Sunday 1 November 2015

උඩඟු ලියන් ගොතා බඳින....

උඩඟු ලියන් ගොතා බඳින - නීල වරල සරසන්නට
මා පිපුනේ නැත - මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන සිත් පුරවන බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හමන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවිදුන්
රණවිරුවකුගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිල්ලෙන්,
තැළී වෙළී සැනහී මියයන්නෙම් ...

මගේ පරම පැතුම එයයි
එමගට මා විසිකරන්න...

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - ඩෝල්ටන් අල්විස්
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව

 දේශාභිමානී ගීත අතරට වැටෙන මෙම ගීතය රචනා කොට ඇත්තේ ඩෝල්ටන් අල්විස්  නම් අසහාය ගීපද රචකයා විසින්. මා ඔහුට අසහාය යන වචනය භාවිතා කලේ දේශාභිමානී ගීත ලිවීමට ඔහු තුල තිබූ අසහාය හැකියාව නිසාවෙනි.
'සසර වසන තුරු නිවන් දකින තුරු, රන් දහඩිය බිංදු බිංදු, නිවහල් සිතිවිලි සිතනා සිතක් උදාරයි' යන ගීත එයට කදිම නිදසුන් කිහිපයක්.
මෙතුමාව කරලියට ගෙන එන්නේ අප කවුරුත් දන්න  'සිරි අයියා' හෙවත් යු. ඒ. එස්. පෙරේරා විසිනි. මෙහිදී කණගාටුවෙන් වුවද පැවසියයුතු කරුණක් තියෙනවා. බොහෝ දෙනෙක් සිරි අයියා යනු කවුදැයි නොදන්නවා වෙන්න පුලුවන්. කරුණාරත්න අබේසේකරයන් විසින් දකුණු ආසියාවේ පැරණිතම ගුවන්විදුලිය වූ 'ශ්‍රි ලංකා ගුවන්විදුලිය නැතිනම් රේඩියෝ සිලෝන්' ට හඳුන්වාදුන් 'ළමා පිටිය' ඉදිරිපත්කලේ සිරි අයියා. කරුණාරත්න අබේසේකරයන් මෙන්ම මොහුත් ආදි නාලන්දීයෙක්.

ඩෝල්ටන් අල්විස් විසින් රචිත බොහෝ දෙනා දන්නා ගීත කිහිපයක් නම් 'කවුරුදෝ අර කවුලුවෙන්, බකිනි ගහේ බකිනි මලෙන් පාර අසන්නේ, අවසන් ලියුමයි ඔබට ලියන්නේ' දැක්විය හැකිය.
ඉතින් අපි උඩඟු ලියන් ගීතය පිලිබඳව කතා කිරීමේදී මෙය හින්දි පද පෙලක ආභාෂයෙන් හැඩවුනු සිංහල ගීතයක් ලෙසට හැඳින්විය හැකිය. එසේ වුවත් මේ සඳහා මෙතුමා යොදාගෙන ඇති වචන දෙස බැලූකල ඒවා එසේ මෙසේ නොවන බව ඔබට පෙනේවි. 'උඩඟු ලියන්'  'හිස් මිනිසුන් කුස් පුරවන සිත් පුරවන බස් දොඩවන' 'තැළී වෙළී සැනහී' ඉන් කිහිපයක්.

මා පෙර පැවසූ ආකාරයට ‘පුෂ්ප කි අභිලාෂා’ නම්වූ හින්දි පැදි පෙළෙන් මෙම ගීතයට ආභාෂය ලැබී තියෙනව. මෙය රචනා කර ඇත්තේ පන්ඩිත් මඛන්ලාල් චතුර්වේදී නම් ගීත රචකයායි. ගීත රචනයට අමතරව මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කල මෙතුමා ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කලේය. වර්ෂ 1963 දී මෙතුමාට ඉන්දීය රජය විසින් ජනතාවගේ ගෞරවයට පාත්‍ර 'පද්ම භූෂණ' සම්මාණය පිරිනමන ලදී. 

ඉන්දියානුවකු විසින් පරිවර්ථනය කරන ලද චතුර්වේදී ගේ ‘පුෂ්ප කි අභිලාෂා’ පද පෙල පහත දැක්වේ.

A FLOWER’S DESIRE……
I do not wish to be a part of the ornaments of the daughter of Gods, I do not wish to lure sweet love being a part of lover’s garland for her I do not wish O God, to be offered on the dead-bodies of great kings I do not wish to adorn the foreheads of Gods and be proud of my luck O Gardener! Please pluck me and throw me on the street Where the brave men offering their head for the motherland tread!

මල කියල කියන්නේ සොබාදහම අපට දායාද කල සුන්දරතම වස්තුවක් කීවොත් ඔබ මා හා එකඟ වනවා නිසැකයි. ඒ තරමටම මල් අපේ ජීවිතයට බැඳී තියෙනව. සිදුහත් කුමාරයා ඉපදුන පසුව නෙළුම් මල් උඩ පා තබනව. බිලිඳෙකු ඉපදුන විට, උපන්දින උත්සවයකදී, විවාහ මන්ගල්යයකදී සහ කෙනෙකුගේ ජීවිතයටයේ විශේෂ අවස්තාවක මල් කලඹක් දීම බොහෝ දෙනක් සිදු කරනව. ඉතින් මේ විදියට 'මල' අපේ ජීවිතයත් එක්කම ඉන්නවා කියන්න පුළුවන් මොකද පුද්ගලයෙක් මියගිය පසුවත් ඔහු හෝ ඇය අසල තනියට සිටින්නේ බොහෝ දුරට මලක්ම වන නිසා.

