Sunday 19 February 2017

Tu safar mera, hai (Diwali 2016)

2016 වසරේ ඔක්තෝබර් මාසයේ අග තිරගත වූ චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂණය ප්‍රසිද්ධ චිත්‍රපට
අධ්‍යක්ෂකවරයෙකු වන කරන් ජොහාර් විසිනි. ප්‍රීතම්ගේ සංගීතයෙන් හැඩ වන මෙම සිනමා පටය මෙවර ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම ගීතයට, හොඳම ගායකයාට, හොඳම ගීත ඇල්බමයට සම්මාන දිනා ගනු ලබනවා. යම්තාක් දුරට වෙනස් වූ ආරකින් දිව යන කතාව ඇතැමුන්ගේ දෝෂාරෝපණයට ලක් වූ අවස්ථාවන්ද තිබුනා.

බැඳීම් ගැන වෙනස්ම කෝණයකින් බැලූ කතාවක් ලෙස මේ සිනමා පටය හඳුන්වන්නට පුලුවන්. මේ තුළ මිත්‍රත්වය හරි ලස්සන තේමාවකින් ඉදිරිපත් කරනවා. කරන් ජොහාර් එක් තැනක කියනවා මේ ඔහුගේ ජීවිත කතාවේ කොටසක් බව. කරන්ගේ අනෙක් චිත්‍රපට තරමටම නැති වුවත් මේ චිත්‍රපටය 2016 වසරේ අවසාන භාගයේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතර සාර්ථක වූ චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

ඉතින්.... මොකක්ද මේ චිත්‍රපටය... ඒ තමයි Ae Dil Hai Mushkil. මෙහි රංගනයෙන් දායක වන්නේ රන්බීර් කපූර්, අනුෂ්කා ශර්මා සහ අයිශ්වර්යා රායි බච්චන් යන ත්‍රිත්වයයි. මෙහි එන තේමා ගීතය මගේ හදවතට ගොඩක්ම දැනුන ගීතයක්. Amitabh Battacharya කියන දක්ෂ ගීත රචකයා අතින් ලියවුන මේ ගීය ගායනා කරන්නේ හැඟීම්බර කටහඬකට උරුමකම් කියන Arijit Singh විසින්. කෙනෙක් අපේ ජීවිතයම වෙලා ඉන්නා විටකදි ඒ කෙනාගෙන් ඈත්වන්නට සිදු වීම කොපමණ වේදනාවක්ද... මේ කියන්නේ ඔහුගේ වේදනාවයි..

Tu safar mera, hai tu hi meri manzil
Tere bina guzara, ae dil hai mushkil
tu mera khuda, tu hi duaa mein shaamil
Tere bina guzara, ae dil hai mushkil

ඔබ මගේ යාත්‍රාවයි... ඔබ මගේ ගමනාන්තයයි... එසේනම් මා ඔබ නැතිව කෙසේ ජීවත් වන්නද... මේ හදවතට එය අපහසුයි... ඔබ මගේ ලෝකයේ දෙවියන්... මගේ සෑම යාතිකාවකම ඉන්නේ ඔබම පමණයි... මා යාතිකා කරන්නේ ඔබේ ගැනම පමණයි... එසේනම් මා ඔබ නැතිව කෙසේ නම් ජීවත් වන්නද.... මේ හදවතට එය අපහසුයි...

ඔහුගේ හදවතේ තිබෙන වේදනාව කොතෙක්ද කියා මේ වදන් වලින් හොඳින්ම වැටහේවි.... ඔහු ඇයට කොතරම් ආදරය කරනවාද... ඒ ආදරය හදවතේ තියාගෙන කොපමණ දුක් විඳිනවාද කියා මේ ගීතය තුල මනාව පිළිඹිබු කරනවා.

Mujhe aazmaati hai teri kami
Meri har kami ko hai tu laazmi
Junoon hai mera, banoon main tere kaabil
Tere bina guzaara, ae dil hai mushkil

ඔබ මට නැති කර මගේ ජීවිතය මෙසේ පරීක්ෂාවට ලක්වන්නේ ඇයි. මට ලැබුනු දුර්ලභම වස්තුව නුඹයි. ඔබ මා අසල ඉන්නා විට මගේ ජීවිතයේ ඇති කුඩා හිඩසක් පවා පිරී ජීවිතය සම්පූර්ණ වෙනවා. මා හිතන විදියට ඔබේ ජීවිතේට මා පමණක් ඇති... එසේනම් මා කෙසේ ජීවත් වන්නද ඔබ නැතිව. මේ හදවත එය පිලිගන්නේ නෑ.

ආදරේ කරන කාලයේදි ඒ ආදරය අපේ මුලු ජීවිතේම කරගෙනයි ජීවත් වන්නේ... ඒ නිසයි අපට විරහව දරාගන්නට අමාරු. මේ කතා නායකයා ඇයට කොපමණ පෙම් කරනවද කියා කියනවනම් ඔහු කියන්නේ ඇගේ ජීවිතේට ඔහු පමණක් ඇති බවයි. වෙනත් අය අවශ්‍ය නොවන බවයි. එසේ සිතන ඔහු කෙසේනම් ඇගේ වියෝව දරාගන්නද... කෙසේ නම් ඇය නැතිව ජීවත් වන්නද.

ඔහු තවදුරටත් මෙහෙම පවසනවා.... ;

Ye rooh bhi meri, ye jism bhi mera
Utna mera nahi, jitna hua tera
Tune diya hai jo, wo dard hi sahi
Tujhse mila hai to, inaam hai mera

මේ ශරීරය මගේ වුවත්.... මේ ආත්මය මගේ වුවත්... ඔබ හමුවූ දින සිට මේ කිසිවක්ම මගේ වූයේ නෑ. මේ සැම දෙයක්ම ඔබටම බාර වූවා.... මේ විරහ වේදනාවේ සිට ඔබ මා හට දුන් සෑම දෙයක්ම මා ලද ත්‍යාගයන්ය.

සිතින් ගතින් තම ආත්මයෙන්ම ප්‍රේම කරන පෙම්වතෙක්.... තමන්ගේ සෑම දෙයක්ම ඇයටම ලබාදෙන පෙම්වතෙක්... ඇයගේ නික්මීම දරාගන්නේ කෙතරම් වේදනාවකින්ද. ඇය දුන් වේදනාවත් ඔහුට වේදනාවක් නෙමෙයි. එයත් ඔහුට ලැබුන තිළිණයක් ලෙසයි ඔහු සිතන්නේ. මන්ද... ඒ වේදනාව තුලින්ද ඔහුට ඇයව සිහිකරන්නට හැකි නිසා.

Mera aasmaan DhoonDhe teri zameen
Meri har kami ko hai tu laazmi
Zameen pe na sahi, to aasmaan mein aa mil
Tere bina guzara, ae dil hai mushkil

මම නම් වූ අහස මේ සොයන්නේ ඔබ නම් වූ පොළවයි. මගේ ජීවිතේ සෑම අඩුවක් පුරවන්නටම ඔබව අවශ්‍යයයි. මේ පොළවේදි මා මුණ ගැසෙන්නට බැරිනම් , ආකාශයේදී හෝ මා මුණ ගැසෙන්න. මන්ද ඔබ නැතිව ජීවත් වීමට මේ හදවතට අපහසු බැවින්.

මේ විශ්වයේ කොතැනකදී හෝ ඇයව මුණගැසෙන්නට ඔහුට අවශ්‍යයයි. ඇයට ඔහුව මේ මිහිමතදී හමුවන්නට නොහැකිනම් ආකාශයේදී හෝ ඇයව හමුවන්නට උවමනායි. ප්‍රේම කරන හදවතක නොඉවසිල්ල ගැන පැහැදිලි කිරීම් අවශ්‍යයි කියා මා හිතන්නේ නෑ. මන්ද සෑම ප්‍රේම කරන හදවතක්ම සෑම තත්පරයකම තම ආදරය දැක ගැනීමේ තදබල ආශාවකින් පෙලෙන නිසා.

