නවක ගීතවල තිබෙන වැරදි පෙන්වාදීමට බොහෝදෙනා සිටින බැවින් මම අද හරවත්, එමෙන්ම අපට වැදගත් පණිවිඩයක් දෙන ගීතයක් ඔබ හමුවේ තබන්නට සිතුවා.
මවුපියන්ට කුලදෙටුවන්ට සැලකිය යුතු බව සහ එසේ කල යුත්තේ ඇයිද යනවග ඉතා පැහැදිලිව බෞද්ධ දර්ශනයට අනුකූල වන පරිද්දෙන් ගීතයට නගන්නට, වින්සන්ට් සෝමපාල මහතා සමත් වී තිබෙනවා.
ඔබ මා ඒ ගීතය හඳුනන්නේ 'මවු පිය ආදී සොඳුරු තමාගේ කුල දෙටුවන් සෑමා' යන්නෙන්.
මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා ...//
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී //
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා
මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා
ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා
යන මේ අගනා ප්‍රතිඵල නේකා ...//
ගෙනදී සංකා නෑ මෙලොවේහී
සාදරයෙන් පිදුමා
කුල දෙටුවන් සෑමා
මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා
ලෝකනාථගේ මංගල සූත්‍රේ
ඒ විශේෂයෙනි පා වදාලේ ...//
වැඩ සෑදේවී ඉන් දෙලොවේහී //
කටයුතු සංග්‍රහයෙන් පුදව්
කුල දෙටුවන් සෑමා
මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා
මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා
ගායනය- කෝකිලදේවී වීරතුංග සමග එච්.ඩබ්. රූපසිංහ
පද රචනය - වින්සන්ට් සෝමපාල
තනුව - එච්.ඩබ්. රූපසිංහ
ප්‍රේමය, ස්නේහය සිත්හි තබාගෙන කුල දෙටුවන් සැලකීම කලයුතු බව ගීතයේ මුල් කොටසෙන් කියැවෙනවා.
ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා
යන මේ අගනා ප්‍රතිඵල නේකා ...//
ගෙනදී සංකා නෑ මෙලොවේහී
සාදරයෙන් පිදුමා
එසේ කුල දෙටුවන් පිදීමෙන් අපට ලැබෙන්නේ කුමක්ද? ඒ ගැන නොවෙද මේ කොටසින් කියැවෙන්නේ. ආයුෂ වැඩිවීම, ප්‍රඥාව ලැබීම, සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකිවීම..වාගේ ප්‍රතිථල කිහිපයක් මේ යහපත් ක්‍රියාව නිසාවෙන් අපට ලැබෙන බවයි කියැවෙන්නේ.
ලෝකනාථගේ මංගල සූත්‍රේ
ඒ විශේෂයෙනි පා වදාලේ ...
වැඩ සෑදේවී ඉන් දෙලොවේහී
කටයුතු සංග්‍රහයෙන් පුදව්
කුල දෙටුවන් පිදීම ගැන තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් කරුණු කාරනා වදාලා ඇති බව සූත්‍රවල කියැවෙනවා. එසේ පිදීම මගින් මෙලොවටත් එලොවටත් යන දෙකටම වැඩ සෑදෙන බව, නැත්නම් දොලොවටම ඒ සිදුකරනා දෙයින් සෙතක් සැලසෙන බව කියැවෙනවා.
ඉතා කෙටි පණිවිඩයක් වුවත් එය ඉතා වටිනා බව ඔබටම තේරුම් යනවා නොඅනුමානයි. මේ පිදීම් නිශ්චිත දවසකට දෙකකට වගේ සීමා නොකරමින් එය හැමදාටම එක සිතින් ප්‍රේමයෙන් සිදුකරන්නේ නම් ඔබටම යහපති.
මෙවනි විශිෂ්ට අවවාදයක් මෙන්ම කරුණු පැහැදිලි කිරීමක් බුදු දහම හා සමග සසැඳ ගීතයක ආකාරයට පද රචනයේ යෙදුනු ඒ අපූර්වතයා ගැනත් යමක් සටහන් නොකලොත් එය සෑහෙන අඩුපාඩුවක් බව මා විශ්වාස කරනවා.
පෙර සටහන් කළ ආකාරයට ඔහු නමින් 'වින්ස්ටන් සෝමපාල'. ජයන්ත අරවින්දයන්ගේ පියාණන්. වරදත්ත අරවින්දගේ සීයා. නාඩගම් සංගීතඥයකු වූ දොන් මර්තේලිස් මාස්ටර් ඔහුගේ පියාය. ඔහුගේ උපන් ගම පානදුර ප්‍රදේශයේ පිහිටි සරික්කමුල්ලය. භාෂා ඥානයෙන් හා සංගීත ඥානයෙන් හෙබි මෙතුමා සංගීත ගුරුවරයෙකු සහ සංගීත පරීක්ෂකයෙකු ලෙස සේවය කලේය. පණ්ඩිත් අමරදේවයන් සහ නීලා වික්‍රමසිංහ මෙතුමාගේන් දැනුම ලබාගත්තෝ වෙති.
සංගීත විශාරධවරයෙකු වූ මෙතුමා 'ගීත කලා නිධි' යනුවෙන් පර්යේෂණ ග්‍රන්තයක් ලියා සම්මාන හිමිකර ගැනීමට සමත්විය. එසේ සම්මානයක් ලද පළමුවැන්නා වීම ඔහු ලද භාග්‍යයකි.
මේ ගීතයේ තනු නිර්මාපකයා සහ කෝකිලදේවී වීරතුංග මැතිණිය සමග මුල් ගායනයට දායක වූ පුද්ගලයා වන්නේ එච්.ඩබ්. රූපසිංහ මාස්ටර්ය. හෙළ සංගීතයේ නොමැකෙන හඬ රුක්මණී දේවී සමග එතුමා ගායනා කළ 'සිරි බුද්ධගයා විහාරේ ගීතයත් එතුමාගේම තනු නිර්මාණයකි.
ඔබ අසූව දශකයේ මුල් භාගයේ හෝ ඊට පෙර ඉපදුන අයෙක් නම් ඔබට මතක ඇති සුදෝ සුදු කොණ්ඩයක් සහිතව සුදු සාරියක් ඇඳගෙන 'මවුපිය ආදී' මේ ගීතය ගයනා ගීත කෝකිලාවිය. ඇය කෝකිලදේවී වීරතුංග.
මේ ගීතයේ මුල් ගායනය කෝකිලදේවී වීරතුංග සමග එච්.ඩබ්. රූපසිංහ මාස්ටර්ය. පසුව එතුමියට, විශාරද වික්ටර් පෙරේරා මහතා යුග ගායනයෙන් සහයවේ.
මෙතුමියගේ ගීත කෞෂල්‍ය කෙසේදයත් 1952 දී ශ්‍රී ලංකාවට පැමිණි භාත්ඛන්ඩේ සංගීත නිකේතනයේ විදුහල්පති රත්නජංකර් පඩිතුමා විසින් එතුමියව විශිෂ්ඨතම ගායිකාව ලෙස නම්කරන ලදී. විශිෂ්ටතම ගායකයා වූයේ පණ්ඩිත් අමරදේවයන්ය.
ඇය ගීත ගැයුවේ ග්‍රැමෆෝන් තැටියකට. හතලිහේ දශයයේදී පමන තමයි මෙය තැටිගත වන්නේ. එච් එම් වී (His Master's Voice) ලේබලය යටතේ ගී තැටි අංක 9374 දරණ ග්‍රැමෆෝන් තැටිය සඳහා එතුමිය සමග එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් මේ 'මවුපිය ආදී' ගීතය ගායනා කරන ලදී.
'මවුපිය ආදී' ගීතය ගැන තවත් සොයාබැලීමේදී දැනගන්නට ලැබුන දෙයක් තමයි මෙය, වර්ශ 1936 වසරේ දී බෙංගාලි ගායිකාවක් වූ කුමාරි ජුතිකා රායි සිය ගුරු දේව කමල් දාස්ගුප්තා සමගින් ගායනා කළ හින්දි ගී තනුවක් ආශ්‍රය කරගෙන කළ තනු නිර්මාණයක් බව.
ඒ කෙසේ වෙතත් සංගීත හැසිරවීම සහ ගායනය ඉතා උසස් මට්ටමක පවතින බවයි මා ඇතුලු මේ ගීතය ගැන අදහස් දක්වන බොහෝ දෙනාගේ මතය. මේ ගීතය අප කුඩා කාලයේ නම් අපට අසන්නට ලැබෙන ගීතයක්. දැන් මාධ්‍යවල මේ ගීතය ප්‍රචාරය වනවා මා නම් අසා නෑ. මෙය අසන්නට සිත් වුනොත් යූ ටියුබ් මගින් තමයි අසන්නට හැකියාවක් ලැබෙන්නේ. නමුත් මෙවැනි ගීත ප්‍රචාරය කිරීම සිදුකල යුතුයි, පැරැණි ගීත ප්‍රියකරන රසිකයන්ට පමනක් නොව නූතන පරපුරේ අයට පවා.
මෙවැනි ගීත රචනා සහ ගායනයන් මගින් නව පරපුරට උගත හැකිදේ බොහොමයි.
තරුණ පරපුර හොඳ රසිකත්වයක් කරා ගෙනයාමට ප්‍රවීණයන් සිදුකරන උනන්දුවේ අඩුවක් මෙන්ම නවක පරපුරද ප්‍රවීණයන්ගෙන් එවැනිදේ උකහා ගැනීමේ අඩුවක් පෙනෙන්නට තිබෙනවා. මෙය නිවැරදි කරගන්නේ නම්, ගීතය අදටත් හෙටටත් නොනැසී පවත්වාගැනීමට එය මහඟු රුකුලක් වේවි..
~තේජන අබේදීර~~
No comments:
Post a Comment