Wednesday 9 March 2016

වසන්තේ නිදා වුන් යොවුන් කෝකිලාවුන්..

කාලගුණික සහ දේශගුණික වෙනස්වීම මත වර්ශයක් ඍතු හතරකට බෙදා තිබෙනවා. මේ වෙනස් වීම් වලට
හේතුව පෘතුවි අක්ෂයේ අංශක 23 හමාරක ආනතිය සහ පෘතුවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමන් මගක් ඇතිකරගෙන තිබීම. ඉතින් මේ ඍතු බේදය අපටත් තරමක බලපෑමක් කරනවා. අප සමකය ආසන්නයේ පිහිටා තිබීම නිසාවෙන් අපට තදින්ම ඍතු බේදය බලපාන්නේ නෑ.

වසන්තය ගිම්හානය සරත් සහ හේමන්තය ලෙස මේ ඍතු නම් කරන්නට පුලුවන්.

වසන්ත කාලයේදී පරිසර උෂ්ණත්වය ඉහල යෑම ආරම්භවේ. මේ හේතුව නිසාවෙන් හිම දියවී පරිසරය තරමක සුන්දර තත්වයකට පත්වීමේ අඩිතාලම වැටෙනවා. ගස් වැල් පිබිදී මල් හටගැනීම ආරම්භ වෙන්නේ මේ කාලයේදී.

වසන්ත කාලය සමග අපට මතකෙට නැගෙන ගීත කිහිපයක් තිබෙනවා. 'වසන්ත කාලෙට සුරන්ගනාවන්, වසන්තයේ මල් කැකුලයි, වසත් කාලය මනරම්, වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, වස්සානයට අත වනන..'

මෙයට පසුව පැමිනෙන්නේ ගිම්හාන කාලයයි. මෙය තරමක වැඩි උෂ්ණත්වයකින් යුක්තයි. ඊට පසුව සරත් ඍතුව ආරම්බ වෙනවා. පරිසර උෂ්ණත්වය පහල වැටීමට පටන් ගන්නවා. ගස්වල කොල හැලෙන්නට බලනවා. මෙහිදී කොල හැලෙන්නට මත්තෙන් පාට මාරි වීමක්ද සිදුවෙනවා. හරිම අලංකාර දර්ශනයක්. අවසානයට පැමිනෙන්නේ හේමන්තය, සීත කාලය.

ඉතින් මා මේ ඍතු ගැන කතා කරන්නේ ඇයිදැයි ඔබලා බලාවි. 
මගේ මේ වෑයම නන්දා මාලනියගේ 'වසන්තේ නිදා වුන්' ගීතය ගැන අදහසක්  පලකරන්නට. මේ සඳහා මා දිරිමත කලේ මා මිතුරු රාජිකා. 
මේ ගීතයේ නිතරම වගේ යෙදෙන පද දෙකක් තමයි වසන්තය සහ හේමන්තය. මෙයිනුත් හේමන්තය වැඩියෙන් යෙදෙනවා. ඉතින් මේ නිසාවෙන් හරිහැටි ඍතු ගැන දැනසිටියානම් පහසු බව මට වැටහී ගියා. 

අපි ගීතය දෙස බැලූවිට පෙනීයන කරුණක් තමයි මෙහි කියැවෙන්නේ එක්තරා යුවතියක් ගැන. ඇය ජීවිතය ගෙනියන්නේ කිසිම අර්ථයක් ඇතුව නොවේ. කිසිම අරමුණක් අනාගත සැලැස්මක් ඇයට නැහැ. නමුත් එක්තරා හේමන්තයකදී ඇයට මුනගැසෙනවා තරුණයෙක්. මේ තරුණයා ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සමත්. ඉතින් මේ ගැන තමා මේ ගීතයෙන් කියැවෙන්නේ. 

සාමාන්යයෙන් මා කලින් සඳහන් කල ඍතු දෙස බැලීමේදී සුන්දරම කාලයක් ලෙස සැලකෙන්නේ වසන්තය. නමුත් මේ ගීතයේ කියැවෙන ආකාරයට යොවුන් කෝකිලාවුන් වසන්තයේදී නිද්‍රාවෙන් පසු වන්නේ. ඔවුන් ගීත ගැයීම අරඹන්නේ හේමන්තයේදී. කිමද මෙහෙම වෙනසක්?
වසන්තයේ තමයි මල් පිපීම ආරම්භ වන්නේ. නමුත් මේ කියනා මල් වසන්තයේදී පිපෙන්නේ නෑ. නමුත් හේමන්තයේදී කුසුම් කැන් පිපී එයින් නොනැවතී නැටුම්ද ඉදිරිපත් කරයි. එනම් කුසුම් කැන් සතුටින් ඉපිලී ගොස් ඇත. මේ වෙනසට හේතුව කිමද?
ඒවෙනසට හේතුව ඔබමැයි. ඔව් අන් කිසිවකු නොවේ. ඒ ඔබමයි. 

'වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ 
ඔබෙන් නෙත් ලැබුවේ හේමන්ත කාලේ'

ඔබ හමුවීමට කලින් මාගේ ජීවිතය ඔහේ අයාලේ ගිය එකක්. කිසිම අරමුණකින් තොරව තමයි ගෙවීගියේ. ඔබයි එයට ජීවය එක්කලේ. ජීවිතය හරිහැටි දකින්නට නෙත් ලබාදුන්නේ ඔබමැයි. 

මගේ ජීවිතේ ගෙවුනේ සුසුම් අතර. සුසුම් හෙලනවා හැරෙන්නට මට කල හැකි කිසිවක් තිබුනේ නෑ. මොකද හුදකලාව ඒ තරමටම මා මිත්‍ර කරගෙන. මම සියල්ලන්ගෙන්ම මිදී හුදකලාව සොයා පැමිනියේ ජීවිතයේ තිබූ එපාවීම නිසාමයි. හුදකලාව කිසිවිටක මට තනිවන්නට ඉඩ දුන්නේ නෑ, මා ලඟින්ම හිඳ මට ඉතිරි කලේ සුසුම පමනයි. 

'තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදුයේ හේමන්තකාලේ'

රාත්‍රී කාලයෙ තුෂාරෙන් වෙලුනු සඳක් බවට මා පත්කලේ ඔබයි. ජීවිතය හරිහැටි දකින්නට නෙත් ලබාදුන්නේ ඔබමැයි. 

අයාලේ ගිය මගේ ජීවිතයට සඳක සිසිලස ලබාදුන් ඔබගේ ආගමනය සිදුවූ හේමන්තයය මම කෙසේ නම් අමතක කරම්ද? මට වසන්තයට වඩා හේමන්තය අගනේය. හේමන්තය කවමදාවත් මගේ සිතින් මැකී නොයාවි. මා ආදරය කරන්නේ ඒ හේමන්තයට පමනක්මැයි.  


වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ
වසන්තේ ලපල්ලෙන් වැසි උන් කුසුම් කැන්
නටන්නේ පිපි දැන් හේමන්තයේ

විලාපෙන් විඩා වී රැදී මං තලාවේ
වැසි අන්ධකාරෙන් වැටි මං මුලාවේ
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබුවේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදුයේ හේමන්තකාලේ....

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - නන්දා මාලිනී

~~තේජන අබේදීර~~


2 comments:

Susil Gomis said...

Thank you.

Unknown said...

https://www.youtube.com/watch?v=8ZjpI6fgYSY

හේමන්ත(WINTER) කාලෙදි නෙවේයි මල් හට ගන්නෙ SPring nd sumer
හේමන්ත කාලෙදි සීතලයි දුශ්කරයි