ගීයක අරුත විඳිමු...
Wednesday, 5 February 2025
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුණ ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි..
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
තෙරක් නොමැති සිතුව්ලි සයුරක් මැද
සරන විටදි රැය ඉගචෙන තුරාවට
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹඳේ.. නිදි ලොව වෙත
එතෙර වන්න නිඹඳේ..
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
අරුණලු නැගෙන පැයේ කුසුමක් වෙමි
ජීවන මල් ගොමුවේ.. ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ..
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුණ ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි..
මගෙ සවනත පාරයි..
ගායනය :සෝමතිලක ජයමහ ·
පද රචනය: සෝමතිලක ජයමහ ·
සංගීතය :සෝමතිලක ජයමහ
Sunday, 25 August 2024
මගේ ප්‍රථම ආදරේ
මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා..
හුදෙකලා සිතේ මගේ
පෙම් හැගුම් මවා
තනිකමත් දුකත් තියා
ඔබ කොහේ ගියා..
මට මගේ සිතත් නැති
ආදරෙත් නැති
මට ඔබත් පෙමත් නැති
සුවද ලග ඇති..
සිකුරුලියා
කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා ..
ගත සීතල පහස ලබා ළැම රන්වන් සුවඳ සොබා
නිමවෙයි රොන් ලැබුව මෙමා සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා ..
නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබද හැදූ සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා..
Artist: J.A. Milton Perera
Lyrics: Dharmasiri Gamage
Music: Clarence Wijewardena
Film: Sikuruliya
සිකුරුලියා චිත්‍රපටිය :
තිරගත වූ දිනය – 1975 සැප්තැම්බර් 27
ඉදිරිපත් කිරීම – තාරක චිත්‍රපට
නිෂ්පාදනය – එම්. බී. වසිරුල් අන්සාරි, පී. ඇන්ටන් ප්‍රනාන්දු, බී. ඩී. ටියුටර් පෙරේරා, බී. මිල්ටන් රණසිංහ
සහාය නිෂ්පාදනය - උල්විසිහේවා නන්දසිරි
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න
සහාය අධ්‍යක්ෂණය – හිලරි රාජපක්ෂ, ප්‍රේමවීර ගුණසේකර
කැමරා අධ්‍යක්ෂණය – දයා විමලවීර සංස්කරණය – ටයිටස් තොටවත්ත
සහාය සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි (දිසානායක චිත්‍රපට සංස්කරණ මැදිරිය) සහාය කැමරා ශිල්පීන් – ඇම්. වී. හේමපාල, ජයනාත් ගුණවර්ධන
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
සහාය වේශ නිරූපණය – සෙල්වරත්නම්, හිල්ටන් මෙන්ඩිස්
කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල සටන් පුහුණුව - රොබින් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය – මර්වින් රොඩ්රිගෝ (ගීත)
සහාය ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (විශේෂ ශබ්ද)
නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු, එච්. සෙයිනුල් ආබ්දීන්
නිෂ්පාදන කළමනාකරු - එච්. ජේ. එම්. අෂ්රෆ්
සංගීත අධ්‍යක්ෂණය – ක්ලැරැන්ස් විජේවර්ධන
රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන
චිත්‍රාගාරය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ගිමන් හරින දියඹ දිගේ..
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා
හිත් දැහැනේ වෙළී තිබුණු
නෙත් දැහැලේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.
නිල් කටරොළු නිල නැහැවුන
මල් බර මුදු සුව රැඳවුනු
තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ.
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.
ගායනය - ඩබ්ලිවු.ඩී.අමරදේව
Tuesday, 19 September 2023
ඔබ දෙපා දොවා බැතියෙන්.....
අද අපි වෙනස් දෙයක් කරන්න හිතුවා. අපි මේ දෙන සින්දුවට ඔයාලගෙ අදහස් කියන්න. ඔබට හැඟෙන විදිය ...අරුත... මේ ඕනම දෙයක්...
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා, මලසුනේ හෙළා
මට තබා ගොසින් කඳුලැල්
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
මා දෑස දුකඳුරු ගෙයි
ඔබගේ නමින් යදිනා
ආයාචනය ඔබටයි
දෙවිඳේ මසිත දරනා
ආයාචනය ඔබටයි
දෙවිඳේ මසිත දරනා
මේ යාතිකා ගැයූමයි
ඔබගේ සරණ පතනා
Original Singer: ChandralekhaPerera
Lyrics: Kularatne Ariyawansa
Music : Dr Rohana Weerasinghe
Thursday, 12 April 2018
වහල සෙවිලිකල පොල් අතු
ගස්, වැල්, දොළ කඩිත්ත..ඒවා නලවාලා ඇදී යන සුළඟ...ඒ සුළඟට මුසුවෙන කුරුලු ගීත...මේ ඔක්කොම සොබාදහමේ ආශ්චර්යයයි..
මිනිසා ඔහුට මේතාක් සලකන සොබාදහමට වින කෙරුවද යලිත් හෙමිහිට සොබාදහම නැගිට සිටී...මේ හැම දෙයක්ම චක්‍රයක්..සමතුලිතතාවය කියන්නේ ඒකට...
බලන්න මේ ඔක්කොම දේවල් ප්‍රේම් මේ ගීතය තුල ගොඩනගන අපූරුව...
විශාරද ස්වර්ණලතා කවීශ්වර ගේ මනරම් ගැයුම ප්‍රේම්ගේ පද වලට උපරිම සාධාරණයක් ඉටු කරනවා...ඇය ගයන 'පිණිබිඳු මුතුමල් සැනකෙළියේ' ගීතය උදේ පාන්දර ගුවන් විදුලියෙන් ඇහෙනකොට අපට දැනෙන්නේ කෙසේද..ඒ හා සමානව මේ ගීතය විඳින්නට පුළුවන් ...
වහල සෙවිලිකල පොල් අතු ගසකිනි ගත්තේ
අහරට බත වී කරලක සැඟවී ඇත්තේ
පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ
ගිමනට සිහිලැල් සෙවනද ගස යට ඇත්තේ
පාළුව මැකුනේ නිරතුරු කුරුලු ගීයටයි
සාමය සම්පත රැඳුනේ කුරුලු කූඩුවෙයි
සුළං රැලින් හදට හුස්ම පොද පොද සැපයෙයි
එයින්ම ජීවත් වන්නෝ ඒ ගැන නොසිතයි
මැවූ කෙනෙකු මැවූ තැනක් කිසිවකු නොදනී
සැදූ ගසක් කපා දමා මිනිසෙකු හිනැහෙයි
මිනිස් පයට පෑගීලා තනපත් මිය යයි
හෙටත් අලුත් දළු ලියලයි සොබාදම එයයි..
ගායනය : ස්වර්ණලතා කවීශ්වර
පද රචනය :ප්‍රේමකීර්ති ද අල්විස්
රෑ අහසේ තරු කැට පායා දිලුනා
අදත් අහස පුරාම තරුකැට පිරිලා.. එකිනෙකට වෙනස් රටා ආකාසෙ පුරාම මවනවා.. ඉඳහිටක කොහේදෝ ඉන්න පුංචිම තරු කැටයක් ඉස්මතු වෙලා ඉඟි කරනවා.. අහස මොනතරම් විස්මිතද.. ඇහිපිය නොහෙලාම එක දිගට බලා ඉන්න පුළුවන් අපූර්ව සිතුවිලි සමුදායක් තනි වෙච්ච හිතක මවන්න අහස නිසොල්මන්ව ඉඩ දීල ඔහේ බලාන ඉන්නවා..
සඳ එළියෙන් නැහැවිච්ච තැනින් තැන තරු පොකුරු පොරවාගත්ත අහස යට ඔබත් මමත් පියමං කරපු ඒ දිනය නිතැතින්ම මගේ දෑස් අභියස මැවිල පේනවා.. සඳ එළිය වැටිච්ච ඔබේ මුහුණත් ඒ ආදරයෙන් පිරුණු තරු ඇස් දෙකත් ජීවිත කාලය පුරාවටම මේ තරු රටා අතර හැංගිලා මගේ නෙතට කඳුළක් නංවනවා.. මිය නොයන ආදරයක් තවමත් ලොව තියෙන බවට ගතු කියනවා..
රෑ අහසේ
තරු කැට පායා දිලුනා...
මා තනි වී
සිතිවිලි සයුරේ වෙලුනා...
තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා...
ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිලෙනවා
සිතට දැනෙනවා...
පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල
ගායනය, තනුව - ආත්මා ලියනගේ
කවුරුන්ද ඔබ මගේ
දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු
ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු
හඬ : සුනිල් එදිරිසිංහ
ස්වර : රෝහණ වීරසිංහ
පද : සමන් අතාවුදහෙට්ටි
මේ ගීතය ඇත්තටම විශේෂ ගීතයක්.... බොහෝ ප්‍රේම ගීත වගේම මෙතනත් ඉන්නවනෙ දෙනේනෙක්.. ඒ දෙන්නා අතර තියෙන බැඳීමක්.. නමක් නැති බැඳීමක් කියලා හිතෙන්නෙ ඒ දෙන්නට දෙන්නා තමන් කවුද කියලා සොයන්න උත්සහ කරන නිසා..
ඔබ මගේ කවුද.. මම ඔබගේ කවුද...
එතකොට නමක් නැති බැඳීමක් හැම විටම සෘණාත්මක සම්බන්ධයක් විය යුතු නැහැ නේද? හරි.. ඔවුන් දෙදෙනා ගතින් එක්තැන් වෙලා.. ගතින් එක්තැන් වීම විවාහයක්ම විය යුතුද? ඒක හමුවීමක් පමණක් වෙන්න බැරිද..
මෙහෙම හිතමු නිතරම මුණ ගැහෙන කතා බහ කරන ආශ්‍රය කරන දෙන්නෙක් වෙන්න පුළුවන් නේද? ඊළඟට මොවුන් දෙදෙනාම සිතිනුත් එක් තැන් වෙලා.. ගතින් කොහොම එක්තැන්ව හිටියත් සිතින් එක් තැන් වෙන එක..? ඒක හරිම විශේෂයිනෙ..
කවුරු මොනවා කිව්වත් හිතින් ඇති වෙන බැඳීම් හරි ප්‍රබලයිනෙ.. එතකොට මම ඔබත් එක්ක හිනා වෙනවා.. ඔබේ දුකේදිත් මගේ දුකේදිත් අපි දෙන්නාම කඳුළු හෙලනවා...
ඊළඟට ප්‍රේමය ගොළු වෙලා.. මේ දෙන්නා අතර ප්‍රේමයක් තියෙනවා ඒත් ඒක සාර්ථක කරගන්න, තේරුම්ගන්න එකිනෙකාට කියාගන්නට බැහැ... මොකක් හරි බාධාවක් නිසා.. සමහර විට මේ දෙන්නා වෙන දෙන්නෙක්ට අයිති දෙන්නෙක් වෙන්නත් පුළුවන්.. ඉතිං මේ ගොළු වෙච්ච ප්‍රේමය ඔබේ හදත් රිදවනවා.. මගේ හදත් රිදවනවා.. තීරණයක් ගන්න බැහැ.. ඒ නිසා නොදොඩා ගොළුවී බලාගෙන ඉන්නවා..
මේ ගීතය සුවිශේෂී වන්නෙ මෙන්න මේ වචන වලට හරවන්න බැරි හැඟීමක් ගීතයක් බවට පත් කරපු නිසාමයි.. එහෙම නේද..
රෝස මලට කියනවාද
මෙහෙම කියන්නේ මම නම් නෙවෙයි. නව පරපුරේ තරුණ ගේය පද රචකයකු වන රවී සිරිවර්ධනයන්. ඔහුගේ බොහෝ ගී පද රචනා ඉතාමත් සංවේදී බවයි මගේ නම් හැගීම. රූපවාහිනි සංගීත වැඩසටහන් තුල ඔහුගේ වාග් ව්‍යහාරය රසික සිත් ඇදබැද තබා ගැනීමට සමත්... බොහෝ ගී පද රචනා ඔහුගේ ජීවිතයේ සැබෑ අත්දැකීම් බවයි ඔහු පවසන්නේ. එවන් ගීතයක් අරුතට එක් කිරීමට මෙන්ම අරුත ඔබ හා බෙදා ගන්නට දරන වෑයමකි මෙය...
