Tuesday, 5 September 2017

සංසාර සාගරේ

කොහේ සිට පැමිණියේද? නැවත කොතෙක් දුර ගමන් කරන්නට සිදු වේවිද? ඉදින් මේ ඉමක් කොණක්
නොපෙනෙන නොහැඟෙන සංසාරය මහා විසල් සාගරයක් වූයේ නම්.. එහි සිසාරා මා ලද්දාවූ ජීවිතය නම් වූ යාත්‍රාව පදවමින් මම එන්නෙමි. එම ගමනේ ඒකායන පැතුමද නොසෙල්වෙන අරමුණද වන්නේ හුදෙක්ම ඔබම පමණකි. ඔබ නිසාවෙන්ම ඔබ සොයා මම ගමන් කරමි.

සාගරය මා එන ගමන් වූ කලෙක දුර ඈත ගොඩ බිමක නොදන්නා එක් බිම් කඩක ඔබ මේ මොහොතේ පවා ඉන්නා බව මම දනිමි. ඔබේ ජීවන හුස්ම දැනෙන දරන මුදු සුළඟක්, ඔබේ නෙත් පහස විඳින දසුනක් ඇති බව මම මෙනෙහි කරමි. ඒ ඔබ, මගේ ජීවන යාත්‍රාවට මං ළකුණක් වන්නට හැකි පහන් ආලෝක ධාරාවක් මා වෙත එවන තෙක් මම බලා හිඳිමි. යම් දිනෙක ඒ එළිය ඔස්සේ පැමිණ මග සොයා ගත් විටෙක මා මගේ යාත්‍රාව නැංගුරම් ලමි.. ඔබේ රුව කොහේ හෝ හිඳ මා වෙත ළඟා වනු බලාපොරොත්තුවෙන් දැස් දල්වා සිටිමි.


ඔබේ ජීවන වෙරළ අභියසදී ඔබේ සිනහ සපිරි වත මඩලෙන් මම සැනසෙමි.. ගෙවුණු දුර්ග වූ මගෙහි විඩාවන් ඔබ කෙරෙන් නිවාලමි.. ඉදින් නැවතත් එක් වෙනු මැන මා සමඟ.. එක්ව යන්නට ජීවන යාත්‍රාව වෙත.. ගෙවාලන්නට සංසාර දුර..

සංසාර සාගරේ
ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමී
ඔබ නිසා පදවන්නෙමී

ප්‍රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි මං ලකුණු දන්වන්න
නැංගුරම් ලන තැනට පෙනෙන සේ ඔබ ඉන්න

වෙරළ වෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී
දුර්ග වූ ගමන් මග විඩා ගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න මා සමඟ එක්වන්න..

ගැයුම : නන්දා මාලිනී
පබැදුම : සුනිල් ආරියරත්න
ස්වර : සරත් දසනායක

සදාතනික වූ ප්‍රේමයක් පතාගෙන ඒ වෙනුවෙන්ම ජීවත් වන යුවතියක සිය පෙම්වතා තමන් සේම තමා වෙනුවෙන් කැප කිරීම් කරමින් අත්වැලක් වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.. ඇගේ සියළු අරමුණු ඔහු වෙනුවෙනි. ඔහු සමීපයෙහි ඇයගේ සියළු අපේක්ෂා ඉටුවීම ඇගේ පැතුමයි. ඇය සිය ජීවිතය මහා සාගරයේ පැද යන යාත්‍රාවකට උපමා කරයි. ඇගේ අරමුණ සඵල කර ගන්නට ඔහුගෙන් ද පිටිවහලක් සොයයි. ඒ පිටිවහල ප්‍රදීපාගාරයේ ආලෝකය ලෙස දකියි. ඇය ජීවිතයේ විඳින අනන්ත වූ දුක් කම් කටොළු ඒ දිගු ගමනේ විඳින වෙහෙස බව පවසයි. ඉතිරි මග ඇය සමඟ එක්ව යන්නට ඔහුට ඇරයුම් කරයි.. ගීතයේ එය දැක්වෙන්නේ යාත්‍රාව පදවන්නට කෙරෙන ආරාධනයක් ලෙසිනි. ව්‍යංගාර්ථයන් ගෙන් යුක්තව මේ පද රචකයා විසින් තැත් දරන්නේ මේ යුවතියගේ ප්‍රේමයේ අපූර්වත්වය විදහා දැක්වීමටයි.

අසන වාරයක් පාසා ලේ නහර වැල් විනිවිද යන මේ ගීතයේ සංගීතය පද වැලෙහි අපූර්වත්වය දෙගුණ තෙගුණ කරනවා නොවේද? වෙන් වෙන්ව රස විඳිය හැකි සංගීත ඛණ්ඩයන්ගෙන් විටෙක ශෝකය ද, ප්රේමයද විරහව මෙන්ම බලාපොරොත්තුවද සිත තුළ මවන්නේ කෙතරම් විශ්මිත ලෙසද?

සරත් දසනායකයන්ගේ සුන්දරතම ස්වර පෙළහරකින් හැඩ වුණු මේ සුනිල් ආරියරත්නයන්ගේ පද පෙළට ජීවය මුසු කරන්නේ නන්දා මාලිනියයි.

~අමාලි වසුන්දරා අතුකෝරල~


1 comment:

Janaka said...

ස්තුති. දිගටම ලියන්න. සුබ පැතුම්