Wednesday, 22 February 2017

සොඳුරිය කාලය කොතරම් නපුරුද ..

සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය...

පෙරුම් පුරා දුක සේ ගළපා ගත්
කවිය ඔබම වී නැළැවුණු යුගයක
හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය...

ලොවට හොරා විළි ලා බිහිකර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදාගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය...

පද - සමන්ත හේරත්
ස්වර - ප්‍රේමසිරි කේමදාස
හඬ - අමරසිරි පීරිස්


කාලය.. ගෙවෙනා තත්පරයක් පාසා අතීතයට එකතුවෙන්නෙ මොනතරම් වේගයෙන්ද? අද ඊයෙ බවටත් හෙට දවස අද බවටත් පත් වෙද්දි අපි වටා එක් රොක් වෙච්ච කොයි තරම් නම් දේවල් අපෙන් ඈතට ඉගිලිලා යනවාද? අපි ළඟටම වෙලා හිටපු කී දෙනෙක් නම් අපෙන් ඈතට යනවද.. ඒ අතර හදවතේ ගැඹුරටම දැණුනු සමහර බැඳීම් වේදනාත්මක මතකයන් වෙලා හිත පාරවනවා.. ඒ මතකයක් පවා කෙනෙකුගෙ ජීවිතයකට හුස්මක් ශක්තියක් වෙන්න නොහැකිද?

ආලය, සෙනෙහස, ප්‍රේමය මේ මොන නමකින් හැඳින්වුණත් කෙනෙක් තව කෙනෙකු වෙනුවෙන් තමන්ගෙ හිතේ ඇති කරගන්නා බැඳීමක් තරම් සුන්දර දෙයක් තවත් ලෝකෙ තියෙනවාද? ඒ බැඳීම වෙනුවෙන් නොකරන කැප කිරීමක් නැති තරමට සමහරු ඒ වෙනුවෙන්ම ජීවත් වෙනවා..


ඒත් කාලය...

කාලයට කොයිතරම් නම් දේවල් වෙනස් කරන්න පුළුවන්ද? ළඟ නැතුව, එහෙමත් නැතිනම් කතානොකර එක මොහොතක් වත් ජීවත් වෙන්න බැරි වේවි යයි හිතන කී දෙනෙක් නම් කාලයේ සුළි සුළඟින් විසිරිලා ඈතට යනවාද? ඉතින් කාලය කොතරම් නපුරුද?

එහෙම යුගයක් තියෙන්නට ඇති.. සුවහසක් පෙරුම් පුරාගෙන ගළපා ගත්ත සුන්දර කවියක් වෙච්ච ඇගේ රුව.. දවසක් නෑර දකින්න හීන මවපු ඇගේ රුව ඉඳහිටක රෑක ඇස් වල මැවෙන හීනයකවත් නැති කාලයක් කවදා හරි එළඹේවි කියලා ඔහු නොහිතන්නට ඇති.. ඒත් ඒ මිහිරි රුව අද කොතරම් නම් දුරකද?

ආදරය වෙනුවෙන් තමන් ආදරය කරන කෙනෙක් එක්ක බෙදා ගන්න දුකක පවා කොයිතරම් සුන්දරත්වයක් තියෙනවාද? අඩුම තරමින් ඒ වියෝව වෙනුවෙන් ඉපදිච්ච දුකවත් හිතේ ඉතිරි වෙලා තියෙනවා නම්.. ඇය වෙනුවෙන් පුංචිම පුංචි ඉඩක්වත් ඉතිරි නොකරම ඒ දුකත් නොදැනීම ගිහින්... ඉතින් තවත් බලාපොරොත්තුවක් වත් නොතබාම ඒ මතකය නැති කරලා දාන්නට තරම් නපුරුකමක් වෙන කාට නම් තියෙන්නද?

කාලය.. නුම කොතරම් නපුරුද......

~අමාලි වසුන්දරා අතුකෝරල~


No comments: