Pages

Pages

Saturday 9 January 2016

මම කඳුළු බිංදුවක්....

'රාජ මාලිගේ පරවියා වගේ' ගීතය ඇහුනා. ඒකෙ ඔහු කියනවා අපුරු කතාවක්. ඉපදුනාට පස්සෙ තාම මං
හඩාලානෑ. හැඬුවත් මට කිසිම දිනක කඳුලු එන්නේ නෑ, කියල. මම බැලුව මේක ගැන ටිකක් කල්පනා කරල. පිරිමි පාර්ශවයේ සමහරුන්ටනම් මේක ටිකක් ඇත්ත වෙන්න පුලුවන්. මොකද ගැහැණුන්ට සාපේක්ෂව පිරිමිනට දරාගැනීමේ හැකියාව වැඩියි කියල කියනවනේ. ගැහැණු ඉතින් අඬාගත්තු ගමම්මනේ. ඒවා කොහොම වුනත් මේ 'කඳුලු' මතක් වෙනකොට සිහියට නැගෙනවා අරුත්බර ගීතයක්. මොකද්ද ඒ දන්නවද? නිකමට හරි ඔබට හිතුනද? ඔබහිතුවා හරි නම් ඔබත් ඉතා සංවේදී මනැසකින් යුතුව මේ ගීතය අහල තියෙනවාට සැකයක් නෑ. 'මම කඳුලු බිංදුවක් සීතලට දැනෙන සිත රිදවන කඳුලු බිංදුවක්'

රාජමාලිගේ අමතක කලොත්, ඇත්තටම ඔබත් හඬා ඇති. මමත් හඬා තිබනවා. කඳුලක අර්ථය ඔබට දැනිලා තියෙනවද? සමහර වෙලාවට ඔබ ඇත්තටම හැඬුවේ ඇයිද කියා කවුරුන්හෝ ප්‍රශ්නයක් ඇසුවොත්... අප නිරුත්තර වෙන වෙලාවන් බොහොමයි. මොකද කාටවත් කියාගන්න බැරිම දේකට වෙන්න පුලුවන් අපේ හැඬීම. කොහොම වුනත් භාවවිෂයක කඳුලු යනුවෙන් වර්ගීකරණයකට ලක්වෙච්ච් කඳුලු විශේෂයක් තිබෙනවා. එය ඇතිවන්නේ දුක, සතුට ආදී අපේ හැඟීම් නිසාවෙන්. ඉතින් මේ ගීතයේ කියැවෙන්නේ මෙන්න මේ 'භාවවිෂයක කඳුලු' ගැන. 

බොහෝ වෙලාවට අපි හඬන්නේ දුකක් ඇති වුනාම. එතකොට කඳුලු කැට සීතලට නෙත් කෙමි තුලින් පිටවන්නේ අපටත් නොදැනීම. ඉතින් බලන්න මේ ගීතය පුරාවට කඳුලු සමුවන අවස්ථා කෙතරම් අපූර්වට පෙල ගස්වා තිබෙනවාද කියා. 

'දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැලුන'
මට එකපාරටම මතක් වුනේ 'ඉපදුනදා මා හඬා වැටෙන්නැති. අම්මේ ඔබ හිනැහෙන්න ඇති' කියන ගීතය. මේ අනුව දරු ස්නේහය මව පෙන්වන්නේ සිනහවෙන්. නමුත් බොහෝ අවස්ථාවල අම්මා තම දරු සෙනෙහස වෙනුවෙන් හඬා වැටෙනවා. ඒ අතර සතුටු කඳුලු මෙන්ම දුකට ඇතිවන කඳුලුද අඩුවක් නෑ. 

'ප්‍රිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන'
කඳුලු නොසලපු විරහිනියක් නැති තරම්. 

'ඒ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද'
ඇත්ත නේද? ඔය කියනා අවස්ථාවල හැලූ කඳුලු වෙන වෙනම අරන් තැබුවොත් අපිට කියන්නට පුලුවන්ද මේ කඳුලු මේකට කියලා. රත්න ශ්‍රී කෙතරම් දුරට හිතල තියනවාද මේ කඳුලු ගැන. 

'රළු පරළු කුරිරු හදක් වෙඬෙරු වී වැගිරෙන
ගිනි ගැනුනු පෑල මල් දෙකොපුල රෑරා එන'
ඔන්න බලන්න ඉතින් කඳුලේ විවිධත්වය. මෙහිදී විශේෂයෙන්ම කියන්නට ඕනෙ රත්නශ්‍රී මහතා බස හසුරවන විලාශය ගැන.  මේ පද පෙල ගීතය අමතක කර කියවා බලන්න. කෙතරම් රසයක් තිබෙනවාද කියල. 

ඉතින් අවසානයේදී මේ කඳුලු බිංදුව අහනවා 'මට එකතු වෙන්න ඔබේ ඇසෙත් කඳුළු තියෙනවද?' කියලා. 

මොකද නැත්තේ නේද? මට මතකයි කව්දෝ මෙහෙම කියනවා...

'මුතු කුමාරී නොවේ මා, මුතු නොවේ හැඬූවෙ කඳුලුයි. මුතු මාල තනා පලදින්නට ඔබට ඕනෑ නම් කඳුලු ඔබට තවත් හඬන්නම්........


මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන
කඳුළු බිංදුවක්.......
මම කඳුළු බිංදුවක්.........

දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැලුන
ප්‍රිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුන..........
ඒ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද.........

මම කඳුළු........

රළු පරළු කුරිරු හදක් වෙඬෙරු වී වැගිරෙන
ගිනි ගැනුනු පෑල මල් දෙකොපුල රෑරා එන.....
මට එකතු වෙන්න ඔබේ ඇසෙත් කඳුළු තියෙනවද.

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

~~තේජන අබේදීර~~


No comments:

Post a Comment