Saturday, 7 November 2015

වන්නි වනපෙතේ ගම් දනවු පුරා....

ඔන්න මාත් පළමු වතාවට ගීතයකට පොඩි විචාරයක් ලියන්න හිතුවා. ඇත්තටම මං ඒකට දක්ෂ නෑ. ඒත් මේ
ගීතය ඉස්සර ඉදන් මං ගොඩක් ආස කරපු අර්ථවත් ගීතයක් හින්දා මට පුළුවන් විදියට පොඩියට හරි දෙයක් ඒක ගැන ලියන්න හිතුණා. අඩු පාඩු ඇතොත් පෙන්වා දෙන්න.


සමාජය සීඝ්රීයෙන් නවීකරණය පසුපස හඹා යයි. ජීවත් වීම දුෂ්කරය. ඉන්ට හිටින්නට බිම් අගලක් සොයා ගන්නවා යනු ද ඉතා දුෂ්කර සටනක් බවට පත් වෙමින් පවතී. හැම කෙනෙක්ම වාගේ දිවා රෑ නොබලා නොකා නොබී මුදල් උපයන්නට වෙහෙසෙති. බැංකු පොත් පුරා මුදල් පුරවන්නට ඔවුන් තමන්ගේද තම පවුලේ අයගේ ද සතුට උගසට තබති. එසේ කර ඔවුන් නගරයේ කොනක දුක සේ තැනූ නිවසකට වී බියෙන් සැකෙන් තම ජීවිතය ගෙවා දමති. ඒ අතරතුර අපේ ගම් වල වෙසෙන අපේ අප්පච්චීලා.......

වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...

ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...

කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

ගායනය - සුනිල් එදිරිසිංහ මහතා
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ

ඉස්සර අපේ ගම්වල ජීවත් වූ අපේ අප්පච්චීලා තම දිවි පෙවෙත බොහෝ සරලව ගෙවා දමති. ඔවුනට තම ජීවිතය බරක් වූයේ නැත. බියෙන් සැකෙන් ලෝබකමින් තම ධනය රැස්කර තබන්නට ඔවුනට අවැසි වූයේ නැත. නිදහසේ දාන මාන ආදියත් කරමින් පරලොව කරා ධනය රැස්කරමින් සතුටින් ජීවත් වන්නට ඔවුන් සමත් විය.

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා
ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...

තමන් දුක් මහන්සියෙන් හරි හම්බු කරගත් ගොවිතැන් බතින් මුලු ගමගට වුව ද කන්නට දෙන්න තරම් අපේ අප්පච්චීලා පොහොසත් ය. නිතර තමන්ගේ කුටියට පැමිණෙන කවර ගම් වැසියෙකුට වුව ද බත් මිටක් කන්නට දෙන්නට තරම් ඔවුන් නිරහංකාර මෙන්ම නිර්ලෝභී වූවෝ ය. බැංකු පොත් පුරා මුදල් උපයනවා වෙනුවට ඔවුන් මිනිසුන් උපයති. එවන් පියවරුන් වෙතින් ජාතක වන්නට පින් ඇතත් ඔවුන්ගේ බොහෝ දූ පුතුන් නගරයෙහි සේවයට ගොස් බොහෝ හිරිහැර දුක් ගැහැට විදිමින් මුදල් උපයන්නට වෙහෙසෙති...

කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

පරම්පරාවෙන් තමන් හට ලැබුණු දේ බොහො වුණත් ඉන් සෑහීමට පත් නොවන වර්තමාන ජනයා, නගරයට වී අනුන් යටතේ සේවය කරමින් බොහෝ සේ වෙහෙසී දුක් විද, මාසයක් අවසානයේ සොච්චම් මුදලක් අතට ගනී. තම අඹු දරුවන් හා සමග ජීවිතය ගැටගසා ගැනීමට එය ප්‍රමාණවත් නොවේ. අනුන්ට දන් දෙනවා තියා තමන්ගේ එදිනෙදා ජීවිතයටවත් ප්රයමාණවත් නොවන මුදල්, කොයි වෙලේ කවුරුන් විසින් පැහැර ගන්නේ දැයි නිතරම ඔවුන් බියෙන් ජීවත් වෙති... පුහු ආටෝපය විනා නිවසට පැමිණෙන නෑ හිතමිතුරකුට සංග්‍රහ කිරීමට තරම්වත් ඔවුන් නිර්ලෝභී නොවෙති.... ඔවුන් සැබැවින්ම අසරණය.......


~~රුවිනි අපේක්ෂා~~



1 comment:

Unknown said...

එල.... නියමයි..