Sunday, 19 February 2017

සංහිඳේ දෙයියන්ගෙ පාමුල

සංහිඳේ දෙයියන්ගෙ පාමුල
කඳුළු තියලා එන වෙලේ
වැව් කොනේ තනි එකා ඉඳලා
දිවුල් හෙව්වද උඹෙ කුසේ
අදුර ඇඳගෙන ඇත්තු ඇවිදින
හරිම මූසල මණ්ඩියේ
වැවේ දෙවියනි මේ තියෙන්නේ
අපි උදේ කෑ වැල් අලේ

රැහැයියෝ ඔය ජප කරන්නේ
වැදුම් ගෙදරක මන්තරේ
පොඩි එකා ඇහැ පියාගන්නැති
දකින්නට පෙර කිරි කළේ
වී දෙපෑලක් උගස් කරලා
ගෙනත් ඇති පංචායුදේ
අලි හිතක් ඇයි අඩිය තිබ්බේ
පොඩි පුතා සැතපුණු කුසේ

කණාමැදිරියො එළිය නිවලා
ගුලිවෙලා ඇති මගෙ පැලේ
ගහක් මුදුනට හඳත් නැගලා
බලා ඉන්නැති මර බයේ
මිරිස් හේනක දුව පනින්නට
පුතත් එක්කල මහ වනේ
නංගියේ උඹ ඇවිත් යනවද
හීනයක හෙට කළුවරේ

වල් අලි තර්ජනය හේතුවෙන් දුක් විඳින ජනතාවගේ දුක්ඛිත ජීවිතයේ පැතිකඩක් සේ නිර්මාණය වී ඇති සංවේදී නිර්මාණයයකි,සුජීව හෙට්ටිතන්ත්‍රීන් රචනා කරන ලද සුනිල් දයානන්ද කෝණාරයන් සංගීතවත් කොට ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී සමන් කොට්ටව ලෙනින් ගායනා කරන "සංහිඳේ දෙයියන්ගෙ පාමුල " ගීතය.

සංහිඳේ දෙයියන්ගෙ පාමුල
කඳුළු තියලා එන වෙලේ
වැව් කොනේ තනි එකා ඉඳලා
දිවුල් හෙව්වද උඹෙ කුසේ
අදුර ඇඳගෙන ඇත්තු ඇවිදින
හරිම මූසල මණ්ඩියේ
වැවේ දෙවියනි මේ තියෙන්නේ
අපි උදේ කෑ වැල් අලේ.

සුජීව මෙහි ප්‍රස්තූතය කොට ගනුයේ,වල් අලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව මිය යන ගැබිණි මවකගේ සංවේදී සිදු වීමකි.
"සංහිඳේ දෙයියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ"
වල් අලි තර්ජිත ප්‍රදේශවල ඉන්න මිනිසුන් කඳුළු සමඟ ජීවත් වෙන්නෝ වෙති.ඒ ඔවුන්ගේ සමාජීය හා ආර්ථික ගැටලු නිසාවෙනි.එහි ගැබිණි මව්වරුන් යනු,අන් අයටත් වඩා කඳුළු උරුම කරගෙනම දිවි ගෙවන කොටසකි.ඔවුන්ට විශේෂඥ වෛද්‍ය වරු හමුවීමට ඉඩක් නැත.තැනක් නැත.මුදල් නැත.එනිසා ඔවුන්ගේ එකම ගැලවුම් කරුවා වනුයේ තමන් අදහන දෙවියන් ය.වෛද්‍යවරයෙකු ගැබිණියක පරීක්ෂා කර බලා,ඔබගේ දරුවා නීරෝගීව සිටිනවා නිරුපද්‍රිතව ලැබේවී කියූ විට සහනයක් ලබන්නේ යම් සේද,එපරිද්දෙන් ම දෙවියන් ඉදිරියේ තම අරමුණ ඉටුකර ගැනීමට බාර වූ පසුව ගැමි කාන්තාව ලබයි.බාර හාර වූ පසුව ඇය ලබන සතුට " දෙයියන්ගෙ පාමුල කඳුළු තබා"යන්නෙන් සුජීවයන් ඉදිරිපත් කර ඇති ආකාරය කෙතරම් අපූරු ද?

