Thursday 12 April 2018

වහල සෙවිලිකල පොල් අතු

ප්‍රේමකීර්ති ද අල්විස් යනු සොබාදහමට දැඩි ලෙස ආදරය කළ කෙනෙක්.

ගස්, වැල්, දොළ කඩිත්ත..ඒවා නලවාලා ඇදී යන සුළඟ...ඒ සුළඟට මුසුවෙන කුරුලු ගීත...මේ ඔක්කොම සොබාදහමේ ආශ්චර්යයයි..
මිනිසා ඔහුට මේතාක් සලකන සොබාදහමට වින කෙරුවද යලිත් හෙමිහිට සොබාදහම නැගිට සිටී...මේ හැම දෙයක්ම චක්‍රයක්..සමතුලිතතාවය කියන්නේ ඒකට...
බලන්න මේ ඔක්කොම දේවල් ප්‍රේම් මේ ගීතය තුල ගොඩනගන අපූරුව...


විශාරද ස්වර්ණලතා කවීශ්වර ගේ මනරම් ගැයුම ප්‍රේම්ගේ පද වලට උපරිම සාධාරණයක් ඉටු කරනවා...ඇය ගයන 'පිණිබිඳු මුතුමල් සැනකෙළියේ' ගීතය උදේ පාන්දර ගුවන් විදුලියෙන් ඇහෙනකොට අපට දැනෙන්නේ කෙසේද..ඒ හා සමානව මේ ගීතය විඳින්නට පුළුවන් ...



වහල සෙවිලිකල පොල් අතු ගසකිනි ගත්තේ
අහරට බත වී කරලක සැඟවී ඇත්තේ
පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ
ගිමනට සිහිලැල් සෙවනද ගස යට ඇත්තේ

පාළුව මැකුනේ නිරතුරු කුරුලු ගීයටයි
සාමය සම්පත රැඳුනේ කුරුලු කූඩුවෙයි
සුළං රැලින් හදට හුස්ම ‍පොද පොද සැපයෙයි
එයින්ම ජීවත් වන්නෝ ඒ ගැන නොසිතයි

මැවූ කෙනෙකු මැවූ තැනක් කිසිවකු නොදනී
සැදූ ගසක් කපා දමා මිනිස‍ෙකු හිනැහෙයි
මිනිස් පයට පෑගීලා තනපත් මිය යයි
හෙටත් අලුත් දළු ලියලයි සොබාදම එයයි..

ගායනය : ස්වර්ණලතා කවීශ්වර
පද රචනය :ප්‍රේමකීර්ති ද අල්විස්

~තේජන අබේදීර~


රෑ අහසේ තරු කැට පායා දිලුනා

කවියෙකුට නිර්මාණකරුවෙකුට එක පුංචිම පුංචි සිද්ධියක් එකම එක ඉඟියක් කොයිතරම් නම්
චමත්කාරජනක විදියට පද වැලක අමුණන්න පුළුවන්ද.. මේ ගීතය බලන්න.. මහා දිග කතන්දරයක් හෝ සිදුවීම් පෙළක් නෑ.. සරල ආදරණීය හමුවීමක් විතරමයි.. ඒත් වදනක් පාසාම ඒ හමුවේ අපූර්වත්වය චමත්කාරය අපේ හිතට දැනෙනවා නේද..

අදත් අහස පුරාම තරුකැට පිරිලා.. එකිනෙකට වෙනස් රටා ආකාසෙ පුරාම මවනවා.. ඉඳහිටක කොහේදෝ ඉන්න පුංචිම තරු කැටයක් ඉස්මතු වෙලා ඉඟි කරනවා.. අහස මොනතරම් විස්මිතද.. ඇහිපිය නොහෙලාම එක දිගට බලා ඉන්න පුළුවන් අපූර්ව සිතුවිලි සමුදායක් තනි වෙච්ච හිතක මවන්න අහස නිසොල්මන්ව ඉඩ දීල ඔහේ බලාන ඉන්නවා..


සඳ එළියෙන් නැහැවිච්ච තැනින් තැන තරු පොකුරු පොරවාගත්ත අහස යට ඔබත් මමත් පියමං කරපු ඒ දිනය නිතැතින්ම මගේ දෑස් අභියස මැවිල පේනවා.. සඳ එළිය වැටිච්ච ඔබේ මුහුණත් ඒ ආදරයෙන් පිරුණු තරු ඇස් දෙකත් ජීවිත කාලය පුරාවටම මේ තරු රටා අතර හැංගිලා මගේ නෙතට කඳුළක් නංවනවා.. මිය නොයන ආදරයක් තවමත් ලොව තියෙන බවට ගතු කියනවා..

රෑ අහසේ
තරු කැට පායා දිලුනා...
මා තනි වී
සිතිවිලි සයුරේ වෙලුනා...

තරු එළියක්‌ නිල් දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා...

ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක්‌ පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිලෙනවා
සිතට දැනෙනවා...

පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල
ගායනය, තනුව - ආත්මා ලියනගේ


අමාලි වසුන්දරා අතුකෝරළ 


කවුරුන්ද ඔබ මගේ

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු

හඬ : සුනිල් එදිරිසිංහ
ස්වර : රෝහණ වීරසිංහ
පද : සමන් අතාවුදහෙට්ටි

මේ ගීතය ඇත්තටම විශේෂ ගීතයක්.... බොහෝ ප්‍රේම ගීත වගේම මෙතනත් ඉන්නවනෙ දෙනේනෙක්.. ඒ දෙන්නා අතර තියෙන බැඳීමක්.. නමක් නැති බැඳීමක් කියලා හිතෙන්නෙ ඒ දෙන්නට දෙන්නා තමන් කවුද කියලා සොයන්න උත්සහ කරන නිසා..

ඔබ මගේ කවුද.. මම ඔබගේ කවුද...

එතකොට නමක් නැති බැඳීමක් හැම විටම සෘණාත්මක සම්බන්ධයක් විය යුතු නැහැ නේද? හරි.. ඔවුන් දෙදෙනා ගතින් එක්තැන් වෙලා.. ගතින් එක්තැන් වීම විවාහයක්ම විය යුතුද? ඒක හමුවීමක් පමණක් වෙන්න බැරිද..

මෙහෙම හිතමු නිතරම මුණ ගැහෙන කතා බහ කරන ආශ්‍රය කරන දෙන්නෙක් වෙන්න පුළුවන් නේද? ඊළඟට මොවුන් දෙදෙනාම සිතිනුත් එක් තැන් වෙලා.. ගතින් කොහොම එක්තැන්ව හිටියත් සිතින් එක් තැන් වෙන එක..? ඒක හරිම විශේෂයිනෙ..

කවුරු මොනවා කිව්වත් හිතින් ඇති වෙන බැඳීම් හරි ප්‍රබලයිනෙ.. එතකොට මම ඔබත් එක්ක හිනා වෙනවා.. ඔබේ දුකේදිත් මගේ දුකේදිත් අපි දෙන්නාම කඳුළු හෙලනවා...

ඊළඟට ප්‍රේමය ගොළු වෙලා.. මේ දෙන්නා අතර ප්‍රේමයක් තියෙනවා ඒත් ඒක සාර්ථක කරගන්න, තේරුම්ගන්න එකිනෙකාට කියාගන්නට බැහැ... මොකක් හරි බාධාවක් නිසා.. සමහර විට මේ දෙන්නා වෙන දෙන්නෙක්ට අයිති දෙන්නෙක් වෙන්නත් පුළුවන්.. ඉතිං මේ ගොළු වෙච්ච ප්‍රේමය ඔබේ හදත් රිදවනවා.. මගේ හදත් රිදවනවා.. තීරණයක් ගන්න බැහැ.. ඒ නිසා නොදොඩා ගොළුවී බලාගෙන ඉන්නවා..

මේ ගීතය සුවිශේෂී වන්නෙ මෙන්න මේ වචන වලට හරවන්න බැරි හැඟීමක් ගීතයක් බවට පත් කරපු නිසාමයි.. එහෙම නේද..


අමාලි වසුන්දරා අතුකෝරළ 


රෝස මලට කියනවාද

බඹරු ලබන්නට බැරි මල් වගේ.....අඳුර දිනන්න බැරි තරුත් මේ ජීවිතයේම කොටසකි"

මෙහෙම කියන්නේ මම නම් නෙවෙයි. නව පරපුරේ තරුණ ගේය පද රචකයකු වන රවී සිරිවර්ධනයන්. ඔහුගේ බොහෝ ගී පද රචනා ඉතාමත් සංවේදී බවයි මගේ නම් හැගීම. රූපවාහිනි සංගීත වැඩසටහන් තුල ඔහුගේ වාග් ව්‍යහාරය රසික සිත් ඇදබැද තබා ගැනීමට සමත්... බොහෝ ගී පද රචනා ඔහුගේ ජීවිතයේ සැබෑ අත්දැකීම් බවයි ඔහු පවසන්නේ. එවන් ගීතයක් අරුතට එක් කිරීමට මෙන්ම අරුත ඔබ හා බෙදා ගන්නට දරන වෑයමකි මෙය...

ගීතය දෙස මතුපිටින් බැලූ කල අපට කියන කතාව සරලය නමුත්. එහි ඇතුලාන්තයට එබී බැලු කල ගේය පද රචකයා රසික සිත් තුල මෙම ගීතයේ කතකයා මිය ගිය බව අමතක කරවන්නට සමත් වීම නම් අපූරුය. වර්තමාන බොහෝ ආදර අන්දර වල ඔවුනොවුන් වෙන් වන්නට ⁣වන හේතු කරුණු බොහෝය නමුත් දෙමාපිය අාශිර්වාදය හිමි නොවීම තුලින් නිමා වන ප්‍රේමයන් අල්පය ...


රෝස මලට කියනවාද
මා මිය ගිය බව ...
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුණු වග...

ආදරයක අවසානය මරණයෙන් නිමා වීම තුලින් සමාජය තුල කුතුහලයක් ඇති කරන්නේ එවන් මරණයකට වග කිව යුත්තන් දෙස මිනිසුන් විපරමින් සිටින නිසාවෙනි. කවියා රෝස මල පෙම්වතියට ආදේශ කිරීම තුල සමාජ පසුබිමක්ද නිර්මාණය කරන්නට උත්සහ ගෙන තිබෙන බවක් ද ඇත. ගමක දුගී නිවසක මිදුලේ පිපෙන මල් හා නගරයක සුවපහසු මල්වත්තක පිපෙන මල් අතර හා මල් වර්ග අතර වෙනසක් ඇත. අනෙක් අතට යම් ප්‍රේම සම්බන්ධයකට දෙමාපියන් අකමැති වන්නේ ඔවුන්ගේ තරාතිරම මත නිසාවෙනි ...

මල වට කර කටු සැදුණේ
පෙති රකින්න නම් ...
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතින් එක්‌ක මං...

පෙම්වතාට ඇත්තේ බෝසත් ගතිගුණය... ඔහු තමාට හිතැති පරිදි තීරණයක් ද නොගනී. දෙමාපියන් මෙන්ම ඇගේ සහෝදර නෑදෑ පිරිවරද ඔහුට අවැසිය. ඔවුන් සමග තරහ වි හිතුමතේට තීරණ ගැනීම තුලින් යම් දවසක පීඩාවට ලක්වන්නේ ඇය බව ඔහු හොදාකාරවම දනී..

මගෙ සොහොනට ආවොත් ඈ
අවසර විගසින්...
කියන්න මං පෙම් කළ බව
රෝස ගහ තරම්...

