Saturday 19 March 2016

සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි

සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි

එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුලු බිඳක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...

මම දෙයකට හා කිව්වම නුඹ මට බැහැ කියයි
විරසකයෙන් මුහුන නොරුක් කරන් කාලේ ගෙවයි
යලි මදසක් හෙලා
යලි මදසක් හෙලා කියනා දේ නම් මට හැඟෙයි
ලෙංගතුකම වැඩි උනාම මමත් ඔහොම තමයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...

මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිඳියි
ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා
නුඹ යළිත් ලංවෙලා කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩු කලත් කිරිල්ලී මට අගෙයි

ආදරය කරද්දී රණ්ඩු නොකරන්නේ කවුද... හැම පෙම් යුවළක් අතරම ‍රණ්ඩු ඇති වෙන එක සාමාන්‍යය දෙයක්. මේ රණ්ඩු දුරදිග යන අවස්ථා නැතුවම නොවෙයි. ඒත් මේ පුංචි පුංචි රණ්ඩු වලදි ගැහැණු අපි අපේ කඳුළු වලින් ජය ගන්නට උත්සහ කරනවා. උත්සහ කරනවා විතරක් නෙමෙයි බොහෝ විට සිදුවන්නෙත් එයම තමයි. දෙදෙනාගෙන් කවුරු වැරැද්ද කළත් තමන්ගේ පෙම්වතිය සනසන්නට ඔහු සමාව ගන්නවා.

ඉතාම කුඩා සිදුවීමකදි පවා මූණ නරක් කරගෙන, අහක බලාගෙන ඉන්න පෙම්වතියව සනසන පෙම්වතා අවශ්‍ය තැනදි ඇයට ටිකක් තදින් කතා කරන්න උනත් පෙළඹෙනවා. ඇයත් දන්නවා ඔහු එහෙම කරන්නේ ඇයට ආදරය කරන නිසා බව. නමුත් ආඩම්බරකමට ඉන්න ඇය අමතක කරන්නේ නෑ. ගැහැණිය ස්වභාවයෙන්ම ආඩම්බරකාරයි.ඇය කැමති නෑ ඇගේ හැඟීම් පිටතට පෙන්වන්න. ඇය නිතරම උත්සහ කරන්නේ ඔහු ලවා හැමදේම කියවගන්න.

ඉතින් මේ ගීතයේ කතා නායකයාත් ඒ විදියටම අසරණ වුන පෙම්වතෙක්. ඔහු තම පෙම්වතියට බොහෝ ප්‍රේම කරන්නෙක්. එහෙත් ඇය මුරණ්ඩු වන අවස්ථාවල ඇයට ටිකක් තරවටු කරනවා. එහෙම තරවටු කරාම පෙම්වතිය ඔහු සමඟ උරණ වෙනවා. මේ සිද්ධීන් දාමය ඔහු අපට කියන්නේ මේ ලෙසයි.

මම චුට්ටක් බැන්නයි කියලා ඇයි ඔහොම අහක බලන් ඉන්නේ. මම හැම තිස්සෙම බනින්නේ නෑනේ... ඔහොම අහක බලාගෙන අඬන්න එපා. ඔයා අඬන හැම කඳුළකම දුක දැනෙන්නේ මට. ඔයාට බැන්නට පස්සේ මම කොච්චර දුක් වෙනවද කියලා ඔයා දන්නේ නෑ. ආදරය කරද්දී මුරණ්ඩු වෙන්න හොඳ නෑ. පොඩි දේටත් රණ්ඩු කරන මගේ කිරිල්ලී ඔහොම මුරණ්ඩු වෙන්න එපා. ඒක අපේ ආදරයට හොඳ දෙයක් නෙමෙයි.

සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම් හොඳ ලකුණක් නෙමෙයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලි
රණඩු නොකර කිරිල්ලි නොයා ඉඳින් ඉගිල්ලී

ඔහොම තරහ වෙලා ඉන්නකොට ඉතින් මම මොන දේ කිව්වත් බෑ කියනවා නේද. මම දන්නවා ඔයාගේ මේ තරහව වැඩි වෙලා තියෙන්නේ නෑ කියලා. මූණ නම් පොඩ්ඩක් ඇද වෙලා. ඒත් පුංචි සිනහවක් මුහුණේ නැතිවමත් නොවෙයි. ඒ තුළින් මට පේනවා, දැනෙනවා ඔයාගේ හිතේ ආදරය. මම කැමතිම, මගේ කිරිල්ලිගේ සිනහවෙන් කියන දේ මම තරම් තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකේ නැති තරම්. ආදරේ වැඩි උනාම මමත් ඔහොම තමයි. මම මේ ඉඟි බිඟි ඔක්කොම අඳුරනවා. මගේ මුරණ්ඩු කිරිල්ලී කොහේවත් යන්නේ නැතිවා මා ලඟට වෙලා ඉඳපන්.

මම දේකට හා කිව්වම නුඹ මට බෑ කියයි
විරසකයෙන් මුහුණ නොරොක් කරන් කාලේ ගෙවයි
යළි මදහසක් හෙලා.... යළි මදහසක් හෙලා කියනා දේ නම් මට හැඟෙයි
ලෙංගතුකම වැඩි උනාම මමත් එහෙම තමයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලි
රණඩු නොකර කිරිල්ලි නොයා ඉඳින් ඉගිල්ලී

මගේ අතින් වෙන පුංචි පුංචි වැරදි පවා මතක තියාගෙන ඉන්නේ ආඩම්බරකමට කියලා මම දන්නවා. මට කොච්චර ආඩම්බරකම් පෙන්නුවත් නුඹේ ආදරයේ ප්‍රමාණයද මම දනිමි. නුඹ මාගෙ රණ්ඩු කරන කිරිල්ලියයි. නුඹ මට ලංවී සිටිනා සෑම තප්පරයකම මා අවට තිබෙන සෑම දෙයක්ම සුන්දරයි. මට නුඹව මගේ ජීවිතේටත් වඩා වටින බව නුඹ දන්නවාද ??. මගේ පුංචි කිරිල්ලී ගොඩක් අහිංසකයි. අවශ්‍යම තැනදී බැන්නට මමත් නුඹට මෙතරම් ප්‍රේම කරන්නේද ඒ නිසාමයි.

මට අතපසු උනොත් යමක් බොහොම දුකින් ඉඳියි
ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා..... නුඹ යළිත් ලංවෙලා
කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩු කරත්
කිරිල්ලි මට අගෙයි

අපේ වැඩිහිටියන් කතාවට කියන්නේ "හැඳි නොගා හදන හොද්දත් නොගහ හදන දරුවත් වැඩක් නෑ" කියාය. එසේම මා විශ්වාස කරන ආකාරයට නම් පුංචි පුංචි රණ්ඩු වලින් තොර ප්‍රේමයත් සුන්දර නැත. එහෙත් ඒ රණ්ඩු කොතරම් දුරට ගෙන යන්නේද යන්න ප්‍රේම කරන්නෝම තීරණය කළ යුතුය.

~ අකූ ~


No comments: