Tuesday 29 August 2017

ඔබට වරම් නැති මට ද වරම් නැති

කඳුළක් නෑ දෙනුවන පිපුණේ...
ජීවන වසන්තයේ පළමු හිරු කිරණ නුඹම වූ කලෙක නුඹේ සුපහස විඳිනු වස් මහද පුරා සිය දහසක් නැවුම් කුසුමන් විකසිත වනු මට දැණින. එදා පටන් මම ඔබ සෙවීමි..


මග තොට යනෙන දහසකුත් දෑස් තුළ ඔබ දකින්නට වෙර දැරූයෙමි. නොදැනීම කාලය අප කෙරෙන් අප උදුරාගෙන ගොස් ඇති බව දැනුණේ ඔබ ම යළි මා දෑස් අභිමුවට පැමිණි කල්හිය.. කල්ප කලකට පෙර ඔබ මුලින්ම දුටු දින දැණුනු දඟකාර කෝල බව මුසු හැඟීම මා වෙත ඇත්දැයි මම විපරම් කළෙමි.. නුඹ මෙන්ම ඒ සොඳුරු සිතුවිල්ලද මා අතැර ගොස් ඇත..

එනමුදු ජීවිතයේ මා සිතූ සොඳුරුම සිතුවිල්ල ඔබ බව දිවිතුරා මම අදහමි.. ඒ පුංචිම සුසුමක් හදේ සඟවා ගෙන සුපුරුදු සිනහවෙන් බලා සැනසෙමි..
මේ දෛවයේ තුන්මංසලකි. නිහඬව බලා හිඳීම හැර කී හැකි අන් දෙයක් මසිතට මෙන්ම නුඹගේ ද සිතට නොනැඟෙන බව දනිමි.

ප්‍රථම ප්‍රේමය..

ඔබට වරම් නැති මට ද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දිය වී
ප්‍රථම ප්‍රේමයයි බොඳ ව ගියේ...

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිළිටි මල් පිපුණි ද ළඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ...

ආ මග වැරදී ඔහු ද ඔබ ද මා
දෛවයෙ තුන් මංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක්‌ නෑ දෙනුවන පිපුණේ...

පද - රංජිත් රූපසිංහ
ස්වර - නාලක අංජන කුමාර
හඬ - කරුණාරත්න දිවුල්ගනේ

~අමාලි වසුන්දරා අතුකෝරල~


මේ ගුරු පාරේ මේ දොළ අයිනේ

සොබාදහම හා ප්‍රේමය අතර සබඳතාවය කොතරම්ද.. ඔහුගෙන් ඈ වෙන්ව ගිහින් ද.. ඔවුන් එක්වුණා නම්

ඔහු දකින ඒ ගුරු පාර අදත් එසේමය.. ඈ සමග අතිනත වෙලී එහා මෙහා ගිය ඒ ගුරු පාර අද හිස්ව ඇති බව පමණක් ඔහුට දැනෙයි.. පෙම්වත් හිත් අතර ඇතිවන කතාබහට සීමා මායිම් කොතැනද.. ඒ හැම දන්නේ ඔහුත් ඇයත් පමණක්මද.. ඒ බස් අසා සිනාසුණු කවරෙකු හෝ නොසිටියේද..

ඔහුගේ මතකයේ ඇති හැම මාවතක් පාසා මැවි මැවී ඇගේ රුව පෙනෙයි. මේ පෑගෙන දූවිලි අතරේ ඔවුන්ගේත් පියවර සටහන් කවදා හෝ ඇඳෙන්නට ඇත..

ඒ දොළ පාරම පෙණ පිඬු නගමින් අදද ගලා යයි.. එදාත් මේ දොළ පාර මෙලෙසින්ම ගලන්නට ඇත.. ප්‍රේමනීය සුළං රැළි මැද පෙණ පිඬු නගමින් සිනාසෙන්නට ඇත.

ඉර හඳ, ගහ කොළ, ඇල දොල, මං මාවත් සදාතනිකව ඒ සොඳුරු හමුවීම් සඟවාගෙන නිහඬ වනු ඇත..

මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත්වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොළ මත දිදුලන පෙණ පිඬු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතා බහ
එනමුදු එදවස් සඟවනු හැකි වෙයි
ඉරට හඳට ඇළ දොළට කතා බැහැ

ගායනය : ඩබ්.ඩී.අමරදේව
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : සනත් නන්දසිරි
සඟවන්නට දෙයක් ඉතිරි වේවිද..

~අමාලි වසුන්දරා අතුකෝරල~

තරු අරුන්දතී

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ළදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා

පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තණුව : ස්ටැන්ලි පීරිස්

අරුන්දතී තරුව...
මෙය හුදෙක් එක් තරුවක් පමණක් ම නොවේ...
එය පුරාතන හිංදු සංස්කෘතික අාභාෂය අනුව, නොසැලෙන එ නම් තිර පති වෘතාවේ සංකේතයයි.
තව දුරටත් පවසන්නේ නම්, දෙහදක් අතර අැතිවන සොඳුරු, සදාකාලික බැඳීමේ සංකේතයයි.

අප දිවයින තුළ පවා අතැම් සංස්කෘතියක, මංගල උත්සවයක දී අරැන්දතිය බැලීම අනිවාර්යය අංගයකි.

පරමාදර්ශී බිරිඳක හා සැමියකු ලෙස නොසැලී, පති දමින් බැඳී සිටීම සංකේතවත් කරමින්,
මංගල මොහොතේ දී මිරිස්ගල මත තැබෙන මනාලියක පා'ඟිල්ලට මංගල මුදුව පළඳවන අභිනව සැමියා, ඉන්පසු, තම සරණට පත් බිරිඳගේ නෙත් යොමු කරන්නේ අරැන්දතී ‍තරුව වෙතයි.

සොඳුරිය, අර අෑත අහසේ අරුන්දතිය ඔබට දිස්වේ දැයි ඔහු තම බිරිඳ විමසන අතර, එදෙස බලන අැය, එය දුටු බැව් පවසයි.

මංගල දිනයේ පළමු අංගය ලෙස ඔවුනොවුන් එසේ, අරුන්දතී (සිකුරු) තරුව සාක්ෂි කොට එක්ව විසීමට ගිවිස ගනියි...

නමුත් එසේ සාක්ෂි දැරූ අරැන්දතී තරුව
නෙතු පහන් නිවා, එනම් දෑස පියාගෙන, එනම් කිසිවක් නොදුටු ලෙස දුරට වී, අවධානයට ලක් නොවන අයුරින් නිසොල්මන්ව සිටියි.

***

වනස්පතිය යනු මහා වෘක්ෂයකට තවත් නමකි.
එය ඉතා ශක්තිමත් ය, ප්‍රතාපවත් ය.
මෙම පුරුෂ තෙමේ ද, එබඳු වේ.

නමුත්, ග්‍රීක පුරාවෘතයන් හි දැක්වෙන අපරාජිත යෝධයකු වූ අැකිලීස්ට පවා, මෘදු වූත්, මරණිය වේදනා ගෙනදෙන්නා වූත්, ලක්ෂයයක් තම අමරණීය සිරුරෙහි විය.

එළෙස ම මෙම ප්‍රතාපවත් පුරුෂයා ගේ චිත්ත සන්තානයම කම්පනය කරවීමට සමත් සංවේදී කරුණක් ඔහු තුළ වෙයි.

වනස්පතියක වුව එතී යන සුළලිත වැල් (ශක්තිමත් හිත් තුළ පවා කම්පනය වන සුළු, සියුම් සිතිවිලි) අැත. එබඳු ලතාවෙක, ළා දල්ලකින් පිනි පොද ක් සෙමෙන් සැලෙන්නාක් මෙන්, ඔහු නෙතින් ගිලිහුණු කඳුළු කැටයක් මිහිකත සිප ගනියි.

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා

ඔහු නෙතින් එ් කඳුළ ගිළිහුණේ, අැය නිතර රැඳී සිටි කවුළුව අසලකදී ය. වනෝද්‍යානය අළුත් මලින් පිරී ගැවසී අැත. නමුත් සැඳෑ යාමයේ (ජීවිතයේ සැඳෑ සමය සංඛේතවත් කරමින්, තවද අැය අහිමි ව අැත්තේ ඔවුන් ගේ ජීවිතයේ සැඳෑ සමය තුළ බවක් ද මෙයින් ගම්‍ය වෙි. ) හමා එන මේ සුළඟ ද හර සුන් ය. බොල් බවක් දන්වමින් හමන එ් සුළඟ පවා මා වෙත රැගෙන එන්නේ තනි කමකි.

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා

හිමදිරියේ හිරු නැගීමට පළමු පෙරදිග අහසේ පහන් තරුව වී දිස්වනුයේ අරුන්දතියයි. විවර වු කවුළු පියන් තුළින් ඔහුගේ නෙත් අරුන්දතී තරුව දකියි. කිමෙක්ද! මෙතරම් හිමිදිරියේ ජනෙල් පියන් හැර දමා අැය කොහි ගිහින් ද....?

අතැම් විටෙක,
මතකයේ සේයාවන් විසින්
අතීතය හා වර්තමානය
වෙන් කරන්නා වූ දුහුල් තිර පට පාරදෘශ්‍ය
බවට පත් කරයි.
එවන් විටෙක පෙර - පසු සිදුවීම් එකිනෙක සමග මිශ්‍ර වන්නේ
කාලය හා සිදුවීම් පිළිබඳ ව්‍යාකූල බවක් හදවතට කැඳවාලමිනි.

මේ හැඟීම මට හරියටම ‍තේරුම් ගියේ මගේ මෑණියන් මියගොස් සමසක් පිරෙන අවදියේ ය. අතැම් දිනෙක අැය රැකියාවට ගොස් දැන් දැන් පැමිණෙනු අතැයි ගේට්ටුව දකින මට සිතේ. තවත් දිනෙක අැය කැමතිම ගීය ගුවන් විදුලියෙන් අැසෙන විට "අද අැයට එ් සමඟ ගායනය කිරීමට අමතක වුනාදෝ'යි" ම සිත තුළ විදිලියක මෙන් අැඳී මැකී යයි.

මෑතක දී සිය ළබැඳියන් වියෝවූ කා හටත් මේ අත්දැකීම පොදුය.

බිරිඳ ගේ වියොවෙන් තැවෙමින් සිටින ඔහුට කුටියේ ජනෙල් වැසීමට පෙර දින සවස් යාමයේ අමතක වී යයි (පෙර දිනක නිවසේ දොර කවුළු වසා දැමුණේ අැය විසිනි).

හිමිදිරියේ අවදි වී අැරදමා අැති කවුළුව පියන්පත් තුලින් අහස දකින ඔහුට හැඟී යන්නේ "පාන්දරින්ම කවුළු පියන් හැර දමා අැය කොහි යන්නට අැත්ද" යන හැඟීමයි (අැය මිය ගොස් අැති වග ඔහුට මොහොතකට අමතක වෙයි).

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

හංසයා ගීතය ගයන්නේ මිය යාමට අාසන්නයේදී බව පැවසේ.
එමෙන්ම, හංස ගීතය ජීවත්වන අයට නෑසෙන්නක් බවට ද මතයක් අැත. හංස ගීතය පිළිබඳ සත්‍යය කෙසේ වෙතත් මෙහිදී අජන්තා රණසිංහයන් යොදාගෙන අැති ඉතාමත්ම ප්‍රබළ උපමා රූපකය ඉතා උසස් ය.

වැළපෙන්නා වූ, හද නැමැති කැටපත් පුවුරේ හංස ගීතය ලියැවෙන දා... යනු, ඔහු මිය යන මොහොතයි. එම මොහොතේ දී හිමිදිරියේ අඳුර පළවා හරිමින් හිරු ගෙන් පතිතවන පළමු කිරණයක් සේ සෞම්‍ය ලෙස ඔහු ගේ සිත රැඳි, බිය සංකා නැමැති අඳුර දුරුකොට ඔහු රැගෙන යාමට අැය පැමිණෙන්නේ නම් කෙතරම් දෙයක් දැයි ඔහුට සිතේ.

හදවතේ පිපි මල් වැනි වූ බලාපොරොත්තු වල රොන් සුනු විසිරුවා හැර දමන වේගයෙන් පිටවන සුසුම් සිතේ චංචල බව, කළකිරීම විදහාපායි. සිත තැම්පත් නැත. සිත එකඟ කර ගැනීමට නොහැකි ය... මේ හිමිදිරි පාන්දර, කවුළු පියන්පත් හැර දමා අැය කොහේ නම් යන්නට අැත්ද...?

පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා

කොයි ගියේද මට සිතුණා//

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තණුව : ස්ටැන්ලි පීරිස්

අාචාර්යය අජන්තා රණසිංහයන් මෙම නිර්මාණය බිහිකිරීමේදී දක්වා අැති ප්‍රතිභාව මෙතෙක් යැයි වර්ණනා කිරීමට තරම් මම සුදුස්සකු නොවෙමි. මක්නිසාද යත් තුමුළ අැතකුගේ ගුණ, මා වැනි අැමීබාවකු වණන්නට තැත් කිරීම සුදුසු නොවන බැවිනි.

සංගීතය හා ගායනය ගැන වුව කිව හැක්කේ ද එයම පමණකි.

එබැවින්, මා හද දුටු පමණින් ම ගීතයේ අරුත පමණක් ලියා තබා නිහඬ වෙමි.

~විශාඛා කළුබෝවිල~

සරුංගලේ... මා... - සරුංගලේ...

අාචාර්යය කේමදාසයන්ගේ භාවපූර්ණ සත්සර සංකළනයෙන් පණ පෙවී මැණික් ජයසේකර මහත්මිය ගේ සුමධුර හඬින් ගැයෙන ඉහත පද පෙළ, සහෘද සි‍ත් නවමු හැඟීමකින් කළඹාලීමට සමත්වෙයි.

අාචාර්යය ඩබ්ලිව්. එ්. අබේසිංහයන් ගේ පන්හිඳෙන් ගිළිහුණු පද වැල්, වචන සිය ගනනකින් වත් ප්‍රකාශ කර වුව නිම කළ නොහැකි සංකල්පයක්, ඉතා සරළ ලෙසත්, සුගම ලෙසත්, අපූර්ව ලෙසත් සියුම්ව සංකළනය කර අැත.

සරුංගලේ මා - සරුංගලේ...
පියඹා යනවා
දෙරණ මතින් - දෙරණ මතින්...
මායිම් නැති නිල් ආකාසේ
මායිම් ඇති මේ නියර මතේ
කුමර කුමරියන් අතින් මිදී
සරුංගලේ මා සරුංගලේ

අැය සරුංගලයකි.
විප්ලවීය සරුංගලයකි...
කුමර කුමරියන් ගේ අතින් මිදී, එනම්,
සියලු බණ්ධනයන් ගෙන් නිදහස් වී,
තෙරක් නොපෙනෙන නිල් අහස පුරාවටම අැය සැරිසරයි...
අැය පොළවට මනාප නැත.
පොළව කුරිරු ය.
වැට කොටු සීමා මායිම් වලින් බෙදී අැත.
පැන නැගුණු එම පවුරු,
නිදහස සිරගතකර තිබේ.

එබැවින් අැය
අහස ම තෝරා ගන්නීය.

කුරිරු පොළෝ මත
වැටකොටු බැඳ අැත - වැටකොටු බැඳ අැත
නිදහස වටකොට
පවුරු නැගී ඇත - පවුරු නැගී අැත
එබැවින් පියඹා - යන්නෙම් ගගනත
සරුංගලේ මා සරුංගලේ

දෑ කුලගොත්
මායිම් කිසිවක් නැති - මායිම් මෙහි නැති
නිදහස් නිවහල්
සුවිසල් ගගනත - සුවිසල් ගගනත
ඈතට - ඉගිලෙමි සිතු ලෙස
සරුංගලේ මා සරුංගලේ

නිදහස් නිවහල් ගගනත,
කිසිඳු මායිමක් බෙදීමක් නැත.
දැය, කුලය, ගෝත්‍රය පිළිබඳ
තැකීමක් අහසට නැත.
ඉතින්,
අෑ හට සිතු ලෙස
නිදහසේ ඉගිලී යා හැකිය...

හෘදය නව ජවයකින් පුරවා
සරුංගලයක් ලෙසම සැහැල්ලු කරලන මෙම ගීතය,
විඩාපත් මනසක් වුව ප්‍රබෝධමත් කර
අානන්දමත් කර ලීමට සමත් බව
මාගේ හැඟීමයි...
සුමධුර හඬින් ගැයෙන ඉහත පද පෙළ, සහෘද සි‍ත් නවමු හැඟීමකින් කළඹාලීමට සමත්වෙයි.

~විශාකා කලුබෝවිල~

අර මෝදු වෙලා සිනා පුරන

අර මෝදු වෙලා සිනා පුරන
සඳ මඩලෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
හිරු කුමරුන් බැස ගියා ම

අතු අගට වෙලා සිනා පුරන
මල් යායෙන් අහන්න
ඇයි දුක් නොවන්නෙ කියා
පිපි කුසුමන් පරවුණා ම

හඩනව ද සඳත් තනියම
තැවෙනව ද මලූත් රහසෙ ම
ඔබ දන්නවා ද
ඇයි මට විතරක් මේ
ඔබ හැර ගියා ම

සිහිනයක පිපී සුන්දර
රැඳේවි ද සොඳුරු යාමෙක
මගෙ හද යහනත
ඇයි මට විතරක් මේ
ඔබ හැර ගියා ම

හඩ - කරුණාරත්න දිවුල්ගනේ
පද - යසනාත් ධම්මික බණ්ඩාර
ස්වර - නවරත්න ගමගේ

දවසක් ගෙවීගෙන ගිහින් හිරු සැඟවෙනවා. ඒ වගේ දවස් කීයක් නම් ජීවිතේ මේ විදිහට ගෙවිලා ඉවර වෙන්නට ඇතිද? තව දවස් කීයක් ඒ විදිහට ගෙවන්නට ඉතිරි වෙලා ඇතිද? අහස අයිති ඉරටද නැතිනම් හඳටද? ඒ කුමක් වුණත් ලෝකයට ජීවය පොවන්නෙ හිරු. අහසෙ අදත් හඳ පායලා. වෙනදාටත් වඩා ලස්සනයිද මන්දා. ඇයි අපි හිරුට වඩා සඳට පෙම් කරන්නෙ. රැයේ නිහඬතාවය සඳ අපේ හිත් වලට ළං කරනවද? එහෙම නැත්නම් එක එල්ලේ බලන් ඉන්න බැරි හිරුට වඩා බලාගෙන හිත සැහැල්ලු කරගන්න පුළුවන් සඳ වඩාත් ලෙංගතු බවක් හැඟෙන හින්දද? සඳට එළිය දෙන්නෙත් හිරුමයි. ඉතින් හැන්දෑවෙ හිරු කුමරුන් අවරගිර සැඟවුණාම සඳටත් දුක හිතෙනවා ඇතිද?

ගසකට මලකින් ලැබෙන සුන්දරත්වය කොයිතරම්ද? ඒත් පිපෙන හැම මලක්ම පරවී යනවා නම්. තවමත් හිනාවෙවී අතු අග සරසන මල් වලට තමන්ගෙ සගයන්ගෙ වියෝව දැනෙනවා ඇතිද? කාටවත් නොපෙනෙන්න ඒ මල් තැවෙනවා ඇතිද? ලෝකෙටම හිනාව දායාද කරලා හොර රහසෙ කඳුළක් හෙළනවා ඇතිද?

ඔබ දන්නවාද ඇයි කියලා. මට විතරක්ම මේ තරම් දුකක්. හිනාවක අවසානයේ පවා ඇස් අග කඳුළක්.

~අමාලි වසුන්දරා අතුකෝරල~

වියෝගයක පෙර නිමිති දැනේ

වියෝගයක පෙර නිමිති දැනේ
අභිනික්මන ළං ළංව පෙනේ .....

ගිළිහී මධු බිඳු රැඳුණු පෙම් වදන්
කෙටිවෙයි කවියෙන් රචිත පෙම් හසුන්
හෝරා දින සති බවට පෙරලමින්
අඩුවී යයි මුණගැසෙන දින ගණන්

නැවතී උතුරා ගැලූ රස කතා
පිළිසඳරේදී වැඩෙයි නිහඬතා
දෙදරා පෙරදා පැවති සබඳතා
මොහොතක් පාසා බිඳෙයි සුහදතා...

නන්දා මාලිනී /සුනිල් ආරියරත්න/ රෝහණ වීරසිංහ

සබඳතාවක් ආරම්භයේදී ජීවිතේ කොයි තරම් නම් වෙනස් කම් සිද්ධ වෙනවාද.. ලෝකෙ හැම සතුටක් ම අයිති වුණා වගේ අපූර්වතම හැඟීමකින් මුලු හිතම පිරිලා යනවා.. තත්පරයක් පාසා බලාපොරොත්තු දැල්වෙනවා..

අපූරු පෙම් කතාවන් පිටු පුරා ලියැවුණු යුගය නැතිවුණේ තාක්ෂණය ආදරය මැද්දට ආවට පස්සේ.. ඊට පෙර හරියටම කිව්වොත් මීට අවුරුදු 15ක ට පමණ පෙර පෙම්වතුන් තමන්ගෙ සිතුම් පැතුම් සුන්දර වචන වලට පත් කරලා අකුරු කළා..

එකිනෙකා හමුවෙන්න කොයිතරම් නම් ප්‍රේමවන්ත හිත් පෙරුම් පුරනවද.. හැම මොහොතකම නොසන්සුන් සිතිවිලි ඔහුගේ.. ඇයගේ දසුන වෙනුවෙන් මග බලා ඉන්නෙ කොතරම් නොඉවසිල්ලෙන්ද..

එහෙම පෙරුම් පුරන පෙම්වත් සිත් උනුන් අභියසදී නොනැවතී දොඩමළු වෙනවා.. තොරතෝංචියක් නැතිව ජීවිතේ වැදගත්ම සුවිශේෂීම කෙනා ළඟදි කතා කරන්නට කොයිතරම් නම් දේවල් තියෙනවාද.. ඒ වචනයක් පාසා වෑහෙන්නෙ සෙනෙහස ආදරය ලෙංගතුකමම නේද..

ඉතින් මේ හැමදේම යම් මොහොතකදි වෙනස් වුණොත්.. ඒ ආදරණීය වදන් ගොළු වුණොත්.. හමුවීම් අතර පරතරය වැඩි වුණොත්.. දෙදෙනා අතර නිහඬතාවයට වැඩි ඉඩක් ලැබුණොත්.. ඒ තිබුණු සුහද ලෙංගතු බැඳීමේ යම් පළුද්දක් ඇති බව හැඟුණොත්..

ඊළඟ නිමේෂයේ කුමක් නම් සිදු වේවිද...


~අමාලි වසුන්දරා අතුකෝරල~




නෙතු පියන් පියා මුතු දසන් වසා

නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරී
සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී
මව් පියන් බලා නො ඉඳී

කැට මුගුරු වැදී තටු සඟළ බිඳී
ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ
සිහින මුවා තටු සලා වරෙන්
සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා...

ඉරිසියා හිති බොරු ගොතා කියූ
ඒ සුරංගනාවන් නිදා සිටී
හිරුට මුහුණු ලා පියාඹපන්
සුභ ප්‍රාර්ථනා වෙත කුමාරියේ

නෙතු පියන් පියා...

ගායනය - බණ්ඩාර අතාවුද
සංගීතය -ගුණදාස කපුගේ
ගේය පද - රත්න ශ්‍රී විජේසිංහ

ජීවිතයේ හැබෑකරගන්නට වෙරදරන හීන ගොඩක් අතරින් ආදරය නැමැති ලෙන්ගතු හීනයක්.....
සැබෑ ලෝකයේ පැමිනෙන දහසකුත් බාධක මැඩගෙන හැබෑකරගන්නට වෙර දරන හීනයක්....
විරහවක් කරා නොගොසින් ආදරයෙන් හිත පතුලම ස්පර්ශ කරන සදානන්ද කරවූ හීනයක්....
ඔබටත් තිබුනාද ...ඒ සිහිනයේ සුන්දරත්වය ඔබ විඳගත්තාද...ඒ සිහිනය සැබෑ ලෝකයේදී දකින්නට ආශාවෙන් සිටියාද ...ඒ සිහිනය සැබෑ කරගත්තාද ...
රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සැබෑකරගත් ඒ සිහිනය ඔබවෙත ගෙනහැර පාන්නෙමි මෙසේ.......

මගේ කුමරිය නින්දේ... නෙතු පියන් වසාගෙන ඇගේ මුතු දසන් වසාගෙන ඇය නින්දේ. සිහිනයකින් ඇය මා ලඟටම ඇවිත්. කිසිවෙකුට දැක ගන්නට බෑ..අඩුම තරමේ ඇගේ මවුපියන්ටවත් ඒ පිළිබඳ දැනීමක් නෑ.

ඈ කිරිල්ලියක්...තටු සලලා ඈතට ලස්සන හොයාගෙන සිත්ගත් ඉසව්වකට පියාඹන්න ඈ බොහොම කැමතියි. ඒත් ඉගිලෙන්නට වෙර දරන ඇයට කැට මුගුරු එල්ලවෙන්නේ නිතැතින්. ඒවා ඇයට ඉවසාගන්නට අපහසුයි. ඒවායින් මිදීමට අපහසුයි. ඇගේ තටු බිඳී ගොසින්ද ...ඉගිලෙන්නට නොහැකිලෙස..එසේනම් සිහිනයෙන් තටු විහිදා මා ලඟටම එන්න. ඔබෙයි මගෙයි ආදරය කරා එන්න...

ආදරයට ඉරිසියාකාරයින් බොහෝයි. උන් කියනා බොරු නිසා නුඹට කෙසේවත් මා සමීපයට එන්නට අපහසුයි...ඒත් පහසු විදියක් තියෙනවා...ඔබෙයි මගෙයි සිහිනය...ඔව් ඒ සිහිනයේදී ඉරිසියාකාරයින් නිදි. හිරු නැගෙන දෙසටම පියඹා එන්න...මා වෙතම...අපේ ආදරය වෙත...

මේ ගීතය බණ්ඩාර අතාවුදයන්ගේ පළමුවන ගීතය වගේම රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ප්‍රථම ගීතය. මෙහි කියැවෙන්නේ හරිම ලස්සන කතාවක් වගේම ඔබ අප බොහෝ දෙනෙකුට පොදු කතාවක්. ආදරයකදී දෙමව්පියන් එයට අකමැති වීම බොහෝ ආදර කතා වලට දකින්නට පුළුවන් දෙයක්. එසේ ආදරයකදි එවන් අකමැත්තක් ඇති වුනොත් පෙම්වතුන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
'සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා' සෝමතිලක ජයමහ ශූරීන් ගයද්දී දැනෙන හැඟීම කෙලෙසද. පෙම්වතා විසින් පෙම්වතියගේ දෙමව්පියන්ගෙන් අහිංසක ඉල්ලීමක් සිදුකරනවා ඔවුන්ගේ සම්බන්දයට ආශීර්වාද කරන ලෙස. දෙමාපියන්ගේ අකමැත්ත නිසා ඔවුන් විඳිනා දුක මනාවට පෙන්වා දෙනවා.

සමහර විටෙක දෙමාපියන්ගේ කැමැත්ත අකමැත්ත නොසලකා පෙම්වතියව බලෙන් රැගෙන යන අවස්තාද නැත්තේ නොවේ.

ගීතයේදී දෙමාපියන් මේ සම්බන්දයට දැඩි ලෙස විරුද්ධ වන බවක් පෙන්වනවා. ඒ නිසාවෙන්ම සිහිනයක් මගින් දෙදෙනා ආදරය කරන්නට පෙලඹෙනවා...සිහිනයේදි සැබෑ ලොවේ තියෙන බාධක කිසිවක් නෑ. ආදරය ජයගන්නට පුළුවන් පහසුවෙන්ම.

ඉතින් මේ ගීතයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සැබෑ ජීවිත කතාව වීමයි. ගීතයේ කියැවෙන ආකාරයටම ඔවුන්ගේ ආදරයට දෙමවුපියන්ගෙන් බාධාවන් එල්ල වෙනවා. ඇයව දකින්නට ලැබෙන්නෙවත් නැති තත්වයකට පත්වෙනවා. ඒත් එසේවූ නියාවෙන් ආදරය නතර කරන්නට ඔවුන් සූදානම් නෑ. සිහිනයන් මගින් ආදරයේ මිහිරියාව විඳින්නට සමත් වෙනවා. කෙසේහෝ රත්න ශ්‍රී ආදරයෙන් ජයගන්නවා.

ගීතය සංගීතවත් කරන්නේ විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින්. ගේයපද වල තිබෙන සුන්දරබව තවත් තීව්‍ර කිරීමට සංගීත නිර්මාණය උපකාර වී තිබෙන බව ඔබට වැටහේවි හොඳින් ගීතය රසවින්දනය කලොත්. බණ්ඩාර අතාවුදයන්ගේ හඬ ගැන යමක් කිව යුතුමයි. ඔහුට තිබෙන්නේ ඔහුටම අනන්‍ය වූ හඬක්. ඔහුගේ ගීතයේ ඔහුගේ සලකුණ තබන්නට සමත්වීම කැපී පෙනෙනවා.

~තේජන අබේදීර~


පියෙකුගෙ දුක කියාපාන

පියෙකුගෙ දුක කියාපාන
මහ දිය කඳ කලා වැවේ
දරු සෙනෙහස දල්වාගෙන
රැළි නංවා හඬා වැටේ...

සීගිරියේ ගී පවුරේ
කවි සිතිවිලි විමානයේ
ලියා ඇති ද එක ගීයක්
නුඹ වෙනුවෙන් පියාණනේ...

සීගිරි ලලනා දෑසින්
කඳුළු බිඳක් නොවැටුණාට
නෙළුම් මලක් අදත් පිපෙයි
සිරස නමා කලා වැවට...

පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
ස්වර - රෝහණ වීරසිංහ
හඬ - කරුණාරත්න දිවුල්ගනේ

අතීතය වර්තමානය වෙනුවෙන් මොනතරම් නම් දේවල් ඉතිරි කරලද.. ඉතිහාසයේ ආඩම්බරයෙන් අදටත් දෝංකාර දෙන දහසකුත් සිදුවීම් අතර ඉඳහිටක මතුවන කලු පැල්ලම් හදවතේ කොණක ඇති කරන්නෙ රිදුමක් වේදනාවක්.. මේකත් එක්තරා ආදර කතාවක්.. සෘජුවම නොදැනුණාට පියෙකු පිළිබඳව ගැයෙන ආදරණීය පිය ගුණ ගීතයක්...

ඉතිහාසය විසින් අපේ මතකයට නංවන මේ චණ්ඩ පීතෘ ඝාතක පුත්‍රයා කාශ්‍යප රජ්ජුරුවෝ.. බලය වෙනුවෙන් ඔහු ධාතුසේන රජු පෙළනවා.. අරගල කරනවා.. ධාතුසේන රජු තමන්ගේ පුතණුවන් රැගෙන යනවා එතුමන් විසින් නිමැවුණු යෝධ කලා වැව ළඟට.. "පුතුනි ජීවිතය තුළ මා විසින් ඉපැයූ යම් දෙයක් වේ නම් ඒ මේ සුන්දර විසල් ජලකඳයි" මේ තුළින් තම පුතණුවන්ගේ හිත මෙලෙක් කිරීම එතුමාගේ අරමුණ වන්නට ඇති.. එහෙත් ශෝචනීය අවසානයක්.. මේ පුත්‍රයා අනන්ත අප්‍රමාණ දුක් දීලා සිය පිය රජු මරා දමනවා.. හරියටම ඒ කලා වැව අසලදීම.. ඉතින් මේ පියාගේ ආදරණීය අඳෝනාව වේදනාව ඔහු බොහෝ සෙයින් ප්‍රිය කළ කලා වැවේ ඒ මහා දිය දහරට මුසු නොවී තියේවිද..

ඒත් අදටත් කාශ්‍යපයන් ඉතිහාසය විසින් උලුප්පා දක්වන්නෙ මේ සිද්ධිය යටපත් කරවමින්. ඒ ඔහු විසින් රාජධානිය කොටගත් අරුමැති සීගිරිය නිසාවෙන්.. සීගිරියේ කැටපත් පවුර පුරා එහි සොඳුරු බව වෙනුවෙන් සහෘදයන් අතින් කවි ගී නිමැවුණා.. ඒ එකම කවියක ගීතයක හෝ ධාතුසේන රජු ගැන ලියැවී ඇතිද..

අර තරම් මනස්කාන්ත වූ සීගිරි සිතුවම් අතර ඇඳුණු ලලනාවන්ගේ නෙතින් කිසි දිනෙක ධාතුසේන රජුගේ මතකයක් වෙනුවෙන් කඳුළක් නොවැටෙන්නට ඇති නේද.... සිය පියා ඝාතනය කළ කාශ්‍යපයන්ගේ නමෙහි ඇති වූ කැළල මකාලන්නට සීගිරි සිතුවම් වල ඇති විශිෂ්ඨත්වය සමත් වූ ආකාරය රචකයා විසින් පෙන්වා ඇති අයුරු කොතරම් අපූර්වද..

ඒත් කලා වැව අදටත් ඒ පියාණන් වෙනුවෙන් ශෝක වෙනවා.. ඒ මහා දියකඳ තවමත් හඬා වැටෙනවා.. ඔහුගේ නාමයට පිපුණු නෙලුමක් සිරස නමා කලා වැවට ආචාර කරනවා... පුංචිම පුංචි අස්වැසිල්ලක් හිතේ ඉතිරි කරනවා නේද..

මේ පද වැල ගෙතෙන්නෙ තුන්වන පාර්ශවයකගේ ඇසින්.. කරුණාරත්න දිවුල්ගනේ සූරින්ගේ ලයාන්විත හඬ ස්වරය මේ පද වැලේ ඇති වේදනාත්මක බව වඩ වඩා ඔප් නංවනවා නේද..






~අමාලි වසුන්දරා අතුකෝරල~


සිහිනයේ දොරකඩ....

සිහිනයේ දොරකඩ....
නොපිපෙන පැතුමකි ඔබ මට ..
නිදි නැති සිත ගිනි අවුලන...
සැඩ මාරුතයක් විය ඔබ මට....
.....
මේ තරම්....කදුළු වරුසා ....
මේ තරම් ඇයි සොදුරු යෞවනයට
ජීවිතය මැකෙනා .........
අවපසේ සඳ විලසට.....

රැයෙන් රැය දිගු කාලයක් වී
මේ තරම් ඇයි දුකක්....
ඔබ අහිමිව..
සෙනෙහසින් වඩිනා ...
හද සුවඳ කෝ කොතනද?.....

හඬ - ප්‍රදීපා ධර්මදාස
පද - රත්මලේ බන්දුල ගුණවර්ධන
ස්වර - රෝහණ වීරසිංහ

සිහිනයක්.. හැමදාම දකින්නට ආසා කරපු ඒත් කිසිදිනක හිත පුරා දකින්නට වරම් නොලද හීනයක පැතුමක්.. හීනයක් වගේම ජීවිතේ දකින්න.. කියා දුන්න නුඹ ම.. අවදි වෙලා බලද්දි මතකයන් විතරක් ම ඉතිරි කරලා යන්න ගිහින්..

හිතේ සැනසීමත් එක්කම නින්දත් හොරාගෙන ඔබ යන්නම ගිහින්.. රාත්‍රී අඳුර අතරින් ඔබේ මතකයන් මා වටා සක්මන් කරනවා.. හිත පුරා මහා ගින්නක් අවුළුවමින් මාව අවදියෙන් තබනවා.. හරියට දරුණු සැඩ සුළඟක් වගේ දසත සුණු විසුණු කරමින් හමා යනවා..

පුර පෝය අහවර වෙච්ච දවසේ ඉඳන්ම හඳ කෙමෙන් කෙමෙන් මැකෙමින් ගෙවෙමින් අමාවක තෙක් ගමන් කරනවා.. හරියටම මගේ ජීවිතය වගේ.. යෞවනය ඇත්තටම සොඳුරුයිද.. එහෙම නම් ඇයි මේ තරම් දුක් කඳුළු මගේ යෞවනය පුරාම පිරෙන්නට හේතු වෙන්නෙ.. ඇත්තටම ඒ හැමදේම ඔබ නිසාම ද..

කාලය ගැටළු වලට විසඳුම් ගෙනෙන්නට ඕන.. රැයෙන් රැය... හරි නම් දිගු බව අඩු වෙන්න ඕන.. දුක අඩු වෙන්න ඕන.. ඒත් රැයෙන් රැය දිගු වෙනවා.. ඔබ අහිමි වීම මේ තරම් දුකක් වුණේ කොහොමද...

ප්‍රදීපාවන්ගේ බොහොමයක් විරෝධාලාප ගීත අතරට එක්වුණ අපූර්වතම ප්‍රේමාලාපයක්.. සංවේදී සෞම්‍ය පද රචනයක්.. රත්මලේ බන්දුල ගුණවර්ධන අතින් ලියැවුණක්.. ස්වර රෝහණ වීරසිංහයන්..

~අමාලි වසුන්දරා අතුකෝරල~



කඳුළැල් සලා දෙනෙත් පියවිලි

කඳුළැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ
ඇයි මිහිරියේ තනි වී කිව මැන කල්පනා ලොවේ...

මතුවේ සිහින් සුසුම් රැළි හද විල් දියේ මගේ
කිසිවක් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ
රැජිනි ඔබයි උදාරි යෙ මගෙ දිළිඳු ලෝකයේ...

ඇයි මිහිරියෙ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුළැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ...

මා වෙසෙන තුරු ලොවේ ඔබ කිසි දිනක තනි නොවේ
හමු වෙන්න එමි ප්‍රියේ අද මෙන් මතු ද මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවියේ...


ප්‍රේමකීර්ති සංකල්පනාවක්..
ස්ටැන්ලි පීරිස් ස්වර පෙළහරක්..
ගී හඬ අමරණීය ජෝතිපාලයන්..

ඇස් තියෙන්නෙ ලෝකය දකින්න.. ඒ වුණත් හදවතට දැනෙන බොහෝ දේවල් දරාගන්න බැරි වුණ වෙලාවට ඒ හැමදේම කඳුළකට හරවන්නත් ඇස් වලට පුළුවන්..

එහෙම බැළුවොත් බාහිර ලෝකය දිහා බලන්න දීලා තියෙන ඇස් වලින්ම නේද හිතේ ඇතුළෙ දැනෙන දේවල් බාහිර ලෝකයට මුදා හරින්නෙ... තමන් ආදරය කරන කෙනෙක්ගෙ ඇසකට නැගෙන කඳුළ අනිත් කෙනාට දැනෙන්නෙ කොහොමද?

ඔහු සුසුම් හෙලනවා.. ඇයි මේ ඔබ හඬන්නෙ? ඔබ තරම් වටිනා කෙනෙක් මට ලෝකෙ ඉන්නවද? මම කවදාවත් ඔබව තනි නොකර ඔබ ළඟින්ම ඉන්නවා අද වගේම හැම භවයකදිම. ඔබ මට රැජිනක්.. මාවත් රජෙකු ලෙස පිළිගන්න ඔබට පුළුවන් නේද?

ඇයව අමතන්න වචන කීයක් නම් මේ ගීතයේ යෙදිලා තියෙනවාද බලන්න. මිහිරියේ... උදාරියෙ.. ප්‍රියේ.. දයාවියේ..

~අමාලි වසුන්දරා අතුකෝරල~






සුදු ඇත් පොව්වෙක්

සුදු ඇත් පොව්වෙක්
සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නොකළත් සිරියහනේ
පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු
මට රජ පැටියෙක්

හංකිති කවමින්
කුස තුළ සක්මන් කරනා
නුඹ දඟයකු වේ දැයි
නිකමට මෙන් මට සිතෙනා
පැටියෝ….
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
නුඹෙ හිස පළඳන්නේ
වෙනසක් නැති එක ආදරයයි

කුස තුළ දැරුවැයි
මතු බුදුවන පැතුමන් නෑ
ලේ කිරිකර පෙව්වැයි
උදම් අනන්නට රිසි නෑ
පැටියෝ….
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්
මා නුඹට පුදන්නේ
සැබෑව දිදුළන ජීවිතයයි

පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - නිරෝෂා විරාජිනී

අම්මා.. ජීවයට පණ පොවන ලෝකය දකින්නට ජීවිතය විඳින්නට මග කියා දෙන අම්මා.. දරුවකු පිළිසිඳීමේ සිට බිහිවීම තෙක් වන විශ්මිත ක්‍රියාවලිය තරම් අසිරිමත් සංසිද්ධියක් මේ විශ්වයේ තවත් තියෙනවද? තමන්ගෙ කුස තුළ වැඩෙන තවත් ජීවිතයක් ඇගේ හිතට දැනෙන්නෙ කොයි විදිහටද?

ජීවිතයේ අසීරුම කාලයක් ගෙවාගෙන යද්දි හැම පුංචි දේකින්ම හිත රිදෙන හිත සැලෙන සංවේදී චරිතයක් බවට ඇය පත්වෙන්නෙ නිරායාසයෙන්.. සුපුරුදු ගඳක් සුවඳක් පවා දැනෙන්නට බැරි තරම් දුර්වල වෙද්දි ඒ හැම කරදරයක්ම ඇය දරාගන්නෙ එක් පුංචිම පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙන්.. සෞම්‍ය සමනළ පියාපතක් කුස තුළ එහා මෙහා යනවා වගේ මුල්ම වරට දැනෙද්දි ඇය මෙතෙක් විඳි වේදනාවන් සියල්ලම අමතක වෙලා ගිහින්.. තමන්ගේ රුහිරෙන් දිනෙන් දින අපූරු ගෙත්තමක් වගේ ජීවිතේ ගොතන ජීවයක් දවසින් දවසම ඇගේ හිතේ ලෝකෙ ඇති පිවිතුරුම බැඳීමකට මග පාදනවා..

මේ ලෝකෙ ගැන හාන්කවිසියක්වත් නොදැන අම්මගෙ උණුහුමට පෙම් බඳින මේ පුංචි අහිංසක ජීවිතය වෙනුවෙන් ඇය කොයිතරම් කැප කිරීමක් නම් කරනවද? බෝසතාණන් වහන්සේ පවා අවසාන භවයේ උපන්නෙ තෝරාගත් මවගෙ කුසේ.. ඉතින් උපදින හැම දරුවකුම තමන්ගෙ අම්මා හොයාගෙන එන්නෙ පෙරුම් පුරාගෙන වෙන්නට ඇති නේද?

ආදරණීය පැටියෝ.. ඔබ දුවක වුණත් පුතෙකු වුණත් වෙනසක් නැතිවම ඔබට පුදන මහාර්ඝ වස්තුව මගේ ආදරයයි..

~අමාලි වසුන්දරා අතුකෝරල~


වැලිතල අතරේ හෙමිහිට බසිනා




වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණු දා
තිලෝහිමි මොක් සුව ලද මොහොතේ - සමාධී භාවනා

හිම කඳුවැටියේ සීතල හෙවනේ
චන්දන තුරු පීරා හැපී එන මල් මුවරද රසිනේ
සුවඳ මුසු කෝමළ මඳ පවනේ - ගැටීලා පාවෙනා

සත්සර නඟලා - ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ - මනෝහර - පලූපත් අතු රිකිලී
නටා ගිය - තාලයෙහි රස නැඟුණා - සරාගී ජීවනා

සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා - සිට ම තව - මහ මෙවුනා උයනේ
නටයි කොළ වන්නම සේ මහ බෝ - සුමීරී නාදෙනා...

පද සංකල්පනාව - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
ගැයුම හා සත්සර - ඩබ් ඩී අමරදේව

වන්නම, යමක් හෝ යමෙක් කෙරෙහි සිදු කරන්නා වූ වර්ණනාව මේ ලෙසින් හැඳින්වෙනවා.. භාෂා භාවිතය පිළිබඳව මනා හැකියාවක් හා නිපුණත්වයක් දැක්වූ චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් ගෙතුණු මේ අපූර්වතම ගේය පද සිත්තම සිංහල ගීත වංශ කතාවේ එක තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස හඳුනා ගත හැකියි..

වන්නම් උඩරට පහතරට මෙන්ම සබරගමු නර්ථන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙහිම එන විශේෂාංගයක් වන අතර මේ ගීතයේ ද වන්නම් වලට අදාළ ලක්ෂණ නොඅඩුව තිබීම නිසාදෝ එය මහා බෝ වන්නම ලෙස දක්වා ඇත..

වැලි තලාවන් අතරින් ගලා යන නේරංජන නදිය ය. බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කොට ලොව පරම සුන්දර සුවය පසක් කොට ගත් ඒ සොඳුරු නිමේෂයේදී ළඟ රැඳුණු යමෙක් වේද.. ඒ ශ්‍රී මහා බෝධිය යි.. ඈතින් හිමාලය කඳු අතරෙක නැගුණු සඳුන් තුරු මත වැදී තව තවත් සුවඳවත් වුණු සීතල මද පවන ශ්‍රී මහා බෝධිය සමීපයට විත් ඒ මත වැදෙයි..


සෙමෙන් එහා මෙහා වෙන් වෙන්ව සෙලවෙන රන්වන් පත් මවන්නේ කොතරම් අපූර්වතම සංගීත රටාවක්ද.. බෝ ගසක් පාමුල මොහොතකට නැවතී බලද්දී ඒ ශෝබන නර්ථනය ඇස් නොගැටුණු අයෙක් වේද..

දකුණු ශ්‍රී මහා බෝධි ශාඛාව සංඝමිත්තා තෙරණිය සුරතින් ධර්මය පවතින්නා වූ මේ පුන්‍ය භූමියට එක්තරා කාලයකදී වැඩම වෙනවා.. අදටත් ඒ නර්ථනය ඒ බෝ පත් විසින් රඟ දක්වනවා.. බලා හිඳිමු විමසිල්ලෙන්.. ඇසේවි ඒ මියුරු සංගීතය..

~අමාලි වසුන්දරා අතුකෝරල~