Sunday 19 February 2017

කතරක තනි වී ..

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ


සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි...
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

කතරක තනි වී...

විසල් තුරු මුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු...
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

කතරක තනි වී...

ගායනය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක්. නමුත් එකිනෙකාගේ ජීවන මග විවිධාකාරයි. ඒ මගෙහි වූ විශමතා හේතුවෙන් අපි ජීවිතය විඳින මෙන්ම විඳවන අවස්තාද එමටයි.
ජීවන ගමනක කර්කශ බව පෙන්වීමට 'කතරක්' යොදා ගැනීම සුලභයි.
නමුත් ප්‍රේම් මේ 'කතර' යන පදය සමග ගොතනා කතාන්දරය පෙර කියැවී නැහැ.

ඇයට තමා තුල ඇති ආදරය මෙන්ම ඇය වෙනුවෙන් ඔහු කරනා අනේකවිධ කැපකිරීම් ගැන කරනා කුඩා හෙලිදරව්වක් ලෙස මෙම ගීතය හඳුනාගත හැකිය.

ඇය යන මාවත බොහෝ කටුකයි. ඒ මාවතේ ඇය ගමන් කරන්නේ තනිවම. බොහෝ දුක්කදායී ජීවිතයක උරුමයක් කරපින්නාගෙන ගමන් කරන ඇයව ඔහුට හමුවෙනවා. ඔහු ඇයට ආදරය කරනවා...ඒ ආදරයක් මිස අනුකම්පාවක් නොවේ.

ඉතින් මේ ජීවන කතරේ ඈ තනිවම දුක් විඳිමින් යන ගමන දකින ඔහුගේ හදවත දැවී යනවා. හදවතක් ගිනි ගනී යන්නෙන් ඔහුගේ තැවීම පෙන්වන්නා සේම, ප්‍රේම් එයින් ඔබ්බට අපව රැගෙන යන්නට සමත් වෙනවා. නිකම්ම හදවත ගිනි ගන්නවා නොව හිම කන්දක් මුදුනත සිටියත් හදවත ගිනි ගන්නා බවයි. ඈ වෙනුවෙන් ඔහු හද තැවෙන අයුරු වෙන කෙසේ ඉදිරිපත් කරන්නද.
ඔහු ඇයහා දුක බෙදාගැනීමට සූදානම්. ජීවිතයක නානාවිද ප්‍රශ්න පැමිනෙන බව සත්‍යයයි. නමුත් හැමදාටම එසේ වන්නේ නෑ...ඔහු ඈ ලඟ සිටීවී. ඉතින් මේ දුකම සතුටට පෙරලගෙන සතුටින් ජීවත් වෙමුයි ඔහු පවසනවා.

මා කලින් කීවාක්මෙන් ඔහු ඇයට තම පන හා සමානව ආදරෙයි. ඔහු ඇය වෙනුවෙන් කරනා කැපකිරීම් ..ඔහු ඇයව ආරක්ෂා කරනයුරු හැමදෙයක්ම ඇය දන්නේ නෑ. සමහරවිට ඇයගේ මතකයේ නැතිව ඇති. ඔහු තම ජීවිතේ පරදුවට තබමින් ඇයව සියලු කරදර වලින් බේරා ගන්නවා. ඔහුගේ ජීවිතයත් සරි ඇයත් සරි. ඔහු හැමදෙයක්ම කරන්නේ ඇය වෙනුවෙන්. ඒත් මේ සියලු කැපකිරීම් ගැන ඈ දන්නේ නෑ. ඔහුට සියල්ලම කියන්න උවමනා නෑ..නමුත් ඈ දැනගත යුතුයි ඔහු තමා ඇයට සිටින එකම සෙවන කියලා.
බලන්න ප්‍රේම් ඒ අදහස් ගීතයට නගන අපූරුව. 'සඳු නොදන්න නමුදු සඳුට එලිය හිරුගෙනි'
ඒ පද පේලි තුල විශාල කතාවක් ගැබ්වෙලා තිබෙන බව පැහැදිලියි නේද ..

ඇයත් ඔහුට ආදරෙයි ..ඔව් ගොඩක් ආදරෙයි. ඇයට ඔහුගේ ආදරය දැනෙනවා..හොදින් දැනෙනවා. ඒත් ඇය ඒ ආදරය ඔහුගේ මුවින් ඇසීමට ඉතා කැමතියි. එනිසා නිතරම එය අසාගන්නට ඇය ආදරේ පිලිබඳව විමසනවා. ඔහු එය හොඳින් දන්නවා. ඇයගේ ආශාව..කැමැත්ත. ඒ පිලිබඳව ඔහු සිතින් නිහහඩවම සතුටක් ලබනවා.
'තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි'

විශාල වෘක්ෂයන් තිබුනත් ඒවායේ මල් නොපිපෙනවානම් ඉන් කුමන ඵලද...ඒ වාගේම සිනාවක් නොමැති දසන් වලින් කුමන ඵලද.
ඒ වාගේම තමයි ආදරයක් නොමැති ජීවිතයක ඇති ඵලයක් නැහැ. ඒක ආදරය කල හිත් හොදටම දන්නවා ඇති. ඔහු ඇගේ ජීවිතේ සතුටින් පුරවන්නට අවැසි සෑම දෙයක්ම කරාවි. පෙරදී කලාක්මෙන්..කැපකිරීම් ඒ ආකාරයෙන්ම සිදුකරාවි...ඇය දැනගත්තත් නැතත්.

ඔහු ඇයව ආදරයෙන් පුරවාවි වෙනදාටත් වැඩියෙන්. ඇය වෙනුවෙන්ම ඔහු ජීවත් වේවි.
මේ හැමදෙයක් වෙනුවෙන්ම ඔහු ඇයගෙන් බලාපොරොත්තු වන්නේ සිතේ සිහිලසයි....ඒනම් පිවිතුරු..

..........ඔහුව ජීවත් කරවන ආදරයයි........


--තේජන අබේදීර--




5 comments:

Anonymous said...

I think this person try to abuse an innocent lady who devoted or dead her husband. First He told his mercy fullness and love to that lady and second he told his idea by using jokes like "wisl thuru mudun" and finally He produce his ugly idea to use her sexual wiliness like "gangak lesa nemi."

Unknown said...

විරල රසවතුන්ගේ හදගැස්ම

Creative world said...

ඇත්තටම මේ සිංදු වල ඉන්නේ අපිමයි

විහාරා said...

හදවත ස්පර්ශ කරන ගීතයක්....

SW Creation said...

ඒ හැම වචනෙකම මං ජීවත් වෙනවා වගේ...