ගීතය දෙස මතුපිටින් බැලූ කල අපට කියන කතාව සරලය නමුත්. එහි ඇතුලාන්තයට එබී බැලු කල ගේය පද රචකයා රසික සිත් තුල මෙම ගීතයේ කතකයා මිය ගිය බව අමතක කරවන්නට සමත් වීම නම් අපූරුය. වර්තමාන බොහෝ ආදර අන්දර වල ඔවුනොවුන් වෙන් වන්නට වන හේතු කරුණු බොහෝය නමුත් දෙමාපිය අාශිර්වාදය හිමි නොවීම තුලින් නිමා වන ප්‍රේමයන් අල්පය ...
රෝස මලට කියනවාද
මා මිය ගිය බව ...
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුණු වග...
ආදරයක අවසානය මරණයෙන් නිමා වීම තුලින් සමාජය තුල කුතුහලයක් ඇති කරන්නේ එවන් මරණයකට වග කිව යුත්තන් දෙස මිනිසුන් විපරමින් සිටින නිසාවෙනි. කවියා රෝස මල පෙම්වතියට ආදේශ කිරීම තුල සමාජ පසුබිමක්ද නිර්මාණය කරන්නට උත්සහ ගෙන තිබෙන බවක් ද ඇත. ගමක දුගී නිවසක මිදුලේ පිපෙන මල් හා නගරයක සුවපහසු මල්වත්තක පිපෙන මල් අතර හා මල් වර්ග අතර වෙනසක් ඇත. අනෙක් අතට යම් ප්‍රේම සම්බන්ධයකට දෙමාපියන් අකමැති වන්නේ ඔවුන්ගේ තරාතිරම මත නිසාවෙනි ...
මල වට කර කටු සැදුණේ
පෙති රකින්න නම් ...
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතින් එක්‌ක මං...
පෙම්වතාට ඇත්තේ බෝසත් ගතිගුණය... ඔහු තමාට හිතැති පරිදි තීරණයක් ද නොගනී. දෙමාපියන් මෙන්ම ඇගේ සහෝදර නෑදෑ පිරිවරද ඔහුට අවැසිය. ඔවුන් සමග තරහ වි හිතුමතේට තීරණ ගැනීම තුලින් යම් දවසක පීඩාවට ලක්වන්නේ ඇය බව ඔහු හොදාකාරවම දනී..
මගෙ සොහොනට ආවොත් ඈ
අවසර විගසින්...
කියන්න මං පෙම් කළ බව
රෝස ගහ තරම්...
බොහෝ දෙමාපියන් සිතන්නේ තමන් තරම් තම දරුවනට ආදරය කරන කෙනෙක් ඔවුන්ගේ ජීවිත වලට හමු නොවන බවයි. එයට ඔවුනට ඇගිලි දිගු කල නොහැක. කෙසේ නමුත් දෙමාපිය ආශිර්වාදය නොලද ඔහු ඇයගෙන් මෙන්ම ඔහු වටා සිටි පිරිවරගෙන්ද සමු ගෙන හමාරය... මහා ඛේදවාචකයක බර කිසිවෙකු මත තබන්න කවියා උත්සහ නොගනී. ගීතය පරිසරය හා සහසම්බන්ධ කිරීම තුලින් ගීතයේ රසය වඩා රසවත් කර ඇත...ගීතයට සංගීතය සපයන්නේ අප කව්රුත් දන්න හදුනන නව පරපුරේ සංගීතවිශාරදයකු වන දර්ශන වික්‍රමතුංගයන් ක්‍රිෂාන්ත එරන්දකගේ සුමිහිරි කටහඬද ගීතයට එක්කර ඇත්තේ අමුතුම අලංකාරයකි
රෝස මලට කියනවාද
මා මිය ගිය බව ...
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුණු වග...
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුණු වග...
මල වට කර කටු සැදුණේ
පෙති රකින්න නම් ...
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතින් එක්‌ක මං ...
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතින් එක්‌ක මං ...
මගෙ සොහොනට ආවොත් ඈ
අවසර විගසින්...
කියන්න මං පෙම් කළ බව
රෝස ගහ තරම්
කියන්න මං පෙම් කළ බව
රෝස ගහ තරම් ...
ගායනය-ක්‍රිෂාන්ත එරන්දක
පද -රවී සිරිවර්ධන
සංගීතය -දර්ශන වික්‍රමතුංග
KMP බණ්ඩාර
වාසනාවන් වාසනාවන්
ආදරය කිව්වට ඉතින් ආදරය, විරහව වගේ ආදරය හා යාවෙච්ච ඉසව් ගැන එතුමා ලියන්නේ අනිවාර්යයෙන්ම හදවතට දැනෙන්නට. සුනිල් එදිරිසිංහයන්ට ටීම් ජයරත්නයන්ට ඔහු ලියූ ගීත පොඩ්ඩක් මෙනෙහි කර බලන්න.
ඉතින් මේ අතරේ කුලරත්න ආරියවංශයන් ලියනවා නන්දා මාලනියට ගීතයක් 'වාසනාවන් වාසනාවන්' කියල. ඇයි මේ වාසනාවන් දෙපාරක්ම. ඒක තමයි පැතුම. ඔහුට වාසනාවන්ත අනාගතයක් ගෙන ඒම. එක හිතින්ම පතන පැතුමක්.
ඇය මෙහෙම පැතුමක් පතන්නේ ඇයි?
ඇය සැබෑවටම ඔහුට ආදරය කරන නිසාවෙන්. ඇයට ඔහු අහිමිවීම පිළිබඳව පොඩ් කුහුලක් තියෙන ගානයි. ගීතය පුරාවට යටි අරුතක් විදියට කියැවෙන්නේ ඒ අවිනිශ්චිත බව කියායි මා විශ්වාස කරන්නේ.
'අහිමි වේනම් ඔබේ ලෝකය
දුරස් වී මා සිටින්නම්'
'ඔබේ සෙනෙහස වුවද මා ලද
වාසනාවකි සිතන්නම්'
ඒ අවිනිශ්චිත බව හදෙහි රඳවගෙනම ඇය ඔහුට නැත්නම් ඔහුගේ මතු අනාගතයට ආසිරි පතනවා.
'ඔබේ දිවිමග වාසනාවේ
සුවහසක් මල් පිපේවා
ඔබේ ලෝකයේ පැතුම් කුසුමන්
පිපී සුවඳින් පිරේවා'
මල් පිපීම, එම මල් වලින් අවට පරිසරය සුවඳවත් කිරීම අප ප්‍රියකරන්නක්. අපි සැවොම ප්‍රිය කරන්නක්.
ඔහු පිළිබඳව ඇය තුල තිබෙන්නේ දැඩි ගෞරවයක්.
'සිතින් සිපගෙන ඔබේ පායුග
සදා සැනසී හිඳින්නම්'
'ඔබෙන් හඳුනාගත් මිනිස්කම
තුලින් මා ලොව දකින්නම්'
ගී පද කෙතරම් රසවත්ද අර්ථවත්ද කියා ඔබට වැටහෙනවා ඇති. ඒ වගේම රෝහණ වීරසිංහයන්ගේ සංගීතය නිසා ගීතයේ රසය තීව්‍ර වෙනවා. කොහොමත් කුලරත්න ආරියරත්නයන්ගේ ගීපද රෝහණ වීරසිංහයන්ට අමුතු නෑ. ඔහුගේ පද රචනා බොහොමයක් සංගීතවත් කරන්නේ රෝහණ වීරසිංහයන් විසින්.
නන්දා මාලනියගේ ගීත වලට කැමති අයට වුනත් අමතක වෙලා තිබුණු ගීතයක් වෙන්න පුළුවන් මෙය. දැන් ඉතින් හොඳම වෙලාව ආයෙත් ඒ මිහිර විඳින්න...
වාසනාවන් වාසනාවන්…
ඔබේ දිවි මග වාසනාවේ
සුවහසක් මල් පිපේවා…
ඔබේ ලෝකය පැතුම් කුසුමන්
පිපී සුවඳින් පිරේවා…
වාසනාවන් වාසනාවන්…
අහිමි වේ නම් ඔබේ ලෝකය
දුරස් වී මා හිඳින්නම්…
සිතින් සිපගෙන ඔබේ පා යුග
සදා සැනසී හිඳින්නම්…
ඔබෙන් හඳුනාගත් මිනිස්කම
තුළින් මා ලොව දකින්නම්…
ඔබේ සෙනෙහස වුවද මා ලද
වාසනාවකි සිතන්නම්…
ගායනය -විශාරද නන්දා මාලනී
පද රචනය - කුළරත්න ආරියවංශ.
සංගීතය - රෝහණ වීරසිංහ.
~තේජන අබේදීර~