සේකරයන්ගේ වියෝගානුස්මරණය..

1929 අප්‍රේල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලද මහගම සේකර, එතෙක් මෙතෙක් සිංහල සාහිත්‍යයේ නොමැකෙන නාමයක් සනිටුහන් කොට නික්ම ගොස් 2017 ජනවාරි මස 14 වැනිදා ට වසර 41ක් ඉකුත්ව ගොස් අවසන්ය.

ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව දනිමි.

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව දනිමි..

සේකරයන්ගේ අවසන් කාව්‍ය සංග්‍රහය වූ ප්‍රබුද්ධ හි ඔහු ගේ අනාගත වැකිය අද සැබෑවට පත්ව ඇති බව අප දෑසින් දැක ගනිමු. ඔහු විටක සිත්තරෙකි. විටෙක කවියෙකි. මූර්ති නිමැවුම් ශිල්පියෙකි. ඒ සැම අභිබවා අග්‍රගන්‍ය ගේය පද රචකයෙකි. ඔහු ගේම තිර රචනයෙන් චිත්‍රපටයට නැගුණු තුංමං හංදියේ එන මේ ගීතය අනාගත සහෘද ප්‍රජාව කෙරෙහි සේකරයන් විසින් ලැබ දුන් දායාදයන් පිළිබඳව ඉඟියක් අපට නොසැපයෙන්නේද?

අතීතයෙන් ගඟ ගලා බසී
සිඳී බිඳී ගල් පර අතරේ
සිනාසිසී සුදු පෙණ පොකුරේ
ගලා බසී ගඟ ගලා බසී..

පිපී බිඳෙන දිය බුබුලේ
වළා රොදක දුර ආකාසේ
සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ...

ඔහු සැබැවින්ම අතීතයේ සිට ගලා ආ ගංගාවකි. ලොව සොබා සුන්දරත්වය දකින්නට ඔහු සතුව පැවැති රමණීය ඇසින් දුටු ඒ විසිතුරු බව ඔහුගේ කවි තුළද ගීතයන් තුළද සඟවා නොඅඩුවම ඔහු අප වෙත දායාද කොට නික්ම ගොස් ඇත.

වසන්තයේ මල් පොකුරු නෙලා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොළොව ගිණියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා
ඔබ අතවූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ හද මා දුටුවා

මේ ඔහුගේ ප්‍රේමයයි. පියවි ඇසින් නොදකින නොපෙනෙන ඒ ප්‍රේමය ඔහු ගස් වැල් මල් අතරකදී දැක ගීතයක එතුවේය. අතිශය ආදරණීය, ප්‍රේමණීය වූ ඔහුගේ වදන් වැල් අතර වියෝගය සහ එකිනෙකා දැකීමේ අතිශය උන්මාදයකින් පෙලෙන ඔවුනොවුන්ගේ පහස පතන පෙම්වතුන්ගේ සිතැඟියාවන් සටහන් වූයේ මෙලෙසිනි.

නිම් වළල්ලෙන් එපිට
සදරැස් ගලන නිල් මිටියාවතේ
නිහඩතාවය තුලින් මතු වී
ඔබේ පා මුදු හඩ ඇසේ

අහස් ගග බඩ හිමව් කුළු මත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන මා
නිදන කුටියට පෙනෙන සේ.....

බුදු දහම විසින් කවියකුගේ සන්තානය තුළ ඇති කරන්නා වූ අතිශය මැදහත් බවද අත්හැරීමේ ඇති නිදහස සහ අව්‍යාජ බවද සේකරයන්ගේ නිර්මාණ තුළ මනාව රැස් කොට තිබිණ. මේ ලියැවෙන්නේ රාත්‍රී සාදයක් ගැනය. එහෙත් සතුට යනු මොහොතින් පිපිරී අවසන් වන්නක් බව සේකරයන් අපූර්ව ලෙස හඟවා ඇති අයුරු මේ ගීතය රසවිඳින්නකු ට පහසුවෙන් හැඟීයයි.

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම්...
නිදන ලොවෙන් දවස උදාවී
සිහින මැදින් සතුට සිනාවේ

නුරා දෙතොල් පුරා එයින්
සුරා බඳුන් පුරා ගෙනේ
හිරු ඇහැරී බලන වෙලාවේ
පෙන බුබුලේ සතුට නිමාවේ
හෙට උදයේ හිරු එලියේ
සිහින ලොවේ සැපත නිවේ

බුද්ධත්වයේ මහා විසල් බවත් ඒ අභියස දී සිය ක්ෂුද්‍රභාවය පසක් කරන්නා වූ පුහුදුන් මිනිස් සිතුවිලිත් වරක් මහගම සේකරයෝ මෙසේ ලීහ.

ඉහළ නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කර ඇත...

වෙරළක සිටින්නෙකුට පැය ගණනක් වුවද එකහෙළා බලා සිටිය හැකි මහසයුර යම් දිනකදී මේ තරමටම වියරුව රකුස් වෙස් ගනු ඇති බව කලාකරුවකුගේ තෙවෙනි ඇසකට මිස අන්කිසිවකුට පුරෝකතනය කළ හැකි වේද? මේ සේකරයන් දුටු එවන් වූ චණ්ඩ සයුරයි.

ගැඹුරු සත් සමුදුර පතුල බිඳ
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි
බුර බුරා නැඟි කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනියි...

සේකරයන් විසින් ලියැවුණු නිර්මාණ ඔහුගේ ඇවෑමෙන් දශක හතරක් ගත වූ තැනද සහෘද සිත් සතන් තුළ නොමැකී නොනැසී පවතින්නේ ඒ නිර්මාණයන්හි පැවැති සර්වකාලීන බව නිසාවෙන්ම බව පහදන්නට තවදුරටත් සාක්ෂි අවැසි වේයැයි නොසිතමි.

මම නවතිමි,
නැවතීමමය ගමන,
සංසාරයය නිවන...

ඔබ නැවතුණු තැනක හිඳ අප ජීවිතය දැකගන්නට වෙර දරමු.....

අමාලි වසුන්දරා අතුකෝරල
2017 ජනවාරි 14

No comments: