Pages

Pages

Sunday 10 January 2016

පොත් හතක් අටක් දැනටත් ලියා දාලා....

සත්තු අපේ ජීවිතෙත් එක්ක බැඳිල ඉන්නේ පුදුම විදියට. මේ අතුරින් බල්ලා සහ පූසා තමයි වැඩිපුරම මිනිසාට
කිට්ටුවෙලා සුරතලය ලබාගන්නේ. ඒ අතුරිනුත් බල්ලා විශේෂයි. මිනිසාගේ සිතුම් පැතුම් හඳුනන අනාදිමත් කාලයක සිට මිනිසා හැර නොගිය එකම සතා තමයි බල්ලා. බල්ලෝ ගැන කතා කරන්න ආසාව කෙතරම් තිබුනත් අද මම කතා කරන්නට යන්නේ පූසාගේ හොඳම යහලුවෙක් ගැන. වෙන කවුද ඉතින් 'මීයා' මිසක්. මට මේක ලියන්න හිතුනේ බුද්දික ජයකොඩි සහෝදරයාගේ 'පහසුවටත් වාසියටත්' කියන පොස්ට් එක දැක්කම.

ඉතින් මේ 'මීයා' ගැන කතා කරද්දී ගැහැණු ළමුන් නම් එතරම් ආශාවක් දක්වන්නේ නෑ. පිරිමි කියා වැඩි වෙනසකුත් නැති තරම්. හැබැයි මේ අහිංසක සත්තුන්ව විද්‍යාගාරවල පරීක්ෂ්ණ සඳහා යොදාගන්නවා. මේ හැරුනු කොට මීයා ගැන ලියැවුනු අපූරු කතා රාශියක් තියෙනවා. මීයා සහ බළලාගේ කතාව ඉන් විශේෂයි. ඔබ කීදෙනෙක් දන්නවද මීයන් විසින් බළලාගේ කරේ සීනුවක් එල්ලන්න ගිය කතාව.

ඉස්සර අපේ තාත්තා ආසම දෙයක් තමයි සති අන්තයේ වේදිකා නාට්‍ය බලන්නට යෑම. තාත්තා මුලින් නම් මට කතා කරත්, පසුව මමම අහල ඉතා කැමැත්තෙන් තමයි යන්නේ. අපි දෙන්නා වේදිකා නට්‍ය බලන්න කොච්චර ආසද කියල කියනවනම්, දවසක් අපි අම්මටත් එක්ක ටිකට් ගත්තා මහරගම තරුණ සේවා එකේ පෙන්නපු 'මකරාක්ෂයා' බලන්න. කොහොම හරි අම්මට එන්න බැරිවුනා. ඉතින් අපි දෙන්නා මොකද කලේ ඒ ටිකට් එකෙන් 3.30 සහ 6.30 දර්ශන වාර දෙකම බැලුවා. ඒ කාලෙ මම පොඩි නිසා මට ටිකට් ගන්න ඕනෑ වුනේ නෑ.

ඉතින් මට කතා කරන්න ඕනෑ වුනේ මේ වේදිකා නාට්‍ය අතුරින් මේ මීයන් ගැන කියැවෙන සෝමරත්න දිසානායකගේ 'මී පුරවැසියෝ' කියන වේදිකා නාට්‍ය ගැන. මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා 'සුමින්ද සිරිසේන' මහතා. මීට අමතරව විල්සන් දිවිතුරුගම, ගාමිනී හෙට්ටිආරච්චි ඇතුලු සම්භාවනීය නලු නිලියන් රැසක් රංගන දායකත්වය ලබා දෙනවා. මෙහි මතුපිට කතාව මීයන්ගේ ජීවන රටාව සහ බළලා නිසා ඔවුනට විඳිනට සිදුවන අකරතැබ්බ පිලිබඳවයි. ඉතින් මොවුන් තීරණය කරනවා බළලාගේ කරේ සීනුවක් බැඳීමට. මේ සීනුව බඳින්නේ කවුද? කොහොමද ඔහුව තෝරා ගන්නේ. මේ පිලිබඳව දැන ගැනීමට නම් ඔබ මේ වේදිකා නට්‍ය නැරඹිය යුතුමයි.

මෙහි එනවා එක්තරා අපූරු ගීතයක්. ගායනා කරන්නේ සුමින්ද සිරිසේන මහතා විසින්. සමහරු නම් මෙය අහලා ඇති, සමහරු නැතිව ඇති. මොකද මෙය ටිකක් පැරණි වේදිකා නාට්‍යයක් වන නිසා. මේක නම් වෙන්නේ 'පොත් හතක් අටක්' යනුවෙන්. නාට්‍යයේ එන පරිදි සුමින්ද සිරිසේනයන් ඔවුන් අතර සිටිනා උගතෙක්. මී පුවත්පතට ලිපි ලිවීම සහ දැනුම සඳහා පොත් ලිවීම තමා ඔහුගේ කාරිය. මේ ගීතයෙන් කියැවෙන්නේ ඔහු සහ ඔහුගේ වැඩ ගැන.

මොහුව මීයන් අතර ඇමතෙන්නේ 'ගත්කතු' යන නාමයෙන්.නමටම ගැලපෙන විදියට ඔහු තම කාලයම වැය කරන්නේ ලියන කියන දේ සඳහා. වැඩි කාලයක් පුස්ථකාලයේ ගතකරන ඔහු දැනට පොත් හතක් අටක් ලියලා ඉවරලු. හැබැයි තවත් ලියන්නත් හිතාගෙන ඉන්නවලු.

මීයන්ගේ ලෝකය කාණු අතර ගතවුනාට එයින් එහා ලෝකයක් ඇති බව පවසන ඔහු ඒ විස්තර මී පුරවැසියන්ට ලබාදෙනවා. ඉතින් ඒ පිලිබඳ ඔහුගේ පොඩි ආඩම්බරයක් නැතුවාම නොවේ. 'ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ'

මොවුන් ජීවත්වන කාණුවල පවා අමුතු දේවල් සිදුවෙන අතර ඒ පිලිබඳ ඔහු පුවත්පත් වලට ලිපි සපයයි. අවාසනාවකට අපේ ලෝකයේ සිදුවන ආකාරයට මේ පුවත් පාලන මණ්ඩලයේ කැපිලි වලට අසුවීමෙන් පසුව තමයි මී පුරවැසියන් අතරට යන්නේ.

මා කලින් පැවසුවාක් මෙන් මතුපිටින් මෙය මීයන්ගේ කතාවක් ලෙස පෙනුනත් මෙමගින් එදා සමාජයට පහර එල්ල කරන්නේ නොදැනීම. මෙහි තවත් ගීතයක් තිබෙනවා 'පායන සඳ වැන්නේ' කියලා. ඒක නැරඹුවොත් ඔබලාට පෙනේවි මේ කතා කරන්නේ අපේ සමාජය ගැන තමයි කියලා.

ඉතින් මගේ අශාව නම් ඉෂ්ට වුනා. මෙතුවක් කාලෙකට මගේ හිතේ හිරවෙලා තිබුනු අදහස් එලියට දාගන්න පුලුවන් කම ලැබුනා. ඔබට එය කෙසේ ගෝචර වෙයිද කියල මා දන්නේ නෑ.

මීයා නගන දුම මීදුම, මීයා කන කිරි මීකිරි, මීයා කන පැනි මී පැනි.... යනුවෙන් මීයා ගැන කතා කරන කාලෙක මෙහෙම වත් මීයන් ගැන කතා කිරීමට ලැබීම මා ලද භාග්‍යයක්!!!!!!


~~තේජන අබේදීර~~


පොත් හතක් අටක් දැනටත් ලියා දාලා
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ

කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා....

ගායනය : සුමින්ද සිරිසේන
නා‍ට්‍ය‍ය‍ : මී පුර වැසියෝ (සෝමරත්න දිසානායක)


                                   


No comments:

Post a Comment