Thursday, 7 January 2016

රන්වැලි සෑය විය දෙවි අමරට නැගුන...



රන්වැලි සෑය විය දෙවි අමරට නැගුන

සුදොවුන් පියා විය සක්විති මග තනන

සමනල පව්ව විය දුක සැප සම දරන

පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන


අසනි වැසි රුදුරු වග වලසුන් අතරේ

සිව් මහ දෙවිදු වී නිති රැකවල් සැදුවේ

හිරුටත් කලින් අවදිව කෙත් වතු තැනුවේ

බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ


බුදදස් නිරිදු සේ අත් බෙහෙතක් හදලා

පැළ ඉණි වැටෙත් ගණපති රූපය ඇදලා

තුසිතෙක ඉසුරු පැළ වට සිව් කොන තබලා

ලොව්තුරු සුව විදී අප රජ වනු දැකලා


ගායනය:සුනිල් එදිරිසිංහ


මෙම ගීතයෙන් පියකුගේ අපරිමිත ශක්තියත්,ගුණ සමුදායත් විස්තර කර තිබෙනවා.රන්වැලි සෑය, සුදොවුන් පියා සහ සමනල පව්ව යන මේ සියල්ලම බොහෝමයක් දෙනා ගරු බුහුමන් දක්වන චරිත සහ ස්ථාන.රන්වැලි සෑය තමයි ලෝකයේ උසම දාගැබ.ඉතින් ඒ වගේ තමයි පියා නිවසට විශාල ශක්තියක්.රන්වැලි සෑය විය දෙවි අමරට නැගුන..කියන්නේ පියා නිවසට ඒ තරමට සුවිශේෂයි..පියාගේ ශක්තිය,අදිෂ්ඨානය ඒ තරම් දුරට විහිදිලා. දෙවි අමරට ඒ කියන්නේ දිව්‍ය ලෝකය.පියා තම දරුවනට ඒ තරම්ම ශක්තියක්.දරුවන්ගේ සක්විති මග එහෙම නැත්නම් දරුවන්ගේ අනාගතය යහපත් කරන්නට ඔහු තම ජීවිත කාලය පුරා අපරිමිත කැප කිරීමක් කරනවා.ඒ වගේම තමයි දුක සැප සම සේ දරාගෙන ජීවිතයට මුහුණ දෙන ඔහු සමනල පව්ව වගේ.පියා තමයි නිවසේ රජුන්


අසනි වැසි,රුදුරු වගවලසුන් ඒ කියන්නේ ජීවිතයේ නොයෙකුත් කාලවකවානුවන්හි නොයෙකුත් ආකාරයට පැමිණෙන බාදා,දුක් කම්කටොලු.ඒ සියල්ලන්ගෙන්ම දරුවන් ආරක්ෂා කරන්නේ පියා.හරියට සිව් මහ නිරිදුන් වගේ.ඔහු අවදි වෙන්නේ හිරුටත් පෙරයි.හිරුටත් කලින් අවදි වී ඔහු තම ජීවන සටන අරඹනවා.බෝසත් උතුමන් බෝසත් පාරමිතා පුරනවා වගේ ඔහු තම දරුවන්ගේ ලෝකය ගොඩ නගනවා.


දරුවන්ගේ අනාගතය යහපත් කිරීම උදෙසා දිවි හිමියෙන් කැප වෙන ඔහු අවසානයේ තම දරුවන්ගේ සශ්‍රීක ජීවිත දෙස උපේක්ෂාවෙන් බලා සිටිනවා.ඔහුගේ එකම සතුට තම දරුවන්ගේ සතුටයි..



~~යෝජිකා සංජීවනී~~





පූජාසනයේ ඔබ හිඳුවා....

"පූජාසනයේ ඔබ හිඳුවා" ගීතය කොයි කාලයටත් ගැලපෙන ගීතයක් වෙනවා. සුනිල් ආරියරත්නයන්ගේ අතින්
ලියවුන තවත් එක් විශිෂ්ට ගේය පද රචනයක්. රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් තවත් අලංකාර වුනා.

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා


පූජාසනයේ හිඳුවා කියලා අදහස් කරලා තියෙන්නේ අපේ භාෂාවෙන් කියනවනම් "මුරුංගා අත්තේ තියනවා" කියන එක. අපිට හිතවත් කියලා උඩින් පෙන්නන මිනිසුන් කිසිම දවසක අපේ වැරදි පෙන්නලා දෙන්නේ නෑ. හරි දෙයක් උනත් වැරදි දෙයක් උනත් ඔවුන් කරන්නේ බොරුවට අපිව වර්ණනා කරන එක. ඒක තමයි ගීතයේ මුල් කොටසින් ප්‍රකාශ කරන්නේ.

කොච්චර වර්ණනා කළත් ඔවුන් දිය යටින් ගින්දර ගෙනියනවා. එය නිරූපණය කරන්න තමයි ආරියරත්නයන් කියන්නේ "ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ". මේක තමයි ලෝක ස්වභාවය. කෙනෙක් සාර්ථක වෙනකොට ඔබට ඉරිසියා කරන පිරිස ඒ සාර්ථකත්වයත් එක්කම වැඩි වෙනවා. ඔවුන් සාර්ථකත්වයට විරුද්ධවාදීකම් කරනවා.

ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ

කීර්තියෙන්, මිල මුදලින් පොහොසත් වූ විට ඔබ වටේ සිටින උන්ට ඔබව පෙනෙන්නේ හරියට දෙවියෙක් වගේ. ඔබ ඔවුන්ට බැන්නත් ඔවුන් කරබාගෙන ඉන්නවා. මොකද ඔබට බලය, ධනය, කීර්තිය තිබෙන නිසා. ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැණුමත් ගීයක් වේ... ඔබගෙන් ඔවුන්ට ප්‍රයෝජන තිබෙන නිසාත්, ඔවුන්ට ඔබව, ඔවුන්ගේ වාසියට පාවිච්චි කරන්න ඕන නිසාත් ඔවුන් ඉවසගෙන ඉන්නවා. නමුත්.... ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුණත් එය වරදක් වේ... නමුත් ඔබේ සියල්ල නැති වී ගිය විට, ඔබ පිරිහී ගිය විට ඔවුන්ට ඔබව "නයාට අඳුකොළ වගේ". ඔබගෙන් කොච්චර ඔවුන් උදව් ගත්තත් ඔවුන් ඔබව අමතක කරලා දානවා. මොකද දැන් ඔබ ගාව ඇඳිවත හැර වෙන කිසිවක් නැති නිස. ඔබ හදවතින් යම් දෙයක් ඔවුන්ට කිව්වත් එයත් ඔවුන්ට මහ කරදරයක්.

කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ

මුදල්, යාන වාහන ඉඩ කඩම් මෙවැනි භෞතික දේවල් වලින් ඔබ පොහොසත් වෙනකොට ඒවට තණ්හා කරන්නාවූ මිනිසුන් පිරිසක් ඔබ වටා එකතු වෙනවා. හරියට මෙරු වගේ. ඔවුන් ඔබගේ වත්කම් ඔබ ළඟ තිබෙන තාක් කල් ඔබට ආවඩමින් ඔබ අසල කැරකෙයි. කිරියෙන් පැණියෙන් උතුරා යන කළ ලොව ඔබ පාමුල හඬා වැටේ... මුදල් තියන තාක්කල් සමාජය ඔබට දෙවියෙක්ට වගේ සලකන්නේ, ගෞරව කරන්නේ.... නමුත් ඒ සියලු වත්කම් නැතිවී ගියාම ඔහුව පේන්නේ අවලංගු කාසියක් ආකාරයට. අත මිට හිඟ වී බෙල සුන් වන කළ ලොව ඔබ හිස මත කඩා වැටේ... අතේ සතේ නැතිව පරිහානියට පත් වූ විට වටේ සිටින අයත් උත්සහ කරනේ ඔබට තව තවත් පහර දෙන්න. හරියට "ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ".

අපි හැමෝගෙම ජීවිත වලට අඩු වැඩි වශයෙන් මෙවන් මිනිසුන් හමු වී ඇතුවා නිසැකයි. මෙවන් නෑදෑයන්.... මෙවන් මිතුරන්... මෙවන් අසල්වාසීන්... අප ජීවිත වටා නිරතුරුවම ඉන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය.

සුනිල් ආරියරත්නයන් රචන කළ මේ ගීතය ඕනෑම කාලයකට උචිත වන්නේ ඒ නිසයි.

~ අකූ ~

~~අකුෂ්ලා ප්‍රනාන්දු~~


යෙහෙළියක සේ සොයුරියක සේ....

ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටුනම නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි "අපි යාළුවෝ වගේ ඉමු" කියන එක.
එහෙම නැත්නම් "අපි සහෝදරයෝ වගේ ඉමු" කියන එක. ඇත්තටම ආදරය කරපු දෙන්නෙක්ට යාළුවෝ වගේ එහෙම නැත්නම් සහෝදරයෝ වගේ ඉන්න පුළුවන්ද ???

මම නම් හිතන්නේ ඒක සාර්ථක දෙයක් නෙමෙයි. හදවතින් ඇත්තටම ආදරේ කරපු අයට යාළුවෝ වගේ ඉන්න බැහැ. මේ ගැන හොඳටම කියවෙන ගීතයක් තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා ගායනා කරන "යෙහෙළියක සේ" ගීතය.

ඔහු ගීතය අරඹන්නේ මේ විදියට......


අපි දෙන්නගේ ආදරේ වෙනුවෙන් මට උනපු කඳුළු තාම වියළිලාවත් නැහැ. ඒත් ඔයා මට කියන්නේ ඔයා දිහා යෙහෙළියක් දිහා, සහෝදරියක් දිහා බලන විදියට බලන්න කියලද....මම කොහොම ඒක කරන්නද ???

"යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින්"

අපි අපේ ආදරේ පටන් ගත්ත දවසේ හරියට අපි දෙන්නා නැවත ඉපදුනා වගේ. අළුත් ජීවිතයක් පටන් ගත්තා වගේ. අපි අපිව අඳුර ගන්නෙත් මේ ආදරේ නියසි. ඉතින් ඔයා කියන්නේ එහෙම ආදරේ අමතක කරලා ඔයාව මගේ යෙහෙළියක් කරගන්න කියලද ???

"හැඳින ගත්තේ අප මුලින් පෙම්වතුන් වීමෙන්
අප උපන්නේ ඒ දිනේ ප්‍රේමයේ නාමෙන්
ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින්
යෙහෙළියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින්"

මට තාම අපේ ආදරෙන් ඈත් වෙන්න බැරි උනා. මම තාමත් ඒ ආදරේ මතක් කර කර අඬනවා. මම දන්නවා ඔයා මාව අයින් කළේ ඔයාගේ හිතට විරුද්ධව කියලා. ඔයා ඔයාගේ හිත රවට්ට ගත්තා. ඒ බව දැන දැනත්...මම ඔයාට මෙච්චර ආදරේ කර කරත්... කොහොම ඔයා දිහා යෙහෙළියක් සොහොයුරියක් විදියට බලන්නද ???

"ඔබම ඔබේ සිත රවටමින් අහක බැලු දවසේ
ඔබ ඉවත හල මා අදත් හඬමි පෙම් පියසේ
ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින්
යෙහෙළියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින්"

සරලව ප්‍රකාශ කළත් ලොකු අර්ථයක් ගැබ් වෙලා තියන ගීතයක් විදියට මම දකිනවා.

~~අකුෂ්ලා ප්‍රනාන්දු~~


කුඩා ළමෝ කැළෑ වැදීලා ...

'දඟත් ටිකත් ඕනා ළමා වියේ පානා

නමුත් පුතේ පරිස්සමින් හා...'

අපේ බ්‍රදර් කෙනෙක්ගේ දේශනාවක බ්‍රදර් මතක් කරලා දුන්න ගීතයක්. දැන් කාලේ නම් මේ වගේ ගීත ඇහෙන්නෙම නෑ. ඒත් ඒක අහනකොට මට මගේ පුංචි කාලේ මතක් උනා. ඉස්සර අක්කගෙයි මගෙයි කේන්දර බලපු හාමුදුරුවෝ කිව්වා අපිට වතුරෙන් අපලයි කියලා. ඒක දැනගත්ත දවසේ ඉඳන් අපේ අම්මයි අප්පච්චියි අපිව සතියකට දවස් දෙක තුනක් මහවැලි ගඟට ගෙනිච්චා. අප්පච්චි ගඟ මැද්දට ගිහින් අතහැරලා එනවා පීනගෙන එන්න කියලා. ඉතින් අපේ අත්තම්මලා එහෙම ඔය වැඩේට අප්පච්චිට පලු යන්න බනිනවා "ඔය දරුවන්ගේ කේන්දරෙත් තියනවා නේද වතුර අගුණයි කියලා. දෙයක් උනොත් එහෙම ඊට පස්සේ ඉඳලා වැඩක් තියනවද?" කියලා. අප්පච්චි කිව්වේ "දෙයක් වෙන්න කලින් තමයි මේ දේවල් පුරුදු කරලා තියෙන්න ඕනේ, ළමයි රොබෝලා වගේ හැදිලා බැහැ. පොළොවේ පය ගහලා ඉන්න ළමයි හදන්න ඕනේ" කියලා.

කුඩා ළමෝ කැළෑ වැදීලා
කැලේ කොලේ ගෙවල් හදාලා
කුඩා පුතා මගේ බලා හිඳී මේ ගේ
අකීකරු නොවී රැඳීලා

දඬු මුගුරු කැට කැබලි රැඳෙනා අතේ
වන සියොතුන් යාලු නොවේ
බණ අසනා සිල් රකිනා දරුවන් සිතේ
සිහ රජිඳුන් හිලෑ වෙතේ
දඟත් ටිකත් ඕනා ළමා වියේ පානා
නමුත් පුතේ පරිස්සමින් හා...

හිරු අවරේ ගෙයි දිලෙනා පහනේ නුඹේ
නෙත පොත හා තිබෙනා තුරු
දඟ කරන දඟ ළමයින් මතුදා මගේ
පුතු දැකලා කරලා කරතී ගරු
දඟත් ටිකත් ඕනා ළමා වියේ පානා
නමුත් පුතේ පරිස්සමින් හා...

අපි පුංචි කාලේ අපිට හරිම ලස්සන ළමා කාලයක් තිබුණා. ඉස්සර අපි නිවාඩු කාලෙට අම්පාරේ අප්පච්චිගේ නැන්දලගේ ගෙදර යනවා. එහෙ අපේ වයසේ දරුවෝ ගොඩක් හිටියා. අපි උදේට කාලා බයිසිකල් වල නැගලා ගෙදරින් ගිහාම ආයිමත් එන්නේ බඩගිනි වෙනකොට. සමහර වෙලාවට ඒ හවස් වෙද්දී. කැලේදී අපි දිවුල්, අඹ, දම්,පේර තව නම් දන්නේ නැති පළතුරු ජාතිත් ඇතිවෙන්න කඩාගෙන කනවා. ගෙදර ඇවිත් හවසට නාන්න යනවා සේනානායක සමුද්‍රයේ ඉඳන් ගලාගෙන එන ගඟට. වතුරට බහිනකොට තමයි දන්නේ තුවාල සීරීම් කොච්චර වෙලාද කියලා. අපිම කෝපි දළු ටිකක් කටින් හපලා තුවාලෙට තියා ගත්තු කාලෙකුත් තිබුණා. ඒත් අපි වැඩිහිටියන්ට හරි බයයි. හරියට ගරු කළා. එයාල හරි ආදරෙයි වගේම හරි සැරයි. එයාල දෙයක් කරන්න එපා කිව්වොත් අපි එතනින් එහාට අපේ සිතුවිල්ලක්වත් යවන්නේ නැහැ. ඒ බය සහ ගෞරවය නිසාම අපි දඟ උනාට වැරදි කරේ නැහැ. මොකද අහු උනොත් ඉවරයි කියලා දන්න නිසා.

අපි පොලු වලින් ගහලා අඹ කඩනකොට ඒ ගහපු පොල්ල හරි අඹ ගෙඩිය හරි ඔලු ගෙඩියට වැටුනම ඉගෙන ගත්තා පොල්ලකින් ගහලා ගහකින් ගෙඩියක් පරිස්සමට කඩා ගන්න හැටි. දුවලා ගිහින් වතුරට පැනලා වතුර පෙවිලා හුස්ම ගන්න බැරි උනාම ඉගෙන ගත්තා මට සෙල්ලම් දාන්න වැඩ පෙන්නන්න පුළුවන් සීමාව මොකක්ද කියලා. කඩියෝ තෙල් කූඹි එහෙම කෑවම ඉගෙන ගත්තා කොහේ හරි ගිහින් හිටගන්න වාඩිවෙන්න කලින් වට පිට බලලා සම්මා සතියෙන් ඉන්න. එපා කියන දෙයක් කරලා අඬු කඩා ගත්තම ඉගෙන ගත්තා අපිට වඩා දැනුම් තේරුම් තියන අයට සවන් නොදීමේ විපාක. අපේ වැඩිහිටියෝ කවදාවත් අපට අරක එපා මේක එපා කිව්වේ නැහැ. ගහකට නගින්න ගියත් කිව්වේ "කටු තියනවා පුතේ පරිස්සමින්. හීරුණොත් විසයි" "ලොකුවට පෙනුනට ඔය ගහ හරි ලපටියි. එච්චර හයිය නැහැ. ගොඩක් උඩට යන්නේ බලාගෙන" වගේ situation එක, හොඳ නරක කියලා දුන්නා මිසක් කරන දඟ වැඩ මොකුත්ම නැවැත්තුවේ නැහැ.

ඒත් දැන් මම දකිනවා ගොඩක් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව කොටු කරගෙන ඉන්නේ. එහෙම සමහර දරුවෝ ඉන්නවා දැන් අවුරුදු තුනත් පහුවෙලා. ඒත් තවම හරියට ඇවිදගන්න බැහැ. දරුවාගේ අබාධයක් නෙවෙයි. දරුවාගේ ඔළුව වදිනවා කියලා කේන්දරේ තියන නිසා හරි දරුවා වැටෙයි කියලා හරි අම්මා දරුවට තනියම ඇවිදින්න දෙන්නේ නැහැ. හැම වෙලාවේම අම්මා කොන්ද නමාගෙන දරුවාගේ දෙපැත්තෙන් අත් දෙක තියාගෙන යන්නේ. දරුවා ඇවිදින්නේ බීපු මනුස්සයෙක් වගේ. තවත් දරුවෝ ඉන්නවා අවුරුදු හත අටක් ලොකුයි. හැම වෙලාවේම හැමෝටම ගහනවා. රිදවනවා. රණ්ඩු වෙනවා. ඒ අම්මලා කියන්නේ "තවම පොඩියි අනේ. තේරෙන්නේ නැහැ එපා කිව්වට" කියලා. තවත් අම්මලා දරුවෝ කියන බොරු වලට, කරන නසරානි වැඩ වලට ඒ අම්මලට හරියට හිනා යනවා. අනේ මේ දරුවෝ ඉන්න අම්මා කෙනෙක් තවත් ඒ වගේම දරුවන්ව විවේචනය කරනවා නෙවෙයි. ඔබ අතරින් මෙහෙම කෙනෙක් ඉන්නවා නම්, ඔබ ඔබේ දරුවට කරන හානිය ඔබට තවමත් පෙනෙන්නේ නැති නම්, ඒක පෙන්නන්නයි මට ඕනේ. දරුවන්ට තේරෙන්නේ නැත්තේ නැහැ. අවුල තියෙන්නේ අපේ. අපි දරුවන්ට තේරුම් කරන්න දන්නේ නෑ. අපිටයි තේරෙන්නේ නැත්තේ. දරුවෝ කරන දේවල් වලට දෙමව්පියෝ විදිහට අපි සතුටු වෙන්න ඕනේ. ඒත් කරන නරක වැඩ වලට හිනාවෙනවා කියන්නේ අනුබල දෙනවා කියන එක.

මගේ දරුවොත් හරියට දඟ වැඩ කරනවා. ඒත් මම මගේ දරුවන්ට හැම වෙලාවේම කියන්නේ "ඔහේ නටපු දෙන්. පස් අතගාපු දෙන්. බිම වැටුන දේවල් කාපු දෙන්. වැටිච්ච දෙන්. තුවාල වෙච්ච දෙන්. තුවාල උනොත් බෙහෙත් ටිකක් දාන්න පුළුවන්. තුවාල වෙන්න ඕනේ. වේදනාවල් විඳින්න ඒවා දරාගන්න පුරුදු වෙන්න ඕනේ. ඔය වයසේ දඟලන්නේ නැතුව අපේ වයසට ආවහම දඟලන්නද?" කියලා. මම දන්නවා එහෙම හැදෙන දරුවෝ අනුන්ට රිද්දන්නේ නැහැ කියලා.

ගින්දරට පිච්චෙන බව පිහියට කැපෙන බව ළමයි ඉගෙන ගන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ චක්කරේ පාඩම් කරවන එකයි ඒ 10යි, ඒ 3යි ගන්න එක නෙවෙයි කියලා අද ගොඩාක් දෙමව්පියෝ අමතක කරලා. පුළුවන් හැම වෙලාවකම දරුවන්ට හොඳ නරක සහ ඇත්ත කියලා දෙන්න ඕනේ. දරුවන්ට ඕනේ දෙයක් තේරෙනවා. අපිට තමයි තේරෙන්නේ නැත්තේ දරුවන්ට තේරෙන බව සහ දරුවන්ට තේරෙන විදිහට ඒ දේවල් කියා ගන්න විදිය.

~~නිසංසලා රත්නායක~~


අහසින් තරුවක් කඩා වැටෙනවා....

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

අහසින් තරුවක්....

මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

අහසින් තරුවක්....

ගායනය.... මාලනී බුලත්සිංහල

මම මේක නිතරම අහන ගීතයක්. මොකද ඇය මගේ ප්‍රියතම ගායිකාවන්ගෙන් කෙනෙක්. ඉතින් ඒක නිසා මට හිතුනා මේ ගීතය ගැන කතා කරන්න ඕනා කියලා.


මේකයි කතාව.......... :

ඇය එක් වරක් අමාරුවේ වැටුන තරුණියක්. ඒ කියන්නේ අනාථ වුන තරුණියක්. සමහරවිට ඇය කලින් විවාහ වුන කෙනෙක් විය හැකියි. දෙවෙනි පාර ඇය හිතනවා ඇයට වැරදෙන එකක් නැහැ කියලා. නමුත් අවාසනාවක මහත....!! ඇය නැවත වරක් පෙර ලෙසම රැවටෙනවා. මේ බිඳ වැටීම් නිසාම ඇයගේ හිත ශක්තිමත්. ඇය ඇයගේ දෙවෙනි ප්‍රේමවන්තයාගේ නික්ම යාම ඇය ඉතා ශක්තිමත් ලෙස දරා ගන්නවා.


පෙම්වතා ඇය අත් හරින්න හදන්නේ ඔහුගේ උවමනාවට. ඒ කියන්නේ ඇයගේ චරිතය හොඳ නැති කෙනෙක් ලෙස අන් අය සිතන නිසා. ඇතැම් විට දෙමාපියන්ගේ බලපෑමකට. මොකද හැම දෙමාපියෙක්ම තමන්ගේ පුතාට හොයන්නේ හොඳ බිරිඳක්. ඉතින් ඇයට කලින් සිදුවුන වැරැද්ද නිසා පෙම්වතාගේ දෙමාපියන් ඇයට විරුද්ධ වෙනවා වෙන්නත් පුළුවන්.

මේ හේතුව නිසා ඇයගේ හිතේ තරහකුත් තියනවා. ඒ කියන්නේ පෙම්වතාට කෙලින් තීරණයක් ගැනීමට නොහැකිකම නිසා. ඇය ඒකටත් නෝක්කාඩු කියනවා. මොකද ඇයව අත හරින්න හදන පෙම්වතා ඒ ගැන දුක් වෙනවා, අඬනවා. ඒත් ඇය නිහඬයි. සිදු වූ දේවල් නිසා ඇයගේ හිත ගලක් වෙලා. ඒත් ඇයට ඔහුගේ වැලපීම පේන්නේ මවාපෑමක් විදියට. ඒ නිසාම ඇය අහනවා "මමයි අඬන්න ඕනා.... වැලපෙන්න ඕනා. මටයි වැරදුනේ... ඇයි ඉතින් ඔයා අඬන්නේ"

ඇයට දැනෙනවා ටික දවසක ඉඳන් ඔහු ඇයව මඟහරින බව. ඇය අඟවනවා ඔහුට, ඇයට ඔහුගේ වෙනස දැනුන බව. ඇය කියනවා ඔහුට, "මේක වෙන්නේ නැති දෙයක් විදියටයි ඔයා හැසිරෙන්නේ. ඒක නිසා ඔයාට අපේ සම්බන්ධේ වැරදි ඇරෙන්න වෙන දෙයක් පේන්නේ නෑ".

දෙමව්පියන්ගේ කැමැත්තට ඔහු වෙන කෙනෙක් සමඟ විවාහ වෙයි කියලා ඇය හිතනවා. ඇය ඔහුට කියනවා මෙහෙම "ඔයා එක්කගෙන එන්නකෝ පතිවත රකින මලක් වගේ කෙනෙක්ව. ඔයා හිතනවා නම් මම ඒක දැකලා සතුටෙන් ඉඳියි කියලා. ඒක වෙන්නේ නෑ කවදාවත්.

ඉතින් මොකක්ද මේ ගීතය.....

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැලපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැහැ සුලඟයි වැලපෙන්නේ

ඔයාගේ අහසේ තරුවක් වුන මම ඔයාගේ අහසෙන් කඩාගෙන වැටෙනවා... තරුණ විය ඉක්මවා නැති මලක් වුන මම.. ඒ මල පරවෙන්න කලින්ම, ඒ කියන්නේ අපේ විවාහයට පෙරම බිමට වැටෙනවා.... මම ඒක නිහඬවම දරා ගන්නම්. ඇයි ඔයා වැලපෙන්නේ...!

පෑහීමක් නැහැ නොකෙරෙන දීගේ
සෙවනැල්ලත් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනි රෑ
හිත හොඳ වැඩිකම ලූ

මගේ හිත හොඳ වැඩිකමට මම එක පාරක් අමාරුවේ වැටුනා. ඒත් මම හිතුවා ඔයා මට එහෙම කරන එකක් නැහැ කියලා. ඒත් ඔයත් හැසිරුනේ මේක කෙරෙන්නේ නැති තැනටමයි.

මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මම වතුර අදින්නම්
ඔබේ මඟුල් දවසේ

ඔයා හොයන්නේ මම වගේ කෙනෙක්ව නෙමෙයි. මලෙන් ඉපදුන පතිවත රකින කෙනෙක්ව. ඔයා හොයගෙන එක්කගෙන එන්නකෝ එහෙම කෙනෙක්ව. "මලෙන් උපන් මල් පත්තිනි දේවී" මේ කොටසින් නෝක්කාඩුවක්, ඇයගේ හිතේ තරහක් ප්‍රකාශ කරනවා. පත්තිනි දේවිය කියන්නේ පතිවෘතාව අතින් අග්‍රගන්‍යයේ ලා සැලකෙන දෙවඟනක්. ඇයට අවශ්‍ය ඔහුට රිද්දන්න. ඒ නිසායි ඇය මේ විදියට කියන්නේ. ඔයා හිතනවානම් පත්තිනි දේවිය වගේ පිරිසිදු කාන්තාවන් අද හොයගන්න පුළුවන් කියලා. එහෙමනම් එහෙම කෙනෙක් හොයගෙන පෙන්නන්න බලන්න. එහෙම අය ඉන්නවනම් මට හිල් කූඩයකින් වතුර අදින්නත් පුළුවන්. ඇය මෙතනදි අදහස් කරන්නේ වැරදි නොකරපු අය අද කාලේ හොයා ගන්න බැහැ කියන එකයි.

ප.ලි. : අවසන් පද පේළි දෙකේ අර්ථය වෙනස් කලා. ‪#‎Dilani_Welvitigoda‬ උදව් කලාට ගොඩාක් ස්තුතියි

~ අකූ ~


අකුෂ්ලා ප්‍රනාන්දු


කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා....

මේ ගීතයෙන් කියවෙන්නේ වියපත් නර්තන ශිල්පියෙක් ගැන. පෙර කලාකරුවා තම කලා කුසලතාවයන්
ඉදිරිපත් කලේ මුදල් මතම යැපිලා නෙමෙයි. ඔවුන් දන්නා ශාස්ත්‍රය බෙදුවෙත් මුදල් බලාපොරොත්තුව නෙමෙයි. එකල පාරම්පරික කලා ශිල්පියා ජීවත් වූයේ තම කලාවෙන් උනත් ඔවුන් මුදල් පසුපස හඹා ගියේ නෑ. ඔහුට ලැබෙන සොච්චමෙන් ඔහු කෙසේ හෝ ජීවිතය ගැට ගහ ගන්නවා. මෙන්න මේ කතා සාරාංශය තමයි මේ ගීතයෙන් ප්‍රකාශ කරන්නේ.

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා


මෙතනදි කිරුළ කියන්නේ නැට්ටුවාගේ වෙස් තට්ටුව. නර්තනයට ආදරය කරන ශිල්පියාට වෙස් තට්ටුව කියන්නේ හරියට තමන්ගේ ජීවිතේම වගේ. කොටින්ම කියනවනම් වෙස් තට්ටුව දාල තියන පෙට්ටිය (වෙස් පෙට්ටිය ) ගෙදර බිම තියන්නෙත් නෑ. අඩුම ගානේ ගැහැණු කෙනෙක්ට අල්ලන්නවත් දෙන්නේ නෑ. වෙස් තට්ටුව පළඳින නැට්ටුවා හරියට රජෙක් වගේ. ඉතින් මෙතන කියන්නේ මේ වෙස් තට්ටුවත් දැන් නැට්ටුවා වගේම වයසට ගිහිල්ලා... ඒකේ අල්ලලා තියන මුතු, පබළු ගැලවි ගැලවි යනවා.... හරියට ඔහුගේ වියපත් ශරීරය වගේ..... ඒ වගේම සුළු මැදුම් දෙතිත කියන්නේ උඩරට නර්තනයේ වැඩි වශයෙන්ම භාවිතා වන තාලයක්. ගොඩක් වෙලාවට වෙස් නැට්ටුවන් භාවිතා කරන්නේ මේ තාලය. ඉතින් නිරතුරුවම ඔහු භාවිතා කරන මේ තාලයත් ඔහුට වරදිනවා. ඇයි ඒ... ?? මොකද ඔහු ඒ තරම් වයසයි. නමුත් ඔහු නටනවා. එකක් ඔහු නර්තනයට ආදරය කරන නිසා....අනෙක එය ඔහුගේ ජීවිකාව නිසා.
"නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා".. ඔහුගේ නැටුමේ දැන් පෙර තිබූ අලංකාරය නෑ. ඔහුගේ දෙපා වලට පණ නෑ... ඒත් ඔහු නටනවා. ඒ ඔහුගේ පවුල ජීවත් කරවිය යුතු නිසා.

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
(සකියණි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි) //

මේ වේදිකාව දිලිසුනාට සුමිහිරි වන්නම් තිබුනට සත්‍ය ඒක නෙමෙයි. මේ කිසිම දේකින් ජිවිත සටන දිනන්න බෑ. මිතුර ඔබ මේ වේදිකාව කොපමණ බැබලුවත්... මිහිරි වන්නම් වලට නර්තනයේ යෙදුනත් ඒ කිසිම දේකින් මේ සටන ජය ගන්න බෑ.
මෙහිදී "සකියණි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි" යන කොටස දෙවරක් ගායනා කිරීමෙන් ඔහුට එය තදින් පසක් කර දීමට වෙර දරන බවක් පෙන්නුම් කරනවා.

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි

මේ වේදිකාවෙන් ඔබ නික්මෙන විට ඔබ සන්තකව තිබූ සියල්ල ඔබට අහිමි වෙලා. ඔබ නර්තන ක්ෂේත්‍රය මෙච්චර දේවල් කරලා තියෙන්නේ ඔබේ ගෙදර තිබූ දේත් නැති කරගෙන. ඇතැම් විට බිරිඳ සතුව තිබූ රත්තරන් පවා ඔහු උගස් කරන්නට ඇති. මිතුර සෑම දෙයක්ම මුදලින් මනින මේ කුරිරු ලෝකයේ ඔබේ බෙර පදයෙන් ඔබ කෙලෙස නම් යැපෙන්නද ????

අවාසනාවට පාරම්පරික නර්තන ශිල්පීන්ට මෙම අසාධාරණය අදටත් සිදු වෙනවා. හතු පිපෙන්නා වගේ බිහිවෙන "නැට්ටුක්කාරයන්" මුදලට මෙවැනි වටිනා සම්පත් විකුණමින් දේශීය නර්තනය විකෘති කරනවා. මෙය මා අත්දැකීමෙන් දන්නා හරිම ඛේදජනක දෙයක්.

~ අකූ ~


අකුෂ්ලා ප්‍රනාන්දු


සිනහා වෙනු මැන වේදනා පිසදා...

සිනහ වෙනු මැන
වේදනා පිසදා //

වෙරළ රළ හා තරහ වී නැත
මියුරුසර වෙණ හා බිඳී නැත //
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

සිනහ වෙනු මැන...

කඳුල දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම් //
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

අපි ගොඩක් දෙනෙක් දුක් විඳින්නේ අතීතය නිසා. අපිට සතුටින් ඉන්න අමාරු වෙන්නෙම අතීත මතක නිසා. එක පාරටම පිළිගන්න අකමැති උනත් ඒක තමයි ඇත්ත. අපේ අතීතයේ අපේ හිත් දවසගානේ තුවාල කරන මතක තියෙන්න පුළුවන්. ඒ මතක වලට හේතුව දෙමව්පියෝ වෙන්න පුළුවන්. සහෝදරයෝ වෙන්න පුළුවන්. සැමියා වෙන්න පුළුවන්. බිරිඳ වෙන්න පුළුවන්. දරුවෝ වෙන්න පුළුවන්. නෑදෑයෝ වෙන්න පුළුවන්. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. අසල් වැසියෙක් වෙන්න පුළුවන්. ඔෆිස් එකේ බොස් වෙන්න පුළුවන්. සමහර විට තමන්ගේ ආගම වෙන්න පුළුවන්. සමහර විට මේ හේතු එකක් වත් නොවෙන්නත් පුළුවන්. කොහොම හරි අතීත මතක වලින් අයින් වෙලා "අතීතය මගෙ හදවතේ නැත.." කියලා අද දවස හදවතින්ම හිනා වෙලා ඉන්න පුළුවන් නම් කොච්චර වටිනවද නේද?

සිනහා වෙනු මැන වේදනා පිසදා... වේදනා පිසදා...

වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත...

රැල්ලයි වෙරළයි, වීණාවයි මියුරු සංගීතයයි, හඳයි අහසයි කියන්නේ මේ ලෝක සම්මතයට අනුව වෙන් කරන්න බැරි එකටම ඉන්න දේවල්. හරියට මමයි මගේ දෙමව්පියෝයි වගේ. මමයි මගේ බිරිඳයි වගේ. මමයි මගේ සැමියයි වගේ. වෙන් කරන්න බැහැ. ඒ හින්දා තරහ වෙන්න බෑ. තරහ වෙලා වැඩක් නැහැ.

අවුරුදු විස්සක් ඔබේ ජිවිතේ කෑවා විනාස කරා කියලා ඔබට හිතෙන ඔබේ අම්මට, සැමියාට සමාව දෙන්න පුළුවන් නම්, වෙනස් වෙන්න ඕනේ ඔවුන්ට වෙනස් වෙන්න ඔවුන්ගේ අතීතය ඔබට අමතක කරන්න පුළුවන් නම්, "ඔය බොන්නේ නැහැ කියලා කොච්චර පොරොන්දු උනත් අදත් බීලා එයි. ඔය මනුස්සයා විශ්වාස කරන්න බැහැ" කියන කටින් "මම දන්නවා ඔයා අද ඉඳන් වෙනස් වෙනවා. මට ඒක මාර විශ්වාසයි.." කියලා කියන්න පුළුවන් නම්, අද වෙනකල් ඔහුගේ බීම නිසා උන ලැජ්ජාව අසහනය රිදීම ඔක්කොම අමතක කරලා ආදරෙන් වැළඳ ගන්න ඔබට පුළුවන් නම්, "ඔය කිව්වට අර මනුස්සයාගේත් එක්ක තියන සම්බන්දෙ තමුසේ නවත්තන්නේ නැහැ." කියලා බිරිඳට කියන්නේ නැතුව, ඔබේ බිරිඳගේ හිතේ පැහැවන අතීත දුක වේදනාව ඔබේ තුරුලේදී දිය කරලා හැරලා ඇයට නිදහස් වෙන්න පුළුවන් නම්, ඇයට සමාව දීලා ඒ වෙච්චි ඔක්කොම අමතක කරන්න ඔබට පුළුවන් නම්, ඊයේ රණ්ඩු වෙලා වෙන්වෙලා ගිය ඔබේ පෙම්වතා පෙම්වතිය අද හම්බ වෙනකොට ඊයේ නවත්තපු තැනින් අද පටන් ගන්නේ නැතුව "අතීතය මගේ හදවතේ නැත..." කියලා අලුත් දවසක් පටන් ගන්න ඔබට පුළුවන් නම්, විභාගේ ෆේල් වෙලා එන ඔබේ දරුවට "අපිව නැති කරන්න ආපු කාලකණ්නියෙක්" කියලා බනින්නේ නැතුව ඒ දුකට මූණ දෙන හැටි සහ දුක නැති කර ගන්න මාර්ගයේ ඔහුගේ අත අල්ලගෙන පාර පන්නන්න පුළුවන් නම් මේ ලෝකේ කොච්චර ලස්සන කරන්න අපිට පුළුවන් ද?

කඳුල දොම්නස නසන්නට නම්
බඹර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි කියන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

සිනහා වෙනු මැන වේදනා පිසදා... වේදනා පිසදා...

මේ ලෝකේ හරි ලස්සනයි. කැත කරගෙන තියෙන්නේ අපිමයි. ඔබ අද ඉඳන් අතීතය අමතක කරලා ආදරේ කරන්න පටන් ගන්න. "ඉස්සරත් එයා ඔහොමමයි" "එයාලගේ පරම්පරාවම ඔහොමයි" "ඔයාගේ අම්මගේ ගති තමයි ඔයාටත් තියෙන්නේ" "තමුසෙව හදන්න බැහැ" වගේ වචන ඔබේ ශබ්ද කෝෂයෙන් සදහටම මකලා දාන්න. එයා එයාගේ අතීතයේ දෙයක් ඔයා ඉස්සරහට ගෙනත් පාපොච්චාරණය කරන්න හැදුවොත් "අතීතය මගේ හදවතේ නැත.." කියලා හදවතින්ම එයාට කියන්න. ඔබට ඒ සතුට විඳින්නට පුළුවන්. ජිවිතේ ලස්සන දකින්න ඕනේ නම්, හිනහ වෙන්න ඕනේ නම් අතීතය මකලා දාන්න. සදහටම හිතෙන් මකන්න. අතීතයෙන් පාඩම් ගන්න. ඔබට හැදෙන්න. ඒත් අතීතය ජිවිතේ කර ගන්න එපා. සතියක් කරන්න. ඔබ ඉබේටම ඒ ලස්සන ජීවිතේට පුරුදු වෙයි. ඒ ලස්සන ඔබ අත් දකින කොට ඔබේ ජිවිතයට වසන්තය එනවාමයි!!!

~~නිසංසලා රත්නායක~~


Saturday, 2 January 2016

බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ...

බිමට වඩින් බිමට වඩින්
ස්වර්ණමාලි කුමාරියේ…
අන්න ගොරබිරම් රකුසෝ
අමු කැලෑ බිඳන් එනවෝ…
.

දිව සවනින් අසා මිනිස් කන්නලව්ව පුරාණයේ
රුක් විමනින් පොළොවට වැඩි ස්වර්ණමාලි කුමාරියේ
නිල්ල නිලන තුරුලිය වූ අප පාමුල බැතින් ළයේ
පූජා කළ මිනිසත්බව රකුසු වෙසින් ඒවි ලියේ
.

ළපලු නටන අප සියොලඟ විලිකුන් පල හටගන්නේ
සිව් සිය ගව් කෝටි වරුස අප යහතින් වැඩ උන්නේ
තණ්හාවේ වියරු වෙසින් අද උන් අප වෙත එන්නේ
දිවි රැක ගන්නට නුඹ රුක් විමානයෙන් බැසපන්නේ
.

අගිල් කපුරු සුවඳ තෙලින් අප පැදකුණු කළ වැසියෝ
නිරුදක කතරක් හෙට මෙහි මවනා දුර්ගුණ ගැතියෝ
පොරෝ කියත් අවි බලයට සිරස නමන වන දෙවියෝ
අපට පිහිට වනු කෙලෙසද ඒ තෙද බල අද නැතියෝ

ගායනය: අයිවෝ ඩෙනිස්
ගේය පද: අජන්තා රණසිංහ
සංගීතය: ප්‍රේමසිරි කේමදාස

මෙම ගීතය අයිවෝ ඩෙනිස් මහතා ගායනා කරන ල්ද්දේ අප කුඩා කාලයේදීය. මෙහි ගී පද අජන්තා රණසිංහ ශූරීන්ගෙනි. එතුමා ඉතාමත් හරවත් කතාවක් අප ඉදිරියේ තබයි. මේ කතාවට පන පොවන්නට ඉදිරිපත්වන තවත් අයෙකි ප්‍රේමසිරි කේමදාසයන්. ඔහුගේ සංගීතයෙන් හැඩවුනු එකම ගීතය මෙය නොවුනත්, මෙහි පද පෙලට වටිනා ජවයක් ලබාදීමට මේ සංගීතය සමත්ය. 

ස්වර්ණමාලී කුමාරිය යනු වෘක්ෂලතාවන් විමානයක් සාදාගෙන වැඩසිටි අයෙකි. ඉතින් ගීය ආරම්භයේදිම ඇයට බිමට බසින ලෙස රචකයා පවසනවා. ඇයි මේ ඇයට මෙසේ කියන්නේ. රකුසන් රැසක් කැලෑව බිඳගෙන පැමිනෙනවා. කවුද මේ රකුසො? මේ රකුසන් එදාත් සිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. වන විනාසයට වග කිවයුතු වෙන කවුරුත් නොවේ. මේ රකුසන්මැයි. අද බොහෝ දෙනා කතා කරන විල්පත්තු වන විනාශය මෑත කාලයේ අපට දක්නට ලැබුන විශාලතම වන විනාශයක්. මේ හේතුව නිසාමයි අද මා ඔබට මේ ගීතය ගෙනගැර පාන්නේ. වනාන්තර අමු අමුවේ කපා විනාශ කොට එක එක ජඩයන්ගේ ඕනෑ එපාකම් පිරිමහ ගන්නට දීපු අපේ පාලකයන්ට මුලින්ම දඬුවම් කල යුතුයි. හදිසි අවස්ථා සඳහා විකල්පය කැලෑ කැපීමද? අනෙක් අතට එය හදිසි අවස්ථාවකුත් නොවෙයි. මේ පරයන් ගජබින්න දෙසාබාමින් ගොදුරු කර ගන්නේ අපේම මිහිලිය නොවේද?  අද අපේ රටේ නීතියට අනුව මිනිස් ජීවිතයක් උදුරා ගත්තෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කල හැකිය. එසේනම් මේ මිහිලිය වනසන එවුන් යැවිය යුත්තේ කොතැනටද? මෙවැනි විනාශයක් බල බලා වෙනත් කිසිම වැඩකට නැති දේශපාලනයක් අල්ලාගෙන දඟලන අවස්ථාවාදී දේශපාලුවන් පෝරකයට යැවිය යුතුය. මිනිස් ජීවිත රැඳී පවතින්නේ මේ තුරුලිය මතය. අප හෙලනා හුස්ම පොදක් පාසා අප මේ ගහ කොලට නයගැතිය. මා ආවේගශීලී වැඩිවුනායැයි සිතේ. නමුත් මේවා නොකියා බැරිය. සතුටට කරුන නම් මේ වන විනාශය වෙනුවෙන් කතාකරන පමනක් නොව ක්‍රියාවෙන් දායක වන බොහෝ දෙනෙක් සිටිති. ඒ සැබෑ ලක් මවගේ පුතුන්ය. මව් හඳුනන්නෝය. ඔවුනට මාගේ අචාරය.....

ඉතින් අපි ගීයට යමුකෝ...
ස්වර්ණමාලී කුමරිය පෙර පැවසුවාක්මෙන් වෘකෂලතා විමානය කොට ගෙන සිටි අයෙකි. ඇය මේ ගහ කොල සමග කෙතරම් ලෙන්ගතුද යන්න නොකිවමනාය. මිනිසාගේ මිනිසත්බව කෙමෙන් ක්ෂයවී රකුසු වෙස් ගෙන ඇත. මේ ගීතයට අනුව කතා කරන්නේ  ගහ කොලයි. ගහ කොල පවසන අන්දමට ඉතා පුරාණයේ සිට අවුරුදු කෝටි ගනනක් ඔවුන් යහතින් කල්ගත කොට ඇත. ගව් ගනනක් දුරට ඔවුන් පැතිරී ව්‍යාප්ති වී කිසිම අපල උපද්‍රවයකින් තොරව වාසය කොට ඇත. නමුත් තණ්හාව නමැති  විශඝෝර සර්පයා විසින් මිනිසා වෙලාගෙන ඇත. මුදලට, බලයට ලොබින් ඔවුහු අප වනසා දමන්නට පැමින ඇත. අපට පිහිටක් නැත. ස්වර්ණමාලි කුමරියේ ඔබද අසරණය. විමානයෙන් බිමට වඩිනු මැනවි. 

පුරාණයේ වෘකෂ වන්දනාව සිදුකල හැටි ගහකොල අපට මතක් කර දේ. අගිල් කපුරු සුවඳ තෙලින් වෘක්ෂයන් පුදා නමස්කාර කලහැටි. නමුත් ඒ හැම එකක්ම අමතක කොට මහපොළොවම නිරුදක කතරක් කරන්නට වෙර දමනා දුර්ගුණ මිනිසුන් අද කාලයේ බිහිවී ඇත. වනයට අධිපති අයියනායක දෙවියන්ට වත් ගහකොල වලට පිහිටක් වන්නට නොහැකි අයුරකි. පොරෝ කියත් අවි බලය හමුවේ දෙවියන්ද සැලී ඇත. 

ඉතින් අවසානයේ අපට හිමි වන්නේ නිරුදක කතරක් හෙවත් කාන්තාරයක් පමනද? මෙයට ඔබ අප සියල්ලෝම වගකිව යුතය. කැලෑ පාළුවන් හමුවුනොතින් උන්ට නම් මඩු වලිගයෙන් තැලුවාට කම් නැත. මන්ද මෙය රටේ දැවෙන ප්‍රශ්නයක් වන නිසාවෙනි. 

රතු ඉන්දීය නායක සියැටෙල් පැවසූ රුවන් වැකියකින් මම නවතිමි.

"මිහි මවට හිමිවන ඉරණම ම මිහි දරුවාට ද හිමි වේ . මිනිසා ජීවය නම් වියමනහි මැවුම්කරු නොව , හේ එහි රැදෙන්නෙකු පමණි . ඔහු එම වියමනට කුමක් කළ ද එය තමාට ම කරගත්තා සරිය" 

~~තේජන අබේදීර~~




Friday, 1 January 2016

රන් සමනලයෙක් ඇයගේ මුහුණින් පැණි බොන්නට ඇවිදින්..

ගැහැණියකගේ රූ සෝබාව සොබාදහමේ පවතින නොයෙක් දේවල් වලට සමාන කරන එක පැරණි කාලෙ
ඉඳලම කවියන්ගේ සිරිතක්... සොබාදහමත් රැවටෙන තරමටම කාන්තාවකගේ රූ සෝබාව අලංකාර නම්?...
එලෙස රැවටීමට ලක් වුන සොබාදහම ගැන කියවෙන කතාවක් තමයි මේ ගීතයෙන් කියවෙන්නෙ...

රන් සමනලයෙක් ඇයගේ මුහුණින් පැණි බොන්නට ඇවිදින්,
කොහොමද සමනලයාට ඉතින් අපි ඇත්ත කියා දෙන්නේ...


ගීතයේ වර්ණනයට පාත්ර වන යුවතියගේ මුහුන හරියටම මලක් වගෙයි... කොච්චර ද කියනවනම් ඒ මුහුණින් පැණි බොන්න සොයන්නට තරම් රන් සමනල්ලු පවා රැවටීමට ලක් වෙලා... ඒ වගේමයි ඇගේ කට හඬ... ඒ කටහඬේ ඇති මියසි රාවය කොච්චර ද කියනවනම් ඇයගේ ගීයට මත් වුන කොව්ලන් ඇය කෙවිලියක් කියලා හිතා ගෙන ඇය ලඟටම ඇවිත්... එහෙම රැවටුන මේ අසරන කොව්ලන්ට ඇය කෙවිලියක් නොවන වග නම් කියන්නට කව්රුත්ම හිටියෙ නෑ...

එතනින් නැවතුනෙත් නෑ.. ඉලඟට මොනරෙක් ඇවිත් ඇයගේ වරලස සිඹින්න වුනේ මොනරගේ නැති වුන සිකිපිල ඉල්ලමින්... ඒ වරලස මොනරගෙ සිකිපිලමයි කියලා මොනර කියද්දි කොහොමද ඒ ඇයගෙ වරලස බව මොනරට පැහැදිලි කරන්නෙ... සිකිපිලක් වගේ වුන ඒ වරලස මොනරගෙ නෙමෙයි කියන්න මොනරත් කැමති වුනේ ම නෑ...

එතැනින් නැවතුනෙත් නෑ... ඒ අසල තිබුන නා ගසක් ඇයගේ තොල් පෙති වලට නා දළු කියල රැවටිලා තොල් පෙති නරබන්න ගත්තා... ඉතින් මොනව කරන්නද? ඒ අහිංසක නා ගසත් මේ යුවතියගෙ තොල් පෙති වලට රැවටිලා... රන් සමනලයා, කොව්ලා, මොනරා, නා ගස වගේ නම් නෙමෙයි... ඊටපස්සෙ ඇයට ආවෙ පුදුම අවනඩුවක් සහ පුදුම අසරන වීමක්... ඇයගේ පියයුරු දිහා බලපු විල, ඇයගෙන් විලේ හිටපු නැති වුන හංස යුවල ඉල්ලන්න ගත්තා... කරන්නට කිසිම දෙයක් නැති වුන යුවතිය දෑතින්ම සිය ළැම මඬල වසා ගෙන විලියෙන් ඇඹරෙන්න වුනා...

ඒ විතරක්ම නෙමෙයි... තවත් අවනඩුවක්... විලේ පිපිල තිබුන මානෙල් මලක පෙති දෙකක් නැති වෙලා... මානෙල් මල ඇයගෙ දෑස් දිහා බලමින් ඒ මල් පෙති ජෝඩුව ඉල්ලන්න වුනා... මෙතෙක් වෙලා නිහඬව සිටි කිසිම දෙයක් හොරකම් නොකරපු ඇය, මානෙල් මල් පෙති ගත්තෙ නෑ කියලා දිව්රන්න වුනා... ඉතින් කව්ද ඇයව විශ්වාස කරන්නෙ???...

ගීතය එතැනින් අවසාන වෙනවා... ඒ ගැන අපි සතුටු වෙමු... නැති නම් තව කී දෙනෙක් ඇයගෙන් ප්රශ්න අසාවිද? කී දෙනෙක් ඇය හෙරක් කරාවිද?
වර්තමානයේ බිහි වෙන අරුත්සුන් ගීත අතර මේ ගීතය ඉතා විශිෂ්ඨ ගීතයක් විදිහට නම් කරන්න පුළුවන්... මේ වර්ණනා අතීතයේ අපේ කවියන් කාන්තාවන් වර්ණනය කල ආකාරය සිහි කරවනවා...
දීපිකා ප්රියදර්ශනී, බාතිය හා සන්තුශ් යන ගායක ගායිකාවන්ගෙ එකතුවෙන් නිර්මාණය වුන මේ ගීතය කාන්තාවකගේ අලංකාරය ඉස්මතු කරමින් බිහි වෙලා තියන ගීත අතර වෙනස්ම ගීතයක් විදිහටයි මට නම් පෙනෙන්නෙ... පද රචනය, සංගීතය වගේම ඔව්න්ගේ කටහඬ දායකත්වය තුලින් මෙම ගීතයේ අලංකාරය තවත් ඉස්මතු වුන සාර්තක ගීතයක් විදිහට නම් කරන්න පුළුවන්...

රන් සමනලයෙක් ඇයගේ මුහුණින් පැණි බොන්නට ඇවිදින්,
කොහොමද සමනලයාට ඉතින් අපි ඇත්ත කියා දෙන්නේ,
ඇයගේ ගීයෙන් මත් වූ කොව්ලන් ඇය ලඟටම ඇවිදින්,
කොහොමද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ...

මොනරෙක් නැති වුන සිකිපිල් සොයමින් ඇයගේ වරල සිඹී,
ඒ මොනරා හට තතු පහදන්නේ මොන විදිහට ද අපි,
නා ගස නා දළු නරඹයි ඇයගේ තොල්පෙති වෙතට එබී,
අනේ අහිංසක නා ගස ඇය හට රැවටී තියන හැටි...

විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි,
දෑතින් සිය ළැම මඬල වසා ගෙන විලියෙන් ඈ ඇඹරෙයි,
කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි,
මහනෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිව්රයි...

පද රචනය- මහාචාර්යය සුනිල් ආරිය රත්න
සංගීතය- රෝහන වීරසිංහ
ගායනය- දීපිකා ප්රියදර්ශනී පීරිස් සමඟ බාතිය සහ සන්තුශ්


~~ඉශානි ප්‍රදීපිකා~~


ඉස්සර මං ගිය පාසැල ඇරිලා

ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා

ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා
බිම් මල් හිනැහී හිස වැනුවා
ඒ දඬුමංකඩ තිත්ත පැටවු රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුනා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැළ පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට සිතුනා

ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
සංගීතය : එච්.එම්.ජයවර්ධන
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී

මගේ දෑසට කඳුළු එක් කරන්නට සමත් වුනු ගීත අතලොස්සකින් එකක් ඔබ හා බෙදාගන්නට මම සිතුවා. ඇත්තම කියනවනම් මට මේ ගීතය දවසකට එකවරක් පමනයි අසන්නට පුලුවන්. සමහට ගීත දවසට දෙතුන්පාර නෙමෙයි ඊටත් වැඩියෙන් අසන වෙලාවන් තිබෙනවා. අහිමිවී ගිය පාසල් කාලය මතක් වෙනකොට පුදුමාකාර දුකක් දැනෙනවා. ඒ කාලේ හිටපු අය සමග ඒ කාලය නැවතත් ඒ අයුරින්ම ගත කරන්න හැකිනම් කියල හැඟෙන වාර අනන්තයි. දැනටත් මගේ මුහුනු පොතේ ඒ යාළුවන්ගෙන් අතලොස්සක්  ඉන්නවා. නමුත් දුකට කාරනාව ඔවුන් හැමෝම වගේ ඉතා දුරින් ජීවත්වීම. සමහරු වෙනත් රටවල් වල. තවත් සමහරු බොහොම ඈතක.
පාසල් කාලය ගැන කියැවෙන සිංදු කිහිපයක්ම නිරායාසයෙන්ම අප තොල් අගට පැමිනේවි. 'සුළගේ ලෙලෙනා, සුදුපාට මල් පිපුනු, පියමං කෙරුවෙමු, මාගේ පාසල් කාලය, ආයේ ආයේ එන්නේ නෑ, සුදු පරවි රෑන සේ....' මේ අකාරයට තව බොහෝ ගීත ගනනාවක් මතකයට නැගේවි. නමුත් මටනම් මේ ගීතය අති විශේෂයි. 

ගම්බද පරිසරයක හැදී වැඩුනු රචකයා පාසල් නිමවී පැමිනෙන ළමා කැල අතර එක් විශේෂිත චරිතයක් දකිනවා. ඉතින් හොඳම දෙය කියන්නේ රචකයා ගිහිල්ලා තිබෙන්නේ මේ පාසලටමයි. පාසල නිමවී ඔහු පැමින ඇත්තේත් මේ මාවතේමයි. ඉතින් පාසල නිමාවීමෙන් පසු සියලුම දරුවන් ආසා කරන්නේ හැකි ඉක්මනට නිවෙස බලා යාමටයි. 
"ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා"

රචකයා දකිනා විශේෂිත චරිතය අනෙක් ළමුන්ගෙන් මිදී තනිවම වටපිට සිරි නරඹමින් ගමන් කරනවා. ඒ පුංචි ළමයා පරිසරය හා ලෙන්ගතු අයෙක් බව රචකයා ඉදිරිපත් කරනා සැටි බලන්න. 

"ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා
බිම් මල් හිනැහී හිස වැනුවා
ඒ දඬුමංකඩ තිත්ත පැටවු රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුනා"

මේ  සිරියාව නරඹන ඔහුට කුසගිනි දැනෙන්නේ නෑ. අනික මේ පාසල නිමවී යන මොහොත ගිනි මද්දහනක්. මේ කිසිවක් නොසලකන ඔහු තමාගේ  පාඩුවෙ සොබාදහම සමග ගැලෙනවා. 

ඉතින් මේ කුඩා ළමයාගේ හැසිරීම රචකයා නෙත කඳුලු දනවනවා. මොකද රචකයා මේ පුංචි ළමයාව තමාටම ආරූඩ කර ගන්නවා. ඔහුගේ පාසල් කාලය ගෙවුනු හැටි මතක දාමයක් පරිද්දෙන් ඔහු ඉදිරියේ. හරිම සංවේදීයි. මමත් කුඩා කාලයේ ගියේ ගම්බදම නොවුනට නගරබදව ආශ්‍රිතව පැවති ගම යයි සැලකිය හැකි පෙදෙසක. මා නිවස බලා යන අතරමගත් මේ ආකාරයේම වටපිටාවක් පැවතියා. මමත් ඔය ආකාරයටම තමා පාසල් නිමවී ගෙදර ගියේ. එකම වෙනස අපේ කණ්ඩායමේ යහලුවන් කිහිප දෙනෙක් සිටියා මා වාගේම හිතන පතන. අද අපි මේ කොන්ක්‍රීට් වනාන්තර වලට මැදිවී ජීවිත සටන ගෙනයන විට ඔවුන් හා ඒ ගෙවූ අතීතය සිහියට නැගෙද්දී අද දවස  ජීවිතයේ යම් හිස් බවක් නොදැනුනාම නොවේ.

~~තේජන අබේදීර~~