Saturday, 14 November 2015

බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ.....



බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ.....


බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර සුවාමිනි

දුක හිතිලද සිරගෙට වැඩියේ මාගේ මරණ දිනේ

මගේ අම්මාවත් දොරටුව අද්දර සිටියද කියනු මැනේ

මා ගෙළලු බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ


අනේ සුවාමිනි මා ගෙළ ලන්නට ඉඩ නම් දෙන්න එපා

ගෙළ වැලලුවොත් මගේ මලකද අම්මට පෙන්නන්න එපා

ඇතිදා ළග හුන් මිතුරන් මතු සසරේදී හමුවන්න එපා

නැතිදා ළග හුන් බුදු අම්මේ ඔබ දුක් ගිණි ගන්න එපා


නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනක සමා

මරණයේ දොරකඩ සිට ඔබේ පායුග සිබ සමුගනිමි මෙමා

කෙළිලොල් කම් තියු මා සතු දිවිමග දැන් දැන් වේවී නිමා

මරණ බයක් නැ අම්මා සිහි වෙයි ....

බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර සුවාමිනි

දුක හිතිලයි මා සිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ

දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුබ මගේ පුතුය අනේ

මතු උපදින දා මගේම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ...


අපි හැමෝම සනත් නන්දසිරි මහත්තයව දන්නෙ ගායකයෙක් විදියට. එහෙම නැත්නම් සංගීත අධ්‍යක්ශකයෙක්, තනු නිර්මාණකරුවෙක් විදියට. මේ එතුම අතින් ලියවෙච්ච පදමාලාවක්.. සංගීතය ගැන ඉතින් වෙනම කියන්න දෙයක් නෑ නෙ. මල්කාන්ති නන්දසිරි මහත්මිය යුග ගායනයෙන් දායක වෙනවා..


ගීතය අසන වීට ඇසට කදුලක් එක් කරනු නොඅනුමානයි... මරණයට නියම වූ සිර කරුවෙකුගේ ශෝකය මෙයින් විදහා දැක්වේ.. මරන් දන්ඩනයට නියම වූ සිර කරුවා පෝරකයට රැගෙන යන විට හාමුදුරු නමක් දකිනවා... බොහෝ විට බණ කීමට හාමුදුරුවන් සිර මැදිරි වලට වැඩීම සිදුවෙනවා.. සමහර පෝය දිනයන් වලදි ඔබ දැක ඇති....


මරන දණ්ඩනයට නියම වූ සිරකරුගේ හැගීම් ඉතාමත් සංයමයකින් මේ ගීතයේ රචනා කර තිබීම මේ ගීතයේ සාර්ථක බව කියා පානවා...


"අද මාව එල්ලලා මරනවා අපේ හාමුදුරුවනේ"


හිරගෙට වැඩි පන්සලේ හාමුදුරුවෝ ඉස්සරහා ඔහු වැඳ වැටෙනවා..


"මට මැරෙන්න බය නැහැ හාමුදුරුවනේ.. මම කරපු පව් මම විඳවන්න ඕනේ..මට තියෙන කාලේ හිටපු, මාව නොමගට යවපු එකෙක්වත් මට අද නැහැ.. මම කවදාවත් හැරිලා නොබලපු පන්සලේ හාමුදුරුවෝ, මගේ අන්තිම දවසේ මගේ හිත හදන්න හිර ගෙටම වැඩලා ..


ඔබ වහන්සේගෙන් එක ඉල්ලීමක් මම කරනවා..


මාව මැරුණට පස්සේ මගේ මළ කඳ අම්මට පෙන්නන්න එපා කියලා මම අවසන් ඉල්ලීමක් කල බව ඔවුන්ට කියන්න..

මුළු ලෝකෙටම මම අපරාධකරුවෙක් වුනත් මගේ අම්මට මම තාම එයාගේ පොඩි පුතා..මගේ මරණය එයාට දරා ගන්න බැරි වෙයි අපේ හාමුදුරුවනේ.."


ඔහුට කියන්න යන දේ..සම්පුර්ණ කරන්න ලැබෙන්නේ නැහැ.. ගීතය තුලම ඔහුගේ අවසානය සංකේතවත් වන්නේ එලෙසිනි..


පන්සලේ හාමුදුරුවන් හිරගෙයින් නික්මෙන විටම ඔහුගේ අම්මත් එනවා..


පෙර දින නැළවිලි ගී ගැයූ ඇය, හද පාරන වේදනාත්මක ස්වරයකින් සහ මාතෘත්වයේ අති උත්තම දාරක සෙනෙහසින් අද මෙසේ ගයනවා..


"මතු උපදින දා මගේම පුතු වෙයන්, හොඳ මිනිසෙකු ලෙසිනේ...!





~~‎මනෝජ් අසංක~~



Tuesday, 10 November 2015

හෙමින් සැරේ පියා විදා...

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

ගායනය : ටී.එම්.ජයරත්න සමඟින් සුනිලා අබේසේකර
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : ධර්මසේන පතිරාජ


1980 දී  තිරගතවූ හංස විලක් චිත්‍රපටය සඳහා ටී.එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර ගායනාකල ගීතයකි. මෙහි ගේය පද රචනය ධර්මසේන පතිරාජයන් සහ සංගීත අධ්‍යක්ෂනය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගෙනි. 
ඔබ හංස විලක් නැරඹුවානම් දන්නවා ඇති මේ ගීය චිත්‍රපටයට කෙතරම් සමීපද යන වග. චිත්‍රපටයේ කිහිප අවස්ථාවකදීම මෙම ගීතය අපට ඇසෙන්නට ලැබේ. එහිදි මා සිත්ගත් හොඳම අවස්ථාව වනුයේ උසාවියේ නඩු තීන්දුව ලබාදෙන අවස්ථාවයි. අප සැවොම නඩු තීන්දුව දෙස අවධානයෙන් බලාසිටියද එහිදී මෙම ගීතය වාදනයවේ.  ධර්මසිරි බණ්ඩාරනයකයන්ගේ ප්‍රතිබාව මැනැවින් පිලිබිඹුවන් අවස්ථාවකි ඒ. හංස විලක් හි ප්‍රධාන චරිත් නිරූපනය කරන්නේ ධර්මසිරි බණ්ඩාරනයක, ස්වර්ණා මල්ලවආරච්චි, හෙන්රි ජයසේන සහ වසන්ති චතුරාණියි. 

මෙහිදී අති උත්කෘෂ්ට රංගනයක යෙදෙන ස්වර්ණා මල්ලවආරච්චි 1981 දී ඒ සඳහා ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලබනවා. ඇයගේ ප්‍රතිභාපූර්ණ රංගනයක් මීලඟට මා දකින්නේ 'සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා' තුලින්. මා සිනමා ශාලාවක් තුල මෙය දකින්නේ ඉතාම කුඩා කාලයෙදී. මාගේ මව සහ පියාට පින්සිදුවන්නට මේ සිනමා කෘතිය නරඹන්නට මම වාසනාව ලබනවා. එහි දර්ශණ අදටත් මා මතකයේ රැඳී තිබෙන්නේ ස්වර්ණා මල්ලවආරච්චිගේ අපූර්ව රංගනය නිසයි.

මෙහි ගීත ගායනය දෙස බැලුවොත් ටී.එම්. ජයරත්නයන් හා සුනිලා අබේසේකර විසින් ගීතයට උපරිම සාධාරණයක් ඉටුකොට තියනව. ටී. එම් අප බොහෝ දෙනෙකුට සමීප ගායකයෙක් වන නිසා  ඔහු ගැන අටුවා ටීකා නැතිව සුනිලා කෙරෙහි යොමුවෙමු. මැයගේ ගායන කෞශල්‍යය 'උදුම්බරා'  නැතහොත් හඳුනා  ගත්තොත් ඔබ මා ගීතයෙනුත් මනාවට පිලිබිඹු වෙනව. මැය සංගීතවේදී කේමදාසයන්ගේ කල්ලියේ ගායිකාවක් ලෙස කටයුතු කලාය. මීට අමතරව වාමාංශික දේශපාලනයටද දායකවූ තැනැත්තියක් ලෙස ඇයව හැඳින්වීමට පුලුවන. අද දවස අප අතර නැතත් ඇයගේ  හඬ කිසිදිනෙක අමතකකිරීමට නුපුලුවන.

ධර්මසේන පතිරාජයන් අප බොහෝ විට දකින්නේ සිනමා අධක්ෂකයෙකු හැටියට. 'හංස විලක්' තුලදී ඔහු මෙම  ගීතය රචනාව අපට දායාද කරනවා. මෙය  ඉතාම විශිෂ්ට ගනයේ සැලකෙන පද පෙලක් වනවා මෙන්ම සිනමා පටය හා මනාව ගැලපෙනවා. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත අධ්‍යක්ෂණය ගැන අමුතුවෙන් කිවයුතු නෑ. ගීතයේ අරුත ඉස්මතු කිරීමට ඔහුගේ සංගීතයේ  දායකත්වය අති මහත්. බඹරු ඇවිත් චිත්‍රපටිය ඇතුලු චිත්‍රපටි ගනනාවක් සඳහා සම්මානයෙන් පාත්‍රවන මොහුට හංස විලක් සඳහා සම්මානයක් නොලැබීම මටනම් දැනෙන්නේ ඉතා අඩුවක් ලෙසටයි. බඹරු ඇවිත් හි 'උදුම්බරා' ගීතය මෙන්ම 'හිමින් සැරේ පියා විදා' ගීතය ඉහල තලයක තියනවා පමනක් නොව සුවහසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත්කල ගීතයක්.

ඉතින් අපි ගීතයේ පසුබිමෙන් ගීතයේ අරුත කරා යනවිට එය හොඳින් වටහාගැනීමට නම් චිත්‍රපටය නරඹා සිටීම වඩාත් යෝග්‍යයි. ඇත්තෙන්ම මෙයින් කියැවෙන්නේ විවාහක යුවල් දෙකක් අතර පිරිමියා සහ ගැහැණිය අතර ඇතිවන අනියම් සම්බන්ධයක්.
බොහොම සීරුවට මොවුන් දෙදෙනාගේ හැඟුම් උද්දිපනය වන ආකාරය රචකයා පවසන අයුරු පැසසිය යුතුයි. 'සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්..පලා ඇවිත් සිතුම් සියොතුන්'
සියොතුන් සීරුවට පියාසැලීම  ඔවුන්ගේ හැඟුම් අවදිවන ආකාරය දැක්වීමට භාවිතා කර ඇත.

පිරිමියා ස්ත්‍රිය දෙස බලන ආකාරය රචකයා මැනැවින් පදගන්වා ඇත. මලක් නිතැතින්ම සුන්දරය. නමුත් පිරිමියා එය දකින්නේ හා පතන්නේ ඉතාම ලස්සන හිත් බැඳගන්නා මලක් ලෙසටය. විලකට උපමා කරන ස්ත්‍රිය එහිදීද ඉතා පිරිසිදු වූත් දියෙන් යුක්ත වීමට පතයි. ඇත්තෙනම් මේ පද කිහිපයෙන් කියවෙන්නේ පිරිමියාට ඇයව කෙතරම් සුන්දර ලෙස පෙනෙනවාද යන්නය. සමහරවිට මෙය තහනම් පෙමක් නිසා සුන්දරත්වය තවත් වැඩිපුර ඔහුට දැනෙනවා ඇත. මන්දයත් සමාජයේ බොහෝ දෙනෙක් ලැබෙන හෝ ලැබී ඇති දෙයට වඩා නොලැබෙන දෙයට ලොබ බඳින බැවිනි.

දෙදෙනා රාගයෙන් මත්වී ඔවුනට අවශ්‍ය කම් සැප ලබාගැනීම රචකයා දකින්නේ 'සිහින නිම්නය සුපුෂ්පිත වෙයි' යනුවෙනි. සිරි යහනේ පවුරු බිඳදැමීමක් ගැන රචකයා සඳහන් කරයි. සාමාන්‍යයෙන් සිරි යහනෙදී අඹු සැමියන් එකිනෙකා හා එක්වේ. පවුරු බිඳදැමීම ලෙස දක්වන්නේ මේ අසම්මතයේ එකතුවීමයි. සැබෑ ජීවිතයේ ඇති සියලු බැමි  බිඳදා අසම්මත ප්‍රේමයට මග පෙහෙලි කිරීම හා එය ඉදිරියට ගෙනයාම මෙයින් දක්නට ලැබේ.

මෙහිදී පැවසිය යුතු තවත් දෙයක් ඇත. මේ සිනමා පටය තුල ගෙනහැරපාන අසම්මත ප්‍රේමය සැබෑ ජීවිතයටද ගෙන ගිය බවක් දිස්වේ. එය පසක් වන්නේ සම්මාන උලෙලකදී ස්වර්ණා මල්ලවආරච්චි පවසන ප්‍රකාශයක් අනුවය. ඇගේ ජීවිතේ ලැබුණ හොඳම සම්මාන තුන ලැබුණේ ධර්මසිරිගෙන් කියලා .මුලම සම්මානය හංස විලක් , දෙවනුව බව දුක හා බව කර්ම. ඇයගේ ජීවිතේට ඔහුගෙන් ලැබුණ හොඳම සහ වටිනාම සම්මානය ඇගේ දියණිය ලෙසයි ඇය සලකන්නෙ.

ඒ කෙසේ වෙතත් පුද්ගලයන් කිහිප දෙනෙක් අතින් හැඩවැඩ වුනු ලාංකික ගීත ඉතිහාසයේ  නොමැකෙන සටහනක් තැබූ ගීතයක් ලෙසට මෙම ගීතය අප අතරට එකතු වෙනවා.

~~තේජන අබේදීර~~




Sunday, 8 November 2015

සඳ පහන් රැයේ...

සඳ පහන් රැයේ මේ..........
සඳ පහන් රැයේ
උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්‍රිය උනා නම්
මුව උඩින් පාත්වී හිඳී
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ළඟ ළඟම මා එතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනා නම්

ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ළං වෙලා හිදීමී
උරහිසේ හිස හොවා හඩන විට
හාදු වැස්සක් වෙලා වැටේ
සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ

සදාකල් ළඟින් හිඳින්නම්
මං නුඹව මලක් සේ රකින්නම්
අනේ මං මලක් සේ රැදෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ළං වෙලා හිදීමී
හාදු වැස්සක් වෙලා වැටේ

ඉන්දිකා උපමාලිගේ සඳ පහන් රැයේ.. ගීතය ආරම්භයේ පටන් අවසානය දක්වාම, අසන්නාව හීන නිද්‍රාවක ගිල්වන ගීතයක්..

මේ ගීතය අහන්න පටන් ගත්ත හැමදාකම වගේ, ගීතයේ මුල් පදය පටන් ගන්න මොහොතේ ඉඳන්, අවසානය දක්වාම, කිසිදා නුදුටු, හැඩරුවක් නොදන්නා සංකල්පමය කාන්තාවකට මම ආදරය කරන්න පටන් ගන්නවා.. ඇය ලස්සන ද අවලස්සන ද, ඒ කිසි දෙයක් ගැන කිසිම හැගීමක් නැහැ, නමුත්, යශෝධරා චරිතයක ආත්මීය හැඩ රුව ඒ හිතේ මැවුන "කාන්තාවගේ" හැංගිලා තියෙනවා. "අනේ, මම රාත්‍රිය වුනා නම්", මටත් හිතෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. ඒ, සිද්ධාර්ථ වගේ රෑ අඳුරේම හැංගිලා යන්න නෙවේ, ඒ හීන නිද්‍රාවේ තව තවත් මත් වෙන්න.. සමහර වෙලාවට සින්දුව රිපීට් දාගෙන, දුම්රියේ යන පැය දෙකක ගමනක් වුනත් ඇස් පියාගෙන ඉන්නේ මම ඒ නිසා වෙන්න ඇති.

මුව උඩින් පාත්වී හිඳී
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ගීතය ඉවරවෙලා සංගීතය අවසන් වෙද්දී, දිගම දිග හීනයක හිතාගන්න බැරි දුරක් ගිය හැගීමක මම අතරමං වෙලා යනවා.. "සඳ පහන් රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන ඇවිල්ලා, සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ.." ඔව්, අව්‍යාජ පද පෙලකින් හැඩවුන, කදිම සංගීත මුසුවකින් තැනුන පෙම් සිහිනයක්..

~~බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න~~


Saturday, 7 November 2015

වන්නි වනපෙතේ ගම් දනවු පුරා....

ඔන්න මාත් පළමු වතාවට ගීතයකට පොඩි විචාරයක් ලියන්න හිතුවා. ඇත්තටම මං ඒකට දක්ෂ නෑ. ඒත් මේ
ගීතය ඉස්සර ඉදන් මං ගොඩක් ආස කරපු අර්ථවත් ගීතයක් හින්දා මට පුළුවන් විදියට පොඩියට හරි දෙයක් ඒක ගැන ලියන්න හිතුණා. අඩු පාඩු ඇතොත් පෙන්වා දෙන්න.


සමාජය සීඝ්රීයෙන් නවීකරණය පසුපස හඹා යයි. ජීවත් වීම දුෂ්කරය. ඉන්ට හිටින්නට බිම් අගලක් සොයා ගන්නවා යනු ද ඉතා දුෂ්කර සටනක් බවට පත් වෙමින් පවතී. හැම කෙනෙක්ම වාගේ දිවා රෑ නොබලා නොකා නොබී මුදල් උපයන්නට වෙහෙසෙති. බැංකු පොත් පුරා මුදල් පුරවන්නට ඔවුන් තමන්ගේද තම පවුලේ අයගේ ද සතුට උගසට තබති. එසේ කර ඔවුන් නගරයේ කොනක දුක සේ තැනූ නිවසකට වී බියෙන් සැකෙන් තම ජීවිතය ගෙවා දමති. ඒ අතරතුර අපේ ගම් වල වෙසෙන අපේ අප්පච්චීලා.......

වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...

ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...

කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

ගායනය - සුනිල් එදිරිසිංහ මහතා
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ

ඉස්සර අපේ ගම්වල ජීවත් වූ අපේ අප්පච්චීලා තම දිවි පෙවෙත බොහෝ සරලව ගෙවා දමති. ඔවුනට තම ජීවිතය බරක් වූයේ නැත. බියෙන් සැකෙන් ලෝබකමින් තම ධනය රැස්කර තබන්නට ඔවුනට අවැසි වූයේ නැත. නිදහසේ දාන මාන ආදියත් කරමින් පරලොව කරා ධනය රැස්කරමින් සතුටින් ජීවත් වන්නට ඔවුන් සමත් විය.

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා
ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...

තමන් දුක් මහන්සියෙන් හරි හම්බු කරගත් ගොවිතැන් බතින් මුලු ගමගට වුව ද කන්නට දෙන්න තරම් අපේ අප්පච්චීලා පොහොසත් ය. නිතර තමන්ගේ කුටියට පැමිණෙන කවර ගම් වැසියෙකුට වුව ද බත් මිටක් කන්නට දෙන්නට තරම් ඔවුන් නිරහංකාර මෙන්ම නිර්ලෝභී වූවෝ ය. බැංකු පොත් පුරා මුදල් උපයනවා වෙනුවට ඔවුන් මිනිසුන් උපයති. එවන් පියවරුන් වෙතින් ජාතක වන්නට පින් ඇතත් ඔවුන්ගේ බොහෝ දූ පුතුන් නගරයෙහි සේවයට ගොස් බොහෝ හිරිහැර දුක් ගැහැට විදිමින් මුදල් උපයන්නට වෙහෙසෙති...

කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

පරම්පරාවෙන් තමන් හට ලැබුණු දේ බොහො වුණත් ඉන් සෑහීමට පත් නොවන වර්තමාන ජනයා, නගරයට වී අනුන් යටතේ සේවය කරමින් බොහෝ සේ වෙහෙසී දුක් විද, මාසයක් අවසානයේ සොච්චම් මුදලක් අතට ගනී. තම අඹු දරුවන් හා සමග ජීවිතය ගැටගසා ගැනීමට එය ප්‍රමාණවත් නොවේ. අනුන්ට දන් දෙනවා තියා තමන්ගේ එදිනෙදා ජීවිතයටවත් ප්රයමාණවත් නොවන මුදල්, කොයි වෙලේ කවුරුන් විසින් පැහැර ගන්නේ දැයි නිතරම ඔවුන් බියෙන් ජීවත් වෙති... පුහු ආටෝපය විනා නිවසට පැමිණෙන නෑ හිතමිතුරකුට සංග්‍රහ කිරීමට තරම්වත් ඔවුන් නිර්ලෝභී නොවෙති.... ඔවුන් සැබැවින්ම අසරණය.......


~~රුවිනි අපේක්ෂා~~



Friday, 6 November 2015

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි...

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරිඒ පෙති එක් කර මලක් සොයන බොලදී.......

විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී..
වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..
බමරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..
පද: බන්දුල නානායක්කාරවසම්
තනු: රෝහණ වීරසිංහ
හඬ: අතුල අධිකාරි

ඇසූ පමණින් ආදර විරහව ගැන කියවෙන ගීතයක් වුනත් මේක එහෙම එකක් නෙවේ.....අනූව දශකය මුල් භාගයේ මුලින්ම ඇසුණු මේ ගීතය යට සැඟවිලා තියෙන්නේ ඛේදාන්තයක්... අයිය කෙනෙක් සහ ඔහුගේ නැගණිය....මේ දෙන්න සල්ලි බාගේ තියෙන අය නෙවේ...දුප්පත් මිනිස්සු....මේ අහිංසක නංගිව සල්ලිකාර වගේම සෙල්ලක්කාර තරුණයෙකුගේ බහට රැවටිලා ඔහු අතින් කෙළෙසිලා....දැන් ඔහුව හොයාගන්නවත් තැනක් නෑ....තමන්ගේ අහිංසක නංගිට යතාර්ථය තේරුම් කර දීමට උත්සහ කරයි......මම මේ නංගිගේ මේ අයියා වුනානම් මම නංගිට මේ යතාර්ථය තේරුම කරල දෙන්නෙ මෙහෙමයි කියන එකයි මේ ගීතයෙන් කියවෙන්නේ......
අහිංසක බොළඳ නැගණිය.....කෙලෙසුණු ඇගේ ජීවිතය නැවත නිකැළැල් කරන්නට නිෂ්පල උත්සාහයක යෙදෙයි.....
සල්ලිකාර පිරිමි අහිංසක දුප්පත් ගෑණු ළමයින්ගේ පහස අරගන්න විතරක් ඔවුන් වෙත ඇවිල්ල යනවා....එයින් පසු ඒ අයව කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.....ඔවුන් අසරණ වෙලා තනි වෙනවා...
ඉහළින් වැජඹෙන සල්ලිකාර සමාජයේ ඒ අය අතරමං වෙනවා..
බොහෝවිට කාන්තාව පසුපස පිරිමින් යයි....එය සාධාරණීකරණය කිරීමට ඇගේ එක බැල්මක් වුවද ප්‍රමාණවත් ය....අවසානයේ හංවඩු ගැසෙන්නේ ඇය සංකර ගැහැණියක කියා ය....පිරිමියා සමාජය විසින් නිදොස් කොට නිදහස් කෙරේ...
තිත්ත ඇත්ත මෙයයි.....මේ යතාර්ථයයි ....






~~මනොජ් අසංක~~


බිම වැටුනු කිරි දතට හඬන මගෙ ළපටි හිත....




බිම වැටුනු කිරි දතට හඬන මගෙ ළපටි හිත
අඹ ගහේ ලේනෙකුට දුන්නා..
අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනත් දුන්නා...
මැටි ගෙදර අපේ කිරි අම්මා...

රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තිබෙන සිටුවරුන් සිටු ගෙදර උන්නා..
මා නමින් ගෙයි ඉදෙන කැවුම් අහුරෙන් එකක්
හඬන කෝඳුරුවන්ට දුන්නා..
මැටි ගෙදර අපේ කිරි අම්මා..

මැටි ගෙදර තිබුනු තැන ගමක කුස ගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්නා ..
වෙබ් අඩවියේ තැනක හමු වුනොත් පවසන්න..
මැටි ගෙදර අපේ කිරි අම්මා...
මැටි ගෙදර අපේ කිරි අම්මා...

(දිවුල්ගනේට ගයන්න සංගීතය මුහු කළේ ප්‍රසාද් සිරිවර්ධන)


මේ තරම් සියුමැළිද කලු ගල් ගීත රචනය හරහා කරළියට ආව රජී වසන්ත වෙල්ගම..සොඳුරු ගීත රචකයාගෙ "මැටි ගෙදර අපේ කිරි අම්මා"
ගීතය තමයි ඔය තියෙන්නෙ..ආයෙත්මං මොනවට කියනවද...රජීගෙ වචන ටික නම් පංකාදුයි..මම දන්නෙ නෑ ඔබටත් මැටි ගෙදර අපේ කිරි අම්මාකෙනෙක් හිටියද කියල..ඒ කොහොම වුනත් මේ ගීතය රස විඳින්න...රජීගෙඅත්තම්ම හිටියම ඇති කියලයි මටනම් හිතෙන්නෙ..

එදා කිරි දතක් වැටිල මම අඬනකොට ඒ දත ලේනට දීල ..අලුත් දතක් ඉල්ලගන්න ඈ මට කියාදුන්න..ඈ මට හුරු කළේ දෙයක් අහිමි වුනහම හිත හදාගන්න හැටි..ඈ මට කැවුම් උයල දෙනකොට ..මටත් කලින් කැවුමක් වෙන් කෙරුවෙ කෝඳුරුවන්ට..ඈ ඒකෙන් නොකියා මට ඉගැන්නුවෙ මසුරු සිටෙක් වෙන්න එපා කියල..

මැටි ගෙදර තිබුනු තැන ගමක කුස ගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්නා ..වෙබ් අඩවියේ තැනක හමු වුනොත් පවසන්න..
කිරි අම්මගෙ මැටි ගේ තිබුන තැන අද ..ගමක බඩගිනි නිවන කොස් ගහක්..කිරි එරෙන කොස් ගහත් හරියට දරුවන් වෙනුවෙන් කප්පරක් සෙනේ පිරුව අපෙ කිරි අම්ම වගේ..

අද සයිබර් අවකාශයේ දවස ගෙවන දරුවන්ට ඉන්නවද ඒ වගේ සෙනේ පුරන ජීවිතේ කියාදෙන අත්තම්මල..අනේ මට කියනවද..ඔබට ඔය වෙබ් අඩවියක හමුවුනොත් මැටි ගෙදර අපේ කිරි අම්මව...

~~සිසිර තරංග~~




Thursday, 5 November 2015

පද්ද පද්ද ලැම ගස්ස ගස්ස.....

පද්ද පද්ද ලැම ගස්ස ගස්ස ඉඟ
පාට කරන් කෙස් රනින්
තොල උරච්චිකර රතු සායම් ගාගෙන
විලවුන් දියනා සොඳින්
බඳ පච්ච කොටාගෙන රූප රටා ඇඳ
පාන ශ්‍රියා වල් මතින්
අනේ කාලෙ දැන් වනේ වාසේ
කල තවුස් දැහැන් බිඳ සැනින්

කෝල කොමල මුදු ලාලිත සුකොමල
සරාගි අංගන සොබා
ඉඟ වසඟ ශ්‍රියාවට වසඟ වෙලා
සිත නුරාව  හදවත පුරා
සුරා මතින් දුම් උරා මුවින් ලිය පාන
අනග රංගනා
මල්සරා දුරින් හිඳ බලා හිඳී නුඹ
කාර බැඳන් යන තුරා

කාමයෙන් මත්ව සුර සැපත සොයන ගත
මුනින්තලා වැතිරිලා
දහසකුත් එකක් දන  නුවන් අයා
ගෙන සිටී නුඹට මත්වෙලා
කඩදාසි මොනර කොල පහස තුරුල් කර
හාදු දිදී රඟදෙනා
ඈවරයි කෙල්ලෙ දෑවරයි නුඹට සෙයිලමෙන්
රුවට මිල දෙනා

ගායනය : රවීන්ද්‍ර මීගමආරච්චි

ගැමි ලියකගේ සුන්දරත්වය බොහෝ කවියන් විසින් වර්ණනා කර තිබේ. ඇයගේ රූප සොබාව පමනක්ම නොව කතාබහ, ගමන් විලාශය, ඇඳුම් පැලඳුම් මෙන්ම හැසිරීම ආදී නොයෙක් දේ  කවියගේ දෙනතට මෙන්ම මනසටද හොඳාකාරව ගෝචරවේ.

"සුදු හෙළ සාරිය ඇඳලා හැඩ කොටැ ඉඟ වට රැළි ලෙළවා
දිගු නිල් වරලස පීරා නිසි ලෙසමල් දවටා බැඳලා
ගෙල වට මුතු මාලේ දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා යන සුරතල් ලීලා"


ගැමි ලියගේ සුන්දරත්වය අප මනැසට නිතැතින්ම ජනිත කිරීමට මේ පදපෙල සමත්ය.


සුන්දර කාන්තාවන් අතර එතරම් සුන්දරත්වයක් දැකිය නොහැකි කතකගේ වුවද හැඩ දැකීමට කවියා සමත්ය.

"සල්සපු නා නිල් මාහනෙල් කුමුදු සමන් මල් අතරේ. කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ"

ගැමි ලියන්ගේ සුන්දරත්වය හැදියාව හා සැසඳූකල නගරබද ලියන්ගේ සුන්දරත්වය කවියා අගයා ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. 'මගේ කොන්ඩෙ නැතත් ඉන ගාවට රෙද්දෙ හැට්ටෙ නොඇන්දාට හැදිච්චකම තාම තියෙනවා'

මෙහි අර්ථය නගරබද යුවතිය සංකර බව පමනද? නැතිනම් ඇයගේ සුන්දරත්වය විඳීමට අපහසුද?
"ගිනි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක්"
ගැමි ලිය සිත බන්දන මල් වලට උපමා කරන අතරේ නගර ලිය ගිනි මලකට උපමාකෙරේ. මෙහිදී හැඟෙන කරුන නම් නගර ලිය හා ගැමි ලිය දෙස බලන ආකාරයේ පැහැදිලි වෙනසක් තිබෙන බවයි. ගැමි ලිය වෙත සුන්දර බැල්මක් හිමි වෙද්දී නගර ලියට හිමිවන්නේ ශෘංගාරාත්මක බැල්මකි. මෙයට හේතුව බලන්නාගේ කෝණයේ වෙනස්වීමද එසේත් නැත්නම් ලියන්ගේ හැසිරීමේ හා බාහිර ස්වරූපයේ වෙනස්කම්ද යන්න සිතාබැලිය යුතු කරුණකි.

සුනිල් ශාන්තයන් ගායනා කරන 'මිහිකත නලවාලා මග මල් ගන්වාලා' යන්නෙහි ගැමි ගුරුවරියක යන ලීලාව කවියා දැක ඇත්තේ ඉතා ශාන්ත ආකාරයෙනි. රවීන්ද්‍ර ගායනා කරන මෙම ගීතයේදී නගරබද යුවතිය යන අයුරු දක්වන්නේ 'පද්ද පද්ද ලැම ගස්ස ගස්ස ඉඟ'  ලෙසිනි. ඉතින් බලන්න වෙනස කොහොමද කියලා.
මෙය හුදෙක් කවියාගේ දෝෂයක් ලෙසට මා දකින්නේ නැත. ඇත්තෙන්ම මෙය ලියන් අතර පවතින වෙනසයි. මෙහිදී සෑම නගරබද යුවතියක්ම මේ කුලකයට අයත් යැයි පැවසීම කොහෙත්ම සාධාරණ නොවන බව මම දනිමි.

ඉතින් මේ සංකර සමාජය තුල සිටින එක් යුවතියක් ගැන රචකයා කතා කරයි. ඇයගේ ගමන තැම්පත් නැත. ලැම පද්දමින් ඉඟ ගස්සමින් ගමන් කරනා ඇය තම වරල රන්වන් පැහැයෙන් පාට කරගෙන ඇත. මෙසේ බලන කල්හි ගැමි ලිය වුවත් තම ඉඟ සොලවා ලැම පද්දන අවස්ථා නැත්තේ නොවේ. 'සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා..නිතඹ නලෝලා' ජෝතිගේ ගී හඳ සවන වැකේ.
ගැමි ලියගේ දෙතොල නා දළු වලට සමකල අවස්ථා ඇත්තේය. මෙම ගීතයේදී යුවතිය තොල් සායම් තවරා ඇත. රචකයා පවසන අන්දමට 'උරච්චි කර' ඇත. එපමනක් නොව ඇය සුවඳ විලවුන් ගල්වා ඇත. මෙහිදී 'ගල්වා  ඇත' යන්න යෙදීම කෙතරම් සාධාරණදැයි සිතෙන්නේ 'විලවුන් දියනා සොඳින්' යන පද වලට සවන් යොමු කරන විටය.
ගැමි සාමාජයේ නම් පච්ච කොටන්නේ පිරිමින්ය. මෙහිදී නාගරික යුවතිය ඇගේ බඳෙහි පච්චයක් කොටාගෙන ඇත. එය අන් අයට දිස්වන බව පැවසීමට රචකයාට උවමනාවී තිබෙන අයුරකි. ඇය පාන සිනහව දකින්නේ 'වල් මතින්' සිනාවන සිනාවක් ලෙසටයි. 'අනේ කාලේ වනේ වාසේ' අබුද්දස්ස කාලේ  ලබුත් තිත්තලු. මේ  යුවතිය තවුස් දැහැන් බින්ඳීමට වුවද සමත්වේ.
ආත්මාගේ 'ලියතඹරා' මතකයට නැගේ.  

'කෝල කොමල මුදු ලාලිත සුකොමල' රචකයා යුවතියට යම් සුන්දරත්වයක් ඇති බව පවසන අයුරකි. නමුත් ඒ එක්කම ඔහු පවසන්නේ 'සරාගි අංගන සොබා'යනුවෙනි. සුන්දරත්වය පරයා සරාගී බව ඉස්මතුවේ. අප සිතේ නුරාව ඇති කිරීමට ඈ සමත්ය.

එයින් නොනවතින ඇය මධුවිත තොලගා දුම් බී අනඟ රැගුම් පානා තත්වයට පත්වෙයි. පෙරදී සමාජයේ ඉහල යැයි කියාගන්නා පැලැන්තියේ කාන්තාවන්ට පමනක් සීමාවූ දුම් බීම දැන් මධ්‍යම පාන්තිකයන් කරාද පැමින තිබේ. රාත්‍රී සමාජ ශාලාවක හමුවන දුම් නොබොන තරුණියක් නැති තරම්ය. මේ සමාජයේ හැටිද නැත්නම් ඔවුන්ගේ පුහු මානය පෙන්වීමද යන්න දන්නේ ඔවුන්ම පමනි. අද  තත්වය මීටත් වඩා දරුණු වී ඇත. රාත්‍රී සමාජ ශාලාවල පමනක් නොව 'බීච් පාටි' සහ අනෙකුත් රාත්‍රී උත්සව වලදී මදුවිත හා දුම් වලින් නොනවතින තරුණ තරුණියෝ 'ටැබා' හෙවත් දරුණු ගනයේ මත්ද්‍රව්‍ය වලට පවා ඇබ්බැහිවී සිටිති.  
මල්සරා යනු අප ආදරය හා සම්බන්දව යොදන යෙදුමකි. මල්සර හී වැදුනොත් එතැන ආදරයක් හටගනී. මල්සරා ආදරය ජීවමාන කිරීමට අපමන වෙහෙසක් ගන්නෙකි. නමුත් මෙම පද පෙලේදී මල්සරා දුරින් හිඳ බලා සිටී. ඔහු සක්‍රීය නොමැත.  'මල්සරා දුරින් හිඳ බලා හිඳී නුඹ කාර බැඳන් යන තුරා' එනම් මේ යුවතිය හට සැබෑ ආදරයක් හිමිවීමේ ප්‍රවනතාවය අඩුය. ඈ කෙරේ තරුණයන් බලන්නේ වෙනමම ආකාරයකටයි. මෙනිසා මල්සරාට වුවත් කල හැක්කක් නොමැත.

මධුවිතෙන් මත්වන යුවතිය මීලඟට රාගයෙන් මත්වේ. ඇයගේ හැසිරීම් රටාවෙන් තරුණයන්ගේ නුරා ගින්න ඉහල නංවයි. එහිදී තරුණයන් ඈ දෙස බලන රාගික බැල්මට ඇය කුල්මත්වේ. 'මුනින්තලා වැතිරිලා' යන්න ඇගේ කාමාශාව වඩාත් ඉස්මතු කොට පෙන්වයි. තරුණයන් මොනර කොල එසේත් නැතිනම් මුදල් ඇය වෙනුවෙන් වැය කිරීමට මැලි නොවෙති. මන්දයත් ඇයගේ ආශාවන් ඔවුන් හොඳහැටි දන්නා බැවිනි.
මෙහිදී රචකයා තරුණියගේ විනාශය මනාව පෙන්වාදේ. ලංසුවකට ඇයව අලෙවි වන ආකාරයක් පෙනීයයි. ඇයට සෙයිලමෙන් මිලක් නියමවේ. 'ඈවරයි දෑවරයි'යන පද යොදාගැනීම ඉතාම සාර්ථකය. අවසානයේදී ඇය ගණිකාවක් මට්ටමටම ඇද වැටීමක් පද පෙල තුලින් පෙන්නුම් කෙරේ. මෙහි විශාල සත්‍යතාවයක් ඇත. සංකර වීම තුල සමාජ පරිහානිය මැනැවින් පෙන්වා දීමට රචකයා සමත්ව ඇත. රාත්‍රී සමාජ  ශාලාවකට හෝ පෙර පැවසූ 'බීච් පාටි' යකට ගොඩ වූවොත් මෙහි සත්‍යතාව දැකගත හැකිය.
මේ සමාජ පරිහානිය වැලැක්වීමට කටයුතු කිරීම අප කාගේත් යුතුකමක් වන බව නොකිවයුතුමනාය.

~~තේජන අබේදීර~~



Tuesday, 3 November 2015

සෙනෙහසින් කතා කලත් ඔබ සිති පතා ඇතත්...

සෙනෙහසින් කතා කලත් ඔබ සිති පතා ඇතත්
සිත ලඟින් ඔබේ රැඳෙන්න මට බෑ
ඔබ රුවින් කුමාරියක් හරි අහිංසකාවියක්
ඔබ තවත් මුලා කරන්න මට බෑ

යෞවනේ නැවුම් වසන්තයේ
මට සුවඳ දැනී ප්‍රථම ප්‍රේමයේ
සුදු මල් සිනා සලා ලතැවුල් නිවා දමා
ඇය නිරන්තරේ හිඳී මගෙ ලොවේ

ඇය වෙතයි සිතින් බැඳී ගියේ
එය වෙනස් නොවී ලඟ රැඳී තියේ
සුදු මල් සිනා සලා ලතැවුල් නිවා දමා
ඇය නිරන්තරේ හිඳී මගෙ ලොවේ

ගායනය : ප්‍රදීප් වීරසිංහ

මේ ගීතයේ තිබෙන්නේ ඉතා සරල පද පෙලක්. නමුත් එයින් කියැවෙන දේ අපේ ගොඩක් කොල්ලන්ගෙ අත්දැකීමක් වනවා නොඅනුමානයි. එහි සුන්දර හෝ අසුන්දරතාවය අදාල පුද්ගලයා හා බැඳෙනවා.

තරුණ නැතිනම් හරියටම කියනවනම් නාඹර වියේදී ගැහැණු ළමයෙකුගේ ආදරය බොහෝ පිරිමි ළමයින්ට නැතිවම බැරි දෙයක්. මෙය සැබෑ ආදරයක් වන අවස්තා තිබෙනවා සේම සමාජයට පෙන්වීමට හෝ හුදෙක් තම වින්දනය පිනිස  වන අවස්තාද නැත්තේ නොවේ.
එකිනෙකා සිතන පතන ආකාරය වෙනස්ය.
'මගේ යාළුවො හැම එකාටම කෙල්ලෙක් ඉන්නවා. මට විතරයි නැත්තෙ. මමත් ඉක්මනට කෙල්ලෙක් දාගන්න ඕනෙ'
'අරූ දාන් ඉන්නෙ පට්ට් කෑල්ලක්නෙ, මම මේකිව අතෑරලා ඊට වඩා හොඳ කෑල්ලක් දාගන්න ඕනෙ'
'එක කෙල්ලෙක් එක්ක යාළුවෙලා ඉඳල මට දැන් තිත්තයි බං. මේකි කරන ගමන් තව කෑල්ලක් කරා නම් සිරා'

ඉහත කතා හැම එකක්ම වගේ ඔබ අසා ඇතුවාට සැක නෑ. ඉතින් මෙහි ආදරයක් ඔබට පෙනෙනවද? මා නිර්මල පිවිතුරු ආදරය ගැන කියැවෙන දේ නොලියන්නේ අප බොහෝ දෙනෙක් එසේ ආදරය කරන බැවිනි. ආදරය අහිමිවීම, ආදරයෙන් පරාජය වීම සහ නොවැලැක්විය හැකි හේතු නිසා ආදර සම්බන්දය නතර කිරීමට සිදුවීම යනාදිය අතහැර දැමූ කල අපට හමුවන බොහෝ ප්‍රේමාවෘත ඉතා පිවිතුරුය.

අපට මේ ගීතයේ හමුවන තරුණයාද පිවිතුරු හදවතක් ඇති ලස්සන ආදරයකට හිමිකම් කියන අයෙක්. ඔහු තම පෙම්වතිය සමග බොහොම සතුටින් ආදරය විඳිනවා. මෙහෙම බොහොම සතුටින් කාලය ගෙවීගෙන යද්දී ඔහුගේ ජීවිතයට තවත් තරුණියක් එකතු වෙනව. ඔහු ඇයව සලකන්නේ තමාගේ හොඳම යෙහෙලියක් විලසට. ඇය ඉතා රූපශ්‍රීයෙන් යුත් අහින්සක තැනැත්තියක්. කාලය ගත වෙද්දී මැයට තේරුම් යනව තරුණයා හොඳ ගුණ යහපත් පුද්ගලයෙකු බව. ඇය තරුණයාගේ ඇසුර ප්‍රිය කරනව. මෙය ඒක පාර්ශ්වික ආදරයකට පෙරලෙන්නෙ පෙරලෙන්නෙ ඇයටත් නොදැනීම. සමහරවිට ඔහුට වෙන ආදරයක් තිබෙන බව ඇය දැන සිටියා වෙන්නට පුලුවන්. නොවෙන්නටත් පුලුවන්.

තරුණයාට ඇයගේ  වෙනස තේරුම් යනව. ඔහුට ඇයව රිදවන්න කොහෙත්ම බෑ, අනෙක් අතට ඇයව අහිමි කරගන්නටත් බෑ. මොකද ඔහුට ඇයගේ යහළුකම, මිත්‍රත්වය නැතිකරගන්න වුවමනා නෑ.
සමහරවිට ඔහුගේ පෙම්වතිය ගැන ඇයට නොකිව්වා වෙන්න පුලුවන්. තව දුරටත් මෙය දුරදිග ගෙනයායුතු නොමැති බව පසක් කරගන්නා තරුණයා ඇයට කරුණු පැහැදිලි කරන්නට පෙලබෙනව.

ඇය තුල ඔහුට තිබෙන සෙනෙහස තමන් හඳුනාගෙන ඇති බව පවසන ඔහු ඇයගේ රූ සපුව අගය කිරීමටද පසුබට වෙන්නේ නෑ. නමුත් තමාට පෙම්වතියක් සිටින නිසා තරුණියගේ සිත් අහස තුල නතරවීමට ඔහුට ඇති නොහැකියාව ඔහු පවසනව.

මෙසේ ඇයට කාරනා පහදා දීමේදී තම පෙම්වතියගේ ගුණ වර්ණනා කිරීමටද ඔහු අමතක කරන්නේ නෑ. එසේ කරන්නේ තමාට පෙම්වතියගේ ඇති වටිනාකම පහදාදීමට. අවසානයේදී තම සිත බැඳී ඇත්තේ තම පෙම්වතියට බව හා එය කිසිම දිනක වෙනස් නොවන බව පවසන්නේ තරුණියගේ සිතේ ඇති අවසාන බලාපොරොත්තුවද නැති කරමින්.

ඊට පසුව තරුණියට කුමක් වුවාදැයි අප නොදන්නා නමුත් තරුණයා කල දෙය ඉතා වටිනා බව කිව යුතුයි. තමාට සැබවින්ම ආදරය කරන තම පෙම්වතිය නැතිකර නොගන්නා ඔහු ඇයගේ වටිනාකම හොඳින් තෙරුම්ගෙන සිටිනා බවද පැහැදිලියි. හුදෙක් ආශාවන් හා ලස්සන පසුපස හඹාගෙන යන සමාජයක මෙම තරුණයා වැදගත් ආදර්ශයක්.

~~තේජන අබේදීර~~



Monday, 2 November 2015

ප්‍රේමය පුදදී අවසානයි...

ප්‍රේමය පුදදී අවසානයි ඔහු සතුවී කාලය බොහොමයි...
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න..

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි...
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න....

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්...//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න...
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්...//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට
සිතනම් බැහැ ගෙන යන්න...

ගායනය : චාමර වීරසිංහ සමඟ රාජිකා ප්‍රසාදිනී
ගී පද : සී. එන්. ඕමන්තගේ
සංගීතය : ජයලත් වටවල

චාමර වීරසිංහ ගායනා කරන තවත් එක ප්‍රේමයක්. වරද කාගේ වුණත් ඇය ඔහුගෙ ආදරයට පිටුපාලා වෙනත් තරුණයෙකු විවාහ කරගන්නවා. තමන්ට පිටුපාලා ගිය ඇයව හොයාගෙන ඔහු ඇගේ වත්මන් කැදැල්ලට යනවා. අතිශය සුන්දරයි මේ හමුවීම. හේතුව, ලෝකය අසම්මතයි කියන සමහර හමුවීම් ඇතුළෙ අමුතුම සුන්දරකමක් තියෙන නිසා.
බැලූ බැල්මට මේ ගීතයේ කතානායකයා මේ කියන කතාව ඇතුළෙ ඔහු මේ කරන්නෙ 'තහනම් ගහේ ගෙඩි කෑමක්ද' කියන සාධාරණ සැකය අපිට මතුවෙනවා. සරලවම කිව්වොත් ඒ සැකය පවා අතිශය සොඳුරුයි.
කොහොම වුණත් කාලයකට පස්සෙ තමන්ගෙ පරණ පෙම්වතියව හමු වුණ මේ පෙම්වතාට මේ තහනම් සෙවණට සමු දෙන්න හිත දෙන්නෙ නෑ. ඔබත් පොඩ්ඩක් හිතලා බලන්න. කාලයක් ආදරෙන් හිටපු හිතක් අහම්බෙන් හෝ යළි හමු වුණාම අපි හැමෝම උත්සාහ කරන්නෙ තව තත්පරයක් හෝ ඒ හිත යට ඇලවිලා ඉන්න. එහෙම නේද?
'තහනම් සෙවනෙන් යන්න' කියලා මේ පරණ පෙම්වතිය කිව්වත් ඇය පවා එහෙම කියන්නෙ හිතකින් නොවන වග මට හිතෙනවා. අර කතාවක් තියෙනවානෙ 'අළුත් ආදරේට වඩා පරණ ආදරේ සුවඳයි' කියලා. ඇයටත් එහෙම දැනෙනවා ඇත
එහෙනම් අහලම බලන්න. දැහැන්ගත වෙලා.
සහෘදය, අසම්මතය හරි රහයි............

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි...
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න..

කොතරම් ආදරය කරත් පෙම්වතා මේ මොහෙත වන විට පරාද වී අවසන් පෙම්වතිය දැන් වෙනත් අයෙක් හා විවාහ වී සිටි එහෙත් තාමත් පෙම්වතිය නැති දුක පාලුවට තදින්ම පෙම්වතාට දැනේ... වරදක් බව දැනුනත් මේ මොහොතේ එය වරදක් බව පෙම්වතාට නොහැගේ...

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි...
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න....
තමාගැන ඇති මතකයන් අමතක කර දමන ලෙස බැගැපත් ආයාචනයක් පෙම්වතිය කරයි නොකියා පවසන්නේ තාමා දැන් වෙනත් අයෙකුට අයිතියි එම නිසා ඔබත් පරන මතකයන් අමතක කර දමා අලුත් ජීවිතයක් ගත කරන ලෙසයි... පෙම්වතිය එසේ කී පමනින් සියල්ල අමතක දැමිය හැකිද ඇගෙන් ඈතට යා හැකිද....

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්...//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න...
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්...//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට
සිතනම් බැහැ ගෙන යන්න...
·································································


~~මනෝජ් අසංක~~



Sunday, 1 November 2015

උඩඟු ලියන් ගොතා බඳින....

උඩඟු ලියන් ගොතා බඳින - නීල වරල සරසන්නට
මා පිපුනේ නැත - මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන සිත් පුරවන බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හමන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවිදුන්
රණවිරුවකුගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිල්ලෙන්,
තැළී වෙළී සැනහී මියයන්නෙම් ...

මගේ පරම පැතුම එයයි
එමගට මා විසිකරන්න...

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - ඩෝල්ටන් අල්විස්
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව

 දේශාභිමානී ගීත අතරට වැටෙන මෙම ගීතය රචනා කොට ඇත්තේ ඩෝල්ටන් අල්විස්  නම් අසහාය ගීපද රචකයා විසින්. මා ඔහුට අසහාය යන වචනය භාවිතා කලේ දේශාභිමානී ගීත ලිවීමට ඔහු තුල තිබූ අසහාය හැකියාව නිසාවෙනි.
'සසර වසන තුරු නිවන් දකින තුරු, රන් දහඩිය බිංදු බිංදු, නිවහල් සිතිවිලි සිතනා සිතක් උදාරයි' යන ගීත එයට කදිම නිදසුන් කිහිපයක්.
මෙතුමාව කරලියට ගෙන එන්නේ අප කවුරුත් දන්න  'සිරි අයියා' හෙවත් යු. ඒ. එස්. පෙරේරා විසිනි. මෙහිදී කණගාටුවෙන් වුවද පැවසියයුතු කරුණක් තියෙනවා. බොහෝ දෙනෙක් සිරි අයියා යනු කවුදැයි නොදන්නවා වෙන්න පුලුවන්. කරුණාරත්න අබේසේකරයන් විසින් දකුණු ආසියාවේ පැරණිතම ගුවන්විදුලිය වූ 'ශ්‍රි ලංකා ගුවන්විදුලිය නැතිනම් රේඩියෝ සිලෝන්' ට හඳුන්වාදුන් 'ළමා පිටිය' ඉදිරිපත්කලේ සිරි අයියා. කරුණාරත්න අබේසේකරයන් මෙන්ම මොහුත් ආදි නාලන්දීයෙක්.

ඩෝල්ටන් අල්විස් විසින් රචිත බොහෝ දෙනා දන්නා ගීත කිහිපයක් නම් 'කවුරුදෝ අර කවුලුවෙන්, බකිනි ගහේ බකිනි මලෙන් පාර අසන්නේ, අවසන් ලියුමයි ඔබට ලියන්නේ' දැක්විය හැකිය.
ඉතින් අපි උඩඟු ලියන් ගීතය පිලිබඳව කතා කිරීමේදී මෙය හින්දි පද පෙලක ආභාෂයෙන් හැඩවුනු සිංහල ගීතයක් ලෙසට හැඳින්විය හැකිය. එසේ වුවත් මේ සඳහා මෙතුමා යොදාගෙන ඇති වචන දෙස බැලූකල ඒවා එසේ මෙසේ නොවන බව ඔබට පෙනේවි. 'උඩඟු ලියන්'  'හිස් මිනිසුන් කුස් පුරවන සිත් පුරවන බස් දොඩවන' 'තැළී වෙළී සැනහී' ඉන් කිහිපයක්.

මා පෙර පැවසූ ආකාරයට ‘පුෂ්ප කි අභිලාෂා’ නම්වූ හින්දි පැදි පෙළෙන් මෙම ගීතයට ආභාෂය ලැබී තියෙනව. මෙය රචනා කර ඇත්තේ පන්ඩිත් මඛන්ලාල් චතුර්වේදී නම් ගීත රචකයායි. ගීත රචනයට අමතරව මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කල මෙතුමා ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කලේය. වර්ෂ 1963 දී මෙතුමාට ඉන්දීය රජය විසින් ජනතාවගේ ගෞරවයට පාත්‍ර 'පද්ම භූෂණ' සම්මාණය පිරිනමන ලදී. 

ඉන්දියානුවකු විසින් පරිවර්ථනය කරන ලද චතුර්වේදී ගේ ‘පුෂ්ප කි අභිලාෂා’ පද පෙල පහත දැක්වේ.

A FLOWER’S DESIRE……
I do not wish to be a part of the ornaments of the daughter of Gods, I do not wish to lure sweet love being a part of lover’s garland for her I do not wish O God, to be offered on the dead-bodies of great kings I do not wish to adorn the foreheads of Gods and be proud of my luck O Gardener! Please pluck me and throw me on the street Where the brave men offering their head for the motherland tread!

මල කියල කියන්නේ සොබාදහම අපට දායාද කල සුන්දරතම වස්තුවක් කීවොත් ඔබ මා හා එකඟ වනවා නිසැකයි. ඒ තරමටම මල් අපේ ජීවිතයට බැඳී තියෙනව. සිදුහත් කුමාරයා ඉපදුන පසුව නෙළුම් මල් උඩ පා තබනව. බිලිඳෙකු ඉපදුන විට, උපන්දින උත්සවයකදී, විවාහ මන්ගල්යයකදී සහ කෙනෙකුගේ ජීවිතයටයේ විශේෂ අවස්තාවක මල් කලඹක් දීම බොහෝ දෙනක් සිදු කරනව. ඉතින් මේ විදියට 'මල' අපේ ජීවිතයත් එක්කම ඉන්නවා කියන්න පුළුවන් මොකද පුද්ගලයෙක් මියගිය පසුවත් ඔහු හෝ ඇය අසල තනියට සිටින්නේ බොහෝ දුරට මලක්ම වන නිසා.

ගීතයේදී රචකයා ලියන් සහ මල අතර ඇති සබැඳියාව ගෙනහැරපායි. මෙහිදී ලිය සාමාන‍ය ලියක් නොව 'උඩඟු ලියක්'. ඇයි මේ උඩඟු ලියක්, ඒක ඉතින් අහගන්න වෙන්නෙ මලෙන්ම තමයි.

ගීතයේ කියැවෙන මල කැමති වෙන්නේ නෑ උඩඟු උද්දච්ච ගැහැණුන්ගෙ ලස්සන වරලස සරසන්නට. ඇත්තටම කාන්තාවකගේ ලස්සන විදහාපාන අංග අතුරින් වරලසට ලැබෙන්නෙ ඉහලම තැනක්. ඉතින් ඒ වරලස සැරසීමට ලැබීම මලකට ආඩම්බරයක් නොවේද? නැත. මේ කියවෙන මල එය ආඩම්බරයට කරුණක් ලෙස කිසිසේත් නොසලකයි. ලස්සන සමහර විටෙක උඩඟුකම ඉස්මතුවීමට මුල පුරන බව සිතේ. එසේවූ ලඳක් මල් ගසාගෙන තවත් ලස්සන වූවානම් ඇගේ උඩඟුකම එයින් අඩුවේ යැයි සිතිය නොහැක. 'මල' පවසන ආකාරයට මල මෙලොවට ජනිත වන්නේ මෙවන් බාල දෙයක් සඳහා කැපවෙන්නට නොවේ.

'මල' අකමැති වන්නේ මේ සඳහා පමනක් නොවේ. බොහෝ විට කෑම මේස වල රස නහර පිනායන ආහාර පාන කොතෙක් තිබුනද මේසය මලින් සරසා නොතිබ්බොත් ඒය විශාල අඩුපාඩුවකි. ඒ තරමටම ආහාර ගන්නා අවස්තාවේ වුවද මල් දෘෂ්‍ය පථයට හසුවීම මිනිසා ප්‍රිය කරයි. මිනිසා එසේ සිතුවත් 'මල' එය දකින්නේ වෙනමම කෝණයකිනි. සිත් පිරෙන බස් තෙපලා කුස පිරෙන්නට ආහාර ගෙන ප්‍රීතිවන මිනිසුන්ගේ රසඳුනක් වන්නට තරම් තමා පහලට නොවැටිය යුතුබව 'මලේ' අදහසයි. 

ඉතින් මේ හැම දෙයකටම සම්බන්ධ නොවී 'මල' කරන්නට යන ක්‍රියාව කුමක්ද? රට වෙනුවෙන් තම අවසන් හුස්ම  තෙක් සටන් කර මවුබිමට ණය ඉතිරි නොකර වියැකීයන රණවිරුවකුගේ අවසන් ගමනට සහභාගීවන සංවේදී දේශප්‍රේමී මහජනයා පා සිප ගන්නට ඈ (මල සැදී පැහැදී සිටී. ඒ ජනයාගේ පා රළු පොලොවේ ගැටෙන්නට නොදී පාවඩයක් ලෙස රැඳී සිට තැලී පෙලී මියෙන්නට තරම් 'මල' සූදානම්. එසේ මියයාමම ඇයට සහනයක්. මේක තමයි 'මලේ' ප්‍රාර්ථනය.

මෙහිදී ඇතිවන දේශානුරාගය කියා නිම කරන්න බෑ. මේ කියන මල වෙන්නට අපට හැකියි. හැමදෙනාටම මවුබිම, යුක්තිය, සාධාරණය වෙනුවෙන් සටන් කරන්නට බෑ. සටන් පාඨ කියමින් පෙළපාලි යමින් සාධාරණ විප්ලව කරන්නට අපිට බැරි වෙන්න පුලුවන්. නමුත් එසේ දේශය රැක ගන්නට දිවි පරදුවට තබන අපේම සොයුරු සොයුරියන් වෙනුවෙන් අපට යමක් කල හැකියි. අනිවාර්යෙනම... සිතන්නට යමක්!!!!!


~~තේජන අබේදීර~~