බොහෝ දෙමාපියන් සිතන්නේ තමන් තරම් තම දරුවනට ආදරය කරන කෙනෙක් ඔවුන්ගේ ජීවිත වලට හමු නොවන බවයි. එයට ඔවුනට ඇගිලි දිගු කල නොහැක. කෙසේ නමුත් දෙමාපිය ආශිර්වාදය නොලද ඔහු ඇයගෙන් මෙන්ම ඔහු වටා සිටි පිරිවරගෙන්ද සමු ගෙන හමාරය... මහා ඛේදවාචකයක බර කිසිවෙකු මත තබන්න කවියා උත්සහ නොගනී. ගීතය පරිසර⁣ය හා සහසම්බන්ධ කිරීම තුලින් ගීතයේ රසය වඩා රසවත් කර ඇත...ගීතයට සංගීතය සපයන්නේ අප කව්රුත් දන්න හදුනන නව පරපුරේ සංගීතවිශාරදයකු වන දර්ශන වික්‍රමතුංගයන් ක්‍රිෂාන්ත එරන්දකගේ සුමිහිරි කටහඬද ගීතයට එක්කර ඇත්තේ අමුතුම අලංකාරයකි

රෝස මලට කියනවාද
මා මිය ගිය බව ...
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුණු වග...
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුණු වග...

මල වට කර කටු සැදුණේ
පෙති රකින්න නම් ...
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතින් එක්‌ක මං ...
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතින් එක්‌ක මං ...

මගෙ සොහොනට ආවොත් ඈ
අවසර විගසින්...
කියන්න මං පෙම් කළ බව
රෝස ගහ තරම්
කියන්න මං පෙම් කළ බව
රෝස ගහ තරම් ...

ගායනය-ක්‍රිෂාන්ත එරන්දක
පද -රවී සිරිවර්ධන
සංගීතය -දර්ශන වික්‍රමතුංග

KMP බණ්ඩාර 


වාසනාවන් වාසනාවන්

කුලරත්න ආරියවංශයන් ලියා තිබෙන බොහෝ ගීත ආදර ගීත යැයි කීවාට ඔබ මා සමග එකඟ නොවෙන 
එකක් නෑ.
 

ආදරය කිව්වට ඉතින් ආදරය, විරහව වගේ ආදරය හා යාවෙච්ච ඉසව් ගැන එතුමා ලියන්නේ අනිවාර්යයෙන්ම හදවතට දැනෙන්නට. සුනිල් එදිරිසිංහයන්ට ටීම් ජයරත්නයන්ට ඔහු ලියූ ගීත පොඩ්ඩක් මෙනෙහි කර බලන්න.

ඉතින් මේ අතරේ කුලරත්න ආරියවංශයන් ලියනවා නන්දා මාලනියට ගීතයක් 'වාසනාවන් වාසනාවන්' කියල. ඇයි මේ වාසනාවන් දෙපාරක්ම. ඒක තමයි පැතුම. ඔහුට වාසනාවන්ත අනාගතයක් ගෙන ඒම. එක හිතින්ම පතන පැතුමක්.

ඇය මෙහෙම පැතුමක් පතන්නේ ඇයි?
ඇය සැබෑවටම ඔහුට ආදරය කරන නිසාවෙන්. ඇයට ඔහු අහිමිවීම පිළිබඳව පොඩ් කුහුලක් තියෙන ගානයි. ගීතය පුරාවට යටි අරුතක් විදියට කියැවෙන්නේ ඒ අවිනිශ්චිත බව කියායි මා විශ්වාස කරන්නේ.

'අහිමි වේනම් ඔබේ ලෝකය
දුරස් වී මා සිටින්නම්'

'ඔබේ සෙනෙහස වුවද මා ලද
වාසනාවකි සිතන්නම්'

ඒ අවිනිශ්චිත බව හදෙහි රඳවගෙනම ඇය ඔහුට නැත්නම් ඔහුගේ මතු අනාගතයට ආසිරි පතනවා.

'ඔබේ දිවිමග වාසනාවේ
සුවහසක් මල් පිපේවා
ඔබේ ලෝකයේ පැතුම් කුසුමන්
පිපී සුවඳින් පිරේවා'

මල් පිපීම, එම මල් වලින් අවට පරිසරය සුවඳවත් කිරීම අප ප්‍රියකරන්නක්. අපි සැවොම ප්‍රිය කරන්නක්.

ඔහු පිළිබඳව ඇය තුල තිබෙන්නේ දැඩි ගෞරවයක්.

'සිතින් සිපගෙන ඔබේ පායුග
සදා සැනසී හිඳින්නම්'

'ඔබෙන් හඳුනාගත් මිනිස්කම
තුලින් මා ලොව දකින්නම්'

ගී පද කෙතරම් රසවත්ද අර්ථවත්ද කියා ඔබට වැටහෙනවා ඇති. ඒ වගේම රෝහණ වීරසිංහයන්ගේ සංගීතය නිසා ගීතයේ රසය තීව්‍ර වෙනවා. කොහොමත් කුලරත්න ආරියරත්නයන්ගේ ගීපද රෝහණ වීරසිංහයන්ට අමුතු නෑ. ඔහුගේ පද රචනා බොහොමයක් සංගීතවත් කරන්නේ රෝහණ වීරසිංහයන් විසින්.

නන්දා මාලනියගේ ගීත වලට කැමති අයට වුනත් අමතක වෙලා තිබුණු ගීතයක් වෙන්න පුළුවන් මෙය. දැන් ඉතින් හොඳම වෙලාව ආයෙත් ඒ මිහිර විඳින්න...

වාසනාවන් වාසනාවන්…
ඔබේ දිවි මග වාසනාවේ
සුවහසක් මල් පිපේවා…
ඔබේ ලෝකය පැතුම් කුසුමන්
පිපී සුවඳින් පිරේවා…
වාසනාවන් වාසනාවන්…

අහිමි වේ නම් ඔබේ ලෝකය
දුරස් වී මා හිඳින්නම්…
සිතින් සිපගෙන ඔබේ පා යුග
සදා සැනසී හිඳින්නම්…

ඔබෙන් හඳුනාගත් මිනිස්කම
තුළින් මා ලොව දකින්නම්…
ඔබේ සෙනෙහස වුවද මා ලද
වාසනාවකි සිතන්නම්…

ගායනය -විශාරද නන්දා මාලනී
පද රචනය - කුළරත්න ආරියවංශ.
සංගීතය - රෝහණ වීරසිංහ.

~තේජන අබේදීර~


හඬන පන නල යදින සැනසුම


ඉස්සර...ඉස්සර කිව්වට ලඟදිත් ගියා වගේ මතකයි. සමහරවිට තාම යනවා ඇති.

රූපවාහිනියෙන් හිමි අහිමි, වේදිකාවෙන් ඔතෙලෝ....ගෙනා ASP ගෲප් ...කියල වෙළඳ දැන්වීමක්. මතකද ....

අන්න ඒකේ කියැවෙන 'හිමි අහිමි' ටෙලි නාට්‍යය නරඹලා තිබෙනවද?
එහි තේමා ගීතය නම් ඔබ අහලා ඇති. සුනිල් එදිරිසිංහයන් ගයන 'හඬන පනනල යදින සැනසුම' තමයි ඒ ගීතය.

හිමි අහිමි නාට්‍යය නැරඹුවාට එහි කතාව මතකයේ නෑ. මතක කෙනෙක් ඉන්නවානම් ඒ මතකයන් බෙදාගන්න. හැබැයි ඒකේ චම්පා ශ්‍රියානි ප්‍රධාන චරිතය රඟපෑවා කියල මතකයි. ඒ ඇයගේ පළමුවන ටෙලි නාට්‍යය.

ඒ කාලේ ගියපු තව ටෙලි විදියට ගංගා සහ නිශ්ශංක, රතු රෝස, යශෝරාවය, පලිඟු මැණිකේ, කන්දෙ ගෙදර, සුසීමා, කුමාරයාණනි, දල රළ පෙල, හිරුට මුවාවෙන්, නිදිකුම්බා මල්, දිය සුළිය, ගිරය.....තව බොහොමයක්...මේවා මතක් වෙනකොටත් ආසයි.

කේ ඩී කේ ධර්මවර්ධනයන් විසින් රචිත 'හඬන පනනල' ගීතයේ කියැවෙන්නේ තරුණ ලොව තුල ජීවිතය ගැට ගසා ගැනීමට ඇති බාදක වගේම ආදරය අහිමිවීම හෝ නොලැබීම නිසාවෙන ඇතිවන චිත්ත පීඩාව පිළිබඳව.

ජීවිතය ජීවත් වීමට අවශ්‍ය සැනසුම දැවී යනවා. හදවත චිතකයක් බවට පත්වෙලා. ඒඑ චිතකය තුල දැවී යන්නේ ජීවත් වීමට තියෙන එකම සැනසුම නොවෙද ...

වියලි කතරක මොන සිහිලසක්ද ..වැටෙන කඳුලු බිඳුවක්ම පමණයි ඉතුරුවෙලා තියෙන්නේ..

යෞවනය කියන්නේ බලාපොරොත්තු රාශියක් පොදි බඳින යුගයක්. හැමෝම බලන්නේ ඒ බලාපොරොත්තු එකිනෙක ඉටුකරගන්න. ඒත් ඒවා අප සිතන ආකාරයෙන්ම ඉටුකරගන්නට නොහැකිවී කාලය කෙමෙන් ගතවෙනවා. ඔහොම ගිහිල්ලා අන්තිමට මහලු වියේ එක් කාලයක ඒ බලාපොරොත්තු ඔක්කොම සුන්වෙලා යනවා. සමහර යෞවන යෞවනියන්ගේ සෝචනීය ඉරණම එයයි.

රකුසු පියසෙක යනුවෙන් රචකයා අදහස් කරන්නේ නපුරු, රෞද්‍ර, ආදරයට ඉඩක් ලබානොදෙන නිවස යන්න යැයි මා සිතනවා. මන්ද ඊලඟ පෙලේ කියනවනෙ 'මලවි හමුවන පින නැතේ' කියල.

දෑස නැතිවිට කියන්නේ සරණක්, පිහිටක් නැත්නම් ආදරයක් නොමැතිව නුහුරු ජීවන ගමන තනිව යාමට අපහසු බවයි.

කෙසේ වෙතත් ගීතය අනිවාර්‍යෙන්ම ටෙලි නාට්‍යය හා බැඳී පවතින බව කිව යුතුයි.

සුනිල් එදිරිසිංහයන්ගේ හඬ ඉතා හොඳ සාධාරණයක් ඉටුකරනවා ගී පද වලට. සංගීත නිර්මාණය ලක්ෂ්මන් විජේසේකරයන් සිදුකරනවා. මෙහි සංගීතකණ්ඩ කොතරම් අපේ සවනට කා වැදිලද කියල කියනවනම් පලමු තත්පර කිහිපය තුලදී අපට ගීතය හඳුනාගත හැකියි.

එහෙනම් ආයේත් ගීතය අහමු...

හඬන පන නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුලු බිඳුවක සිසිල පමනකි
වියලි කතරට හිමි වුනේ . .

යොවුන් සිතිවිලි විපිලිසර වී
මහළු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත හඬන සුරගුරු
යදී සිඟමන් මාවතේ

රකුසු පියසක පිපුනු කුසුමක
මලවි හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මංපෙත
සරන පා යුග පටලැවේ

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද : කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය: ලක්ෂ්මන් විජේසේකර


~තේජන අබේදීර~