Thursday 12 April 2018

රෑ අහසේ තරු කැට පායා දිලුනා

කවියෙකුට නිර්මාණකරුවෙකුට එක පුංචිම පුංචි සිද්ධියක් එකම එක ඉඟියක් කොයිතරම් නම්
චමත්කාරජනක විදියට පද වැලක අමුණන්න පුළුවන්ද.. මේ ගීතය බලන්න.. මහා දිග කතන්දරයක් හෝ සිදුවීම් පෙළක් නෑ.. සරල ආදරණීය හමුවීමක් විතරමයි.. ඒත් වදනක් පාසාම ඒ හමුවේ අපූර්වත්වය චමත්කාරය අපේ හිතට දැනෙනවා නේද..

අදත් අහස පුරාම තරුකැට පිරිලා.. එකිනෙකට වෙනස් රටා ආකාසෙ පුරාම මවනවා.. ඉඳහිටක කොහේදෝ ඉන්න පුංචිම තරු කැටයක් ඉස්මතු වෙලා ඉඟි කරනවා.. අහස මොනතරම් විස්මිතද.. ඇහිපිය නොහෙලාම එක දිගට බලා ඉන්න පුළුවන් අපූර්ව සිතුවිලි සමුදායක් තනි වෙච්ච හිතක මවන්න අහස නිසොල්මන්ව ඉඩ දීල ඔහේ බලාන ඉන්නවා..


සඳ එළියෙන් නැහැවිච්ච තැනින් තැන තරු පොකුරු පොරවාගත්ත අහස යට ඔබත් මමත් පියමං කරපු ඒ දිනය නිතැතින්ම මගේ දෑස් අභියස මැවිල පේනවා.. සඳ එළිය වැටිච්ච ඔබේ මුහුණත් ඒ ආදරයෙන් පිරුණු තරු ඇස් දෙකත් ජීවිත කාලය පුරාවටම මේ තරු රටා අතර හැංගිලා මගේ නෙතට කඳුළක් නංවනවා.. මිය නොයන ආදරයක් තවමත් ලොව තියෙන බවට ගතු කියනවා..

රෑ අහසේ
තරු කැට පායා දිලුනා...
මා තනි වී
සිතිවිලි සයුරේ වෙලුනා...

තරු එළියක්‌ නිල් දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා...

ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක්‌ පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිලෙනවා
සිතට දැනෙනවා...

පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල
ගායනය, තනුව - ආත්මා ලියනගේ


අමාලි වසුන්දරා අතුකෝරළ 


No comments: