Thursday 12 April 2018

වාසනාවන් වාසනාවන්

කුලරත්න ආරියවංශයන් ලියා තිබෙන බොහෝ ගීත ආදර ගීත යැයි කීවාට ඔබ මා සමග එකඟ නොවෙන 
එකක් නෑ.
 

ආදරය කිව්වට ඉතින් ආදරය, විරහව වගේ ආදරය හා යාවෙච්ච ඉසව් ගැන එතුමා ලියන්නේ අනිවාර්යයෙන්ම හදවතට දැනෙන්නට. සුනිල් එදිරිසිංහයන්ට ටීම් ජයරත්නයන්ට ඔහු ලියූ ගීත පොඩ්ඩක් මෙනෙහි කර බලන්න.

ඉතින් මේ අතරේ කුලරත්න ආරියවංශයන් ලියනවා නන්දා මාලනියට ගීතයක් 'වාසනාවන් වාසනාවන්' කියල. ඇයි මේ වාසනාවන් දෙපාරක්ම. ඒක තමයි පැතුම. ඔහුට වාසනාවන්ත අනාගතයක් ගෙන ඒම. එක හිතින්ම පතන පැතුමක්.

ඇය මෙහෙම පැතුමක් පතන්නේ ඇයි?
ඇය සැබෑවටම ඔහුට ආදරය කරන නිසාවෙන්. ඇයට ඔහු අහිමිවීම පිළිබඳව පොඩ් කුහුලක් තියෙන ගානයි. ගීතය පුරාවට යටි අරුතක් විදියට කියැවෙන්නේ ඒ අවිනිශ්චිත බව කියායි මා විශ්වාස කරන්නේ.

'අහිමි වේනම් ඔබේ ලෝකය
දුරස් වී මා සිටින්නම්'

'ඔබේ සෙනෙහස වුවද මා ලද
වාසනාවකි සිතන්නම්'

ඒ අවිනිශ්චිත බව හදෙහි රඳවගෙනම ඇය ඔහුට නැත්නම් ඔහුගේ මතු අනාගතයට ආසිරි පතනවා.

'ඔබේ දිවිමග වාසනාවේ
සුවහසක් මල් පිපේවා
ඔබේ ලෝකයේ පැතුම් කුසුමන්
පිපී සුවඳින් පිරේවා'

මල් පිපීම, එම මල් වලින් අවට පරිසරය සුවඳවත් කිරීම අප ප්‍රියකරන්නක්. අපි සැවොම ප්‍රිය කරන්නක්.

ඔහු පිළිබඳව ඇය තුල තිබෙන්නේ දැඩි ගෞරවයක්.

'සිතින් සිපගෙන ඔබේ පායුග
සදා සැනසී හිඳින්නම්'

'ඔබෙන් හඳුනාගත් මිනිස්කම
තුලින් මා ලොව දකින්නම්'

ගී පද කෙතරම් රසවත්ද අර්ථවත්ද කියා ඔබට වැටහෙනවා ඇති. ඒ වගේම රෝහණ වීරසිංහයන්ගේ සංගීතය නිසා ගීතයේ රසය තීව්‍ර වෙනවා. කොහොමත් කුලරත්න ආරියරත්නයන්ගේ ගීපද රෝහණ වීරසිංහයන්ට අමුතු නෑ. ඔහුගේ පද රචනා බොහොමයක් සංගීතවත් කරන්නේ රෝහණ වීරසිංහයන් විසින්.

නන්දා මාලනියගේ ගීත වලට කැමති අයට වුනත් අමතක වෙලා තිබුණු ගීතයක් වෙන්න පුළුවන් මෙය. දැන් ඉතින් හොඳම වෙලාව ආයෙත් ඒ මිහිර විඳින්න...

වාසනාවන් වාසනාවන්…
ඔබේ දිවි මග වාසනාවේ
සුවහසක් මල් පිපේවා…
ඔබේ ලෝකය පැතුම් කුසුමන්
පිපී සුවඳින් පිරේවා…
වාසනාවන් වාසනාවන්…

අහිමි වේ නම් ඔබේ ලෝකය
දුරස් වී මා හිඳින්නම්…
සිතින් සිපගෙන ඔබේ පා යුග
සදා සැනසී හිඳින්නම්…

ඔබෙන් හඳුනාගත් මිනිස්කම
තුළින් මා ලොව දකින්නම්…
ඔබේ සෙනෙහස වුවද මා ලද
වාසනාවකි සිතන්නම්…

ගායනය -විශාරද නන්දා මාලනී
පද රචනය - කුළරත්න ආරියවංශ.
සංගීතය - රෝහණ වීරසිංහ.

~තේජන අබේදීර~


No comments: