Sunday 3 April 2016

ඇහල මල් ‍පිපෙනා

ඇහල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්

වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා
ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී

ඇහල මල් පිපෙනා ..............

බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී
මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්

ඇහල මල් පිපෙනා ..............

ගායනය :- චන්දන ලියනාරච්චි
ගේය පද: නිහාල් ගම්හේවා
සංගීතය: නිහාල් ගම්හේවා

චන්දන ලියනාරච්චි කියල කියන්නේ අනූව දශකයේ ජාතික තරුණ සේවා සභාව මගින් ඔප වැටුනු තාරකාවක්.  චන්දනට අමතරව ෂර්ලි වයිජයන්ත, චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි..ආදීන් ජාතික තරුණ සේවා සභාව මගින් බිහිවුන තවත් ගායක ගායිකාවන් පිරිසකි. චන්දන ලියනාරච්චි නිහඬ ගමනක යන කලාකරුවෙකු ලෙස හැඳින්වූවාට වරදක් නෑ. අනූව දශකයේ ඔහු ගැයූ ගීත කිහිපයක් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ලං වෙනවා. නමුත් ඉන් පසුව පැමිනෙන අලුත් ගීත එතරම් දුරට රසිකයන් අතරට නොයාම මාධයය වල වැරැද්ද්ක්ද නැතිනම් ඒවා ඔහුගේ කලින් ගී තරම් සාර්ථක නොවේද යන්න සලකා බැලීම වටිනවා. ඒ කොහොම වුනත් 'ඇහැල මල් පිපෙනා, සුවඳ තියා, පොල් රුප්පාවේ, සිතින් අදිනවා..' ආදී රසික සිත් අමන්දානන්දයට පත්කල ගීත ගනනාවක් ඔහු ගායනා කොට තිබෙනවා. 

විශාරද නිහාල් ගම්හේවා චන්දන ලියනාරච්චිගේ කැසට් පට වලට ගීත රචනයෙන් සක්‍රීයව දායක වී තිබේ. ඒ අතර 'ඇහැල මල් පිපෙනා සහ පොල් රුප්පාවේ' යන ගීත විශේෂ ස්ථානයක් හිමිකරගනී. චන්දනගේ කැසට් පට වල ගීත හැරෙන්නට, විශාරද නිහාල් ගම්හේවා විසින් කල ගීත රචනා බොහෝය. ප්‍රින්ස් උදයප්‍රියන්තගේ සඳ කුමාරියක් සහ ඔබ පෑ පෙම් සිනා, ලලිත් පොන්නම්පෙරුමගේ ඔබෙ සිනා මල් පිපී, රෝයි පීරිස්ගේ මා දෑසේ වේදනා ඉන් කිහිපයක් පමනකි. 

'ඇහල මල් පිපෙනා' ගීතය ඇතුලත් වන්නේ 'ලියතඹරා මල' ගීත ඇල්බමයට. මේ ගීතය එලිදැක්වුන සමයේ රසිකයන් මේ ගීතයට පෙම් බැන්ඳේ නිරායාසයෙනි. එවකට එෆ් එම් නාලිකා හඳුන්වාදුන් 'මියුසික් චාර්ට්' වල ඉහලම ස්ථානවල නිරතුරුවම රැඳී ඉන්නට මේ ගීතය සමත් වෙනවා. එයට මූලික හේතුව ලෙස මා දකින්නේ ගීතයේ ඇති සරල බස් වහර සහ ආදරබර ඇමතුමයි. තරුණ තරුණියන්ගේ හදවත් වලට කතා කරපු ගීතයක් ලෙස හැඳින්වුවොත් එහි වරදක් නැති බව මා සිතනවා. මෙහි අර්ථය ඉතාම සරල වන අතර ඕනෑම කෙනෙකුට මෙය පහසුවෙන් ග්‍රහනය කර ගැනීමට පිලිවන්. ගී පද බොහෝ දෙනාගේ ලවන් අතර මිමිනෙන්නේ ආයාසයකින් තොරව. ඒ වගේම මෙහි ඇති කතාව බොහෝ පෙම්වතුන්ගේ අත්දැකීමක්ද වන නිසාවෙන් මෙය විඳීමට ඇති හැකියාව වඩාත් තීව්‍ර කරනවා.  

බොහෝ කවීන් සහ ගේය පද රචකයන් ප්‍රෙමය ගැන කතාබහ කරනාවිට සොබාදහම ඈඳාගැනීමට රුචියක් දක්වනවා. ඉතින් මේ සොබාදහම ඈඳාගැනීමට නම් නිරන්තරයෙන් ගම්බද පරිසරයකට යාවීමට සිදුවෙනවා. ගීතය පටන් ගැන්මේම මේ ගම්බද පරිසරය තුලට රසිකයා ඇද ගන්නට සමත් වීම කැපී පෙනෙන්නක්. නිහාල් ගම්හේවා මහතා 'ඇහැල මල්' මේ ගීතය සඳහා යොදාගැනීමෙන් ගම්‍ය වන දේ නම් මේ අදාල පරිසරය වියලි කලාපයට අයත් එකක් වන බව. මොකද ඇහැල මල් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වියලි කලාපයේදී. කහ පැහැයෙන් දිදුලන මේ මල් සාමාන්යයෙන් පෙබරවාරි මාසයේ පිපීම ඇරඹෙන අතර අගෝස්තු මාසය වනවිට ගසට සමුදී ගිලිහෙන්නට පටන් ගනී. ඔබ ඇසල මල් දැක ඇත්නම් එහි සුන්දරත්වය අමුතුවෙන් කියාදියයුතු වන්නේ නෑ. ඒ තරම්ම සුන්දර වටපිටාවක අසිරි මවන්නට මේ මල් සමත් වෙනවා. 

ගම්බද පරිසරයක් මවන අනෙක් කාරනය තමයි 'දෙවට'. ගමක මේ දෙවට කියා අමතන්නේ පලලින් අඩු මාවතකට. ඇත්තෙන්ම එය පාගමන් කරුවන් සහ සයිකල් සඳහා යෝග්යය වූවක්. මේ දෙවැට දිගට බොහෝ වේලාවට ගස් සහ මල් බහුලව පවතිනවා.  එයිනුත් මේ ඇහැල මල් පිපුනු දෙවට සැබවින්ම නෙතට ප්‍රිය උපද්දනවා නොවනු මානයි. ඉතින් ඒ සා සුන්දරත්වයක් සමග මේ දෙවැට ඔස්සේ තරුණියක් පියමනිනවා. ඔබට මැවෙනවාද චිත්ත රූප...මටනම් මැවෙන්නේ චීත්ත ගවුමකින් සැරසුන ගම්බද තරුණියක් ලතාවට නිතඹ සලමින් ගමනේ යෙදෙනා අපූරුව. ඔබ මොහොතකට දෙනෙත් පියා එය මවාගන්න...දෙනෙත් විවර කරන්නට සිත් දෙන එකක් නෑ. 

යොදාගන්නා බස කොතරම් සරල වුවත්, රචකයා උපමා උපමේය යොදාගන්නට අමතක කරන්නේ නෑ. 
'පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා'
ඉතින් මේ දෙවැට දිගේ වෙන කිසිවෙකු යන සේයාවක් නොමැති වීම මේ තරුණයාට තරුණියගේ රූසිරි විඳීමට ඇති ඉඩකඩ වැඩි කරනවා. ඔහු කෙසේද ඇයගේ රූ සපුවේ පහස විඳින්නේ... දුරින් හිඳගෙන...

'ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්'

තරුණයා තරුණියගේ රූ සපුව විඳින අතර ඇයගේ බාහිර ස්වරූපය පිලිබඳව සැලකිලිමත් වෙන ආකාරයක් පෙනී යනවා. ඔහු ඇයගේ ස්වාභාවික ස්වරූපයට ඇලුම් කරන්නේ පියරු උලාගත් වත කිසිම වටිනාකමක් නැති බව පෙන්වමින්. මෙහිදීද රචකයා 'වනේ පිපුන මලක්' ආදී උපමා යොදාගෙන තිබෙනවා. 

'වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා'

වර්ථමාන සංකර සමාජයේ කොතෙකුත් පියරු බබාලා අපට හමුවෙනවාද? මගතොටදී මෙන්ම විවිධ ස්ථාන වලදී. අප ඒ මොහොතේ ඒ රූසිරිය වින්දාට මේ තරුණයා එය ප්‍රතික්ෂේප කරනවා. 
කාන්තාවකගේ මා දකින සුන්දරතම දේ තමයි මේ ඉඟි බිඟි. ඒ මගින් තරුණයන්ව වෙනමම ලොවකට ගෙනයාමට ඔවුන් සමත් වෙනවා. මෙහි කියැවෙන යුවතිය ඔහුගේ නෙතේ ගැටෙමින් ඔමරි බැලුම් හෙලන අතර නැවත ඔහු නෙත් මගහැර මුහුණ බිමට හරවා ගන්නවා. බලන්න කෙතරම් සොඳුරු දසුනක්ද....ඔබ හොඳින් මතක් කර බලන්න. ඔබට මේ දේ සිදුවෙලා ඇති. ඔබ කාන්තාවක් නම් ඔබ නිසැකවම එක් වරක් හෝ මේ ආකාරයට හැසිරිලා ඇති. අනේ...එහෙනම් එහි සුන්දරත්වය මා අමුතුවෙන් ඔබට කියන්නට ඕනේ නැහැනේ... 

ඉතින් මේ තරුණයා මෙසේ බලා සිටින්නේ ඇයගේ ආදරය අපේක්ෂාවෙන්. මේ ඔමරි බැලුම්, කෝල බැලුම් සියල්ලම සමග ඇයගේ මුවේ සිනහවක් මතුවෙනවා. ඒ එක්කම ඒ සිනහව ඔහුගෙන් වසන් කරන්නටදෝ ඇය නෙත් ඔහුගෙන් ඉවතට ගන්නවා. ඇය දෙවැට දිගේ දිගටම ගමන් කරනවා. නවතින්නේ නැති පාටයි...ඒත් වරක් පමන මදක් හැරී ඔහු දෙස නෙත් කොනින් බලා නැවත සිනා මුව නංවාගෙන ඉදිරියටම ඇදී යනවා. මේ ටිකම ඇති නේද මේ තරුණයාට....ඔව් ඔහුගේ සිත ඔහුට කියන්නේ ඇය හිමි ඔහුටම පමනක් බවයි. ඒ බව ඈ කියාපාන්නේ ඉඟියෙන්...මෙකී තරුණයාව සති ගනනාවක් මනෝ ලොව තුල සැරි සරවන්නට මේ බැලුම් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඇයගෙන් බහක් ලැබෙන තුරාවට මේ සුන්දරත්වයේ දැවටෙමින් වැට අද්දර ඇය එන මග බලාගෙන සිටීමට තරුණයා සුදානම්.....

'බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී
මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්'

ප්‍රෙමයේ සොඳුරු බව එයයි. මට මතක් වෙනවා චාමර වීරසිංහගේ ගීතයක කොටසක්. 'දුරින් හිඳ ඔබ දෙස බලන්නම්'. මෙසේ තමා පෙම් කරනා යුවතියගේ රූසිරි විඳිමින් ඇයගේ බහ ලැබෙන්කම් ඉවසා සිටින මේ ආකාරයේ ප්‍රෙමවන්තයන් ප්‍රෙමයට අභිමානයක්. ප්‍රෙමයේ සුන්දර බව විඳගන්නට හැකියාවක් ඔවුනට නිතැතින්ම තිබෙනවා. ඔවුන් අනිවාර්යයෙන්ම තම ප්‍රෙමය දිනාගන්නවා. එය සත්යයක්....සැබවින්ම සත්යයක්...
ඒ ඔබේ කතාව විය හැකියි....

~~තේජන අබේදීර~~




2 comments:

Unknown said...

මං ආස සිංදුවක්.. හරි පැහැදිලියි..

තේජන අබේදීර said...

බොහොම ස්තුතියි..