Tuesday 24 November 2015

උදුම්බරා හිනැහෙනවා..(හඳුනාගත්තොත් ඔබ මා)

උදුම්බරා හිනැහෙනවා
ඉර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක
සැනසෙන එක හැන්දෑවක
උදුම්බරා හිනැහෙනවා......

මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා.....

කළුවර දුම එක හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරි සල්කිරි උදුම්බරා.....
සිනා කදුළු වගුරනවා

ආදරයේ ඔබ ඔබමය
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා......
හඳුනාගත්තොත් ඔබ මා......
හඳුනාගත්තොත් ඔබ මා......

ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම......
හඳුනාගත්තොත් ඔබ මා......

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය

උදුම්බරා කඳුළු සළයි......
උදුම්බරා කඳුළු සළයි......
කදුළු සළයි.... කදුළු සළයි.....

ගී පද : ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර

වර්ශ 1978 දී තිරගත වුනු 'බඹරු ඇවිත්' ධර්මසේන පතිරාජයන්ගේ සිනමා සිත්තමකි. මෙහි ධාවන කාලය පැයක සහ මිනිත්තු පනහකින් යුක්තය. විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ, විමල් කුමාරද කොස්තා,දයා තෙන්නකෝන් සහ අමරසිරි කලංසූරිය චරිත නිරූපණය කලෝය. සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.
මෙම ගීතය රචනාකර ඇත්තේ ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි. ඩබ්ලිව් ජයසිරිගේ දෙවන ගී පද රචනය මෙය වන අතර ඔහු ප්‍රතමයෙන් ගීයක් ලියාදී ඇත්තේ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාටය. ඒ “ සුළං හමයි, ලොව නැළවෙයි නිදි කුම්බා මල් කැකුළී ‘ කියන ගීතය. ධර්මසේන පතිරාජයන් ඔහුට කියනවා චිත්‍රපටය සඳහා තේමා ගීතය රචනා කරන්න කියා. මෙයින් ඔහු මවිතයට පත්වුනු බව ඔහු පුවත්පතකට කියා තිබුනා. මහගමසේකර, නැතිනම් හියුබත් දිසානායක ඒ සඳහා ගැලපෙන බව ඔහුගේ විශ්වාසය වුනා. කෙසේ හෝ ඔහුටම මෙය කිරීමට සිදුවුනා.
ඔහු පුවත්පතට මෙසේ පවසා තිබුනා. "ඇත්තටම ඒ ගීතය ලියැවුණේ “බඹරු ඇවිත් “ කේන්ද්‍රීය චරිතය වූ හෙලන් පාදක කරගෙන. හෙලන් ගේ චරිතය රඟපෑවේ මාලිනී ෆොන්සේකා. දිඹුල් ගෙඩිය හට ගන්නේ මල පිපෙන්නේ නැතිව. හෙලන් ගේ චරිතයත් එහෙම මලක් වෙන්න කලින් හට ගත්ත දිඹුල් ගෙඩියක් විදිහටයි මම දැක්කේ. සොබා දහම හා බැඳුණ මිනස් ජීවිතයේ අරුත මේ ගීතය තුළින් ඉස්මතු කරන්නයි මම වෑයම් කළේ. අවසානයේ මට මේ ගීතය වෙනුවෙන් ජනාධිපති සම්මානයකුත් පිරිනැමුණා"

1979 දී හොඳම චිත්‍රපටියට හා හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා ජනාධිපති සම්මානයට පාත්‍ර විය.  මීට අමතරව 1978 දී රුසියාවේ 'මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලෙහි' ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට මෙම සිනමා පටයට අවකාශ ලැබින.

මෙම චිත්‍රපටය නිර්මාණය සඳහා එවකට පැවති දේශපාලන වාතාවරණය බලපා ඇතිබව පෙනේ. චිත්‍රපටයෙන් විදහා දැක්වෙන්නේ දේශපාලනීකරණය තුල සමායයේ ඇතිවී තිබෙන වෙනස් තත්වයන්ය. ඔබ මෙය නරඹා ඇතිනම් මා පවසන දේ කෙතරම් දුරට නිවැරදිද යන්න වැටහේවි. මා චිත්‍රපට රසිකයෙක් වන නිසාම නොව මෙහි එවකට පැවති සමාජ තත්වය මනාව උලුප්පා පෙන්වන බැවින් එය ගැන යමක් නොකියා බැරි තරම්ය. චිත්‍රපටයට වඩා ගීතයට ඇළුම් කරන්නෝ මට කමා කරත්වා. 
චිත්‍රපට කතාව සැකෙවින් ගත්කල ධීවර ගම්මානයකට නගරයෙන් පැමිනෙන පිරිසක් නිසා එහි ගැමියන්ගේ ජීවන විලාශයට හා ආර්ථිකයට දැඩි පහරක් එල්ලවේ. නාගරික පිරිස ගමට පාතබන අවස්ථාවේ මේ පිලිබඳව කල්තියා හඳුනාගන්නා ධීවර ප්‍රධානියා ගම්මුන්ට පවසන්නේ 'උඹලා ප්‍රවේසම් වෙයල්ලා බඹරු ඇවිල්ලා' යනුවෙනි.

ටික කලකින්ම ගමම තම ආධිපත්‍යයට නතුකර ගැනීමට නගරයෙන් ආ පිරිස  සමත් වෙති. චිත්‍රපටය තුල ලේ වැගිරීම් කිහිපයක්ද දැකගත හැකිය. නාගරිකයන් අතරම සිටින තරුණයෙක් ගමට සිදුවන බලපෑම වටහාගෙන ඒ පිලිබඳව ගම්වැසියන් දැනුවත් කිරීමට කටයුතු කලත්...අවාසනාවක මහත, ගම්වැසියෝ කිසිවෙකුටවත් ඔහුගේ අදහස් තේරුම් ගැනීමට හැකියාවක් නොලැබේ. එයට හේතුව ඔහු එය පහදාදෙන අයුරේ වැරැද්දක්ද නැතිනම් ගැමියාගේ උගත්මේ ඌනතාවයක්ද යන්න වෙනමම කතාකල යුත්තකි. අවසනදී තරුණයා තම පරාජය පිලිගෙන නැවත කොළඹ බලා පිටත්වේ. මෙම තරුණයා එදා පැවැති වාමාංශික දේශපාලනය නියෝජනය වන බවක් පෙනේ. එවකට පැවති ධනවාදී සමාජ ක්‍රමය සහ ආර්ථිකය පිලිබඳව හා එයට එරෙහිවන වාමාංශික ව්‍යාපාරය පිලිබඳ මනාව විග්‍රහ කරන සාර්ථක සිනමා කෘතියක් ලෙසට මෙය ඉතිහාසයට එක්වේ.

කෙසේ වෙතත් උදුම්බරා යන නම අප ඉතිහාස කතා වලත් යෙදෙනවා ඔබට මතක ඇතුවාට සැකයක් නැත. අපේ පැරණි ජාතක කතාවක්වූ උම්මග්ග ජාතකයේ එන අතුරු කතාවක්වන සිරි කාලකන්ණි ප්‍රශ්නයේදී මෙය අපට සමුවේ. අතීතය පිලිබඳව මදකට සිත යොමු කලොත් උම්මග්ග ජාතකය ලියැවෙන්නේ කුරුණෑගල යුගයේදී. කතාව සැකෙවින් ගෙන එන්නට සිතේ. දිසාපාමොක් ආචාර්යවරයාගේ හොඳම ශිෂ්‍යයා වන පින්ගුත්තර නම් මානවකයා ඇදුරුතුමාගේ දියණිය සරණ පාවාගනී.
මානවකයාට ඇය රිසි නොවීය. දිනෙක් ගමට යන අතරතුර දිඹුල් ගසක් දැක මානවකයා ගසට නැග දිඹුල් තනිවම බුදින්නට වූවේය. ඇයද දිඹුල් ඉල්ලූ කල ගසට නැග කඩාගන්නා ලෙස ඔහු පැවසීය. ඇය ගසට නැග දිඹුල් බුදින්නට වූ කල පින්ගුත්තර ගසින් බැස ගස වටේට කටු දමා ගසින් බැස යාමට නොහැකි වන ලෙස මග ඇසිරීය. මේ කාලකන්ණි ගැහැණියගෙන් මිදෙම්යැයි සිතා ඔහු පලා ගියේය. වේදේහ රජතුමා මේ අසලින් ගමන් කරන කල ඇය දැක දිඹුල් ගසක් උඩ සිටි නිසා උදුම්බරා දේවිය ලෙස නම්කර ඇය සරණ පාවා ගත්තේය. මේ උදුම්බරා දේවිය රූපශ්‍රීයෙන් පරිපූර්ණ තැනැත්තියක්. රජතුමා පසුව දේවියගෙන් දැනගන්නවා පින්ගුත්තර ඇයව තනිකරදමා පලාගිය කතාව. රජතුමා එය පිළිගන්නේ නැහැ. ඇය වැනි කාන්තාවක් අතහැර යන පුරුෂයෙක් වේදැයි රජතුමා සැක පහල කරනවා. කෙසේහෝ මෙය විසඳා දෙනු ලබන්නේ මහෞෂධ පඬිවරයානණ් විසින්.

බඹරු ඇවිත් චිත්‍රපටයේ හෙලන්ගේ සමග විවාහ ගිවිසගෙන සිටින සිරිල් සහ නගරයෙන් ගමට පැමිනෙන වික්ටර් නොහොත් බේබි මහත්තයා යන තුන් කට්ටුව සිරි කාලකන්ණි ප්‍රශ්නයේ පින්ගුත්තර, උදුම්බරා දේවිය සහ වේදේහ රජතුමා සමග තරමක ගැලපීමක් ඇති කරනු පිනිස පද රචකයා විසින් මෙම ගීතයේදී 'උදුම්බරා' යන්න යොදාගෙන ඇතිදැයි සිතේ.
එය ගැලපීමක් වන්නේ හෙලන් උදුම්බරා මෙන්ම රූපකායෙන් යුක්ත තැනැත්තියක් ලෙස චිත්‍රපටයේ පෙන්වාදී තිබීමයි. නමුත් සිරිල් පින්ගුත්තර මෙන් නොව හෙලන්ට සිත පතුලෙන්ම ආදරය කල තැනැත්තෙකි. ඒ කෙසේ වුවත් මට මේ කතා වලින් කියන්නට අවැසි වූයේ 'උදුම්බරා' යන නම මේ ගීතයට ඈඳා ගැනීම පිලිබඳවය.

උදුම්බරා ගීතය පාදක වන්නේ 'හෙලන්' ගේ චරිතය තුලින් සාමාජය ගැන චිත්තරූපයක් මැවීමට. ඇය හිනැහෙනවා, නමුත් කොහොම සමාජයක් තුල හිඳගෙනද ඇය සිනාසෙන්නෙ?
ඇය ගමේ තරුණයෙකු සමග විවාහ ගිවිසගෙන සිටියාය. නමුත් එම තරුණයාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. නගරයෙන් ආ ආගන්තුකයෙකුවූ 'වික්ටර්' ගේ ග්‍රහනයට අසුවන ඇය අවසනදී ඔහුට දාව දරුවකු සමග ගමේ තනිවන්නට සිදුවේ. ඇයව සතුටින් තැබීමට ඇය සමග ඉදිරි ජීවිතය විඳීමට සිටීවි යැයි ඇය සිතා සිටි ඔහු ඇයව තනිකරඇත.
ඇයට කියන්නට ඇත්තේ 'හඳුනාගත්තොත් ඔබ මා......' කියායි. එයින් කියැවෙන්නේ ඔහු ඇයව හරිහැටි හඳුනාගෙන නෑ කියාද එසේත් නැතිනම් ඔහුට ඇයව හඳුනාගන්නට අවශ්‍ය නොවන බවද?
අවසනදී ඇයගේ සියලු බලාපොරොත්තු බිඳ වැටී 'උදුම්බරා කඳුළු සළයි...'

එවකට පැවැති සමාජයේ ආන්ඩු පෙරලියත් සමග සමාජයේ ඇතිවන වෙනස්කම් සහ එක් එක් පුද්ගලයන් එයට අනුරූප වන අයුරුත්, සමහරු ධනවාදී දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කිරීමද මැනැවින් විදහාපාන අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස මෙය හැඳින්වීම වරදක් යැයි මට නොසිතේ.

~~තේජන අබේදීර~~


4 comments:

Sisira Ekanayake said...

ඔබගේ විග්‍රහය අපූරුයි. චිත්‍රපටය ගැන කියනවනම් සාර්තක එකක්. සින්දුව ගැන කියනවනම් ඊටත් වඩා සාර්තකයි. මේ විචාර ආසාවෙන් කියවනවා. තව ගීත වලට මෙවැනි පසුබිම් සමග විචාර ලියන්න.

Nimal Shantha said...

බඹරු ඇවිත් කියන චිත්‍රපටය බැලුවෙ ඉතා ආසාවෙන්. මෙහි කියාපාන කතාව බොහොම හරවත්. ඊ කාලයේ තිබ්බ සමාජ තත්වය ගැන විග්‍රහයක් වගේම ඒ ඔස්සේ ලස්සන කතාවක් අපට ලබාදීලා තියෙනවා. මට මතකයි මේකේ එක ජවනිකාවක විමල් කුමාර ද කොස්තා කතාවක් පවත්වනවා. ඔහු කියා සිටින්නේ රදලයන්ගෙන් පීඩිත පන්තියට සිදුවන අසාධාරනය. හැබැයි ඔහු කියන දේ ගම්මුන්ට වැටහෙන්නේ නෑ. මේක හරියට එදා තිබුන වාමාංශික දේශපාලනය වගේ. ඔවුන් කියූ වැඩිමනත් දේවල් සමාජගත වූයේ නැත්තේ කියනාදේ නොතේරෙන නිසා. මිනිසුන්ට අවශය සංකීර්ණ දේඅවල් නොවෙයි, සරලව කෙටියෙන් පැහැදිලිව කියන දේවල්. එයිනුයි මිනිස්සු දේවල් තේරුම් ගන්නේ. මෙන්න මේ දෙය චිත්‍රපටයෙන් ඉතා ලස්සනට පෙන්වා දෙනවා.
උදුම්බරා ගීතය පද රචනයට නොදෙවෙනි ලෙස කේමදාස මාස්ටර් විසින් අති විශිෂ්ට සංගීතයකින් ඔප නන්වලා තියෙනවා. අයිවෝ ඩෙනිස් ටී එම් වහේම සුනිලා ගීතවත් වෙනවා අපූරුවට. වාමාංශික දේශපාලනයේ සිටි සුනිලා ආදරයෙන මතක් කරන්නට කැමතියි. පසුව ඇය ඉන් ඉවත්වී වෙනමම ඇගේම ගමනක නිරත වුනා.
ඇත්තෙන්ම මේ ගීත විචාරය ගැන යමක් කියන්නම උවමනායි. ගීතයෙන් නොනැවතී චිතපයටද එහි චරිත හා අර්තය පැහදිලි කරමින් විශාල වපසරියක අප කැදවාගෙන යන ගීත විචාරයක්. තේජන ඔබ බෙහෙවින්ම සාර්තකයි. අවශය සියල්ලක්ම පාහේ ඔබ අපට ලබාදී තියෙනවා. බොහොම ස්තුතියි ඔබට.

Sarath Wickramasinghe said...

චිත්‍රපටය නරඹා තිබුනා. ගිතය රස වින්ඳට ගීතයේ ගැඹුරු අර්තය ගැන හිතන්න පෙලඹුනේ නෑ. අර්තය පැහැදිලි කිරීම ඔබ මනාව සිදුකොට තිබෙනවා. දැන් ආයෙත් සින්දුව ඇහුවා. ආයෙත් චිත්‍රපටියත් බලන්න හිතෙනවා.

Unknown said...

මේ විචාරය මට ඉතා වැදගත්...thank