ස්වාමීනී, භාග්‍යවතුන්වහන්ස ඔබ වහන්සේ සියැසින් දැක ගන්නට මා හට වාසනාව නැහැ. ඔබ වහන්සේගේ රුවට සමාන වූ පිළිම පමණයි දකින්නට ලැබෙන්නේ. ඔබ වහන්සේගේ මුවින් මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න මා පිං කර නැහැ. මහා කාරුණික වූ බුදු පියාණෙනි, ඔබ වහන්සේ අනේපිඬු සිටුතුමාණන් හට බණ දේශනා කළාසේම මා හටත් ශ්‍රවණය කරන්නට බණ දේශනා කළ මැනවි. ධර්මය කෙරෙහි මා තුළඇති කැමැත්ත කොතෙක් වේද මා හට වෙනත් කිසීවෙකුගෙන් ධර්මය ශ්‍රවණය කළාට සෑහීමකට පත් විය නොහැකිය. ඔබේ කරුණා ගුණ බලයෙන් මා හට සමා වී ඔබේ මුවින් දේශන කරන ධර්මය ශ්‍රවණය කිරීමට සලස්වනු මැනවි.
ශාන්තිනායක වූ බුදු පියාණෙනි ඔබේ පිළිම නිම කරන්නට කලාකරුවන් ගසන කුළුගෙඩි පහර ඔබ වහන්සේ ඉවසා සිටින්නේ කෙසේද එසේම මා හටත් ශාන්තිය ප්‍රගුණ කරන්නට ලැබේවා. අපි කොපමණ බුදුන්වහන්සේට ගරු කරනවාද. ඒ නිසාම අපට නිරන්තරයෙන්ම බුදු පිළිමයක් දකින සෑම අවස්ථාවකදීම එය ජීවමාන බවයි හැඟෙන්නේ. ඉතින් රචකයා පවසන පරිදි කුළුගෙඩි පහරක් දරා ගන්නට කොපමණ ඉවසීමක් තිබිය යුතුද. ඒ ඉවසීම පෘතග්ජන අප හට තිබේද.
මනුෂ්‍යත්වය ලැබ සිටින මා හට මලක් ඔබේ දෙපා පාමුල පූජා වී විඳින ඒ නිරාමිස සුවයවත් විඳින්නට වාසනාවක් නැහැ. ඒ අතින් මා කොපමණ අවාසනාවන්තද. මා හට දැන් මලක් වන්නට හැකි නම්, ඔබ පාමුල පිදෙන්නට. එසේනම් මා ඔබේ දෙපා පාමුලටම වී හිඳ පරවී යනවා. අනේ හිමියනි ඔබේ කාරුණික ගුණ බලයෙන් මා මලක් වනවා නම් එසේනම් මගේ හුස්ම පොද ඔබ පාමුලම වියැකී පර වී ගියාවේ.
නිවන් දුටු හිමි රුවන් පිළිරුව
පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු
ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේපිඬු සිටු පුතුට මෙන්
අනේ හිමියනි මටද දැන්
දෙසා වදා හළ මැනවි බුදු බණ
මහා කරුණාවෙන්.... මහා කරුණාවෙන්
ගලක් වී නම් මමත් ඉවසමි
යකුළු පහරද කැපී වෙන්වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට
කලාකරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ
ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්.... මහා කරුණාවෙන්
මලක් වන්නට නොහැක හිමියනි
මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල
විඳින සිහිලස නොමැත මා හට
මලක් වූදා මගේ ජීවය
ඔබේ පාමුල පර වුනාවේ
ගීතය පුරාවටම බුදු දහමෙන් ඔද වැඩුනු භක්තිකයෙකුගේ අහිංසක ආයාචනවන් ඉතාම අගනා ලෙස ප්‍රකාශ කර තිබෙනු දැකගත හැකියි. යම් අවස්ථාවන්හීදී අපි සියල්ලන්ටම මේ ගීතයේ කියවෙන සියල්ල හිතෙනවා නේද. අනේ ඔබ වහන්සේ ජීවමාන වූවානම්.... ඔබ වහන්සේ ඉදිරියේ මගේ දුක කීමට හැකි වූවානම්.... මෙවන් වූ ප්‍රාර්ථනාවන් අපි කාගෙත් සිත් සතන් තුළ තිබෙනවා. එවිට තමයි දැනෙන්නේ අප කොපමණ අවාසනාවන්තද කියලා.
~ අකූ ~
No comments:
Post a Comment