Tuesday, 29 August 2017

පියෙකුගෙ දුක කියාපාන

පියෙකුගෙ දුක කියාපාන
මහ දිය කඳ කලා වැවේ
දරු සෙනෙහස දල්වාගෙන
රැළි නංවා හඬා වැටේ...

සීගිරියේ ගී පවුරේ
කවි සිතිවිලි විමානයේ
ලියා ඇති ද එක ගීයක්
නුඹ වෙනුවෙන් පියාණනේ...

සීගිරි ලලනා දෑසින්
කඳුළු බිඳක් නොවැටුණාට
නෙළුම් මලක් අදත් පිපෙයි
සිරස නමා කලා වැවට...

පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
ස්වර - රෝහණ වීරසිංහ
හඬ - කරුණාරත්න දිවුල්ගනේ

අතීතය වර්තමානය වෙනුවෙන් මොනතරම් නම් දේවල් ඉතිරි කරලද.. ඉතිහාසයේ ආඩම්බරයෙන් අදටත් දෝංකාර දෙන දහසකුත් සිදුවීම් අතර ඉඳහිටක මතුවන කලු පැල්ලම් හදවතේ කොණක ඇති කරන්නෙ රිදුමක් වේදනාවක්.. මේකත් එක්තරා ආදර කතාවක්.. සෘජුවම නොදැනුණාට පියෙකු පිළිබඳව ගැයෙන ආදරණීය පිය ගුණ ගීතයක්...

ඉතිහාසය විසින් අපේ මතකයට නංවන මේ චණ්ඩ පීතෘ ඝාතක පුත්‍රයා කාශ්‍යප රජ්ජුරුවෝ.. බලය වෙනුවෙන් ඔහු ධාතුසේන රජු පෙළනවා.. අරගල කරනවා.. ධාතුසේන රජු තමන්ගේ පුතණුවන් රැගෙන යනවා එතුමන් විසින් නිමැවුණු යෝධ කලා වැව ළඟට.. "පුතුනි ජීවිතය තුළ මා විසින් ඉපැයූ යම් දෙයක් වේ නම් ඒ මේ සුන්දර විසල් ජලකඳයි" මේ තුළින් තම පුතණුවන්ගේ හිත මෙලෙක් කිරීම එතුමාගේ අරමුණ වන්නට ඇති.. එහෙත් ශෝචනීය අවසානයක්.. මේ පුත්‍රයා අනන්ත අප්‍රමාණ දුක් දීලා සිය පිය රජු මරා දමනවා.. හරියටම ඒ කලා වැව අසලදීම.. ඉතින් මේ පියාගේ ආදරණීය අඳෝනාව වේදනාව ඔහු බොහෝ සෙයින් ප්‍රිය කළ කලා වැවේ ඒ මහා දිය දහරට මුසු නොවී තියේවිද..

ඒත් අදටත් කාශ්‍යපයන් ඉතිහාසය විසින් උලුප්පා දක්වන්නෙ මේ සිද්ධිය යටපත් කරවමින්. ඒ ඔහු විසින් රාජධානිය කොටගත් අරුමැති සීගිරිය නිසාවෙන්.. සීගිරියේ කැටපත් පවුර පුරා එහි සොඳුරු බව වෙනුවෙන් සහෘදයන් අතින් කවි ගී නිමැවුණා.. ඒ එකම කවියක ගීතයක හෝ ධාතුසේන රජු ගැන ලියැවී ඇතිද..

අර තරම් මනස්කාන්ත වූ සීගිරි සිතුවම් අතර ඇඳුණු ලලනාවන්ගේ නෙතින් කිසි දිනෙක ධාතුසේන රජුගේ මතකයක් වෙනුවෙන් කඳුළක් නොවැටෙන්නට ඇති නේද.... සිය පියා ඝාතනය කළ කාශ්‍යපයන්ගේ නමෙහි ඇති වූ කැළල මකාලන්නට සීගිරි සිතුවම් වල ඇති විශිෂ්ඨත්වය සමත් වූ ආකාරය රචකයා විසින් පෙන්වා ඇති අයුරු කොතරම් අපූර්වද..

ඒත් කලා වැව අදටත් ඒ පියාණන් වෙනුවෙන් ශෝක වෙනවා.. ඒ මහා දියකඳ තවමත් හඬා වැටෙනවා.. ඔහුගේ නාමයට පිපුණු නෙලුමක් සිරස නමා කලා වැවට ආචාර කරනවා... පුංචිම පුංචි අස්වැසිල්ලක් හිතේ ඉතිරි කරනවා නේද..

මේ පද වැල ගෙතෙන්නෙ තුන්වන පාර්ශවයකගේ ඇසින්.. කරුණාරත්න දිවුල්ගනේ සූරින්ගේ ලයාන්විත හඬ ස්වරය මේ පද වැලේ ඇති වේදනාත්මක බව වඩ වඩා ඔප් නංවනවා නේද..






~අමාලි වසුන්දරා අතුකෝරල~


1 comment:

තේජන අබේදීර said...

වසූ අද අපවෙත ගෙනල්ලා තිබෙන ගීතය පියෙකුගේ දුක කියාපාන්නක්...ඇත්තටම මේ ඉතිහාස කතාව මා සිත්ගත් එකක්. ධාතුසේන රජතුමා රජවෙන්නේ ද්‍රවිඩ ආක්‍රමණයකින් මෙරට ද්‍රවිඩ රජුන් සය දෙනෙක්ට නතුවී තිබෙන යුගයක. ඔවුන් රජ පවුලේ ඇතුලු රජ වෙන්නට සිටින කුමාරවරු පවා මරා දමනවා. මහානාම හාමුදුරුවන් විසින් කුඩා ධාතුසේන කුමාරයාව නිසි වයසට එලඹෙන තෙක් සඟවාගෙන ආරක්ෂා කරගන්නවා. මෙසේ හැදී වැඩෙන ධාතුසේන රජතුමා රට මුදාගෙන එක්සේසත් කරනවා...එතුමා ඊට පසුව තමයි මේ කලා වැව නිරිමාණය කරන්නේ.
මට නොදැනීම ඉතිහාස කතාව ලියැවෙනවා. ඒ නිසා මම ඉතුරු ටිකත් ලියලාම ඉන්නම්. ධාතුසේන රජුගෙන් පසුව රජකම ලැබීමට තිබුනේ මුගලන් කුමරුට. නමුත් කාශ්‍යප කුමරු එය වලක්වා ධාතුසේන රජුව සිරකරනවා. මුගලන් කුමරු පලායනවා. ඉතින් මේ කාශ්‍යප ධාතුසේන රජුගෙන් ඔහු සතු සියලුම වස්තුව තමාට දෙන ලෙස කියා සිටිනවා. එවිට ධාතුසේන රජු කාශ්‍යප කුමරුව කලා වැව වෙත රැගෙන ගොස් එහි වතුර දෝතක් රැගෙන කියනවා මා සතු වස්තුව මෙය තමයි කියල. මෙයින් දැඩි ලෙස කෝප වෙන කාශ්‍යප ධාතුසේන රජුව වැව් බැම්මට තබා මැටි වලින් ගසා මරණයට පත්කරනවා.

ඉතින් මේසා සාපරාදී ක්‍රියාවක් කල කාශ්‍යප රජු සීගිරි සිතුවම් වලින් මේ කැලල මකාගන්නට උත්සහා කිර්‍රිමක් රචකයා පෙන්වාදෙන අපූරුව බලන්න. සීගිරි ගී පවුරේ ලියා ඇතිද එක ගීයක් නුඹේ පියානන් වෙනුවෙන්...
කලා වැව ඒ දුක දරාගෙන වැලපෙන අයුරු කියාපාන රචකයා අපව නිතැතින්ම අතීතයට ගෙනයනවා නොවෙද...
කාශ්‍යප රජු ඒ කල අපරාධය ගැන වැඩිමනත් කතා නොකරන කාලයක රඹුක්කන සිද්දාර්ත හිමියන් ඉතා සංවේදී ලෙස කලාවැව සීගිරි සිතුවම් යොදාගෙන එය මතුකරනා අපූරුව අගය කල යුතුමයි.

'වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ' ගීතයත් මේ වෙලාවේ මතකයට නැගෙනවා. එහිදී ධාතුසේන රජු විසින් කාශ්‍යපට කියනා ලෙසින් රචනා කල ඇත. වසූ කියනා ආකරයටම මේ ගීතය තුන්වන පාර්ශවයක් විසින් දකින අයුරු පෙනේ.

කරුණාරත්න දිවුල්ගනේ හඬ මේ සඳහා කදිමට ගැලපෙතැයි මට සිතේ. රෝහණ වීරසිංහයන්ගේ සංගීතය වෙනදා මෙන්ම මධුරව සවන මත වැකේ...

වසූගේ අදහස් දැක්වීම අගෙයි.