Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Thursday, 16 March 2017

ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ

ඔබත් මුලා විය මමත් මුලා විණි....


ප්‍රේමය ම එක්තරා ගමනක්.. කොහේ කොතැනක සිට ඇරඹුනත් එක සුන්දරතම ගමනක්... ඒත් හැම ප්‍රේම කතාවකටම ගමනාන්තයක් තියෙනවාද.. අත් අත නොහැරම මහ දුරක් යන්නට නම් අඩුම තරමින් නිසැක මාවතක් ගමන් මගක් තියෙන්නටවත් තිබුණා නේද.. ඒ මග නොවැරදුණා නම් ගිමන් හලක් උවමනා වේවිද.. එහෙනම් මේ පැමිණ ඇත්තේ නොපෙනෙනා මගක.. නොගැළපෙන මගක..

ඉතින් තව කොච්චර කාලයක් ඉතිරි වෙලා තියෙනවා ද.. මේ කඳුළු සුසුම් හැමදාටම දරාගෙන ඉන්නට සදාකාලිකව ම අපට සිදු වේවි... ඉතින් තව දුරටත් බලාපොරොත්තු ඉතිරි වේවිද... ඉරක් හඳක් නැති ලෝකයක්. .. ඉතින් අපේ ලෝකය හැදෙන්නේ අඳුරක නම්...

කොහේ යන්නද කොහොම යන්නද... විමසන්න මග පෙන්නන්න කිසිවෙක් නැතිව අපිට තව කොපමණ මේ ගමන යන්නට හැකිද.. අද අපේ ඉදිරියේ තියෙන්නේ ඉමක් කොණක් නොපෙනෙන මාවතක්.. ඉතින් තව තවත් ඔබත් මමත් මුලා වන්නේ කුමකටද...

හඬ - රෝහණ වීරසිංහ

ස්වර - එඩ්වඩ් ජයකොඩි

පද - කුමාරදාස සපුතන්ත්‍රි


ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ...
ගිමන් හලක් හමුවීද මේ ප්‍රේම චාරිකාවේ...

නෙතින් ගැලු කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනි දැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා...
අපේ පෙම් ලෝකයේ...

ගමන් මගක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත් මානයේ
ඔබත් මුලා විය මමත් මුලා වුණි
ඉමක් කොනක් නැති මාවතේ...
විරහ පෙම් මාවතේ ...


--අමාලි වසුන්දරා--


Wednesday, 22 February 2017

සොඳුරිය කාලය කොතරම් නපුරුද ..

සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය...

පෙරුම් පුරා දුක සේ ගළපා ගත්
කවිය ඔබම වී නැළැවුණු යුගයක
හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය...

ලොවට හොරා විළි ලා බිහිකර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදාගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය...

පද - සමන්ත හේරත්
ස්වර - ප්‍රේමසිරි කේමදාස
හඬ - අමරසිරි පීරිස්


කාලය.. ගෙවෙනා තත්පරයක් පාසා අතීතයට එකතුවෙන්නෙ මොනතරම් වේගයෙන්ද? අද ඊයෙ බවටත් හෙට දවස අද බවටත් පත් වෙද්දි අපි වටා එක් රොක් වෙච්ච කොයි තරම් නම් දේවල් අපෙන් ඈතට ඉගිලිලා යනවාද? අපි ළඟටම වෙලා හිටපු කී දෙනෙක් නම් අපෙන් ඈතට යනවද.. ඒ අතර හදවතේ ගැඹුරටම දැණුනු සමහර බැඳීම් වේදනාත්මක මතකයන් වෙලා හිත පාරවනවා.. ඒ මතකයක් පවා කෙනෙකුගෙ ජීවිතයකට හුස්මක් ශක්තියක් වෙන්න නොහැකිද?

ආලය, සෙනෙහස, ප්‍රේමය මේ මොන නමකින් හැඳින්වුණත් කෙනෙක් තව කෙනෙකු වෙනුවෙන් තමන්ගෙ හිතේ ඇති කරගන්නා බැඳීමක් තරම් සුන්දර දෙයක් තවත් ලෝකෙ තියෙනවාද? ඒ බැඳීම වෙනුවෙන් නොකරන කැප කිරීමක් නැති තරමට සමහරු ඒ වෙනුවෙන්ම ජීවත් වෙනවා..


ඒත් කාලය...

කාලයට කොයිතරම් නම් දේවල් වෙනස් කරන්න පුළුවන්ද? ළඟ නැතුව, එහෙමත් නැතිනම් කතානොකර එක මොහොතක් වත් ජීවත් වෙන්න බැරි වේවි යයි හිතන කී දෙනෙක් නම් කාලයේ සුළි සුළඟින් විසිරිලා ඈතට යනවාද? ඉතින් කාලය කොතරම් නපුරුද?

එහෙම යුගයක් තියෙන්නට ඇති.. සුවහසක් පෙරුම් පුරාගෙන ගළපා ගත්ත සුන්දර කවියක් වෙච්ච ඇගේ රුව.. දවසක් නෑර දකින්න හීන මවපු ඇගේ රුව ඉඳහිටක රෑක ඇස් වල මැවෙන හීනයකවත් නැති කාලයක් කවදා හරි එළඹේවි කියලා ඔහු නොහිතන්නට ඇති.. ඒත් ඒ මිහිරි රුව අද කොතරම් නම් දුරකද?

ආදරය වෙනුවෙන් තමන් ආදරය කරන කෙනෙක් එක්ක බෙදා ගන්න දුකක පවා කොයිතරම් සුන්දරත්වයක් තියෙනවාද? අඩුම තරමින් ඒ වියෝව වෙනුවෙන් ඉපදිච්ච දුකවත් හිතේ ඉතිරි වෙලා තියෙනවා නම්.. ඇය වෙනුවෙන් පුංචිම පුංචි ඉඩක්වත් ඉතිරි නොකරම ඒ දුකත් නොදැනීම ගිහින්... ඉතින් තවත් බලාපොරොත්තුවක් වත් නොතබාම ඒ මතකය නැති කරලා දාන්නට තරම් නපුරුකමක් වෙන කාට නම් තියෙන්නද?

කාලය.. නුම කොතරම් නපුරුද......

~අමාලි වසුන්දරා අතුකෝරල~


බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි

බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ
මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ

අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා
නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා
කෙළිලොල් කම් පිරි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්ම සිහිවෙයි..................................... ...

බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ

හඬ - සනත් නන්දසිරි/මල්කාන්ති නන්දසිරි
පද - සනත් නන්දසිරි
ස්වර - සනත් නන්දසිරි


ගීතයකට සමාජයේ කොයිතරම් නම් අහුමුළු සිදුවීම් ස්පර්ශ කරන්න පුළුවන්ද? ප්‍රේමය කියන්නෙ තරුණියක තරුණයෙකු අතර ඇති වන සෙනෙහසම පමණක්ද? මේකත් එක්තරා ප්‍රේමයක්..

ජීවිතේ යන මග වැරදිච්ච තරුණයෙක් ආපහු හැරෙන්නටම බැරි මංසලක ඉඳගෙන කරන එක්තරා පාපොච්චාරණයක් කිව්වොත් නිවැරදියි නේද? තමන් විසින්ම තෝරාගත්ත ජීවිතයක අවසානය වෙන්නෙ පෝරකය. කීදාහක් නම් බලාපොරොත්තු ආශාවන් පසුපස්සෙ මේ කාලය ඇතුළත අපේ හිත දුවනවද? සමහරු ජීවිතේ සතුට හොයන්නෙ කොයිතරම් නුසුදුසු දේවල් පසුපසද කියලා වැටහෙන්නෙ ආයෙමත් හදාගන්නට බැරි තරම් වැරදුණාට පස්සෙ.

තමන්ගෙ මරණය උදාවෙන බව නිසැකවම දැනගෙන තත්පරයෙන් තත්පරය ඒ මොහොත වෙනකල් බලාගෙන ඉන්න කෙනෙක්ගෙ සිතුම් පැතුම් කොහොම වෙන්න පුළුවන්ද? ඒ වගේ මොහොතක දෑස අභියසට එන ශාන්ත රුවකට හිත ඇතුළෙ දැවෙන ඒ ගින්දර නිවාලන්නට පුළුවන් නම්.. බුදු හාමුදුරුවන් ළඟ තියෙන සුවය ඔහුටත් ඒ භික්ෂූන් වහන්සේ තුළ දැනෙනවා. ඉතින් හරියටම බුදු හාමුදුරුවො දුටුවා වාගෙමයි. උන්වහන්සේගෙන් සරණක් අයැදිනවා.. බලන්න ඔහු විටෙක ඉල්ලන්නෙ තමන්ගෙ මවට තමන්ගෙ ගෙලලූ බව කියන ලෙසට.. තවත් විටක ඔහු ගෙලලන්නට ඉඩ නොදෙන ලෙසට.. ඒ කෙසේ වුවත් ඔහු සිය වරද පිළිබඳව දැන් පසු තැවෙනවා.. මරණයෙ දොරකඩ ඉතින් ඔහුගෙ අවසාන පැතුම ඔහුගෙ පළමු සෙනෙහස වුණු නැති දා ළඟ උන් ඇය.. අම්මා... දෙවෙනි අන්තරා කොටස අතර මගකින් නතර වෙනවා.. ඒ ඈ වෙනුවෙන්..

තමන්ගෙ දරුවකුගෙ මරණයක් දරා ගන්න තරම් අම්මා කෙනෙකුගෙ හිත ශක්තිමත් කරගන්න පුළුවන්ද? දරුවන් වෙනුවෙන් ආදරණීය අම්මා කෙනෙකුට කරන්න නොහැකි දෙයක් තියෙනවද.. ගීතයේ අතර මැදකින් ඇහෙන ඇගේ ශෝකාලාපය අසන්නා කම්පනයට පත් කරන්නට සමත් වෙන්නෙ නිරායාසයෙන්..

ගීතයේ පද පෙළටම උචිත තනුවත් හඬත් තවත් ඒ අදහස තීව්‍ර කරනවා.


~අමාලි වසුන්දරා අතුකෝරල~



සඳ තරු නිහඬයි

සිතිවිලි විතරක් අවදි වෙලා..........


සඳ තරු නිහඬයි
ගහකොළ නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා....

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව ත‍නිකම කුටියට අවුදින්
හදවත අවදි කළා...

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කළා....

පද - කුලරත්න ආරියවංශ
ස්වර - එච්. එම්. ජයවර්ධන
හඬ - ඩබ්. ඩී. අමරදේව


රාත්‍රිය.. දවසක විඩාව නින්දක දියකර හරින සුන්දර ම කාලයක්.. හැම තැනම පිරිලා පවතින නිහඬ නිසොල්මන් බව කියාපාන්නෙ හැම දෙනාම තම තමන්ගෙ ලෝකෙ සැනසීම සොයාගෙන ගිය බවක්.. මොහොතක් සවන් යොමු කරොත් ඒ නිහඬතාවය තුළ ලොව අපූර්වතම සංගීතයක් කැටි වෙලා තියෙන බව දැනෙනවා නේද? පාලුව තනිකම දෙනෝදාහක් අස්සෙන් වුණත් හදවතට රිංගාගෙන එන්නෙ සීතල සුළං රොදක් වගේ.. ඒකයි රාත්‍රිය වේදනාබර මතක අවදි කරන්නෙ... මුලු ලෝකෙම එකම සිහිනෙක.. ඒත් මගේ සිතිවිලි අවදි වෙලා කොහේ දෝ දුරකට මාව රැගෙන යනවා..


දෙනෙත් තදින් පියා ගත්තාම නින්ද අපි කරා ඉක්මනින් ඒවිද? අපි හිතන බලාපොරොත්තු වෙන හැම දේම ඒ විදිහටම වෙනවානම් ජීවිතේ රසයක් නැති වේවි නේද? ඉතින් සොබාදහමට ඉඩ දීලා මම පරාජය පිළිගන්නවා.. සිහින වලට සිතිවිලි වලට සීමා මායිම් වැට කඩොළු බඳින්න පුළුවන් කාටද? ඔහේ ගලාගෙන ඈතටම දිවෙන මගේ සිතිවිලි නවතිනවා එක් තැනක.. හිනාවෙන කතාකරන ඇස් දෙකක් ළඟ.. ඇත්තටම ඒ නුඹම නේද? ළඟ ළඟම වගේ ඒ ඇහෙන්නෙ ඔබේ ආදරණීය කට හඬම නේද?

ඔබ මතකයක්.. සුන්දර මතකයක්.. ඒත් සුන්දර මතකයකට පුළුවන් ද මේ තරම් හිත රිදවන්න.. ඇස්වලට කඳුළක් හදවතට රිදුමක් නැතිව ඔබ වෙතට ළං වෙන්න.. ඔබ ගැන හිතන්න ඇත්තටම බැරිද? කොහොමද දැනෙන හැඟීම් නතර කරන්නෙ. කිසිඳු හැඟීමක් දැනීමක් නැතිව ඔබ දකින්න විඳින්න පුළුවන් දිනක් කවදාහරි ඒවි.. ඒත් එදාට මේ ඉකිබිඳින කඳුළු ඇස් වලට පුරවන සෙනෙහස මා ළඟ ඉතිරි වෙලා තියේවිද?


~අමාලි වසුන්දරා අතුකෝරල~


සසර සැරි සරන තෙක්..

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලායයි රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි තුන් සිතම සලිතවේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළුදමා වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස්තල පොළෝ තල ඔබට මට පොදුවෙලා
හදවතින් එක්වුණත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

ගේය පද -ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක


සර්වකාලීන ගීතයක්.. ඒ වගේම අපි හොඳින් කියවලා බැලුවොත් මෙතන තියෙනවා පෙම් පුවතක්.. ඒ කියන්නෙ මේ ගීතය පසුබිම් වෙන්නෙ එක අවස්ථාවක් නොවෙයි. ඒ කියන්නෙ ඔහුත් ඇයත් වෙන්වුණ අවස්ථාවෙ නොවෙයි. අරගෙන බලන්න ඔවුන් හමුවෙනවා. හමුවෙද්දි හිතේ ඇති වුණ චකිතය, ලැජ්ජාසහගත බව ආගන්තුක බව මුළදි පේනවා නේද? මුලදීම ඔහු දකින්නෙ ඇගේ සිනාව, එහි සුන්දරත්වය.. ඊට කලින් එහෙම සුන්දරත්වයක් ඔහු විඳලා නැහැ. එවන් සුව පෙර නොවිඳි තුන් හිතම සලිත වෙයි.. එහෙමයි කියන්නෙ..

ඊළඟට ඔවුන් ළං වෙනවා. ටිකෙන් ටික.. ඊළඟට ඔහුට මතක් වෙන්නෙ ඇයගේ දෑස.. ඒ කියන්නෙ දැන් ඔවුන් පෙම්වතුන්.. දෑස් වලින් කතා කරන්නෙ නේද?
තුන් වෙනි කොටසට එද්දි බලන්න.. දැන් ඔවුන්ගෙ සම්බන්ධය තවත් දුරදිග ගිහින්. දැන් ඔහුගෙ හිත හිනාවකට හෝ ඇස් වලට නොවෙයි ඇගේ දෙතොල් වලට. ඔහු මතක් කරන්නෙ නා ගස්.. නාදළු කියලා කියන්නෙ සුමුදු දෙතොල් වලටනෙ. ඒ කියන්නෙ ඔහුට ඒ පහස දැනිලා තිබෙනවා. එළඹිලා තියෙන්නෙ වසන්තයනෙ..

දැන් බලන්න කාලයක් ගිහින් - යුග ගණන් -. මොකක් හෝ ගැටලුවක්.. පටලැවිල්ලක්. වැරදීමක්. ඔහු නෙමෙයි ඇය වෙන්වෙලා ගිහින් ඔහුවෙතින්.. ඒත් ඔහු තවමත් බලා ඉන්නවා. මේ කියන්නෙ ඇත්තම පාරක් ගැන නොවෙයිනෙ. පැහැදිළියි ඔහු ඈ වෙනුවෙන් තවමත් ඔවුන්ගෙ ආදර ලෝකයේ සිටින බව. දැන් මතක් වෙන්නෙ පෙර ඇසුර.. ඒ කියන්නෙ මේ මොහොත වෙද්දි ඇසුර නැවතිලා.

අවසානය බලන්න. එකම අහස, එකම පොළොව.. අහස පොළොව හැරුණාම දැන් අපේය කියන්න කිසිවක් ඔවුන්ට නෑ. අහස පොළොව පොදුයි කියන කාරණය මිහිමත ජීවත් වෙන හැම සත්වයෙක්ටම අදාලයිනෙ. හැබැයි ඔහු හදවතින් තවමත් ඇයට ආදරය කරනවා. එක්ව සිටින බව සිතනවා.. ඇයත් එහෙම ඇති කියා ඔහු උපකල්පනය කරනවා.. වෙන්න පුළුවන්නෙ. අපිත් එහෙමනෙ පතන්නෙ. මම හිතන තරමටම අනිත් කෙනාත් හිතනවා, දුක්වෙනවා, බලා ඉන්නවා ඇති කියලා. ඒත් බලා ඉන්න බැරි මට. සියොළඟම සැලෙන්නෙ මගේ.. ඉතින් මුල ඉඳන් අගටම එන එකම පැතුම..

සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...................................

මොන හේතුවකට වුණත් ගීතය අහල ඉවරවෙද්දි ඇස්වල කඳුළු......


~අමාලි වසුන්දරා අතුකෝරල~


Tuesday, 21 February 2017

තුන් හෙලේ කැලෑ තුළ

"" තුන් හෙලේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටුකර යදැලින් ඇති සිංහ පැටව්
විලි වැද යති දැක හෙළයන්.....""

** තුන් හෙලය..ඔබ දන්නවා ඇති අපේ රට පෙර රුහුණු, මායා, පිහිටි, නමින් කොටස් තුනකට බෙදා වෙන් කර තිබූ බව .ඉතින් මේ කොටස් තුන එකතුවූ රටට තමා තුන් හෙලය කියා පවසන්නේ..මේ රටේ ජීවත් වන වැසියා සිංහල නමින් හැදින්වූවා..සිංහලයා යනු සිංහයෙක් වන් තේජාන්විත ගෞරවනීය කොට්ඨාශයක් ..ඉතින් මේ තුන් සිංහලේ කැලවල් වල සිටිනා සිංහ පැටව්...යනුවෙන් රචකයා අදහස් කර ඇත්තේ අපේ පැරණි මුතුන් මිත්තන්ගෙන් පැවත ආ නියම ශ්‍රී ලාංකිකයා නොහොත් හෙළයන් වයි.ඔවුන් තවමත් කැලෑ තුල නොහොත් මේ රටේ සමාජයේ ජීවත් වනවා.ඔවුන් මේ රට හැර දමා ගොස් නැහැ..ඇයි ඔවුන් එසේ නොගියේ.ඔව්..ඔවුන් සැබෑවටම අසීමිත ජාත්‍යාලයෙන් මේ මවුරට සමග බැදී සිටින නිසා..
.තවත් කොට්ඨාශයක් ගැන අපට මෙහි දක්වනවා...යදැලින් කොටු කර ඇති සිංහ පැටව්...යනුවෙන් . යදැලක් යනු යකඩින් තැනූ දැලක්,රාමුවක් යන අදහස...ඉතින් එවන් දැලක් තුල වටවුනු බිම් කඩක ජීවත් වන සිංහ පැටවුන් හා කැලෑතුල ජීවත් වන සිංහ පැටවුන් අතර ලොකු වෙනසක් තිබෙන බව ඔබට දැනෙනවා ඇති..කැලෑවේ ජීවත් වන සිංහයාට අමුතුවෙන් සිංහ තේජාව ඉගැන්විය යුතු නෑ..ඔවුන් තම ජන්මයෙන්ම හා පරිසරයෙන්ම සැබවින්ම සිංහයින් වී හමාරයි.ඔවුන්ගේ ලේ වල දුවන්නේ නියම සිංහ ලෙයයි...සිංහයා යනු ප්‍රෞඩත්වයෙන් පිරිපුන් උතුම් සත්වයෙක් බවට සත්ව ලෝකයේ පිලිගැනෙන්නෙ..නමුත් යදැලක් තුල සිරවී ඇති දැඩිවන සිංහයන්ට කැලෑවේ ජීවත් වන නියම සිංහ සෙය්‍යාව ලබාගන්නට බැහැ.ඔවුන් වැඩෙන්නේ සීමාසහිත රාමුවක් තුළ..නමුත් සැප සම්පතින් නොඅඩුව... හෙළයා නොහොත් සිංහලයාව දුටු තැන විළි වැද නොහොත් ලැජ්ජාවට පත්ව මගහැර යා නම්..ඒ නියම සිංහයා නොවෙන බව ඔබට දැනෙනව ඇති..එසේ නම්...නියම සිංහයා නොහොත් සිංහලයා ජීවත් වන්නේ තුන් හෙලයේ කැලෑතුල එනම් මේ සිංහල රටේ සමාජය තුළම මිසක් යදැල්ලකින් වටවූ ..,නොහොත් සැප සම්පතින් ආඪ්‍යය වූ භුමියක නොවේයි..

;සරු පොළොව මකා තණ කබල කකා සිංහයෝ සිගති එතෙරින්.. //සරු පොළොව..// පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ලැබූ මේ ලක් පොලොවේ සරු සාර බව ගැන තවත් කුමකට සාක්ෂි දරන්නද.? බලන බලනා අත නිල්ල නිලට දිලෙනා කෙත් වතු, කෘෂිබෝග අප රට සශ්‍රීකත්වයෙන් ආඪ්‍ය කලා නොවේද..එවන් සරු පොලොවක් මකා දමා පිටරැටියන්ගේ ඉදුල් කන්නට,තණකොළ බුදින්නට තරම් නිවට නියාලු ජාතියක් බවට සිංහලයා නොහොත් මේ උක්ත සිංහයා පත්ව තිබේද..
පද රචකයා අපට පවසන්නේ මෙවන් සරු පොළොවක් මකා දමමින් එතෙරින් සිගමන් යදින්නට තරම් අසරණ වූ බව නොවේද..මෙය නොවේද අපේ වත්මන...බලන්න, මොහොතක් සිතා බලන්න.. මුලු ලොවටම බත සපයන්නට තරම් ධාන්‍යාහාරයක් බදුවූ මේ රට අද පිටරටින් සහල් ගෙන්වන තැනට පත්වී තිබෙනවා නේද.රචකයා සිතූ අයුරින්ම අද රට ඒ තැනට පත්ව තිබෙනවා..කෘෂිකර්මාන්තයෙන් සරුසාර වූ පොළොව අද වල් බිහිව පුරන් වී ගිහින් නේද...
නමුත් ...මේ නියම සිංහ ස්වභාවයද...සිතන්නට කරුණක් අපට පද රචකයා විසින් ඉතුරු කර ඇති බව පෙනෙනවාද..ඔහු පවසනවා අපට..
// සිහ රදුනට දාවූ සිංහ පැටවු තුටුවෙද අනුනගෙ ඉදුලින්.. //
මේ අපේ රටේ වීර මුතුන් මිත්තන්ගෙන් පැවත එන සිංහල ජාතියමදැයි පුංචි කුකුසක්....මොකද එවන් අභිමානී ජාතියක් මෙලෙස පිටරටින් සිගමන් යැද ඔවුන්ගේ ඉදුල් කන තත්වයට පත්වේවීද..නියම හෙළයන් නම් පිටරටින් ගෙනෙනා දෙයට ලොබ බැද තම මවු රටේ සම්පත් පිටරටට කොල්ලකන්නට දෙනවාද.. සිතන්න ඔබත් මොහොතක්...

// •• අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්..
පිට රටුන් දොරින් දොර සිගා නොකා
සිත අලස සුවය දුරරින්...••//

ඔබ දන්නවා අප ජාතික ධජයේ නිරූපිත සිංහ ලකුණින් පෙන්වන්නේ අභිමානවත් හෙළයින්ගේ බල පරාක්‍රමයයි..,නොපසුබට වීර්‍යයයි..,අසාධාරණයට අයුක්තියට නොනැමෙන, ඍජු අබිමානවත් ප්‍රොඩත්වයයි.. ඉතින් එවන් සිංහ රුව නිරූපණය කලේ එවන් සිංහයින් නොහොත් හෙළයින් මේ රටේ ජීවත් වූ නිසාවෙන්මයි.ඇත්තටම අද ලංකාව තුළ එවන් සිහළුන් සිටිනවාද..අපට නැගෙන පැනයක්.බොහෝවිට නැති උනත්,ඔවුන් නැතුවාම නොවේ..
මේ රට ගැන හැගීමක් කැක්කුමක් ඇති අව්‍යාජ සිංහ පුතුන් දූවරුන් තවමත් අප අතර, අප සමාජයේ..,අපේ රටේ ජීවත්වෙනවා.ඉතින් එවන් රටට වැඩදායී මිනිසුන් මේ රටින් ඈත් වන්නට, නැති වන්නට පෙර දැන්වත් මේ පිටරටින් සිගමන් යදින එක නතර කලයුතු නොවේද..?
මට පුද්ගලිකව දැනෙන කරුණක් මා සදහන් කරන්නම්..පද රචකයා අවධානය යොමු කරන කරුණක් මෙසේ...;// අප ධජයේ සිටිනා සිංහ පැටවු පැනයන්නට පෙර මෙරටින්..//; ධජයේ නිරූපිත සිංහ රුව නොහොත් සිංහල ජාතිය ටිකෙන් ටික තුරන් වෙන බව නොකියා කියා පෑමක්..සිංහල ජාතියේ අවසානයේදී ධජයට සිංහ රුවක් කුමකටද? එලෙස ජාතියේ වඳ වීමකට පෙර තුරන් වීමට පෙර ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් සියලු වීරිය යොදවා සිතේ ඇති අලස කම්මැලි දුරලා රට වෙනුවෙන් නැවත වැඩ කලයුතු නොවේද.?

නන්දා මාලිනිය....ජාත්‍යාලය වඩවමින් සිත් සතන් තුළ සැගව ඇති අපේකම, රට, ජාතිය ආගම ගැන දැනෙන හැගුමන් හොදින් පුබුදුවන්නට හැකි හොදම කටහඩක් මා නම් දකින්නේ නන්දා මාලනියමයි.මේ ගීය අසා බලන්න..ඇගේ ස්වරයෙන් ඈ අමතන්නේ අපේ සිත් වල ඇතුලාන්තයටම නොවේද.. එවන් කටහඩකට සුසැදි ලෙස පද රචනා කරන්නට තරම් වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්...රට ජාතිය ආගම වෙනුවෙන්, පෑනෙන් කලහැකි යුතුකම එතුමා මෙවන් වටිනා ගී රැසක් දැයට දායාද කරමින් සිදුකරනු ලැබුවා..සැබෑවටම සුනිල් ආරියරත්නයන් හා නන්දා මාලනියන් දේශයේ බොහෝ රැකගතයුතු ආරක්ෂා කලයුතු තැන්, අවස්ථා පිලිබද පවසමින් ඔවුන්ගේ සුසංයෝගයෙන් සමාජයට මහත් මෙහෙවරක් කරනු ලබන්නේ.

එමෙන්ම මෙවන් සුවිශේෂී ගීයක සංගීතය පිලිබදව නොපැවසුවහොත් එය මහත් අඩුවක්..අප රටේ දක්ෂතම සංගීතවේදියෙක් වන රෝහණ වීරසිංහයන් නන්දා මාලනියන්ගේ හඩට සහ පද පෙලට ගැලපෙන අපූර්වතම තනු නිර්මාණයක් මෙම නිර්මාණයට යොදාගෙන ඇත්තේ. මදින් මද ඉහල නැංවෙන ජාතිකාභිමානය , අපේකම තව දුරටත් තීව්‍ර කරන්නට ඔහුගේ සංගීත නිර්මාණය බෙහෙවින් ඉවහල් වී ඇති බව නොරහසක්.. අවසාන වශයෙන්.. රෝහණ, නන්දා, සුනිල් යන තුන් ඈදුනු මහා චරිත ත්‍රිත්වයේන් අපේ රටට අපේ ලෙයට තදින් කා වැදුනු නිර්මාණයක් එලි දකින්නට සමත් වී ඇත...

ඉතින්... අපි සැවොම එකම හැගීමකින් යුක්තව කටයුතු කරන්නේ නම් මෙය සිහිනයක් නොවනු ඇත.සැබෑවටම සිහළ ලෙයින් උපන් අපි අපේ මවුබිම පිටරැටියන්ට උවමනා ලෙස විනාස කරගන්නවාද නැතහොත් එකාවන්ව එකමුතුව මේ අපේ ලක්මව රැකගන්නවාද...කුමක්ද ඔබේ තීරණය.? එය ඔබේත් මගේත් අපෙන් පසු මතු පරපුරටත් තීරණාත්මක තීරණයක් වනු ඇත.. උපන් රටට ගෞරවයක්, අභිමානයක් එක් කල මිනිසෙකු ලෙස යම්දාක ඔබ ජීවිතයෙන් සමුගනු ඇත.එහෙත් ඔබ නිසා තවත් ඔබ වැනිම මුලු ආත්මයෙන්ම සිංහලයින් ,හෙළයින් වූ සිංහ පැටවුන්ට මේ පුන්‍ය භූමිය තුන් හෙළයක්වම පවතීවි...
ඔබ සැමට ජය..!! ස්තූතියි ....

**පසුවදන..:- මා මෙතෙක් අරුතට එක් කල මගේ ශෛලියෙන් වෙන් කර අලුත් විදියට සිතන්නට වෙනස් මාවතක් පෙන්වා දුන් ඒ පුද්ගලයාවද සිහිපත් නොකලොත් එය මා අතින් සිදුකරන වරදක් වනු ඇති. අරුතට මගේ නිර්මාණ මගේම ක්‍රමයකට එලිදක්වන්න මා දිරිමත් කල ඔහු, මෙවර මා හට විශේෂයෙන් මෙවන් සමාජ මෙහෙවරක් කරනා ගීයක් පිලිබද අරුතට නිර්මාණය කරන්නට මට දුන් උපදෙස් ඉතාම ගෞරවයෙන් පිලිගතිමි.මෙම ගීතය තෝරා දී මට නිර්මාණයක් සිදු කරන ලෙස කල ඉල්ලීම ඔබෙන් ලද උපදෙස් අනුව මෙලෙස ඉදිරිපත් කරමි.මෙම නිර්මාණය ඔබ නමින්ම වෙන් කරමි Thejana Abeydeera සොයුර...ඔබ අරුතට මෙන්ම අප සැමටත් වටිනා මිනිසෙක්, දයාබර සොයුරෙක්..ඔබට ජය..!!

තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විලි වැද යති දැක හෙළයන්..

සරු පොළොව මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දාවූ සිංහ පැටව්
තුටුවෙද අනුනගෙ ඉදුලින්....

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්...

ගායනය :-විශාරද නන්දා මාලනී.
පද රචනය :-මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය :-රෝහණ වීරසිංහ.

**යස්..**


Sunday, 19 February 2017

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ


















රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ..
මගෙ තනි නොතනියට නුඹවත් නැතිවානේ..
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ...
මාස පෝය දා වාගෙයි ගම්මානේ...

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට ..
ඇල කණිඩියේ ඉඳගෙන අත වැනුවාට..
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට..
නාඬන් මස්සිනේ පෙර පිං නැතුවාට....

හැදුවේ ගෙපැල මට තනියෙන් ඉඳින්න ද...
බාලේ ඉඳන් බඳි ආලේ බිඳින්න ද..
රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්න ද...
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්න ද..

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි..
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි...
පත්තිනි ගම්භාර දෙවියන් රකින්නයි..
කුරහන් කපන දා මා සිහි කරන්නයි..

නෑනා හා මස්සිනා අතර පැවති ප්‍රේමය විවාහය දක්වා ගෙන යැමට නොහැකි වූ දෙදෙනෙකු අතර සංවාදී ස්වරූපයෙන් නිර්මාණය වී ඇති අපූරු ගීතයකි,අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන් එඩ්වඩ් ගායනා කරන රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ නැමැති ගීතය ..

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ..
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ...
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ..
මාසෙ පෝය දා වාගෙයි ගම්මානේ ..

තනිව හේනක් කොටා වගාවක් කිරීම ගැමි තරුණයෙකු ගේ විවාහ දිවියට ඇති සුදුසුකම් අතර එකක් ලෙසට ගැමියන් අතර මතයක් පවතී.මන්ද එය විවාහ දිවියක් ගත කිරීම සඳහා ඇවැසි ආර්ථික ශක්තියේ සංකේතයක් වැන්න නිසාය.අනෙක අලස අයෙකුට එවන්නක් කල නොහැක.

උක්ත තරුණයාට සිය නෑනා මතකයට එන්නේ තම හේන ආරක්ෂා කිරීම සඳහා පැල් රකින අවස්ථාවේ දී යැ. තම පාළුව කාන්සිය නිවා ගැනීමට නෑනාවත් සිටියානම්, කොතරම් දෙයක් දැයි ඔහුට සිතේ..එහිදී "කුරහන් පැහෙනා හේනේ"යන්න ශුංගාරාත්මක යෙදුම කි. ග්‍රේෂන් ආනන්දයයන් විසින් රචිත මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන "මගේ පුංචි කුමාරී "කියන ගීතයේ ඇති "ආල හැඟුම් මෝරන යාමය " සහ මෙහි "කුරහන් පැහෙනා"යන්නේ සැඟවුන අර්ථය එකම දෝ යැයි සිතේ.
ඔහුගේ නෑනා ඉදිරියේ දී පිටස්තරයෙකු සමග විවාහ වී යෑමට නියමිත බව ඔහු දනී..එසේ ඇය ගමෙන් යෑම ඔහු දකින්නේ ගම තුල ඇති ආලෝකය ඉවත් ව යෑමක් ලෙසට ය.ඔහුගේ ජීවිතය ද ඇයගෙන් ආලෝකවත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ඔහුට ඇයගේ වෙන්වීම දැනෙන්නේ සඳ නැති අමාවක දිනයක් සේය.

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇල කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඬන් මස්සිනේ පෙර පිං නැතුවාට

නෑනා සිය මස්සිනාව හමුවන තැන් පිලිබඳ උක්ත කොටසින් කියැවේ..එනම් එගොඩහ ඉස්මත්ත..වැව් කණ්ඩිය..ආදී ස්ථාන ය.එගොඩ සහ මෙගොඩ ඔවුන් දෙදෙනා විය නොහැකි ද?එගොඩ හා මෙගොඩ අතර බාධක ය ,නෑනාගේ දෙමාපියන් ගේ බලපෑම/ආකල්පය විය නොහැකි ද?
ඇය සිය මස්සිනාට බහ දෙන්නේ ඇයගේ හිතුමනාපෙටය.එහෙත් ඇයගේ දෙමාපියන් එයට අකමැති වගක් පෙනේ.එනිසා ඇයව වෙන කෙනෙකුට යෝජනා කර ඇත..එහිදී මස්සිනාට අසාධාරණයක් සිදුවී ඇතැයිද කිව හැක.ඒ ඔහුට බලාපොරොත්තු ලබා දී ඔහුව මඟ හැරීමයි..සමහරවිට ඇය ද දෙමාපිය කැමැත්ත ගන්නට උත්සාහ කරන්නට ඇත..එහෙත් දෙමාපියන් එයට අකමැති වන්නට ඇත.දෙමාපියන් සමග විරුද්ධ වී හිතුවක්කාරෙට විවාහ වීම ගැමි තරුණියකට තරම් නොවන බැවින් ඇය දෙමාපිය යෝජනාවට කැමැති වන්නට ඇත.එනිසා ඇය මස්සිනාගේ සිත් අස්වසයි..ඒ පෙර පිං නැතුව ඇතැයි කියමිනි..(සිත නිවන කතා 😁😁)

හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳින්න ද..
බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්න ද..
රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්න ද..
හීනෙන් මිසක හැබැහින් එක් නොවෙන්න ද..

හේන තුලින් ආර්ථික ශක්තිය ද, ගෙපැල තුලින් ආරක්ෂාව ද සංකේතවත් වන බැවින් ද ඔහුටම කියා ඇති ගෙපැල විවාහයකට මූලික සුදුසුකමක් ලෙසට ගැමියෝ සලකති..
ගැමි තරුණයෙකුට ඇත්තේ සරල බලාපොරොත්තු ටිකකි.එනම් තරුණියක සමග විවාහ වී දරු මල්ලන් හදාගෙන සතුටින් ජීවත්වීම පමණි.ඒ සඳහා ඔහුට මාළිගා අවැසි නැත.ගෙපැල හොඳටම ප්‍රමාණවත්ය.
බොහෝවිට එය නිර්මාණය වෙන්නේම ඔහුගේම මහන්සියෙනි.උක්ත මස්සිනා තම ගෙපැල හදන්නේම නෑනා සමග දිවි ගෙවීමේ අටියෙනි.එහෙත් අද නෑනා වෙන කෙනෙකු සමග විවාහ වීමට නියමිතය.එනිසා මම මේ ගෙපැල හැදුවෙ තනියෙන් ඉන්නදැයි නෑනාගෙන් ප්‍රශ්න කරයි...
බාල වියේ පටන් ආ බැඳීම බිඳින්නද හදන්නෙ?එතකොට අපිට එකතුවෙන්න වෙන්නෙ හීනෙන් විතරද?යනුවෙන් ඔහු නෑනාගෙන් අසයි..

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි...
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි..
පත්තිනි ගම්භාර දෙවියන් රකින්නයි .
කුරහන් කපන දා මා සිහිකරන්නයි..

ඇය ඔහුගෙන් සමුගෙන යන්නේ කැමැත්තකින් නොවන්නට පුළුවන.එහෙත් යතාර්ථට මුහුණ දිය යුතුය.එනිසා ඇය ඔහුව ආරක්ෂා කර දෙන ලෙස පත්තිනි මෑණියන්ගේගෙන් හා ගම්භාර දෙවියන්ගෙන් ඉල්ලා සිටියි.එමෙන්ම ඔහුගේ අනාගතය සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරයි.එමෙන්ම ඔහුට ධනවත් සහකාරියක් ලැබෙන්නයි ද ඉල්ලයි.එහෙත් ඔහුට ඇයව අමතක නොකල හැකි බව ඇය දනී..එනිසාම ඇය "කුරහන් කපන දා" මා සිහි කරන්න යැයි ඉල්ලයි.එයද ශුංගාරාත්මක යෙදුමකි.
සිය ප්‍රථම ප්‍රේමය අමතක කිරීමට කිසිම පෙම්වතෙකුට/පෙම්වතියකට නොහැක.මෙම කාරණය නෑනා විසින් අවබෝධ කරගෙන ඇති වගක් පෙනේ.එනිසාම දෝ සිටු කුමරිය සමග විවාහ වී,ඒ ප්‍රේමයේ අස්වැන්න නෙලන අවස්ථා වේ නොහොත් " කුරහන් කපන දා " ඇයව මතකයට ගන්නා ලෙස මස්සිනා ගෙන් ඉල්ලයි...

අබේවර්ධන බාලසූරිය යන්ගේ හඬ තුලින් සැබෑ ගැමි තරුණයා තුල ඇති හැඟීම් නියමාකාරයෙන් ඉස්මතු වේ.ත්‍යාගා එන් එඩ්වඩ් ගේ ගායනය තුලින් ද නෑනාගේ ආත්මකථනය අපූරුවට ඉස්මතු වේ..ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායකයන්ගේ සංගීතය තුලින් ගැමි සිතැඟි යාවන් අපූරුවට ප්‍රති නිර්මාණය වී තිබේ..මෙහි ගේය පද මෑතකදී අප අතරින් වියෝ වූ ආචාර්ය අජන්තා රණසිංහයන් ගේය.

බුද්ධික ප්‍රදීප් අතුකෝරල ..


සංහිඳේ දෙයියන්ගෙ පාමුල

සංහිඳේ දෙයියන්ගෙ පාමුල
කඳුළු තියලා එන වෙලේ
වැව් කොනේ තනි එකා ඉඳලා
දිවුල් හෙව්වද උඹෙ කුසේ
අදුර ඇඳගෙන ඇත්තු ඇවිදින
හරිම මූසල මණ්ඩියේ
වැවේ දෙවියනි මේ තියෙන්නේ
අපි උදේ කෑ වැල් අලේ

රැහැයියෝ ඔය ජප කරන්නේ
වැදුම් ගෙදරක මන්තරේ
පොඩි එකා ඇහැ පියාගන්නැති
දකින්නට පෙර කිරි කළේ
වී දෙපෑලක් උගස් කරලා
ගෙනත් ඇති පංචායුදේ
අලි හිතක් ඇයි අඩිය තිබ්බේ
පොඩි පුතා සැතපුණු කුසේ

කණාමැදිරියො එළිය නිවලා
ගුලිවෙලා ඇති මගෙ පැලේ
ගහක් මුදුනට හඳත් නැගලා
බලා ඉන්නැති මර බයේ
මිරිස් හේනක දුව පනින්නට
පුතත් එක්කල මහ වනේ
නංගියේ උඹ ඇවිත් යනවද
හීනයක හෙට කළුවරේ

වල් අලි තර්ජනය හේතුවෙන් දුක් විඳින ජනතාවගේ දුක්ඛිත ජීවිතයේ පැතිකඩක් සේ නිර්මාණය වී ඇති සංවේදී නිර්මාණයයකි,සුජීව හෙට්ටිතන්ත්‍රීන් රචනා කරන ලද සුනිල් දයානන්ද කෝණාරයන් සංගීතවත් කොට ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී සමන් කොට්ටව ලෙනින් ගායනා කරන "සංහිඳේ දෙයියන්ගෙ පාමුල " ගීතය.

සංහිඳේ දෙයියන්ගෙ පාමුල
කඳුළු තියලා එන වෙලේ
වැව් කොනේ තනි එකා ඉඳලා
දිවුල් හෙව්වද උඹෙ කුසේ
අදුර ඇඳගෙන ඇත්තු ඇවිදින
හරිම මූසල මණ්ඩියේ
වැවේ දෙවියනි මේ තියෙන්නේ
අපි උදේ කෑ වැල් අලේ.

සුජීව මෙහි ප්‍රස්තූතය කොට ගනුයේ,වල් අලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව මිය යන ගැබිණි මවකගේ සංවේදී සිදු වීමකි.
"සංහිඳේ දෙයියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ"
වල් අලි තර්ජිත ප්‍රදේශවල ඉන්න මිනිසුන් කඳුළු සමඟ ජීවත් වෙන්නෝ වෙති.ඒ ඔවුන්ගේ සමාජීය හා ආර්ථික ගැටලු නිසාවෙනි.එහි ගැබිණි මව්වරුන් යනු,අන් අයටත් වඩා කඳුළු උරුම කරගෙනම දිවි ගෙවන කොටසකි.ඔවුන්ට විශේෂඥ වෛද්‍ය වරු හමුවීමට ඉඩක් නැත.තැනක් නැත.මුදල් නැත.එනිසා ඔවුන්ගේ එකම ගැලවුම් කරුවා වනුයේ තමන් අදහන දෙවියන් ය.වෛද්‍යවරයෙකු ගැබිණියක පරීක්ෂා කර බලා,ඔබගේ දරුවා නීරෝගීව සිටිනවා නිරුපද්‍රිතව ලැබේවී කියූ විට සහනයක් ලබන්නේ යම් සේද,එපරිද්දෙන් ම දෙවියන් ඉදිරියේ තම අරමුණ ඉටුකර ගැනීමට බාර වූ පසුව ගැමි කාන්තාව ලබයි.බාර හාර වූ පසුව ඇය ලබන සතුට " දෙයියන්ගෙ පාමුල කඳුළු තබා"යන්නෙන් සුජීවයන් ඉදිරිපත් කර ඇති ආකාරය කෙතරම් අපූරු ද?

සංහිඳ වෙතට ගොස් එන ඇයව වැව අසලදී තනි අලියාගේ ප්‍රහාරයට ලක් වේ.ඇයව මරා දැමීමෙන් අලියාට ඇති ඵලය කිම? වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වාද උබෙ කුසේ...
අලියා ගිල්ල දිවුල වගේ යන කියමනත් සමගම ප්‍රාණය නිරුද්ධවී ඇති ඇයව සහ ඇයගේ කිරි කැටියා ගැන චිත්තරූප මැවීමට රචකයා සමත්ව ඇති ආකාරය අගනේය.
අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින හරිම මූසල මණ්ඩියේ..
වැවේ දෙවියනි මේ තියෙන්නේ අපි උදේ කෑ වැල් අලේ...
අඳුර කළු පාටය ඇත්තු ද කළු පාටය.."අඳුර ඇඳගෙන" යන යෙදුම අපූරුය.රචකයා කියන ආකාරයට එම ස්ථානයේ ඇති මූසල බව උක්ත යෙදුමෙන් ත්‍රීවෘර වේ..
අලියෙකු පෑගූ පසු කෙසේ වෙන්නට ඇත්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.ඈ උදේ ආහාරයට ගත් "වැල් අල" අසල තියෙන්නට ඇත..මොනවද ඇය කාලා තීන්නෙ?වැල් අල ..ඇයගේ සමාජීය හා ආර්ථික දරිද්‍රතාව වචන දෙක තුනකට කැටි කිරීමට රචකයා කෙතරම්නම් සමත් වී ඇත්ද?
උදේ කෑ දෙයක් සවස් වෙනකම් නොදිරවා තිබුනේ ඇයගේ මානසික පීඩාව නිසා දෝ යැයි විටෙක සිතේ.

රැහැයියෝ ඔය ජප කරන්නේ
වැදුම් ගෙදරක මන්තරේ
පොඩි එකා ඇහැ පියාගන්නැති
දකින්නට පෙර කිරි කළේ
වී දෙපෑලක් උගස් කරලා
ගෙනත් ඇති පංචායුදේ
අලි හිතක් ඇයි අඩිය තිබ්බේ
පොඩි පුතා සැතපුණු කුසේ

රැහැයියන්ගේ කෑ ගැසීම් ඔහුට ඇසෙන්නේ වැදුම් ගෙදරක ඇසෙන ශබ්ද ලෙසටය..අලියා පෑගීමෙන් පසු දරුවා ප්‍රසූත වී ඇති බව සුජීව ඉදිරිපත් කරන්නේ සංඛේතවත්‍ වය.එසේ ප්‍රසූත වූ දරුවා කාගෙන්නම් කිරි බොන්නද?මවගේ තනය ඇස නොගැටීම දරුවා මිය ගොසින්‍ ය.
වී දෙපෑලක් උකස් කරලා ගෙනත් ඇති පංචායුදේ ...
දරුවාගේ ආරක්ෂාවට පංචායුදයක් දැමීම ග්‍රාමීයව මෙන්ම නාගරිකව ද වෙනසක් නැතිව සිදු වන ක්‍රියාවකි.ඒ සඳහා ඔවුන් සල්ලි හොයාන ඇත්තේ වී පෑල් දෙකක් උකසට තැබීමෙනි..එසේ ගෙන ආ පංචායුදය පැළඳීමට අලියා ඉඩ ලබා දුන්නේ නැත..
"අලි හිතක් ඇයි අඩිය තිබ්බේ
පොඩි පුතා සැතපුණු කුසේ.."
අලියා යනු,මිනිසා දුටු තැන පහර දෙන ප්‍රචණ්ඩකාරී ව හැසිරෙන සතුන් කොටසක් නොවන්නේය.මිනිසා හැරුණු කොට උන් ද සංවේදී සත්ව කොටසකි.අතීතයේ මිනිසා අලින් සමග ගැටුමකින් තොරව දිවි ගෙවා ඇත..නමුත් අද ගැබිණි කතක් පාගා මරා දැමීමට තරම් උන් සාහසික වී ඇත.අලි හිතක් ඇයි අඩිය තිබ්බෙ පොඩි පුතා සැතපුණු කුසේ යන්නෙන් රචකයා ප්‍රශ්න කරන්නේ එයම නොවන්නේ ද?

කණාමැදිරියො එළිය නිවලා
ගුලිවෙලා ඇති මගෙ පැලේ
ගහක් මුදුනට හඳත් නැගලා
බලා ඉන්නැති මර බයේ
මිරිස් හේනක දුව පනින්නට
පුතත් එක්කල මහ වනේ
නංගියේ උඹ ඇවිත් යනවද
හීනයක හෙට කළුවරේ

කණාමැදිරියන් යනු ස්භාවික ආලෝකයක් උපතින්ම උපතින්ම උරුම කරන් ආවෝ වෙති.ඔවුන් සිටින්නේ ද එම ආලෝකය නිවා ගෙනය.ඒ එම ආලෝකයම ඔවුන්ගේ විනාසයට හේතුවිය හැකියැයි යන බියෙන් විය යුතුය.මෙය අලි තර්ජිත ප්‍රදේශවල පොඩි දරුවන් සංකේතවත් කරන්නක් යැයි සිතේ.

"ගහක් මුදුනට හඳත් නැගලා බලා ඉන්නැති මර බයේ"
ගස් මුදුනින් පායන සඳ ඔහුට පෙනෙන්නේ අලින්ට බයේ ගහ උඩට නැග්ගා සේය..මෙම ප්‍රදේශවල බොහෝ පිරිමින් රාත්‍රි කාලය ගත් කරන්නේ ගස් මතට වී,වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කරමින්‍ ය.ගස් මතට නැගපු සඳ යනු එය සංකේතවත් කරන්නක් නොවන්නේ ද?
දරුවා සමග තම ගොවි බිම් වල ඇවිද යන්නට ඔහු සිහින දකින්නට ඇත..එහෙත් ඔවුන් කිසි දිනෙක එසේ ඇවිදීමට නොයෙනු ඇත.
එබැවින් සිහිනයකින් හෝ පැමිණෙන ලෙස ඔහු ඉල්ලා සිටී...

මෙම ගීතය සංගීතවත් කරනුයේ සුනිල් දයානන්ද කෝණාරයන් ය..ඒ සංගීතවත් කරන අවසාන ගීතයයි.ගීතයේ ඇති සංවේදී ස්ථාන ඉස්මතු කිරීමේ ලා ඔහු සතු දක්ෂතාව ඉතාමත් ඉහළ ය.ආරම්භයේ පටන් අවසානය දක්වාම ගීතයෙන් මැවෙන පරිසරය මැවෙන ආකාරයට සංගීතය යොදාගෙන ඇත.සත්ව හඬවල් සිහිවෙන ශබ්ද ගීතය පුරාවට ඇසෙන්නට තිබීම ඊට හොඳම නිදසුනකි.තවද ඇවැසි තැන් සඳහා ශෝකී හඬවල් යොදා ගනිමින් ගීතයේ ජීව ගුණය රැක ගැනීමට ඔහු සමත්ව තිබේ.

ප්‍රතාපවත් හඬ පෞරුෂයක් හිමි සමන් ලෙනින් විසින් ගීතයට කර ඇති සාධාරණය අති මහත්‍ ය.ඔහු ගීතය තුලට ආරූඪ වී ඇති වගක් පෙනේ."හරිම මූසල මණ්ඩියේ" කියන කොටස ගායනා කිරීමේ දී එම මූසල මණිඩිය ශාවකයා තුලට කා වැද්දීමට ලෙනින් හඬින් වික්‍රමයක් කරන්නා සේ හැඟේ.

උක්ත කරුණු සැලකීමේ දී මෙම ගීතය සාර්ථක නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය.

බුද්ධික ප්‍රදීප් ..


හිරු දැවී සදු ගිලී ..

හිරු දැවී සදු ගිලී කප් කෙලක් තරු නිවී
අදුරු විය විමානය.. හුදෙකලා මග නොමග..
පැටලිලා තනිවෙලා....
හිරු ලෙසින් සදු ලෙසින්
එකලු කල මැන මහද... සෙනෙහසින්....

සිටු මැදුරු යස ඉසුරු පිරුණු ලොවකට
මහරු උනු...
කදෝපැණියෙක්මී....මා.. ඇදිරියේ........
කෙලෙස නම් එලිය දෙමි කුමරියේ........

කතරකට පිණි බිදකි
කුමුදකට පුර සදකි...
මතකයෙන් ඉගිලිලා කුමරියේ...
හිරු දැවෙයි.. සදු ගිලෙයි..මගෙ ලොවේ......
එලිය දෙමි කෙලෙස නම්...
එකලු කල මැන මහද....සෙනෙහසින්........

ගායනය :- නන්දා මාලනී.
පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව.
පද රචනය:- සෝමරත්න දිසානායක.
සංගීතය :- ආනන්ද ගමගේ.

සෝමරත්න දිසානායකයන් අධ්‍යක්ෂණය කල රේණුකා බාලසූරියගේ නිශ්පාදනයක් වූ අවසද ටෙලි නාට්‍යයේ තේමා ගීතය..

මාගේ විජිතය... ආදරෙන් සතුටින් සැනසුමින් පිරි මා හද විමනේ හිරු ඔබය... ඒ හිරු රැසින් එලිය ගෙන මා හද නිශා යමදී සදු ලෙසින් එලිය කරන්නේද ඔබමය...සදු පමණක් නොව මේ සක්වලෙහි පවත්නා කෝටි ලක්ෂයක් තරම් වූ..තරු කැටද නුඹමය...ඒ එලියද ඔබමය..ඔබේ සෙනෙහසමය..
එවන් වූ ආලෝකයක් මා හද විමනට ගෙන ආ ඔබ දැන් කොහේද..මගේ විමනේ හිරු දැවී ගොස් අලු දූලි වී ගොස් ඇති බව කෙලෙස පිලිගන්නද.. නිශායම මා හද එලිය කල සදු ගිලී ගොස් මා හද කලුවරින් හෙම්බත්ව..තරු කැට..කප් කෙලක් තරම් වූ තරු කැටද එක්වරම නිවී ගොස්...

එලියෙන් දිලෙනා මගේ විමන අදුරු ගුහාවක් සේ කලුවරින් පිරී..මා ගමන් ගත් මාවත හුදෙකලාවින් පිරි මග නොමග හදුනා ගනු නොහැකි තරම්ම මා සිත බෙහෙවින් පැටලිලි සහිත වී තනිවී ඇතියුරු...මගේ සුපෙම්වත... නුඹ මවෙත පැමිණ නැවත පෙර මෙන් හිරු ලෙසින් සදු ලෙසින් මගේ ලොව ඔබේ සෙනෙහෙන් ඒකාලෝක කල මැනවි..
මා ප්‍රියාදරියේ.. නුඹ මට ලංවනු නොහැකී තරම් ඉහල මට්ටමක නොවේද ඔය වැජඹෙන්නේ..නුඹ සිත මා හට බැදී ඇතිබව සත්‍යක්..ඒ නමුත්..,මගේ කුමරියේ...නුඹ සිටු මැදුරු හිමි යස ඉසුරින් පිරි මහේශාක්‍ය වූ ලොවක කුමරියක්...එවන් ලොවකට මා කෙසේ නම් පෑහෙන්නද..මහා ඝන අදුරේ ඒ අදුර යන්තමින් නිවාගන්නා කණාමැදිරියෙක් වැනි මගේ ජීවිතය..නුඹේ තේජස් එලිය අසල කෙලෙස එලිය කරන්නද..නුඹේ ලොව ඒකාලෝක වී හමාරයි මා කුමරියේ..නුඹේ ලොව අදුරක් කොහේද...බලන බලනා සැම අතම ඇත්තේ නුඹේ තේජස් එලියයි...


මගේ සිත සෙනෙහසක් නොමැතිව වියලීව ඉරිතලා ගිය රලු පරලු කතරක් කුමරියේ..ඔබ ඒ කතරට වැටෙනා පිණි බිදක් තරම්...

නුඹේ සෙනෙහෙ සදවතින් එලිය ගෙන හෙමින් සැරේ පෙති දෙපෙති විදා ලෝකය බලනා කුමුද මම වෙමි මගේ පෙම්වත..
ඒ කුමුදට අවැසි ආලෝකය නුඹමය..මගේ පුර සදවත ද නුඹමය...

මගේ කුමරියේ ... වෙන කලයුතු දෙයක් නෑ...හිත දැඩි කරන් නුඹේ මතකයෙන් ඉගිලිලා යමි..යලිත් නොඑන්නට..නුඹගේ යහපත උදෙසාම..

මගේ හිතවත... ඔබ ඈත් උනොත් හිරු සදු දැවී අලුවී මගේ ලොව අදුරු වේවි..කලුවර වේවි...

වටහාගන්න මගේ කුමරියේ..නුඹේ ලොව එලිය කරන්නෙ කොහොමද මම ..කුඩා මිනිසෙක් පමණයි මා ඔබේ ලොවට..

ඔබට පුලුවන් මගේ සිත මගේ විජිතය එකලු කරන්නට..ඒ වෙන කිසිවකින්වත් නොවේ..නුඹේ ඔය අවංක ආදරයෙන්..නිමාවක් නොවන සෙනෙහසින්..එපමණයි මා ඉල්ලන්නේ..වෙන කිසිවක්ම නොවේ ..ආදරය...එපමණමයි......!!

**යස්...**


සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ

ආදරය... විග්‍රහ කරන්නේ කෙසේද.... ඈත අතීතයේ ප්‍රේමය පිළිබඳ තිබූ විග්‍රහයන් සමහරක් අද වනවිට
මුසාවන් බවට පත්වී තිබෙනවා. ලෝකයේ පැවැත්මත්, වෙනස්වීමත් අනුව මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වන අතරම යම් දෙයක් දෙස බලන කෝණයද ඒ අනුව වෙනස් වෙනවා. මෙය ආදරයටද පොදු ධර්මතාවක්. පෙර කාලයේ ආදරය තිබුනේ ඉතාම පූජනීය ස්ථානයක. නමුත් වර්තමානය වන විට ඒ තත්වය බොහෝදුරට වෙනස් වී තිබෙනවා. ඉස්සර කිව්වේ මල්සරාගේ දුන්න වැදුන කෙනාට තමයි හිත යන්නේ කියලා. නමුත් අද ආදරය පාරවල් වල විකිණෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන් වෙලා තිබෙනවා. අද තරුණ පරම්පරාව ප්‍රේමය ගැන හිතන්නේ ඉතාම වෙනස් ආකාරයකට. තමන්ට කිසිසේත්ම නොගැලපෙන ප්‍රේමයන් සොයා යන්නට බොහෝ දෙනා පුරුදු වෙලා තිබෙනවා.

අසම්මත ප්‍රේමයට ඇලුම් කරන්නට කැමති අය අපට මුණ ගැසෙනවා. ඇතැම් අවස්ථාවල සමාජයේ අපිට දක්නට ලැබෙන අසම්මත ප්‍රේමයන් වර්ග බොහෝයි. අක්කලා මල්ලිලාට ආදරය කරනවා. විවාහක පිරිමි තරුණියන්ටත්, විවාහක ගැහැණු තරුණයන්ටත් ආදරය කරනවා. එසේම මැදිවියේ කාන්තාවන් වයස අවුරුදු 18-19 පිරිමි ලමයින් සමඟ සම්බන්ධකම් පවත්වනවා. වයසක සීයලා පොඩි ගැහැණු ලමයි සොයාගෙන යනවා. මේ සියලුම අසම්මතයන් හමුවේ පිවිතුරු ප්‍රේමයක් හොයා ගැනීම හරියට කළුනික සොයන්නා වගේ. සෑම පවිත්‍ර ප්‍රේමයකටම දෙවියොත් ආශිර්වාද කරනවා කියලා වැඩිහිටියෝ කියනවා. එසේ බලනවිට අද දෙවියන්ට ආශිර්වාද කරන්නටවත් එවන් ප්‍රේමයක් සොයාගත හැකිද යන්න සැකයක්.

තමන්ගේ බිරිඳ කොපමණ සුන්දර ගුණවත් කාන්තාවක් උනත්, ඇය කුටුම්භය තුළදී ඔහුගේ සියළු ඕනෑ එපාකම් නොපිරිහෙලා ඉටු කළත් ඇතැම් පිරිමින් වෙනත් සුන්දර කාන්තාවන් පසුපස යෑම අද සුලභ කරුණක්. මෙය දෙපාර්ශවයටම පොදු කරුණක්. තම ආශාවන් පසුපස හඹා යන ජීවිත වලින් පෝෂණය වී ඇති වටපිටාවක ආදරයද අවශ්‍යතාවයන්ට පමණක් ලඝු වී ඇති අයුරු නම් ඛේදනීයයි. මේ තරම් හෝටල් කාමර රට තුළ බිහිවන්නේද ඒ හේතුව නිසාවෙන්මයි. විපරීත ප්‍රේමයන් මේ කාලයේ කොතෙක් නම් දක්නට ලැබෙනවාද. තමන් ආදරය ඉල්ලන තරුණිය අකමැති වූ විට ඇයව මරන්නට තරම් සහසික වන තරුණයින්ද මේ කාලයේ සුලභයි. ප්‍රේමය එතරම් ආවේගශීලී විය හැකිද. ප්‍රේමයට එතරම් ආත්මාර්ථකාමී විය හැකිද. පවිත්‍ර ප්‍රේමයකට එසේ විය නොහැකිය. පිවිතුරු පෙමක් සැමවිටම පරිත්‍යාගශීලීයි. වර්තමාන සමාජ ක්‍රමය හේතුවෙන්ම විපරීත වූ මනසින් යුතු වූ ආදරවන්තයින් ප්‍රේමය සෙල්ලමක් කරගෙන සිටින ආකාරය විශ්මයජනකය. මන්ද අපේ වැඩිහිටියන්ගේ මනස් තුළ අදද ප්‍රේමය ජීවමාන වන්නේ උත්තරීතර දෙයක් ලෙසින්ය. ඒ වගේම ඔවුන්ට අනුව ආදරය කිසිදිනෙක ආවේගශීලී නැහැ. ඒ නිසාමයි ආදරය තුළ සිටින සියල්ලන්වම බොහොම සියුම් දේට උපමා කරන්නේත්. ඒ අතරේ වෙනස් වූ උපමාවන්ද නැතුවා නොවෙයි. හරියට ලියතඹරා මල වගේ.

ලියතඹරා මලේ විශේෂත්වය කුමක්ද.. බොහෝ අය පවසන පරිදි ලියතඹරා මල තවුසන්ගේ දැහැන් බිඳිනවලු. ඒ තරම් ලස්සනයිලු. ඒ නිසාම තමයි බොහෝ ආකර්ශනීය කාන්තාවන් මේ මලට සම කරන්නේ. ලියතඹරා මල හමුවේ තවුස් දම් බිඳේ නම්, පෘතග්ජන අප හිත් ගැන කවරනම් කතාද....??? ලියතඹරා මල දෙස බලන අය එහි වසඟයට පත්වීම වලක්වන්නට බැරිලු. "ලියතඹරා මල ඔබද ලඳේ මා වසඟයක් කෙරූ" යනුවෙන් චන්දන ලියනාරච්චි පවසන්නේද, "ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා" යනුවෙන් ආත්මා ලියනගේ ගයන්නේද මේ හේතු නිසාවෙනි. "අශෝක කෝවිලගේ" ගේය පද රචකයාණන් ද ලියතඹරා මලකින් තම ගීතය අරඹන්නේ ගීතයේ සමස්ත කතාවම ඇරඹුමේදීම අපේ සිත් තුළ පැලපදියම් කරවමින්.

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියෑසි කැළක්‌
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බඹර තුඩක්‌...

බමරුන් මල් ලඟ රැඳීම පිළිගත හැකි කරුණක්. නමුත් ලියතඹරා මලකින් ආදරය අයැදීම පිළිගන්නට පුළුවන් දෙයක්ද??. ලියතඹරා මල නිරන්තරයෙන්ම අන් අයගේ සිත් වශී කරන්නක්. දැහැන් බිඳින්නක්. එසේනම් එවන් මලකින් ආදරය බලාපොරොත්තු විය හැකිද??? ලියතඹරා මල බොහෝ විට සමාන කරන්නේ රෑ සමණලියකට. මේ සමණලියගෙන් ආදරය අයැදීම නිෂ්ඵල කාරණයක්. කොතෙක් ආදරය අයැදුවත් හඬා වැටුනත් ඇය ලඟ ඇත්තේ ආදරයක් නොවෙයි. අවශ්‍යතාවයන් සපුරාලීමක් පමණයි. එසේම සුවඳැති කපුරු මල් බමරුන්ට විෂයිලු. නමුත් මේ බමරුන් තමන්ගේ උවමනාවන් වෙනුවෙන් ඒ සුවඳැති කපුරු මලද තලා පෙලා විනාශ කර දමනවා. හරියට තමන්ට අනවශ්‍යයයි කියලා දැන දැනත්, තමනුත් අමාරුවේ වැටෙනවා කියලා දැන දැනත් එක් මොහොතක අවශ්‍යතාවයක් වෙනුවෙන් තරුණියන් දූෂණය කරන්නාවූ, අමාරුවේ දාන්නාවූ පිරිමි වගේ. මා කලින් සඳහන් කල අයුරින්ම වත්මන් ප්‍රේමයේ තිබෙන්නාවූ විපර්යාසයන් මනාව මේ ගීතය තුළ ගැබ් වී තිබෙනවා.

වැහි කළුවර ඇති සැන්දෑ සමයක
තරුමල් පිපුණලු අහස්‌ ගැබේ
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ...

සවස් යාමයක වැහි කලුවක් තියෙන වෙලාවට අහස මොනවගේ ඇතිද. අහසේ තරු, සඳ අපට දකින්නට ලැබෙනවද..?? ඔබට ඉඩ ලැබුන වෙලාවක එය හොඳින් නිරීක්ෂණය කර බලන්න. වහින්නට පෙර ආකාශ වස්තු කිසිවක් අහසේ දක්නට ලැබෙන්නේ නැහැ. එය තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් වැස්ස වෙලාවක තරු අහසේ දකින්න ලැබුනොත් ඒක ටිකක් අසාමාන්‍යයයි නේද..?? ඉහත සඳහන් කලාවූ විපරීත ප්‍රේමයන්ද ඒ වගෙයි. හරිම අසාමාන්‍යයයි. පවිත්‍ර ප්‍රේමයට ආශිර්වාද කරන්නාවූ දෙවියන්ද හඬා වැටෙන්නේ මේ වෙන්නාවූ විනාශය නිසාමයි. සියළු ප්‍රේමයන් ලිංගිකත්වයට ලඝු වනවිට පිවිතුරු ප්‍රේමය කොහෙන්නම් සොයන්නද...???

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
කළියුගයේ ඇත පහළවෙලා
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා...

තරුණ තරුණියන් විවිධ වූ අසම්මත ප්‍රේමයන්ට යොමු වීමට ප්‍රධානම හේතුවක් ලෙස සමාජයේ වෙනස්වීම් බලපානු ලබයි. අද මාධ්‍ය තුළින්, සමාජ ජාලා වෙබ් අඩවි තුළින්ද අසන්නට දකින්නට ලැබෙන විවිධ වූ සාමාජයීය විපර්යාසයන් හේතුවෙන් ඒ අනුව හැඩ ගැහෙන්නට අද තරුණ පරම්පරාව යොමු වී තිබෙනවා. ඒ නිසාම තමයි අශෝක කෝවිලගේ ශූරින් කියන්නේ මෙය කලි යුගයක් කියා. තරුණ හිත් තුළ ප්‍රේමය පිළිබඳ වැරදි ආකල්ප මිස පිරිසුදු ආකල්ප ඇති වෙනු අපට දැක ගන්නට නොහැකියි. මෙවන් වූ අසම්මත සබඳකම් පවිත්‍ර ප්‍රේමයක් කෙසේ නම් වටහා ගන්නද. දැන් පිවිතුරු ආදරය පිය යන්නට ලඟයි. එය දැන් මහල්ලෙක් බවට පත් වී අවසානයි.

ගීතය මෙයට දශක කිහිපයකට පෙර ලියවුනත්, වර්තමාන සමාජයට මෙය අපූරුවට ගැලපෙන අයුරුනම් පුදුමසහගතයි. ප්‍රේමයේ අද අපට දක්නට ලැබෙන සියළුම විපර්යාසයන් මේ ගීතයෙන් මනාව ප්‍රකාශ කරනවා. මාලනී බුලත්සිංහලයන්ගේ හඬ පෞරුෂය තුළ ගීතයේ ඉතාම සාර්ථක වී ඇති අතරම දශක ගණනාවක් පුරාවට සුභාවිත ගීතයට ආදරය කරන්නාවූ සියල්ලන්ම ඇලුම් කරන ගීතයක් බවට මෙය පත් වී තිබෙනවා.

ගායනය : මාලනී බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගී පද : අශෝක කෝවිලගේ

ප.ලි. : අරුත ටිකක් දීර්ඝ වීම පිළිබඳ සමාව අයදිමි.

~ අකූ ~


කතරක තනි වී ..

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ


සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි...
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

කතරක තනි වී...

විසල් තුරු මුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු...
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

කතරක තනි වී...

ගායනය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක්. නමුත් එකිනෙකාගේ ජීවන මග විවිධාකාරයි. ඒ මගෙහි වූ විශමතා හේතුවෙන් අපි ජීවිතය විඳින මෙන්ම විඳවන අවස්තාද එමටයි.
ජීවන ගමනක කර්කශ බව පෙන්වීමට 'කතරක්' යොදා ගැනීම සුලභයි.
නමුත් ප්‍රේම් මේ 'කතර' යන පදය සමග ගොතනා කතාන්දරය පෙර කියැවී නැහැ.

ඇයට තමා තුල ඇති ආදරය මෙන්ම ඇය වෙනුවෙන් ඔහු කරනා අනේකවිධ කැපකිරීම් ගැන කරනා කුඩා හෙලිදරව්වක් ලෙස මෙම ගීතය හඳුනාගත හැකිය.

ඇය යන මාවත බොහෝ කටුකයි. ඒ මාවතේ ඇය ගමන් කරන්නේ තනිවම. බොහෝ දුක්කදායී ජීවිතයක උරුමයක් කරපින්නාගෙන ගමන් කරන ඇයව ඔහුට හමුවෙනවා. ඔහු ඇයට ආදරය කරනවා...ඒ ආදරයක් මිස අනුකම්පාවක් නොවේ.

ඉතින් මේ ජීවන කතරේ ඈ තනිවම දුක් විඳිමින් යන ගමන දකින ඔහුගේ හදවත දැවී යනවා. හදවතක් ගිනි ගනී යන්නෙන් ඔහුගේ තැවීම පෙන්වන්නා සේම, ප්‍රේම් එයින් ඔබ්බට අපව රැගෙන යන්නට සමත් වෙනවා. නිකම්ම හදවත ගිනි ගන්නවා නොව හිම කන්දක් මුදුනත සිටියත් හදවත ගිනි ගන්නා බවයි. ඈ වෙනුවෙන් ඔහු හද තැවෙන අයුරු වෙන කෙසේ ඉදිරිපත් කරන්නද.
ඔහු ඇයහා දුක බෙදාගැනීමට සූදානම්. ජීවිතයක නානාවිද ප්‍රශ්න පැමිනෙන බව සත්‍යයයි. නමුත් හැමදාටම එසේ වන්නේ නෑ...ඔහු ඈ ලඟ සිටීවී. ඉතින් මේ දුකම සතුටට පෙරලගෙන සතුටින් ජීවත් වෙමුයි ඔහු පවසනවා.

මා කලින් කීවාක්මෙන් ඔහු ඇයට තම පන හා සමානව ආදරෙයි. ඔහු ඇය වෙනුවෙන් කරනා කැපකිරීම් ..ඔහු ඇයව ආරක්ෂා කරනයුරු හැමදෙයක්ම ඇය දන්නේ නෑ. සමහරවිට ඇයගේ මතකයේ නැතිව ඇති. ඔහු තම ජීවිතේ පරදුවට තබමින් ඇයව සියලු කරදර වලින් බේරා ගන්නවා. ඔහුගේ ජීවිතයත් සරි ඇයත් සරි. ඔහු හැමදෙයක්ම කරන්නේ ඇය වෙනුවෙන්. ඒත් මේ සියලු කැපකිරීම් ගැන ඈ දන්නේ නෑ. ඔහුට සියල්ලම කියන්න උවමනා නෑ..නමුත් ඈ දැනගත යුතුයි ඔහු තමා ඇයට සිටින එකම සෙවන කියලා.
බලන්න ප්‍රේම් ඒ අදහස් ගීතයට නගන අපූරුව. 'සඳු නොදන්න නමුදු සඳුට එලිය හිරුගෙනි'
ඒ පද පේලි තුල විශාල කතාවක් ගැබ්වෙලා තිබෙන බව පැහැදිලියි නේද ..

ඇයත් ඔහුට ආදරෙයි ..ඔව් ගොඩක් ආදරෙයි. ඇයට ඔහුගේ ආදරය දැනෙනවා..හොදින් දැනෙනවා. ඒත් ඇය ඒ ආදරය ඔහුගේ මුවින් ඇසීමට ඉතා කැමතියි. එනිසා නිතරම එය අසාගන්නට ඇය ආදරේ පිලිබඳව විමසනවා. ඔහු එය හොඳින් දන්නවා. ඇයගේ ආශාව..කැමැත්ත. ඒ පිලිබඳව ඔහු සිතින් නිහහඩවම සතුටක් ලබනවා.
'තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි'

විශාල වෘක්ෂයන් තිබුනත් ඒවායේ මල් නොපිපෙනවානම් ඉන් කුමන ඵලද...ඒ වාගේම සිනාවක් නොමැති දසන් වලින් කුමන ඵලද.
ඒ වාගේම තමයි ආදරයක් නොමැති ජීවිතයක ඇති ඵලයක් නැහැ. ඒක ආදරය කල හිත් හොදටම දන්නවා ඇති. ඔහු ඇගේ ජීවිතේ සතුටින් පුරවන්නට අවැසි සෑම දෙයක්ම කරාවි. පෙරදී කලාක්මෙන්..කැපකිරීම් ඒ ආකාරයෙන්ම සිදුකරාවි...ඇය දැනගත්තත් නැතත්.

ඔහු ඇයව ආදරයෙන් පුරවාවි වෙනදාටත් වැඩියෙන්. ඇය වෙනුවෙන්ම ඔහු ජීවත් වේවි.
මේ හැමදෙයක් වෙනුවෙන්ම ඔහු ඇයගෙන් බලාපොරොත්තු වන්නේ සිතේ සිහිලසයි....ඒනම් පිවිතුරු..

..........ඔහුව ජීවත් කරවන ආදරයයි........


--තේජන අබේදීර--




අතරමන්වූ කිරිල්ලී.

අතරමන්වූ කිරිල්ලී.. ඈත අහසේ ඉගිල්ලී...
වළාකුලු මැද ගියා නොපෙනී ඈ අනාතයි අනාතයි..

නොදැක නිකැලැල් චේතනා... ලබා අපමණ වේදනා..//
දොරින් දොර සෙනෙහස සිගා ගිය ඈ..
තනිවුනා ගම්දනව් මැද මහ රෑ..

බිදී හද රැදි භාවනා.. හඩා කල ආයාචනා..//
කැදැල්ලේ රදවා පලා ගිය ඈ....
වැලපුනා යලි ඝන වනේ ගිනි ලෑ.......

අතරමන් වූ කිරිල්ලී......................

ගායනය :- දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.
පද රචනය :- සුනිල් ආරියරත්න.
සංගීතය :- රෝහණ වීරසිංහ.


සෙනෙහස.. ආදරය.. කවුරුත් සිත් පුරා විදගැනීමට ඉතා කැමැත්තෝ වෙති...
** ඇය ...කිරිල්ලියක් මෙන් නිදහසේ සැනසීමෙන් දිවි ගෙවූ ඒ ඇය....ආදරය මහමෙරක් තරමට සිත් හි දරාගෙන එවන් ආදරයක් පෙරළා තමා වෙත ලැබෙනා තුරු ඉවසීමෙන් බලා සිටියාවූ ඇය....තවත් නම් තමාට ඇවැසි ආදරය.., ඇය පණටත් වඩා ආදරය පුදකරනා සිතින් නොලබන බව දත්තී....,ඈ තීරණය කලා වැනියි ඒ ආදරය සෙනෙහස සොයා යන්නට... සෙනෙහස සොයා පියඹා ගොස් ඈ දැන් අතරමන් වූ හැඩයි.විසල් අහස නොහොත් මේ විෂම වූ සමාජයේ ඈ ඇගේ හද පතනා වූ ආදරය සොයමින් පියඹා යන්නී ඈ සිත අතරමන් වී ඇති බවද නොදැනයි...ඉතින් එවන් ඇගේ ජීවිතය අනාථ වන බව ඇයට නොතේරෙන්නේද...විසල් අහසක ආදරය සොයාගෙන යන එන තැනක් නොදැන අතරමන් වූ සිතකින් පියඹා යන ඇය අනාත වන බව නොරහසක්.....

ඇය සිත පතනා ආදරය සොයාගෙන ඈ දොරින් දොර සිගමන් යදින තත්වයටද පත්වී...එවන් අසරණ සිතක් ලැබූ අප්‍රමාණ වූ වේදනාවන් සිත් හි දරාගෙන නිකැලැල් වූ සිතුවිලි ඇති යම් අයෙක්... නිකැලැල් සෙනෙහසක් හිමි සිතක් සොයමින් ඈ සෙනෙහස සොයා සිගමන් යදින්නටද ඈ සිත අසරණ වෙලා..
කිරිලියක වාසස්ථානය වන්නේ කැලෑබද පෙදෙසක්.නමුත් ඈ සෙනෙහස සොයාගෙන ගම් දනව් පීරා පියඹා ඇවිදින්..ඇගේ නිජ බිම අමතක කර පැමිණි ඈ මහ රැයක් වැනිවූ අදුරෙන් පිරි කාලසීමාවක අදුරින් වැසී ගිය සිතත් රැගෙන ගම්දනව් අතරේ තම ආදරය සොයන්නට උත්සුක වූවා වැනිය.ඈ ඒ අදුරු කාලසීමාවේදී නොදන්නා ඉසව්වක තමන් තනිවූ බව ඇගේ සිත නොදත්තීය...

තනිවූ ඈ සිත කැදැල්ලකට කොටු කරගන්නට හැකි වූවා වැනියි යම් කිසිවෙකුහට..ආදරයේ නාමයෙන් ඈ තම නිදහස නැමැති පියාපත් සගවා ගත්තී..,
කැදැල්ල තුල ඈ සිත හික්මවා ගත්තාය..ඒ නමුත් ඈ පැතූ සෙනෙහස ඈ ලැබුවාද ..., ලැබුනාද...?? හඩා වැටෙමින් ඈ සෙනෙහස ඉල්ලා කල ආයාචනා සඵල වූවාද...? නැත....ඈ පැතූ සෙනෙහස නොලැබෙන්නීය...හිතේ පැවති එකාකාරී හික්මීම ඈ වෙතින් ගිලිහී ගියෙන් ඈ කැදැල්ලෙන් පලා ගියාය..ගම්දනව් අතහැර ඈ තීරණය කරන්නී නැවතත් ඇගේ නිජබිම වූ ඝන වනයටම යා ගත්තීය...එහෙත් අවාසනාවකි.....මුලු වනය පුරාම ගිනිගෙන ඇති හැටි..ඇයට වැලපීමක් මිස වෙන යමක් ඉතුරු නොවුනා සේය....ඉතින් සෙනෙහස සොයා ඉගිලී ගිය කිරිලියකගේ දුක්බර ආයාචනය එසේම නිමවූ අයුරු.....

..සෙනෙහස ආදරය සොයා දුර අහස පුරා සරන්නී අසරණ සිතක් ඇත්තියක වන බව ඈ නොදත්තීය......


**යස්..**


පිපුනු මලක හැඩ දෑස සලා

පිපුනු මලක හැඩ දෑස සලා
සිතුම් විහග කැල වසග කලා
මග තොට රැදි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා....

කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා..
නොම විමසා පෙම ඉගිමැරුවා...
සොදුරු වසන්තෙක මොහොතක සුවපා..
වෙන්වූවා අප සුසුම් දරා...

මතකේ මැවෙනා පෙර රූ චායා
හමුවේදෝ යලි සිත් සනහා
ඔබ නමටයි මා පාරමි පුරනා
ඇසේවිදෝ මේ ගී මාලා....

ගායනය :- ශාලිත අබේවික්‍රම.
පද රචනය:- විපුල් ධර්මප්‍රිය ජයසේකර.


පෙර කිසිමදාක හමුව නොතිබූ අප දෙදෙන..අහම්බයකින් මුණ ගැසුනු ඒ සොදුරු මොහත......මතකද ඔබටත්...ඔබේ මුදු මුහුණ...දෑස.. උදේ පිපිච්ච මලක් මෙන් පිණිබරව..ප්‍රබෝධමත්ව තිබූ ඔය සොදුරු උවනත....මගේ හැගුමන් නිදහසේ පිබිදවූ අපූරුව..මගේ සිතුම් සිතුවිලි ඔබ වටා රැදී තිබූ සොදුරු හැගුමන්..අප මුල්වරට හමුවූ ඒ මොහොතේද අපි පමණක් නොවේ පසු කර ආවේ....දහසකුත් එකක් නෙත් මගහැර අපේ නෙතු අපිටද නොදැනී සොදුරු සංවාදයක් ගොඩ නැගූ අපූරුව..ඔය කතා කරනා දෙනෙත් යුග, මගේ මුලු සිතම කියවූ අපූරුව....

ආදරයක් සිතේ ඇතිවන්නේ කෙලෙසද...මම ඔබෙන්ද පැනයක් නගන්නම්..කුමන කරුණු අරභයා යම් අයෙක් කෙරේ සෙනෙහසක් සිත තුල ජනිත වන්නට හැකිද..එය එක් එක් සිතට වෙනස් වනවා නොඅනුමානයි..ඉතින්....... ඒ සොදුරු දෑස හිමි ඔබ කාගේ කවුද ඉන්නෙ කොතැනකද කියා නොම දැනම අපේ සිත් අපිටත් හොරාම සෙනෙහසක පැටලුනා නොවේද..ඒ අප සිත පිලිසිද ගත් සොදුරු හැගුම ආදරයම නොවේද..ඒ අරුමැසි මොහොත මට නම් වසන්තයක්මයි..ගිම්හාන කල නිමා කරමින් හද සන්තානය සිසිල් වැසි බිදු වලින් නැහැවෙන සොදුරු වසත් කාලය එයමැයි..ඒත්..පුංචි දුකක්....ඒ වසන්තය මොහොතක් නොවේද පැවතුනේ..හදවත් එකිනෙක යා කරවමින් අප දෙදෙන වෙන්ව දෙපසකට යන්නට සිදුවූවා මොහොතකින්..කිසිදා නොබිදෙන බැදීමකින් හදවත් බැද ගනිමින්ම...

අප දෙපසකට වෙන්ව ගියද දෙතැනක තනිවුවද ඒ සොදුරු මොහොතේ රැදුනු සෙනෙහෙවත් මතකයන් තවමත් මා මනසේ රගදෙන අයුරු..එවන් සොදුරු මොහොතක් ගෙවන්නට අප යලිත් හමුවිය යුතුම නොවේද..මේ දෙසිත සනසන්නට නම් දෙතැනක නොව..., නැවතත්..නැවත නැවතත්.. අප හමුවිය යුතුම නොවේද...ඉතින්..මගේ ආදරණීයයාණනේ...මා පෙරුමන් පුරන්නේ ඔබ වෙනුවෙන්මයි.මේ ගීතය ඔබ වෙනුවෙන්මයි....මා ගයන්නේ ඔබ වෙනුවෙන්මයි......
ඔබ ඉන්නා තැනක හිද ඔබ වෙනුවෙන් මා ගයනා ගී අසනවා නම් එය මට මහත් සතුටක්..අප දෙසිත් සනසමින් නැවතත් ඔබ මා හමුවේවා....එය අප දෙදෙනාගේම පැතුම නොවන්නේද.....


**යස්..**

යසසි ගුණරත්න


මේ තනි යහනේ නිදි නැති පාලු රාත්‍රියේ


මේ තනි යහනේ නිදි නැති පාලු රාත්‍රියේ
මා සිතුම් දැහැනේ නොනිදන කවුරු හෝ හිදී
පෙරදා පුරුදු සේ නොහඩා හැඩුම් නෙතින්...
මේ තනි යහනේ නිදි නැති පාලු රාත්‍රියේ...

තාරකා දැලින් එහා ඒ අහිමි විජිතයේ
සිසිලසේ ගලා හැලෙන්නේ සුවද ආදරේ
පීදෙනා යොවුන් සිනා මල් සැගවෙනා පැයේ
සුසුමදෝ හඩා වැටෙන්නේ බිදුනු ස්නේහයේ..

නෑසෙනා හඩින් ගැයූ ඒ පෙම් කතා අපේ
මේ සදයි මමයි අසන්නේ තනිව මේ රැයේ
කවුලුවෙන් බලා සිනාසී නිසල වී හදේ...
කවුරුදෝ සෙමින් මැකීයයි කදුලකින් නෙතේ.....

මේ තනියහනේ....

ගායනය:- දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.


ආදර ලොවක සිහින සිත්තම් සිත තුල කැලතෙනා රැයෙක ඈ සිත ඔහු නමින් වැලපෙනා මොහොතකි මේ..ඈ යහන් ගැබ තවමත් ඔහු වෙනුවෙන්ම ඉඩ තබා තිබෙනා තනියහනේ ඈ නිදි නොමැති රැයක් .. කෙලෙසක නම් දෙනෙත් පියා නිදියන්නද, ඇගේ සිතුම් දැහැනේ නොනිදනා යම් අයෙක්.... පෙරදා වගේම පුරුදු වූ ඒ හද හඩනා හැඩුමන් නොහඩා වැලපෙන මතක අතරින් ඇයට කෙලෙස නම් නින්දක සුවය ලබන්නද.....


ඔහුත් සමග දිවි ගෙවන්නට පැතූ ඒ සොදුරු සිහින දැන් සිහිනයක්ම පමණක්ම වෙලා..මේ ලෝකයේදී ඔහු සමග ඇගේ විජිතය ගොඩනගන්නට නොහැකි නිසාම ඒ අහිමි වූ විජිතය තාරකා පෙලටත් එහා තිබෙනා අවකාශයේ තරම්ම දුරින් දුර වෙලා තිබෙන බව ඈට නොරහසක්...ඒ තරු කැට විහිදී විසිරී ඇති අහස් කුසින් මේ පොලොවට ගලාහැලෙනා සිසිලස ඔවුන්ගේ ආදරයේ සුවදද රැගෙනම ගලා හැලෙනා අපූරුව...ඒ ආදරය සිහිපත් වෙලා ඇගේ මුවගට නැගුනු සිනහව කටුක වූ යතාර්තය හමුවේ ඈටත් නොදැනීම ඒ සිනාමල් සැගව යන හුදෙකලා රැයේ...ඔවුන්ගේ බිදුනු සෙනේහයෙන් හදවත පුරා කැලතෙනා වේදනාව කැටිකරගත් සුසුමන් හඩාවැටෙනායුරු ,ඔහුට නොදැනේවිද..නොහැගේවිද...

පෙර ඔහුත් සමගම මෙවන් සද පායා ඇති අපූරු රාත්‍රීන්හිදී කල පෙම්වත් කතා බහ..,ලොවේ කිසිවෙකුටත් නොඇසෙනා සේ සිහින් ස්වරයෙන් හදවත් මුසපත් කලාවූ ඒ ආදරණීය කතාබහ අද මේ මොහොතේ නැවතත් අසන්නට ඔහු ඈ ලග නැති නිසා..,එවන් සොදුරු කතාබහ මේ සදත් ඈත් පමණක්ම ලොවට රහසේ අසාවී..ඒ පෙම්වත් කතාබහ ඇසීමෙන්දෝ සද තවත් කැලුමන් පීදී ප්‍රභාමත් වන්නේ....හද කුටියේ කවුලුව අතරින් නිහඩ බැල්මෙන් බලාහිද සිනා සී සිටි ඒ රුව...,සසල වූ සිත නිසල කරමින් සිනා සී බලා හිදි ඒ රුව..,හදවතේ හැගුමන් වාවාගනු නොහී ඈ නෙත කදුලකින් තෙමා ලන්නේ හද කවුලුවෙන් සිනාසී සිටින රුව සෙමින් මකා දමමින්ම...ඇයට ඔහු රුව මිහිපිටදී නැවත දැකගනු නොහැක්කේද...බිදුනු ආදරයක සංවේදී සැමරුම් හදවත රදවාගෙන ඈ තව තවත් නිදි නොමැති දිගු රාත්‍රීන් ගෙවන්නේද..,ආදරයේ නාමයෙන්ම නොවේද....?එය සැබෑම ආදරයක්ම නොවේද.......???


**යස්...**

යසසි ගුණරත්න

සදරේණූ වෑහෙනා..




සදරේණූ වෑහෙනා මේ සීත රාත්‍රියේ..
ඔබ ඉන්න මාගේ ලගින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්....

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුදු මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිව
ඔබ ඉන්න මාගේ ලගින්.....

තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කදුලු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලගින්.....

සදරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ.....

ගායනය :- ප්‍රින්ස් උදයප්‍රියන්ත.
පද රචනය:- ලලිත් වසන්ත.
සංගීතය:- ජයන්ත දිසානායක.


දවසක අවසානය.... සොදුරු සීතල රැයෙක නෙතු නින්දකට සැරසෙන්නට පෙරාතුව ඔබේ ඉමිහිරි සෙනෙහස් සුවද විදගන්නට ඇත්නම්...,ආදරේ නාමයෙන් අප හදවත් හැදිනගත්තාවූ ඒ මිහිරි මතකයන් රසවින්දනය කරන්නට මේ සද එලිය පිරි සොදුරු සීතල රැයේ ඔබ සිටින්නටම ඕනේ නේද..මා හද ලතවෙනා වේදනාවන් සියල්ලම ඔබේ සෙනෙහසෙන් සමනය කරන්නට මේ සොදුරුම වෙලාවයි..සිතේ පැවතෙනා සියලු වේදනාවන් ඔබේ එක සිනා රැල්ලකින් ගිලිහී යන අයුරු.......කොයිතරම් පුදුමයක්ද...මේ අපේ සෙනෙහස ......

අපේ සෙනෙහස මේ ලොවට වලංගු නොවන සෙනෙහසක්...ඒ නමුත් අපිට ඒ සීමා මායිම් නැති සොදුරු සෙනෙහසක් තිබෙන්නේ...එවන් ලබැදි සෙනෙහසක් නොහදුනනා ලොවක අපේ එක්වීමක් කිසිදිනක සිදුවන්නේ නෑ..එය මා මෙන්ම ඔබත් දන්නවා ඇති.ඒ නමුත් අප හදවත් බැදි ඒ සොදුරු බැදීමෙන් අප එක මොහොතකවටවත් වෙන් උනේ නෑ නේද...ලොවට වලංගු නොවූ සෙනෙහස අප හදවත් වලටම කා වැදී තිබෙනා අපූරුව.... දෙතැනක සිට මේ විදින ලතැවුල් නිවා දමා ඔබ එන්න මා වෙතට...මා හදේ සුසුමන් නිවාලන්නට හැකි ඔබේ සොදුරු සිනහවෙන්ම පමණයි.ඉතින්......එන්න මගේ හද විමනට..,දෙතැනක සිට හෙලනා සුසුමන් විදිනා ලතැවුල් නිවා දමන්නට.....

පෙම් ලොවදී ඔබත් සමග මැවූ සිහින පැතූ පැතුම් අහසටත් උසයි...හදවත් පුරා පැතිරී ඇති පැතුමන් ඉටු කරගන්න හැකිවේවිද...එය නම් බලාපොරොත්තුවක් පමණක්ම නොවේද .ඔබ ගැන මහමෙරක් තරම් බලාපොරොත්තු තබාගෙන සිටින මට ඔබ නිසාම වැලපෙන්න වේවිද..මේ අදුරු ලොව මගේ එකම සදවත මගෙන් උදුරා ගනීවීද....ආදරේ මහමෙරක් තරම් පුදකල ඔබ ගැන සිතූ සිතින් ඔබ ගැනම සිතමින් වැලපෙන්න වේවිද...එය නම් අවිනිශ්චිතයි....

කදුලක් ජීවිතයකට එක් කරන්නට බොහෝ දෙනාට හැකියි..ඒ නමුත් ජීවිතයකින් කදුලක් ඈත් කරන්නට හැකියාව ඇත්තේ බොහෝම සීමිත පිරිසකට පමණයි.ඉතින්....මගේ කදුල සිනහවකට හරවන්නට හැකි ඔබ.., ආදරණීය ඔබ...,මසිතේ සුසුමන් නිවා දමා පෙම් සිලිලාරකින් මසිත සුවපත් කලා වූ දයාබර ඔබ, ඉන්න මගේ දිවිය ඇති තෙක්ම....වෙන්නක් සිදු උනාවේ....ඔබේ ආදරයෙන් මගේ ලොව දිදුලවන්න...එය කරන්නට හැකි ඔබටමයි..ඔව්...ඔබේ සෙනෙහසටමයි...

**යස්...**

යසසි ගුණරත්න






සැරයටියෙන් අපි යනෙන තුරා

••සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු..
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු.....

••ජිවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමුවූයේ
කටුකොහොලින් පිරි කලල් දියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ...

**මින්මතු මං පෙත මලින් සදන්නෙමි
ලතැවුල් සෝගී නෑසෙන සේ..
පමනක් නොව මේ සංසාරේ..
උපදින වුව මතු සංසාරේ.......

••මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම්කරනා කල එලඹෙනදා
කුලුදුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙනදා...

**සංසිදුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුලුදුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ ...
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා..

•*සැරයටියෙන් අපි යනෙන තුරා....//

ගායනය : •• විජය කුමාරණතුංග.
** චන්ද්‍රලේඛා පෙරේරා.

පද රචනය :- සෝමපාල ලීලානන්ද.
සංගීතය :- සරත් දසනායක.

මේ සසර මග....., අපි කොහෙන් කොහොම පටන් ගෙන කොතැනින් කොයි ලෙසකින් අවසාන කරාවිද කියා අපි කිසිවෙක් නොදන්නා කරුණක්..එවන් අරුම සසර මග තුල, මේ භවයේදී මා හදවත සසල කල එකම එක සෙනෙහස නුඹ සතු අසීමාන්තික ආදරයෙන් මුසපත් වුනු, නුඹේත් මගේත් ..මේ දයාබර දෙසිතයි..එය දැන් එකම එක සිතක් බවට පත්වී හමාරයි. ඉතින් මා දයාබර ප්‍රේමවන්තියේ...අපි දෙදෙනා මේ භවයේ සසර පුරුදු ලෙස හමුවී ආදරයෙන් බැදී අවසානයි.මේ බැදීමේ අවසානයක් ඔබටවත් මටවත් දැකගනු බැරිවේවි.අපි සැරයටියෙන් යන කාලය වනතෙක්ම..,එනම්, මහළු අවධිය වන තෙක්ම මේ ආදරයෙන්ම බැදී ඉමු.
ජීවිතයේ නියත දහමක් වූ ... මේ භවයෙන් නික්ම යනදාටත් මගේ එකම ප්‍රාර්ථනාව ඔබත් සමගම මේ භව ගමනද අවසන් කරන්නටයි.මේ ජීවන නැවතුම්පලින් මා නික්මෙන දා...ඔබත් සමගම... අප දෙදෙනාම එකට සමුගනිමු. මා සොදුරියේ ...මා නොමැති ලොව ඔබට මෙන්ම ඔබ නොමැති ලොව මටද ජීවත් වනු නොහැකි නිසාවෙන්ම.....

මගේ ජීවිතයේ මලින් පිරි වසත් කාලයක් නොතිබුනා නොවෙයි.මා ඒ වසත් කල කොයිතරම් සැනසුමෙන් කල් ගෙව්වාද..ඒ නමුත්, ඒ වසත් කල එක්වරම ගිම්හානයක් වූ අයුරු..මොන තරම් වෙනසක්ද ...මලින් සැදී ගිය ජීවන මගේ ඒ මල් පරව, මග වැරදුනු යම් කලෙකයි ඔබ මට හමුවුනේ..එමෙන්ම..,අදුරු වූ කැලතුම් සහිත වූ මඩ ගොහොරුවක කටු කොහොලින් පිරි දුක් සහිත අවාසනාවන්ත තත්වයකට මුහුණ පා සිටි මට, සරණක් වන්නට.. ශක්තියක් වන්නට..කිසිවෙකුත් මා අසල නැති වූ .. ඒ අදුරු යුගයෙහි නුඹ පමණි මා අසල තනියට ශක්තියට සිටියේ ..නුඹ මට හමුවුනේ සියලු සැප සම්පතින් මා පිරිහී ගිය දුක් සහිත කාලයකයි.මා අතැර නොයා මා ලගින්ම උන්නේ නුඹ මට ඇති අසීමිත සෙනෙහස නිසාවෙන්මයි....
මා සුහදානණේ....නුඹේ අදුරු දිවිමග මෙයින් මතුවට අවසානයි..නුඹ සමග මා ගමන් ගන්නා මේ මාවත නැවතත් වාසනාවේ මලින් සරසන්නෙමි.මෙතෙක් නුඹට ඇසුනා වූ සොවින් පසුතැවීමෙන් පිරි ගී ගායනා අදින් අවසානයි.නුඹේ මතු අනාගතය පමණක් නොවේ මේ සසර මග තුල උපදිනා හැම භවයකදිම මා නුඹ වෙනුවෙන්ම උපදින්නෙමි.සසර මග අවසානය තෙක්ම මා නුඹ අතැර නොයන්නෙමි....

මෙයින් මතු උපදිනා ජීවිතයේ මා තරුණ වයසට එලඹෙද්දී පෙම් කරනා කල් එලඹෙන සොදුරු තරුණ වයසේදී, මේ ආත්ම භවයේ ලෙස නොව කුලුදුලේ මා සිතට දැනෙන ආදර හැගුමන් ඔබ ගැනම සිතන්නට කුලුදුලේ ඔබව පමණක් මා හට හමුවේවා..මේ සසර මගතුල මා දුටු එකම නොවෙනස් සෙනේහය සතුවන්නේ ඔබේ දයාබර සිත තුල පමණක්ම නිසාවෙන් .මා සොදුරියේ ...... මේ ජීවිතය නිමාවෙන යම්දාක මා පතනා එකම පැතුම..මතු ආත්මයේදිත් මේ ලෙසම ඔබව මටම මුණ ගැසේවා ....!!

ඔබේ විඩාපත් සිතුවිලි සන්සිදුවනා එකම ශක්තිය මා සතු සෙනෙහසමයි මා පෙම්වත.එවන් අනේකවිධ සිතුවිලි සන්සිදුවමින් ඔබේ සිත එලිය කරන්නෙමි.මේ මාහට පිදූ ඔබේ ස්නේහය කුලුදුල්ම සෙනෙහෙය කියා..මාහට ලැබුනු සෙනෙහෙ සිත මා ලද කුලුදුල්ම සෙනෙහෙ සිත නිසාවෙන්ම....ඔබව මට කොයිතරම් වටිනවාද මාගේ දයාබර ප්‍රියයාණනේ....මේ භවයට පමණක්ම නොවේ, නුඹේ පියවර සොයාගෙන මා නුඹ පසුපසම එන්නේ...මතු සසරටත් මේ සෙනේහය මේ ලෙසම මෙයිටත් වඩා දැඩිව අප දෙසිත් යා කර තබාවී...ඒ සෙනේහයේ එලියෙන් නුඹ යන මග එලිය කරාවි..නුඹ වෙනුවෙන්ම කැපවෙමි.නුඹේ සිතටම පූජා වෙමි.නුඹේ සිතේ හටගත් අනන්තයක් තරම් වූ ආදරය නිසාවෙන්ම......

°°කිසිදාක නිමා නොවන අනන්තයක් වූ ..අපේ ආදරයයි මේ.....°°


¥ යස්.. ¥…

යසසි ගුණරත්න


Saturday, 18 February 2017

මට ආරාධනාවක් කලාදෝ .....

මට ආරාධනාවක් කලාදෝ

ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ..ආදරෙයි ..සැමදා මා..

මල් යාය පීදී මට වාසනාවන්ත
සුවදින් නැවුම් ගී ලියා දී වගේ
පෙර අත් භවේ දී බැදුනා වගේ
ඔබ ආවාද මගේ රැයට අරුණෝද වී

දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
මට පාර පෙන් වු තරු නෙත් ඔබේ
රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නෙ‍හයේ

ගායනය : වරදත්ත අරවින්ද
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : නන්දසේන කටුවාවල



••° ඔබේ ඇස්....කතා කරනා ඔය ලබැදි දෙනුවන්...මගේ සිත ඇතුලාන්තයෙන් කියවූ ඔබේ දයාබර දෙනුවන්..මා සිතට කියවූ ඒ සොදුරු හැගුමන්.....ආරාධනාවක් නොවේද...නුඹ මට කළ..,සොදුරු බැදීමකට කල සොදුරු ඇරයුමක් නොවේද..ඉතින්..ඒ ලෙංගතු ඇරයුම මා පිලිනොගෙන ඉදීවිද.මං ඔබේ ඇරයුම මුලු හිතින්ම පිලිගතිමි....ඔව්..මම ඔබට ආදරෙයි ..මුලු හදවතින්ම..අනන්තයක් තරමටම ආදරෙයි ..හැමදාම. බිතුසිතුවමක් මෙන් එය නොවෙනස්ව රැදේවි අප හදවත් පතුලේම.....

ජීවිත උයන පුරා මල් කැකුළු පීදී මුලු ජීවිතයම සුවදවත් කරන්නේ ඔබේ ආදරයෙනි.මගේ අවාසනාවන්ත දිවිමග එකලු කල දයාබර ඔබේ ආදරය මට සොදුරු ගීයක්මයි.ජීවිත මග, මාවත පෙන්වූ ඔබේ සෙනෙහස සෙත් සදන මිහිරි ගීයක්මයි.හිතන්නේ මේ හමුව අහඹුවක් කියාද...? නෑ කිසිදිනක නෑ...සසර මග තුල අපි අපි වෙනුවෙන්ම මෙලෙස හමුවී ඇති.ඒ හුරුව නිසාම ඔබ මා නැවත මේ ලෙස හමුවූ බව දැනෙනවා නේද ඔබටත් මට වගේම.ජීවිතයේ පැවති අන්ධකාර රාත්‍රිය නිමා කල ඔබයි මගේ සෙනෙහෙවත් අරුණෝදය..ජීවිතයට ජීවයක් එක් කල ඔබයි මගේ අරුණාලෝකය....

දිවිමංතලාවේ අතරමං වූ මගේ සිත යායුතු මග හසර නොදැන උන් කල්හි සිතින් හඩාවැටෙමින් උන් මාහට, යායුතු මග හසර කියාදුන්,යායුතු මං පෙන්වාදුන් ඔබේ දයාබර සෙනෙහස..අදුරින් පිරුණු මග එලිය කර යායුතු මග හෙලිකල ඔබේ තරු නෙත් වලින් මා ලැබූ නව ජීවය...,ඔබ නිසාවෙන්ම පණ ගැහෙන හැටි..ඔබයි මගේ ජීවිතය....ඉතින්...,මා රැකගනිමි ඔබව,මගේ දිවි ඇතිතෙක්ම..ඔබ තරම් නිර්මල ආදරයක් ලොවේ කිසිවෙකුට පුදකල නොහැකි නිසාවෙන්ම..ඔබ මට පුදදෙන සෙනෙහස නොකිලිටි මලක් මෙන් මා රැකගනිමි.ඔබේ ආදරය තිබෙනා තුරුම මා සිත පතුලේම....සදාතනිකව...........


**යස්..**




Sunday, 3 April 2016

ඇහල මල් ‍පිපෙනා

ඇහල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්

වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා
ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී

ඇහල මල් පිපෙනා ..............

බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී
මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්

ඇහල මල් පිපෙනා ..............

ගායනය :- චන්දන ලියනාරච්චි
ගේය පද: නිහාල් ගම්හේවා
සංගීතය: නිහාල් ගම්හේවා

චන්දන ලියනාරච්චි කියල කියන්නේ අනූව දශකයේ ජාතික තරුණ සේවා සභාව මගින් ඔප වැටුනු තාරකාවක්.  චන්දනට අමතරව ෂර්ලි වයිජයන්ත, චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි..ආදීන් ජාතික තරුණ සේවා සභාව මගින් බිහිවුන තවත් ගායක ගායිකාවන් පිරිසකි. චන්දන ලියනාරච්චි නිහඬ ගමනක යන කලාකරුවෙකු ලෙස හැඳින්වූවාට වරදක් නෑ. අනූව දශකයේ ඔහු ගැයූ ගීත කිහිපයක් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ලං වෙනවා. නමුත් ඉන් පසුව පැමිනෙන අලුත් ගීත එතරම් දුරට රසිකයන් අතරට නොයාම මාධයය වල වැරැද්ද්ක්ද නැතිනම් ඒවා ඔහුගේ කලින් ගී තරම් සාර්ථක නොවේද යන්න සලකා බැලීම වටිනවා. ඒ කොහොම වුනත් 'ඇහැල මල් පිපෙනා, සුවඳ තියා, පොල් රුප්පාවේ, සිතින් අදිනවා..' ආදී රසික සිත් අමන්දානන්දයට පත්කල ගීත ගනනාවක් ඔහු ගායනා කොට තිබෙනවා. 

විශාරද නිහාල් ගම්හේවා චන්දන ලියනාරච්චිගේ කැසට් පට වලට ගීත රචනයෙන් සක්‍රීයව දායක වී තිබේ. ඒ අතර 'ඇහැල මල් පිපෙනා සහ පොල් රුප්පාවේ' යන ගීත විශේෂ ස්ථානයක් හිමිකරගනී. චන්දනගේ කැසට් පට වල ගීත හැරෙන්නට, විශාරද නිහාල් ගම්හේවා විසින් කල ගීත රචනා බොහෝය. ප්‍රින්ස් උදයප්‍රියන්තගේ සඳ කුමාරියක් සහ ඔබ පෑ පෙම් සිනා, ලලිත් පොන්නම්පෙරුමගේ ඔබෙ සිනා මල් පිපී, රෝයි පීරිස්ගේ මා දෑසේ වේදනා ඉන් කිහිපයක් පමනකි. 

'ඇහල මල් පිපෙනා' ගීතය ඇතුලත් වන්නේ 'ලියතඹරා මල' ගීත ඇල්බමයට. මේ ගීතය එලිදැක්වුන සමයේ රසිකයන් මේ ගීතයට පෙම් බැන්ඳේ නිරායාසයෙනි. එවකට එෆ් එම් නාලිකා හඳුන්වාදුන් 'මියුසික් චාර්ට්' වල ඉහලම ස්ථානවල නිරතුරුවම රැඳී ඉන්නට මේ ගීතය සමත් වෙනවා. එයට මූලික හේතුව ලෙස මා දකින්නේ ගීතයේ ඇති සරල බස් වහර සහ ආදරබර ඇමතුමයි. තරුණ තරුණියන්ගේ හදවත් වලට කතා කරපු ගීතයක් ලෙස හැඳින්වුවොත් එහි වරදක් නැති බව මා සිතනවා. මෙහි අර්ථය ඉතාම සරල වන අතර ඕනෑම කෙනෙකුට මෙය පහසුවෙන් ග්‍රහනය කර ගැනීමට පිලිවන්. ගී පද බොහෝ දෙනාගේ ලවන් අතර මිමිනෙන්නේ ආයාසයකින් තොරව. ඒ වගේම මෙහි ඇති කතාව බොහෝ පෙම්වතුන්ගේ අත්දැකීමක්ද වන නිසාවෙන් මෙය විඳීමට ඇති හැකියාව වඩාත් තීව්‍ර කරනවා.  

බොහෝ කවීන් සහ ගේය පද රචකයන් ප්‍රෙමය ගැන කතාබහ කරනාවිට සොබාදහම ඈඳාගැනීමට රුචියක් දක්වනවා. ඉතින් මේ සොබාදහම ඈඳාගැනීමට නම් නිරන්තරයෙන් ගම්බද පරිසරයකට යාවීමට සිදුවෙනවා. ගීතය පටන් ගැන්මේම මේ ගම්බද පරිසරය තුලට රසිකයා ඇද ගන්නට සමත් වීම කැපී පෙනෙන්නක්. නිහාල් ගම්හේවා මහතා 'ඇහැල මල්' මේ ගීතය සඳහා යොදාගැනීමෙන් ගම්‍ය වන දේ නම් මේ අදාල පරිසරය වියලි කලාපයට අයත් එකක් වන බව. මොකද ඇහැල මල් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වියලි කලාපයේදී. කහ පැහැයෙන් දිදුලන මේ මල් සාමාන්යයෙන් පෙබරවාරි මාසයේ පිපීම ඇරඹෙන අතර අගෝස්තු මාසය වනවිට ගසට සමුදී ගිලිහෙන්නට පටන් ගනී. ඔබ ඇසල මල් දැක ඇත්නම් එහි සුන්දරත්වය අමුතුවෙන් කියාදියයුතු වන්නේ නෑ. ඒ තරම්ම සුන්දර වටපිටාවක අසිරි මවන්නට මේ මල් සමත් වෙනවා. 

ගම්බද පරිසරයක් මවන අනෙක් කාරනය තමයි 'දෙවට'. ගමක මේ දෙවට කියා අමතන්නේ පලලින් අඩු මාවතකට. ඇත්තෙන්ම එය පාගමන් කරුවන් සහ සයිකල් සඳහා යෝග්යය වූවක්. මේ දෙවැට දිගට බොහෝ වේලාවට ගස් සහ මල් බහුලව පවතිනවා.  එයිනුත් මේ ඇහැල මල් පිපුනු දෙවට සැබවින්ම නෙතට ප්‍රිය උපද්දනවා නොවනු මානයි. ඉතින් ඒ සා සුන්දරත්වයක් සමග මේ දෙවැට ඔස්සේ තරුණියක් පියමනිනවා. ඔබට මැවෙනවාද චිත්ත රූප...මටනම් මැවෙන්නේ චීත්ත ගවුමකින් සැරසුන ගම්බද තරුණියක් ලතාවට නිතඹ සලමින් ගමනේ යෙදෙනා අපූරුව. ඔබ මොහොතකට දෙනෙත් පියා එය මවාගන්න...දෙනෙත් විවර කරන්නට සිත් දෙන එකක් නෑ. 

යොදාගන්නා බස කොතරම් සරල වුවත්, රචකයා උපමා උපමේය යොදාගන්නට අමතක කරන්නේ නෑ. 
'පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා'
ඉතින් මේ දෙවැට දිගේ වෙන කිසිවෙකු යන සේයාවක් නොමැති වීම මේ තරුණයාට තරුණියගේ රූසිරි විඳීමට ඇති ඉඩකඩ වැඩි කරනවා. ඔහු කෙසේද ඇයගේ රූ සපුවේ පහස විඳින්නේ... දුරින් හිඳගෙන...

'ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්'

තරුණයා තරුණියගේ රූ සපුව විඳින අතර ඇයගේ බාහිර ස්වරූපය පිලිබඳව සැලකිලිමත් වෙන ආකාරයක් පෙනී යනවා. ඔහු ඇයගේ ස්වාභාවික ස්වරූපයට ඇලුම් කරන්නේ පියරු උලාගත් වත කිසිම වටිනාකමක් නැති බව පෙන්වමින්. මෙහිදීද රචකයා 'වනේ පිපුන මලක්' ආදී උපමා යොදාගෙන තිබෙනවා. 

'වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා'

වර්ථමාන සංකර සමාජයේ කොතෙකුත් පියරු බබාලා අපට හමුවෙනවාද? මගතොටදී මෙන්ම විවිධ ස්ථාන වලදී. අප ඒ මොහොතේ ඒ රූසිරිය වින්දාට මේ තරුණයා එය ප්‍රතික්ෂේප කරනවා. 
කාන්තාවකගේ මා දකින සුන්දරතම දේ තමයි මේ ඉඟි බිඟි. ඒ මගින් තරුණයන්ව වෙනමම ලොවකට ගෙනයාමට ඔවුන් සමත් වෙනවා. මෙහි කියැවෙන යුවතිය ඔහුගේ නෙතේ ගැටෙමින් ඔමරි බැලුම් හෙලන අතර නැවත ඔහු නෙත් මගහැර මුහුණ බිමට හරවා ගන්නවා. බලන්න කෙතරම් සොඳුරු දසුනක්ද....ඔබ හොඳින් මතක් කර බලන්න. ඔබට මේ දේ සිදුවෙලා ඇති. ඔබ කාන්තාවක් නම් ඔබ නිසැකවම එක් වරක් හෝ මේ ආකාරයට හැසිරිලා ඇති. අනේ...එහෙනම් එහි සුන්දරත්වය මා අමුතුවෙන් ඔබට කියන්නට ඕනේ නැහැනේ... 

ඉතින් මේ තරුණයා මෙසේ බලා සිටින්නේ ඇයගේ ආදරය අපේක්ෂාවෙන්. මේ ඔමරි බැලුම්, කෝල බැලුම් සියල්ලම සමග ඇයගේ මුවේ සිනහවක් මතුවෙනවා. ඒ එක්කම ඒ සිනහව ඔහුගෙන් වසන් කරන්නටදෝ ඇය නෙත් ඔහුගෙන් ඉවතට ගන්නවා. ඇය දෙවැට දිගේ දිගටම ගමන් කරනවා. නවතින්නේ නැති පාටයි...ඒත් වරක් පමන මදක් හැරී ඔහු දෙස නෙත් කොනින් බලා නැවත සිනා මුව නංවාගෙන ඉදිරියටම ඇදී යනවා. මේ ටිකම ඇති නේද මේ තරුණයාට....ඔව් ඔහුගේ සිත ඔහුට කියන්නේ ඇය හිමි ඔහුටම පමනක් බවයි. ඒ බව ඈ කියාපාන්නේ ඉඟියෙන්...මෙකී තරුණයාව සති ගනනාවක් මනෝ ලොව තුල සැරි සරවන්නට මේ බැලුම් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඇයගෙන් බහක් ලැබෙන තුරාවට මේ සුන්දරත්වයේ දැවටෙමින් වැට අද්දර ඇය එන මග බලාගෙන සිටීමට තරුණයා සුදානම්.....

'බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී
මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්'

ප්‍රෙමයේ සොඳුරු බව එයයි. මට මතක් වෙනවා චාමර වීරසිංහගේ ගීතයක කොටසක්. 'දුරින් හිඳ ඔබ දෙස බලන්නම්'. මෙසේ තමා පෙම් කරනා යුවතියගේ රූසිරි විඳිමින් ඇයගේ බහ ලැබෙන්කම් ඉවසා සිටින මේ ආකාරයේ ප්‍රෙමවන්තයන් ප්‍රෙමයට අභිමානයක්. ප්‍රෙමයේ සුන්දර බව විඳගන්නට හැකියාවක් ඔවුනට නිතැතින්ම තිබෙනවා. ඔවුන් අනිවාර්යයෙන්ම තම ප්‍රෙමය දිනාගන්නවා. එය සත්යයක්....සැබවින්ම සත්යයක්...
ඒ ඔබේ කතාව විය හැකියි....

~~තේජන අබේදීර~~




Saturday, 2 April 2016

දොඹ මල් කැලෑවේ

දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
කවියක් වගේ ආදරේ..
අත්වැල් බැඳන් යන්න ලං වී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ..//

රෑ පිනි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහෙ නිමා වේද
දුක් දොරකඩින් හෙටදිනේ

ක‍ටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පෑදුනු සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා..

මුල් ගැයුම : ජයතිලක බණ්ඩාර
ගායනය - ගුණදාස කපුගේ
සංගීතය - ගුණදාස කපුගේ
පද රචනය - වසන්ත බණ්ඩාර දිසානායක

බොහෝ දෙනෙක් නොදන්නා නිසා මම මේ ගීතයේ පසුබිම ගැන කියන්නට සිතුවා. මේ ගීතය මුලින්ම ගායනා කර තිබෙන්නේ ජයතිලක බණ්ඩාරයන්.
ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ගායන කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ඔහු එහි සිතාර් වාදකයාද වුනා. 1984 දී ගුණදාස කපුගේ ශූරීන් විසින් ඇරඹි 'කාලයේ රාවය' සංගීත ප්‍රසංගයට ජයතිලක බණ්ඩාරයන් එකතු වෙනවා. මෙයින් සිදුවන අතුරු ප්‍රතිපලයක් තමයි බණ්ඩාරයන්, කපුගේ සහ දිවුල්ගනේ යන තිදෙනාම වැඩ තහනමකට ලක්වීම. ඒ කෙසේ වෙතත් කපුගේ විසින් සංගීත නිර්මාණය කර ජයතිලක බණ්ඩාරයන් ගැයූ ගීත කිහිපයක් නැවත 'කම්පන' ප්‍රසංගය වෙනුවෙන් ගැයීමට, බණ්ඩාරයන් කපුගේට ආරාධනා කරනවා. ඒ ගීත අතර 'දොඹ මල් කැලෑවේ , සබඳ අපි කදු නොවෙමු, අහස උසට නැග ගියාට වැනි ගීත ඇතුලත් වෙනවා. මේ ගීත සියල්ලේම මුල් ගායනය ජයතිලක බණ්ඩාරයන් සතුයි. නමුත් 'කම්පන' ප්‍රසංගයෙන් පසු මේ ගීත දිගටම ගයන්නේ කපුගේ ශූරීන්.

අනුරාධපුර ගල්ගමුව ප්‍රදේශයේ ඇහැටුවැව ගමෙන් අපට දායාඅද කල දක්ෂ ගේය පද රචකයෙකු වූ වසන්ත බණ්ඩාර දිසානායකයන් තමයි මේ ගීතය රචනා කරන්නේ. මීට අමතරව කපුගේ ශූරීගේ 'දුක හාදු දෙන රැයේ' ගේය පදත් මොහුගේම වනවා. සුපුරුදු ලෙසට ගීතය සංගීතවත් කරන්නේ ගුණදාස කපුගේ විසින්මයි.

දොඹ මල් ඔබ දැක තිබෙනවාද? බොහෝ දෙනෙකුගේ පිළිතුර 'නෑ' යන්න බව නිසැකවම දනිමි. මෙය සුදු පැහැති කුඩා මලක් වන අතර ඔබගේ පහසුව තකා මම එහි ජායාරූපයක් මේ සමග එක්කර ඇත. මේ 'දොඹ මල්' මතක් වන්නේ ගීත කිහිපයක් සමගය. දොඹ මල් කැලෑවේ ගීතයට අමතරව, 'දොඹ මලින් මලට රේණු තලන, පවනට සැලෙනා දොඹ මල් සුවඳින් ගීත ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

මේ ගීත සඳහා දොඹ මල් යොදාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද යන්න සැලකිය බැලිය යුතුයි. මේ මලට බඹරු ඇදෙන්නේ නිතැතින්, අනෙක් අතට මේ මල සුදු පැහැති නිසා මුලු පරිසරයම ආලෝකමත් කරනවා. මේ මල් කිනිති වලින් මැවෙන්නේ පුදුම අලංකාර බවක්. මේ දොඹ මල් අසල ගැවසීගත් බඹරුන් සතුට උහුලාගත් නොහී ගැයුමට සහ වැයුමට පටන් ගනිති. ඒ ගයන කවියකට ආදරය සම කරන්නට පද රචකයා උත්සුක වී තිබෙන අයුරු පැසසිය යුතුයි.  මේ ආදරය හිතේ දවටගෙන හද පතුලේ තවරගෙන සිටින්නාක් කල් මේ ලෝකය සතුටින් තියේවී. මේ සංසාර ගමන ලෙහෙසි පහසු එකක් නොවේ. රලු බොරලු එමටයි. ගිරි ශිඛර, තැනිතලා, බෑවුම් ආදී විශමතාවලින් පරිපූර්ණයි. එවන්වූ මේ සංසාරය පුරාවට එකට ගමන් කිරීමට නම් අප අත්වැල් බැඳගත යුතුයි. ඒ වගේම එකිනෙකාට ලංවී සිටිය යුතුමයි.

'රෑ පිනි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහෙ නිමා වේද
දුක් දොරකඩින් හෙටදිනේ'

ආදරය සමග පරිසරය යා කිරීම බොහෝ රචකයන්ගේ සිරිතක්. ඒ  තරම්ම පරිසරයත් සුන්දරයි, ආදරයත් සුන්දරයි. ඉතින් මෙහිදී රචකයා මුලින් යොදාගත් දොඹ මල් වෙනුවට කේතකී හෙවත් වැටකේ මල් ගෙනහැර පානවා. රාත්‍රියක සීතලත සමග දැවටීගෙන හමනා සුලඟ සමග පිනි බිඳු බිම පතිත වන්නේ වැටකේ මල්වල සුන්දරත්වයත් දෙගුණ තෙගුණ කරමින්. මේ දසුනට සඳ එලියත් එකතු වුනෝතින්...නමුත් මේ මොහොතේදී රචකයා තරමක ඍනාත්මක සිතුවිල්ලක් එක් කරනවා. මේසා සුන්දරවූ සෙනෙහස හෙට දිනයේ නිමාවේද? යනුවෙන්. දුක අපේ ලොවට එකතුවී මේ සෙනෙහසේ නිමාව සනිටුහන් කරාවිද?

'ක‍ටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පෑදුනු සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා'

ආදරයේ සුන්දර බව ගේන රචකයා ඍනාත්මක පැත්තකට අපව ගෙන ගියේ ඇයිද කියා දැන් ඔබට වැටහෙනවා ඇති. මොවුන්ගේ ආදරයට කියම් ගැටළුකාරී සාධක කිහිපයක් පවතින ස්වරූපයක් පෙනී යනවා. ආදරය නමැති මල වෙත එන්නට පෙර මලේ නටුවේ ඇති කටු පසු කරන් යායුතුයි. බලන්න එය ඉදිරිපත් කරන අපූරුව. එහි තිබෙනා අපහසු බව සහ එයින් විඳිනට වෙන පීඩාව ගෙනෙනා අයුරු.. 'ක‍ටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා'.
මේ ගමන පැමිනෙන්නේ ආදරය ජය ගන්නට. ඒ නිසා සිනාවක් මුව ඇඳෙනවා. නමුත් ඒ  සිනාසෙන්නේ ඉරි තැලුනු දෙතොල් සමග.
නිසරු අහස් යන්නෙන් කියාපාන්නේ ආදරයට නිරන්තරයෙන් එල්ලවන බාධා මැද ගෙවන ජීවිතයයි. මේ කටු වැට උඩින් සඳක් පායන්නට හැකිනම් මේ නිසරු අහසට සාරවත් බවක් ගෙන එන්න. එය තමා කටු වලට සීරුනු දෙතොල් වලින් ඉල්ලන ආදරයේ පැතුම....

අකු ඔබට බොහොම ස්තුතියි මට මේ ගීතය ලියන්නට ආරාධනා කලාට. ඔබ මෙන්ම මමද මේ ගීතයට බෙහෙවින් ඇලුම් කරනවා.

~~තේජන අබේදීර~~





Wednesday, 30 March 2016

බොරු කකුල් කාරයෙක් එනවා ....

අමුතු ඇඳුම් ඇඳ හඬවන

රබානකි අතේ
පොළොවෙ ඉඳන් අඩි දහයක්
විතර උස ඇතේ...
ආකාසෙ ඔළුව වදියි
කියල බය හිතේ...
බොරු කකුල් කාරයෙක් එනවා
අන්න අර පුතේ...

උණ බම්බු දෙකක් උඩ
මිනිහා ඉන්නෙ කොහොමද
එයා අපි වාගේ මහ පොළොවේ
පයින් යනවද
මට තේරෙන්නෙ නෑ
තාත්තෙ කියල දෙනවද...
එයා උඩින් යන්නේ ඇයි
පහළින් යන්න බැරුවද...

බොරු අහංකාරකම්
කෙනෙකුගෙ නැතිවුණොත් හිතේ
එයා උඩින් නොවෙයි බිමින්
ගියත් වැරැද්දක් නැතේ
බොරුකකුල් මෙයා වාගෙ
බැඳල නැති නමුත් පුතේ...
ඔය වාගෙ උඩින් යන ඈයෝ
හුඟක් ලොව ඇතේ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සනත් නන්දසිරි
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

ප්‍රේමකීර්ති ද අල්විස් යනු විකටර් රත්නායකයන්ට, ප්‍රියා සූරියසේන මහතාට විශාල ගී ප්‍රමාණයක් ලියාදුන් ගේය පද රචකයෙකි. මීට අමතරව ප්‍රේමකීර්ති විසින් ගීත රාශියක් ලියාදුන්, අපට අමතක වුන ගායකයෙක් ඇත. ඔහු ප්‍රධාන වශයෙන් සිනමා නලුවකු නිසා ඔහුගේ ගායන හැකියාවන් අපට අමතක වූවාදැයි සැකයක් පවතී. ඔහු නමින් ෆ්‍රෙඩී සිල්වාය. ඔහු අද අප අතර නොමැති වුවත් ඔහුගේ විකට ජවනිකාවලින් යුක්ත සිනමා පට නම් අප නරඹා ඇති බව නොරහසකි. ඒ වාගේම ඔහුගේ ගීතත් අසා ඇතිමුත් ඒවා නිතර වාදනය නොවන් නිසාවෙන් අපට මේ ගායකයා අමතක වී ඇති සෙයකි.

කෙසේ වුවත් ෆ්‍රෙඩී සිල්වා වැඩිමනත් ගායනා කොට ඇත්තේ 'උපහාස' ගී බව ඔහුගේ ගී අසා ඇත්තෝ දනිති. ඉතින් ඒ ගී අතුරින් වැඩි ප්‍රමාණයක් රචනාකොට ඇත්තේ ප්‍රේමකීර්තිය. උපහාසය මගින් සමාජයේ අඩුපාඩු සහිත තැන් වලට සියුම් ලෙස පහර ගැසීමට ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට තිබුනේ සහජ දක්ෂතාවයක්. 
මේ ගීතයත් වැටෙන්නේ 'උපහාස' ගී ගනයටමය.

පියෙකු සහ පුතෙකු අතර ඇතිවන සංවාදයක් විලසට ගීතය ආරම්බවී ඇත. පියා තම පුතුට පෙරහැරක ගමන් කරන බොරු කකුල් කාරයෙක් පෙන්වා ඔහු ගැන විස්ථර කියාදෙමින් සිටී. මෙහිදී ප්‍රෙමකීර්තියන් යොදාගන්නා වචන දෙස බලන්න. ඒවා කුඩා ළමයෙකුට ග්‍රහනය කරගත හැකි ඒවා වීමට ඔහු වගබලාගෙන ඇත. ඔබත් පෙරහැරක් නරඹා ඇත්නම්...මා මෙසේ කීවේ ඇත්තටම පෙරහැරක් නරඹා නොමැති පිරිස් ඕනෑ තරම් අද සමාජයේ සිටිනා බැවිනි. බොරු කකුල් කාරයා පෙරහැර නරඹන්නන්ට විනෝදය ගෙනදෙයි. බොරු කකුල් යොදාගෙන නැටුමක් ඉදිරිපත් කරන්නට ඔහු කිසිසේත් මැලි වන්නේ නැත. අනෙක් අතට ඔහුගේ ඇඳුම විකාර රූපී එකකි. සමහර විටක 'ජෝකර්' කෙනෙක් අප සිහියට නැගේ. මෙම ගීතයෙන් කියැවෙන පුද්ගලයා අත රබානක්ද ඇත. ඉතින් මේ නැටුම පෙරහැරක සිරි ඉහල නංවන්නට රුකුලකි.

පියා තම පුතාට බොරු කකුල් කාරයාගේ ස්වභාවය සහ බාහිර ස්වරූපය විස්ථර කරයි. මේ බොරු කකුල් වලට බොහෝවිට යොදාගන්නේ උණ ගස්ය. ඉතින් ඒවා තරමක උසකින් යුක්තය. ඒ උස පිලිබඳව මිම්මක් ලබාදීමට රචකයා පහත පද පේලි යොදාගනී.

'පොළොවෙ ඉඳන් අඩි දහයක්
විතර උස ඇතේ...
ආකාසෙ ඔළුව වදියි
කියල බය හිතේ...'

කුඩා ළමෝ කොහොමටත් කුතුහලයෙන් පිරුණු කොට්ටාසයකි. මේ පියා බොරු කකුල් කාරයාව හඳුන්වා දුන් විට ළමයා ඔහු පිලිබඳව තමාට ඇති ප්‍රශ්න යොමු කරයි. උණ බම්බු දෙකක් උඩ සමතුලිතතාවය පවත්වාගෙන යෑම ළමයාට ගැටලුවකි. මේ ප්‍රශ්නය අසන ළමයා අඩුම තරමේ ගසක අත්තකටවත් නැග ඇති අයෙකු වන්නට ඕනෑ බව මාගේ අදහසයි. ඔහු ලද අත්දැකීම් තුලින් ඔහු ප්‍රශ්න යොමු කරයි. සැබෑ ලොවේදී මේ බොරු කකුල් කාරයාව, ළමයාට දක්නට ලැබී නොමැත. මේ නිසා  'එයා අපි වාගේ මහ පොළොවේ
පයින් යනවද' යන්න ප්‍රශ්න කරයි.
මෙසේ උණ බම්බු දෙකක් උඩ නැග ගමන් කිරීම ළමයාට තේරුම් ගැනීමට නොහැකිය. ඔහු තව දුරටත් අසන්නේ..

'මට තේරෙන්නෙ නෑ
තාත්තෙ කියල දෙනවද...
එයා උඩින් යන්නේ ඇයි
පහළින් යන්න බැරුවද...'

මේ ළමයාගේ ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම මගින් රචකයා උපහාසය මතුකර තිබේ. බලන්න ඔහු එය අපවෙතලබාදෙන අපූරුව....
බොරු අහංකාරකම් කිසියම් අයෙකු තුලනොපවතීද, ඔහු උඩින් යෑම හෝ බිමින් යාම ප්‍රශ්නයක් නොවේ. එනම් අහංකාර දනා නිතැතින්ම උඩින් යන බව මෙහි අර්ථයයි. නැතිනම් සමාජයේ උසස් තැනක සිටිනා බව පෙන්වීමට වෙර දැරීමයි. ඔවුන් අනෙකාගෙන් ගෞරවය බලාපොරොත්තුවේ. 

'බොරුකකුල් මෙයා වාගෙ
බැඳල නැති නමුත් පුතේ...
ඔය වාගෙ උඩින් යන ඈයෝ
හුඟක් ලොව ඇතේ...'

බොරු කකුල් කාරයාගේ කකුල් උන බම්බු වලට තබා බැඳ ඇත. නමුත් මේ පියා පවසන්නේ එසේ නොමැතිවූ දනා විශාල පිරිසක් 'උඩින් යන බවය'
තමා බහුඍත ලෙස හඳුන්වාගෙන තමාට සමාජයේ ඉහල පිලිගැනීමක් ඇති බව පෙන්වන හිස් මිනිසුන් අපමන සිටී. එවන් මිනිසුන් මේ උපහාසයන් හමුවේ පසුබාන බව නම් පැහැදිලිය. 
මේ නිසා ප්‍රේම්ගේ අඩුව අපට අද හුඟක්ම දැනේවි...ඒ වගේම විකට ස්වරූපයකුත් ආරූඩ කරගෙන මෙවැනි අරුත්බර ගීත ගැයීමට ෆ්‍රෙඩී නොමැති අඩුවත් හොඳින්ම දැනේවි. 

~~තේජන අබේදීර~~