වර්තමාන සිංහල ගීතය

වර්තමාන සිංහල ගීතය පිළිබඳව නොයෙක් දෙනා නොයෙක් විවේචන එල්ල කරති. දශක හතරකට අධික ඉතිහාසයක් ඇති සිංහල ගීත කතාන්දරය අද වන විට නතර ව ඇත්තේ අමුතුම පරිච්ඡේදයකය. කාලය විසින් හා සමාජයේ ඇති වූ විවිධ වෙනස්කම් සහ යුග විසින් වරින් වර සිංහල ගීතය තුළට වෙනස්කම් රැසක් සිදු කළ බව සැබෑය. එහෙත් වර්තමානය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. බියකරුය.

අතීතයේ ගේය පද රචකයා ගීතයකට මුසු කළේ සාහිත්‍යමය රසය ය. ඒ බලකායෙහි පෙරමුණ ගත්තෝ මානවසිංහයන් සේකරයන් ආදීන්ය. අද පවා ඒ ගීත රචනා වල ඇති රසය අප මවිතයට පත් කරන්නේ ඒ තරමටම ඒ නිර්මාණයන් උසස් අගනාකම් වලින් සමන්විත වූ හෙයින්ය. ගීත රචකයන් සංගීතවේදීන් මෙන්ම ගායකයන්ද තම තමන්ගේ ගීත කෙරෙහි දැක්වූයේ අපරිමිත බැතියකි. ඔවුනට අවැසි වූයේ සින්දුවක් කියා මිනිසුන් අතරට යාමට නොව නිර්මාණයක් බිහි කිරීමය. වර්තමානයේ සිංහල ගීතයේ මේ පරිහානියේ ඇරඹුම වන්නේද මේ අරමුණෙහි ඇති වූ විපර්යාසයම වන්නේය.

අද ගීතයක් ගායනා කර ප්රසිද්ධ වීමේ අවකාශයන් ඕනෑ තරම් තිබේ. ගුවන්විදුලි එෆ් එම් නාලිකාවන් මෙන්ම රූපවාහිනී නාලිකාවන්ද විශාල ප්රමාණයකි. අවශ්‍ය වචන ටිකකට සංගීතය යොදා මුදල් වියදම් කොට රූප රචනාවක් කිරීමය.

අතීතයේ ගීත පදවැල් අතර ශ්රී මහා බෝධියේ සිට සමනොළ මුදුන දක්වාද, මාතෘ පීතෘ දාරක ස්නේහයේ සිට පෙම්වතුන්, පෙම්වතියන්, සැමියා බිරිඳ අතර සෙනෙහස මෙන්ම සහෝදර බැඳීම් දක්වාද තේමාවන් විය. උදෑසනක ඇසෙන එවන් සමහර ගීතයක දවසකට අවැසි ජවය ශක්තිය ගැබ්වී තිබුණි. ඒ සඳහා අමුතුවෙන් මෝල්ට් පානයක් අවශ්‍ය නොවීය.

එහෙත් අද හැදෙන අද ඇසෙන සියයට අනූවක පමණ ගීත වල තේමාව ප්රේමය යැයි කියාගන්නා යමක්ම පමණි. ඔයා, ගියා, තනිවුණා, රත්තරන් වැනි වචන වලින් එකක්වත් නැති ගීතයක් සොයාගැනීමද අපහසුය. අමාරුවෙන් හෝ ගීතයක් අසාගෙන සිටියහොත් එවන් පදවැලක් දෙබසකට හෝ ලිපියකට පමණක් යොදා ගැනීමට සුදුසු ඒවා බව වටහා ගත හැකිය. ඒවායේ තේමාවන් වෙනස් කරනුයේ පද රචනාව හෝ සංගීතය විසින් නොව රූප රචනාව විසින්මය. එබැවින් සංගීතය මුසුකරන්නාට ඒ පිළිබඳව සිතන්නට වැඩි යමක් නැත. ඉලෙක්ට්රොනිකව සංගීතය මුසු කොට එළි දැක්වීම පමණක් ප්රමාණවත්ය. සමහර විට ගීතවල වචන වල තේරුම පිළිබඳව ඔහුටද කිසිදු අවබෝධයක් නැති විය හැක. එය අදාළ නොවේ. ඊළඟ කාර්යය පැවරෙන්නේ ප්රචාරණ කටයුතු කරන්නා වෙතය. අන්තර්ජාලය, හෝ රිංගින්ග් ටෝන් සඳහා විකිණුන ගීතයක සමහර විට ඉබේම ඇසීම නිසාම ජනප්‍රිය එකක් බවට පත්වේ.

සැබෑ ගීතයක රසය නොවිඳි නව යොවුන් විය ගීත ලෙස සිතා සිටින්නේ ඒවාය. හොඳ ගීත අසන්නේ පරණ කට්ටියය. අපි අලුත් පරපුරය. ජනප්රිය කරවූ ගීතයක් නොදැන සිටීම පරණ කමකි. එක්තරා ගීතයක පද වැලක මෙවැනි කොටසක් විය.

මැරුණත් එක වලේ හිඳිමුයි කීවේ
මට ඇයි පෙරදා මුවින් ඔබගේ

ගැටලුව එක වලේ සිටීමට කැමැති වීමද නැත්නම් ඒ බව මුවින් කීමද යන්න තවමත් තේරුම් ගැනීමට අපහසුය.

කලකට ඉහතදී විදේශීය සංකල්පයක් මත රියැලිටි සංදර්ශන මෙරටට හඳුන්වා දීමත් සමඟම ගායකයකු ගායිකාවකු බවට පත්වීම කෙටි පණිවුඩයක පිහිටෙන් පුළුවන් විය. එමගින් සැඟවුණු දක්ෂතා ඇති පිරිසක් බිහිවීම ඇත්තකි. ඔවුන් තරග සඳහා ගායනා කළේද රසික ජනයාගේ සිත්සතන් තුළ සදාකාලිකවම තැන්පත්ව තිබූ ගීතයන්ය. අතිශය ජනප්‍රිය ගීතයක් නැවුම් ලෙස ගායනා කරද්දී විනිශ්චයකරුවන්ද ඒ ගැන දිගු වර්ණනාවන් කළහ. ආධුනිකයෝද පැරණි සුන්දර ගීත තමන්ගේම කරගෙන ගායනා කළහ. ඉතින් රසිකයෝ ඔවුන් තුළ ජෝතිපාලලා මිල්ටන්ලා වික්ටර්ලා ලතා ඇන්ජලීන් සුජාතලා සෙව්වෝය. නොපෙනෙන බලවේගයක් විසින් ඔවුන් ගායක ගායිකාවන් බවට පත් කරන ලදී. තරගය දින්නත් නොදින්නත් ඔවුන් ජනතාව අතරට ගොස් හමාරය. ඊළඟට ඇත්තේ ඔවුන්ගේම ගීතයක් ගැයීමය. එහෙත් ගැටලුවකි. පීනන්නට නම් ඔවුන් ගලායන ජල පහරට පැනිය යුතුය. පිහිනිය යුත්තේද ගඟ ගලා යන දිශාවටමය. ඊළඟ ගැටලුව එක් නාලිකාවක් මගින් පැවැත්වූ රියැලිටියකින් එළි දැක්වුණු තරුවක් කරන ගීතයක් වෙනත් නාලිකාවක ප්‍රචාරය නොවීමය. ඔහු හෝ ඇයට ලේබලයක් ඇත. අහවල් නාලිකාවේ කෙනෙකි. ඉදින් සුබාවිත ගීතයෙන් මිනිසුන් අතරට ගිය ඔවුහු අස්වාභාවික ගීතයක් හෝ ගයා නැවත පාර සකසා ගත යුතුය. එක්කෝ අසභ්‍ය දර්ශනයක් ඇතුළත් රූප රචනාවක් සහිත ගීතයක් කළ යුතුය. නැතහොත් මුදල් ගෙවා ප්රචාරණය කරගත යුතුය. නැතිනම් තමන්ම තමන්ගේ ගීතයට බනින්නට හේතු කාරණා රසිකයා වෙත සැපැයිය යුතුය.

අතීතයේද නොගැළපෙන රැළි බොහෝමයක් ගී සයුරින් නැගෙන්නට ඇත. එහෙත් ඒ රැළි නැවත මුහු වුණේ සාරවත් සාගරයටය. ඔවුන් ඊළඟ වර ඉදිරියට ආවේ පැවති රැල්ලේම කොටසක් ලෙසය. එහෙත් වර්තමානයේ නැගෙන රැළි යළිදු මුහුවන්නේද දූෂිත ජලයටමය. නැවත නැවතත් උපදින්නේද එවන් වූ ම රැළිය.

~අමාලි වසුන්දරා~

1 comment:

තේජන අබේදීර said...

වසුන්දරා මතුකරන්නට යෙදුන කරුණු එකිනෙක ගත්විට ඒ හැම එකක්ම යාවී තිබෙන අයුරක් පෙනෙන්නෙට තිබෙනවා.

සේකර - අමරදේව රත්න ශ්‍රී - කපුගේ සුනිල් - නන්දා ප්‍රේම් - වික්ටර් වැනි සුසංයෝගයන් සමගම බොහෝ ගේයපදරචකයන්ගේ සාර්ථක නිර්මාණ රාශියකින් සංතෘප්ත වී සිටි අපට අද ඇසෙන්නට ලැබෙන බොහොමයක් ගීත ගැන කියන්නට ඇත්තේ හොඳක් නොව නරකක්මය.

මියුසික් වීඩියෝස් මගින් නිරුවත වගේම මාකට් කරන තවත් දෑ නිසාවෙන් ගීතය විනාශ වී තිබේ...
තවද මුදල් පසුපස හඹායන රැල්ලක රිඟින් ටෝන් සඳහා ගීත එලිදැක්වීම තවත් එකකි...

රියැලිටි වැඩසටහන් මගින් සිදුවී ඇතිදේ වසූ මනාවට පහදා ඇත.

ඉතින් අපේ රසවින්දනය මොට කරන්නට ගීත මාෆියාවන්ට ඉඩ නොදෙමු!!!