සඳ තරු නිහඬයි
ගහකොළ නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා....
පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කළා...
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කළා....
පද - කුලරත්න ආරියවංශ
ස්වර - එච්. එම්. ජයවර්ධන
හඬ - ඩබ්. ඩී. අමරදේව
රාත්‍රිය.. දවසක විඩාව නින්දක දියකර හරින සුන්දර ම කාලයක්.. හැම තැනම පිරිලා පවතින නිහඬ නිසොල්මන් බව කියාපාන්නෙ හැම දෙනාම තම තමන්ගෙ ලෝකෙ සැනසීම සොයාගෙන ගිය බවක්.. මොහොතක් සවන් යොමු කරොත් ඒ නිහඬතාවය තුළ ලොව අපූර්වතම සංගීතයක් කැටි වෙලා තියෙන බව දැනෙනවා නේද? පාලුව තනිකම දෙනෝදාහක් අස්සෙන් වුණත් හදවතට රිංගාගෙන එන්නෙ සීතල සුළං රොදක් වගේ.. ඒකයි රාත්‍රිය වේදනාබර මතක අවදි කරන්නෙ... මුලු ලෝකෙම එකම සිහිනෙක.. ඒත් මගේ සිතිවිලි අවදි වෙලා කොහේ දෝ දුරකට මාව රැගෙන යනවා..
දෙනෙත් තදින් පියා ගත්තාම නින්ද අපි කරා ඉක්මනින් ඒවිද? අපි හිතන බලාපොරොත්තු වෙන හැම දේම ඒ විදිහටම වෙනවානම් ජීවිතේ රසයක් නැති වේවි නේද? ඉතින් සොබාදහමට ඉඩ දීලා මම පරාජය පිළිගන්නවා.. සිහින වලට සිතිවිලි වලට සීමා මායිම් වැට කඩොළු බඳින්න පුළුවන් කාටද? ඔහේ ගලාගෙන ඈතටම දිවෙන මගේ සිතිවිලි නවතිනවා එක් තැනක.. හිනාවෙන කතාකරන ඇස් දෙකක් ළඟ.. ඇත්තටම ඒ නුඹම නේද? ළඟ ළඟම වගේ ඒ ඇහෙන්නෙ ඔබේ ආදරණීය කට හඬම නේද?
ඔබ මතකයක්.. සුන්දර මතකයක්.. ඒත් සුන්දර මතකයකට පුළුවන් ද මේ තරම් හිත රිදවන්න.. ඇස්වලට කඳුළක් හදවතට රිදුමක් නැතිව ඔබ වෙතට ළං වෙන්න.. ඔබ ගැන හිතන්න ඇත්තටම බැරිද? කොහොමද දැනෙන හැඟීම් නතර කරන්නෙ. කිසිඳු හැඟීමක් දැනීමක් නැතිව ඔබ දකින්න විඳින්න පුළුවන් දිනක් කවදාහරි ඒවි.. ඒත් එදාට මේ ඉකිබිඳින කඳුළු ඇස් වලට පුරවන සෙනෙහස මා ළඟ ඉතිරි වෙලා තියේවිද?
~අමාලි වසුන්දරා අතුකෝරල~
No comments:
Post a Comment