Sunday 22 November 2015

මිනිසෙකු පිට නැගි අසරුවෙකි..

සූදුවට ඇබ්බැහිවූ අමනෝඥ මිනිසුන් ගේ ජීවිතයේ ඛේදාන්තය මෙම ගීතයෙන් අරුත් ගන්වයි.

මිනිසකු පිට නැගී අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි
පාන්දරින් පැරදුන ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී....

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණුමිරිසෙන් ගතවෙනවා
කාසි මල්ල සතෙකුගේ පිට යනවා
දු දරුවන් පැදුරේ නිදියනවා....

ඉරණම විසදුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසකු පරදිනවා
දරුවන් බිරිදත් ගිනි උහුලනවා
හීනෙන් නුබ තව ගෙවල් හදනවා

ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: එච්. එම්. ජයවර්ධන


"මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි"


යමෙකු සූදුවට පෙළඹීම නිසා සිදුවන ධන හානියේ ප්‍රතිඵලය ලැබෙන්නේ ද ඔවුන්ගේම පවුලට ය.

"ඒ බර ගෙයි වහලට බරකි"

යන්නෙන් නිවසේ පැවැත්ම,ජීවය,ශක්තිය ,රැකවරණය ගෘහ මූලිකයා මත පැවරෙන බව ඇගවෙයි.

"පාන්දරින් පැරදුණු ඒ මිනිසා
හැන්දෑවෙත් අසු පිටට නගී"

වරක් පැරදීමෙන් සූදුව අත් හැර නොදමන ඔවුන් නැවත නැවතත් බලාපොරොත්තු තබාගනිමින් මුදල් ඔට්ටු අල්ලමින් දිනෙන් දිනම වලපල්ලට යයි.
ධනපති පංතියේ සූදු පොලවල් හිමියන් ඔවුන්ගේ පැවැත්ම උදෙසා මුග්ධ මිනිසුන් රවටා මුදල් සූරා කමින් ඔවුන්ගේ
බඩ සරි කරගන්නවා විනා කිසි දින අසරණ මිනිසුන්ට දිනුමක් නොදෙයි.ඔවුන්ගේ යටි අරමුණු වටහා නොගන්නා නූගත් මිනිසුන් තම දූදරුවන්ට කන්නට බොන්නට ඇති එකදු සොච්චමත් කිසි ලෝබකමකින් තොරව ගෙනගොස් සූදුවට පූජා කරන්නේ අද නැති සැප සම්පත් හෙට ලැබේයැයි අනියත විශ්වාසයෙනි.

"හෙට මම ගෙදරට සුරසැප දෙනවා
අද රෑ ලුණුමිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගේ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා"

නමුත් සිදුවන්නේ සුපුරුදු පරිදි පැරදීමම ය.අතැගිලි තුවාල කරගනිමින් අනේකවිධ දුක් කම් කටොලු විද අව් වැසි නොබලා නිදි වරා හම්බකරගත් කාසි පනම් වතුරේ යන්නේ ගෙදර අඹුදරුවන් ගේ දුක් පීඩා තවත් උග්‍ර කරමිනි.

"ඉරණම් විසදුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා"

දහඩිය වගුරවා උපයාගත් සන්තකය අවසානයේ හිමි වන්නේ තිරිසනුන් වැනි හිත් පිත් නැති ව්‍යාපාරික යන්ටය.නමුත් සූදුකාරයින් මැරෙන තුරුම සූදුවෙන්ම ගොඩ යන්නට හීන මවයි.

කුලී වැඩ කර එදාවේල බත සරි කරගන්නා ගෙවල් වල අනේකවිද ප්‍රශ්න රාශියකි...... .කුප්පි ලාම්පු එලියෙන් දංකුඩ බත් කා මදි පාඩුවට වතුර බී කුස පුරවාගෙන වැල් ඉරීගිය පැදුරු කඩමාල්ලක වැතිර තම දූ දරුවන් සමග නින්දට යන බිරිඳක් , අශ්ව සූදුවට ගිය තම සැමියා එනතෙක් මහ රෑ අවදියෙන් සිටින අයුරු........
හාත්පසින් වූ අනාරක්ශිත බව, කුසගින්න සහ දරිද්‍රතාවය යන සියල්ල එකට කැටිව ඇගේ ළය පිච්චී නැගෙන්නාවූ වේදනාව උණු කදුළු කර ගලා යනු ඇති........

ඒ කිසිවක වගක්වත් නැතිව සූදූ කෙලින්නට ගිය සැමියා පරාජවී හිස් දෑතින් ගෙට රිංගා වැතිර දහ අතේ කල්පනා කරමින් හෙට එළිවෙනතුරු හීනෙන් ගෙවල් හදමින් සිටී.........

~~දිමුතු ශානික~~  


No comments: