Tuesday, 29 August 2017

වියෝගයක පෙර නිමිති දැනේ

වියෝගයක පෙර නිමිති දැනේ
අභිනික්මන ළං ළංව පෙනේ .....

ගිළිහී මධු බිඳු රැඳුණු පෙම් වදන්
කෙටිවෙයි කවියෙන් රචිත පෙම් හසුන්
හෝරා දින සති බවට පෙරලමින්
අඩුවී යයි මුණගැසෙන දින ගණන්

නැවතී උතුරා ගැලූ රස කතා
පිළිසඳරේදී වැඩෙයි නිහඬතා
දෙදරා පෙරදා පැවති සබඳතා
මොහොතක් පාසා බිඳෙයි සුහදතා...

නන්දා මාලිනී /සුනිල් ආරියරත්න/ රෝහණ වීරසිංහ

සබඳතාවක් ආරම්භයේදී ජීවිතේ කොයි තරම් නම් වෙනස් කම් සිද්ධ වෙනවාද.. ලෝකෙ හැම සතුටක් ම අයිති වුණා වගේ අපූර්වතම හැඟීමකින් මුලු හිතම පිරිලා යනවා.. තත්පරයක් පාසා බලාපොරොත්තු දැල්වෙනවා..

අපූරු පෙම් කතාවන් පිටු පුරා ලියැවුණු යුගය නැතිවුණේ තාක්ෂණය ආදරය මැද්දට ආවට පස්සේ.. ඊට පෙර හරියටම කිව්වොත් මීට අවුරුදු 15ක ට පමණ පෙර පෙම්වතුන් තමන්ගෙ සිතුම් පැතුම් සුන්දර වචන වලට පත් කරලා අකුරු කළා..

එකිනෙකා හමුවෙන්න කොයිතරම් නම් ප්‍රේමවන්ත හිත් පෙරුම් පුරනවද.. හැම මොහොතකම නොසන්සුන් සිතිවිලි ඔහුගේ.. ඇයගේ දසුන වෙනුවෙන් මග බලා ඉන්නෙ කොතරම් නොඉවසිල්ලෙන්ද..

එහෙම පෙරුම් පුරන පෙම්වත් සිත් උනුන් අභියසදී නොනැවතී දොඩමළු වෙනවා.. තොරතෝංචියක් නැතිව ජීවිතේ වැදගත්ම සුවිශේෂීම කෙනා ළඟදි කතා කරන්නට කොයිතරම් නම් දේවල් තියෙනවාද.. ඒ වචනයක් පාසා වෑහෙන්නෙ සෙනෙහස ආදරය ලෙංගතුකමම නේද..

ඉතින් මේ හැමදේම යම් මොහොතකදි වෙනස් වුණොත්.. ඒ ආදරණීය වදන් ගොළු වුණොත්.. හමුවීම් අතර පරතරය වැඩි වුණොත්.. දෙදෙනා අතර නිහඬතාවයට වැඩි ඉඩක් ලැබුණොත්.. ඒ තිබුණු සුහද ලෙංගතු බැඳීමේ යම් පළුද්දක් ඇති බව හැඟුණොත්..

ඊළඟ නිමේෂයේ කුමක් නම් සිදු වේවිද...


~අමාලි වසුන්දරා අතුකෝරල~




නෙතු පියන් පියා මුතු දසන් වසා

නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරී
සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී
මව් පියන් බලා නො ඉඳී

කැට මුගුරු වැදී තටු සඟළ බිඳී
ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ
සිහින මුවා තටු සලා වරෙන්
සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා...

ඉරිසියා හිති බොරු ගොතා කියූ
ඒ සුරංගනාවන් නිදා සිටී
හිරුට මුහුණු ලා පියාඹපන්
සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා...

ගායනය - බණ්ඩාර අතාවුද
සංගීතය -ගුණදාස කපුගේ
ගේය පද - රත්න ශ්‍රී විජේසිංහ

ජීවිතයේ හැබෑකරගන්නට වෙරදරන හීන ගොඩක් අතරින් ආදරය නැමැති ලෙන්ගතු හීනයක්.....
සැබෑ ලෝකයේ පැමිනෙන දහසකුත් බාධක මැඩගෙන හැබෑකරගන්නට වෙර දරන හීනයක්....
විරහවක් කරා නොගොසින් ආදරයෙන් හිත පතුලම ස්පර්ශ කරන සදානන්ද කරවූ හීනයක්....
ඔබටත් තිබුනාද ...ඒ සිහිනයේ සුන්දරත්වය ඔබ විඳගත්තාද...ඒ සිහිනය සැබෑ ලෝකයේදී දකින්නට ආශාවෙන් සිටියාද ...ඒ සිහිනය සැබෑ කරගත්තාද ...
රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සැබෑකරගත් ඒ සිහිනය ඔබවෙත ගෙනහැර පාන්නෙමි මෙසේ.......

මගේ කුමරිය නින්දේ... නෙතු පියන් වසාගෙන ඇගේ මුතු දසන් වසාගෙන ඇය නින්දේ. සිහිනයකින් ඇය මා ලඟටම ඇවිත්. කිසිවෙකුට දැක ගන්නට බෑ..අඩුම තරමේ ඇගේ මවුපියන්ටවත් ඒ පිළිබඳ දැනීමක් නෑ.

ඈ කිරිල්ලියක්...තටු සලලා ඈතට ලස්සන හොයාගෙන සිත්ගත් ඉසව්වකට පියාඹන්න ඈ බොහොම කැමතියි. ඒත් ඉගිලෙන්නට වෙර දරන ඇයට කැට මුගුරු එල්ලවෙන්නේ නිතැතින්. ඒවා ඇයට ඉවසාගන්නට අපහසුයි. ඒවායින් මිදීමට අපහසුයි. ඇගේ තටු බිඳී ගොසින්ද ...ඉගිලෙන්නට නොහැකිලෙස..එසේනම් සිහිනයෙන් තටු විහිදා මා ලඟටම එන්න. ඔබෙයි මගෙයි ආදරය කරා එන්න...

ආදරයට ඉරිසියාකාරයින් බොහෝයි. උන් කියනා බොරු නිසා නුඹට කෙසේවත් මා සමීපයට එන්නට අපහසුයි...ඒත් පහසු විදියක් තියෙනවා...ඔබෙයි මගෙයි සිහිනය...ඔව් ඒ සිහිනයේදී ඉරිසියාකාරයින් නිදි. හිරු නැගෙන දෙසටම පියඹා එන්න...මා වෙතම...අපේ ආදරය වෙත...

මේ ගීතය බණ්ඩාර අතාවුදයන්ගේ පළමුවන ගීතය වගේම රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ප්‍රථම ගීතය. මෙහි කියැවෙන්නේ හරිම ලස්සන කතාවක් වගේම ඔබ අප බොහෝ දෙනෙකුට පොදු කතාවක්. ආදරයකදී දෙමව්පියන් එයට අකමැති වීම බොහෝ ආදර කතා වලට දකින්නට පුළුවන් දෙයක්. එසේ ආදරයකදි එවන් අකමැත්තක් ඇති වුනොත් පෙම්වතුන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
'සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා' සෝමතිලක ජයමහ ශූරීන් ගයද්දී දැනෙන හැඟීම කෙලෙසද. පෙම්වතා විසින් පෙම්වතියගේ දෙමව්පියන්ගෙන් අහිංසක ඉල්ලීමක් සිදුකරනවා ඔවුන්ගේ සම්බන්දයට ආශීර්වාද කරන ලෙස. දෙමාපියන්ගේ අකමැත්ත නිසා ඔවුන් විඳිනා දුක මනාවට පෙන්වා දෙනවා.

සමහර විටෙක දෙමාපියන්ගේ කැමැත්ත අකමැත්ත නොසලකා පෙම්වතියව බලෙන් රැගෙන යන අවස්තාද නැත්තේ නොවේ.

ගීතයේදී දෙමාපියන් මේ සම්බන්දයට දැඩි ලෙස විරුද්ධ වන බවක් පෙන්වනවා. ඒ නිසාවෙන්ම සිහිනයක් මගින් දෙදෙනා ආදරය කරන්නට පෙලඹෙනවා...සිහිනයේදි සැබෑ ලොවේ තියෙන බාධක කිසිවක් නෑ. ආදරය ජයගන්නට පුළුවන් පහසුවෙන්ම.

ඉතින් මේ ගීතයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සැබෑ ජීවිත කතාව වීමයි. ගීතයේ කියැවෙන ආකාරයටම ඔවුන්ගේ ආදරයට දෙමවුපියන්ගෙන් බාධාවන් එල්ල වෙනවා. ඇයව දකින්නට ලැබෙන්නෙවත් නැති තත්වයකට පත්වෙනවා. ඒත් එසේවූ නියාවෙන් ආදරය නතර කරන්නට ඔවුන් සූදානම් නෑ. සිහිනයන් මගින් ආදරයේ මිහිරියාව විඳින්නට සමත් වෙනවා. කෙසේහෝ රත්න ශ්‍රී ආදරයෙන් ජයගන්නවා.

ගීතය සංගීතවත් කරන්නේ විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින්. ගේයපද වල තිබෙන සුන්දරබව තවත් තීව්‍ර කිරීමට සංගීත නිර්මාණය උපකාර වී තිබෙන බව ඔබට වැටහේවි හොඳින් ගීතය රසවින්දනය කලොත්. බණ්ඩාර අතාවුදයන්ගේ හඬ ගැන යමක් කිව යුතුමයි. ඔහුට තිබෙන්නේ ඔහුටම අනන්‍ය වූ හඬක්. ඔහුගේ ගීතයේ ඔහුගේ සලකුණ තබන්නට සමත්වීම කැපී පෙනෙනවා.

~තේජන අබේදීර~


පියෙකුගෙ දුක කියාපාන

පියෙකුගෙ දුක කියාපාන
මහ දිය කඳ කලා වැවේ
දරු සෙනෙහස දල්වාගෙන
රැළි නංවා හඬා වැටේ...

සීගිරියේ ගී පවුරේ
කවි සිතිවිලි විමානයේ
ලියා ඇති ද එක ගීයක්
නුඹ වෙනුවෙන් පියාණනේ...

සීගිරි ලලනා දෑසින්
කඳුළු බිඳක් නොවැටුණාට
නෙළුම් මලක් අදත් පිපෙයි
සිරස නමා කලා වැවට...

පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
ස්වර - රෝහණ වීරසිංහ
හඬ - කරුණාරත්න දිවුල්ගනේ

අතීතය වර්තමානය වෙනුවෙන් මොනතරම් නම් දේවල් ඉතිරි කරලද.. ඉතිහාසයේ ආඩම්බරයෙන් අදටත් දෝංකාර දෙන දහසකුත් සිදුවීම් අතර ඉඳහිටක මතුවන කලු පැල්ලම් හදවතේ කොණක ඇති කරන්නෙ රිදුමක් වේදනාවක්.. මේකත් එක්තරා ආදර කතාවක්.. සෘජුවම නොදැනුණාට පියෙකු පිළිබඳව ගැයෙන ආදරණීය පිය ගුණ ගීතයක්...

ඉතිහාසය විසින් අපේ මතකයට නංවන මේ චණ්ඩ පීතෘ ඝාතක පුත්‍රයා කාශ්‍යප රජ්ජුරුවෝ.. බලය වෙනුවෙන් ඔහු ධාතුසේන රජු පෙළනවා.. අරගල කරනවා.. ධාතුසේන රජු තමන්ගේ පුතණුවන් රැගෙන යනවා එතුමන් විසින් නිමැවුණු යෝධ කලා වැව ළඟට.. "පුතුනි ජීවිතය තුළ මා විසින් ඉපැයූ යම් දෙයක් වේ නම් ඒ මේ සුන්දර විසල් ජලකඳයි" මේ තුළින් තම පුතණුවන්ගේ හිත මෙලෙක් කිරීම එතුමාගේ අරමුණ වන්නට ඇති.. එහෙත් ශෝචනීය අවසානයක්.. මේ පුත්‍රයා අනන්ත අප්‍රමාණ දුක් දීලා සිය පිය රජු මරා දමනවා.. හරියටම ඒ කලා වැව අසලදීම.. ඉතින් මේ පියාගේ ආදරණීය අඳෝනාව වේදනාව ඔහු බොහෝ සෙයින් ප්‍රිය කළ කලා වැවේ ඒ මහා දිය දහරට මුසු නොවී තියේවිද..

ඒත් අදටත් කාශ්‍යපයන් ඉතිහාසය විසින් උලුප්පා දක්වන්නෙ මේ සිද්ධිය යටපත් කරවමින්. ඒ ඔහු විසින් රාජධානිය කොටගත් අරුමැති සීගිරිය නිසාවෙන්.. සීගිරියේ කැටපත් පවුර පුරා එහි සොඳුරු බව වෙනුවෙන් සහෘදයන් අතින් කවි ගී නිමැවුණා.. ඒ එකම කවියක ගීතයක හෝ ධාතුසේන රජු ගැන ලියැවී ඇතිද..

අර තරම් මනස්කාන්ත වූ සීගිරි සිතුවම් අතර ඇඳුණු ලලනාවන්ගේ නෙතින් කිසි දිනෙක ධාතුසේන රජුගේ මතකයක් වෙනුවෙන් කඳුළක් නොවැටෙන්නට ඇති නේද.... සිය පියා ඝාතනය කළ කාශ්‍යපයන්ගේ නමෙහි ඇති වූ කැළල මකාලන්නට සීගිරි සිතුවම් වල ඇති විශිෂ්ඨත්වය සමත් වූ ආකාරය රචකයා විසින් පෙන්වා ඇති අයුරු කොතරම් අපූර්වද..

ඒත් කලා වැව අදටත් ඒ පියාණන් වෙනුවෙන් ශෝක වෙනවා.. ඒ මහා දියකඳ තවමත් හඬා වැටෙනවා.. ඔහුගේ නාමයට පිපුණු නෙලුමක් සිරස නමා කලා වැවට ආචාර කරනවා... පුංචිම පුංචි අස්වැසිල්ලක් හිතේ ඉතිරි කරනවා නේද..

මේ පද වැල ගෙතෙන්නෙ තුන්වන පාර්ශවයකගේ ඇසින්.. කරුණාරත්න දිවුල්ගනේ සූරින්ගේ ලයාන්විත හඬ ස්වරය මේ පද වැලේ ඇති වේදනාත්මක බව වඩ වඩා ඔප් නංවනවා නේද..






~අමාලි වසුන්දරා අතුකෝරල~


සිහිනයේ දොරකඩ....

සිහිනයේ දොරකඩ....
නොපිපෙන පැතුමකි ඔබ මට ..
නිදි නැති සිත ගිනි අවුලන...
සැඩ මාරුතයක් විය ඔබ මට....
.....
මේ තරම්....කදුළු වරුසා ....
මේ තරම් ඇයි සොදුරු යෞවනයට
ජීවිතය මැකෙනා .........
අවපසේ සඳ විලසට.....

රැයෙන් රැය දිගු කාලයක් වී
මේ තරම් ඇයි දුකක්....
ඔබ අහිමිව..
සෙනෙහසින් වඩිනා ...
හද සුවඳ කෝ කොතනද?.....

හඬ - ප්‍රදීපා ධර්මදාස
පද - රත්මලේ බන්දුල ගුණවර්ධන
ස්වර - රෝහණ වීරසිංහ

සිහිනයක්.. හැමදාම දකින්නට ආසා කරපු ඒත් කිසිදිනක හිත පුරා දකින්නට වරම් නොලද හීනයක පැතුමක්.. හීනයක් වගේම ජීවිතේ දකින්න.. කියා දුන්න නුඹ ම.. අවදි වෙලා බලද්දි මතකයන් විතරක් ම ඉතිරි කරලා යන්න ගිහින්..

හිතේ සැනසීමත් එක්කම නින්දත් හොරාගෙන ඔබ යන්නම ගිහින්.. රාත්‍රී අඳුර අතරින් ඔබේ මතකයන් මා වටා සක්මන් කරනවා.. හිත පුරා මහා ගින්නක් අවුළුවමින් මාව අවදියෙන් තබනවා.. හරියට දරුණු සැඩ සුළඟක් වගේ දසත සුණු විසුණු කරමින් හමා යනවා..

පුර පෝය අහවර වෙච්ච දවසේ ඉඳන්ම හඳ කෙමෙන් කෙමෙන් මැකෙමින් ගෙවෙමින් අමාවක තෙක් ගමන් කරනවා.. හරියටම මගේ ජීවිතය වගේ.. යෞවනය ඇත්තටම සොඳුරුයිද.. එහෙම නම් ඇයි මේ තරම් දුක් කඳුළු මගේ යෞවනය පුරාම පිරෙන්නට හේතු වෙන්නෙ.. ඇත්තටම ඒ හැමදේම ඔබ නිසාම ද..

කාලය ගැටළු වලට විසඳුම් ගෙනෙන්නට ඕන.. රැයෙන් රැය... හරි නම් දිගු බව අඩු වෙන්න ඕන.. දුක අඩු වෙන්න ඕන.. ඒත් රැයෙන් රැය දිගු වෙනවා.. ඔබ අහිමි වීම මේ තරම් දුකක් වුණේ කොහොමද...

ප්‍රදීපාවන්ගේ බොහොමයක් විරෝධාලාප ගීත අතරට එක්වුණ අපූර්වතම ප්‍රේමාලාපයක්.. සංවේදී සෞම්‍ය පද රචනයක්.. රත්මලේ බන්දුල ගුණවර්ධන අතින් ලියැවුණක්.. ස්වර රෝහණ වීරසිංහයන්..

~අමාලි වසුන්දරා අතුකෝරල~



කඳුළැල් සලා දෙනෙත් පියවිලි

කඳුළැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ
ඇයි මිහිරියේ තනි වී කිව මැන කල්පනා ලොවේ...

මතුවේ සිහින් සුසුම් රැළි හද විල් දියේ මගේ
කිසිවක් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ
රැජිනි ඔබයි උදාරි යෙ මගෙ දිළිඳු ලෝකයේ...

ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුළැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ...

මා වෙසෙන තුරු ලොවේ ඔබ කිසි දිනක තනි නොවේ
හමු වෙන්න එමි ප්‍රියේ අද මෙන් මතු ද මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවියේ...


ප්‍රේමකීර්ති සංකල්පනාවක්..
ස්ටැන්ලි පීරිස් ස්වර පෙළහරක්..
ගී හඬ අමරණීය ජෝතිපාලයන්..

ඇස් තියෙන්නෙ ලෝකය දකින්න.. ඒ වුණත් හදවතට දැනෙන බොහෝ දේවල් දරාගන්න බැරි වුණ වෙලාවට ඒ හැමදේම කඳුළකට හරවන්නත් ඇස් වලට පුළුවන්..

එහෙම බැළුවොත් බාහිර ලෝකය දිහා බලන්න දීලා තියෙන ඇස් වලින්ම නේද හිතේ ඇතුළෙ දැනෙන දේවල් බාහිර ලෝකයට මුදා හරින්නෙ... තමන් ආදරය කරන කෙනෙක්ගෙ ඇසකට නැගෙන කඳුළ අනිත් කෙනාට දැනෙන්නෙ කොහොමද?

ඔහු සුසුම් හෙලනවා.. ඇයි මේ ඔබ හඬන්නෙ? ඔබ තරම් වටිනා කෙනෙක් මට ලෝකෙ ඉන්නවද? මම කවදාවත් ඔබව තනි නොකර ඔබ ළඟින්ම ඉන්නවා අද වගේම හැම භවයකදිම. ඔබ මට රැජිනක්.. මාවත් රජෙකු ලෙස පිළිගන්න ඔබට පුළුවන් නේද?

ඇයව අමතන්න වචන කීයක් නම් මේ ගීතයේ යෙදිලා තියෙනවාද බලන්න. මිහිරියේ... උදාරියෙ.. ප්‍රියේ.. දයාවියේ..

~අමාලි වසුන්දරා අතුකෝරල~






සුදු ඇත් පොව්වෙක්

සුදු ඇත් පොව්වෙක්
සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නොකළත් සිරියහනේ
පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු
මට රජ පැටියෙක්

හංකිති කවමින්
කුස තුළ සක්මන් කරනා
නුඹ දඟයකු වේ දැයි
නිකමට මෙන් මට සිතෙනා
පැටියෝ….
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
නුඹෙ හිස පළඳන්නේ
වෙනසක් නැති එක ආදරයයි

කුස තුළ දැරුවැයි
මතු බුදුවන පැතුමන් නෑ
ලේ කිරිකර පෙව්වැයි
උදම් අනන්නට රිසි නෑ
පැටියෝ….
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
මා නුඹට පුදන්නේ
සැබෑව දිදුළන ජීවිතයයි

පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - නිරෝෂා විරාජිනී

අම්මා.. ජීවයට පණ පොවන ලෝකය දකින්නට ජීවිතය විඳින්නට මග කියා දෙන අම්මා.. දරුවකු පිළිසිඳීමේ සිට බිහිවීම තෙක් වන විශ්මිත ක්‍රියාවලිය තරම් අසිරිමත් සංසිද්ධියක් මේ විශ්වයේ තවත් තියෙනවද? තමන්ගෙ කුස තුළ වැඩෙන තවත් ජීවිතයක් ඇගේ හිතට දැනෙන්නෙ කොයි විදිහටද?

ජීවිතයේ අසීරුම කාලයක් ගෙවාගෙන යද්දි හැම පුංචි දේකින්ම හිත රිදෙන හිත සැලෙන සංවේදී චරිතයක් බවට ඇය පත්වෙන්නෙ නිරායාසයෙන්.. සුපුරුදු ගඳක් සුවඳක් පවා දැනෙන්නට බැරි තරම් දුර්වල වෙද්දි ඒ හැම කරදරයක්ම ඇය දරාගන්නෙ එක් පුංචිම පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙන්.. සෞම්‍ය සමනළ පියාපතක් කුස තුළ එහා මෙහා යනවා වගේ මුල්ම වරට දැනෙද්දි ඇය මෙතෙක් විඳි වේදනාවන් සියල්ලම අමතක වෙලා ගිහින්.. තමන්ගේ රුහිරෙන් දිනෙන් දින අපූරු ගෙත්තමක් වගේ ජීවිතේ ගොතන ජීවයක් දවසින් දවසම ඇගේ හිතේ ලෝකෙ ඇති පිවිතුරුම බැඳීමකට මග පාදනවා..

මේ ලෝකෙ ගැන හාන්කවිසියක්වත් නොදැන අම්මගෙ උණුහුමට පෙම් බඳින මේ පුංචි අහිංසක ජීවිතය වෙනුවෙන් ඇය කොයිතරම් කැප කිරීමක් නම් කරනවද? බෝසතාණන් වහන්සේ පවා අවසාන භවයේ උපන්නෙ තෝරාගත් මවගෙ කුසේ.. ඉතින් උපදින හැම දරුවකුම තමන්ගෙ අම්මා හොයාගෙන එන්නෙ පෙරුම් පුරාගෙන වෙන්නට ඇති නේද?

ආදරණීය පැටියෝ.. ඔබ දුවක වුණත් පුතෙකු වුණත් වෙනසක් නැතිවම ඔබට පුදන මහාර්ඝ වස්තුව මගේ ආදරයයි..

~අමාලි වසුන්දරා අතුකෝරල~


වැලිතල අතරේ හෙමිහිට බසිනා




වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණු දා
තිලෝහිමි මොක් සුව ලද මොහොතේ - සමාධී භාවනා

හිම කඳුවැටියේ සීතල හෙවනේ
චන්දන තුරු පීරා හැපී එන මල් මුවරද රසිනේ
සුවඳ මුසු කෝමළ මඳ පවනේ - ගැටීලා පාවෙනා

සත්සර නඟලා - ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ - මනෝහර - පලූපත් අතු රිකිලී
නටා ගිය - තාලයෙහි රස නැඟුණා - සරාගී ජීවනා

සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා - සිට ම තව - මහ මෙවුනා උයනේ
නටයි කොළ වන්නම සේ මහ බෝ - සුමීරී නාදෙනා...

පද සංකල්පනාව - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
ගැයුම හා සත්සර - ඩබ් ඩී අමරදේව

වන්නම, යමක් හෝ යමෙක් කෙරෙහි සිදු කරන්නා වූ වර්ණනාව මේ ලෙසින් හැඳින්වෙනවා.. භාෂා භාවිතය පිළිබඳව මනා හැකියාවක් හා නිපුණත්වයක් දැක්වූ චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් ගෙතුණු මේ අපූර්වතම ගේය පද සිත්තම සිංහල ගීත වංශ කතාවේ එක තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස හඳුනා ගත හැකියි..

වන්නම් උඩරට පහතරට මෙන්ම සබරගමු නර්ථන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙහිම එන විශේෂාංගයක් වන අතර මේ ගීතයේ ද වන්නම් වලට අදාළ ලක්ෂණ නොඅඩුව තිබීම නිසාදෝ එය මහා බෝ වන්නම ලෙස දක්වා ඇත..

වැලි තලාවන් අතරින් ගලා යන නේරංජන නදිය ය. බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කොට ලොව පරම සුන්දර සුවය පසක් කොට ගත් ඒ සොඳුරු නිමේෂයේදී ළඟ රැඳුණු යමෙක් වේද.. ඒ ශ්‍රී මහා බෝධිය යි.. ඈතින් හිමාලය කඳු අතරෙක නැගුණු සඳුන් තුරු මත වැදී තව තවත් සුවඳවත් වුණු සීතල මද පවන ශ්‍රී මහා බෝධිය සමීපයට විත් ඒ මත වැදෙයි..


සෙමෙන් එහා මෙහා වෙන් වෙන්ව සෙලවෙන රන්වන් පත් මවන්නේ කොතරම් අපූර්වතම සංගීත රටාවක්ද.. බෝ ගසක් පාමුල මොහොතකට නැවතී බලද්දී ඒ ශෝබන නර්ථනය ඇස් නොගැටුණු අයෙක් වේද..

දකුණු ශ්‍රී මහා බෝධි ශාඛාව සංඝමිත්තා තෙරණිය සුරතින් ධර්මය පවතින්නා වූ මේ පුන්‍ය භූමියට එක්තරා කාලයකදී වැඩම වෙනවා.. අදටත් ඒ නර්ථනය ඒ බෝ පත් විසින් රඟ දක්වනවා.. බලා හිඳිමු විමසිල්ලෙන්.. ඇසේවි ඒ මියුරු සංගීතය..

~අමාලි වසුන්දරා අතුකෝරල~


Wednesday, 3 May 2017

වස්සානය සිනා සලයි..(ගී පද කී මට මාල ගිරා)


තම පුතු විසින් සංගීතවත් කල ගීතයක් ගායනය කරන්නට ලැබෙන්නේ නම් මවකට එය මහත් භාග්‍යයක් නොවන්නේද....එමෙන්ම තම ස්වාමියා විසින් සංගීතවත් කල බොහෝ ගීතද ගායනා කරන්නට ඈ වාසනාවන්ත වූවාය.
නමුත් අපගේ අවාසනාවට අද ඈ අප අතර නැත. මාලනී බුලත්සිංහ ගුරු මෑණියනි ඔබ අපේ සිත් තුල සදා අමරණීයයි.......

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා


පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

නින්දා ගිණි නිවේවි
මාල හතක් දිලේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
ගී පද කී මට මාල ගිරා

ගායනය - මාලනි බුලත්සිංහල
සංගීතය - කසුන් කල්හාර
ගී පද - විදුර ඩයස්

මේ ගීතය ලියැවෙන්නේ 99/ 2000 කාලයේදී. මෙය එක්වරම බිහිවුන ගීතයක් වන්නේ නෑ. මාලනිය තමාට ගීතයක් ලියාදෙනමෙන් විදුරගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඇය ඔහුගේ දක්ෂතා පිලිබඳව වැටහීමක් තිබෙන නිසාවෙන්. ඔහු විසින් රචිත යුග ගීයක් මාලනියගේ සිත්බැඳ ගන්නා නිසා තමයි මාලනිය එවැනි ඉල්ලීමක් සිදුකරන්නේ. විදුර ඒ සඳහා වැඩි උනන්දුවක් නොදක්වන්නේ මාලනිය නිකම් කියූ දෙයක් කියා සිතායි. නමුත් දෙතුන් වතාවක් ඔහුට මෙය කියන නිසාවෙන් ඔහුට මෙය සිදුකරන්නටම වෙනවා.

මාලනිය මොනාලීසා ඇල්බමය කරන්නට විදුරගෙන් ගී පද රචනාව බලාපොරොත්තු වූවාය. ඇය බලාපොරොත්තුවන්නේ තරමක වේග රිද්ම ගීයකි. කසුන් කල්හාර විසිල් එකක් ගසනුලැබ එයින් විදුර අතින් 'ගී පද කී මට මාල ගිරා' යන පද පෙල ලියැවෙයි. එය එතැනින් අවසන්වේ. යලි ටික කාලයකින් කසුන්ගෙන් විදුරගේ බ්ලූමැන්ඩල් පෙදෙසේ පිහිටි නිවසට දුරකතන ඇමතුමක් ලැබේ. ඒ ගීතය ඉක්මනින්ම නිමකල යුතු බව පවසමිනි. දුරකතනයෙන්ම කසුන් මෙලඩිය ලබාදෙන අතර ඒ මෙලඩියට අනුව ගීතය ලියැවේ.
විදුර අයියා ගීතය ගැන කිව්වේ මෙහෙමයි...

ගීය ලියැවෙන්න කාලයකට පෙර මේ පෙම්වතාට යන්න සිද්ධ වෙන්නේ කොළඹ 15 නම් කුණු කසලින් දූලියෙන් සන්නද්ධ ගෙන්දගම් බිම් පෙතක කුඩා පේලි ගෙයක පදිංචියට, අතැර දා මලින් පිරුණු ගම්මානය.

ඔහු යළි එන්නේ කවදාකදැයි ගම්මානයේ වෙසෙන පෙම්බරිය ඇඟිලි ගනිමින් නිතර බලා සිටි වග කිවමනා නොවෙයි. පඳුරේ රෝස මලක් නෙලා වේලා කවරය ඇතුලට ලා ලිපියක් එවන්නේ සඟවා ගත් කඳුලින්.
ඊටත් වඩා සිය මල්කම් අකුරු නිවැසියනට , මිතුරනට රහසේ අමුණමින්.

කාලාන්තරයක් තිස්සේ හිත් බැඳුනද දෙදෙනාම එකඟව 'හා' කියා ගත්තේ මැයි තුන්වන දාක. ළබැඳුමට තෙමසක් පිරෙත්දී එනම් අගෝස්තු එකොලොස් වන දා දෙදෙනා විරසක වෙයි. විරසක කාලයත් තුන්මසක්. නොවැම්බරයේ තුන් වැනිදා යළි දෙදෙනා මිතුරුවෙයි.

දැන් ඔවුන් විවාහප්‍රාප්තය, මව්පියවරුය. පෙම්වතා පසුකලෙක ගීයකට ලන්නේ ඇගේ විරහ දුකය.




Wednesday, 26 April 2017

නෙතු කඳුලු වලින් බොරු නොකර ඉඳින්

සහෝදරයෙක්.... කියන්නේ ජීවිතයට ලොකු සම්පතක්. අවංක සහෝදරත්වය තුල මිල කළ නොහැකි
වටිනාකමක් තිබෙනවා. විශේෂයෙන්ම අයියා කෙනෙක් ඉන්න පවුලක තියන හයිය වචනයෙන් විස්තර කරන්නට බැහැ. ඒ වගේම සහෝදරයා කියන වචනයටවත් ගරු නොකරන නීච මිනිසුන් නැතුවාම නොවෙයි. එවන් මිනිසුන් කිසිදු බැඳීමක්, ඒ වගෙම ඒ බැඳීමක තිබෙන වටිනාකම හඳුනන්නන් නොවෙයි. ඉතින්... අයියා - නංගි බැඳීම ගැන කතා කරනවනම් අයියලා හරි ආදරෙයි තමන්ගේ නංගිලාට. සමහර අයියලා තමන්ගේ ආදරේ හොඳින්ම පෙන්නනවා, නමුත් සමහරුන් තමන්ගේ ආදරේ නංගිට පෙන්නන්නේ නෑ. ඒක තියෙන්නේ එයාලගේ හිතේ. මටත් ඉන්නවා ඔන්න ඔය දෙවෙනි කාණ්ඩයට අයිති වෙන අයියා කෙනෙක්. ඒ වගේමයි ගෙදරක විශාල වගකීම් ප්‍රමාණයක් අයියගේ කරමතට පැටවෙන්නේ නිතැතින්මයි. ආදර්ශවත් අයියා කෙනෙක්... නිවෙසට හොඳ පුතෙක් විදියට එයාලා නිහඬවම තමන්ට දැනෙන වේදනාවන් විඳ දරා ගන්නවා. මම මේ කියන්න යන්නේ ඒ වගේ අයියා කෙනෙක් ගැන.

ඔහු... තමන්ගේ නංගිට බොහෝ ආදරය කරන අයියා කෙනෙක්. ඔහු... නංගිත් එක්ක දුකට සැපට හැම මොහොතකම ඉන්න අයියා කෙනෙක්. ඔහු... තම නංගිට කෙනෙක් කිසිම වචනයක් කියනවට අකමැති අයියා කෙනෙක්. ඒත් අවාසනාවට ඔහු නොදැනුවත්වම නංගි ඇයගේ කුඩා වයසට නොගැලපෙන දෙයක් කරනවා.

නෙතු කඳුලු වලින් බොරු නොකර ඉඳින්
මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
කිරි සුවඳ මුවින්

ඇය.... තුරුණු වියට එළඹෙමින් සිටින යුවතියක්. ප්‍රේමයක පැටලී ඇති හැඩයි. මේ පලහිලව්ව නිවසේ දෙමව්පියන් දැන ගත් පසු ඇය කුමක්ද කරන්නේ දෙමව්පියන් ඉදිරියේ ඇඬූ කඳුලින් පසුවෙනවා. නමුත් මේ අයියට කේන්තියි. ඒ නිසාමයි ඔහු පවසන්නේ "නෙතු කඳුලු වලින් බොරු නොකර ඉඳින්" ලෙසට. මොකද ඔහු දන්නවා ඇය මේ හෙලන්නේ කිඹුල් කඳුලු බව. ඔහු අහනවා ඇයගෙන් නුඹ ලමාවිය පසු කලා පමණයි. මේ නුඹට පෙම් කරන්න වයසක්ද. ඇයි නුඹ මෙවැන්නක් කලේ.

අරුතේ ඉන්න අයියලා නංගිලා බොහෝ අය මේ සිද්ධියට මුහුණ දී ඇති කියලා මම හිතනවා. පාසල් ප්‍රේමය කොපමණ යෝග්‍ය නොවන්නක් වුවත් අපි බොහෝවිට ඒ කාලයේදි එය නොගැලපෙන්නක් බව විශ්වාස කරන්නේ නෑ. ඉතින්... මේ අයියා තව දුරටත් තමන්ගේ නංගිගෙන් මෙහෙම අහනවා ;

සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින්
කොයිබින්ද සිතේ අනුරාග හැඟුම්
කෙලෙසින්ද නගේ පෙම්පත් ලියුවේ
මුදු සිනිඳු අතින්

පෙර කීවාක් මෙන් ඇය ලමා විය පසු කලා පමණයි. මෙතනදිත් ඔහු අහනවා, නුඹ සෙල්ලම් ගේ අතෑරියා පමණයි තවම. මෙච්චර ඉක්මනට ආදරණීය හැඟුම් සිතට ආවේ කොහොමද. නුඹෙ දෑත් තවමත් කිරිකැටි දෑත් හරිම සිනිඳුයි. නුඹ කොහොමද ප්‍රේමණීය ලියුම් ලියන්නේ. ඔහුට ඇය තවමත් කුඩා දැරියක්. ඔහුට විශ්වාස කරන්නට අපහසුයි ඇය ආදරවන්තියක් බව. මන්ද ඇය තවමත් පාසල් යන කුඩා දැරියක් බැවින්.

පාසල් සෙවණින් සමුගන්න කලින්
සිත මන්ද නගේ අඳුරේ මෙතරම්
අවලාද හඬින් ගම්මානෙ පිරේ
දැන් හොඳද ඉතින්

ඇගේ මේ ක්‍රියාකලාපය නිසාම ගමේ මිනිසුන් ඇයට සහ ඇගේ පවුලට නිග්‍රහ කරනවා. මෙතනදි ඔහු කියනවා, පාසලෙන් පිට වෙන්නත් කලින් ඇයි නුඹ නුඹේ අනාගතය අඳුරු කරගන්නට හදන්නේ... ඇයි නුඹ කැළලක් ඇති කරගන්නට හදන්නේ. ඒක හොඳ දෙයක්ද... නුඹට ඕනා නුඹේ මුලු ජීවිතයම අඳුරට හෙලන්නද... මේ අයියා දන්නවා තමන්ගේ නංගිට මුළු ගමම කතා හදන බව. ඔවුන් කොපමණ මේ කාරණය ඉවසාගෙන හිටියත් අයියට තරහයි ඇය ඔහු කියන දේ නොඅසන නිසාම. මේ නිසාමයි ඔහු අහන්නේ "අවලාද හඬින් ගම්මානෙ පිරේ
දැන් හොඳද ඉතින්" යනුවෙන්. ඔවුන්ට මේ අවමාන විඳදරා ගන්නට අමාරුයි. ඒත් ඇය ඔවුන්ගේ කීම් නොඇසුනා සේ සිටිනවා.

මේ ගීතය තුළ කියන්නට, පැහැදිලි කරන්නට මහා සංකීර්ණ කාරණා නොමැති වුවත්... සහෝදරයකුගේ සිතෙහි ඇතිවෙන වේදනාව, කණස්සල්ල මනාව පිළිඹිබු කරන ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ ගීතය තුළින් අරුතේ ඉන්න අයියලා නංගිලා බොහොමයක්ගේ මතකය අවදි වනු නොඅනුමානයි.

තම නංගිලාට ආදරය කරන අයියලාට මේ ගීතය උපහාරයක්ම වේවා... !!!

නෙතු කඳුලු වලින් බොරු නොකර ඉඳින්
මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
කිරි සුවඳ මුවින්

සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින්
කොයිබින්ද සිතේ අනුරාග හැඟුම්
කෙලෙසින්ද නගේ පෙම්පත් ලියුවේ
මුදු සිනිඳු අතින්

පාසල් සෙවණින් සමුගන්න කලින්
සිත මන්ද නගේ අඳුරේ මෙතරම්
අවලාද හඬින් ගම්මානෙ පිරේ
දැන් හොඳද ඉතින්

~අකූ ~


Sunday, 2 April 2017

කිරිපල්ල

"නෑ ගමන යන්නේ මේ ගොනා"


නිදහසින් පසු ලාංකික දේශපාලන ,ආර්ථික හා සමාජීය ගමන් මග පිළිබඳව යතාර්ථවාදී කියැවීමක් ලෙසින් යටි අරුත් දෙන අපූර්වතම ගීතයකි,සුජීව හෙට්ටිතන්ත්‍රීගේ විසින් රචිත අමිත් ලියනගේයනගේ් සංගීතයට රෝහණ බැද්දගේයන් සහ සමන් ලෙනින් ගායනා කරන කිරිපල්ල ගීතය.

බට දැල්ල කාලා
ඉරවල්ලෙ හිටියා
උඩු තල්ලේ දත් නැති මී ගොනා

සුජීවගෙ මින් අදහස් කරන්නට ඇත්තේ කුමක්ද ?කුඹුරක ඉරවල්ල යනුවෙන් හැදින්වෙන කොටස යනු කුඹුරේ වගාව අස්වැන්න, නඩත්තුව පිළිබඳව තීරණය කෙරෙන ප්‍රදේශයයි.කුඹුර නැමති රටේ පාලන තන්ත්‍රය නැමති ඉරවල්ල තුල සිටිනුයේ,එතුල සිටිය යුතු අයමද යන්න සුජීව ප්‍රශ්න කරයි.එතුල සිටින නොගැලපෙන සත්වයා නොහොත් පාලකයා අනුභව කරන්නේ "බට දැල්ල"ය.ඒ ඌ වටා යම් පිරිසක් අවදානයෙන් සිටින නිසා විය යුතුය .එසේ නොවන්නට පැල ගොයම කන්නට බෙහෙවින් ඉඩ තිඹිණ.මී ගවයාගේ උඩුතල්ලේ දත් පිහිටන්නේ නැත.පාලකයා තුල ස්වං තීරණ ගැනීමේ නොහැකියාව කියා පාන්නට මෙයිට වඩා හොඳ යෙදුමක් තිබේද ?යුරෝපා සංගමය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ආදී සංවිධාන හරකාගේ උඩුතල්ලේ දත් වලින් කරන කාර්යය කරනවාදෝ වෙලාවකට සිතේ.එක් අතකට එලෙස දත් නොමැති කම යහපතක් ලෙසටද පෙනී යයි.ඒ මන්ද යත් ඔය කියන ඒකාධිපති බලතල නොහොත් දත් කුළු මී ගොනෙකුට ලැබුනොත් මොනවයින් මොනවා වෙයිද යන්න හිතා ගත නොහැහි නිසාවෙනි .

සීයේ
පිට බෙල්ල කහනා
කණ කොක්කු නඩයට
කිනිතුල්ලෝ මී පැණි වුනා

මින් සුජීව කුමක් කියා පාන්නට උත්සාහ කරන්නට ඇත්ද යන්න සැලකීමේදී මෙසේ කිව හැක.පාලන ත්‍රන්ත්‍රය වටා ගොඩ නැගී ඇති රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන හෙන්චයියන්ගේ ක්‍රියාකලාපයේ එදාමෙදා තුර පිළිඹිබුව විය නොහැහියැයි කිව හැකිද?

කාලෙන් කාලයට ගොනා මාරු වීමේ ක්‍රියාවලීන් තිබේ..ඒවා ජනාධිපතිවරණ,මැතිවරණ නමින් හඳින්වේ😂.ගොනා මාරුවෙන අවස්ථාවේ දී කොකුන් තාවකාලිකව ගහකට මාරු වේ..අලුත් ගොනා ආ පසුව නැවතත් ඒ ගොනාගේ පිටේ වසති..කොකාට ගොනා අදාලම නැත.මොන ගොනා ආවත් උගේ පිටේ වසති.කණ කොකා යනු විනාශයේ සංකේතයක් ලෙස ජන වහරේ සැලකේ..රටේ විනාශට රාජ්‍ය නිලධාරීන් නොහොත් කණ කොක්කු රෑණ කෙලින්ම සම්බන්ධ වගට ඔහු නොකියා කියයි.මී ගොනා ඉරවල්ලෙ ඉඳන් රටේ සාරය උලා කයි.දේශපාලන හෙන්චයියන් නොහොත් කිණිතුල්ලන් ගොනාගේ සාරය උර බොයි.අහෝ කරුමෙක මහත!ඒ කිණිතුල්ලන්ව ඉවත් කර ගැනීමට මී ගොනා නොහොත් පාලකයාට ශක්තියක් නැත.ඒ ඒ කිණිතුල්ලන් ඒ ඒ රසයට කැමතිය.සමහරු පස් උරා බොති.සමහරු වැලි උරා බොති.තව සමහරු වනාන්තර ගිලිති.මැණික් පතල් කපති.මහා කළුගල් ගොඩි පිටින් ගිලිති.වෙල් ගොඩ කරති,ගංගා හාරති.නිදන් ගොඩ දාති.😢රජයේ කාර්යාල තුල ගැවසෙති.නිලධාරීන්ට ජරාව දෙති.එදා මෙදා තුර ඔය කාරණා අවිචින්නව පැවතෙති..ඉතින් කොහොමද රටක් විදිහට ඉදිරියට යන්නෙ?😂

දරුමල්ලෝ රකිනා
කිරිවැදුනු ගොයමට
මයෙ අම්මපල්ලා විණ කලා

දරුමල්ලන් රකිනු පිණිස ගොවිතැන් කරද්දී එම ගොයමට වස විෂ ගසා විනාශ කලා යැයි වාච්චාර්ථ ගැන්වුවද මින් අදහස් වන විශාල යටි අරුතක් තිබේ යැයි කිව හැකිය.එකල ලාංකීය සමාජය තුල වැඩිහිටි නිවාස/ළමා නිවාස තිබුනේ නැත.ඒ දරුවන්ට සලකන වැඩිහිටියන්ට ගරු කරන හර පද්දතීන්ගෙන් සමන්විත සදාචාර සම්පන්න සංස්කෘතියක් තිබුණ නිසාය.

එහෙත් නිදහසින් පසු සිදුවූයේ කුමක් ද?කිරි වැදුනු ගොයම නැමති එම හර පද්ධතිය විනාශ මුඛයට ඇද වැටිණ .වැඩිහිටි නිවාස,ළමා නිවාස බටහිරින් මෙරටට සංක්‍රමණය විය.හැමදාම සලකපු වැඩියෙන් වෙනුවෙන් එක් දිනයක් වෙන් විය.මව්වරුන්ගේ දිනය,පියවරුන්ගේ දිනය,ගුරු දිනය,පෙම්වතුන්ගේ දිනය ආදී වශයෙන් එක් එක් දින වෙන් විය.හර පද්ධතීන් නැමැති කිරි වැදි ගොයම නැවත පණ දිය නොහැකි තරමටම විනාශ විය.වෙමින් පවතී.

ලොකු අම්මා කිව්වා
මයෙ රත්ති කෙල්ලට
කිරිපල්ල පෙන්නල මේ යකා

උක්ත කොටසින් සුජීව කියන්නට උත්සාහ කර ඇත්තේ කුමක් ද යන්න විමසා බලමු.කිරිපල්ල යන යෙදුම සිංහල සාහිත්‍යයේ කීප තැනක යෙදී ඇත.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල්දූව කෘතියේ "කිරිජ්ජපල්ල" යනුවෙන් යොදා ඇත.ප්‍රවීණ කිවිවර රත්නශ්‍රී විජේසිංහයන් ගේ "සුබ උදෑසන " කාව්‍ය සංග්‍රහයේ 'එකමත් එක රටක' නැමැති කවියේ දී යොදාගෙන තිබේ.

(පුංචි එවුන් කිරිපල්ලත් අත ගෑවා..) එහි හා මෙම කිරිපල්ලේ යම් සමානතාවයක් දැකිය හැකිය.

කාන්තාවන්ට ගෞරව කිරීමේ සිරිතට කණ කොකා හඬවමින් ඔවුන්ව ලිංගිකව සූරා කෑමේ ක්‍රමය ද නිදහසින් පසු මෙරටට පැමිණි වග පවසන්නට එම යෙදුම ප්‍රමාණවත් නොවන්නේ ද?

දරුවෙක් පාසලකට දා ගන්නට විදුහල්පතිගෙ කිරිපල්ල අත ගෑ යුතුය ..නැතිනම් දරුවාගේ මෑණියන්ගේ කිරිපල්ල අතගාන්නට විදුහල්පතිට ඉඩ දිය යුතුය .අනෙකුත් ක්ෂේත්‍රයන් හි ද මෙම ලිංගික හිංසනය/අල්ලස අඩු වැඩි වශයෙන් සිදු වේ..

වරමන්ද ගහලා
රන් ගෙජ්ජි දාලා
බරබාගේ බැන්දේ සීයලා

ඉරවල්ලෙ සිටි බට දැල්ල කෑ මී ගොනාවම මෙතනදි සුජිව බරබාගේ බඳීයි.බරබාග වල මී ගවයින් බඳින සම්ප්‍රදායක් නැත.ඔහු මෙතනදි සිතා මතාම මෙය කලා විය හැකිය.මන්ද අපි එදා සිටන්මැ කරත්තයට බැන්ඳේ හරි ගොනාව නොවේ.එපමක් නොව රූපවාහිනී වලට ඇවිල්ලා,මාධ්‍ය සාකච්ඡා තියලා රත්තරං ගෙජ්ජිත් ගෙල පළදවනවා.ඒ අපේ සීයලා කල වරද දැන් දැන් මුණුපුරන් ට අවබෝධ වෙන බව දැකිය හැකිය ..

කෙවිටෙන් තලාලා
දැන් එලවපල්ලා
නෑ ගමන යන්නේ මේ ගොනා

එසේ බරබාගේ බැඳගත් මී ගොනා මේ ගමන යන්නේ ද?නැත.දැන් කෙවිටි බාවිතා කර එලවන්නට දත කති.මොනවද හැබෑටම මේ කෙවිටි?

සැබවින්ම මේ කෙවිටි තිබෙන්නේ

ලිප්ටන් වටරවුමෙ,කොටුව දුම්රියපොළ ඉදිරිපිට .මහා මාර්ග වල,වෘත්තිය සමීති වල,ජනමාධ්‍ය ආයතන,තව ෆේස්බුක් එකේ..ආදී තැන් වලය.එහෙත් ගොනාට ඒ ගැන ගානක්වත් නැති තරමය.

"නෑ ගමන යන්නේ මේ ගොනා"

මෙම කොටසේ ද්විත්ව අර්තයක් තිබේය යන්න මොහොක සිතේ..

ඒ "ගමන නොයෑම"සහ "ඤාති ගමන යෑම" ලෙස අර්ථ ගැන්විය හැකිය.එදා මෙදා තුර ගැල බැඳි ගොනුන්ගේ ඤාති පරපුර ගැන බැලීමේ දී,ඒ සිතුවිල්ලේ ද වරදක් ඇති වග නොසිතේ..

ගීතයේ සංගීතය ගැන විමසීමේදී ආරම්භයේ පටන් අවසානය දක්වාම අමිත් ලියනගේ යන් සිය අනසක පතුරවා ඇති ආකාරයක් පෙනී යයි.ජනශ්‍රැති ආශ්‍රිත සංගීත නාද රටා එකතුකර ගනිමින් පර්යේෂණාත්මක නිර්මාණයක නිරත වූ ඔහු ගැන මා උඩින් පල්ලෙන්කතා කිරීම ඔහුට කරන අසාධාරණයකි .

රෝහණ බැද්දගේයන්ගෙ සහ සමන් ලෙනින්ගේ ගායනය ගැනද කිසිවක් නොකියමි.ඒ මොකුත් නිසා නොව මට ඒ ගැන ඇගයීමට තරම් දැණුමක් නොමැති කම නිසාය ..

කිරිපල්ල ගීතයේ මාගේ කියැවීම අනාගතයේ දවසක කියවීම සඳහා මෙසේ අකුරු කරන වගයි..

(බුද්ධික ප්‍රදීප් )

2017/03/30..


සුද්දා තොලොංචි වූ දා සිට අපේ කතාව
කිරිපල්ල
ගායනය -රෝහණ බැද්දගේ ශුරීන් සමග සමන් ලෙනින්
පද -සුජීව හෙට්ටිතන්ත්‍රි
සංගීතය- අමිත් ලියනගේ
රූප සංස්කරණය- බණ්ඩාර බෙලිකටිමුල්ල