොවු පාටය. ආශාව පසුපස හඹායාමට මිනිසාට මේ වස්තුන් බලකරන අතර සිත නිරන්තරයෙන් රාගයෙන් අවුලනු ලබයි. ඒවා අප මුලා කරයි. මෙහි තවත් අර්තාන්විත යෙදුමක් වන්නේ පික්සල් වනේ පිපෙනා යන්නයි. සමාජ ජාලයක අප සැරිසරන විට පුද්ගලයා රවටා ගන්නට මතුවන ස්ත්‍රි මුහුණු වලින් හෙබි අනවරත රූප රාමු හදුන්වා දීමට මේ නම් මනරම් භාවිතයක්ය. අතිතයේද ගැහැණුන් මිනිසුන් අතර අනියම් ඇසුර පැවතියේය.

පෙම් හසුනෙන්,කවියෙන්, ඇරඹි එය ස්ථානික වශයෙන් සැමියා ජිවන වෘර්තියට පිටත්ව ගිය පසු හොර රහසේ වෙනත් අනියම් පෙම්වතෙකු සමග එක්වීමට කාන්තාව තම නිවස පාවිච්චි කලාය. නැතහොත් ගම අවට වනාන්තරය හේන හෝ නාන තොට මේ ස්තානය විය. එය සිදුවූයේ කිසියම් සීමාවක් තුළය. අධ්‍යාපනයත් සමග කාන්තාව තරමක් දුරට ස්වාධින බලයක් සහිත සත්වයෙකු වූ පසු ඇයද කුටුම්භය පෝෂණය කිරිම සදහා ගමෙන් නගරයට සංක්‍රමණය වීය. නිදහස් ආර්ථිකයත් සමග මෙතෙක් ගෙදර ගෘහණියක් වශයෙන් ගැහැණිය ඉසුලු භූමිකාවෙන් තරමක් වෙනස් ජීවන ක්‍රමයකට ඇය පරිවර්තනය විය. ඒ අනුව ඓතිහාසිකව විකාශණය වූ අනියම් ඇසුර ග්‍රාමීය පරිසරයෙන් හෝටල් කාමරය දක්වා පරිනාමය වන ආකාරය පශ්චාත් යටත්විජිතකරණ යුගයෙන් පසු අපට දැකිය හැකිය. එහෙත් එයද සිදු වූයේ කිසියම් සීමාවක් තුළය. තොරතුරු තාක්ෂණය පැමිණිමත් සමග මේ අනියම් සබඳතා සඳහා නව අනන්‍යතාවක් ලබාදෙන අතර දැනුවත්ව හෝ නොදැනුවත්ව ඕනැම පුද්ගලයෙකු ඒ තත්වයට පත්වන සමාජ ක්‍රමයක් ඒ මගින් ඇතිකරනු ලැබීය. එය දැන් ඉතා සරල වැඩක්ය. දැන් අප අවට ඇති අවකාශය යහනක්ය. ඔබට ඕනැම මොහොතක තෝරාගන්නා සහකරුවෙකු සමග එහි සැතපිය හැකිය. සුජිව මේ දෙවන කොටසින් ඔබට පවසන්නේ තොරතුරු තාක්ෂණය විසින් නිර්වචනය කරනු ලැබු අනියම් ඇසුර නම් සමාජ සංසිද්දියේ නවමු කතන්දරයි.

මේ නිර්මාණයේ දෙවන කොටස තුළින් සහ සමත්ත නිර්මාණ පරිසරය තුලින්ම මට නිරික්ෂණය වන නූතන ගීත රචනා තුල දුලබ තවත් ලක්ෂණයක් ඔබට පෙන්නා දිය හැකිය. ඒ නම් අපූරු වස්තු නිර්මාණයට මේ රචකයා දක්වන පරිනත බවයි. නැතහොත් සමස්ත රචනාවම කලාත්මක මෙවලමක් ලෙස අප මනස තුලට යොමු කිරිමට ඔහු දක්වන නිර්මාණාත්මක පරිකල්පනයි. වෙනත් අයුරකින් කිවහොත් සැබෑ ලෝකය කවියාගේ ලෝකය තුල ප්‍රතිනිර්මාණය කිරිමයි. මේ නිර්මාණයට අනුව අවකාශිය වනාන්තරය තුළ සැරිසරන සයිබර් සලබයන් මුහුණ දෙන අනේක විද සංසිද්ධීන් කතුවරයාගේ මනෙසේ ප්‍රතිනිර්මිත අපුර්ව පරිකල්පනයන්ය. තවමත් ලංකාවේ ගීත සාහිත්‍ය තුළ වාර්තාමය බසකින් ලියවෙන ඕලාරික රචනාවන් මේ රචනාව විසින් අතික්‍රමණය කල අවස්තාවක් ලෙස මේ අපූර්ව වස්තු නිර්මාණයේ ඔහු දක්වනු ලබන ශික්ෂණය හඳුනාගත හැකිය.

අවකාශයේ
අනියම් යහනේ
ට්‍රෝජන් කාචයෝ
අනුරාගයේ වෛරසය වැළඳී
ආදරේ අසාධ්‍ය වූ අඩවියේ

ගීතයේ තුන් වන කොටසින් රචකයා ඉතාමත් පුළුල් වපසරියක සමස්ත සමාජ ගැටළුව හදුන්වා දෙනු ලබයි. ඔහුට අනුව අවකාශයම අනියම් යහනක්ය. නැතහොත් අතිතයේ ගැහැණුන් මිනිසුන් හොර රහසේ හමුවීමට විවිධ උපක්‍රම භාවිතා කල අතර අද ඒ වෙනුවට අවකාශය ඒ වැඩේ කිරිමට මිනිසුන් භාවිතා කරනු ලබයි. නැතහොත් ඊට අවශ්‍ය මූලික පසුබිම අවකාශය තුළදි තෘප්ත කරනු ලබයි. මේ ගීතයේ ආත්මය වන්නේ අවසාන කොටසයි. එහි එන ට්‍රෝජන් කාචයෝ යන්න නූතන සමාජයේ සෙල්පි ෆොටෝ කලාව නැත්නම් ස්වයං රූප රාමු යන්න මතු කරයි. එහි තවත් අර්තයක් ද්වනිත කරයි. එය නම් අන්තර් ජාලය පුරා විහිදි පවතින ව්‍යාජ බවයි. මේ සෑම කැමරා කාචයක් තුළින්ම එකිනෙකාට අන්තර් ක්‍රියාකරන පුද්ගලයන් තුළ රාගයක් මිස ආදරයක් නැත. ආදරය රාගය නැමැති වෛරසය වැළඳීමෙන් අසාධ්‍ය වී ඇත. ඇත්තටම අන්තර්ජාලය යනු රාගය නැමැති වෛරසය වැළඳී ආදරය අසාධ්‍ය වූ තැනැක්ය. නැතහොත් අඩවියක්ය. රචකයා සමාජ ගැටළු බොහෝමයකට සෘජුව මෙන්ම වක්‍රාකාරව බලපාන මේ සමාජ සංසිද්ධිය කවරෙකුට වුවද බුද්ධියෙන් විමසා බලන ලෙස ආරධනා කරන්නේ මේ අවසාන කොටස තුළින්ය. ඓතිහාසිකව ලාංකිය සමාජය මුහුණ දුන් විවිද භාහිර සමාජ සාධක නිසා පරිකල්පනය යම් තරමකට අප අහිමි කර ගත්තේය. පවුල් ඒකකය තුළ පැවති මනෝමූලික බැඳීම මේ නිසා යම් මට්ටමකින් නැති වී ගියේය. සමාජිය සත්වයා අවකාශීය සත්වයෙක් වීමෙන් ඔහු ව්‍යාජකරණය වී චිත්තවේගි බැඳීම් වලින් වියුක්ත සත්වයෙක් වෙමින් පවතින්නේය. සමාජ ඒකාබද්ධතාවයට අවශ්‍ය ආදරය ඔබට අවකාශීය සමාජ ජිවිතය තුළින් හමු නොවේ. ඒ තුළ ඇත්තේ රාගය වෛරය වැනි පුද්ගල මනස පෙලන තාවකාලික ස්පර්ශයන්ය. එහෙත් සමාජයක් පවතින්නේ ඒ තුළ ආදරයක් පවතින්නේ නම් පමණක්ය. පෙම්වතුන් තුළ අව්‍යාජ ආදරයක් පැවතිය යුතුය.දරුවන් දෙමාපියන් තුල දාරක සෙනෙහසක් පැවතිය යුතුය. පොදු සමාජ ව්‍යුහයක් ලෙස එකිනෙකාට ආදරය කිරිමේ සමාජ ශික්ෂණයක් පැවතිය යුතුය. එහෙත් සිඝ්‍ර‍යෙන් නව තාක්ෂණික සොයා ගැනිම් සිදුකරනු ලබන සමාජයේ ආදරය ගිලන් ඇඳක අතහැර දැමීමෙන් මානව සමාජයක් ලෙස අප පරිහානිය කරා ගමන් කරන බව රචකයා පවසයි.

සංගිතය ගැන පුහුණු කරන ලද දැනුම් සමුදායක් මා තුළ නැතත් මෙහි සංගිත භාවිතයන් නිතර ඇසෙන රැල්ලෙන් වෙනස් මඟක ගිය නාද මාලාවක් බව මගේ හැඟීමයි. සංගිතඥයාට මේ ලැබී ඇත්තේ යකඩ ගොඩක්ය. එය ඔප මට්ටම් කර නැත. ඒත් මේ කම්බි නවා මනරම් නිර්මාණයක් කිරීමේ වගකිම අමිත් ලියනගේ බාරගෙන ඇත. රචනාව පමණක් නිරික්ෂණය කරා නම් එය කෙසේ ගීතයක් කරනවාද යන ගැටළුව ඔබටද මටද පහළ වීම සාධාරණය. එහෙත් මේ රචකයාගේ පෙර නිර්මාණ අධ්‍යයනයේදි භාෂා භාවිතයට ඔහු දක්වන ප්‍රවිණත්වය කිරිපල්ල වැනි නිර්මාණ මගින් ඔබට හඳුනා ගත හැකිය. සුමට ලයාන්විත වේදනාව හෝ උපහාසය මුසු වූ රචනාවක් ලිවිමට සුජිවට නොහැකි බව මෙයින් ගම්ය නොවන අතර නිර්මාණාත්මක පර්යේෂණයක මේ දෙදෙනාම නියැලෙන බව මේ නිර්මාණය අපට කියාපායි.

සංගිතය ගැන කතා කිරීමේ දී ආරම්භයේ ඇසෙන සෙලෝ හඬ අපට ද්විත්වාකාර අර්තයන් දනවනු ලබයි. ඉන් පළමු අර්තය වන්නේ සමාජ පරිහානියක් ඒ තුලින් ස්මතු කිරීමට සංගිතඥයා දරණ උත්සාහය යි. දෙවන කරුන වන්නේ මෙතෙක් සාමුහිකව පැවති සම්භාව්‍ය පවුල් ඒකකය සහ සමාජ ඒකාබද්ධතාව ඉන් නිරූපනය වීමයි. කිසියම් සම්භාව්‍ය නාද මාලාවකට සමවැදිමට සූදානම් වන අසන්නා එකවර පුදුමයට පත්කරනු ලබයි. එය හරියට සැන්දෑවක වෙරළක සිරි නරඹමින් සිටින විට සුනාමි ආවා වගේ වැඩක්ය. එය මගේ නිරික්ෂණයට අනුව බරපතල සංගිත ප්‍රකාශණයක්ය. නැතහොත් වික්ටෝරියානු ආධිපත්‍ය තුළ තොරතුරු තාක්ෂණය අපේ සමාජයට රැල්ලක් ලෙස අවතීර්ණ වීම ඉන් නිරූපනය කරයි. එය මෙතෙක් පැවති සමාජය සම්පූර්ණයෙන් වෙනස් කරනු ලබයි. එය අධිවේගි සමාජයක්ය.

මින් පසු දිග හැරෙන නාද මාලාවන් යම් වැදගත් කරුණක් ඔබට අවධාරණය කරනු ලබයි. එය නම් බටහිර සංගිතයේ භාවිතාවන්ට විශාල ආධිපත්‍යක් නිර්මාණය පුරා දක්නට ලැබීමයි. එහෙත් අමිත් ලියනගේ නම් සංගිතඥයාගේ පරිචය මොනවට කියාපාන සුක්ෂම භාවිතාවක් ඔබට මා පෙන්වා දීමට කැමතිය. ඒ නම් ඩිස්ටෝසන් ගිටාර් සංගිත ආධිපත්‍ය යටින් වරින් වර මතු වන සෙලෝ නාදය සහ බෙර හඬයි. මේ ඔහු පවසන්නේ කුමක්ද? නූතන තාක්ෂණය නම් බටහිර ආධිපත්‍ය අප සමාජය බෙල්ලෙන් අල්ලාගෙන සිටි. වෙනත් සංස්කෘතික ආධිපත්‍යක් හදන්නේ අපේ සමාජයේ ගෙල මිරිකා මරා දමන්නටය. යටින් අසෙන්නේ අපේ සමාජය මරණ මංචකයේදි නගන කෙදිරි ගෑම් සහ අදෝනාය. සංස්කෘති දෙකක් අතර ඝට්ටනයේදී ඇතිවන සංක්‍රාන්ති සමාජ අවකාශය මනාව නිරුපනය කිරිමට අමිත් ගත් මේ භාවිතය අවබෝධ කරගැනිමට පෙර පුහුණු කල මනසක් අවශ්‍යය. මේ අමිත් සංගිත භාෂාවෙන් අපට පවසන දෙය අපේ සමාජය නිරික්ෂණය කලහොත් ඔබට මනාව වටහා ගත හැකිය. බොහෝ තරුණ පිරිස් බටහිර සින්තටික් සංස්කෘතික ලක්ෂණ තම ජීවිතයට ඈඳා ගනිමින් සිටින අතර අපට ආවේනික ඇතැම් සංස්කෘතික ලක්ෂණද තැනිත් තැන අඩු වැඩි වශයෙන් මතු වෙමින් යටපත් වෙමින් පවති. අවුරුදු කාලයට ඊට ආවේනික හර පද්ධතීන් විද්‍යුත් මාධ්‍ය තුලින් ස්මතු කරන අතර ඓතිහාසික සමාජයේ මෙන් ප්‍රබල සාමුහික සමාජ ඒකාබද්ධතාවක් ඒ තුල නොපවතී. එය සතියකින් දෙකකින් මුළු මහත් සමාජයම අමතක කර දමයි. කවිය ගීතය නාට්‍ය වැනි කලාත්මක ලක්ෂණද තැනින් තැන හුදකලාව ක්‍රියාත්මක වේ. එහෙත් බටහිර සංගිතයට සහ චිත්‍රපටියට තරුණ පිරිස සීඝ්‍රයෙන් ආකර්ෂණය වෙමින් පවතී. පාස් ෆුඩ් සංස්කෘතියකට අප සමාජය ක්‍රමයෙන් ගමන් කරමින් සිටි. මමත්වය පුද්ගලයා තුලින් පෙර නොවු විරු ලෙස ස්මතු වෙමින් පවති. අමිත් මේ බටහිර සංගිතය ප්‍රධාන භාවිතාව ලෙස යොදා ගනිමින් අපට පවසන්නේ අපේ සමාජය තුල ක්‍රියාත්මක වන මේ සත්‍යයයි.

