තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ළදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා
පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා
ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ බොල් හුළඟේ
මට තනියක් දැනුණා
වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුවඳේ ඔබ එතැයි සිතුණා
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තණුව : ස්ටැන්ලි පීරිස්
අරුන්දතී තරුව...
මෙය හුදෙක් එක් තරුවක් පමණක් ම නොවේ...
එය පුරාතන හිංදු සංස්කෘතික අාභාෂය අනුව, නොසැලෙන එ නම් තිර පති වෘතාවේ සංකේතයයි.
තව දුරටත් පවසන්නේ නම්, දෙහදක් අතර අැතිවන සොඳුරු, සදාකාලික බැඳීමේ සංකේතයයි.
අප දිවයින තුළ පවා අතැම් සංස්කෘතියක, මංගල උත්සවයක දී අරැන්දතිය බැලීම අනිවාර්යය අංගයකි.
පරමාදර්ශී බිරිඳක හා සැමියකු ලෙස නොසැලී, පති දමින් බැඳී සිටීම සංකේතවත් කරමින්,
මංගල මොහොතේ දී මිරිස්ගල මත තැබෙන මනාලියක පා'ඟිල්ලට මංගල මුදුව පළඳවන අභිනව සැමියා, ඉන්පසු, තම සරණට පත් බිරිඳගේ නෙත් යොමු කරන්නේ අරැන්දතී තරුව වෙතයි.
සොඳුරිය, අර අෑත අහසේ අරුන්දතිය ඔබට දිස්වේ දැයි ඔහු තම බිරිඳ විමසන අතර, එදෙස බලන අැය, එය දුටු බැව් පවසයි.
මංගල දිනයේ පළමු අංගය ලෙස ඔවුනොවුන් එසේ, අරුන්දතී (සිකුරු) තරුව සාක්ෂි කොට එක්ව විසීමට ගිවිස ගනියි...
නමුත් එසේ සාක්ෂි දැරූ අරැන්දතී තරුව
නෙතු පහන් නිවා, එනම් දෑස පියාගෙන, එනම් කිසිවක් නොදුටු ලෙස දුරට වී, අවධානයට ලක් නොවන අයුරින් නිසොල්මන්ව සිටියි.
***
වනස්පතිය යනු මහා වෘක්ෂයකට තවත් නමකි.
එය ඉතා ශක්තිමත් ය, ප්‍රතාපවත් ය.
මෙම පුරුෂ තෙමේ ද, එබඳු වේ.
නමුත්, ග්‍රීක පුරාවෘතයන් හි දැක්වෙන අපරාජිත යෝධයකු වූ අැකිලීස්ට පවා, මෘදු වූත්, මරණිය වේදනා ගෙනදෙන්නා වූත්, ලක්ෂයයක් තම අමරණීය සිරුරෙහි විය.
එළෙස ම මෙම ප්‍රතාපවත් පුරුෂයා ගේ චිත්ත සන්තානයම කම්පනය කරවීමට සමත් සංවේදී කරුණක් ඔහු තුළ වෙයි.
වනස්පතියක වුව එතී යන සුළලිත වැල් (ශක්තිමත් හිත් තුළ පවා කම්පනය වන සුළු, සියුම් සිතිවිලි) අැත. එබඳු ලතාවෙක, ළා දල්ලකින් පිනි පොද ක් සෙමෙන් සැලෙන්නාක් මෙන්, ඔහු නෙතින් ගිලිහුණු කඳුළු කැටයක් මිහිකත සිප ගනියි.
ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ බොල් හුළඟේ
මට තනියක් දැනුණා
ඔහු නෙතින් එ් කඳුළ ගිළිහුණේ, අැය නිතර රැඳී සිටි කවුළුව අසලකදී ය. වනෝද්‍යානය අළුත් මලින් පිරී ගැවසී අැත. නමුත් සැඳෑ යාමයේ (ජීවිතයේ සැඳෑ සමය සංඛේතවත් කරමින්, තවද අැය අහිමි ව අැත්තේ ඔවුන් ගේ ජීවිතයේ සැඳෑ සමය තුළ බවක් ද මෙයින් ගම්‍ය වෙි. ) හමා එන මේ සුළඟ ද හර සුන් ය. බොල් බවක් දන්වමින් හමන එ් සුළඟ පවා මා වෙත රැගෙන එන්නේ තනි කමකි.
තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා
හිමදිරියේ හිරු නැගීමට පළමු පෙරදිග අහසේ පහන් තරුව වී දිස්වනුයේ අරුන්දතියයි. විවර වු කවුළු පියන් තුළින් ඔහුගේ නෙත් අරුන්දතී තරුව දකියි. කිමෙක්ද! මෙතරම් හිමිදිරියේ ජනෙල් පියන් හැර දමා අැය කොහි ගිහින් ද....?
අතැම් විටෙක,
මතකයේ සේයාවන් විසින්
අතීතය හා වර්තමානය
වෙන් කරන්නා වූ දුහුල් තිර පට පාරදෘශ්‍ය
බවට පත් කරයි.
එවන් විටෙක පෙර - පසු සිදුවීම් එකිනෙක සමග මිශ්‍ර වන්නේ
කාලය හා සිදුවීම් පිළිබඳ ව්‍යාකූල බවක් හදවතට කැඳවාලමිනි.
මේ හැඟීම මට හරියටම තේරුම් ගියේ මගේ මෑණියන් මියගොස් සමසක් පිරෙන අවදියේ ය. අතැම් දිනෙක අැය රැකියාවට ගොස් දැන් දැන් පැමිණෙනු අතැයි ගේට්ටුව දකින මට සිතේ. තවත් දිනෙක අැය කැමතිම ගීය ගුවන් විදුලියෙන් අැසෙන විට "අද අැයට එ් සමඟ ගායනය කිරීමට අමතක වුනාදෝ'යි" ම සිත තුළ විදිලියක මෙන් අැඳී මැකී යයි.
මෑතක දී සිය ළබැඳියන් වියෝවූ කා හටත් මේ අත්දැකීම පොදුය.
බිරිඳ ගේ වියොවෙන් තැවෙමින් සිටින ඔහුට කුටියේ ජනෙල් වැසීමට පෙර දින සවස් යාමයේ අමතක වී යයි (පෙර දිනක නිවසේ දොර කවුළු වසා දැමුණේ අැය විසිනි).
හිමිදිරියේ අවදි වී අැරදමා අැති කවුළුව පියන්පත් තුලින් අහස දකින ඔහුට හැඟී යන්නේ "පාන්දරින්ම කවුළු පියන් හැර දමා අැය කොහි යන්නට අැත්ද" යන හැඟීමයි (අැය මිය ගොස් අැති වග ඔහුට මොහොතකට අමතක වෙයි).
වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුවඳේ ඔබ එතැයි සිතුණා
හංසයා ගීතය ගයන්නේ මිය යාමට අාසන්නයේදී බව පැවසේ.
එමෙන්ම, හංස ගීතය ජීවත්වන අයට නෑසෙන්නක් බවට ද මතයක් අැත. හංස ගීතය පිළිබඳ සත්‍යය කෙසේ වෙතත් මෙහිදී අජන්තා රණසිංහයන් යොදාගෙන අැති ඉතාමත්ම ප්‍රබළ උපමා රූපකය ඉතා උසස් ය.
වැළපෙන්නා වූ, හද නැමැති කැටපත් පුවුරේ හංස ගීතය ලියැවෙන දා... යනු, ඔහු මිය යන මොහොතයි. එම මොහොතේ දී හිමිදිරියේ අඳුර පළවා හරිමින් හිරු ගෙන් පතිතවන පළමු කිරණයක් සේ සෞම්‍ය ලෙස ඔහු ගේ සිත රැඳි, බිය සංකා නැමැති අඳුර දුරුකොට ඔහු රැගෙන යාමට අැය පැමිණෙන්නේ නම් කෙතරම් දෙයක් දැයි ඔහුට සිතේ.
හදවතේ පිපි මල් වැනි වූ බලාපොරොත්තු වල රොන් සුනු විසිරුවා හැර දමන වේගයෙන් පිටවන සුසුම් සිතේ චංචල බව, කළකිරීම විදහාපායි. සිත තැම්පත් නැත. සිත එකඟ කර ගැනීමට නොහැකි ය... මේ හිමිදිරි පාන්දර, කවුළු පියන්පත් හැර දමා අැය කොහේ නම් යන්නට අැත්ද...?
පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා
කොයි ගියේද මට සිතුණා//
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තණුව : ස්ටැන්ලි පීරිස්
අාචාර්යය අජන්තා රණසිංහයන් මෙම නිර්මාණය බිහිකිරීමේදී දක්වා අැති ප්‍රතිභාව මෙතෙක් යැයි වර්ණනා කිරීමට තරම් මම සුදුස්සකු නොවෙමි. මක්නිසාද යත් තුමුළ අැතකුගේ ගුණ, මා වැනි අැමීබාවකු වණන්නට තැත් කිරීම සුදුසු නොවන බැවිනි.
සංගීතය හා ගායනය ගැන වුව කිව හැක්කේ ද එයම පමණකි.
එබැවින්, මා හද දුටු පමණින් ම ගීතයේ අරුත පමණක් ලියා තබා නිහඬ වෙමි.
~විශාඛා කළුබෝවිල~