Sunday 6 March 2016

පලංචියේ ලී ඉරුවේ අපි එකට

පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද..
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොදහිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද..

පලංචියේ...//

දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...
පලංචියේ...//

ගායනය: එඩ්වඩ් ජයකොඩි සමඟින් සුනිල් එදිරිසිංහ
පද රචනය: වසන්ත කුමාර කොබවක
සංගීතය: රෝහණ වීරසිංහ

මිත්‍රත්වය සහ ආදරය

පලංචියක ලී ඉරීම යනු දෙදෙනාම සමබරව අවබොධයෙන් කල යුතු වෘර්තියක් රචකයා මිතුරුකම පෙන්වීමට උපමා කරගත් රැකියාව අපූරුවට ගැළපෙනවා. දිවා කාලයේ ලී ඉරන මිතුරන් දෙදෙනා හවසට මල් පැන් වඩියක පහස ලබන්නෙ ගත සිත මහන්සිය නිවාගන්නට. මේ රැකියාවට වෙන අය සම්බන්ධ නැහැ හැම වෙලාවෙම මුහු වෙන්නෙ මේ දෙපළමයි දුකට සැපට ඉන්නෙ මේ දෙපළමයි මේ දෙදෙනා අතරට යුවතියක් එනවා.... දෙදෙනාම ආදරය කරන්නෙ එකම මලකට. මේ ගැටළුවේදී එක්කෙනෙක් පරාජය වෙන්නම වෙනවා. නැත්තන් දෙදෙනාටම ඇය අමතක කරන්න වෙනවා.
දෙලොවක් අතර අතර මං වෙන යහළුන්ගෙ වචන ගැන බලන්න
"විරසක වී රුපුන් ලෙස යුධ වදින්නද
කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද"
ආදරයක් නිසා අපි ඇණ කොටා ගන්නවද....ඒත් මේ හිතේ ඇතිඋන මුල්ම ආදරයයි....

ඔබ වගේ යහළුවෙක් තවත් කොයින් ලබන්නද......

මේ ගැටළුව නිසාම වෙනදා මල් පැන් බී දොඩමළු වෙන දෙදෙනා දෙපැත්තක දෙන්නා සුසුම් ලනවා දෙදෙනාටම ඇහෙනවා.....
ගීතය අවසන් කරන්නෙ ප්‍රශ්ණයක් ඉතුරු කරමින්මයි. ඇත්තටම මම රස විදි සුන්දරම ගීයක්. මේ ගීතය මෑතකදි මම ඇහුවා ඉදුනිල් අන්දරමාන සහ චාමර වීරසිංහ දෙදෙනා ගායනා කරනවා. ගීත අලංකාරය සඳහා කියමින් රියලිටි වැඩසටහන් වල ගී විකෘති කරන නවකයන් සිටින වර්ථමානයේ මොවුන් මෙහි මුල් ගායනයට හොද සාධාරණයක් කරනවා. අවසාන වශයෙන් මට සිතෙන්නෙ ආදරය වෙනුවෙන් හොදම යහළුවන් ගහ මරා ගන්නා වර්ථමානයේ වාඩියක ලී ඉරන මිතුරන් දෙදෙනෙක් උපමා කර ගනිමින් ලියවුන මේ ගීතය අපට සැබෑ මනුශ්‍යත්වය මතක් කර දෙනවා.

~~චරිත අලුත්ගේ~~


No comments: