Sunday 6 March 2016

පැහැසර අරුණක ඉර මල පිපුණාවේ


පැහැසර අරුණක ඉර මල පිපුණාවේයුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ
හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ..//

ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ//

පැහැසර අරුණක...

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
පද රචනය - නිලාර් එන්. කාසිම්
සංගීතය - සමන්ත පෙරේරා

තුන් කල් ගී දැහැන පිටුවෙ අද පල වෙලා තිබුණ ගීයක් හදිසියම නෙත ගැටුනා..කාලෙකට කලින් ඔබත් මමත් විඳවපු අඳුරු යුගයක ගැයුණු තවත් අරුත්බර ගීතයක් විදිහට මන් මේ ගීතය දකිනවා...(නමුත් සමහරුන් නම් අද ඉන්නෙ එහෙම යුගයක් ගැන අහලවත් නැති විදිහට වීමයි කණගාටුව..)කොහොම හරි ගීතයේ කොටස් අද කාලෙටත් හොඳින් ගලපගන්න හැකි වෙන නිසා මේ ගීතයේ අරුත සොයා යන්න හිතුන..
ගීතය ගායකයාගේ වර්තමානය ගැන අපේ පැහැදීමක් නොතිබුණත් ඔහු විසින් අපේ ගී පොතට දායාද කරපු තවත් හොඳ ගීතයක් විදිහට මේ ගීය දකින්න පලුවනි කියලයි මම හිතන්නෙ..
අප රට තිස් වසරක් පුරා පැවති වූ කුරිරු යුද්ධයකින් බැට කාපු රටක්..අද එය නිමා වී තිබුණත් තවමත් ඒ අඳුරු සෙවනැලි අප වටා තිබෙණ බව ඔබටත් මටත් නොරහසක්...ඉතින් අප හැර උතුම් වූ සාමයේ සංහිඳියාවේ අගය වටිනාකම දන්නෝ වෙන කවුරුන්ද...
අඳුරු යුධ සමයේ අප සියලු දෙනාගේම සිත් සතන් තුල වු ඒ සාමයේ පැතුම නිලාර් කාසිම් පද පේලි කිහිපයකට ගොනු කිරීම විශිෂ්ඨ ලෙසම සිදු කර තිබෙනවා..
ගීය අසන පළමු මොහොතේ දීම දැනෙනු යේ එහි ඇති ඉතා ම සජීවී හා ශක්තිමත් වූ සමන්ත පෙරේරාගේ සංගීතය යි.ගීතය පටන් ගැනෙණුයේ ද ජන සමුහයක් නගන හඬක් ලෙසිනි. එතැන් පටන් ගීය අවසන් වන තුරුම ඉතාම සවිමත් ව ගායකයා හා කරට කර සිටිමින් සංගීතය වැයෙනව..

පැහැසර අරුණක ඉර මල පිපුණාවේ
යුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ
හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ

අලංකාර උදයෙක මලක් මෙන් පිපිණු හිරු පායද්දී යුග ගණනක් අඳුර ඇති කළ යුද්ධයේ දුම් වළලූ තුනී වී, පරෙවි පියාපතක සරය ඇසීමට සියළු ජනයා සිහින දකිති. සීතල උදයෙක ගුලි වී නිදන සුළු කාලයේ දී දකින සිහිනයක පවා එම තත්ත්වය කවදා උදා වන්නේ දැයි රචකයා සිතයි.
මෙම ගීත රචනාව දෙස බලන විට එහි යෙදෙන්නා වූ වචනයන් හි සංකේතාත්මක අරුත් ගැන සොයා බැලීම ද වටී...
"හිමිදිරියේ...සීතල හීනෙක තැවරීවත්.." ලෙස කියැවෙන කොටස දුර්ලභත්වය ගැන කියා පායි. අප රට ජනයා උදෑසනට ගුලිවී නිදා ගනුයේ ඉතා කලාතුරකිනි..(මේ කතාව ඉතින් අද කාලෙ ඉන්න සමහරු දිහා බැලුවම විහිලුවක් විදිහට පෙනෙයි..ඒත් ගීතයේ අරුත පැත්තෙන් එහෙම හිතමු හොඳේ..) එවන් විටෙක වුව ද හීනයක් පෙනීම ඊටත් කලාතුරෙකින් සිදු වන්නකි. එවන් සිහිනයක් තුළ හෝ යුද දුම පහව යුගඳුර දුරු වී, පරෙවි පියාපත් දැකීම එනම් සාමයේ පහස අත් විඳීම ජනතාවගේ පැතුම බව දක්වයි..

සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ..

ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ..

"සිත සිර කර ඇති දඬු වැට" නම් ජාතිවාදය යි. එය බිඳ සෙනෙහසින් සිත් යා වීම දෑලම යා කර ඉඳු සැව්(දේදුණු) පෑයීම මගින් අර්ථවත් කෙරේ. සමාන අරුත් දෙන පද යුගල බැගින් යෙදීම මගින් ගැටලුවෙහි දෙපැත්තක් අති බව රචකයා පෙන්වයි (සිිත-සිත, ලිය වැල්)
සිත් අතර ජාතිවාදය බිඳී සිත් යා කරන සෙනෙහස ගලන දිනයේ දී, මල් වැල් යළිත් අවදි වී මල් පුබුදන බවත්, දෑලම (උතුර-දකුණ) යා කර දේදුණු පායන බවත් රචකයා කියා සිටී.
ජනප්‍රිය රැල්ලේ කරවටක් ගිලී සිර වීමට පෙර අසංක ප්‍රියමන්තයන් විසින් ගයන ලද මෙම ගීතය ඔහුගේ සැබෑ ගායන කුසලතාවයන් විදහා පාන්නක් ලෙස දක්වන්න පුලුවන්. ජනප්‍රිය රැල්ලෙන් මිදී නැවත මෙවැනි යුග යුග පවතින නිර්මාණ කිරීමට ඔහුට හිතක්වත් පහල වෙන්න කියල අපි හැමෝම පතමු නේද..
අවසානයේ කියන්න ඕනෙ යුද බිය දුරු උනත් අද අප රට තුල ඇවිලීගෙන යන ජාතිවාදය නම් සීතල යුද්ධයත් ඉක්මනින්ම නිමාව දකිනවනම් අපේ අනාගතය මීටත් වඩා සුභදායිවනු ඇතැයි මා විශ්වාස කරනව..ජය වේවා.. !!!






~~දුල්ෂාන් චමින්~~


2 comments:

Thilina Weerasinghe said...

අද තමයි තේරුම් දැන ගත්තේ....
ඔබට බොහොම ස්තුතියි....

Anonymous said...

නියමයි..