සුවහසක් රසික සිත් අමන්දානන්දයට පත් කළ "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය අපට තිළිණ වන්නේ
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්‍රපටයෙන්.
.
මෙම ගීතය වඩාත් සුවිශේෂී වන්නේ සිංහල ගීත වංශ කතාවේ එකම සිව් කුලුඳුල් ගීය ලෙස මෙය අභිෂේක වී තිබෙන බැවිනි.
.
01. සිය මුල්ම අධ්‍යක්ෂණයය ලෙස ‘මාතර ආච්චි’ චිත්‍රපටය බිහි කරමින් දොරට වැඩි අධ්‍යක්ෂකවරයා සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.
02. සුනිල් එදිරිසිංහ නම් අසහාය කළාකරුවාණන්ගේ තිඹිරිගෙය වන්නේ ද මෙම ගීතයයි.
03. එ වගේම චිත්‍රපටයේ තේමාව වචනයට ගොනු කරමින් ඒ වදන් අතරින් පිළිපන් ගේය පද රචකයා, ප්‍රවීන රංගන හා හඩ කැවීම් ශිල්පී වොලි නානායක්කාරයි. මෙය ඔහුගේ ප්‍රථම ගේය පද රචනයද වූවා.
04. තවද වික්ටර් රත්නායක සංගීතවේදියාණන් මෙම මියුරු ගීය සඳහා තනුවත් සංගීතයත් නිර්මාණය කරමින් තම සවර නිර්මාණ දිවියේ මුල් ම වරට චිත්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා.
.
සඳකඩ පහණක
.
සඳකඩ පහණ කියන්නේ සිංහල ගල් කැටයම් කලාවේ අපූර්වත්වය සහ සියුම් බව උපරිමයෙන්ම කියාපාන විශ්මිත නිර්මාණ වලින් එකක්. එය තැනීමට ගල්වඩුවා ගත් වෙහෙස අපමණයි. ඒ වගේම එහි ගැබ් කරලා තියෙන්නෙ සංසාරය පිළිබඳ ගැඹුරු අර්ථයක්. නමුත් මේ වටිනා කළා කෘතිය/සංඛේතය, හැමෝගෙම පයට පෑගෙන්නක්. වෙනෙකක් තියා මේක අපට හමුවන්නේත් පඩිපෙළක පාමුළ දීයි. ඒ කියන්නෙ පහළින් මයි. සියුම් ව්‍යන්ගාර්ථයක් එයින්ම කියවෙනවා නේද?
අතිමහත් වැරවෑයමෙන් ජීවිතය ගොඩනාගා ගන්නා “පෙම්වතා“ ඉතා වටිනා පුද්ගලයෙක් විය යුතුයි. නමුත් සමාජයේ ඔහුට නිසි තැන ලැබී නැහැ.
.
සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
.
ඉතිං මේ සඳකඩපහණ ඔප කරමින් පාවෙන දේදුණු ලැගුම් ගන්නා බවක් පැවසෙනවා. ඒ කියන්නෙ මට හැඟෙන ආකාරයට, පෙම්වතාගෙ ජීවිතය ඔපවත් කරන යම් සිදුවීමක් උදාවෙනවා. ඒක දේදුන්නක් මෙන් විචිත්‍රවත්... ඔහුගේ ජීවිතය බලාපොරොත්තුවේ සිහින වලින් පුරවාලීමට එය සමත්.
සඳකඩපහණ තියෙන්නෙ පොළවේ. ඒක කළින් කිව්වා වගේ පයට පෑගෙනවා. නමුත් දේදුන්න තියෙන්නෙ අහසෙ. දේදුන්න පාගන්න බැහැ. ඒ කියන්නෙ උසස් බලාපොරොත්තුවක් පෙම්වතාගෙ ජීවිතයට එකතු වෙනවා කියන එක වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් අපට එය පෙම්වතා සහ පෙම්වතියගේ සමාජ තත්ත‍්වය සහ ජීවන දර්ශනය පිළිබඳ ඉඟියක් ලබා දෙනවා විය හැකියි.
පෙම්වතාට සමාජයේ තැනත් නැහැ. නමුත් ඔහු ඉතා සාරගර්භ පුද්ගලයෙක්. පෙම්වතිය අහසෙ පාවෙන දේදුන්නක් වගේ විචිත්‍රවත් කාටවත් ලෙහෙසියකට ළංවෙන්න බැරි තරම් උඩින් ඉන්නේ.
නමුත් මේ දේදුන්න පාවෙලා ඇවිත් සඳකඩපහණේ ලැගුම් ගන්නේ එහි තිබෙන කැටයම් ඔපවත් කරමින්. ඒ කියන්නෙ ඇගේ සෙනෙහස පෙම්වතාට ධෛර්යයක්, ජීවිතයට ආලෝකයක්, බලාපොරොත්තුවක් ලබාදෙනවා.
.
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවේ
.
තරුණ හදවත් දෙකක නැගෙන ප්‍රේමය කියන්නේ ආදරය,මෛත්‍රිය, කරුණාව, රාගය ආදී වූ හැඟුමන් වල සම්මිශ්‍රණයක්. මේ හැගීම් වලින් ප්‍රේම තටාකයේ කැලතී එන රසය තුළින් පැන නගින්නේ බුබුලකි. දිය බුබුලකට ආයුෂ අඩු බව කාටත් නොරහසකි. නමුත් එය ආදරය නැමැති අකුරු වැල හදවත් දෙකේම සටහන් කරන්නට සමත්.
අප මෙහිදී පෙම්වතා ගලින් සැදි සඳකඩපහණ බවත්, පෙම්වතිය අහසේ පාවී යන දේදුන්න බවත් මතක තබාගත යුතුයි. මෙයින් ස්ථිර බව සහ අස්ථිර බව ගම්‍ය කර තිබෙනවා.
.
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී
.
චිත්‍රපටය මා නරඹා නොමැති වුවත් අසා ඇති ආකාරයට ඔහුට උසස් අධ්‍යාපණය සඳහා විදෙස් ගත වීමට වරම් ලැබෙනවා. මේ අතර තනිවන පෙම්වතිගේ අසරණ කම ප්‍රයෝජනයට ගන්නා ඇගේ මව් පියන් ඇයව බලහත්කාරයෙන් ඔවුන්ට අවශ්‍යය පුද්ගලයාට සරණ පාවා දෙනවා.
.
යුගයෙන් යුගයට නොමියෙන “ප්‍රේමය“ නැමැති දහම අභිමුවේදී පෙම්වතා තම විදෙස් අධ්‍යාපනය නිමවා කෙසේ හෝ දිවියට අඩිතාලමක් දමා ගනිමින් මෙරටට පැමිණෙනවා. නමුත් ඔහු පැමිණෙන විටත් වෙනෙකෙක් සියුමැලි ඇය මැලැවී යද්දීම (බලහත්කාරයෙන් විය හැකියි), ඇයව රැගෙන ගොසින් නොපෙනෙන ඈතකට... මෙතනදී මේ “සියුමැලි කැකුළ“ කියන්නේ ඔහුගේ හදේ පිපුණු සෙනෙහසේ කුසුම වෙන්නත් පුළුවන්.
මෙය මොන තරම් ඛේදවාචකයක් ද!
.
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
.
කුඩා මී මැස්සා මලින් මලට රහස් කොඳුරමින් මල් දහස් ගණනක් වෙත පියඹා ගොස්, දුක් මහන්සි වී බිඳෙන් බිඳ එකතු කරගන්නා පැණි, තුඩින් තුඩ රැගෙනවිත්, වැඩි පරෙස්සම උදෙසා ගව්වක් ඉහළට පියඹා ගොස් සිය මීවදය බඳින්නේ අනන්ත අප්‍රමාණ වෙහෙසක් දරමිනි... ඒ අනාගතය උදෙසා දරණ වීර්යයි !
ඔහු ද මේ තත්ත්වයට ජීවිතය ගොඩනගා ගන්නනේ අපමණ වෙහෙස මහන්සි වී ය. කාටවත් ළංවිය නොහැකි ලෙස “ගව්වක් ඉහළින්“ බිඳෙන් බිඳ එකතු කරන් ආ ඉසුරින් ඔහු තම මී වදය තනන්නේ ඇයව එහි කැඳවාගෙන ගොස්, ඇයගේ පොපියන දෙතොල ඒ මී පැණියෙන් සන්තර්ණය කිරීමටය. එනම් ඔහුගේ දුක් මහන්සියේ ප්‍රතිඵලක් ලෙස ගොඩනංවන ලද ඔහුගේ රාජ්‍යෙය් රැජින ලෙස ඇයව අභිෂේක කරන්නට ය.
නමුත් සිදුවූ අභාග්‍යයක තරම !
.
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවකෙක් ඈ වෙත හද රැන්දු
.
අහස ගුගරවා ජීවිතය පුරාවටම කළුවර වපුරනවා. මහන්සියෙන් බැඳපු මීවදයේ පැණි ඒ වැස්සට හේදිලා තත්ත්වයෙන් බාල වෙලා යනවා වගේම ඔහු දුක් කඳුළු මැදින් ගොඩනගපු රජදහනේ අගය නැතිවෙලා යනවා. වැහි බිංදු මෙන් කඩන් වැටෙන කඳුළු බිඳු අතරේ ඒ සිහිනය බොඳවෙලා යනවා... මෙයින් අදහස් වන්නේ අහස ගුගුරවාගෙන අකාලේ පැමිණි වැස්සක් මෙන් කුමණ හෝ හේතුවකින් මේ දෙදෙනාගේ පෙම් ලොව දෙදරැම්කෑ බවයි. මේ බිඳවැටුණු රජදහනේ නටඹුන් අතරින්වත් ඇයව රැගෙනයාමට අදහස් කරද්දී, එනම් පෙම්වතාගේ බලාපොරොත්තුවේ අවසන් ළා දල්ල ජීවත් වීමට වෙර දරද්දී... වෙනත් කෙනෙක් ඈ වෙත ළං වෙනවා...
.
හදවිල ඉපදුණු කැකුළක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
.
හදවත නැමැති විලේ පිපුණු සෙනෙහස නැමැති පොහොට්ටුව, නොකලට එනම් එය පෙති දිගහැර පිපෙන්නටත් පෙර ම අකාලයේ නටුනේ කඩාදමා ඈතකට යවා ඇත.
ඒ දුකින් රහසේම ඔහුගේ නෙතගින් පිටවන කඳුළක් මිහිකත ද කම්පා කරවමින් (තෙත් කොට), ආදරය වෙනුවෙන් කඳුළුසැලූ තවත් ඔහු බඳු ම සුවහසක් පෙම්වතුන්ගේ කඳුළින් ලුණු රස ගැන්වූනු සප්ත මහා සාගරයට එක් වන්නේ කාටවත්ම සොයාගත නොහැකි වන පරිද්දෙනි.
තම ප්‍රියාවියගේ වියෝගය නිසා ඔහු කාටත් රහසේ, කාටවත්ම නොපෙනෙන සේ වැළපෙන අයුරු වොලි නානායක්කාර නම් වූ ඒ පුතිභාපූර්ණ ගේය පද රචකයා සහෘද හදවත් ප්‍රකම්පනය කරවන අයුරින් ඉතා සංයමයෙන් සටහන් කර ඇති අයුරු විශ්මය ජනක ය.
.
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...
සිටී බලා....
.
සොඳුරිය,
ඔබ කවදා හෝ ඔය සියළු යස ඉසුරින් ආඪ්‍ය වූ රුවන් විමානය අතහැර දමා නැවත මා වෙත පියඹා ඒ යැයි ඔබට පමණක් අයිති, ඔබටම කැපවුණු, මේ රිදුණු - තැළුණු හදවත “තනිකම“ නැමැති මේ එක්ටැම් මැදුරේ සිරවී එහි කවුළුව අභියස නොඉවසිල්ලෙන් බලාගෙන සිටී...
පැමිනෙණු මැනවි...
*.*.*.*.*.*.*.*.
සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දී
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දු
ගව්වක් ඉහළක ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහු වුණු වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ
හද විල ඉපැදුණු කැකුළක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...
සිටී බලා....
ගී පද - වොලී නානායක්කාර
ගී තනු - ආචාර්ය වික්ටර් රත්නායක
ගායනය - සුනිල් එදිරිසිංහ
චිත්‍රපටය - "මාතර ආච්චි "
.*.*.*.*.*.*.*
//සුනිල් එදිරිසිංහයන් පවසන අයුරින්....
‘‘ලේසි වුණේ නෑ වැඬේ....’ සුනිල් සිය මියුරු හඬ අවදි කළා. ‘‘ ඇයි සිසිර, කෙළින්ම රෙකෝඩින් එක කරනවානේ. දැන් වාගේ නෙවෙයි. සියලූම වාද්‍ය භාණ්ඩත් ඒ එක්කම රෙකෝඩින් එකට ගන්නවා. එක් කෙනෙක් වැරැද්දුවොත් ආයෙත් ඔක්කොම මුල ඉඳලා ගන්න වෙනවා. මගෙ මතකයේ හැටියට දාසය වතාවක් විතර ආය ආය කරන්න වුණා. එක වයලීනයක බෝ පාරක් එහා මෙහා වුණත් වික්ටර් අයියා සතුටු නෑනේ ’’
වික්ටර් රත්නායකයන් ව ‘‘වික්ටර් අයියා’’ නමිනුයි සුනිල් හඳුන්වන්නේ.
‘‘පටිගත කරපු අයටත් සෑහෙන්න වැඩ තියෙන්න ඇති?’’
‘‘අනේ ඔව් කැළණියේ සරසවි ශබ්දාගාරයේ දී මර්වින් රුද්‍රිගූ තමයි පටිගත කළේ. මේ වාගෙ වැඩවලදී පුදුම කැපවීමක් තියෙන්න ඕන. ඒ අතින් මර්වින් විතරක් නෙවෙයි, එතන වාදනයට හවුල් වුණ විශාරද විජේරත්න රණතුංග, රොක්සාමි, එඞ්ගා පෙරේරා, මර්වින් පෙරේරා, එන්.ඩබ්. පීරිස්, වයි.එම්. සුමනසිරි වගේ අයත් හරි උනන්දුවෙන් කළ වැඩක් මේක. මේ වගේ ප්‍රවීන පිරිසක් එක්ක ආධුනික මගෙන් උපරිම දේ ලබා ගන්න සෑහෙන්න වෙහෙසෙන්න වුණා.’’
‘‘අනික ඒ වෙලාවේ එතන එකතු වෙලා හිටිය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, බන්දුල විජේවීර, පුණසිරි මහවත්ත, සේන වීරසේකර වගේ අයගෙන් මට පුදුම හයියක් ලැබුණේ."//
~~විශාඛා කලුබෝවිල~~