හී......හී..නෙකින් ඒ හඩට මගෙ හිත බැදුනයි
මගෙ හිත බැදුනයි
රෑන බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
නුබෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ
රෑන බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
නුබෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ
මී.......මී..රකින් කීවොතින් ගීකවි සිංදූ
ගීකවි සිංදූ
ආ......ආ.. ආදරෙයි කෝල පෙම් රූබර ළන්දූ
රූබර ළන්දූ
හව්හරනෙට පැළ ඉණි වැට විතරයි කළ එළියේ
මා කාන්සියේ රෑ වරුම හිරිමල් හුරතලියේ
හව්හරනෙට පැළ ඉණි වැට විතරයි කළ එළියේ
මා කාන්සියේ රෑ වරුම හිරිමල් හුරතලියේ
පා......පා..ළුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
ගං......ගං..ගොඩින් කවුරුන් හෝ කැන්දන් එන්නේ
නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වෙන්නා
රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා
රෑ ......රෑ හදේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හී......හී..නෙකින් ඒ හඩට මගෙ හිත බැදුනයි
මගෙ හිත බැදුනයි
ගායනය – පණඩිත් ඩබ්.ඩී. අමරදේව සහ නිරංජලා සරෝජිනී
පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
අජන්තා රණසිංහයන් රචනා කල ගී පද තුල ගැමිජීවිතය හා ගැමි පරිසරය මනා ලෙස සුසංයෝජන වු ගී රාශියකි. ඒ අතරින් එදා අප අතර ජනප්‍රිය වු මෙම යුග ගායනය අද විද්‍යුත් මාධ්‍ය තුලින් නම් ඇසෙන්නේ ඉතාමත් කලාතුරකිනි. කේමදාස මාස්ටර්යන්ගේ සංගීතයෙන් ඔපවත් වු මෙම ගීතයට නිරංජලා සරෝජනී සමග ගායනයෙන් දායක වන්නේ හෙලයේ මහා ගාන්ධර්වයාණන්ය. ආචාර්ය පන්ඬිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ අභාවයත් සමග ඔහුගේ ගීත ද අභාවයට යමින් පවතී ... එවන් වකවානුවක ඔහුගේ ගීතයක් ඔබ හා බෙදාගැනීමට සිතුවේ මේ සදහා අරුත තරම් වෙන තැනක් කොහිද යන වග වැටහුන නිසාවෙනි. ගැමි පරිසරය තුල හේන පිලිබද හා මා ලැබු අත්දැකිම් රාශියක් මීට පෙර අරුතට එක් කල "ගීතයට වැඩි යමක් " හී පල කෙරුවෙමි.
රෑ.....රෑ හදේ හේනකින් සීපද ඇහුනයි
හී......හී..නෙකින් ඒ හඩට මගෙ හිත බැදුනයි...
ගීතයේ මුලින්ම රචකයා ගම හා හේනක චිත්තරූපයක් රසික සිත් වල ජනිත කරන්නට දරන උත්සහය අපූරුය. දහවල පුරා දැඩි අව් රශ්මියේ වැඩකර විඩාපත් ගතට සැනසුමක් ලැබෙන්නේ රාත්‍රිය තුලය.. තම දුක.. සතුට... වෙහෙසකර විඩාව.. සංසිදුවා ගැනීමට සී පද මුවින් පිටවන්නේ ඉබේටය. එවන් පද තුල දුක.. සතුට.. මෙන්ම අාදරය.. විරහව ද ගැබ් වී ඇත. රචකයා පවසන අන්දමට නම් ගම හා හේන හා මහ දුරක් නැත. අනෙක නම් ඈතින් ඇසෙන ඒ සී පද තුලින් පරිසරයේ නිස්කලංක භාවය මෙන්ම යම් කිසි කාලරාමුවක් ද රසිකයා තුල චිත්‍රනය කරයි.. ගෙදර සිටින මේ යුවතියට ඔහුගේ සී පද යාන්තමට ඇසෙන්නේ ඒ නිසාවෙනි. එදා ගැමි පරිසරය තුල ආදරය මුලපුරන ආකාරය ඉතාමත් සුසංයමයෙන් කවියා ගොඩනගන්නට දරන උත්සහය අගය කල යුතුය
"රෑන බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ.." පද තුල යුවතිය නිසි කලවයස සපුරා ඇති බවක් හගවන්නට කවියා දරන උත්සහය අපුරුය...
" හව්හරනෙට පැළ ඉණි වැට විතරයි කළ එළියේ..
මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ ..."
යන ගී පද තුල තනිකඩ ජීවිත කුඩුම්බය තුල ඇති කටුක අත්දැකීම් ගොන්නක් කැටිකර ඇත.. හදිසියේ කඩාවදින අලියන්.. උෘරන් වැනි සතා සිව්පාවා පමණක් නොව ලෙඩ රෝගයකදී පවා හව්හරනට කෙනෙක් නැත.. ඒ සියල්ල තමන් විසින් විද දරාගත යුතුය . නින්දක් ලබනවානම් ලැබෙන්නේ එළිය වැටෙන්නට පැයක් දෙකක් තබා පමණි.. ඉතින් රෑ වරුවම කාන්සියේ සිටින්නේ අනාගත බලාපොරොත්තුවක් යටපත් කරගනිමිනි එය කවියා ව්‍යංගයෙන් කියන්නට උත්සුක වෙයි
පා .....පා..ළුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
ගං......ගං..ගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ..
නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වෙන්නා..
රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා....
කවියේ අන්තරා කොටස් තුලින් කවියා අපූරු දෙබසක් රසික හදවත් තුල ජනිත කරවයි. එය ප්‍රේමාන්විතව රිසි සේ විදින්නට රසික අපට ඉඩ හරියි.. ආදරයේදි බොහෝ නපුරු බස් ආදරය තව තවත් ලංකරන්නේය ... රාත්‍රි කැලෑව තුලින් නැගෙන හඩවල් රෙෘද්‍රය.. කටෝරුය ..බයංකාරය .. නමුත් ඒ හඩට පරිසරයේ අලංකාරත්වය පහ කරදැමීමට නොපුලුවන. කවියාගේ මේ ගැලපීම අපුරුය.. එය අත්දැකීමෙන්ම ලියවූවක් බව අත්දැකීම් ඇත්තන් දනී." රෑ බැත පාගන කමතෙදි ගී කියමුද දෙන්නා .." යන පද තුල ව්‍යංයෙන් ආරාධනාවක් කරයි. එය කවියා ඉතාමත් සුසංයමයෙන් ඉදිරිපත් කිරීම තුලින් කවියට අපූර්වත්තවක් ලැබී ඇත...
( පසු වදන )
අරුත තුල බොහෝ ගායක ගායිකාවන්ගේ තනි ගීත රසාස්වාදනය කලත් යුග ගීයක අරුත් ගැන්වීම් පලවන්නේ ඉතාමත් අඩුවෙනි. මේ ගීතය මා ඔබට ගෙන ඒමට සිතුවේ වර්තමාන සමාජය තුල ගී පද රචකයන් ගැන ඇති අල්ප දැනුම ගැන සිතේ ඇති වු කලකිරීමක්ද සමගිනි. එයට හේතුව නම් සංගීත ක්ශේත්‍රයට අනුපමේය කාර්යබාරයක් ඉටු කල අජන්තා රණසිංහ නම් ගී පද රචකයා කාන්තාවක් යැයි තමන් මේ වන තෙක් සිතා සිටියේ යැයි පැවසු වයසෙන් මටත් වැඩිමල් වු අයෙකු නිසාවෙනි. එයට කම් නැත.. යම් කෙනෙකුට අජන්තා කියු සැනකින් සිහියට නැගනුයේ කාන්තාවකගේ ප්‍රතිමුවකි... යමෙකු පිරිමියකු ද කාන්තාවක ද යන්න අපට කම් නැත.. නමුත් ඔහු හෝ ඇය ගී පද රචකයෙක් යන්න අපට වැදගත්ය. අවාසනාව නම් වර්තමාන සමාජය තුල තරුණ මහලු කී දහසක් නම් මොහුන් ගැන දැන නොසිටිද්ද යන්නය ..
සුභාවිත ගීතය දරාසිටි මහ පොලොව පසාරු කරමින් කිදාබැසු මහ මුල් විනාශ වෙමින් පවතින යුගයක එ් මහ වෘක්ෂයේ ඵල දරා යලි නැගී එන්නට නම් අප කුමක් කල යුතුද ?... බසයකට ගොඩ උවත්.. කඩයකට ගොඩඋවත්... ගෙදරකට ගොඩඋවත්.. අද අසන්නට ලැබෙන්නේ ගොෂාකාරි වු මනස විකෘති කරමින් තවඑකෙකු මරාගෙන මැරෙන්න පුළුවන් තරම් හැගීම් දනවන සිතට පීඩාවක්ම ගෙන දෙන මර ලතෝනි පමණි. ඉතිං අපි කාට දොස් නගමුද ? මනස විකෘති කරගනිමින් ගීත රචනා කරන රචකයන්ට ..! නැතිනම් හොටු පෙරගෙන අඩමින් ගායනා කරන ගායකයන්ට ..! එහෙමත් නැතිනම් මේ ගීත අසා මරාගෙන මැරෙන්න හදන වර්තමාන පරපුරට ද ?
කොන්ක්‍රීට් තට්ටුවක් යට ඉදන් ලියවෙන බොහෝ නිර්මාණ තුල ඇත්තේ එකම මිශ්‍රණයක් පමණි. සිමෙන්ති ගල් වැලි තුලින් නිර්මාණය වන්නේ රෙෘද්‍ර ..ගොරහැඩි ..කටෝර ..නිර්මාණ පමණක්ම බව වර්තමානයේ බිහිවන ගීත යැයි කියාගන්නා ගී නිර්මාණ දෙස බලන ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. නුග සෙවනත්.. බෝ සෙවනත් අතීත ගීරචකයා මනාව හදුනා ගත්තේ එහි සුන්දරත්වය විදපු නිසාවෙනි. එම නිසා නුග සෙවනක සිට ලිය වුණු ගීත ප්‍රේමාන්විත වු අතර.. බෝ සෙවනේ සිට ලියවුනු පද රචනා ධාර්මිකත් විය. වර්තමානයේ එය හාත්පසින්ම පරස්පර වී ඇත. අද ගී රචනා බිහිකරන්නේ බූට් කාපු උන්ය... ඔවුන්ට ජීවිතයේ ඇත්තේ එකම එක් අත්දැකීමකි... එමනිසා ඔවුන්ට ඇති එකම අත්දැකීම ගීත බවට පත් කරන්නට දිනපතා උත්සහ දරන්නේය. වර්තමාන රසික පිරිස් ද ඊට දෙවෙනි නැත.. උන්ගේ එකම එක් අත්දැකීම මුන් තමන්ගේ කරගෙන වමාර වමාරා රස විදින්නේය... ඉතිං අපි කාට දොස් නගමුද ?
~බණ්ඩාර කේ එම් පී කුලතුංග~
No comments:
Post a Comment