අමිත්ගේ සංගිත භාවිතාවන් සම්බන්දයෙන් මට නිරික්ෂණය වන තවත් කරුණක් ඔබට පැවසිය හැකිය. එය නම් අමිත් මෙහිදි බෙර හඬ වෙනුවට භාවිතා කරන්නේ අපට ආවේනික බෙර හඬක් නොවේය. එය ගැට බෙරය නොවේය. නැත්නම් සාන්තිකර්ම වල භාවිතා කරනු ලබන යක්බෙරය නොවේය. එය කොන්ගාස් නාද මාලාවයි. එයින් ඔහු පවසන්නට උත්සාහ කරනු ලබන්නේ කුමක්ද? එය නම් අපේ සංස්කෘතික ජිවිතයේ ශුද්ධ බව තව දුරටත් අප සමාජය තුල නොපවතින බවයි. තාක්ෂණික ආදිපත්‍ය අප සමාජය තුළට පැමිනෙන විටද කාලාන්තරයක් තිස්සේ සිදු වූ සමාජ බලපෑම් නිසා අපේ සංස්කෘතික ලක්ෂණ අහෝසි වී ගොස් හමාරය. යටින් අසෙන බෙර හඬ නැතහොත් කොන්ගාස් හඬ මුසු වූ සෙලෝ නියෝජනය කරනු ලබන්නේ එයයි. අපේ ආගමටද අපේ අධ්‍යාපනයටද අපේ පවුල් ඒකකයටද අපේ නිති පද්ධතියටද ආදි ලෙස සියලු සමාජ ව්‍යුහයන්ට ශුද්ද අනන්‍යතාවක් නැත. අපේ යාතුකර්ම වල නාද රටා භාවිතා නොකර විදේශීය බෙර හඩක් අමිත් භාවිතා කර ඇත්තේ මේ නිසා විය හැකිය. ප්‍රකාශණයක් ලෙස සංගිතය බොහෝ අර්තයන් අපට දනවනු ලබයි. එය මෙබඳු කෙටි විග්‍රයක් තුළින් පැහැදිලි කල නොහැකිය. අනෙක ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික දැනුම මා සතු නැත.😂😂ගීතයකට වඩා ඔපෙරාවක පවතින ඇතම් ලක්ෂණ මේ සතුය.

අමරසිරි පීරිස් නම් මහා ගාන්ධර්වයා මේ මොහොතේ මෙවැනි ගීතයක් ගැයිමට සිටින එකම සුදුස්සා බව මගේ හැඟීමයි. සංගීත ආකෘතියේ පවතින උස් පහත් වීම් මෙතරම් භාවාත්මක ලෙස ගැයීමට වෙනෙකුට පහසු නොවනු ඇත. විශේෂයෙන් තාක්ෂණික වචන උච්චාරනය වින්දනය කල හැකි ලෙස ගැයීමට ඔහු දැක්වු ප්‍රවිණත්වය පුදුම සහගතය. අවසාන වශයෙන් සුජිව සහ අමිත් කිසියම් අභියෝගාත්මක අවදානමක් මේ නිර්මාණය කිරිමේදි භාරගෙන ඇති බව මගේ හැඟීමයි. විශේෂයෙන් අපේ සමාජයේ මිනිසුන් ඉක්මනින් වැළඳ ගන්නේ සරල ප්‍රේමය, විරහව, දුක සහ උපහාසාත්මක රසයෙන් හෙබි නිර්මාණය. නිර්මාණයක් වින්දනයෙන් පසු ඇති තරම් සිනහ වීමට හෝ ඇති තරම් දුක්වීමට හුරුකරනු ලැබු මනසක් අප සතුය. විෂෙයෙන් කලා කෘතියක් රස විදිමේ ශික්ෂනයක් සහිත පුලුල් පරාසයක විහිදුනු පාඨක/රසික පිරිසක් අප සතු නැත. හොඳ සිනමා කෘතියක් නැරඹීමට අතලොස්සක් පිරිසක් පමනක් යන්නේ ඒ නිසාය. හොඳ කලා කෘතියක් රසවිඳීම හෝ කියවිම පටන් ගන්නේ එය ශ්‍රවනය කිරිමෙන් හෝ දැකිමෙන් පසුය. එය වින්දනයේ පශ්චාත් වැඩක්ය. අපේ රසිකයා ගීතයක් අවසන් වන විට එහි පෙල නැත්නම් පඨිතය කියවා අවසන් කරයි. එය නිර්මාණ කාලරාමුවෙන් පිටතට ගෙන යන්නේ නැත. එහෙත් සයිබර් සලබයෝ වැනි නිර්මාණ වල කියවීම පවතින්නේ එහි කාල රාමුවෙන් පිටය. එය සත්‍ය වශයෙන් අභ්‍යාසයක්ය. මේ මොහොතේ කලාව තුල එඹඳු ගණුදෙනුවවක් සිදු නොවුවද එයට නිර්මාණ පරිසරය තුළින් උත්තේජනයක් සැපයිම ගැන මේ තරුණ කලාකරුවන්ට අප ස්තුතිවන්ත විය යුතුය.

(බුද්ධික ප්‍රදීප් අතුකෝරල)


Monday 2 October 2017

මවු පිය ආදී සොඳුරු තමාගේ

බොහෝ දෙනාගේ චෝදනාවක් තමයි අද කාලයේ අරුත්බර ගීත නිර්මාණය වෙන්නේ අඩුවෙන් කියන එක. නැතිනම් අද බිහිවන බොහෝ ගීතයන් හරසුන්, අමිහිරි ගීත ලෙස හඳුන්වනවා. එහි යම්කිසි සත්‍යතාවයක් තිබෙන බව ලියන මා මෙන්ම කියවන ඔබත් පිළිගන්නා බව රහසක් නොවෙයි.

නවක ගීතවල තිබෙන වැරදි පෙන්වාදීමට බොහෝදෙනා සිටින බැවින් මම අද හරවත්, එමෙන්ම අපට වැදගත් පණිවිඩයක් දෙන ගීතයක් ඔබ හමුවේ තබන්නට සිතුවා.

මවුපියන්ට කුලදෙටුවන්ට සැලකිය යුතු බව සහ එසේ කල යුත්තේ ඇයිද යනවග ඉතා පැහැදිලිව බෞද්ධ දර්ශනයට අනුකූල වන පරිද්දෙන් ගීතයට නගන්නට, වින්සන්ට් සෝමපාල මහතා සමත් වී තිබෙනවා.

ඔබ මා ඒ ගීතය හඳුනන්නේ 'මවු පිය ආදී සොඳුරු තමාගේ කුල දෙටුවන් සෑමා' යන්නෙන්.


මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා ...//
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී //
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා

ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා
යන මේ අගනා ප්‍රතිඵල නේකා ...//
ගෙනදී සංකා නෑ මෙලොවේහී
සාදරයෙන් පිදුමා
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා

ලෝකනාථගේ මංගල සූත්‍රේ
ඒ විශේෂයෙනි පා වදාලේ ...//
වැඩ සෑදේවී ඉන් දෙලොවේහී //
කටයුතු සංග්‍රහයෙන් පුදව්
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා

යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා


ගායනය- කෝකිලදේවී වීරතුංග සමග එච්.ඩබ්. රූපසිංහ

පද රචනය - වින්සන්ට් සෝමපාල

තනුව - එච්.ඩබ්. රූපසිංහ



ප්‍රේමය, ස්නේහය සිත්හි තබාගෙන කුල දෙටුවන් සැලකීම කලයුතු බව ගීතයේ මුල් කොටසෙන් කියැවෙනවා.


ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා

යන මේ අගනා ප්‍රතිඵල නේකා ...//

ගෙනදී සංකා නෑ මෙලොවේහී

සාදරයෙන් පිදුමා


එසේ කුල දෙටුවන් පිදීමෙන් අපට ලැබෙන්නේ කුමක්ද? ඒ ගැන නොවෙද මේ කොටසින් කියැවෙන්නේ. ආයුෂ වැඩිවීම, ප්‍රඥාව ලැබීම, සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකිවීම..වාගේ ප්‍රතිථල කිහිපයක් මේ යහපත් ක්‍රියාව නිසාවෙන් අපට ලැබෙන බවයි කියැවෙන්නේ.


ලෝකනාථගේ මංගල සූත්‍රේ

ඒ විශේෂයෙනි පා වදාලේ ...

වැඩ සෑදේවී ඉන් දෙලොවේහී

කටයුතු සංග්‍රහයෙන් පුදව්


කුල දෙටුවන් පිදීම ගැන තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් කරුණු කාරනා වදාලා ඇති බව සූත්‍රවල කියැවෙනවා. එසේ පිදීම මගින් මෙලොවටත් එලොවටත් යන දෙකටම වැඩ සෑදෙන බව, නැත්නම් දොලොවටම ඒ සිදුකරනා දෙයින් සෙතක් සැලසෙන බව කියැවෙනවා.

ඉතා කෙටි පණිවිඩයක් වුවත් එය ඉතා වටිනා බව ඔබටම තේරුම් යනවා නොඅනුමානයි. මේ පිදීම් නිශ්චිත දවසකට දෙකකට වගේ සීමා නොකරමින් එය හැමදාටම එක සිතින් ප්‍රේමයෙන් සිදුකරන්නේ නම් ඔබටම යහපති.


මෙවනි විශිෂ්ට අවවාදයක් මෙන්ම කරුණු පැහැදිලි කිරීමක් බුදු දහම හා සමග සසැඳ ගීතයක ආකාරයට පද රචනයේ යෙදුනු ඒ අපූර්වතයා ගැනත් යමක් සටහන් නොකලොත් එය සෑහෙන අඩුපාඩුවක් බව මා විශ්වාස කරනවා.


පෙර සටහන් කළ ආකාරයට ඔහු නමින් 'වින්ස්ටන් සෝමපාල'. ජයන්ත අරවින්දයන්ගේ පියාණන්. වරදත්ත අරවින්දගේ සීයා. නාඩගම් සංගීතඥයකු වූ දොන් මර්තේලිස් මාස්ටර් ඔහුගේ පියාය. ඔහුගේ උපන් ගම පානදුර ප්‍රදේශයේ පිහිටි සරික්කමුල්ලය. භාෂා ඥානයෙන් හා සංගීත ඥානයෙන් හෙබි මෙතුමා සංගීත ගුරුවරයෙකු සහ සංගීත පරීක්ෂකයෙකු ලෙස සේවය කලේය. පණ්ඩිත් අමරදේවයන් සහ නීලා වික්‍රමසිංහ මෙතුමාගේන් දැනුම ලබාගත්තෝ වෙති.

සංගීත විශාරධවරයෙකු වූ මෙතුමා 'ගීත කලා නිධි' යනුවෙන් පර්යේෂණ ග්‍රන්තයක් ලියා සම්මාන හිමිකර ගැනීමට සමත්විය. එසේ සම්මානයක් ලද පළමුවැන්නා වීම ඔහු ලද භාග්‍යයකි.


මේ ගීතයේ තනු නිර්මාපකයා සහ කෝකිලදේවී වීරතුංග මැතිණිය සමග මුල් ගායනයට දායක වූ පුද්ගලයා වන්නේ එච්.ඩබ්. රූපසිංහ මාස්ටර්ය. හෙළ සංගීතයේ නොමැකෙන හඬ රුක්මණී දේවී සමග එතුමා ගායනා කළ 'සිරි බුද්ධගයා විහාරේ ගීතයත් එතුමාගේම තනු නිර්මාණයකි.


ඔබ අසූව දශකයේ මුල් භාගයේ හෝ ඊට පෙර ඉපදුන අයෙක් නම් ඔබට මතක ඇති සුදෝ සුදු කොණ්ඩයක් සහිතව සුදු සාරියක් ඇඳගෙන 'මවුපිය ආදී' මේ ගීතය ගයනා ගීත කෝකිලාවිය. ඇය කෝකිලදේවී වීරතුංග.

මේ ගීතයේ මුල් ගායනය කෝකිලදේවී වීරතුංග සමග එච්.ඩබ්. රූපසිංහ මාස්ටර්ය. පසුව එතුමියට, විශාරද වික්ටර් පෙරේරා මහතා යුග ගායනයෙන් සහයවේ.

මෙතුමියගේ ගීත කෞෂල්‍ය කෙසේදයත් 1952 දී ශ්‍රී ලංකාවට පැමිණි භාත්ඛන්ඩේ සංගීත නිකේතනයේ විදුහල්පති රත්නජංකර් පඩිතුමා විසින් එතුමියව විශිෂ්ඨතම ගායිකාව ලෙස නම්කරන ලදී. විශිෂ්ටතම ගායකයා වූයේ පණ්ඩිත් අමරදේවයන්ය.

ඇය ගීත ගැයුවේ ග්‍රැමෆෝන් තැටියකට. හතලිහේ දශයයේදී පමන තමයි මෙය තැටිගත වන්නේ. එච් එම් වී (His Master's Voice) ලේබලය යටතේ ගී තැටි අංක 9374 දරණ ග්‍රැමෆෝන් තැටිය සඳහා එතුමිය සමග එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් මේ 'මවුපිය ආදී' ගීතය ගායනා කරන ලදී.


'මවුපිය ආදී' ගීතය ගැන තවත් සොයාබැලීමේදී දැනගන්නට ලැබුන දෙයක් තමයි මෙය, වර්ශ 1936 වසරේ දී බෙංගාලි ගායිකාවක් වූ කුමාරි ජුතිකා රායි සිය ගුරු දේව කමල් දාස්ගුප්තා සමගින් ගායනා කළ හින්දි ගී තනුවක් ආශ්‍රය කරගෙන කළ තනු නිර්මාණයක් බව.

ඒ කෙසේ වෙතත් සංගීත හැසිරවීම සහ ගායනය ඉතා උසස් මට්ටමක පවතින බවයි මා ඇතුලු මේ ගීතය ගැන අදහස් දක්වන බොහෝ දෙනාගේ මතය. මේ ගීතය අප කුඩා කාලයේ නම් අපට අසන්නට ලැබෙන ගීතයක්. දැන් මාධ්‍යවල මේ ගීතය ප්‍රචාරය වනවා මා නම් අසා නෑ. මෙය අසන්නට සිත් වුනොත් යූ ටියුබ් මගින් තමයි අසන්නට හැකියාවක් ලැබෙන්නේ. නමුත් මෙවැනි ගීත ප්‍රචාරය කිරීම සිදුකල යුතුයි, පැරැණි ගීත ප්‍රියකරන රසිකයන්ට පමනක් නොව නූතන පරපුරේ අයට පවා.

මෙවැනි ගීත රචනා සහ ගායනයන් මගින් නව පරපුරට උගත හැකිදේ බොහොමයි.

තරුණ පරපුර හොඳ රසිකත්වයක් කරා ගෙනයාමට ප්‍රවීණයන් සිදුකරන උනන්දුවේ අඩුවක් මෙන්ම නවක පරපුරද ප්‍රවීණයන්ගෙන් එවැනිදේ උකහා ගැනීමේ අඩුවක් පෙනෙන්නට තිබෙනවා. මෙය නිවැරදි කරගන්නේ නම්, ගීතය අදටත් හෙටටත් නොනැසී පවත්වාගැනීමට එය මහඟු රුකුලක් වේවි..


~තේජන අබේදීර~~




Wednesday 27 September 2017

සිහිනයේ දොරකඩ....

සිහිනයක්.. හැමදාම දකින්නට ආසා කරපු ඒත් කිසිදිනක හිත පුරා දකින්නට වරම් නොලද හීනයක පැතුමක්.. හීනයක් වගේම ජීවිතේ දකින්න.. කියා දුන්න නුඹ ම.. අවදි වෙලා බලද්දි මතකයන් විතරක් ම ඉතිරි කරලා යන්න ගිහින්..

හිතේ සැනසීමත් එක්කම නින්දත් හොරාගෙන ඔබ යන්නම ගිහින්.. රාත්‍රී අඳුර අතරින් ඔබේ මතකයන් මා වටා සක්මන් කරනවා.. හිත පුරා මහා ගින්නක් අවුළුවමින් මාව අවදියෙන් තබනවා.. හරියට දරුණු සැඩ සුළඟක් වගේ දසත සුණු විසුණු කරමින් හමා යනවා..

පුර පෝය අහවර වෙච්ච දවසේ ඉඳන්ම හඳ කෙමෙන් කෙමෙන් මැකෙමින් ගෙවෙමින් අමාවක තෙක් ගමන් කරනවා.. හරියටම මගේ ජීවිතය වගේ.. යෞවනය ඇත්තටම සොඳුරුයිද.. එහෙම නම් ඇයි මේ තරම් දුක් කඳුළු මගේ යෞවනය පුරාම පිරෙන්නට හේතු වෙන්නෙ.. ඇත්තටම ඒ හැමදේම ඔබ නිසාම ද..


කාලය ගැටළු වලට විසඳුම් ගෙනෙන්නට ඕන.. රැයෙන් රැය... හරි නම් දිගු බව අඩු වෙන්න ඕන.. දුක අඩු වෙන්න ඕන.. ඒත් රැයෙන් රැය දිගු වෙනවා.. ඔබ අහිමි වීම මේ තරම් දුකක් වුණේ කොහොමද...

ප්‍රදීපාවන්ගේ බොහොමයක් විරෝධාලාප ගීත අතරට එක්වුණ අපූර්වතම ප්‍රේමාලාපයක්.. සංවේදී සෞම්‍ය පද රචනයක්.. රත්මලේ බන්දුල ගුණවර්ධන අතින් ලියැවුණක්.. ස්වර රෝහණ වීරසිංහයන්..

සිහිනයේ දොරකඩ....
නොපිපෙන පැතුමකි ඔබ මට ..
නිදි නැති සිත ගිනි අවුලන...
සැඩ මාරුතයක් විය ඔබ මට....
.....
මේ තරම්....කදුළු වරුසා ....
මේ තරම් ඇයි සොදුරු යෞවනයට
ජීවිතය මැකෙනා .........
අවපසේ සඳ විලසට.....

රැයෙන් රැය දිගු කාලයක් වී
මේ තරම් ඇයි දුකක්....
ඔබ අහිමිව..
සෙනෙහසින් වඩිනා ...
හද සුවඳ කෝ කොතනද?.....

හඬ - ප්‍රදීපා ධර්මදාස
පද - රත්මලේ බන්දුල ගුණවර්ධන
ස්වර - රෝහණ වීරසිංහ

~අමාලි වසුන්දරා~


Monday 25 September 2017

රෑ හදේ හේනකින් සීපද ඇහුනයි

රෑ....රෑ හදේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හී......හී..නෙකින් ඒ හඩට මගෙ හිත බැදුනයි
මගෙ හිත බැදුනයි

රෑන බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
නුබෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ
රෑන බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
නුබෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ

මී.......මී..රකින් කීවොතින් ගීකවි සිංදූ
ගීකවි සිංදූ
ආ......ආ.. ආදරෙයි කෝල පෙම් රූබර ළන්දූ
රූබර ළන්දූ

හව්හරනෙට පැළ ඉණි වැට විතරයි කළ එළියේ
මා කාන්සියේ රෑ වරුම හිරිමල් හුරතලියේ
හව්හරනෙට පැළ ඉණි වැට විතරයි කළ එළියේ
මා කාන්සියේ රෑ වරුම හිරිමල් හුරතලියේ

පා......පා..ළුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
ගං......ගං..ගොඩින් කවුරුන් හෝ කැන්දන් එන්නේ

නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වෙන්නා
රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා

රෑ ......රෑ හදේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හී......හී..නෙකින් ඒ හඩට මගෙ හිත බැදුනයි
මගෙ හිත බැදුනයි

ගායනය – පණඩිත් ඩබ්.ඩී. අමරදේව සහ නිරංජලා සරෝජිනී
පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස



අජන්තා රණසිංහයන් රචනා කල ගී පද තුල ගැමිජීවිතය හා ගැමි පරිසරය මනා ලෙස සුසංයෝජන වු ගී රාශියකි. ඒ අතරින් එදා අප අතර ජනප්‍රිය වු මෙම යුග ගායනය අද විද්‍යුත් මාධ්‍ය තුලින් නම් ඇසෙන්නේ ඉතාමත් කලාතුරකිනි. කේමදාස මාස්ටර්යන්ගේ සංගීතයෙන් ඔපවත් වු මෙම ගීතයට නිරංජලා සරෝජනී සමග ගායනයෙන් දායක වන්නේ හෙලයේ මහා ගාන්ධර්වයාණන්ය. ආචාර්ය පන්ඬිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ අභාවයත් සමග ඔහුගේ ගීත ද අභාවයට යමින් පවතී ... එවන් වකවානුවක ඔහුගේ ගීතයක් ඔබ හා බෙදාගැනීමට සිතුවේ මේ සදහා අරුත තරම් වෙන තැනක් කොහිද යන වග වැටහුන නිසාවෙනි. ගැමි පරිසරය තුල ⁣හේන පිලිබද හා මා ලැබු අත්දැකිම් රාශියක් මීට පෙර අරුතට එක් කල "ගීතයට වැඩි යමක් " හී පල කෙරුවෙමි.
රෑ.....රෑ හදේ හේනකින් සීපද ඇහුනයි
හී......හී..නෙකින් ඒ හඩට මගෙ හිත බැදුනයි...

ගීතයේ මුලින්ම රචකයා ගම හා හේනක චිත්තරූපයක් රසික සිත් වල ජනිත කරන්නට දරන උත්සහය අපූරුය. දහවල පුරා දැඩි අව් රශ්මියේ වැඩකර විඩාපත් ගතට සැනසුමක් ලැබෙන්නේ රාත්‍රිය තුලය.. තම දුක.. සතුට... වෙහෙසකර විඩාව.. සංසිදුවා ගැනීමට සී පද මුවින් පිටවන්නේ ඉබේටය. එවන් පද තුල දුක.. සතුට.. මෙන්ම අාදරය.. විරහව ද ගැබ් වී ඇත. රචකයා පවසන අන්දමට නම් ගම හා හේන හා මහ දුරක් නැත. අනෙක නම් ඈතින් ඇසෙන ඒ සී පද තුලින් පරිසරයේ නිස්කලංක භාවය මෙන්ම යම් කිසි කාලරාමුවක් ද රසිකයා තුල චිත්‍රනය කරයි.. ගෙදර සිටින මේ යුවතියට ඔහුගේ සී පද යාන්තමට ඇසෙන්නේ ඒ නිසාවෙනි. එදා ගැමි පරිසරය තුල ආදරය මුලපුරන ආකාරය ඉතාමත් සුසංයමයෙන් කවියා ගොඩනගන්නට දරන උත්සහය අගය කල යුතුය

"රෑන බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ.." පද තුල යුවතිය නිසි කලවයස සපුරා ඇති බවක් හගවන්නට කවියා දරන උත්සහය අපුරුය...

" හව්හරනෙට පැළ ඉණි වැට විතරයි කළ එළියේ..
මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ ..."
යන ගී පද තුල තනිකඩ ජීවිත කුඩුම්බය තුල ඇති කටුක අත්දැකීම් ගොන්නක් කැටිකර ඇත.. හදිසියේ කඩාවදින අලියන්.. උෘරන් වැනි සතා සිව්පාවා පමණක් නොව ලෙඩ රෝගයකදී පවා හව්හරනට කෙනෙක් නැත.. ඒ සියල්ල තමන් විසින් විද දරාගත යුතුය . නින්දක් ලබනවානම් ලැබෙන්නේ එළිය වැටෙන්නට පැයක් දෙකක් තබා පමණි.. ඉතින් රෑ වරුවම කාන්සියේ සිටින්නේ අනාගත බලාපොරොත්තුවක් යටපත් කරගනිමිනි එය කවියා ව්‍යංගයෙන් කියන්නට උත්සුක වෙයි

පා .....පා..ළුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
ගං......ගං..ගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ..

නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වෙන්නා..
රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා....

කවියේ අන්තරා කොටස් තුලින් කවියා අපූරු දෙබසක් රසික හදවත් තුල ජනිත කරවයි. එය ප්‍රේමාන්විතව රිසි සේ විදින්නට රසික අපට ඉඩ හරියි.. ආදරයේදි බොහෝ නපුරු බස් ආදරය තව තවත් ලංකරන්නේය ... රාත්‍රි කැලෑව තුලින් නැගෙන හඩවල් රෙෘද්‍රය.. කටෝරුය ..බයංකාරය .. නමුත් ඒ හඩට පරිසරයේ අලංකාරත්වය පහ කරදැමීමට නොපුලුවන. කවියාගේ මේ ගැලපීම අපුරුය.. එය අත්දැකීමෙන්ම ලියවූවක් බව අත්දැකීම් ඇත්තන් දනී." රෑ බැත පාගන කමතෙදි ගී කියමුද දෙන්නා .." යන පද තුල ව්‍යංයෙන් ආරාධනාවක් කරයි. එය කවියා ඉතාමත් සුසංයමයෙන් ඉදිරිපත් කිරීම තුලින් කවියට අපූර්වත්තවක් ලැබී ඇත...

( පසු වදන )

අරුත තුල බොහෝ ගායක ගායිකාවන්ගේ තනි ගීත රසාස්වාදනය කලත් යුග ගීයක අරුත් ගැන්වීම් පලවන්නේ ඉතාමත් අඩුවෙනි. මේ ගීතය මා ඔබට ගෙන ඒමට සිතුවේ වර්තමාන සමාජය තුල ගී පද රචකයන් ගැන ඇති අල්ප දැනුම ගැන සිතේ ඇති වු කලකිරීමක්ද සමගිනි. එයට හේතුව නම් සංගීත ක්ශේත්‍රයට අනුපමේය කාර්යබාරයක් ඉටු කල අජන්තා රණසිංහ නම් ගී පද රචකයා කාන්තාවක් යැයි තමන් මේ වන තෙක් සිතා සිටියේ යැයි පැවසු වයසෙන් මටත් වැඩිමල් වු අයෙකු නිසාවෙනි. එයට කම් නැත.. යම් කෙනෙකුට අජන්තා කියු සැනකින් සිහියට නැගනුයේ කාන්තාවකගේ ප්‍රතිමුවකි... යමෙකු පිරිමියකු ද කාන්තාවක ද යන්න අපට කම් නැත.. නමුත් ඔහු හෝ ඇය ගී පද රචකයෙක් යන්න අපට වැදගත්ය. අවාසනාව නම් වර්තමාන සමාජය තුල තරුණ මහලු කී දහසක් නම් මොහුන් ගැන දැන නොසිටිද්ද යන්නය ..
සුභාවිත ගීතය දරාසිටි මහ පොලොව පසාරු කරමින් කිදාබැසු මහ මුල් විනාශ වෙමින් පවතින යුගයක එ් මහ වෘක්ෂයේ ඵල දරා යලි නැගී එන්නට නම් අප කුමක් කල යුතුද ?... බසයකට ගොඩ උවත්.. කඩයකට ගොඩඋවත්... ගෙදරකට ගොඩඋවත්.. අද අසන්නට ලැබෙන්නේ ගොෂාකාරි වු මනස විකෘති කරමින් තවඑකෙකු මරාගෙන මැරෙන්න පුළුවන් තරම් හැගීම් දනවන සිතට පීඩාවක්ම ගෙන දෙන මර ලතෝනි පමණි. ඉතිං අපි කාට දොස් නගමුද ? මනස විකෘති කරගනිමින් ගීත රචනා කරන රචකයන්ට ..! නැතිනම් හොටු පෙරගෙන අඩමින් ගායනා කරන ගායකයන්ට ..! එහෙමත් නැතිනම් මේ ගීත අසා මරාගෙන මැරෙන්න හදන වර්තමාන පරපුරට ද ?
කොන්ක්‍රීට් තට්ටුවක් යට ඉදන් ලියවෙන බොහෝ නිර්මාණ තුල ඇත්තේ එකම මිශ්‍රණයක් පමණි. සිමෙන්ති ගල් වැලි තුලින් නිර්මාණය වන්නේ රෙෘද්‍ර ..ගොරහැඩි ..කටෝර ..නිර්මාණ පමණක්ම බව වර්තමානයේ බිහිවන ගීත යැයි කියාගන්නා ගී නිර්මාණ දෙස බලන ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. නුග සෙවනත්.. බෝ සෙවනත් අතීත ගීරචකයා මනාව හදුනා ගත්තේ එහි සුන්දරත්වය විදපු නිසාවෙනි. එම නිසා නුග සෙවනක සිට ලිය වුණු ගීත ප්‍රේමාන්විත වු අතර.. බෝ සෙවනේ සිට ලියවුනු පද රචනා ධාර්මිකත් විය. ⁣වර්තමානයේ එය හාත්පසින්ම පරස්පර වී ඇත. අද ගී රචනා බිහිකරන්නේ බූට් කාපු උන්ය... ඔවුන්ට ජීවිතයේ ඇත්තේ එකම එක් අත්දැකීමකි... එමනිසා ඔවුන්ට ඇති එකම අත්දැකීම ගීත බවට පත් කරන්නට දිනපතා උත්සහ දරන්නේය. වර්තමාන රසික පිරිස් ද ඊට දෙවෙනි නැත.. උන්ගේ එකම එක් අත්දැකීම මුන් තමන්ගේ කරගෙන වමාර වමාරා රස විදින්නේය... ඉතිං අපි කාට දොස් නගමුද ?

~බණ්ඩාර කේ එම් පී කුලතුංග~


දම් පාටින් ලා සද බැස යනවා

රාත්‍රිය කොයිතරම් නම් රහස් සගවන් ඇත්ද ලෝකයට නොපෙනෙන්න. සද එලිය තරු කැකුළු විතරක්ම දන්න අනන්තවත් දේවල් ඇති ඒත් හිරු එළිය මුකුත්ම නොදන්න. ප්‍රේමවන්තයින්ට රාත්‍රිය සොදුරුතම සොබාදහම් ආශිර්වාදයක්. එය සම්මතයේ වුවද අසම්මතයේ වුවද ප්‍රේමවන්තයින්ට රාත්‍රිය ලස්සන නවාතැන්පොළක්. ඒත් රාත්‍රිය නික්මීම සමග ඔවුන්ටත් වෙන්වන්න සිදුවීම සමාජ සම්මතයයි.

සද එළිය හාත්පස පැතිරුණු කළුවර ආකාසේ දම් පැහැ වෙලා ආකාසයෙන් සද නික්මෙන්න ළගයි. සාමාන්‍යයෙන් හිරු බැස යද්දී පෙම්වතුන් වෙන්ව යන්නේ ඒත් ඔවුන් වෙන් වෙන්නේ සදු බැහැලා යද්දී. ඔවුනුත් ප්‍රේමවන්තයෝ නමුත් සම්මතයට එහා ගියපු සමාජ අසම්මතය තුළ ඔවුන් රාත්‍රියට ආදරය කරනවා, පමාවෙලා හිරු නැගෙන්න. සද ආකාසයෙන් බැහැලා යන්න තව මොහොතයි තියෙන්නේ අළුයම හිරු උදාවෙන්න ළගයි. හිරු උදාවෙන්න ප්‍රථම සද දම් පාටට හෙමින් බැසයන පාන්දර ආකාසය රන්වන් පාටයි. අකමැත්තෙන් වුණත් නික්මෙන්න සිදුවන වේදනාබර මොහොතක කතාකරන්නේ කොහොමද? නුඹෙන් සමුගන්නා මොහොතේ කතා කරන්න වචන තෝරන්න නොහැකිව නිහඩව සිටිමි. අපි අප සමීපයෙන් නික්මි යා යුතුයි.


දම් පාටින් ලා සද බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි....
නොදොඩා ඉන්නේ ඇයි....

ආකාසයෙන් බැස යන්න සැරසෙන සද සේම නුඹේ මුහුණද දම් පැහැතියි.
වෙන්වී යා යුතු වුවත් වෙන්වන මොහොතක් නොසිතෙන මේ මොහොතේ නුඹේ මුහුණට ළංව හිදිමද සතුටක්. ඇත්තෙන්ම සමුදිය යුතු වුවද එය සිතට නොදැනෙයි. ආදරයෙන් වෙලී වුන් ලොවෙන් නික්ම යාම වේදනාවක්, ඒ හැගීම තුළ ඔහු ඇයට තවත් ළංවී හිදියි.

දම් පාටින් සද මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මං....
ගොළුවී ඉන්නෙමි මං....

හිත් තුළ ආදරේ පුරෝගෙන ඒත් සමාජ අහිමානයට නතුව සැගවුණ ආදර කතා බොහොමයක් ඇති අපි අතරත් සමාජය තුළම.සිතට දැනෙන හුදකලාව මකාගන්න නුඹේ සෙවණැලි ජීවිතේ පුරාවටම ඇන්දත් ඒ සියල්ල මැකි යන බව දනිමි. ඒත් ඇය දැන දැනම බිත්ති පුරාවටම ඔහුගේ සෙවණැලි අදියි. ඔහු ආයේමත් හමුවන්නත් පුළුවන නොවන්නත් පුළුවන එහෙත් ආයෙමත් ඔහු ඇය සොයා එනතුරු ඔහුගේ මතකයන් ඇගේ මුළු ජීවිතය තුළම ඈ සිත්තම් කරගෙන ඇත.සමාජය නැමැති කළුවර ලෝකය තුළ ඇයට ඔහුගේ සෙවණැල්ල පවා උරුම නැත. කළුවර සමාජය තුල ඔවුන්ගේ ප්‍රේමණීය සෙවණැලි මකාදැමිය යුතුයි. මන්ද ඔවුන්ගේ බැදීම සමාජ සම්මතය පිළිනොගන්නක් විය හැකිය.

සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්....
බිත්ති පුරා ඔබෙ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි....
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා....

මොහොතකින් ගෙවී යන්න ආසන්න මේ රාත්‍රිය තව දිගු වුණානම් ඔහුට ඇය ළග තව මොහොතක් නවතින්න තිබුණා. අහසින් දම් පැහැයෙන් බැහැලා යන්න හදන්නේ ලා සද, එය සරා සදක් හෝ මෝරපු සදක් නොවෙයි.අසම්මතයේ පෙම්වතුන් වුවත් ඔවුන්ගේ ආදරය තවමත් අළුත් ලා සදක් මෙන්. ඒත් ඔවුන් එකිනෙකාට ඔවුන් අයිති නෑ. රාත්‍රිය තව දිගු වී ලාසද නොමැකී තියේනම් තව මොහොතක් ඇය සුවයේ හිදින්න ඔහුට හැකියි.නමුදු එයද තාවකාලික මොහොතකි තාවකාලික නැවතීමකි.නෙළුම් පතක දිය රදන්නේ නැත. එමෙන්ම ඔහුට ඈ ළග සදහට නැවතිය නොහැකිය. පමාවෙලා හිරු නැගෙන තුරු ඔහු ඇය ළගින් ඉන්න රාත්‍රිය දිගු වෙන්නැයි අයදියි ඒත් ඒ නෙළුම් පතක රැදි දිය බිදුවක් සේමයි. එතැන ස්ථීර බැදිමක් නොමැත.

රෑ කල දිගුවේ නම්
ලා සද නොමැකේනම්
නෙළුම් පතක රැදි පිනි බිදුවක් සේ
ලමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නගින තුරා....

ඇත්තෙන්ම රාත්‍රිය විතරක් දන්න සමාජය විසින් අසම්මත යැයි නම් කළ රාමුවට නතුව ප්‍රේමවන්ත හිත් කීයක් නම් මේ රාත්‍රිය තව දිගු වී සද හිමින් බැස ගොස් පමාවෙලා හිරු නැගෙන්නැයි අයදිනවා ඇතද හිරු එළිය නොදන්නවා වුණාට.

දම් පාටින් ලා සද බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි....
නොදොඩා ඉන්නේ ඇයි....
දම් පාටින් සද මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මං....
ගොළුවී ඉන්නෙමි මං....
සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්....
බිත්ති පුරා ඔබෙ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි....
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා....
දම් පාටින්....
රෑ කල දිගුවේ නම්
ලා සද නොමැකේනම්
නෙළුම් පතක රැදි පිනි බිදුවක් සේ
ලමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නගින තුරා....
දම් පාටින් ලා සද....

ගායනය : ගුණදාස කපුගේ සමග මාලනී බුලත්සිංහල
සංගීතය : ගුණසේන කපුගේ



Tuesday 5 September 2017

සංසාර සාගරේ

කොහේ සිට පැමිණියේද? නැවත කොතෙක් දුර ගමන් කරන්නට සිදු වේවිද? ඉදින් මේ ඉමක් කොණක්
නොපෙනෙන නොහැඟෙන සංසාරය මහා විසල් සාගරයක් වූයේ නම්.. එහි සිසාරා මා ලද්දාවූ ජීවිතය නම් වූ යාත්‍රාව පදවමින් මම එන්නෙමි. එම ගමනේ ඒකායන පැතුමද නොසෙල්වෙන අරමුණද වන්නේ හුදෙක්ම ඔබම පමණකි. ඔබ නිසාවෙන්ම ඔබ සොයා මම ගමන් කරමි.

සාගරය මා එන ගමන් වූ කලෙක දුර ඈත ගොඩ බිමක නොදන්නා එක් බිම් කඩක ඔබ මේ මොහොතේ පවා ඉන්නා බව මම දනිමි. ඔබේ ජීවන හුස්ම දැනෙන දරන මුදු සුළඟක්, ඔබේ නෙත් පහස විඳින දසුනක් ඇති බව මම මෙනෙහි කරමි. ඒ ඔබ, මගේ ජීවන යාත්‍රාවට මං ළකුණක් වන්නට හැකි පහන් ආලෝක ධාරාවක් මා වෙත එවන තෙක් මම බලා හිඳිමි. යම් දිනෙක ඒ එළිය ඔස්සේ පැමිණ මග සොයා ගත් විටෙක මා මගේ යාත්‍රාව නැංගුරම් ලමි.. ඔබේ රුව කොහේ හෝ හිඳ මා වෙත ළඟා වනු බලාපොරොත්තුවෙන් දැස් දල්වා සිටිමි.


ඔබේ ජීවන වෙරළ අභියසදී ඔබේ සිනහ සපිරි වත මඩලෙන් මම සැනසෙමි.. ගෙවුණු දුර්ග වූ මගෙහි විඩාවන් ඔබ කෙරෙන් නිවාලමි.. ඉදින් නැවතත් එක් වෙනු මැන මා සමඟ.. එක්ව යන්නට ජීවන යාත්‍රාව වෙත.. ගෙවාලන්නට සංසාර දුර..

සංසාර සාගරේ
ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමී
ඔබ නිසා පදවන්නෙමී

ප්‍රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි මං ලකුණු දන්වන්න
නැංගුරම් ලන තැනට පෙනෙන සේ ඔබ ඉන්න

වෙරළ වෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී
දුර්ග වූ ගමන් මග විඩා ගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න මා සමඟ එක්වන්න..

ගැයුම : නන්දා මාලිනී
පබැදුම : සුනිල් ආරියරත්න
ස්වර : සරත් දසනායක

සදාතනික වූ ප්‍රේමයක් පතාගෙන ඒ වෙනුවෙන්ම ජීවත් වන යුවතියක සිය පෙම්වතා තමන් සේම තමා වෙනුවෙන් කැප කිරීම් කරමින් අත්වැලක් වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.. ඇගේ සියළු අරමුණු ඔහු වෙනුවෙනි. ඔහු සමීපයෙහි ඇයගේ සියළු අපේක්ෂා ඉටුවීම ඇගේ පැතුමයි. ඇය සිය ජීවිතය මහා සාගරයේ පැද යන යාත්‍රාවකට උපමා කරයි. ඇගේ අරමුණ සඵල කර ගන්නට ඔහුගෙන් ද පිටිවහලක් සොයයි. ඒ පිටිවහල ප්‍රදීපාගාරයේ ආලෝකය ලෙස දකියි. ඇය ජීවිතයේ විඳින අනන්ත වූ දුක් කම් කටොළු ඒ දිගු ගමනේ විඳින වෙහෙස බව පවසයි. ඉතිරි මග ඇය සමඟ එක්ව යන්නට ඔහුට ඇරයුම් කරයි.. ගීතයේ එය දැක්වෙන්නේ යාත්‍රාව පදවන්නට කෙරෙන ආරාධනයක් ලෙසිනි. ව්‍යංගාර්ථයන් ගෙන් යුක්තව මේ පද රචකයා විසින් තැත් දරන්නේ මේ යුවතියගේ ප්‍රේමයේ අපූර්වත්වය විදහා දැක්වීමටයි.

අසන වාරයක් පාසා ලේ නහර වැල් විනිවිද යන මේ ගීතයේ සංගීතය පද වැලෙහි අපූර්වත්වය දෙගුණ තෙගුණ කරනවා නොවේද? වෙන් වෙන්ව රස විඳිය හැකි සංගීත ඛණ්ඩයන්ගෙන් විටෙක ශෝකය ද, ප්රේමයද විරහව මෙන්ම බලාපොරොත්තුවද සිත තුළ මවන්නේ කෙතරම් විශ්මිත ලෙසද?

සරත් දසනායකයන්ගේ සුන්දරතම ස්වර පෙළහරකින් හැඩ වුණු මේ සුනිල් ආරියරත්නයන්ගේ පද පෙළට ජීවය මුසු කරන්නේ නන්දා මාලිනියයි.

~අමාලි වසුන්දරා අතුකෝරල~


Tuesday 29 August 2017

ඔබට වරම් නැති මට ද වරම් නැති

කඳුළක් නෑ දෙනුවන පිපුණේ...
ජීවන වසන්තයේ පළමු හිරු කිරණ නුඹම වූ කලෙක නුඹේ සුපහස විඳිනු වස් මහද පුරා සිය දහසක් නැවුම් කුසුමන් විකසිත වනු මට දැණින. එදා පටන් මම ඔබ සෙවීමි..


මග තොට යනෙන දහසකුත් දෑස් තුළ ඔබ දකින්නට වෙර දැරූයෙමි. නොදැනීම කාලය අප කෙරෙන් අප උදුරාගෙන ගොස් ඇති බව දැනුණේ ඔබ ම යළි මා දෑස් අභිමුවට පැමිණි කල්හිය.. කල්ප කලකට පෙර ඔබ මුලින්ම දුටු දින දැණුනු දඟකාර කෝල බව මුසු හැඟීම මා වෙත ඇත්දැයි මම විපරම් කළෙමි.. නුඹ මෙන්ම ඒ සොඳුරු සිතුවිල්ලද මා අතැර ගොස් ඇත..

එනමුදු ජීවිතයේ මා සිතූ සොඳුරුම සිතුවිල්ල ඔබ බව දිවිතුරා මම අදහමි.. ඒ පුංචිම සුසුමක් හදේ සඟවා ගෙන සුපුරුදු සිනහවෙන් බලා සැනසෙමි..
මේ දෛවයේ තුන්මංසලකි. නිහඬව බලා හිඳීම හැර කී හැකි අන් දෙයක් මසිතට මෙන්ම නුඹගේ ද සිතට නොනැඟෙන බව දනිමි.

ප්‍රථම ප්‍රේමය..

ඔබට වරම් නැති මට ද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දිය වී
ප්‍රථම ප්‍රේමයයි බොඳ ව ගියේ...

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිළිටි මල් පිපුණි ද ළඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ...

ආ මග වැරදී ඔහු ද ඔබ ද මා
දෛවයෙ තුන් මංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක්‌ නෑ දෙනුවන පිපුණේ...

පද - රංජිත් රූපසිංහ
ස්වර - නාලක අංජන කුමාර
හඬ - කරුණාරත්න දිවුල්ගනේ

~අමාලි වසුන්දරා අතුකෝරල~


මේ ගුරු පාරේ මේ දොළ අයිනේ

සොබාදහම හා ප්‍රේමය අතර සබඳතාවය කොතරම්ද.. ඔහුගෙන් ඈ වෙන්ව ගිහින් ද.. ඔවුන් එක්වුණා නම්

ඔහු දකින ඒ ගුරු පාර අදත් එසේමය.. ඈ සමග අතිනත වෙලී එහා මෙහා ගිය ඒ ගුරු පාර අද හිස්ව ඇති බව පමණක් ඔහුට දැනෙයි.. පෙම්වත් හිත් අතර ඇතිවන කතාබහට සීමා මායිම් කොතැනද.. ඒ හැම දන්නේ ඔහුත් ඇයත් පමණක්මද.. ඒ බස් අසා සිනාසුණු කවරෙකු හෝ නොසිටියේද..

ඔහුගේ මතකයේ ඇති හැම මාවතක් පාසා මැවි මැවී ඇගේ රුව පෙනෙයි. මේ පෑගෙන දූවිලි අතරේ ඔවුන්ගේත් පියවර සටහන් කවදා හෝ ඇඳෙන්නට ඇත..

ඒ දොළ පාරම පෙණ පිඬු නගමින් අදද ගලා යයි.. එදාත් මේ දොළ පාර මෙලෙසින්ම ගලන්නට ඇත.. ප්‍රේමනීය සුළං රැළි මැද පෙණ පිඬු නගමින් සිනාසෙන්නට ඇත.

ඉර හඳ, ගහ කොළ, ඇල දොල, මං මාවත් සදාතනිකව ඒ සොඳුරු හමුවීම් සඟවාගෙන නිහඬ වනු ඇත..

මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත්වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොළ මත දිදුලන පෙණ පිඬු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතා බහ
එනමුදු එදවස් සඟවනු හැකි වෙයි
ඉරට හඳට ඇළ දොළට කතා බැහැ

ගායනය : ඩබ්.ඩී.අමරදේව
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : සනත් නන්දසිරි
සඟවන්නට දෙයක් ඉතිරි වේවිද..

~අමාලි වසුන්දරා අතුකෝරල~

තරු අරුන්දතී

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ළදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා

පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තණුව : ස්ටැන්ලි පීරිස්

අරුන්දතී තරුව...
මෙය හුදෙක් එක් තරුවක් පමණක් ම නොවේ...
එය පුරාතන හිංදු සංස්කෘතික අාභාෂය අනුව, නොසැලෙන එ නම් තිර පති වෘතාවේ සංකේතයයි.
තව දුරටත් පවසන්නේ නම්, දෙහදක් අතර අැතිවන සොඳුරු, සදාකාලික බැඳීමේ සංකේතයයි.

අප දිවයින තුළ පවා අතැම් සංස්කෘතියක, මංගල උත්සවයක දී අරැන්දතිය බැලීම අනිවාර්යය අංගයකි.

පරමාදර්ශී බිරිඳක හා සැමියකු ලෙස නොසැලී, පති දමින් බැඳී සිටීම සංකේතවත් කරමින්,
මංගල මොහොතේ දී මිරිස්ගල මත තැබෙන මනාලියක පා'ඟිල්ලට මංගල මුදුව පළඳවන අභිනව සැමියා, ඉන්පසු, තම සරණට පත් බිරිඳගේ නෙත් යොමු කරන්නේ අරැන්දතී ‍තරුව වෙතයි.

සොඳුරිය, අර අෑත අහසේ අරුන්දතිය ඔබට දිස්වේ දැයි ඔහු තම බිරිඳ විමසන අතර, එදෙස බලන අැය, එය දුටු බැව් පවසයි.

මංගල දිනයේ පළමු අංගය ලෙස ඔවුනොවුන් එසේ, අරුන්දතී (සිකුරු) තරුව සාක්ෂි කොට එක්ව විසීමට ගිවිස ගනියි...

නමුත් එසේ සාක්ෂි දැරූ අරැන්දතී තරුව
නෙතු පහන් නිවා, එනම් දෑස පියාගෙන, එනම් කිසිවක් නොදුටු ලෙස දුරට වී, අවධානයට ලක් නොවන අයුරින් නිසොල්මන්ව සිටියි.

***

වනස්පතිය යනු මහා වෘක්ෂයකට තවත් නමකි.
එය ඉතා ශක්තිමත් ය, ප්‍රතාපවත් ය.
මෙම පුරුෂ තෙමේ ද, එබඳු වේ.

නමුත්, ග්‍රීක පුරාවෘතයන් හි දැක්වෙන අපරාජිත යෝධයකු වූ අැකිලීස්ට පවා, මෘදු වූත්, මරණිය වේදනා ගෙනදෙන්නා වූත්, ලක්ෂයයක් තම අමරණීය සිරුරෙහි විය.

එළෙස ම මෙම ප්‍රතාපවත් පුරුෂයා ගේ චිත්ත සන්තානයම කම්පනය කරවීමට සමත් සංවේදී කරුණක් ඔහු තුළ වෙයි.

වනස්පතියක වුව එතී යන සුළලිත වැල් (ශක්තිමත් හිත් තුළ පවා කම්පනය වන සුළු, සියුම් සිතිවිලි) අැත. එබඳු ලතාවෙක, ළා දල්ලකින් පිනි පොද ක් සෙමෙන් සැලෙන්නාක් මෙන්, ඔහු නෙතින් ගිලිහුණු කඳුළු කැටයක් මිහිකත සිප ගනියි.

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා

ඔහු නෙතින් එ් කඳුළ ගිළිහුණේ, අැය නිතර රැඳී සිටි කවුළුව අසලකදී ය. වනෝද්‍යානය අළුත් මලින් පිරී ගැවසී අැත. නමුත් සැඳෑ යාමයේ (ජීවිතයේ සැඳෑ සමය සංඛේතවත් කරමින්, තවද අැය අහිමි ව අැත්තේ ඔවුන් ගේ ජීවිතයේ සැඳෑ සමය තුළ බවක් ද මෙයින් ගම්‍ය වෙි. ) හමා එන මේ සුළඟ ද හර සුන් ය. බොල් බවක් දන්වමින් හමන එ් සුළඟ පවා මා වෙත රැගෙන එන්නේ තනි කමකි.

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා

හිමදිරියේ හිරු නැගීමට පළමු පෙරදිග අහසේ පහන් තරුව වී දිස්වනුයේ අරුන්දතියයි. විවර වු කවුළු පියන් තුළින් ඔහුගේ නෙත් අරුන්දතී තරුව දකියි. කිමෙක්ද! මෙතරම් හිමිදිරියේ ජනෙල් පියන් හැර දමා අැය කොහි ගිහින් ද....?

අතැම් විටෙක,
මතකයේ සේයාවන් විසින්
අතීතය හා වර්තමානය
වෙන් කරන්නා වූ දුහුල් තිර පට පාරදෘශ්‍ය
බවට පත් කරයි.
එවන් විටෙක පෙර - පසු සිදුවීම් එකිනෙක සමග මිශ්‍ර වන්නේ
කාලය හා සිදුවීම් පිළිබඳ ව්‍යාකූල බවක් හදවතට කැඳවාලමිනි.

මේ හැඟීම මට හරියටම ‍තේරුම් ගියේ මගේ මෑණියන් මියගොස් සමසක් පිරෙන අවදියේ ය. අතැම් දිනෙක අැය රැකියාවට ගොස් දැන් දැන් පැමිණෙනු අතැයි ගේට්ටුව දකින මට සිතේ. තවත් දිනෙක අැය කැමතිම ගීය ගුවන් විදුලියෙන් අැසෙන විට "අද අැයට එ් සමඟ ගායනය කිරීමට අමතක වුනාදෝ'යි" ම සිත තුළ විදිලියක මෙන් අැඳී මැකී යයි.

මෑතක දී සිය ළබැඳියන් වියෝවූ කා හටත් මේ අත්දැකීම පොදුය.

බිරිඳ ගේ වියොවෙන් තැවෙමින් සිටින ඔහුට කුටියේ ජනෙල් වැසීමට පෙර දින සවස් යාමයේ අමතක වී යයි (පෙර දිනක නිවසේ දොර කවුළු වසා දැමුණේ අැය විසිනි).

හිමිදිරියේ අවදි වී අැරදමා අැති කවුළුව පියන්පත් තුලින් අහස දකින ඔහුට හැඟී යන්නේ "පාන්දරින්ම කවුළු පියන් හැර දමා අැය කොහි යන්නට අැත්ද" යන හැඟීමයි (අැය මිය ගොස් අැති වග ඔහුට මොහොතකට අමතක වෙයි).

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

හංසයා ගීතය ගයන්නේ මිය යාමට අාසන්නයේදී බව පැවසේ.
එමෙන්ම, හංස ගීතය ජීවත්වන අයට නෑසෙන්නක් බවට ද මතයක් අැත. හංස ගීතය පිළිබඳ සත්‍යය කෙසේ වෙතත් මෙහිදී අජන්තා රණසිංහයන් යොදාගෙන අැති ඉතාමත්ම ප්‍රබළ උපමා රූපකය ඉතා උසස් ය.

වැළපෙන්නා වූ, හද නැමැති කැටපත් පුවුරේ හංස ගීතය ලියැවෙන දා... යනු, ඔහු මිය යන මොහොතයි. එම මොහොතේ දී හිමිදිරියේ අඳුර පළවා හරිමින් හිරු ගෙන් පතිතවන පළමු කිරණයක් සේ සෞම්‍ය ලෙස ඔහු ගේ සිත රැඳි, බිය සංකා නැමැති අඳුර දුරුකොට ඔහු රැගෙන යාමට අැය පැමිණෙන්නේ නම් කෙතරම් දෙයක් දැයි ඔහුට සිතේ.

හදවතේ පිපි මල් වැනි වූ බලාපොරොත්තු වල රොන් සුනු විසිරුවා හැර දමන වේගයෙන් පිටවන සුසුම් සිතේ චංචල බව, කළකිරීම විදහාපායි. සිත තැම්පත් නැත. සිත එකඟ කර ගැනීමට නොහැකි ය... මේ හිමිදිරි පාන්දර, කවුළු පියන්පත් හැර දමා අැය කොහේ නම් යන්නට අැත්ද...?

පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා

කොයි ගියේද මට සිතුණා//

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තණුව : ස්ටැන්ලි පීරිස්

අාචාර්යය අජන්තා රණසිංහයන් මෙම නිර්මාණය බිහිකිරීමේදී දක්වා අැති ප්‍රතිභාව මෙතෙක් යැයි වර්ණනා කිරීමට තරම් මම සුදුස්සකු නොවෙමි. මක්නිසාද යත් තුමුළ අැතකුගේ ගුණ, මා වැනි අැමීබාවකු වණන්නට තැත් කිරීම සුදුසු නොවන බැවිනි.

සංගීතය හා ගායනය ගැන වුව කිව හැක්කේ ද එයම පමණකි.

එබැවින්, මා හද දුටු පමණින් ම ගීතයේ අරුත පමණක් ලියා තබා නිහඬ වෙමි.

~විශාඛා කළුබෝවිල~

සරුංගලේ... මා... - සරුංගලේ...

අාචාර්යය කේමදාසයන්ගේ භාවපූර්ණ සත්සර සංකළනයෙන් පණ පෙවී මැණික් ජයසේකර මහත්මිය ගේ සුමධුර හඬින් ගැයෙන ඉහත පද පෙළ, සහෘද සි‍ත් නවමු හැඟීමකින් කළඹාලීමට සමත්වෙයි.

අාචාර්යය ඩබ්ලිව්. එ්. අබේසිංහයන් ගේ පන්හිඳෙන් ගිළිහුණු පද වැල්, වචන සිය ගනනකින් වත් ප්‍රකාශ කර වුව නිම කළ නොහැකි සංකල්පයක්, ඉතා සරළ ලෙසත්, සුගම ලෙසත්, අපූර්ව ලෙසත් සියුම්ව සංකළනය කර අැත.

සරුංගලේ මා - සරුංගලේ...
පියඹා යනවා
දෙරණ මතින් - දෙරණ මතින්...
මායිම් නැති නිල් ආකාසේ
මායිම් ඇති මේ නියර මතේ
කුමර කුමරියන් අතින් මිදී
සරුංගලේ මා සරුංගලේ

අැය සරුංගලයකි.
විප්ලවීය සරුංගලයකි...
කුමර කුමරියන් ගේ අතින් මිදී, එනම්,
සියලු බණ්ධනයන් ගෙන් නිදහස් වී,
තෙරක් නොපෙනෙන නිල් අහස පුරාවටම අැය සැරිසරයි...
අැය පොළවට මනාප නැත.
පොළව කුරිරු ය.
වැට කොටු සීමා මායිම් වලින් බෙදී අැත.
පැන නැගුණු එම පවුරු,
නිදහස සිරගතකර තිබේ.

එබැවින් අැය
අහස ම තෝරා ගන්නීය.

කුරිරු පොළෝ මත
වැටකොටු බැඳ අැත - වැටකොටු බැඳ අැත
නිදහස වටකොට
පවුරු නැගී ඇත - පවුරු නැගී අැත
එබැවින් පියඹා - යන්නෙම් ගගනත
සරුංගලේ මා සරුංගලේ

දෑ කුලගොත්
මායිම් කිසිවක් නැති - මායිම් මෙහි නැති
නිදහස් නිවහල්
සුවිසල් ගගනත - සුවිසල් ගගනත
ඈතට - ඉගිලෙමි සිතු ලෙස
සරුංගලේ මා සරුංගලේ

නිදහස් නිවහල් ගගනත,
කිසිඳු මායිමක් බෙදීමක් නැත.
දැය, කුලය, ගෝත්‍රය පිළිබඳ
තැකීමක් අහසට නැත.
ඉතින්,
අෑ හට සිතු ලෙස
නිදහසේ ඉගිලී යා හැකිය...

හෘදය නව ජවයකින් පුරවා
සරුංගලයක් ලෙසම සැහැල්ලු කරලන මෙම ගීතය,
විඩාපත් මනසක් වුව ප්‍රබෝධමත් කර
අානන්දමත් කර ලීමට සමත් බව
මාගේ හැඟීමයි...
සුමධුර හඬින් ගැයෙන ඉහත පද පෙළ, සහෘද සි‍ත් නවමු හැඟීමකින් කළඹාලීමට සමත්වෙයි.

~විශාකා කලුබෝවිල~

අර මෝදු වෙලා සිනා පුරන

අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඩලෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියා ම

අතු අගට වෙලා සිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පරවුණා ම

හඩනව ද සඳත් තනියම
තැවෙනව ද මලූත් රහසෙ ම
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ
ඔබ හැර ගියා ම

සිහිනයක පිපී සුන්දර
රැඳේවි ද සොඳුරු යාමෙක
මගෙ හද යහනත
ඇයි මට විතරක් මේ
ඔබ හැර ගියා ම

හඩ - කරුණාරත්න දිවුල්ගනේ
පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - නවරත්න ගමගේ

දවසක් ගෙවීගෙන ගිහින් හිරු සැඟවෙනවා. ඒ වගේ දවස් කීයක් නම් ජීවිතේ මේ විදිහට ගෙවිලා ඉවර වෙන්නට ඇතිද? තව දවස් කීයක් ඒ විදිහට ගෙවන්නට ඉතිරි වෙලා ඇතිද? අහස අයිති ඉරටද නැතිනම් හඳටද? ඒ කුමක් වුණත් ලෝකයට ජීවය පොවන්නෙ හිරු. අහසෙ අදත් හඳ පායලා. වෙනදාටත් වඩා ලස්සනයිද මන්දා. ඇයි අපි හිරුට වඩා සඳට පෙම් කරන්නෙ. රැයේ නිහඬතාවය සඳ අපේ හිත් වලට ළං කරනවද? එහෙම නැත්නම් එක එල්ලේ බලන් ඉන්න බැරි හිරුට වඩා බලාගෙන හිත සැහැල්ලු කරගන්න පුළුවන් සඳ වඩාත් ලෙංගතු බවක් හැඟෙන හින්දද? සඳට එළිය දෙන්නෙත් හිරුමයි. ඉතින් හැන්දෑවෙ හිරු කුමරුන් අවරගිර සැඟවුණාම සඳටත් දුක හිතෙනවා ඇතිද?

ගසකට මලකින් ලැබෙන සුන්දරත්වය කොයිතරම්ද? ඒත් පිපෙන හැම මලක්ම පරවී යනවා නම්. තවමත් හිනාවෙවී අතු අග සරසන මල් වලට තමන්ගෙ සගයන්ගෙ වියෝව දැනෙනවා ඇතිද? කාටවත් නොපෙනෙන්න ඒ මල් තැවෙනවා ඇතිද? ලෝකෙටම හිනාව දායාද කරලා හොර රහසෙ කඳුළක් හෙළනවා ඇතිද?

ඔබ දන්නවාද ඇයි කියලා. මට විතරක්ම මේ තරම් දුකක්. හිනාවක අවසානයේ පවා ඇස් අග කඳුළක්.

~අමාලි වසුන්දරා අතුකෝරල~

වියෝගයක පෙර නිමිති දැනේ

වියෝගයක පෙර නිමිති දැනේ
අභිනික්මන ළං ළංව පෙනේ .....

ගිළිහී මධු බිඳු රැඳුණු පෙම් වදන්
කෙටිවෙයි කවියෙන් රචිත පෙම් හසුන්
හෝරා දින සති බවට පෙරලමින්
අඩුවී යයි මුණගැසෙන දින ගණන්

නැවතී උතුරා ගැලූ රස කතා
පිළිසඳරේදී වැඩෙයි නිහඬතා
දෙදරා පෙරදා පැවති සබඳතා
මොහොතක් පාසා බිඳෙයි සුහදතා...

නන්දා මාලිනී /සුනිල් ආරියරත්න/ රෝහණ වීරසිංහ

සබඳතාවක් ආරම්භයේදී ජීවිතේ කොයි තරම් නම් වෙනස් කම් සිද්ධ වෙනවාද.. ලෝකෙ හැම සතුටක් ම අයිති වුණා වගේ අපූර්වතම හැඟීමකින් මුලු හිතම පිරිලා යනවා.. තත්පරයක් පාසා බලාපොරොත්තු දැල්වෙනවා..

අපූරු පෙම් කතාවන් පිටු පුරා ලියැවුණු යුගය නැතිවුණේ තාක්ෂණය ආදරය මැද්දට ආවට පස්සේ.. ඊට පෙර හරියටම කිව්වොත් මීට අවුරුදු 15ක ට පමණ පෙර පෙම්වතුන් තමන්ගෙ සිතුම් පැතුම් සුන්දර වචන වලට පත් කරලා අකුරු කළා..

එකිනෙකා හමුවෙන්න කොයිතරම් නම් ප්‍රේමවන්ත හිත් පෙරුම් පුරනවද.. හැම මොහොතකම නොසන්සුන් සිතිවිලි ඔහුගේ.. ඇයගේ දසුන වෙනුවෙන් මග බලා ඉන්නෙ කොතරම් නොඉවසිල්ලෙන්ද..

එහෙම පෙරුම් පුරන පෙම්වත් සිත් උනුන් අභියසදී නොනැවතී දොඩමළු වෙනවා.. තොරතෝංචියක් නැතිව ජීවිතේ වැදගත්ම සුවිශේෂීම කෙනා ළඟදි කතා කරන්නට කොයිතරම් නම් දේවල් තියෙනවාද.. ඒ වචනයක් පාසා වෑහෙන්නෙ සෙනෙහස ආදරය ලෙංගතුකමම නේද..

ඉතින් මේ හැමදේම යම් මොහොතකදි වෙනස් වුණොත්.. ඒ ආදරණීය වදන් ගොළු වුණොත්.. හමුවීම් අතර පරතරය වැඩි වුණොත්.. දෙදෙනා අතර නිහඬතාවයට වැඩි ඉඩක් ලැබුණොත්.. ඒ තිබුණු සුහද ලෙංගතු බැඳීමේ යම් පළුද්දක් ඇති බව හැඟුණොත්..

ඊළඟ නිමේෂයේ කුමක් නම් සිදු වේවිද...


~අමාලි වසුන්දරා අතුකෝරල~




නෙතු පියන් පියා මුතු දසන් වසා

නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරී
සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී
මව් පියන් බලා නො ඉඳී

කැට මුගුරු වැදී තටු සඟළ බිඳී
ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ
සිහින මුවා තටු සලා වරෙන්
සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා...

ඉරිසියා හිති බොරු ගොතා කියූ
ඒ සුරංගනාවන් නිදා සිටී
හිරුට මුහුණු ලා පියාඹපන්
සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා...

ගායනය - බණ්ඩාර අතාවුද
සංගීතය -ගුණදාස කපුගේ
ගේය පද - රත්න ශ්‍රී විජේසිංහ

ජීවිතයේ හැබෑකරගන්නට වෙරදරන හීන ගොඩක් අතරින් ආදරය නැමැති ලෙන්ගතු හීනයක්.....
සැබෑ ලෝකයේ පැමිනෙන දහසකුත් බාධක මැඩගෙන හැබෑකරගන්නට වෙර දරන හීනයක්....
විරහවක් කරා නොගොසින් ආදරයෙන් හිත පතුලම ස්පර්ශ කරන සදානන්ද කරවූ හීනයක්....
ඔබටත් තිබුනාද ...ඒ සිහිනයේ සුන්දරත්වය ඔබ විඳගත්තාද...ඒ සිහිනය සැබෑ ලෝකයේදී දකින්නට ආශාවෙන් සිටියාද ...ඒ සිහිනය සැබෑ කරගත්තාද ...
රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සැබෑකරගත් ඒ සිහිනය ඔබවෙත ගෙනහැර පාන්නෙමි මෙසේ.......

මගේ කුමරිය නින්දේ... නෙතු පියන් වසාගෙන ඇගේ මුතු දසන් වසාගෙන ඇය නින්දේ. සිහිනයකින් ඇය මා ලඟටම ඇවිත්. කිසිවෙකුට දැක ගන්නට බෑ..අඩුම තරමේ ඇගේ මවුපියන්ටවත් ඒ පිළිබඳ දැනීමක් නෑ.

ඈ කිරිල්ලියක්...තටු සලලා ඈතට ලස්සන හොයාගෙන සිත්ගත් ඉසව්වකට පියාඹන්න ඈ බොහොම කැමතියි. ඒත් ඉගිලෙන්නට වෙර දරන ඇයට කැට මුගුරු එල්ලවෙන්නේ නිතැතින්. ඒවා ඇයට ඉවසාගන්නට අපහසුයි. ඒවායින් මිදීමට අපහසුයි. ඇගේ තටු බිඳී ගොසින්ද ...ඉගිලෙන්නට නොහැකිලෙස..එසේනම් සිහිනයෙන් තටු විහිදා මා ලඟටම එන්න. ඔබෙයි මගෙයි ආදරය කරා එන්න...

ආදරයට ඉරිසියාකාරයින් බොහෝයි. උන් කියනා බොරු නිසා නුඹට කෙසේවත් මා සමීපයට එන්නට අපහසුයි...ඒත් පහසු විදියක් තියෙනවා...ඔබෙයි මගෙයි සිහිනය...ඔව් ඒ සිහිනයේදී ඉරිසියාකාරයින් නිදි. හිරු නැගෙන දෙසටම පියඹා එන්න...මා වෙතම...අපේ ආදරය වෙත...

මේ ගීතය බණ්ඩාර අතාවුදයන්ගේ පළමුවන ගීතය වගේම රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ප්‍රථම ගීතය. මෙහි කියැවෙන්නේ හරිම ලස්සන කතාවක් වගේම ඔබ අප බොහෝ දෙනෙකුට පොදු කතාවක්. ආදරයකදී දෙමව්පියන් එයට අකමැති වීම බොහෝ ආදර කතා වලට දකින්නට පුළුවන් දෙයක්. එසේ ආදරයකදි එවන් අකමැත්තක් ඇති වුනොත් පෙම්වතුන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
'සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා' සෝමතිලක ජයමහ ශූරීන් ගයද්දී දැනෙන හැඟීම කෙලෙසද. පෙම්වතා විසින් පෙම්වතියගේ දෙමව්පියන්ගෙන් අහිංසක ඉල්ලීමක් සිදුකරනවා ඔවුන්ගේ සම්බන්දයට ආශීර්වාද කරන ලෙස. දෙමාපියන්ගේ අකමැත්ත නිසා ඔවුන් විඳිනා දුක මනාවට පෙන්වා දෙනවා.

සමහර විටෙක දෙමාපියන්ගේ කැමැත්ත අකමැත්ත නොසලකා පෙම්වතියව බලෙන් රැගෙන යන අවස්තාද නැත්තේ නොවේ.

ගීතයේදී දෙමාපියන් මේ සම්බන්දයට දැඩි ලෙස විරුද්ධ වන බවක් පෙන්වනවා. ඒ නිසාවෙන්ම සිහිනයක් මගින් දෙදෙනා ආදරය කරන්නට පෙලඹෙනවා...සිහිනයේදි සැබෑ ලොවේ තියෙන බාධක කිසිවක් නෑ. ආදරය ජයගන්නට පුළුවන් පහසුවෙන්ම.

ඉතින් මේ ගීතයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සැබෑ ජීවිත කතාව වීමයි. ගීතයේ කියැවෙන ආකාරයටම ඔවුන්ගේ ආදරයට දෙමවුපියන්ගෙන් බාධාවන් එල්ල වෙනවා. ඇයව දකින්නට ලැබෙන්නෙවත් නැති තත්වයකට පත්වෙනවා. ඒත් එසේවූ නියාවෙන් ආදරය නතර කරන්නට ඔවුන් සූදානම් නෑ. සිහිනයන් මගින් ආදරයේ මිහිරියාව විඳින්නට සමත් වෙනවා. කෙසේහෝ රත්න ශ්‍රී ආදරයෙන් ජයගන්නවා.

ගීතය සංගීතවත් කරන්නේ විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින්. ගේයපද වල තිබෙන සුන්දරබව තවත් තීව්‍ර කිරීමට සංගීත නිර්මාණය උපකාර වී තිබෙන බව ඔබට වැටහේවි හොඳින් ගීතය රසවින්දනය කලොත්. බණ්ඩාර අතාවුදයන්ගේ හඬ ගැන යමක් කිව යුතුමයි. ඔහුට තිබෙන්නේ ඔහුටම අනන්‍ය වූ හඬක්. ඔහුගේ ගීතයේ ඔහුගේ සලකුණ තබන්නට සමත්වීම කැපී පෙනෙනවා.

~තේජන අබේදීර~


පියෙකුගෙ දුක කියාපාන

පියෙකුගෙ දුක කියාපාන
මහ දිය කඳ කලා වැවේ
දරු සෙනෙහස දල්වාගෙන
රැළි නංවා හඬා වැටේ...

සීගිරියේ ගී පවුරේ
කවි සිතිවිලි විමානයේ
ලියා ඇති ද එක ගීයක්
නුඹ වෙනුවෙන් පියාණනේ...

සීගිරි ලලනා දෑසින්
කඳුළු බිඳක් නොවැටුණාට
නෙළුම් මලක් අදත් පිපෙයි
සිරස නමා කලා වැවට...

පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
ස්වර - රෝහණ වීරසිංහ
හඬ - කරුණාරත්න දිවුල්ගනේ

අතීතය වර්තමානය වෙනුවෙන් මොනතරම් නම් දේවල් ඉතිරි කරලද.. ඉතිහාසයේ ආඩම්බරයෙන් අදටත් දෝංකාර දෙන දහසකුත් සිදුවීම් අතර ඉඳහිටක මතුවන කලු පැල්ලම් හදවතේ කොණක ඇති කරන්නෙ රිදුමක් වේදනාවක්.. මේකත් එක්තරා ආදර කතාවක්.. සෘජුවම නොදැනුණාට පියෙකු පිළිබඳව ගැයෙන ආදරණීය පිය ගුණ ගීතයක්...

ඉතිහාසය විසින් අපේ මතකයට නංවන මේ චණ්ඩ පීතෘ ඝාතක පුත්‍රයා කාශ්‍යප රජ්ජුරුවෝ.. බලය වෙනුවෙන් ඔහු ධාතුසේන රජු පෙළනවා.. අරගල කරනවා.. ධාතුසේන රජු තමන්ගේ පුතණුවන් රැගෙන යනවා එතුමන් විසින් නිමැවුණු යෝධ කලා වැව ළඟට.. "පුතුනි ජීවිතය තුළ මා විසින් ඉපැයූ යම් දෙයක් වේ නම් ඒ මේ සුන්දර විසල් ජලකඳයි" මේ තුළින් තම පුතණුවන්ගේ හිත මෙලෙක් කිරීම එතුමාගේ අරමුණ වන්නට ඇති.. එහෙත් ශෝචනීය අවසානයක්.. මේ පුත්‍රයා අනන්ත අප්‍රමාණ දුක් දීලා සිය පිය රජු මරා දමනවා.. හරියටම ඒ කලා වැව අසලදීම.. ඉතින් මේ පියාගේ ආදරණීය අඳෝනාව වේදනාව ඔහු බොහෝ සෙයින් ප්‍රිය කළ කලා වැවේ ඒ මහා දිය දහරට මුසු නොවී තියේවිද..

ඒත් අදටත් කාශ්‍යපයන් ඉතිහාසය විසින් උලුප්පා දක්වන්නෙ මේ සිද්ධිය යටපත් කරවමින්. ඒ ඔහු විසින් රාජධානිය කොටගත් අරුමැති සීගිරිය නිසාවෙන්.. සීගිරියේ කැටපත් පවුර පුරා එහි සොඳුරු බව වෙනුවෙන් සහෘදයන් අතින් කවි ගී නිමැවුණා.. ඒ එකම කවියක ගීතයක හෝ ධාතුසේන රජු ගැන ලියැවී ඇතිද..

අර තරම් මනස්කාන්ත වූ සීගිරි සිතුවම් අතර ඇඳුණු ලලනාවන්ගේ නෙතින් කිසි දිනෙක ධාතුසේන රජුගේ මතකයක් වෙනුවෙන් කඳුළක් නොවැටෙන්නට ඇති නේද.... සිය පියා ඝාතනය කළ කාශ්‍යපයන්ගේ නමෙහි ඇති වූ කැළල මකාලන්නට සීගිරි සිතුවම් වල ඇති විශිෂ්ඨත්වය සමත් වූ ආකාරය රචකයා විසින් පෙන්වා ඇති අයුරු කොතරම් අපූර්වද..

ඒත් කලා වැව අදටත් ඒ පියාණන් වෙනුවෙන් ශෝක වෙනවා.. ඒ මහා දියකඳ තවමත් හඬා වැටෙනවා.. ඔහුගේ නාමයට පිපුණු නෙලුමක් සිරස නමා කලා වැවට ආචාර කරනවා... පුංචිම පුංචි අස්වැසිල්ලක් හිතේ ඉතිරි කරනවා නේද..

මේ පද වැල ගෙතෙන්නෙ තුන්වන පාර්ශවයකගේ ඇසින්.. කරුණාරත්න දිවුල්ගනේ සූරින්ගේ ලයාන්විත හඬ ස්වරය මේ පද වැලේ ඇති වේදනාත්මක බව වඩ වඩා ඔප් නංවනවා නේද..






~අමාලි වසුන්දරා අතුකෝරල~


සිහිනයේ දොරකඩ....

සිහිනයේ දොරකඩ....
නොපිපෙන පැතුමකි ඔබ මට ..
නිදි නැති සිත ගිනි අවුලන...
සැඩ මාරුතයක් විය ඔබ මට....
.....
මේ තරම්....කදුළු වරුසා ....
මේ තරම් ඇයි සොදුරු යෞවනයට
ජීවිතය මැකෙනා .........
අවපසේ සඳ විලසට.....

රැයෙන් රැය දිගු කාලයක් වී
මේ තරම් ඇයි දුකක්....
ඔබ අහිමිව..
සෙනෙහසින් වඩිනා ...
හද සුවඳ කෝ කොතනද?.....

හඬ - ප්‍රදීපා ධර්මදාස
පද - රත්මලේ බන්දුල ගුණවර්ධන
ස්වර - රෝහණ වීරසිංහ

සිහිනයක්.. හැමදාම දකින්නට ආසා කරපු ඒත් කිසිදිනක හිත පුරා දකින්නට වරම් නොලද හීනයක පැතුමක්.. හීනයක් වගේම ජීවිතේ දකින්න.. කියා දුන්න නුඹ ම.. අවදි වෙලා බලද්දි මතකයන් විතරක් ම ඉතිරි කරලා යන්න ගිහින්..

හිතේ සැනසීමත් එක්කම නින්දත් හොරාගෙන ඔබ යන්නම ගිහින්.. රාත්‍රී අඳුර අතරින් ඔබේ මතකයන් මා වටා සක්මන් කරනවා.. හිත පුරා මහා ගින්නක් අවුළුවමින් මාව අවදියෙන් තබනවා.. හරියට දරුණු සැඩ සුළඟක් වගේ දසත සුණු විසුණු කරමින් හමා යනවා..

පුර පෝය අහවර වෙච්ච දවසේ ඉඳන්ම හඳ කෙමෙන් කෙමෙන් මැකෙමින් ගෙවෙමින් අමාවක තෙක් ගමන් කරනවා.. හරියටම මගේ ජීවිතය වගේ.. යෞවනය ඇත්තටම සොඳුරුයිද.. එහෙම නම් ඇයි මේ තරම් දුක් කඳුළු මගේ යෞවනය පුරාම පිරෙන්නට හේතු වෙන්නෙ.. ඇත්තටම ඒ හැමදේම ඔබ නිසාම ද..

කාලය ගැටළු වලට විසඳුම් ගෙනෙන්නට ඕන.. රැයෙන් රැය... හරි නම් දිගු බව අඩු වෙන්න ඕන.. දුක අඩු වෙන්න ඕන.. ඒත් රැයෙන් රැය දිගු වෙනවා.. ඔබ අහිමි වීම මේ තරම් දුකක් වුණේ කොහොමද...

ප්‍රදීපාවන්ගේ බොහොමයක් විරෝධාලාප ගීත අතරට එක්වුණ අපූර්වතම ප්‍රේමාලාපයක්.. සංවේදී සෞම්‍ය පද රචනයක්.. රත්මලේ බන්දුල ගුණවර්ධන අතින් ලියැවුණක්.. ස්වර රෝහණ වීරසිංහයන්..

~අමාලි වසුන්දරා අතුකෝරල~



කඳුළැල් සලා දෙනෙත් පියවිලි

කඳුළැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ
ඇයි මිහිරියේ තනි වී කිව මැන කල්පනා ලොවේ...

මතුවේ සිහින් සුසුම් රැළි හද විල් දියේ මගේ
කිසිවක් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ
රැජිනි ඔබයි උදාරි යෙ මගෙ දිළිඳු ලෝකයේ...

ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුළැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ...

මා වෙසෙන තුරු ලොවේ ඔබ කිසි දිනක තනි නොවේ
හමු වෙන්න එමි ප්‍රියේ අද මෙන් මතු ද මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවියේ...


ප්‍රේමකීර්ති සංකල්පනාවක්..
ස්ටැන්ලි පීරිස් ස්වර පෙළහරක්..
ගී හඬ අමරණීය ජෝතිපාලයන්..

ඇස් තියෙන්නෙ ලෝකය දකින්න.. ඒ වුණත් හදවතට දැනෙන බොහෝ දේවල් දරාගන්න බැරි වුණ වෙලාවට ඒ හැමදේම කඳුළකට හරවන්නත් ඇස් වලට පුළුවන්..

එහෙම බැළුවොත් බාහිර ලෝකය දිහා බලන්න දීලා තියෙන ඇස් වලින්ම නේද හිතේ ඇතුළෙ දැනෙන දේවල් බාහිර ලෝකයට මුදා හරින්නෙ... තමන් ආදරය කරන කෙනෙක්ගෙ ඇසකට නැගෙන කඳුළ අනිත් කෙනාට දැනෙන්නෙ කොහොමද?

ඔහු සුසුම් හෙලනවා.. ඇයි මේ ඔබ හඬන්නෙ? ඔබ තරම් වටිනා කෙනෙක් මට ලෝකෙ ඉන්නවද? මම කවදාවත් ඔබව තනි නොකර ඔබ ළඟින්ම ඉන්නවා අද වගේම හැම භවයකදිම. ඔබ මට රැජිනක්.. මාවත් රජෙකු ලෙස පිළිගන්න ඔබට පුළුවන් නේද?

ඇයව අමතන්න වචන කීයක් නම් මේ ගීතයේ යෙදිලා තියෙනවාද බලන්න. මිහිරියේ... උදාරියෙ.. ප්‍රියේ.. දයාවියේ..

~අමාලි වසුන්දරා අතුකෝරල~






සුදු ඇත් පොව්වෙක්

සුදු ඇත් පොව්වෙක්
සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නොකළත් සිරියහනේ
පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු
මට රජ පැටියෙක්

හංකිති කවමින්
කුස තුළ සක්මන් කරනා
නුඹ දඟයකු වේ දැයි
නිකමට මෙන් මට සිතෙනා
පැටියෝ….
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
නුඹෙ හිස පළඳන්නේ
වෙනසක් නැති එක ආදරයයි

කුස තුළ දැරුවැයි
මතු බුදුවන පැතුමන් නෑ
ලේ කිරිකර පෙව්වැයි
උදම් අනන්නට රිසි නෑ
පැටියෝ….
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
මා නුඹට පුදන්නේ
සැබෑව දිදුළන ජීවිතයයි

පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - නිරෝෂා විරාජිනී

අම්මා.. ජීවයට පණ පොවන ලෝකය දකින්නට ජීවිතය විඳින්නට මග කියා දෙන අම්මා.. දරුවකු පිළිසිඳීමේ සිට බිහිවීම තෙක් වන විශ්මිත ක්‍රියාවලිය තරම් අසිරිමත් සංසිද්ධියක් මේ විශ්වයේ තවත් තියෙනවද? තමන්ගෙ කුස තුළ වැඩෙන තවත් ජීවිතයක් ඇගේ හිතට දැනෙන්නෙ කොයි විදිහටද?

ජීවිතයේ අසීරුම කාලයක් ගෙවාගෙන යද්දි හැම පුංචි දේකින්ම හිත රිදෙන හිත සැලෙන සංවේදී චරිතයක් බවට ඇය පත්වෙන්නෙ නිරායාසයෙන්.. සුපුරුදු ගඳක් සුවඳක් පවා දැනෙන්නට බැරි තරම් දුර්වල වෙද්දි ඒ හැම කරදරයක්ම ඇය දරාගන්නෙ එක් පුංචිම පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙන්.. සෞම්‍ය සමනළ පියාපතක් කුස තුළ එහා මෙහා යනවා වගේ මුල්ම වරට දැනෙද්දි ඇය මෙතෙක් විඳි වේදනාවන් සියල්ලම අමතක වෙලා ගිහින්.. තමන්ගේ රුහිරෙන් දිනෙන් දින අපූරු ගෙත්තමක් වගේ ජීවිතේ ගොතන ජීවයක් දවසින් දවසම ඇගේ හිතේ ලෝකෙ ඇති පිවිතුරුම බැඳීමකට මග පාදනවා..

මේ ලෝකෙ ගැන හාන්කවිසියක්වත් නොදැන අම්මගෙ උණුහුමට පෙම් බඳින මේ පුංචි අහිංසක ජීවිතය වෙනුවෙන් ඇය කොයිතරම් කැප කිරීමක් නම් කරනවද? බෝසතාණන් වහන්සේ පවා අවසාන භවයේ උපන්නෙ තෝරාගත් මවගෙ කුසේ.. ඉතින් උපදින හැම දරුවකුම තමන්ගෙ අම්මා හොයාගෙන එන්නෙ පෙරුම් පුරාගෙන වෙන්නට ඇති නේද?

ආදරණීය පැටියෝ.. ඔබ දුවක වුණත් පුතෙකු වුණත් වෙනසක් නැතිවම ඔබට පුදන මහාර්ඝ වස්තුව මගේ ආදරයයි..

~අමාලි වසුන්දරා අතුකෝරල~


වැලිතල අතරේ හෙමිහිට බසිනා




වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණු දා
තිලෝහිමි මොක් සුව ලද මොහොතේ - සමාධී භාවනා

හිම කඳුවැටියේ සීතල හෙවනේ
චන්දන තුරු පීරා හැපී එන මල් මුවරද රසිනේ
සුවඳ මුසු කෝමළ මඳ පවනේ - ගැටීලා පාවෙනා

සත්සර නඟලා - ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ - මනෝහර - පලූපත් අතු රිකිලී
නටා ගිය - තාලයෙහි රස නැඟුණා - සරාගී ජීවනා

සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා - සිට ම තව - මහ මෙවුනා උයනේ
නටයි කොළ වන්නම සේ මහ බෝ - සුමීරී නාදෙනා...

පද සංකල්පනාව - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
ගැයුම හා සත්සර - ඩබ් ඩී අමරදේව

වන්නම, යමක් හෝ යමෙක් කෙරෙහි සිදු කරන්නා වූ වර්ණනාව මේ ලෙසින් හැඳින්වෙනවා.. භාෂා භාවිතය පිළිබඳව මනා හැකියාවක් හා නිපුණත්වයක් දැක්වූ චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් ගෙතුණු මේ අපූර්වතම ගේය පද සිත්තම සිංහල ගීත වංශ කතාවේ එක තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස හඳුනා ගත හැකියි..

වන්නම් උඩරට පහතරට මෙන්ම සබරගමු නර්ථන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙහිම එන විශේෂාංගයක් වන අතර මේ ගීතයේ ද වන්නම් වලට අදාළ ලක්ෂණ නොඅඩුව තිබීම නිසාදෝ එය මහා බෝ වන්නම ලෙස දක්වා ඇත..

වැලි තලාවන් අතරින් ගලා යන නේරංජන නදිය ය. බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කොට ලොව පරම සුන්දර සුවය පසක් කොට ගත් ඒ සොඳුරු නිමේෂයේදී ළඟ රැඳුණු යමෙක් වේද.. ඒ ශ්‍රී මහා බෝධිය යි.. ඈතින් හිමාලය කඳු අතරෙක නැගුණු සඳුන් තුරු මත වැදී තව තවත් සුවඳවත් වුණු සීතල මද පවන ශ්‍රී මහා බෝධිය සමීපයට විත් ඒ මත වැදෙයි..


සෙමෙන් එහා මෙහා වෙන් වෙන්ව සෙලවෙන රන්වන් පත් මවන්නේ කොතරම් අපූර්වතම සංගීත රටාවක්ද.. බෝ ගසක් පාමුල මොහොතකට නැවතී බලද්දී ඒ ශෝබන නර්ථනය ඇස් නොගැටුණු අයෙක් වේද..

දකුණු ශ්‍රී මහා බෝධි ශාඛාව සංඝමිත්තා තෙරණිය සුරතින් ධර්මය පවතින්නා වූ මේ පුන්‍ය භූමියට එක්තරා කාලයකදී වැඩම වෙනවා.. අදටත් ඒ නර්ථනය ඒ බෝ පත් විසින් රඟ දක්වනවා.. බලා හිඳිමු විමසිල්ලෙන්.. ඇසේවි ඒ මියුරු සංගීතය..

~අමාලි වසුන්දරා අතුකෝරල~


Wednesday 3 May 2017

වස්සානය සිනා සලයි..(ගී පද කී මට මාල ගිරා)


තම පුතු විසින් සංගීතවත් කල ගීතයක් ගායනය කරන්නට ලැබෙන්නේ නම් මවකට එය මහත් භාග්‍යයක් නොවන්නේද....එමෙන්ම තම ස්වාමියා විසින් සංගීතවත් කල බොහෝ ගීතද ගායනා කරන්නට ඈ වාසනාවන්ත වූවාය.
නමුත් අපගේ අවාසනාවට අද ඈ අප අතර නැත. මාලනී බුලත්සිංහ ගුරු මෑණියනි ඔබ අපේ සිත් තුල සදා අමරණීයයි.......

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා


පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

නින්දා ගිණි නිවේවි
මාල හතක් දිලේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
ගී පද කී මට මාල ගිරා

ගායනය - මාලනි බුලත්සිංහල
සංගීතය - කසුන් කල්හාර
ගී පද - විදුර ඩයස්

මේ ගීතය ලියැවෙන්නේ 99/ 2000 කාලයේදී. මෙය එක්වරම බිහිවුන ගීතයක් වන්නේ නෑ. මාලනිය තමාට ගීතයක් ලියාදෙනමෙන් විදුරගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඇය ඔහුගේ දක්ෂතා පිලිබඳව වැටහීමක් තිබෙන නිසාවෙන්. ඔහු විසින් රචිත යුග ගීයක් මාලනියගේ සිත්බැඳ ගන්නා නිසා තමයි මාලනිය එවැනි ඉල්ලීමක් සිදුකරන්නේ. විදුර ඒ සඳහා වැඩි උනන්දුවක් නොදක්වන්නේ මාලනිය නිකම් කියූ දෙයක් කියා සිතායි. නමුත් දෙතුන් වතාවක් ඔහුට මෙය කියන නිසාවෙන් ඔහුට මෙය සිදුකරන්නටම වෙනවා.

මාලනිය මොනාලීසා ඇල්බමය කරන්නට විදුරගෙන් ගී පද රචනාව බලාපොරොත්තු වූවාය. ඇය බලාපොරොත්තුවන්නේ තරමක වේග රිද්ම ගීයකි. කසුන් කල්හාර විසිල් එකක් ගසනුලැබ එයින් විදුර අතින් 'ගී පද කී මට මාල ගිරා' යන පද පෙල ලියැවෙයි. එය එතැනින් අවසන්වේ. යලි ටික කාලයකින් කසුන්ගෙන් විදුරගේ බ්ලූමැන්ඩල් පෙදෙසේ පිහිටි නිවසට දුරකතන ඇමතුමක් ලැබේ. ඒ ගීතය ඉක්මනින්ම නිමකල යුතු බව පවසමිනි. දුරකතනයෙන්ම කසුන් මෙලඩිය ලබාදෙන අතර ඒ මෙලඩියට අනුව ගීතය ලියැවේ.
විදුර අයියා ගීතය ගැන කිව්වේ මෙහෙමයි...

ගීය ලියැවෙන්න කාලයකට පෙර මේ පෙම්වතාට යන්න සිද්ධ වෙන්නේ කොළඹ 15 නම් කුණු කසලින් දූලියෙන් සන්නද්ධ ගෙන්දගම් බිම් පෙතක කුඩා පේලි ගෙයක පදිංචියට, අතැර දා මලින් පිරුණු ගම්මානය.

ඔහු යළි එන්නේ කවදාකදැයි ගම්මානයේ වෙසෙන පෙම්බරිය ඇඟිලි ගනිමින් නිතර බලා සිටි වග කිවමනා නොවෙයි. පඳුරේ රෝස මලක් නෙලා වේලා කවරය ඇතුලට ලා ලිපියක් එවන්නේ සඟවා ගත් කඳුලින්.
ඊටත් වඩා සිය මල්කම් අකුරු නිවැසියනට , මිතුරනට රහසේ අමුණමින්.

කාලාන්තරයක් තිස්සේ හිත් බැඳුනද දෙදෙනාම එකඟව 'හා' කියා ගත්තේ මැයි තුන්වන දාක. ළබැඳුමට තෙමසක් පිරෙත්දී එනම් අගෝස්තු එකොලොස් වන දා දෙදෙනා විරසක වෙයි. විරසක කාලයත් තුන්මසක්. නොවැම්බරයේ තුන් වැනිදා යළි දෙදෙනා මිතුරුවෙයි.

දැන් ඔවුන් විවාහප්‍රාප්තය, මව්පියවරුය. පෙම්වතා පසුකලෙක ගීයකට ලන්නේ ඇගේ විරහ දුකය.




Wednesday 26 April 2017

නෙතු කඳුලු වලින් බොරු නොකර ඉඳින්

සහෝදරයෙක්.... කියන්නේ ජීවිතයට ලොකු සම්පතක්. අවංක සහෝදරත්වය තුල මිල කළ නොහැකි
වටිනාකමක් තිබෙනවා. විශේෂයෙන්ම අයියා කෙනෙක් ඉන්න පවුලක තියන හයිය වචනයෙන් විස්තර කරන්නට බැහැ. ඒ වගේම සහෝදරයා කියන වචනයටවත් ගරු නොකරන නීච මිනිසුන් නැතුවාම නොවෙයි. එවන් මිනිසුන් කිසිදු බැඳීමක්, ඒ වගෙම ඒ බැඳීමක තිබෙන වටිනාකම හඳුනන්නන් නොවෙයි. ඉතින්... අයියා - නංගි බැඳීම ගැන කතා කරනවනම් අයියලා හරි ආදරෙයි තමන්ගේ නංගිලාට. සමහර අයියලා තමන්ගේ ආදරේ හොඳින්ම පෙන්නනවා, නමුත් සමහරුන් තමන්ගේ ආදරේ නංගිට පෙන්නන්නේ නෑ. ඒක තියෙන්නේ එයාලගේ හිතේ. මටත් ඉන්නවා ඔන්න ඔය දෙවෙනි කාණ්ඩයට අයිති වෙන අයියා කෙනෙක්. ඒ වගේමයි ගෙදරක විශාල වගකීම් ප්‍රමාණයක් අයියගේ කරමතට පැටවෙන්නේ නිතැතින්මයි. ආදර්ශවත් අයියා කෙනෙක්... නිවෙසට හොඳ පුතෙක් විදියට එයාලා නිහඬවම තමන්ට දැනෙන වේදනාවන් විඳ දරා ගන්නවා. මම මේ කියන්න යන්නේ ඒ වගේ අයියා කෙනෙක් ගැන.

ඔහු... තමන්ගේ නංගිට බොහෝ ආදරය කරන අයියා කෙනෙක්. ඔහු... නංගිත් එක්ක දුකට සැපට හැම මොහොතකම ඉන්න අයියා කෙනෙක්. ඔහු... තම නංගිට කෙනෙක් කිසිම වචනයක් කියනවට අකමැති අයියා කෙනෙක්. ඒත් අවාසනාවට ඔහු නොදැනුවත්වම නංගි ඇයගේ කුඩා වයසට නොගැලපෙන දෙයක් කරනවා.

නෙතු කඳුලු වලින් බොරු නොකර ඉඳින්
මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
කිරි සුවඳ මුවින්

ඇය.... තුරුණු වියට එළඹෙමින් සිටින යුවතියක්. ප්‍රේමයක පැටලී ඇති හැඩයි. මේ පලහිලව්ව නිවසේ දෙමව්පියන් දැන ගත් පසු ඇය කුමක්ද කරන්නේ දෙමව්පියන් ඉදිරියේ ඇඬූ කඳුලින් පසුවෙනවා. නමුත් මේ අයියට කේන්තියි. ඒ නිසාමයි ඔහු පවසන්නේ "නෙතු කඳුලු වලින් බොරු නොකර ඉඳින්" ලෙසට. මොකද ඔහු දන්නවා ඇය මේ හෙලන්නේ කිඹුල් කඳුලු බව. ඔහු අහනවා ඇයගෙන් නුඹ ලමාවිය පසු කලා පමණයි. මේ නුඹට පෙම් කරන්න වයසක්ද. ඇයි නුඹ මෙවැන්නක් කලේ.

අරුතේ ඉන්න අයියලා නංගිලා බොහෝ අය මේ සිද්ධියට මුහුණ දී ඇති කියලා මම හිතනවා. පාසල් ප්‍රේමය කොපමණ යෝග්‍ය නොවන්නක් වුවත් අපි බොහෝවිට ඒ කාලයේදි එය නොගැලපෙන්නක් බව විශ්වාස කරන්නේ නෑ. ඉතින්... මේ අයියා තව දුරටත් තමන්ගේ නංගිගෙන් මෙහෙම අහනවා ;

සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින්
කොයිබින්ද සිතේ අනුරාග හැඟුම්
කෙලෙසින්ද නගේ පෙම්පත් ලියුවේ
මුදු සිනිඳු අතින්

පෙර කීවාක් මෙන් ඇය ලමා විය පසු කලා පමණයි. මෙතනදිත් ඔහු අහනවා, නුඹ සෙල්ලම් ගේ අතෑරියා පමණයි තවම. මෙච්චර ඉක්මනට ආදරණීය හැඟුම් සිතට ආවේ කොහොමද. නුඹෙ දෑත් තවමත් කිරිකැටි දෑත් හරිම සිනිඳුයි. නුඹ කොහොමද ප්‍රේමණීය ලියුම් ලියන්නේ. ඔහුට ඇය තවමත් කුඩා දැරියක්. ඔහුට විශ්වාස කරන්නට අපහසුයි ඇය ආදරවන්තියක් බව. මන්ද ඇය තවමත් පාසල් යන කුඩා දැරියක් බැවින්.

පාසල් සෙවණින් සමුගන්න කලින්
සිත මන්ද නගේ අඳුරේ මෙතරම්
අවලාද හඬින් ගම්මානෙ පිරේ
දැන් හොඳද ඉතින්

ඇගේ මේ ක්‍රියාකලාපය නිසාම ගමේ මිනිසුන් ඇයට සහ ඇගේ පවුලට නිග්‍රහ කරනවා. මෙතනදි ඔහු කියනවා, පාසලෙන් පිට වෙන්නත් කලින් ඇයි නුඹ නුඹේ අනාගතය අඳුරු කරගන්නට හදන්නේ... ඇයි නුඹ කැළලක් ඇති කරගන්නට හදන්නේ. ඒක හොඳ දෙයක්ද... නුඹට ඕනා නුඹේ මුලු ජීවිතයම අඳුරට හෙලන්නද... මේ අයියා දන්නවා තමන්ගේ නංගිට මුළු ගමම කතා හදන බව. ඔවුන් කොපමණ මේ කාරණය ඉවසාගෙන හිටියත් අයියට තරහයි ඇය ඔහු කියන දේ නොඅසන නිසාම. මේ නිසාමයි ඔහු අහන්නේ "අවලාද හඬින් ගම්මානෙ පිරේ
දැන් හොඳද ඉතින්" යනුවෙන්. ඔවුන්ට මේ අවමාන විඳදරා ගන්නට අමාරුයි. ඒත් ඇය ඔවුන්ගේ කීම් නොඇසුනා සේ සිටිනවා.

මේ ගීතය තුළ කියන්නට, පැහැදිලි කරන්නට මහා සංකීර්ණ කාරණා නොමැති වුවත්... සහෝදරයකුගේ සිතෙහි ඇතිවෙන වේදනාව, කණස්සල්ල මනාව පිළිඹිබු කරන ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ ගීතය තුළින් අරුතේ ඉන්න අයියලා නංගිලා බොහොමයක්ගේ මතකය අවදි වනු නොඅනුමානයි.

තම නංගිලාට ආදරය කරන අයියලාට මේ ගීතය උපහාරයක්ම වේවා... !!!

නෙතු කඳුලු වලින් බොරු නොකර ඉඳින්
මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
කිරි සුවඳ මුවින්

සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින්
කොයිබින්ද සිතේ අනුරාග හැඟුම්
කෙලෙසින්ද නගේ පෙම්පත් ලියුවේ
මුදු සිනිඳු අතින්

පාසල් සෙවණින් සමුගන්න කලින්
සිත මන්ද නගේ අඳුරේ මෙතරම්
අවලාද හඬින් ගම්මානෙ පිරේ
දැන් හොඳද ඉතින්

~අකූ ~


Sunday 2 April 2017

කිරිපල්ල

"නෑ ගමන යන්නේ මේ ගොනා"


නිදහසින් පසු ලාංකික දේශපාලන ,ආර්ථික හා සමාජීය ගමන් මග පිළිබඳව යතාර්ථවාදී කියැවීමක් ලෙසින් යටි අරුත් දෙන අපූර්වතම ගීතයකි,සුජීව හෙට්ටිතන්ත්‍රීගේ විසින් රචිත අමිත් ලියනගේයනගේ් සංගීතයට රෝහණ බැද්දගේයන් සහ සමන් ලෙනින් ගායනා කරන කිරිපල්ල ගීතය.

බට දැල්ල කාලා
ඉරවල්ලෙ හිටියා
උඩු තල්ලේ දත් නැති මී ගොනා

සුජීවගෙ මින් අදහස් කරන්නට ඇත්තේ කුමක්ද ?කුඹුරක ඉරවල්ල යනුවෙන් හැදින්වෙන කොටස යනු කුඹුරේ වගාව අස්වැන්න, නඩත්තුව පිළිබඳව තීරණය කෙරෙන ප්‍රදේශයයි.කුඹුර නැමති රටේ පාලන තන්ත්‍රය නැමති ඉරවල්ල තුල සිටිනුයේ,එතුල සිටිය යුතු අයමද යන්න සුජීව ප්‍රශ්න කරයි.එතුල සිටින නොගැලපෙන සත්වයා නොහොත් පාලකයා අනුභව කරන්නේ "බට දැල්ල"ය.ඒ ඌ වටා යම් පිරිසක් අවදානයෙන් සිටින නිසා විය යුතුය .එසේ නොවන්නට පැල ගොයම කන්නට බෙහෙවින් ඉඩ තිඹිණ.මී ගවයාගේ උඩුතල්ලේ දත් පිහිටන්නේ නැත.පාලකයා තුල ස්වං තීරණ ගැනීමේ නොහැකියාව කියා පාන්නට මෙයිට වඩා හොඳ යෙදුමක් තිබේද ?යුරෝපා සංගමය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ආදී සංවිධාන හරකාගේ උඩුතල්ලේ දත් වලින් කරන කාර්යය කරනවාදෝ වෙලාවකට සිතේ.එක් අතකට එලෙස දත් නොමැති කම යහපතක් ලෙසටද පෙනී යයි.ඒ මන්ද යත් ඔය කියන ඒකාධිපති බලතල නොහොත් දත් කුළු මී ගොනෙකුට ලැබුනොත් මොනවයින් මොනවා වෙයිද යන්න හිතා ගත නොහැහි නිසාවෙනි .

සීයේ
පිට බෙල්ල කහනා
කණ කොක්කු නඩයට
කිනිතුල්ලෝ මී පැණි වුනා

මින් සුජීව කුමක් කියා පාන්නට උත්සාහ කරන්නට ඇත්ද යන්න සැලකීමේදී මෙසේ කිව හැක.පාලන ත්‍රන්ත්‍රය වටා ගොඩ නැගී ඇති රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන හෙන්චයියන්ගේ ක්‍රියාකලාපයේ එදාමෙදා තුර පිළිඹිබුව විය නොහැහියැයි කිව හැකිද?

කාලෙන් කාලයට ගොනා මාරු වීමේ ක්‍රියාවලීන් තිබේ..ඒවා ජනාධිපතිවරණ,මැතිවරණ නමින් හඳින්වේ😂.ගොනා මාරුවෙන අවස්ථාවේ දී කොකුන් තාවකාලිකව ගහකට මාරු වේ..අලුත් ගොනා ආ පසුව නැවතත් ඒ ගොනාගේ පිටේ වසති..කොකාට ගොනා අදාලම නැත.මොන ගොනා ආවත් උගේ පිටේ වසති.කණ කොකා යනු විනාශයේ සංකේතයක් ලෙස ජන වහරේ සැලකේ..රටේ විනාශට රාජ්‍ය නිලධාරීන් නොහොත් කණ කොක්කු රෑණ කෙලින්ම සම්බන්ධ වගට ඔහු නොකියා කියයි.මී ගොනා ඉරවල්ලෙ ඉඳන් රටේ සාරය උලා කයි.දේශපාලන හෙන්චයියන් නොහොත් කිණිතුල්ලන් ගොනාගේ සාරය උර බොයි.අහෝ කරුමෙක මහත!ඒ කිණිතුල්ලන්ව ඉවත් කර ගැනීමට මී ගොනා නොහොත් පාලකයාට ශක්තියක් නැත.ඒ ඒ කිණිතුල්ලන් ඒ ඒ රසයට කැමතිය.සමහරු පස් උරා බොති.සමහරු වැලි උරා බොති.තව සමහරු වනාන්තර ගිලිති.මැණික් පතල් කපති.මහා කළුගල් ගොඩි පිටින් ගිලිති.වෙල් ගොඩ කරති,ගංගා හාරති.නිදන් ගොඩ දාති.😢රජයේ කාර්යාල තුල ගැවසෙති.නිලධාරීන්ට ජරාව දෙති.එදා මෙදා තුර ඔය කාරණා අවිචින්නව පැවතෙති..ඉතින් කොහොමද රටක් විදිහට ඉදිරියට යන්නෙ?😂

දරුමල්ලෝ රකිනා
කිරිවැදුනු ගොයමට
මයෙ අම්මපල්ලා විණ කලා

දරුමල්ලන් රකිනු පිණිස ගොවිතැන් කරද්දී එම ගොයමට වස විෂ ගසා විනාශ කලා යැයි වාච්චාර්ථ ගැන්වුවද මින් අදහස් වන විශාල යටි අරුතක් තිබේ යැයි කිව හැකිය.එකල ලාංකීය සමාජය තුල වැඩිහිටි නිවාස/ළමා නිවාස තිබුනේ නැත.ඒ දරුවන්ට සලකන වැඩිහිටියන්ට ගරු කරන හර පද්දතීන්ගෙන් සමන්විත සදාචාර සම්පන්න සංස්කෘතියක් තිබුණ නිසාය.

එහෙත් නිදහසින් පසු සිදුවූයේ කුමක් ද?කිරි වැදුනු ගොයම නැමති එම හර පද්ධතිය විනාශ මුඛයට ඇද වැටිණ .වැඩිහිටි නිවාස,ළමා නිවාස බටහිරින් මෙරටට සංක්‍රමණය විය.හැමදාම සලකපු වැඩියෙන් වෙනුවෙන් එක් දිනයක් වෙන් විය.මව්වරුන්ගේ දිනය,පියවරුන්ගේ දිනය,ගුරු දිනය,පෙම්වතුන්ගේ දිනය ආදී වශයෙන් එක් එක් දින වෙන් විය.හර පද්ධතීන් නැමැති කිරි වැදි ගොයම නැවත පණ දිය නොහැකි තරමටම විනාශ විය.වෙමින් පවතී.

ලොකු අම්මා කිව්වා
මයෙ රත්ති කෙල්ලට
කිරිපල්ල පෙන්නල මේ යකා

උක්ත කොටසින් සුජීව කියන්නට උත්සාහ කර ඇත්තේ කුමක් ද යන්න විමසා බලමු.කිරිපල්ල යන යෙදුම සිංහල සාහිත්‍යයේ කීප තැනක යෙදී ඇත.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල්දූව කෘතියේ "කිරිජ්ජපල්ල" යනුවෙන් යොදා ඇත.ප්‍රවීණ කිවිවර රත්නශ්‍රී විජේසිංහයන් ගේ "සුබ උදෑසන " කාව්‍ය සංග්‍රහයේ 'එකමත් එක රටක' නැමැති කවියේ දී යොදාගෙන තිබේ.

(පුංචි එවුන් කිරිපල්ලත් අත ගෑවා..) එහි හා මෙම කිරිපල්ලේ යම් සමානතාවයක් දැකිය හැකිය.

කාන්තාවන්ට ගෞරව කිරීමේ සිරිතට කණ කොකා හඬවමින් ඔවුන්ව ලිංගිකව සූරා කෑමේ ක්‍රමය ද නිදහසින් පසු මෙරටට පැමිණි වග පවසන්නට එම යෙදුම ප්‍රමාණවත් නොවන්නේ ද?

දරුවෙක් පාසලකට දා ගන්නට විදුහල්පතිගෙ කිරිපල්ල අත ගෑ යුතුය ..නැතිනම් දරුවාගේ මෑණියන්ගේ කිරිපල්ල අතගාන්නට විදුහල්පතිට ඉඩ දිය යුතුය .අනෙකුත් ක්ෂේත්‍රයන් හි ද මෙම ලිංගික හිංසනය/අල්ලස අඩු වැඩි වශයෙන් සිදු වේ..

වරමන්ද ගහලා
රන් ගෙජ්ජි දාලා
බරබාගේ බැන්දේ සීයලා

ඉරවල්ලෙ සිටි බට දැල්ල කෑ මී ගොනාවම මෙතනදි සුජිව බරබාගේ බඳීයි.බරබාග වල මී ගවයින් බඳින සම්ප්‍රදායක් නැත.ඔහු මෙතනදි සිතා මතාම මෙය කලා විය හැකිය.මන්ද අපි එදා සිටන්මැ කරත්තයට බැන්ඳේ හරි ගොනාව නොවේ.එපමක් නොව රූපවාහිනී වලට ඇවිල්ලා,මාධ්‍ය සාකච්ඡා තියලා රත්තරං ගෙජ්ජිත් ගෙල පළදවනවා.ඒ අපේ සීයලා කල වරද දැන් දැන් මුණුපුරන් ට අවබෝධ වෙන බව දැකිය හැකිය ..

කෙවිටෙන් තලාලා
දැන් එලවපල්ලා
නෑ ගමන යන්නේ මේ ගොනා

එසේ බරබාගේ බැඳගත් මී ගොනා මේ ගමන යන්නේ ද?නැත.දැන් කෙවිටි බාවිතා කර එලවන්නට දත කති.මොනවද හැබෑටම මේ කෙවිටි?

සැබවින්ම මේ කෙවිටි තිබෙන්නේ

ලිප්ටන් වටරවුමෙ,කොටුව දුම්රියපොළ ඉදිරිපිට .මහා මාර්ග වල,වෘත්තිය සමීති වල,ජනමාධ්‍ය ආයතන,තව ෆේස්බුක් එකේ..ආදී තැන් වලය.එහෙත් ගොනාට ඒ ගැන ගානක්වත් නැති තරමය.

"නෑ ගමන යන්නේ මේ ගොනා"

මෙම කොටසේ ද්විත්ව අර්තයක් තිබේය යන්න මොහොක සිතේ..

ඒ "ගමන නොයෑම"සහ "ඤාති ගමන යෑම" ලෙස අර්ථ ගැන්විය හැකිය.එදා මෙදා තුර ගැල බැඳි ගොනුන්ගේ ඤාති පරපුර ගැන බැලීමේ දී,ඒ සිතුවිල්ලේ ද වරදක් ඇති වග නොසිතේ..

ගීතයේ සංගීතය ගැන විමසීමේදී ආරම්භයේ පටන් අවසානය දක්වාම අමිත් ලියනගේ යන් සිය අනසක පතුරවා ඇති ආකාරයක් පෙනී යයි.ජනශ්‍රැති ආශ්‍රිත සංගීත නාද රටා එකතුකර ගනිමින් පර්යේෂණාත්මක නිර්මාණයක නිරත වූ ඔහු ගැන මා උඩින් පල්ලෙන්කතා කිරීම ඔහුට කරන අසාධාරණයකි .

රෝහණ බැද්දගේයන්ගෙ සහ සමන් ලෙනින්ගේ ගායනය ගැනද කිසිවක් නොකියමි.ඒ මොකුත් නිසා නොව මට ඒ ගැන ඇගයීමට තරම් දැණුමක් නොමැති කම නිසාය ..

කිරිපල්ල ගීතයේ මාගේ කියැවීම අනාගතයේ දවසක කියවීම සඳහා මෙසේ අකුරු කරන වගයි..

(බුද්ධික ප්‍රදීප් )

2017/03/30..


සුද්දා තොලොංචි වූ දා සිට අපේ කතාව
කිරිපල්ල
ගායනය -රෝහණ බැද්දගේ ශුරීන් සමග සමන් ලෙනින්
පද -සුජීව හෙට්ටිතන්ත්‍රි
සංගීතය- අමිත් ලියනගේ
රූප සංස්කරණය- බණ්ඩාර බෙලිකටිමුල්ල