Sunday 19 February 2017

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ

ආදරය... විග්‍රහ කරන්නේ කෙසේද.... ඈත අතීතයේ ප්‍රේමය පිළිබඳ තිබූ විග්‍රහයන් සමහරක් අද වනවිට
මුසාවන් බවට පත්වී තිබෙනවා. ලෝකයේ පැවැත්මත්, වෙනස්වීමත් අනුව මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වන අතරම යම් දෙයක් දෙස බලන කෝණයද ඒ අනුව වෙනස් වෙනවා. මෙය ආදරයටද පොදු ධර්මතාවක්. පෙර කාලයේ ආදරය තිබුනේ ඉතාම පූජනීය ස්ථානයක. නමුත් වර්තමානය වන විට ඒ තත්වය බොහෝදුරට වෙනස් වී තිබෙනවා. ඉස්සර කිව්වේ මල්සරාගේ දුන්න වැදුන කෙනාට තමයි හිත යන්නේ කියලා. නමුත් අද ආදරය පාරවල් වල විකිණෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන් වෙලා තිබෙනවා. අද තරුණ පරම්පරාව ප්‍රේමය ගැන හිතන්නේ ඉතාම වෙනස් ආකාරයකට. තමන්ට කිසිසේත්ම නොගැලපෙන ප්‍රේමයන් සොයා යන්නට බොහෝ දෙනා පුරුදු වෙලා තිබෙනවා.

අසම්මත ප්‍රේමයට ඇලුම් කරන්නට කැමති අය අපට මුණ ගැසෙනවා. ඇතැම් අවස්ථාවල සමාජයේ අපිට දක්නට ලැබෙන අසම්මත ප්‍රේමයන් වර්ග බොහෝයි. අක්කලා මල්ලිලාට ආදරය කරනවා. විවාහක පිරිමි තරුණියන්ටත්, විවාහක ගැහැණු තරුණයන්ටත් ආදරය කරනවා. එසේම මැදිවියේ කාන්තාවන් වයස අවුරුදු 18-19 පිරිමි ලමයින් සමඟ සම්බන්ධකම් පවත්වනවා. වයසක සීයලා පොඩි ගැහැණු ලමයි සොයාගෙන යනවා. මේ සියලුම අසම්මතයන් හමුවේ පිවිතුරු ප්‍රේමයක් හොයා ගැනීම හරියට කළුනික සොයන්නා වගේ. සෑම පවිත්‍ර ප්‍රේමයකටම දෙවියොත් ආශිර්වාද කරනවා කියලා වැඩිහිටියෝ කියනවා. එසේ බලනවිට අද දෙවියන්ට ආශිර්වාද කරන්නටවත් එවන් ප්‍රේමයක් සොයාගත හැකිද යන්න සැකයක්.

තමන්ගේ බිරිඳ කොපමණ සුන්දර ගුණවත් කාන්තාවක් උනත්, ඇය කුටුම්භය තුළදී ඔහුගේ සියළු ඕනෑ එපාකම් නොපිරිහෙලා ඉටු කළත් ඇතැම් පිරිමින් වෙනත් සුන්දර කාන්තාවන් පසුපස යෑම අද සුලභ කරුණක්. මෙය දෙපාර්ශවයටම පොදු කරුණක්. තම ආශාවන් පසුපස හඹා යන ජීවිත වලින් පෝෂණය වී ඇති වටපිටාවක ආදරයද අවශ්‍යතාවයන්ට පමණක් ලඝු වී ඇති අයුරු නම් ඛේදනීයයි. මේ තරම් හෝටල් කාමර රට තුළ බිහිවන්නේද ඒ හේතුව නිසාවෙන්මයි. විපරීත ප්‍රේමයන් මේ කාලයේ කොතෙක් නම් දක්නට ලැබෙනවාද. තමන් ආදරය ඉල්ලන තරුණිය අකමැති වූ විට ඇයව මරන්නට තරම් සහසික වන තරුණයින්ද මේ කාලයේ සුලභයි. ප්‍රේමය එතරම් ආවේගශීලී විය හැකිද. ප්‍රේමයට එතරම් ආත්මාර්ථකාමී විය හැකිද. පවිත්‍ර ප්‍රේමයකට එසේ විය නොහැකිය. පිවිතුරු පෙමක් සැමවිටම පරිත්‍යාගශීලීයි. වර්තමාන සමාජ ක්‍රමය හේතුවෙන්ම විපරීත වූ මනසින් යුතු වූ ආදරවන්තයින් ප්‍රේමය සෙල්ලමක් කරගෙන සිටින ආකාරය විශ්මයජනකය. මන්ද අපේ වැඩිහිටියන්ගේ මනස් තුළ අදද ප්‍රේමය ජීවමාන වන්නේ උත්තරීතර දෙයක් ලෙසින්ය. ඒ වගේම ඔවුන්ට අනුව ආදරය කිසිදිනෙක ආවේගශීලී නැහැ. ඒ නිසාමයි ආදරය තුළ සිටින සියල්ලන්වම බොහොම සියුම් දේට උපමා කරන්නේත්. ඒ අතරේ වෙනස් වූ උපමාවන්ද නැතුවා නොවෙයි. හරියට ලියතඹරා මල වගේ.

ලියතඹරා මලේ විශේෂත්වය කුමක්ද.. බොහෝ අය පවසන පරිදි ලියතඹරා මල තවුසන්ගේ දැහැන් බිඳිනවලු. ඒ තරම් ලස්සනයිලු. ඒ නිසාම තමයි බොහෝ ආකර්ශනීය කාන්තාවන් මේ මලට සම කරන්නේ. ලියතඹරා මල හමුවේ තවුස් දම් බිඳේ නම්, පෘතග්ජන අප හිත් ගැන කවරනම් කතාද....??? ලියතඹරා මල දෙස බලන අය එහි වසඟයට පත්වීම වලක්වන්නට බැරිලු. "ලියතඹරා මල ඔබද ලඳේ මා වසඟයක් කෙරූ" යනුවෙන් චන්දන ලියනාරච්චි පවසන්නේද, "ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා" යනුවෙන් ආත්මා ලියනගේ ගයන්නේද මේ හේතු නිසාවෙනි. "අශෝක කෝවිලගේ" ගේය පද රචකයාණන් ද ලියතඹරා මලකින් තම ගීතය අරඹන්නේ ගීතයේ සමස්ත කතාවම ඇරඹුමේදීම අපේ සිත් තුළ පැලපදියම් කරවමින්.

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියෑසි කැළක්‌
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බඹර තුඩක්‌...

බමරුන් මල් ලඟ රැඳීම පිළිගත හැකි කරුණක්. නමුත් ලියතඹරා මලකින් ආදරය අයැදීම පිළිගන්නට පුළුවන් දෙයක්ද??. ලියතඹරා මල නිරන්තරයෙන්ම අන් අයගේ සිත් වශී කරන්නක්. දැහැන් බිඳින්නක්. එසේනම් එවන් මලකින් ආදරය බලාපොරොත්තු විය හැකිද??? ලියතඹරා මල බොහෝ විට සමාන කරන්නේ රෑ සමණලියකට. මේ සමණලියගෙන් ආදරය අයැදීම නිෂ්ඵල කාරණයක්. කොතෙක් ආදරය අයැදුවත් හඬා වැටුනත් ඇය ලඟ ඇත්තේ ආදරයක් නොවෙයි. අවශ්‍යතාවයන් සපුරාලීමක් පමණයි. එසේම සුවඳැති කපුරු මල් බමරුන්ට විෂයිලු. නමුත් මේ බමරුන් තමන්ගේ උවමනාවන් වෙනුවෙන් ඒ සුවඳැති කපුරු මලද තලා පෙලා විනාශ කර දමනවා. හරියට තමන්ට අනවශ්‍යයයි කියලා දැන දැනත්, තමනුත් අමාරුවේ වැටෙනවා කියලා දැන දැනත් එක් මොහොතක අවශ්‍යතාවයක් වෙනුවෙන් තරුණියන් දූෂණය කරන්නාවූ, අමාරුවේ දාන්නාවූ පිරිමි වගේ. මා කලින් සඳහන් කල අයුරින්ම වත්මන් ප්‍රේමයේ තිබෙන්නාවූ විපර්යාසයන් මනාව මේ ගීතය තුළ ගැබ් වී තිබෙනවා.

වැහි කළුවර ඇති සැන්දෑ සමයක
තරුමල් පිපුණලු අහස්‌ ගැබේ
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ...

සවස් යාමයක වැහි කලුවක් තියෙන වෙලාවට අහස මොනවගේ ඇතිද. අහසේ තරු, සඳ අපට දකින්නට ලැබෙනවද..?? ඔබට ඉඩ ලැබුන වෙලාවක එය හොඳින් නිරීක්ෂණය කර බලන්න. වහින්නට පෙර ආකාශ වස්තු කිසිවක් අහසේ දක්නට ලැබෙන්නේ නැහැ. එය තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් වැස්ස වෙලාවක තරු අහසේ දකින්න ලැබුනොත් ඒක ටිකක් අසාමාන්‍යයයි නේද..?? ඉහත සඳහන් කලාවූ විපරීත ප්‍රේමයන්ද ඒ වගෙයි. හරිම අසාමාන්‍යයයි. පවිත්‍ර ප්‍රේමයට ආශිර්වාද කරන්නාවූ දෙවියන්ද හඬා වැටෙන්නේ මේ වෙන්නාවූ විනාශය නිසාමයි. සියළු ප්‍රේමයන් ලිංගිකත්වයට ලඝු වනවිට පිවිතුරු ප්‍රේමය කොහෙන්නම් සොයන්නද...???

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
කළියුගයේ ඇත පහළවෙලා
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා...

තරුණ තරුණියන් විවිධ වූ අසම්මත ප්‍රේමයන්ට යොමු වීමට ප්‍රධානම හේතුවක් ලෙස සමාජයේ වෙනස්වීම් බලපානු ලබයි. අද මාධ්‍ය තුළින්, සමාජ ජාලා වෙබ් අඩවි තුළින්ද අසන්නට දකින්නට ලැබෙන විවිධ වූ සාමාජයීය විපර්යාසයන් හේතුවෙන් ඒ අනුව හැඩ ගැහෙන්නට අද තරුණ පරම්පරාව යොමු වී තිබෙනවා. ඒ නිසාම තමයි අශෝක කෝවිලගේ ශූරින් කියන්නේ මෙය කලි යුගයක් කියා. තරුණ හිත් තුළ ප්‍රේමය පිළිබඳ වැරදි ආකල්ප මිස පිරිසුදු ආකල්ප ඇති වෙනු අපට දැක ගන්නට නොහැකියි. මෙවන් වූ අසම්මත සබඳකම් පවිත්‍ර ප්‍රේමයක් කෙසේ නම් වටහා ගන්නද. දැන් පිවිතුරු ආදරය පිය යන්නට ලඟයි. එය දැන් මහල්ලෙක් බවට පත් වී අවසානයි.

ගීතය මෙයට දශක කිහිපයකට පෙර ලියවුනත්, වර්තමාන සමාජයට මෙය අපූරුවට ගැලපෙන අයුරුනම් පුදුමසහගතයි. ප්‍රේමයේ අද අපට දක්නට ලැබෙන සියළුම විපර්යාසයන් මේ ගීතයෙන් මනාව ප්‍රකාශ කරනවා. මාලනී බුලත්සිංහලයන්ගේ හඬ පෞරුෂය තුළ ගීතයේ ඉතාම සාර්ථක වී ඇති අතරම දශක ගණනාවක් පුරාවට සුභාවිත ගීතයට ආදරය කරන්නාවූ සියල්ලන්ම ඇලුම් කරන ගීතයක් බවට මෙය පත් වී තිබෙනවා.

ගායනය : මාලනී බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගී පද : අශෝක කෝවිලගේ

ප.ලි. : අරුත ටිකක් දීර්ඝ වීම පිළිබඳ සමාව අයදිමි.

~ අකූ ~


2 comments:

Thushara Basnayake said...

really nice and meaningful.

Dilan Jayasinghe said...

මේ තමයි සිංහල සංගීතයේ තියෙන අපූර්වත්වය.. තේරුම් හරි ලස්සනට ඉස්මතු කරවනවා... හැබැයි ව්‍යංගයෙන්... රචකයාගේ තියෙන විශිෂ්ඨත්වය