Maana ki teri maujoodgi se
Ye zindagani mehroom hai
Jeene ka koi dooja tareeka
Na mere dil ko maaloom hai
Tujhko main kitni shiddat se chaahoon
Chaahe to rehna tu bekhabar
Mohtaaz manzil ka to nahi hai
Ye ek tarfa mera safar..

මම දන්නවා මගේ මේ ජීවිතය ඔබේ ඉදිරියේදී හරි අසරණ වෙනවා. නමුත් මේ හැර වෙන ක්‍රමයක් මගේ හදවත දන්නේ නෑ ජීවත් වන්නට. මම ඔබට බොහෝ ප්‍රේම කරනවා... ඔබට අවශ්‍ය මේ ප්‍රේමය නොදන්නා සේ හිඳින්නද... එසේනම් එලෙසම සිටින්න. මෙය හරියට එක් පසෙකට ගමන් කරනා සංචාරයක් වගෙයි. නමුත් එය මගේ අරමුණට යාමට බාධාවක් නොවෙයි.

මේ ප්‍රේමය ඒක පාර්ශ්වික ප්‍රේමයක්දෝ කියා විටෙක මට සිතෙනවා. මන්ද ඔහු ඇයගෙන් පෙරලා ප්‍රේමයක් බලාපොරොත්තු නොවන නිසා. ඔහු පවසන්නේ ඔහුගේ එකම අරමුණ ඇයට ප්‍රේම කිරීම බවයි. ඒ අරමුණ ඉටු කරගැනීමට ඇයගෙන් කිසිවක් ඔහු බලාපොරොත්තු වන්නේ නෑ. ඇය ඔහුගේ ආදරය නොහැඟුනා සේ සිටියත් ඔහු ඒ පිලිබඳ තැකීමක් කරන්නේ නෑ... ඔහුගේ ප්‍රේමය නිරතුරුවම වැඩෙමින් තිබේවි.

Safar khoobsurat hai manzil se bhi
Meri har kami ko hai tu laazmi..
Adhoora hoke bhi, hai ishq mera kaamil
Tere bina guzaara, ae dil hai mushkil

මගේ මේ යාත්‍රාව බොහෝ සුන්දරයි මේ ගමනාන්තයට වඩා. මගේ ජීවිතේ සෑම හිඩසක් පිරවීමට ඔබ මට අත්‍යාවශ්‍යයයි. මා අසම්පූර්ණ වුවත් මගේ ආදරය සම්පූර්ණ වන්නේ ඔබ නිසාම පමණයි. ඔබ නොමැතිව මා කෙසේ නම් ජීවත් වන්නද.

ඔහු නැවත නැවතත්... නැවත නැවතත්.... පවසන්නේ ඇයව ඔහුට අත්‍යවශ්‍ය බවයි. කෙසේ හෝ ඔහු ලඟට එන ලෙසයි.... ආදරය නොකලත් ඔහු ලඟ රැදෙන ලෙසයි. ප්‍රේමය මිනිසුන් කොපමණ අසරණ කරනවාද... ප්‍රේමය හදවතට කොපමණ වදයක් වේදනාවක් දෙනවාද... මේ ඔහුගේ ඒ වේදනාවයි... ගීතයට සවන් දෙන සෑම මොහොතකම ඔහුගේ ඒ වේදනාව මට හොඳින් දැනෙනවා... ඔබත් ගීතයට සවන් දෙන්න... ඔබටත් ඒ වේදනාව දැනේවි. මන්ද..... ඔබ මම අප සියලු දෙනාම ප්‍රේමයේ වේදනාව විඳ ඇති බැවින්...

ඉතින් සබඳ..... ඔබට බාරයි ගීතය රසවිඳින්නට..... ඒ ගැන කතා කරන්නට....


~ අකූ ~


No comments: