Friday, 25 March 2016

ආ මඟ වැරදී යන මං නොපෙනෙයි

ජීවන ගමනේ විවාහයේදී මෙනතරම් හැල හැප්පිලි ආවත් දෙමව්පියෝ.. තම ආදරණීයයන් එක්ක ඉද්දි
කවදාවත් තනිකමක් දැනෙන්නෙ නෑ...
ඒත් මම ආව පාර වැරදිලා.. යන්න ඕන කොහාටද? කරන්න ඕනෙ මොනවද මොකුත්ම හිතාගන්න වත් බෑ..
අම්ම, අප්පච්චි දෙන්නගේ රැකවරණය වත් තිබුණ නම්...
දැන් කාගෙන් මට පිහිටක් ද....
මේ අසරණකම තනිකම කාට කියන්න ද...
අඩු තරමේ නුඹ වත් මගේ අහලකින් උන්න නම්, මට පුංචි දුකක් වත් දැනෙන එකක් නෑ.
සඳගල තැන්න පාමුල දොළපාරෙ හීතල වතුරේ මොනතරම් අපේ කෙළිකවටකම් හැංගිලා ඇත් ද... මට තාමත් මේ ගම පුරාම නුඹේ සුවඳ දැනෙනවා. දං පඳුරේ මංකඩ ගාව, දොළපාරේ දියරැළි අත‍රෙ තාමත් නුඹ ඉන්නවා මට පේනවා.. දැනෙනවා.. ඒත්.. අපි දෙන්නා පුංචිම පුංචි කාලෙ පටන්ම දියබුං ගහපු දොළපාර දැන් හරිම නිහඬයි... ඉස්සර ගොම්මං අඳුරේත් අපි ගම මැද්දෑවෙ දුව පැන ඇවිද්දා...
අනේ... දැන් මට හීනයක් වගේ...
ඇවැස්ස මස්සිනා උනත්, එකටම හැදුන වැඩුනත් නුඹ මගේ හදවත වටහාගත්තෙ නෑ... නුඹට ඕන වුණේ මාව අපූරු මනාලියක් කරලා ගමේ සල්ලිකාරයට විවාහ කරල දෙන්න.
අනේ.. මම කොච්චර අඬල දොඩල කිවුවද?... අප්පච්චි නැතිවුණ දවසෙ ඉඳලා මට අප්පච්චි වුණ නුඹවත් අම්මවත් මම කියන දේ ඇහුවෙ නෑ.
මගේ හදවතේ තිබුණු පැතුම් ගොන්න මගේම කඳුලට දියවෙලා දෝරෙ ගැලුවා...
කාටවත් ඒක තේරුම් ගන්න බැරි වුණා.. නුඹට වත් බැරි වුණා..
සොඳුරු අහිංසක මගේ ජීවිතේ, ඔහු.. කඳුළු, වේදනාව, අහිමි වීම් පිරුණු ජීවිතයක් කළා...
මන්දාරම් අහස වහගෙන තිබුනු මීදුම් සළුව මගේ සොඳුරු ජීවන මඟට හිරිකඩ හෙලලා මඩකරලා දැම්මා..
ආයෙ මට පතන්න අනාගතයක්... පැතුමක් ඉතිරිවෙලා නෑ...
මට තවත් ජීවිතයක් නෑ...

~~දිලානි~~

ආ මඟ වැරදී යන මං නොපෙනෙයි
තනිවී දෙවිඳුන් නැති දෙවොලේ
කවුරු යදින්න ද කවුරු පතන්න ද
හිරු සඳු වත් නැති මිහිමඬලේ...

සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැලි පාවෙයි
නිල් දිය රැළි අතරේ
දං පඳුරේ මංකඩ ළඟ ගොම්මන් අඳුරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ...

හඬා දොඩා කීවත් කවුරුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුළැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිදුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙලුවේ...

සඳගල තැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැලි පාවෙයි
නිල් දිය රැළි අතරේ
දං පඳුරේ මංකඩ ළඟ ගොම්මන් අඳුරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ...

ගායනය - අමරසිරි පීරිස් සමග සශිකා නිසංසලා.
සඳගල තැන්න ‍ටෙලි නාට්‍යයේ තේමා ගීතය.


No comments: