Sunday 6 March 2016

පායන සඳේ...

දමිත් අසංක අපේ සංගීත ලෝකයට පිවිසෙන්නේ සේනානායක වේරලියද්ද සහ චාමර වීරසිංහ යන ශිල්පීන්
ජනප්‍රිය වුනු යුගයක. චාමර කරලියට එනවිට ඔහුගේ හඬ වේරලියද්දට සමාන බවට රාවයක් පැමිනියා ඔබට මතක ඇති. ඒ වගේම දමිත් පැමිනෙන විටත් ඔහුගේ හඬ චාමරට සමාන බව පිලිනොගැනුනාම නොවේ. මට මතක විදියට 'සිත මගෙ රිදුනා' ගීතය ඔහුගේ මුල්ම ගී වලින් එකක්. අප දමිත් අසංකව බොහෝ වෙලාවට දකින්නේ සංගීත සන්දර්ශන වලදී. ඔබ සංගීත සන්දර්ශන නරඹන අයෙක් නම් දන්නවා ඇති සන්දර්ශන වේදිකාව තුල ඔහු ලබා ඇති ජනප්‍රියතාව සහ පිලිගැනීම. ඇත්තටම ඔහු ඒවාට නැතුවම බැරි කෙනෙක් බවට පත්වෙලා.

දමිත්ගේ ගීත අතර වැඩිම ජනප්‍රියතාවයක් ලබගත් ගීත වශයෙන් 'මේ අනන්ත රාත්‍රියේ, අනන්ත ප්‍රෙම ලෝකේ, වැහි වැටිලා, සිත මගේ රිදුනා...' හඳුන්වන්න පුලුවන්.
බොහෝ දෙනා දමිත් සංගීත සන්දර්ශන වලට කොටුවෙලා කියලා කියනවා. නමුත් ඇත්ත තත්වය  නම් මා පෙර කියූ ආකාරයට ඔහුව ඒ සඳහා නැතිවම බැරි වෙලා. තවත් සමහරු චෝදනා කරනවා දමිත් ගීත එලි දක්වන්නේ සන්දර්ශන වලට ගැලපෙන්න පමනයි කියලා. ඒකේ සත්යතාවය ගැන කල්පනා කල හැකියි 'මේ අනන්ත රාත්‍රියේ සහ අනන්ත ප්‍රෙම ලෝකේ' ගීත දිහා බලනකොට.
මේ කොහොම වුනත් දමිත් මෑත කාලීනව නම් තම අනන්යතාවය ගොඩනගාගෙන තිබෙන බව තමයි මගේ අදහස.

අද මම ඔබ වෙත ගෙන එන්නට තීරනය කලේ දමිත් අසංකගේ වේග රිද්ම ගීතයක්. මෙහි ඇති වේග රිද්ම බව සහ සංගීතයේ ඇති යම් යම් උස් පහත් වීම්, යොදාගෙන ඇති සංගීත භාණ්ඩ ආදිය නිසා සමහර පිරිස් මේ ගීතය ප්‍රිය කරන්නේ නෑ. අපි කෙලින් කතා කලොත් සමහරු මේ සංගීතය ඝෝෂාකාරී මෙන්ම කනට අමිහිරි, කොත්තු රොටී මියුසික් ලෙසත් හඳුන්වනවා. මෙය හුදෙක් රසිකත්වය හා බැඳී පවතින්නක්. මොකද මේ තවත් සංගීත ශෛලියක් පමනක්ම වන නිසා. සමහරුන්ට හින්දුස්ථානී රාගධාරී සංගීතය දිරවන්නේ නෑ වගේම සමහර ප්‍රබුද්ධ යයි කියාගන්නා කණ්ඩායම් වලට මේ සංගීතය දිරවන්නේ නෑ. සමහරුන්ට මේ දෙකම ගෝචර වන්නේ නෑ. ඔවුන් කැමති සරල 6/8 බීට් ඒකකට යන ගීත වලට වෙන්නට පුලුවන්. ඉතින් මේක තමයි රසිකත්වය. විවිධත්වයක් නොමැතිනම් එතැන පැවැත්මක් නෑ. මේ නිසා අනෙකාගේ රසිකත්වයට ගැරහීමට වඩා කල යුත්තේ තමා කැමති දේ අසාගෙන හැකිනම් අනෙකාගේ රසිකත්වයට එබී බලා එය විඳින්නට උත්සාහ ගැනීමයි. සමහර වෙලාවට විඳින්නම බැරි වෙලාවන් තිබෙනවා. මොකද පෞද්ගලිකව මම සමහර ගායකයන්ගේ ගීත වලට මෙන්ම ඒ ගායනා නිසා ගායකයාටත් අකමැති අවස්ථා තිබෙනවා. මේක ඔබටත් පොදුයි කියලා සිතනවා. මෙ හේතුව නිසාවෙන්ම එම ගායකයා නව ගීතයක් එලිදක්වද්දී එම ගීතය අසන්නටවත් උනන්දුවක් නොදක්වන ගතියක් පෙන්නුම් කෙරෙනවා. මෙය ඇත්තෙන්ම වැරදි දෙයක්, ඒ කොහොම වුනත් ඒ අපේ හැටි. මිනිස්සුන්ගේ හැටි. 

මේ ගීතය ගෙතෙන්නේ ගම්බද තරුණයෙක් හා තරුණියක් පිලිබඳවයි. තරුණිය නැටුම් හදාරා ගමේ තිබෙන සන්දර්ශන ආදියේ නැටුම් ඉදිරිපත් කරන්නියක්. මැයගේ නැටුම් ඉතා ඉහල තලයක තිබෙන බව තරුණයා පවා පිලිගන්නවා. තරුණයාගේ සිත ඈ වෙත ඇදී යන්නේත් මේ නැටුම් නිසාවෙන්මයි.
පෝය දවස රාත්‍රිය කියන්නේ කොතරම් සුන්දර දසුන් මවන්නක්ද? මේ තරුණයා ඈව පෝය දවසකට සම කරනවා. ඒ තරමටම ඈ සුන්දරයි. ඒ විතරක්ද..ඇයහේ හඬට ඔහුගේ සිත සැලෙනවා. ඔහු ගම්බද පැලක සීපද කියාගෙන පැල් රැක්ක කෙනෙක් වෙන්නට ඕනේ. මීට අමතරව ඔහු ගීත ප්‍රිය කරන්නෙක්. මොකද ඔහු ඇයගේ නැටුමේ තාලය ආදී සමකරන්නේ ඔහුට ගෝචර වෙන සීපද සහ ගීතයන්ට. ඇයගේ උකුල සෙලෙවෙන ලාලිත්යයට අනුව ඔහුගේ හදවත ගැස්සෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඇයගේ නැටුම ඔහු සලිත කරවීමට සමත්. 

ඔහු සලිත වී ඇති බව පේනවා මේ පද පෙලින්ම 'හංස වෙසින් නුඹ රඟනා විලාසේ ඉවසිලි නෑ මගේ හිත මැණිකේ'. ඔහු ඇයගේ නැටුමට බොහොම ප්‍රියයි. නමුත් මොකද්දෝ හේතුවක් නිසා ඔහු කැමති නෑ ඇය නටනවාට. 'කන්ට අඳින්නට දෙන්නම් සදා මං නවතාපන් නුඹෙ නැටුම නගේ'. අපි බලමුකෝ හේතුව පසුවට. 

ඔහු තරමක ආත්මාර්ථාකාමී කමින් යුත් අයෙක් ගානයි. 'ලස්සන නුඹෙ ඔය රූප සොබාවේ මට විතරක් නම් මගෙ මැණිකේ'. මේක ඉතින් ලෝක සත්යයක්නේ. බොහෝ දෙනා කැමති තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය තමාටම පමණක් ඇයිති කර ගන්නටනේ. ඒක මිනිස් ස්වභාවය. මේ තරුණයාට පමනක් අදාල දෙයක් පමනක් නොවේ.  අපේ සමහරු නම් මේක පිලිගන්න කැමතිනෑ. ඔවුන් කියන්නේ 'එහෙම අවුලක් නෑ බන්' කියලා. නමුත් හිත යට තිබෙන්නේ වෙනම දෙයක්. එහෙම හැඟීම් දැනෙන එක සාධාරණයි. නමුත් තමා විවුර්ත මනසක් ඇති බව පෙන්වීම උදෙසා ලෝකයට එසේ පෙන්වනවා. ඔහොම තමා කාගේ කාගේත් හැටි. අපි වුනත් සමහර වෙලාවට ඔච්චර ත්මයි. ඔබෙන්ම අහල බලන්නකෝ....

මේ කියනා තරුණයාත් යම්තාක් දුරකට හිතේ තියෙන සැබෑම දේ ඇයට පෙන්නන්නට කමැතියි. 'රංග සභාවට යන්න එපා නුඹ මට විතරයි ඔය නැටුම අගේ'. ඇයගේ නැටුම වඩාත්ම අවශ්යය වන්නේ තමාට පමනක් බව ඔහු කියනවා. ඔහු කියන්නේ ආයේ නටන්න යන්න ඕනේ නෑ කියලනේ. 

කොහොම වුනත් අද සමාජයේ නැටුම් ශිල්පිණියන්ට හරියටම කියනවානම් කැරොකේ සහ සංගීත සංදර්ශන වල නර්තනයේ යෙදෙන තරුණියන් ගැන තිබෙන පිලිගැනීම එතරම් හොඳ එකක් නම් නොවේයි. එයට හේතුව ඔවුන් අතර සිටිනසමහර තරුණියන් මේ නර්තනයට අමතරව නොමනා ක්‍රියාවන් සඳහා යොමුවීමයි. ඉතින් මේ කරුණ නිසා සමාජය ඔවුන් සියලුදෙනා දෙස බලන්නේ වපර ඇසින්. 'ඕකි නම් නියම බඩ්ඩ' 'ඕකි නම් සතා බං' ආකාරයේ වදන් ඇති තරම්. මේ ගීතයේ කියැවෙන තරුණයා මේ හේතූන් නිසාත් වෙන්නට පුලුවන් ඇය ප්‍රසිද්ධ නර්ථනයේ යෙදෙනවාට අකමැති වන්නේ. 
  
මොවුන් සැවොම දඟ දමන්නේ ජීවිතය ගැට ගසා ගන්නටයි. එසේ කියා නොමනා වැඩ වල නිරත වීම අනුමත කල නොහැකියි. නමුත් ඔබ ඔය තත්වයේ සිටියානම් කුමක් කරයිද කියා සිතන්නට පුලුවන්ද? ඔබ සමහර විට මීටත් වඩා අන්ත වෙන්නට ඉඩ තිබෙනවා. මේ නිසා හැමදෙනාම එක මිම්මෙන් මැනීම සුදුසු නැති බව සිතට ගැනීම වටී. 

පායන සඳේසීතල රැයේ
පෝය වගේ හිනැහෙන්නේ
නාදෙට නුඹේ සැලුනා මගේ
හර්දේ නුඹටයි පූජා කලේ
රංගන රඟනා උකුලේ සැලෙනා
තාලෙට සෙලවෙයි මා හර්දේ
ගීපද සීපද තාලෙට නටනා
මා මන් බැන්දේ ඒ හින්දා

හංස වෙසින් නුඹ රඟනා විලාසේ ඉවසිලි නෑ මගේ හිත මැණිකේ
කන්ට අඳින්නට දෙන්නම් සදා මං නවතාපන් නුඹෙ නැටුම නගේ

ලස්සන නුඹෙ ඔය රූප සොබාවේ මට විතරක් නම් මගෙ මැණිකේ
රංග සභාවට යන්න එපා නුඹ මට විතරයි ඔය නැටුම අගේ

ගායනය: දමිත් අසංක

~~තේජන අබේදීර~~


No comments: