Sunday, 19 February 2017

කතරක තනි වී ..

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ


සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි...
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

කතරක තනි වී...

විසල් තුරු මුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු...
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

කතරක තනි වී...

ගායනය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක්. නමුත් එකිනෙකාගේ ජීවන මග විවිධාකාරයි. ඒ මගෙහි වූ විශමතා හේතුවෙන් අපි ජීවිතය විඳින මෙන්ම විඳවන අවස්තාද එමටයි.
ජීවන ගමනක කර්කශ බව පෙන්වීමට 'කතරක්' යොදා ගැනීම සුලභයි.
නමුත් ප්‍රේම් මේ 'කතර' යන පදය සමග ගොතනා කතාන්දරය පෙර කියැවී නැහැ.

ඇයට තමා තුල ඇති ආදරය මෙන්ම ඇය වෙනුවෙන් ඔහු කරනා අනේකවිධ කැපකිරීම් ගැන කරනා කුඩා හෙලිදරව්වක් ලෙස මෙම ගීතය හඳුනාගත හැකිය.

ඇය යන මාවත බොහෝ කටුකයි. ඒ මාවතේ ඇය ගමන් කරන්නේ තනිවම. බොහෝ දුක්කදායී ජීවිතයක උරුමයක් කරපින්නාගෙන ගමන් කරන ඇයව ඔහුට හමුවෙනවා. ඔහු ඇයට ආදරය කරනවා...ඒ ආදරයක් මිස අනුකම්පාවක් නොවේ.

ඉතින් මේ ජීවන කතරේ ඈ තනිවම දුක් විඳිමින් යන ගමන දකින ඔහුගේ හදවත දැවී යනවා. හදවතක් ගිනි ගනී යන්නෙන් ඔහුගේ තැවීම පෙන්වන්නා සේම, ප්‍රේම් එයින් ඔබ්බට අපව රැගෙන යන්නට සමත් වෙනවා. නිකම්ම හදවත ගිනි ගන්නවා නොව හිම කන්දක් මුදුනත සිටියත් හදවත ගිනි ගන්නා බවයි. ඈ වෙනුවෙන් ඔහු හද තැවෙන අයුරු වෙන කෙසේ ඉදිරිපත් කරන්නද.
ඔහු ඇයහා දුක බෙදාගැනීමට සූදානම්. ජීවිතයක නානාවිද ප්‍රශ්න පැමිනෙන බව සත්‍යයයි. නමුත් හැමදාටම එසේ වන්නේ නෑ...ඔහු ඈ ලඟ සිටීවී. ඉතින් මේ දුකම සතුටට පෙරලගෙන සතුටින් ජීවත් වෙමුයි ඔහු පවසනවා.

මා කලින් කීවාක්මෙන් ඔහු ඇයට තම පන හා සමානව ආදරෙයි. ඔහු ඇය වෙනුවෙන් කරනා කැපකිරීම් ..ඔහු ඇයව ආරක්ෂා කරනයුරු හැමදෙයක්ම ඇය දන්නේ නෑ. සමහරවිට ඇයගේ මතකයේ නැතිව ඇති. ඔහු තම ජීවිතේ පරදුවට තබමින් ඇයව සියලු කරදර වලින් බේරා ගන්නවා. ඔහුගේ ජීවිතයත් සරි ඇයත් සරි. ඔහු හැමදෙයක්ම කරන්නේ ඇය වෙනුවෙන්. ඒත් මේ සියලු කැපකිරීම් ගැන ඈ දන්නේ නෑ. ඔහුට සියල්ලම කියන්න උවමනා නෑ..නමුත් ඈ දැනගත යුතුයි ඔහු තමා ඇයට සිටින එකම සෙවන කියලා.
බලන්න ප්‍රේම් ඒ අදහස් ගීතයට නගන අපූරුව. 'සඳු නොදන්න නමුදු සඳුට එලිය හිරුගෙනි'
ඒ පද පේලි තුල විශාල කතාවක් ගැබ්වෙලා තිබෙන බව පැහැදිලියි නේද ..

ඇයත් ඔහුට ආදරෙයි ..ඔව් ගොඩක් ආදරෙයි. ඇයට ඔහුගේ ආදරය දැනෙනවා..හොදින් දැනෙනවා. ඒත් ඇය ඒ ආදරය ඔහුගේ මුවින් ඇසීමට ඉතා කැමතියි. එනිසා නිතරම එය අසාගන්නට ඇය ආදරේ පිලිබඳව විමසනවා. ඔහු එය හොඳින් දන්නවා. ඇයගේ ආශාව..කැමැත්ත. ඒ පිලිබඳව ඔහු සිතින් නිහහඩවම සතුටක් ලබනවා.
'තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි'

විශාල වෘක්ෂයන් තිබුනත් ඒවායේ මල් නොපිපෙනවානම් ඉන් කුමන ඵලද...ඒ වාගේම සිනාවක් නොමැති දසන් වලින් කුමන ඵලද.
ඒ වාගේම තමයි ආදරයක් නොමැති ජීවිතයක ඇති ඵලයක් නැහැ. ඒක ආදරය කල හිත් හොදටම දන්නවා ඇති. ඔහු ඇගේ ජීවිතේ සතුටින් පුරවන්නට අවැසි සෑම දෙයක්ම කරාවි. පෙරදී කලාක්මෙන්..කැපකිරීම් ඒ ආකාරයෙන්ම සිදුකරාවි...ඇය දැනගත්තත් නැතත්.

ඔහු ඇයව ආදරයෙන් පුරවාවි වෙනදාටත් වැඩියෙන්. ඇය වෙනුවෙන්ම ඔහු ජීවත් වේවි.
මේ හැමදෙයක් වෙනුවෙන්ම ඔහු ඇයගෙන් බලාපොරොත්තු වන්නේ සිතේ සිහිලසයි....ඒනම් පිවිතුරු..

..........ඔහුව ජීවත් කරවන ආදරයයි........


--තේජන අබේදීර--




අතරමන්වූ කිරිල්ලී.

අතරමන්වූ කිරිල්ලී.. ඈත අහසේ ඉගිල්ලී...
වළාකුලු මැද ගියා නොපෙනී ඈ අනාතයි අනාතයි..

නොදැක නිකැලැල් චේතනා... ලබා අපමණ වේදනා..//
දොරින් දොර සෙනෙහස සිගා ගිය ඈ..
තනිවුනා ගම්දනව් මැද මහ රෑ..

බිදී හද රැදි භාවනා.. හඩා කල ආයාචනා..//
කැදැල්ලේ රදවා පලා ගිය ඈ....
වැලපුනා යලි ඝන වනේ ගිනි ලෑ.......

අතරමන් වූ කිරිල්ලී......................

ගායනය :- දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.
පද රචනය :- සුනිල් ආරියරත්න.
සංගීතය :- රෝහණ වීරසිංහ.


සෙනෙහස.. ආදරය.. කවුරුත් සිත් පුරා විදගැනීමට ඉතා කැමැත්තෝ වෙති...
** ඇය ...කිරිල්ලියක් මෙන් නිදහසේ සැනසීමෙන් දිවි ගෙවූ ඒ ඇය....ආදරය මහමෙරක් තරමට සිත් හි දරාගෙන එවන් ආදරයක් පෙරළා තමා වෙත ලැබෙනා තුරු ඉවසීමෙන් බලා සිටියාවූ ඇය....තවත් නම් තමාට ඇවැසි ආදරය.., ඇය පණටත් වඩා ආදරය පුදකරනා සිතින් නොලබන බව දත්තී....,ඈ තීරණය කලා වැනියි ඒ ආදරය සෙනෙහස සොයා යන්නට... සෙනෙහස සොයා පියඹා ගොස් ඈ දැන් අතරමන් වූ හැඩයි.විසල් අහස නොහොත් මේ විෂම වූ සමාජයේ ඈ ඇගේ හද පතනා වූ ආදරය සොයමින් පියඹා යන්නී ඈ සිත අතරමන් වී ඇති බවද නොදැනයි...ඉතින් එවන් ඇගේ ජීවිතය අනාථ වන බව ඇයට නොතේරෙන්නේද...විසල් අහසක ආදරය සොයාගෙන යන එන තැනක් නොදැන අතරමන් වූ සිතකින් පියඹා යන ඇය අනාත වන බව නොරහසක්.....

ඇය සිත පතනා ආදරය සොයාගෙන ඈ දොරින් දොර සිගමන් යදින තත්වයටද පත්වී...එවන් අසරණ සිතක් ලැබූ අප්‍රමාණ වූ වේදනාවන් සිත් හි දරාගෙන නිකැලැල් වූ සිතුවිලි ඇති යම් අයෙක්... නිකැලැල් සෙනෙහසක් හිමි සිතක් සොයමින් ඈ සෙනෙහස සොයා සිගමන් යදින්නටද ඈ සිත අසරණ වෙලා..
කිරිලියක වාසස්ථානය වන්නේ කැලෑබද පෙදෙසක්.නමුත් ඈ සෙනෙහස සොයාගෙන ගම් දනව් පීරා පියඹා ඇවිදින්..ඇගේ නිජ බිම අමතක කර පැමිණි ඈ මහ රැයක් වැනිවූ අදුරෙන් පිරි කාලසීමාවක අදුරින් වැසී ගිය සිතත් රැගෙන ගම්දනව් අතරේ තම ආදරය සොයන්නට උත්සුක වූවා වැනිය.ඈ ඒ අදුරු කාලසීමාවේදී නොදන්නා ඉසව්වක තමන් තනිවූ බව ඇගේ සිත නොදත්තීය...

තනිවූ ඈ සිත කැදැල්ලකට කොටු කරගන්නට හැකි වූවා වැනියි යම් කිසිවෙකුහට..ආදරයේ නාමයෙන් ඈ තම නිදහස නැමැති පියාපත් සගවා ගත්තී..,
කැදැල්ල තුල ඈ සිත හික්මවා ගත්තාය..ඒ නමුත් ඈ පැතූ සෙනෙහස ඈ ලැබුවාද ..., ලැබුනාද...?? හඩා වැටෙමින් ඈ සෙනෙහස ඉල්ලා කල ආයාචනා සඵල වූවාද...? නැත....ඈ පැතූ සෙනෙහස නොලැබෙන්නීය...හිතේ පැවති එකාකාරී හික්මීම ඈ වෙතින් ගිලිහී ගියෙන් ඈ කැදැල්ලෙන් පලා ගියාය..ගම්දනව් අතහැර ඈ තීරණය කරන්නී නැවතත් ඇගේ නිජබිම වූ ඝන වනයටම යා ගත්තීය...එහෙත් අවාසනාවකි.....මුලු වනය පුරාම ගිනිගෙන ඇති හැටි..ඇයට වැලපීමක් මිස වෙන යමක් ඉතුරු නොවුනා සේය....ඉතින් සෙනෙහස සොයා ඉගිලී ගිය කිරිලියකගේ දුක්බර ආයාචනය එසේම නිමවූ අයුරු.....

..සෙනෙහස ආදරය සොයා දුර අහස පුරා සරන්නී අසරණ සිතක් ඇත්තියක වන බව ඈ නොදත්තීය......


**යස්..**


පිපුනු මලක හැඩ දෑස සලා

පිපුනු මලක හැඩ දෑස සලා
සිතුම් විහග කැල වසග කලා
මග තොට රැදි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා....

කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා..
නොම විමසා පෙම ඉගිමැරුවා...
සොදුරු වසන්තෙක මොහොතක සුවපා..
වෙන්වූවා අප සුසුම් දරා...

මතකේ මැවෙනා පෙර රූ චායා
හමුවේදෝ යලි සිත් සනහා
ඔබ නමටයි මා පාරමි පුරනා
ඇසේවිදෝ මේ ගී මාලා....

ගායනය :- ශාලිත අබේවික්‍රම.
පද රචනය:- විපුල් ධර්මප්‍රිය ජයසේකර.


පෙර කිසිමදාක හමුව නොතිබූ අප දෙදෙන..අහම්බයකින් මුණ ගැසුනු ඒ සොදුරු මොහත......මතකද ඔබටත්...ඔබේ මුදු මුහුණ...දෑස.. උදේ පිපිච්ච මලක් මෙන් පිණිබරව..ප්‍රබෝධමත්ව තිබූ ඔය සොදුරු උවනත....මගේ හැගුමන් නිදහසේ පිබිදවූ අපූරුව..මගේ සිතුම් සිතුවිලි ඔබ වටා රැදී තිබූ සොදුරු හැගුමන්..අප මුල්වරට හමුවූ ඒ මොහොතේද අපි පමණක් නොවේ පසු කර ආවේ....දහසකුත් එකක් නෙත් මගහැර අපේ නෙතු අපිටද නොදැනී සොදුරු සංවාදයක් ගොඩ නැගූ අපූරුව..ඔය කතා කරනා දෙනෙත් යුග, මගේ මුලු සිතම කියවූ අපූරුව....

ආදරයක් සිතේ ඇතිවන්නේ කෙලෙසද...මම ඔබෙන්ද පැනයක් නගන්නම්..කුමන කරුණු අරභයා යම් අයෙක් කෙරේ සෙනෙහසක් සිත තුල ජනිත වන්නට හැකිද..එය එක් එක් සිතට වෙනස් වනවා නොඅනුමානයි..ඉතින්....... ඒ සොදුරු දෑස හිමි ඔබ කාගේ කවුද ඉන්නෙ කොතැනකද කියා නොම දැනම අපේ සිත් අපිටත් හොරාම සෙනෙහසක පැටලුනා නොවේද..ඒ අප සිත පිලිසිද ගත් සොදුරු හැගුම ආදරයම නොවේද..ඒ අරුමැසි මොහොත මට නම් වසන්තයක්මයි..ගිම්හාන කල නිමා කරමින් හද සන්තානය සිසිල් වැසි බිදු වලින් නැහැවෙන සොදුරු වසත් කාලය එයමැයි..ඒත්..පුංචි දුකක්....ඒ වසන්තය මොහොතක් නොවේද පැවතුනේ..හදවත් එකිනෙක යා කරවමින් අප දෙදෙන වෙන්ව දෙපසකට යන්නට සිදුවූවා මොහොතකින්..කිසිදා නොබිදෙන බැදීමකින් හදවත් බැද ගනිමින්ම...

අප දෙපසකට වෙන්ව ගියද දෙතැනක තනිවුවද ඒ සොදුරු මොහොතේ රැදුනු සෙනෙහෙවත් මතකයන් තවමත් මා මනසේ රගදෙන අයුරු..එවන් සොදුරු මොහොතක් ගෙවන්නට අප යලිත් හමුවිය යුතුම නොවේද..මේ දෙසිත සනසන්නට නම් දෙතැනක නොව..., නැවතත්..නැවත නැවතත්.. අප හමුවිය යුතුම නොවේද...ඉතින්..මගේ ආදරණීයයාණනේ...මා පෙරුමන් පුරන්නේ ඔබ වෙනුවෙන්මයි.මේ ගීතය ඔබ වෙනුවෙන්මයි....මා ගයන්නේ ඔබ වෙනුවෙන්මයි......
ඔබ ඉන්නා තැනක හිද ඔබ වෙනුවෙන් මා ගයනා ගී අසනවා නම් එය මට මහත් සතුටක්..අප දෙසිත් සනසමින් නැවතත් ඔබ මා හමුවේවා....එය අප දෙදෙනාගේම පැතුම නොවන්නේද.....


**යස්..**

යසසි ගුණරත්න


Tu safar mera, hai (Diwali 2016)

2016 වසරේ ඔක්තෝබර් මාසයේ අග තිරගත වූ චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂණය ප්‍රසිද්ධ චිත්‍රපට
අධ්‍යක්ෂකවරයෙකු වන කරන් ජොහාර් විසිනි. ප්‍රීතම්ගේ සංගීතයෙන් හැඩ වන මෙම සිනමා පටය මෙවර ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම ගීතයට, හොඳම ගායකයාට, හොඳම ගීත ඇල්බමයට සම්මාන දිනා ගනු ලබනවා. යම්තාක් දුරට වෙනස් වූ ආරකින් දිව යන කතාව ඇතැමුන්ගේ දෝෂාරෝපණයට ලක් වූ අවස්ථාවන්ද තිබුනා.

බැඳීම් ගැන වෙනස්ම කෝණයකින් බැලූ කතාවක් ලෙස මේ සිනමා පටය හඳුන්වන්නට පුලුවන්. මේ තුළ මිත්‍රත්වය හරි ලස්සන තේමාවකින් ඉදිරිපත් කරනවා. කරන් ජොහාර් එක් තැනක කියනවා මේ ඔහුගේ ජීවිත කතාවේ කොටසක් බව. කරන්ගේ අනෙක් චිත්‍රපට තරමටම නැති වුවත් මේ චිත්‍රපටය 2016 වසරේ අවසාන භාගයේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතර සාර්ථක වූ චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

ඉතින්.... මොකක්ද මේ චිත්‍රපටය... ඒ තමයි Ae Dil Hai Mushkil. මෙහි රංගනයෙන් දායක වන්නේ රන්බීර් කපූර්, අනුෂ්කා ශර්මා සහ අයිශ්වර්යා රායි බච්චන් යන ත්‍රිත්වයයි. මෙහි එන තේමා ගීතය මගේ හදවතට ගොඩක්ම දැනුන ගීතයක්. Amitabh Battacharya කියන දක්ෂ ගීත රචකයා අතින් ලියවුන මේ ගීය ගායනා කරන්නේ හැඟීම්බර කටහඬකට උරුමකම් කියන Arijit Singh විසින්. කෙනෙක් අපේ ජීවිතයම වෙලා ඉන්නා විටකදි ඒ කෙනාගෙන් ඈත්වන්නට සිදු වීම කොපමණ වේදනාවක්ද... මේ කියන්නේ ඔහුගේ වේදනාවයි..

Tu safar mera, hai tu hi meri manzil
Tere bina guzara, ae dil hai mushkil
tu mera khuda, tu hi duaa mein shaamil
Tere bina guzara, ae dil hai mushkil

ඔබ මගේ යාත්‍රාවයි... ඔබ මගේ ගමනාන්තයයි... එසේනම් මා ඔබ නැතිව කෙසේ ජීවත් වන්නද... මේ හදවතට එය අපහසුයි... ඔබ මගේ ලෝකයේ දෙවියන්... මගේ සෑම යාතිකාවකම ඉන්නේ ඔබම පමණයි... මා යාතිකා කරන්නේ ඔබේ ගැනම පමණයි... එසේනම් මා ඔබ නැතිව කෙසේ නම් ජීවත් වන්නද.... මේ හදවතට එය අපහසුයි...

ඔහුගේ හදවතේ තිබෙන වේදනාව කොතෙක්ද කියා මේ වදන් වලින් හොඳින්ම වැටහේවි.... ඔහු ඇයට කොතරම් ආදරය කරනවාද... ඒ ආදරය හදවතේ තියාගෙන කොපමණ දුක් විඳිනවාද කියා මේ ගීතය තුල මනාව පිළිඹිබු කරනවා.

Mujhe aazmaati hai teri kami
Meri har kami ko hai tu laazmi
Junoon hai mera, banoon main tere kaabil
Tere bina guzaara, ae dil hai mushkil

ඔබ මට නැති කර මගේ ජීවිතය මෙසේ පරීක්ෂාවට ලක්වන්නේ ඇයි. මට ලැබුනු දුර්ලභම වස්තුව නුඹයි. ඔබ මා අසල ඉන්නා විට මගේ ජීවිතයේ ඇති කුඩා හිඩසක් පවා පිරී ජීවිතය සම්පූර්ණ වෙනවා. මා හිතන විදියට ඔබේ ජීවිතේට මා පමණක් ඇති... එසේනම් මා කෙසේ ජීවත් වන්නද ඔබ නැතිව. මේ හදවත එය පිලිගන්නේ නෑ.

ආදරේ කරන කාලයේදි ඒ ආදරය අපේ මුලු ජීවිතේම කරගෙනයි ජීවත් වන්නේ... ඒ නිසයි අපට විරහව දරාගන්නට අමාරු. මේ කතා නායකයා ඇයට කොපමණ පෙම් කරනවද කියා කියනවනම් ඔහු කියන්නේ ඇගේ ජීවිතේට ඔහු පමණක් ඇති බවයි. වෙනත් අය අවශ්‍ය නොවන බවයි. එසේ සිතන ඔහු කෙසේනම් ඇගේ වියෝව දරාගන්නද... කෙසේ නම් ඇය නැතිව ජීවත් වන්නද.

ඔහු තවදුරටත් මෙහෙම පවසනවා.... ;

Ye rooh bhi meri, ye jism bhi mera
Utna mera nahi, jitna hua tera
Tune diya hai jo, wo dard hi sahi
Tujhse mila hai to, inaam hai mera

මේ ශරීරය මගේ වුවත්.... මේ ආත්මය මගේ වුවත්... ඔබ හමුවූ දින සිට මේ කිසිවක්ම මගේ වූයේ නෑ. මේ සැම දෙයක්ම ඔබටම බාර වූවා.... මේ විරහ වේදනාවේ සිට ඔබ මා හට දුන් සෑම දෙයක්ම මා ලද ත්‍යාගයන්ය.

සිතින් ගතින් තම ආත්මයෙන්ම ප්‍රේම කරන පෙම්වතෙක්.... තමන්ගේ සෑම දෙයක්ම ඇයටම ලබාදෙන පෙම්වතෙක්... ඇයගේ නික්මීම දරාගන්නේ කෙතරම් වේදනාවකින්ද. ඇය දුන් වේදනාවත් ඔහුට වේදනාවක් නෙමෙයි. එයත් ඔහුට ලැබුන තිළිණයක් ලෙසයි ඔහු සිතන්නේ. මන්ද... ඒ වේදනාව තුලින්ද ඔහුට ඇයව සිහිකරන්නට හැකි නිසා.

Mera aasmaan DhoonDhe teri zameen
Meri har kami ko hai tu laazmi
Zameen pe na sahi, to aasmaan mein aa mil
Tere bina guzara, ae dil hai mushkil

මම නම් වූ අහස මේ සොයන්නේ ඔබ නම් වූ පොළවයි. මගේ ජීවිතේ සෑම අඩුවක් පුරවන්නටම ඔබව අවශ්‍යයයි. මේ පොළවේදි මා මුණ ගැසෙන්නට බැරිනම් , ආකාශයේදී හෝ මා මුණ ගැසෙන්න. මන්ද ඔබ නැතිව ජීවත් වීමට මේ හදවතට අපහසු බැවින්.

මේ විශ්වයේ කොතැනකදී හෝ ඇයව මුණගැසෙන්නට ඔහුට අවශ්‍යයයි. ඇයට ඔහුව මේ මිහිමතදී හමුවන්නට නොහැකිනම් ආකාශයේදී හෝ ඇයව හමුවන්නට උවමනායි. ප්‍රේම කරන හදවතක නොඉවසිල්ල ගැන පැහැදිලි කිරීම් අවශ්‍යයි කියා මා හිතන්නේ නෑ. මන්ද සෑම ප්‍රේම කරන හදවතක්ම සෑම තත්පරයකම තම ආදරය දැක ගැනීමේ තදබල ආශාවකින් පෙලෙන නිසා.

Maana ki teri maujoodgi se
Ye zindagani mehroom hai
Jeene ka koi dooja tareeka
Na mere dil ko maaloom hai
Tujhko main kitni shiddat se chaahoon
Chaahe to rehna tu bekhabar
Mohtaaz manzil ka to nahi hai
Ye ek tarfa mera safar..

මම දන්නවා මගේ මේ ජීවිතය ඔබේ ඉදිරියේදී හරි අසරණ වෙනවා. නමුත් මේ හැර වෙන ක්‍රමයක් මගේ හදවත දන්නේ නෑ ජීවත් වන්නට. මම ඔබට බොහෝ ප්‍රේම කරනවා... ඔබට අවශ්‍ය මේ ප්‍රේමය නොදන්නා සේ හිඳින්නද... එසේනම් එලෙසම සිටින්න. මෙය හරියට එක් පසෙකට ගමන් කරනා සංචාරයක් වගෙයි. නමුත් එය මගේ අරමුණට යාමට බාධාවක් නොවෙයි.

මේ ප්‍රේමය ඒක පාර්ශ්වික ප්‍රේමයක්දෝ කියා විටෙක මට සිතෙනවා. මන්ද ඔහු ඇයගෙන් පෙරලා ප්‍රේමයක් බලාපොරොත්තු නොවන නිසා. ඔහු පවසන්නේ ඔහුගේ එකම අරමුණ ඇයට ප්‍රේම කිරීම බවයි. ඒ අරමුණ ඉටු කරගැනීමට ඇයගෙන් කිසිවක් ඔහු බලාපොරොත්තු වන්නේ නෑ. ඇය ඔහුගේ ආදරය නොහැඟුනා සේ සිටියත් ඔහු ඒ පිලිබඳ තැකීමක් කරන්නේ නෑ... ඔහුගේ ප්‍රේමය නිරතුරුවම වැඩෙමින් තිබේවි.

Safar khoobsurat hai manzil se bhi
Meri har kami ko hai tu laazmi..
Adhoora hoke bhi, hai ishq mera kaamil
Tere bina guzaara, ae dil hai mushkil

මගේ මේ යාත්‍රාව බොහෝ සුන්දරයි මේ ගමනාන්තයට වඩා. මගේ ජීවිතේ සෑම හිඩසක් පිරවීමට ඔබ මට අත්‍යාවශ්‍යයයි. මා අසම්පූර්ණ වුවත් මගේ ආදරය සම්පූර්ණ වන්නේ ඔබ නිසාම පමණයි. ඔබ නොමැතිව මා කෙසේ නම් ජීවත් වන්නද.

ඔහු නැවත නැවතත්... නැවත නැවතත්.... පවසන්නේ ඇයව ඔහුට අත්‍යවශ්‍ය බවයි. කෙසේ හෝ ඔහු ලඟට එන ලෙසයි.... ආදරය නොකලත් ඔහු ලඟ රැදෙන ලෙසයි. ප්‍රේමය මිනිසුන් කොපමණ අසරණ කරනවාද... ප්‍රේමය හදවතට කොපමණ වදයක් වේදනාවක් දෙනවාද... මේ ඔහුගේ ඒ වේදනාවයි... ගීතයට සවන් දෙන සෑම මොහොතකම ඔහුගේ ඒ වේදනාව මට හොඳින් දැනෙනවා... ඔබත් ගීතයට සවන් දෙන්න... ඔබටත් ඒ වේදනාව දැනේවි. මන්ද..... ඔබ මම අප සියලු දෙනාම ප්‍රේමයේ වේදනාව විඳ ඇති බැවින්...

ඉතින් සබඳ..... ඔබට බාරයි ගීතය රසවිඳින්නට..... ඒ ගැන කතා කරන්නට....


~ අකූ ~


මේ තනි යහනේ නිදි නැති පාලු රාත්‍රියේ


මේ තනි යහනේ නිදි නැති පාලු රාත්‍රියේ
මා සිතුම් දැහැනේ නොනිදන කවුරු හෝ හිදී
පෙරදා පුරුදු සේ නොහඩා හැඩුම් නෙතින්...
මේ තනි යහනේ නිදි නැති පාලු රාත්‍රියේ...

තාරකා දැලින් එහා ඒ අහිමි විජිතයේ
සිසිලසේ ගලා හැලෙන්නේ සුවද ආදරේ
පීදෙනා යොවුන් සිනා මල් සැගවෙනා පැයේ
සුසුමදෝ හඩා වැටෙන්නේ බිදුනු ස්නේහයේ..

නෑසෙනා හඩින් ගැයූ ඒ පෙම් කතා අපේ
මේ සදයි මමයි අසන්නේ තනිව මේ රැයේ
කවුලුවෙන් බලා සිනාසී නිසල වී හදේ...
කවුරුදෝ සෙමින් මැකීයයි කදුලකින් නෙතේ.....

මේ තනියහනේ....

ගායනය:- දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.


ආදර ලොවක සිහින සිත්තම් සිත තුල කැලතෙනා රැයෙක ඈ සිත ඔහු නමින් වැලපෙනා මොහොතකි මේ..ඈ යහන් ගැබ තවමත් ඔහු වෙනුවෙන්ම ඉඩ තබා තිබෙනා තනියහනේ ඈ නිදි නොමැති රැයක් .. කෙලෙසක නම් දෙනෙත් පියා නිදියන්නද, ඇගේ සිතුම් දැහැනේ නොනිදනා යම් අයෙක්.... පෙරදා වගේම පුරුදු වූ ඒ හද හඩනා හැඩුමන් නොහඩා වැලපෙන මතක අතරින් ඇයට කෙලෙස නම් නින්දක සුවය ලබන්නද.....


ඔහුත් සමග දිවි ගෙවන්නට පැතූ ඒ සොදුරු සිහින දැන් සිහිනයක්ම පමණක්ම වෙලා..මේ ලෝකයේදී ඔහු සමග ඇගේ විජිතය ගොඩනගන්නට නොහැකි නිසාම ඒ අහිමි වූ විජිතය තාරකා පෙලටත් එහා තිබෙනා අවකාශයේ තරම්ම දුරින් දුර වෙලා තිබෙන බව ඈට නොරහසක්...ඒ තරු කැට විහිදී විසිරී ඇති අහස් කුසින් මේ පොලොවට ගලාහැලෙනා සිසිලස ඔවුන්ගේ ආදරයේ සුවදද රැගෙනම ගලා හැලෙනා අපූරුව...ඒ ආදරය සිහිපත් වෙලා ඇගේ මුවගට නැගුනු සිනහව කටුක වූ යතාර්තය හමුවේ ඈටත් නොදැනීම ඒ සිනාමල් සැගව යන හුදෙකලා රැයේ...ඔවුන්ගේ බිදුනු සෙනේහයෙන් හදවත පුරා කැලතෙනා වේදනාව කැටිකරගත් සුසුමන් හඩාවැටෙනායුරු ,ඔහුට නොදැනේවිද..නොහැගේවිද...

පෙර ඔහුත් සමගම මෙවන් සද පායා ඇති අපූරු රාත්‍රීන්හිදී කල පෙම්වත් කතා බහ..,ලොවේ කිසිවෙකුටත් නොඇසෙනා සේ සිහින් ස්වරයෙන් හදවත් මුසපත් කලාවූ ඒ ආදරණීය කතාබහ අද මේ මොහොතේ නැවතත් අසන්නට ඔහු ඈ ලග නැති නිසා..,එවන් සොදුරු කතාබහ මේ සදත් ඈත් පමණක්ම ලොවට රහසේ අසාවී..ඒ පෙම්වත් කතාබහ ඇසීමෙන්දෝ සද තවත් කැලුමන් පීදී ප්‍රභාමත් වන්නේ....හද කුටියේ කවුලුව අතරින් නිහඩ බැල්මෙන් බලාහිද සිනා සී සිටි ඒ රුව...,සසල වූ සිත නිසල කරමින් සිනා සී බලා හිදි ඒ රුව..,හදවතේ හැගුමන් වාවාගනු නොහී ඈ නෙත කදුලකින් තෙමා ලන්නේ හද කවුලුවෙන් සිනාසී සිටින රුව සෙමින් මකා දමමින්ම...ඇයට ඔහු රුව මිහිපිටදී නැවත දැකගනු නොහැක්කේද...බිදුනු ආදරයක සංවේදී සැමරුම් හදවත රදවාගෙන ඈ තව තවත් නිදි නොමැති දිගු රාත්‍රීන් ගෙවන්නේද..,ආදරයේ නාමයෙන්ම නොවේද....?එය සැබෑම ආදරයක්ම නොවේද.......???


**යස්...**

යසසි ගුණරත්න

සදරේණූ වෑහෙනා..




සදරේණූ වෑහෙනා මේ සීත රාත්‍රියේ..
ඔබ ඉන්න මාගේ ලගින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්....

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුදු මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිව
ඔබ ඉන්න මාගේ ලගින්.....

තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කදුලු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ලගින්.....

සදරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ.....

ගායනය :- ප්‍රින්ස් උදයප්‍රියන්ත.
පද රචනය:- ලලිත් වසන්ත.
සංගීතය:- ජයන්ත දිසානායක.


දවසක අවසානය.... සොදුරු සීතල රැයෙක නෙතු නින්දකට සැරසෙන්නට පෙරාතුව ඔබේ ඉමිහිරි සෙනෙහස් සුවද විදගන්නට ඇත්නම්...,ආදරේ නාමයෙන් අප හදවත් හැදිනගත්තාවූ ඒ මිහිරි මතකයන් රසවින්දනය කරන්නට මේ සද එලිය පිරි සොදුරු සීතල රැයේ ඔබ සිටින්නටම ඕනේ නේද..මා හද ලතවෙනා වේදනාවන් සියල්ලම ඔබේ සෙනෙහසෙන් සමනය කරන්නට මේ සොදුරුම වෙලාවයි..සිතේ පැවතෙනා සියලු වේදනාවන් ඔබේ එක සිනා රැල්ලකින් ගිලිහී යන අයුරු.......කොයිතරම් පුදුමයක්ද...මේ අපේ සෙනෙහස ......

අපේ සෙනෙහස මේ ලොවට වලංගු නොවන සෙනෙහසක්...ඒ නමුත් අපිට ඒ සීමා මායිම් නැති සොදුරු සෙනෙහසක් තිබෙන්නේ...එවන් ලබැදි සෙනෙහසක් නොහදුනනා ලොවක අපේ එක්වීමක් කිසිදිනක සිදුවන්නේ නෑ..එය මා මෙන්ම ඔබත් දන්නවා ඇති.ඒ නමුත් අප හදවත් බැදි ඒ සොදුරු බැදීමෙන් අප එක මොහොතකවටවත් වෙන් උනේ නෑ නේද...ලොවට වලංගු නොවූ සෙනෙහස අප හදවත් වලටම කා වැදී තිබෙනා අපූරුව.... දෙතැනක සිට මේ විදින ලතැවුල් නිවා දමා ඔබ එන්න මා වෙතට...මා හදේ සුසුමන් නිවාලන්නට හැකි ඔබේ සොදුරු සිනහවෙන්ම පමණයි.ඉතින්......එන්න මගේ හද විමනට..,දෙතැනක සිට හෙලනා සුසුමන් විදිනා ලතැවුල් නිවා දමන්නට.....

පෙම් ලොවදී ඔබත් සමග මැවූ සිහින පැතූ පැතුම් අහසටත් උසයි...හදවත් පුරා පැතිරී ඇති පැතුමන් ඉටු කරගන්න හැකිවේවිද...එය නම් බලාපොරොත්තුවක් පමණක්ම නොවේද .ඔබ ගැන මහමෙරක් තරම් බලාපොරොත්තු තබාගෙන සිටින මට ඔබ නිසාම වැලපෙන්න වේවිද..මේ අදුරු ලොව මගේ එකම සදවත මගෙන් උදුරා ගනීවීද....ආදරේ මහමෙරක් තරම් පුදකල ඔබ ගැන සිතූ සිතින් ඔබ ගැනම සිතමින් වැලපෙන්න වේවිද...එය නම් අවිනිශ්චිතයි....

කදුලක් ජීවිතයකට එක් කරන්නට බොහෝ දෙනාට හැකියි..ඒ නමුත් ජීවිතයකින් කදුලක් ඈත් කරන්නට හැකියාව ඇත්තේ බොහෝම සීමිත පිරිසකට පමණයි.ඉතින්....මගේ කදුල සිනහවකට හරවන්නට හැකි ඔබ.., ආදරණීය ඔබ...,මසිතේ සුසුමන් නිවා දමා පෙම් සිලිලාරකින් මසිත සුවපත් කලා වූ දයාබර ඔබ, ඉන්න මගේ දිවිය ඇති තෙක්ම....වෙන්නක් සිදු උනාවේ....ඔබේ ආදරයෙන් මගේ ලොව දිදුලවන්න...එය කරන්නට හැකි ඔබටමයි..ඔව්...ඔබේ සෙනෙහසටමයි...

**යස්...**

යසසි ගුණරත්න






සැරයටියෙන් අපි යනෙන තුරා

••සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු..
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු.....

••ජිවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමුවූයේ
කටුකොහොලින් පිරි කලල් දියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ...

**මින්මතු මං පෙත මලින් සදන්නෙමි
ලතැවුල් සෝගී නෑසෙන සේ..
පමනක් නොව මේ සංසාරේ..
උපදින වුව මතු සංසාරේ.......

••මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම්කරනා කල එලඹෙනදා
කුලුදුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙනදා...

**සංසිදුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුලුදුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ ...
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා..

•*සැරයටියෙන් අපි යනෙන තුරා....//

ගායනය : •• විජය කුමාරණතුංග.
** චන්ද්‍රලේඛා පෙරේරා.

පද රචනය :- සෝමපාල ලීලානන්ද.
සංගීතය :- සරත් දසනායක.

මේ සසර මග....., අපි කොහෙන් කොහොම පටන් ගෙන කොතැනින් කොයි ලෙසකින් අවසාන කරාවිද කියා අපි කිසිවෙක් නොදන්නා කරුණක්..එවන් අරුම සසර මග තුල, මේ භවයේදී මා හදවත සසල කල එකම එක සෙනෙහස නුඹ සතු අසීමාන්තික ආදරයෙන් මුසපත් වුනු, නුඹේත් මගේත් ..මේ දයාබර දෙසිතයි..එය දැන් එකම එක සිතක් බවට පත්වී හමාරයි. ඉතින් මා දයාබර ප්‍රේමවන්තියේ...අපි දෙදෙනා මේ භවයේ සසර පුරුදු ලෙස හමුවී ආදරයෙන් බැදී අවසානයි.මේ බැදීමේ අවසානයක් ඔබටවත් මටවත් දැකගනු බැරිවේවි.අපි සැරයටියෙන් යන කාලය වනතෙක්ම..,එනම්, මහළු අවධිය වන තෙක්ම මේ ආදරයෙන්ම බැදී ඉමු.
ජීවිතයේ නියත දහමක් වූ ... මේ භවයෙන් නික්ම යනදාටත් මගේ එකම ප්‍රාර්ථනාව ඔබත් සමගම මේ භව ගමනද අවසන් කරන්නටයි.මේ ජීවන නැවතුම්පලින් මා නික්මෙන දා...ඔබත් සමගම... අප දෙදෙනාම එකට සමුගනිමු. මා සොදුරියේ ...මා නොමැති ලොව ඔබට මෙන්ම ඔබ නොමැති ලොව මටද ජීවත් වනු නොහැකි නිසාවෙන්ම.....

මගේ ජීවිතයේ මලින් පිරි වසත් කාලයක් නොතිබුනා නොවෙයි.මා ඒ වසත් කල කොයිතරම් සැනසුමෙන් කල් ගෙව්වාද..ඒ නමුත්, ඒ වසත් කල එක්වරම ගිම්හානයක් වූ අයුරු..මොන තරම් වෙනසක්ද ...මලින් සැදී ගිය ජීවන මගේ ඒ මල් පරව, මග වැරදුනු යම් කලෙකයි ඔබ මට හමුවුනේ..එමෙන්ම..,අදුරු වූ කැලතුම් සහිත වූ මඩ ගොහොරුවක කටු කොහොලින් පිරි දුක් සහිත අවාසනාවන්ත තත්වයකට මුහුණ පා සිටි මට, සරණක් වන්නට.. ශක්තියක් වන්නට..කිසිවෙකුත් මා අසල නැති වූ .. ඒ අදුරු යුගයෙහි නුඹ පමණි මා අසල තනියට ශක්තියට සිටියේ ..නුඹ මට හමුවුනේ සියලු සැප සම්පතින් මා පිරිහී ගිය දුක් සහිත කාලයකයි.මා අතැර නොයා මා ලගින්ම උන්නේ නුඹ මට ඇති අසීමිත සෙනෙහස නිසාවෙන්මයි....
මා සුහදානණේ....නුඹේ අදුරු දිවිමග මෙයින් මතුවට අවසානයි..නුඹ සමග මා ගමන් ගන්නා මේ මාවත නැවතත් වාසනාවේ මලින් සරසන්නෙමි.මෙතෙක් නුඹට ඇසුනා වූ සොවින් පසුතැවීමෙන් පිරි ගී ගායනා අදින් අවසානයි.නුඹේ මතු අනාගතය පමණක් නොවේ මේ සසර මග තුල උපදිනා හැම භවයකදිම මා නුඹ වෙනුවෙන්ම උපදින්නෙමි.සසර මග අවසානය තෙක්ම මා නුඹ අතැර නොයන්නෙමි....

මෙයින් මතු උපදිනා ජීවිතයේ මා තරුණ වයසට එලඹෙද්දී පෙම් කරනා කල් එලඹෙන සොදුරු තරුණ වයසේදී, මේ ආත්ම භවයේ ලෙස නොව කුලුදුලේ මා සිතට දැනෙන ආදර හැගුමන් ඔබ ගැනම සිතන්නට කුලුදුලේ ඔබව පමණක් මා හට හමුවේවා..මේ සසර මගතුල මා දුටු එකම නොවෙනස් සෙනේහය සතුවන්නේ ඔබේ දයාබර සිත තුල පමණක්ම නිසාවෙන් .මා සොදුරියේ ...... මේ ජීවිතය නිමාවෙන යම්දාක මා පතනා එකම පැතුම..මතු ආත්මයේදිත් මේ ලෙසම ඔබව මටම මුණ ගැසේවා ....!!

ඔබේ විඩාපත් සිතුවිලි සන්සිදුවනා එකම ශක්තිය මා සතු සෙනෙහසමයි මා පෙම්වත.එවන් අනේකවිධ සිතුවිලි සන්සිදුවමින් ඔබේ සිත එලිය කරන්නෙමි.මේ මාහට පිදූ ඔබේ ස්නේහය කුලුදුල්ම සෙනෙහෙය කියා..මාහට ලැබුනු සෙනෙහෙ සිත මා ලද කුලුදුල්ම සෙනෙහෙ සිත නිසාවෙන්ම....ඔබව මට කොයිතරම් වටිනවාද මාගේ දයාබර ප්‍රියයාණනේ....මේ භවයට පමණක්ම නොවේ, නුඹේ පියවර සොයාගෙන මා නුඹ පසුපසම එන්නේ...මතු සසරටත් මේ සෙනේහය මේ ලෙසම මෙයිටත් වඩා දැඩිව අප දෙසිත් යා කර තබාවී...ඒ සෙනේහයේ එලියෙන් නුඹ යන මග එලිය කරාවි..නුඹ වෙනුවෙන්ම කැපවෙමි.නුඹේ සිතටම පූජා වෙමි.නුඹේ සිතේ හටගත් අනන්තයක් තරම් වූ ආදරය නිසාවෙන්ම......

°°කිසිදාක නිමා නොවන අනන්තයක් වූ ..අපේ ආදරයයි මේ.....°°


¥ යස්.. ¥…

යසසි ගුණරත්න


Saturday, 18 February 2017

මට ආරාධනාවක් කලාදෝ .....

මට ආරාධනාවක් කලාදෝ

ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ..ආදරෙයි ..සැමදා මා..

මල් යාය පීදී මට වාසනාවන්ත
සුවදින් නැවුම් ගී ලියා දී වගේ
පෙර අත් භවේ දී බැදුනා වගේ
ඔබ ආවාද මගේ රැයට අරුණෝද වී

දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
මට පාර පෙන් වු තරු නෙත් ඔබේ
රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නෙ‍හයේ

ගායනය : වරදත්ත අරවින්ද
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : නන්දසේන කටුවාවල



••° ඔබේ ඇස්....කතා කරනා ඔය ලබැදි දෙනුවන්...මගේ සිත ඇතුලාන්තයෙන් කියවූ ඔබේ දයාබර දෙනුවන්..මා සිතට කියවූ ඒ සොදුරු හැගුමන්.....ආරාධනාවක් නොවේද...නුඹ මට කළ..,සොදුරු බැදීමකට කල සොදුරු ඇරයුමක් නොවේද..ඉතින්..ඒ ලෙංගතු ඇරයුම මා පිලිනොගෙන ඉදීවිද.මං ඔබේ ඇරයුම මුලු හිතින්ම පිලිගතිමි....ඔව්..මම ඔබට ආදරෙයි ..මුලු හදවතින්ම..අනන්තයක් තරමටම ආදරෙයි ..හැමදාම. බිතුසිතුවමක් මෙන් එය නොවෙනස්ව රැදේවි අප හදවත් පතුලේම.....

ජීවිත උයන පුරා මල් කැකුළු පීදී මුලු ජීවිතයම සුවදවත් කරන්නේ ඔබේ ආදරයෙනි.මගේ අවාසනාවන්ත දිවිමග එකලු කල දයාබර ඔබේ ආදරය මට සොදුරු ගීයක්මයි.ජීවිත මග, මාවත පෙන්වූ ඔබේ සෙනෙහස සෙත් සදන මිහිරි ගීයක්මයි.හිතන්නේ මේ හමුව අහඹුවක් කියාද...? නෑ කිසිදිනක නෑ...සසර මග තුල අපි අපි වෙනුවෙන්ම මෙලෙස හමුවී ඇති.ඒ හුරුව නිසාම ඔබ මා නැවත මේ ලෙස හමුවූ බව දැනෙනවා නේද ඔබටත් මට වගේම.ජීවිතයේ පැවති අන්ධකාර රාත්‍රිය නිමා කල ඔබයි මගේ සෙනෙහෙවත් අරුණෝදය..ජීවිතයට ජීවයක් එක් කල ඔබයි මගේ අරුණාලෝකය....

දිවිමංතලාවේ අතරමං වූ මගේ සිත යායුතු මග හසර නොදැන උන් කල්හි සිතින් හඩාවැටෙමින් උන් මාහට, යායුතු මග හසර කියාදුන්,යායුතු මං පෙන්වාදුන් ඔබේ දයාබර සෙනෙහස..අදුරින් පිරුණු මග එලිය කර යායුතු මග හෙලිකල ඔබේ තරු නෙත් වලින් මා ලැබූ නව ජීවය...,ඔබ නිසාවෙන්ම පණ ගැහෙන හැටි..ඔබයි මගේ ජීවිතය....ඉතින්...,මා රැකගනිමි ඔබව,මගේ දිවි ඇතිතෙක්ම..ඔබ තරම් නිර්මල ආදරයක් ලොවේ කිසිවෙකුට පුදකල නොහැකි නිසාවෙන්ම..ඔබ මට පුදදෙන සෙනෙහස නොකිලිටි මලක් මෙන් මා රැකගනිමි.ඔබේ ආදරය තිබෙනා තුරුම මා සිත පතුලේම....සදාතනිකව...........


**යස්..**




Sunday, 3 April 2016

ඇහල මල් ‍පිපෙනා

ඇහල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්

වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා
ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී

ඇහල මල් පිපෙනා ..............

බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී
මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්

ඇහල මල් පිපෙනා ..............

ගායනය :- චන්දන ලියනාරච්චි
ගේය පද: නිහාල් ගම්හේවා
සංගීතය: නිහාල් ගම්හේවා

චන්දන ලියනාරච්චි කියල කියන්නේ අනූව දශකයේ ජාතික තරුණ සේවා සභාව මගින් ඔප වැටුනු තාරකාවක්.  චන්දනට අමතරව ෂර්ලි වයිජයන්ත, චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි..ආදීන් ජාතික තරුණ සේවා සභාව මගින් බිහිවුන තවත් ගායක ගායිකාවන් පිරිසකි. චන්දන ලියනාරච්චි නිහඬ ගමනක යන කලාකරුවෙකු ලෙස හැඳින්වූවාට වරදක් නෑ. අනූව දශකයේ ඔහු ගැයූ ගීත කිහිපයක් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ලං වෙනවා. නමුත් ඉන් පසුව පැමිනෙන අලුත් ගීත එතරම් දුරට රසිකයන් අතරට නොයාම මාධයය වල වැරැද්ද්ක්ද නැතිනම් ඒවා ඔහුගේ කලින් ගී තරම් සාර්ථක නොවේද යන්න සලකා බැලීම වටිනවා. ඒ කොහොම වුනත් 'ඇහැල මල් පිපෙනා, සුවඳ තියා, පොල් රුප්පාවේ, සිතින් අදිනවා..' ආදී රසික සිත් අමන්දානන්දයට පත්කල ගීත ගනනාවක් ඔහු ගායනා කොට තිබෙනවා. 

විශාරද නිහාල් ගම්හේවා චන්දන ලියනාරච්චිගේ කැසට් පට වලට ගීත රචනයෙන් සක්‍රීයව දායක වී තිබේ. ඒ අතර 'ඇහැල මල් පිපෙනා සහ පොල් රුප්පාවේ' යන ගීත විශේෂ ස්ථානයක් හිමිකරගනී. චන්දනගේ කැසට් පට වල ගීත හැරෙන්නට, විශාරද නිහාල් ගම්හේවා විසින් කල ගීත රචනා බොහෝය. ප්‍රින්ස් උදයප්‍රියන්තගේ සඳ කුමාරියක් සහ ඔබ පෑ පෙම් සිනා, ලලිත් පොන්නම්පෙරුමගේ ඔබෙ සිනා මල් පිපී, රෝයි පීරිස්ගේ මා දෑසේ වේදනා ඉන් කිහිපයක් පමනකි. 

'ඇහල මල් පිපෙනා' ගීතය ඇතුලත් වන්නේ 'ලියතඹරා මල' ගීත ඇල්බමයට. මේ ගීතය එලිදැක්වුන සමයේ රසිකයන් මේ ගීතයට පෙම් බැන්ඳේ නිරායාසයෙනි. එවකට එෆ් එම් නාලිකා හඳුන්වාදුන් 'මියුසික් චාර්ට්' වල ඉහලම ස්ථානවල නිරතුරුවම රැඳී ඉන්නට මේ ගීතය සමත් වෙනවා. එයට මූලික හේතුව ලෙස මා දකින්නේ ගීතයේ ඇති සරල බස් වහර සහ ආදරබර ඇමතුමයි. තරුණ තරුණියන්ගේ හදවත් වලට කතා කරපු ගීතයක් ලෙස හැඳින්වුවොත් එහි වරදක් නැති බව මා සිතනවා. මෙහි අර්ථය ඉතාම සරල වන අතර ඕනෑම කෙනෙකුට මෙය පහසුවෙන් ග්‍රහනය කර ගැනීමට පිලිවන්. ගී පද බොහෝ දෙනාගේ ලවන් අතර මිමිනෙන්නේ ආයාසයකින් තොරව. ඒ වගේම මෙහි ඇති කතාව බොහෝ පෙම්වතුන්ගේ අත්දැකීමක්ද වන නිසාවෙන් මෙය විඳීමට ඇති හැකියාව වඩාත් තීව්‍ර කරනවා.  

බොහෝ කවීන් සහ ගේය පද රචකයන් ප්‍රෙමය ගැන කතාබහ කරනාවිට සොබාදහම ඈඳාගැනීමට රුචියක් දක්වනවා. ඉතින් මේ සොබාදහම ඈඳාගැනීමට නම් නිරන්තරයෙන් ගම්බද පරිසරයකට යාවීමට සිදුවෙනවා. ගීතය පටන් ගැන්මේම මේ ගම්බද පරිසරය තුලට රසිකයා ඇද ගන්නට සමත් වීම කැපී පෙනෙන්නක්. නිහාල් ගම්හේවා මහතා 'ඇහැල මල්' මේ ගීතය සඳහා යොදාගැනීමෙන් ගම්‍ය වන දේ නම් මේ අදාල පරිසරය වියලි කලාපයට අයත් එකක් වන බව. මොකද ඇහැල මල් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වියලි කලාපයේදී. කහ පැහැයෙන් දිදුලන මේ මල් සාමාන්යයෙන් පෙබරවාරි මාසයේ පිපීම ඇරඹෙන අතර අගෝස්තු මාසය වනවිට ගසට සමුදී ගිලිහෙන්නට පටන් ගනී. ඔබ ඇසල මල් දැක ඇත්නම් එහි සුන්දරත්වය අමුතුවෙන් කියාදියයුතු වන්නේ නෑ. ඒ තරම්ම සුන්දර වටපිටාවක අසිරි මවන්නට මේ මල් සමත් වෙනවා. 

ගම්බද පරිසරයක් මවන අනෙක් කාරනය තමයි 'දෙවට'. ගමක මේ දෙවට කියා අමතන්නේ පලලින් අඩු මාවතකට. ඇත්තෙන්ම එය පාගමන් කරුවන් සහ සයිකල් සඳහා යෝග්යය වූවක්. මේ දෙවැට දිගට බොහෝ වේලාවට ගස් සහ මල් බහුලව පවතිනවා.  එයිනුත් මේ ඇහැල මල් පිපුනු දෙවට සැබවින්ම නෙතට ප්‍රිය උපද්දනවා නොවනු මානයි. ඉතින් ඒ සා සුන්දරත්වයක් සමග මේ දෙවැට ඔස්සේ තරුණියක් පියමනිනවා. ඔබට මැවෙනවාද චිත්ත රූප...මටනම් මැවෙන්නේ චීත්ත ගවුමකින් සැරසුන ගම්බද තරුණියක් ලතාවට නිතඹ සලමින් ගමනේ යෙදෙනා අපූරුව. ඔබ මොහොතකට දෙනෙත් පියා එය මවාගන්න...දෙනෙත් විවර කරන්නට සිත් දෙන එකක් නෑ. 

යොදාගන්නා බස කොතරම් සරල වුවත්, රචකයා උපමා උපමේය යොදාගන්නට අමතක කරන්නේ නෑ. 
'පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා'
ඉතින් මේ දෙවැට දිගේ වෙන කිසිවෙකු යන සේයාවක් නොමැති වීම මේ තරුණයාට තරුණියගේ රූසිරි විඳීමට ඇති ඉඩකඩ වැඩි කරනවා. ඔහු කෙසේද ඇයගේ රූ සපුවේ පහස විඳින්නේ... දුරින් හිඳගෙන...

'ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්'

තරුණයා තරුණියගේ රූ සපුව විඳින අතර ඇයගේ බාහිර ස්වරූපය පිලිබඳව සැලකිලිමත් වෙන ආකාරයක් පෙනී යනවා. ඔහු ඇයගේ ස්වාභාවික ස්වරූපයට ඇලුම් කරන්නේ පියරු උලාගත් වත කිසිම වටිනාකමක් නැති බව පෙන්වමින්. මෙහිදීද රචකයා 'වනේ පිපුන මලක්' ආදී උපමා යොදාගෙන තිබෙනවා. 

'වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා'

වර්ථමාන සංකර සමාජයේ කොතෙකුත් පියරු බබාලා අපට හමුවෙනවාද? මගතොටදී මෙන්ම විවිධ ස්ථාන වලදී. අප ඒ මොහොතේ ඒ රූසිරිය වින්දාට මේ තරුණයා එය ප්‍රතික්ෂේප කරනවා. 
කාන්තාවකගේ මා දකින සුන්දරතම දේ තමයි මේ ඉඟි බිඟි. ඒ මගින් තරුණයන්ව වෙනමම ලොවකට ගෙනයාමට ඔවුන් සමත් වෙනවා. මෙහි කියැවෙන යුවතිය ඔහුගේ නෙතේ ගැටෙමින් ඔමරි බැලුම් හෙලන අතර නැවත ඔහු නෙත් මගහැර මුහුණ බිමට හරවා ගන්නවා. බලන්න කෙතරම් සොඳුරු දසුනක්ද....ඔබ හොඳින් මතක් කර බලන්න. ඔබට මේ දේ සිදුවෙලා ඇති. ඔබ කාන්තාවක් නම් ඔබ නිසැකවම එක් වරක් හෝ මේ ආකාරයට හැසිරිලා ඇති. අනේ...එහෙනම් එහි සුන්දරත්වය මා අමුතුවෙන් ඔබට කියන්නට ඕනේ නැහැනේ... 

ඉතින් මේ තරුණයා මෙසේ බලා සිටින්නේ ඇයගේ ආදරය අපේක්ෂාවෙන්. මේ ඔමරි බැලුම්, කෝල බැලුම් සියල්ලම සමග ඇයගේ මුවේ සිනහවක් මතුවෙනවා. ඒ එක්කම ඒ සිනහව ඔහුගෙන් වසන් කරන්නටදෝ ඇය නෙත් ඔහුගෙන් ඉවතට ගන්නවා. ඇය දෙවැට දිගේ දිගටම ගමන් කරනවා. නවතින්නේ නැති පාටයි...ඒත් වරක් පමන මදක් හැරී ඔහු දෙස නෙත් කොනින් බලා නැවත සිනා මුව නංවාගෙන ඉදිරියටම ඇදී යනවා. මේ ටිකම ඇති නේද මේ තරුණයාට....ඔව් ඔහුගේ සිත ඔහුට කියන්නේ ඇය හිමි ඔහුටම පමනක් බවයි. ඒ බව ඈ කියාපාන්නේ ඉඟියෙන්...මෙකී තරුණයාව සති ගනනාවක් මනෝ ලොව තුල සැරි සරවන්නට මේ බැලුම් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඇයගෙන් බහක් ලැබෙන තුරාවට මේ සුන්දරත්වයේ දැවටෙමින් වැට අද්දර ඇය එන මග බලාගෙන සිටීමට තරුණයා සුදානම්.....

'බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී
මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්'

ප්‍රෙමයේ සොඳුරු බව එයයි. මට මතක් වෙනවා චාමර වීරසිංහගේ ගීතයක කොටසක්. 'දුරින් හිඳ ඔබ දෙස බලන්නම්'. මෙසේ තමා පෙම් කරනා යුවතියගේ රූසිරි විඳිමින් ඇයගේ බහ ලැබෙන්කම් ඉවසා සිටින මේ ආකාරයේ ප්‍රෙමවන්තයන් ප්‍රෙමයට අභිමානයක්. ප්‍රෙමයේ සුන්දර බව විඳගන්නට හැකියාවක් ඔවුනට නිතැතින්ම තිබෙනවා. ඔවුන් අනිවාර්යයෙන්ම තම ප්‍රෙමය දිනාගන්නවා. එය සත්යයක්....සැබවින්ම සත්යයක්...
ඒ ඔබේ කතාව විය හැකියි....

~~තේජන අබේදීර~~




Saturday, 2 April 2016

දොඹ මල් කැලෑවේ

දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
කවියක් වගේ ආදරේ..
අත්වැල් බැඳන් යන්න ලං වී ලඟින් ඉන්න
සංසාර ගිරි දුර්ගයේ..//

රෑ පිනි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහෙ නිමා වේද
දුක් දොරකඩින් හෙටදිනේ

ක‍ටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පෑදුනු සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා..

මුල් ගැයුම : ජයතිලක බණ්ඩාර
ගායනය - ගුණදාස කපුගේ
සංගීතය - ගුණදාස කපුගේ
පද රචනය - වසන්ත බණ්ඩාර දිසානායක

බොහෝ දෙනෙක් නොදන්නා නිසා මම මේ ගීතයේ පසුබිම ගැන කියන්නට සිතුවා. මේ ගීතය මුලින්ම ගායනා කර තිබෙන්නේ ජයතිලක බණ්ඩාරයන්.
ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ගායන කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ඔහු එහි සිතාර් වාදකයාද වුනා. 1984 දී ගුණදාස කපුගේ ශූරීන් විසින් ඇරඹි 'කාලයේ රාවය' සංගීත ප්‍රසංගයට ජයතිලක බණ්ඩාරයන් එකතු වෙනවා. මෙයින් සිදුවන අතුරු ප්‍රතිපලයක් තමයි බණ්ඩාරයන්, කපුගේ සහ දිවුල්ගනේ යන තිදෙනාම වැඩ තහනමකට ලක්වීම. ඒ කෙසේ වෙතත් කපුගේ විසින් සංගීත නිර්මාණය කර ජයතිලක බණ්ඩාරයන් ගැයූ ගීත කිහිපයක් නැවත 'කම්පන' ප්‍රසංගය වෙනුවෙන් ගැයීමට, බණ්ඩාරයන් කපුගේට ආරාධනා කරනවා. ඒ ගීත අතර 'දොඹ මල් කැලෑවේ , සබඳ අපි කදු නොවෙමු, අහස උසට නැග ගියාට වැනි ගීත ඇතුලත් වෙනවා. මේ ගීත සියල්ලේම මුල් ගායනය ජයතිලක බණ්ඩාරයන් සතුයි. නමුත් 'කම්පන' ප්‍රසංගයෙන් පසු මේ ගීත දිගටම ගයන්නේ කපුගේ ශූරීන්.

අනුරාධපුර ගල්ගමුව ප්‍රදේශයේ ඇහැටුවැව ගමෙන් අපට දායාඅද කල දක්ෂ ගේය පද රචකයෙකු වූ වසන්ත බණ්ඩාර දිසානායකයන් තමයි මේ ගීතය රචනා කරන්නේ. මීට අමතරව කපුගේ ශූරීගේ 'දුක හාදු දෙන රැයේ' ගේය පදත් මොහුගේම වනවා. සුපුරුදු ලෙසට ගීතය සංගීතවත් කරන්නේ ගුණදාස කපුගේ විසින්මයි.

දොඹ මල් ඔබ දැක තිබෙනවාද? බොහෝ දෙනෙකුගේ පිළිතුර 'නෑ' යන්න බව නිසැකවම දනිමි. මෙය සුදු පැහැති කුඩා මලක් වන අතර ඔබගේ පහසුව තකා මම එහි ජායාරූපයක් මේ සමග එක්කර ඇත. මේ 'දොඹ මල්' මතක් වන්නේ ගීත කිහිපයක් සමගය. දොඹ මල් කැලෑවේ ගීතයට අමතරව, 'දොඹ මලින් මලට රේණු තලන, පවනට සැලෙනා දොඹ මල් සුවඳින් ගීත ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

මේ ගීත සඳහා දොඹ මල් යොදාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද යන්න සැලකිය බැලිය යුතුයි. මේ මලට බඹරු ඇදෙන්නේ නිතැතින්, අනෙක් අතට මේ මල සුදු පැහැති නිසා මුලු පරිසරයම ආලෝකමත් කරනවා. මේ මල් කිනිති වලින් මැවෙන්නේ පුදුම අලංකාර බවක්. මේ දොඹ මල් අසල ගැවසීගත් බඹරුන් සතුට උහුලාගත් නොහී ගැයුමට සහ වැයුමට පටන් ගනිති. ඒ ගයන කවියකට ආදරය සම කරන්නට පද රචකයා උත්සුක වී තිබෙන අයුරු පැසසිය යුතුයි.  මේ ආදරය හිතේ දවටගෙන හද පතුලේ තවරගෙන සිටින්නාක් කල් මේ ලෝකය සතුටින් තියේවී. මේ සංසාර ගමන ලෙහෙසි පහසු එකක් නොවේ. රලු බොරලු එමටයි. ගිරි ශිඛර, තැනිතලා, බෑවුම් ආදී විශමතාවලින් පරිපූර්ණයි. එවන්වූ මේ සංසාරය පුරාවට එකට ගමන් කිරීමට නම් අප අත්වැල් බැඳගත යුතුයි. ඒ වගේම එකිනෙකාට ලංවී සිටිය යුතුමයි.

'රෑ පිනි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ
සඳ සේ උදාවූ සෙනෙහෙ නිමා වේද
දුක් දොරකඩින් හෙටදිනේ'

ආදරය සමග පරිසරය යා කිරීම බොහෝ රචකයන්ගේ සිරිතක්. ඒ  තරම්ම පරිසරයත් සුන්දරයි, ආදරයත් සුන්දරයි. ඉතින් මෙහිදී රචකයා මුලින් යොදාගත් දොඹ මල් වෙනුවට කේතකී හෙවත් වැටකේ මල් ගෙනහැර පානවා. රාත්‍රියක සීතලත සමග දැවටීගෙන හමනා සුලඟ සමග පිනි බිඳු බිම පතිත වන්නේ වැටකේ මල්වල සුන්දරත්වයත් දෙගුණ තෙගුණ කරමින්. මේ දසුනට සඳ එලියත් එකතු වුනෝතින්...නමුත් මේ මොහොතේදී රචකයා තරමක ඍනාත්මක සිතුවිල්ලක් එක් කරනවා. මේසා සුන්දරවූ සෙනෙහස හෙට දිනයේ නිමාවේද? යනුවෙන්. දුක අපේ ලොවට එකතුවී මේ සෙනෙහසේ නිමාව සනිටුහන් කරාවිද?

'ක‍ටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා
පෑදුනු සඳක් නිසරු අහසේ පිපේවා
කටු වැට උඩින් පායලා'

ආදරයේ සුන්දර බව ගේන රචකයා ඍනාත්මක පැත්තකට අපව ගෙන ගියේ ඇයිද කියා දැන් ඔබට වැටහෙනවා ඇති. මොවුන්ගේ ආදරයට කියම් ගැටළුකාරී සාධක කිහිපයක් පවතින ස්වරූපයක් පෙනී යනවා. ආදරය නමැති මල වෙත එන්නට පෙර මලේ නටුවේ ඇති කටු පසු කරන් යායුතුයි. බලන්න එය ඉදිරිපත් කරන අපූරුව. එහි තිබෙනා අපහසු බව සහ එයින් විඳිනට වෙන පීඩාව ගෙනෙනා අයුරු.. 'ක‍ටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා'.
මේ ගමන පැමිනෙන්නේ ආදරය ජය ගන්නට. ඒ නිසා සිනාවක් මුව ඇඳෙනවා. නමුත් ඒ  සිනාසෙන්නේ ඉරි තැලුනු දෙතොල් සමග.
නිසරු අහස් යන්නෙන් කියාපාන්නේ ආදරයට නිරන්තරයෙන් එල්ලවන බාධා මැද ගෙවන ජීවිතයයි. මේ කටු වැට උඩින් සඳක් පායන්නට හැකිනම් මේ නිසරු අහසට සාරවත් බවක් ගෙන එන්න. එය තමා කටු වලට සීරුනු දෙතොල් වලින් ඉල්ලන ආදරයේ පැතුම....

අකු ඔබට බොහොම ස්තුතියි මට මේ ගීතය ලියන්නට ආරාධනා කලාට. ඔබ මෙන්ම මමද මේ ගීතයට බෙහෙවින් ඇලුම් කරනවා.

~~තේජන අබේදීර~~