සංහිඳ වෙතට ගොස් එන ඇයව වැව අසලදී තනි අලියාගේ ප්‍රහාරයට ලක් වේ.ඇයව මරා දැමීමෙන් අලියාට ඇති ඵලය කිම? වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වාද උබෙ කුසේ...
අලියා ගිල්ල දිවුල වගේ යන කියමනත් සමගම ප්‍රාණය නිරුද්ධවී ඇති ඇයව සහ ඇයගේ කිරි කැටියා ගැන චිත්තරූප මැවීමට රචකයා සමත්ව ඇති ආකාරය අගනේය.
අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින හරිම මූසල මණ්ඩියේ..
වැවේ දෙවියනි මේ තියෙන්නේ අපි උදේ කෑ වැල් අලේ...
අඳුර කළු පාටය ඇත්තු ද කළු පාටය.."අඳුර ඇඳගෙන" යන යෙදුම අපූරුය.රචකයා කියන ආකාරයට එම ස්ථානයේ ඇති මූසල බව උක්ත යෙදුමෙන් ත්‍රීවෘර වේ..
අලියෙකු පෑගූ පසු කෙසේ වෙන්නට ඇත්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.ඈ උදේ ආහාරයට ගත් "වැල් අල" අසල තියෙන්නට ඇත..මොනවද ඇය කාලා තීන්නෙ?වැල් අල ..ඇයගේ සමාජීය හා ආර්ථික දරිද්‍රතාව වචන දෙක තුනකට කැටි කිරීමට රචකයා කෙතරම්නම් සමත් වී ඇත්ද?
උදේ කෑ දෙයක් සවස් වෙනකම් නොදිරවා තිබුනේ ඇයගේ මානසික පීඩාව නිසා දෝ යැයි විටෙක සිතේ.

රැහැයියෝ ඔය ජප කරන්නේ
වැදුම් ගෙදරක මන්තරේ
පොඩි එකා ඇහැ පියාගන්නැති
දකින්නට පෙර කිරි කළේ
වී දෙපෑලක් උගස් කරලා
ගෙනත් ඇති පංචායුදේ
අලි හිතක් ඇයි අඩිය තිබ්බේ
පොඩි පුතා සැතපුණු කුසේ

රැහැයියන්ගේ කෑ ගැසීම් ඔහුට ඇසෙන්නේ වැදුම් ගෙදරක ඇසෙන ශබ්ද ලෙසටය..අලියා පෑගීමෙන් පසු දරුවා ප්‍රසූත වී ඇති බව සුජීව ඉදිරිපත් කරන්නේ සංඛේතවත්‍ වය.එසේ ප්‍රසූත වූ දරුවා කාගෙන්නම් කිරි බොන්නද?මවගේ තනය ඇස නොගැටීම දරුවා මිය ගොසින්‍ ය.
වී දෙපෑලක් උකස් කරලා ගෙනත් ඇති පංචායුදේ ...
දරුවාගේ ආරක්ෂාවට පංචායුදයක් දැමීම ග්‍රාමීයව මෙන්ම නාගරිකව ද වෙනසක් නැතිව සිදු වන ක්‍රියාවකි.ඒ සඳහා ඔවුන් සල්ලි හොයාන ඇත්තේ වී පෑල් දෙකක් උකසට තැබීමෙනි..එසේ ගෙන ආ පංචායුදය පැළඳීමට අලියා ඉඩ ලබා දුන්නේ නැත..
"අලි හිතක් ඇයි අඩිය තිබ්බේ
පොඩි පුතා සැතපුණු කුසේ.."
අලියා යනු,මිනිසා දුටු තැන පහර දෙන ප්‍රචණ්ඩකාරී ව හැසිරෙන සතුන් කොටසක් නොවන්නේය.මිනිසා හැරුණු කොට උන් ද සංවේදී සත්ව කොටසකි.අතීතයේ මිනිසා අලින් සමග ගැටුමකින් තොරව දිවි ගෙවා ඇත..නමුත් අද ගැබිණි කතක් පාගා මරා දැමීමට තරම් උන් සාහසික වී ඇත.අලි හිතක් ඇයි අඩිය තිබ්බෙ පොඩි පුතා සැතපුණු කුසේ යන්නෙන් රචකයා ප්‍රශ්න කරන්නේ එයම නොවන්නේ ද?

කණාමැදිරියො එළිය නිවලා
ගුලිවෙලා ඇති මගෙ පැලේ
ගහක් මුදුනට හඳත් නැගලා
බලා ඉන්නැති මර බයේ
මිරිස් හේනක දුව පනින්නට
පුතත් එක්කල මහ වනේ
නංගියේ උඹ ඇවිත් යනවද
හීනයක හෙට කළුවරේ

කණාමැදිරියන් යනු ස්භාවික ආලෝකයක් උපතින්ම උපතින්ම උරුම කරන් ආවෝ වෙති.ඔවුන් සිටින්නේ ද එම ආලෝකය නිවා ගෙනය.ඒ එම ආලෝකයම ඔවුන්ගේ විනාසයට හේතුවිය හැකියැයි යන බියෙන් විය යුතුය.මෙය අලි තර්ජිත ප්‍රදේශවල පොඩි දරුවන් සංකේතවත් කරන්නක් යැයි සිතේ.

"ගහක් මුදුනට හඳත් නැගලා බලා ඉන්නැති මර බයේ"
ගස් මුදුනින් පායන සඳ ඔහුට පෙනෙන්නේ අලින්ට බයේ ගහ උඩට නැග්ගා සේය..මෙම ප්‍රදේශවල බොහෝ පිරිමින් රාත්‍රි කාලය ගත් කරන්නේ ගස් මතට වී,වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කරමින්‍ ය.ගස් මතට නැගපු සඳ යනු එය සංකේතවත් කරන්නක් නොවන්නේ ද?
දරුවා සමග තම ගොවි බිම් වල ඇවිද යන්නට ඔහු සිහින දකින්නට ඇත..එහෙත් ඔවුන් කිසි දිනෙක එසේ ඇවිදීමට නොයෙනු ඇත.
එබැවින් සිහිනයකින් හෝ පැමිණෙන ලෙස ඔහු ඉල්ලා සිටී...

මෙම ගීතය සංගීතවත් කරනුයේ සුනිල් දයානන්ද කෝණාරයන් ය..ඒ සංගීතවත් කරන අවසාන ගීතයයි.ගීතයේ ඇති සංවේදී ස්ථාන ඉස්මතු කිරීමේ ලා ඔහු සතු දක්ෂතාව ඉතාමත් ඉහළ ය.ආරම්භයේ පටන් අවසානය දක්වාම ගීතයෙන් මැවෙන පරිසරය මැවෙන ආකාරයට සංගීතය යොදාගෙන ඇත.සත්ව හඬවල් සිහිවෙන ශබ්ද ගීතය පුරාවට ඇසෙන්නට තිබීම ඊට හොඳම නිදසුනකි.තවද ඇවැසි තැන් සඳහා ශෝකී හඬවල් යොදා ගනිමින් ගීතයේ ජීව ගුණය රැක ගැනීමට ඔහු සමත්ව තිබේ.

ප්‍රතාපවත් හඬ පෞරුෂයක් හිමි සමන් ලෙනින් විසින් ගීතයට කර ඇති සාධාරණය අති මහත්‍ ය.ඔහු ගීතය තුලට ආරූඪ වී ඇති වගක් පෙනේ."හරිම මූසල මණ්ඩියේ" කියන කොටස ගායනා කිරීමේ දී එම මූසල මණිඩිය ශාවකයා තුලට කා වැද්දීමට ලෙනින් හඬින් වික්‍රමයක් කරන්නා සේ හැඟේ.

උක්ත කරුණු සැලකීමේ දී මෙම ගීතය සාර්ථක නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය.

බුද්ධික ප්‍රදීප් ..


3 comments:

Anonymous said...

විස්තරාත්මක අපුරුතම විග්‍රහයක්.....! මා මේ අපූරූතම ගීතය වෙනුවෙන් දන්නා තරමින් රූප රචනයක් කලා ඔබට ජය වේවා ---- නිමල් සිරිවර්ධන ---- https://youtu.be/at5Ih5O3atU

UVIN said...

Thank you very much!

Anonymous said...

Excellent work.....