Thursday 28 January 2016

අඳුරු කුටිය තුල...

අඳුරු කුටිය තුල
දොරගුළු ලා ගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන්හට නෑසේ
පොළොව කොටන තැන
පාර හදන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ...

සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...

කුසම් සඳුන් දුම් සුවඳින් වැළකී
ගත නැඟි දාඩිය සුවඳින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...

විශිව සාහිත්යධර රබීන්ද්රනාත් තාගෝර් තුමන්ගේ ලෝ ප්රකට ග්රන්ථයක් වන "ගීතාංජලී"නම් කෘතියේ කවියක් ගීතයක් ලෙසට ආචාර්ය ප්රේමදාස ශ්රී අලවතගේ යන් සිංහලට පරිවර්තනය කර,ආචාර්ය ප්රේමසිරි කේමදාසයන් සංගීතවත් කර ටී.එම්.ජයරත්නයන් ගායනා කරන සුවිශේෂී ගීතයකි අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන....
කියන ගීතය.

අඳුරු කුටිය තුල
දොරගුළු ලා ගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන
පාර හදන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ.....

දේවාල බොහෝමයක බොහෝවිට තිබෙනුයේ අඳුරු ස්භාවයකි.නැතිනම් දොරවල් වසා ඇත.දේව රූපය තිර රෙදිවලින් වසා ඇති අතර ඉන් යාන්තමට දේව රූපය,ප්රතිමාව, පෙනෙන්නට සලස්වා ඇත.දෙවියන් හමුවට යන දේව භක්තිකයන් කපු මහතුන් හරහා යාතිකා හා ගීතිකා කියවනු ලබන්නේ බාහිර සමාජයෙන් විතැන් වීය.නමුත් මෙම අදහසේ සංකල්පිකයා ඉහත අයුරින් ගයන ගීතිකා හා යාතිකා දෙවියන්හට නොඇසෙන බව පවසයි.

එවන් දෙවොල් තුල සැබෑ දෙවියන් වැඩ නොසිටින වග හා ඔවුන් වැඩසිටිනුයේ දැඩි අවුවේ වේලෙමින් සහ මහවැහි වලට තෙමෙමින් වැඩකරන ජනතාව සමීපයේ බව පවසයි.මෙම අදහස අඩංගු කෘතිය ප්රකාශිත වන්නේ 1912 දී ය.සියවසක් ඉක්මවා ගියද එහි අරුත වර්තමානයට කෙතරම් බද්ධ වන්නේද යන්න සලකා බැලීම වටී.

ඉන්දීය සමාජයේ අත්දැකීම් ඇසුරෙන් තාගෝර්යන් නිර්මාණය කර ඇති මෙය ලාංකීය සමාජයට බද්ධ කොට ලාංකීය අනන්යතාව සුරැකෙන පරිදි පරිවර්තනය කිරීමට ආචාර්ය අලවත්තයන්ගේ ප්රතිභාව විශිෂ්ටය.

කඩතුරාවෙන් දෑස වැසුණු කල කිසි කෙනෙකුහට යතාර්ථය නොපෙනේ.වෙසෙසින් දෙවියන් පිළිබඳ තමතමන් දකින්නේ කඩතුරාව නැමැති පාට කණ්නාඩි පැළඳ ගෙන විනා යතාර්ථවාදීව නොවේ.එනිසා කඩතුරාව හැර බැලීම නොහොත් බලන ක්රමය වෙනස්වීම අනිවාර්යයෙන්ම කල යුතුව ඇත.

සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පළඳා
දෙවියන් රුව දක්නට හැක්කේ....

දේව ප්රතිමා වලට අන්දවා ඇත්තේ සිනිඳු බැබලෙන ඉස්තරම් රෙදි පිළි ය.නමුත් එම රෙදි ඉවත්කොට දූවිලි මඩ සහිත ඇඳුම් අන්දවා දෙවියන්ගේ රුව දැකිය හැකි වග කියැවේ.සිනිඳු සුවැති සළු සිරසින් හැරදා යන්නෙන් දෙවියන් පිළිබඳ මිනිසුන් සිතන් සිටින ආකාරය වෙනස් කල යුතුව ඇතැයි හැඟවේ.මෙය වත්මන් සමාජයට කෙතරම් බද්ධ වී තිබේද යන්න සලකා බලනු වටී.

දෙවියන්හට මහත් බැතියෙන් සලකන බැතිමතුන් සැබෑවටම සැලකිය යුත්තන් හමුවේ කෙතරම් සංවේදී ද යන්න ගැටලුවකි.තම දරුවන් ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලන භක්තිමත් මිනිසුන් නොමසුරුව මුදල් වියදම් කර දේව පූජා පවත්වයි.නමුත් ඔවුන් රැකියාවලට ගියවිට දරුවන් රැකබලා ගන්නා මෙහෙසියට මාසික වැටුපවත් හරියට දෙනවාදෝ යන්න විමසිය යුතුය.තම වාහනය රැක දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා නිර්ලෝභීව මුදල් සමග පූජාවට්ටි පුදන මිනිසුන්ම,එම වාහනය "සර්විස්"කරන ස්ථානයේ සේවකයාට සන්තෝෂමක් දීමට මාරු සල්ලි පසුම්බිය පීරා සොයනු පෙනේ.නමුත් වාහනය ආරක්ෂා කරදෙන සැබෑ දෙවියන් එම සේවයන් වග ඔව්නට නොතේරේ.දෙවියන්ගෙන් පිහිට ඉල්ලන හැම කාරණාවක් සම්බන්ධයෙන්ම මෙම න්යායම ක්රියාත්මක වීම දෑස බැඳි කඩතුරාව නිසාම නොවන්නෙද?

අව් වැසි නොබලා වැඩකරන කම්කරුවන් හට නොදක්වන සැලකිල්ලක් දෙවියන් ඉදිරියේ දක්වන සමාජයක් තුල ඔවුන්ගේ දෑස කඩතුරාවෙන් වැසී ඇති වග පවසන රචකයා,ඔය දෙවියන් වෙනුවෙන් කරන සැලකිලි තම කම්කරු ජනතාවට දක්වන්නේනම් මැනවැයි නොකියා කියන්නේ නොවේද?

කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගත නැඟි දාඩිය සුවඳින් සැරයි
දෙවියන් හා එක්විය හැක්කේ....

බාහිර අලංකරණයත් සැරයි දෙවියන් සමග සම්බන්ධතා පැවැත්විය නොහැකි බවත් දෙවියන් හා එක්වීමටනම් වැඩකරන ජනතාව සමග එකතුවී වැඩ කිරීම කලයුතු වගක් මින් නොහැඟෙන්නේද?

මල් සඳුන් දුම් සුවඳ සමග දෙවියන් නොදැකිය හැකි වගක් හා දාඩිය සුවඳ සමග දෙවියන් හා එක්විය හැකි බවක් ප්රකාශ උවද අද් කාලයේ දේව දාන,සාංගික දාන ආදිය සඳහා වැඩකරන කම්කරු ජනතාවව සහභාගි කරගැනීමට ද මැලිකමක් දැක්වීමට බොහෝ අය පෙළැඹී සිටී.

ආචාර්ය කේමදාසයන්ගේ සංගීතය හා ටී.එම්.ජයරත්නයන්ගේ ගායන කුසලතාව විචාරය කිරීමට යෑම ඔවුනට කරන අවැඩක්දෝයි මට සිතේ.මන්ද එය කිරීමට කිසිදු දැණුමක් මා සතු නොවන හෙයිනි.එනිසා උඩින් පල්ලෙන් හෝ මා විචාරන්නේ රබීන්ද්රනාත් තාගෝර්යන්ගේ අදහස සිංහලට පරිවර්තනය කල ආචාර්ය ප්රේමදාස ශ්රී අලවත්තයන්ගේ පද රචනය පමණි.

උක්ත කරුණු සැලකීමේදී සාම්ප්රදායික දර්ශනයන් අතික්රමණය කල සුවිශේෂී ගීතයක් ලෙස "අඳුරු කුටිය තුල දොරගුළු ලා ගෙන" ගීතය හැඳින්වීමට පිළිවන.

බුද්ධ්ක ප්රදීප්
2016/01/25.


5 comments:

Unknown said...

ගොඩක් වටිනවා. මේ ගීතයේ අරුත ලාංකීය සමාජය හා සසදා බලන විට එක් අතකින් සමාජය පිළිබඳ හාස්‍ය උපදවන හා අනෙක් අතින් මහත් අර්ථයක් ගෙනදෙන ගීතයක් ලෙස මට හැඟෙයි. යමක් ලබා ගැනීමට නම් ඒ හා වෙහෙස මහන්සි වී කටයුතු කළ යුතුය. දෙවියන්ට පුද පූජා කොට නොයෙක් දේවල් ඉල්ලා සිටින කිසිවක් නොකර නොයෙක් දේවල් බලාපොරොත්තු වෙන මිනිසුන් සිටින සමාජයක මේ ගීතය ඉතා අර්ථ සම්පන්න වෙයි.

nuwangaakash said...

මේ ගීතය නිර්මාණය කල රවින්ද්‍රනාත් තාගෝර් තුමාගේ god with the lowly ඉංග්‍රීසි පොයම් එක සොයා ගන්න පුලුවන්ද

nuwangaakash said...

මේ ගීතය නිර්මාණය කල රවින්ද්‍රනාත් තාගෝර් තුමාගේ god with the lowly ඉංග්‍රීසි පොයම් එක සොයා ගන්න පුලුවන්ද

Thilinimalsha99 said...

ගොඩක් වටිනවා❤

Unknown said...

බොහොම ස්තූතියි💖