ගීතයේදී රචකයා ලියන් සහ මල අතර ඇති සබැඳියාව ගෙනහැරපායි. මෙහිදී ලිය සාමාන‍ය ලියක් නොව 'උඩඟු ලියක්'. ඇයි මේ උඩඟු ලියක්, ඒක ඉතින් අහගන්න වෙන්නෙ මලෙන්ම තමයි.

ගීතයේ කියැවෙන මල කැමති වෙන්නේ නෑ උඩඟු උද්දච්ච ගැහැණුන්ගෙ ලස්සන වරලස සරසන්නට. ඇත්තටම කාන්තාවකගේ ලස්සන විදහාපාන අංග අතුරින් වරලසට ලැබෙන්නෙ ඉහලම තැනක්. ඉතින් ඒ වරලස සැරසීමට ලැබීම මලකට ආඩම්බරයක් නොවේද? නැත. මේ කියවෙන මල එය ආඩම්බරයට කරුණක් ලෙස කිසිසේත් නොසලකයි. ලස්සන සමහර විටෙක උඩඟුකම ඉස්මතුවීමට මුල පුරන බව සිතේ. එසේවූ ලඳක් මල් ගසාගෙන තවත් ලස්සන වූවානම් ඇගේ උඩඟුකම එයින් අඩුවේ යැයි සිතිය නොහැක. 'මල' පවසන ආකාරයට මල මෙලොවට ජනිත වන්නේ මෙවන් බාල දෙයක් සඳහා කැපවෙන්නට නොවේ.

'මල' අකමැති වන්නේ මේ සඳහා පමනක් නොවේ. බොහෝ විට කෑම මේස වල රස නහර පිනායන ආහාර පාන කොතෙක් තිබුනද මේසය මලින් සරසා නොතිබ්බොත් ඒය විශාල අඩුපාඩුවකි. ඒ තරමටම ආහාර ගන්නා අවස්තාවේ වුවද මල් දෘෂ්‍ය පථයට හසුවීම මිනිසා ප්‍රිය කරයි. මිනිසා එසේ සිතුවත් 'මල' එය දකින්නේ වෙනමම කෝණයකිනි. සිත් පිරෙන බස් තෙපලා කුස පිරෙන්නට ආහාර ගෙන ප්‍රීතිවන මිනිසුන්ගේ රසඳුනක් වන්නට තරම් තමා පහලට නොවැටිය යුතුබව 'මලේ' අදහසයි. 

ඉතින් මේ හැම දෙයකටම සම්බන්ධ නොවී 'මල' කරන්නට යන ක්‍රියාව කුමක්ද? රට වෙනුවෙන් තම අවසන් හුස්ම  තෙක් සටන් කර මවුබිමට ණය ඉතිරි නොකර වියැකීයන රණවිරුවකුගේ අවසන් ගමනට සහභාගීවන සංවේදී දේශප්‍රේමී මහජනයා පා සිප ගන්නට ඈ (මල සැදී පැහැදී සිටී. ඒ ජනයාගේ පා රළු පොලොවේ ගැටෙන්නට නොදී පාවඩයක් ලෙස රැඳී සිට තැලී පෙලී මියෙන්නට තරම් 'මල' සූදානම්. එසේ මියයාමම ඇයට සහනයක්. මේක තමයි 'මලේ' ප්‍රාර්ථනය.

මෙහිදී ඇතිවන දේශානුරාගය කියා නිම කරන්න බෑ. මේ කියන මල වෙන්නට අපට හැකියි. හැමදෙනාටම මවුබිම, යුක්තිය, සාධාරණය වෙනුවෙන් සටන් කරන්නට බෑ. සටන් පාඨ කියමින් පෙළපාලි යමින් සාධාරණ විප්ලව කරන්නට අපිට බැරි වෙන්න පුලුවන්. නමුත් එසේ දේශය රැක ගන්නට දිවි පරදුවට තබන අපේම සොයුරු සොයුරියන් වෙනුවෙන් අපට යමක් කල හැකියි. අනිවාර්යෙනම... සිතන්නට යමක්!!!!!


~~තේජන අබේදීර~~







11 comments:

තේජන අබේදීර said...

‘පුෂ්ප කි අභිලාෂා’ නම්වූ හින්දි පැදි පෙළෙ පිලිබඳව Youtube මගින් උපුටාගන්නා ලදී.

Kaweesha Sathsarani said...

ඉතාම ලස්සනට අර්ථ දැක්වීම කරල. ගීතය ගැන දන්නැති ගොඩක් දේවල් මේක කියෙව්වම තමයි දැනගත්තෙ. හොඳ නිර්මාණයක්. ඔබගේ නොතැවෙන් සූරියකාන්තා ගීතය හැරුනාම වඩාත් කැමති මේ ගීත විචාරයට.
ගීයක පහස කියන FB පිටුවෙන් මට පහත විචාරයත් ලැබුනා.

නිදහසේ සිතන්නට නිදහසේ අදහස් පවසන්නට හැකි
බලැති මිනිසුන් අබියස කවටයන් සේ නොහැසිරෙන්නට
තම පැවැත්ම උදෙසා නිවටයින් නොවන්නට තරම්
තම කශේරුවේ පණ ඇති මිනිසුන් වෙනුවෙන්
නොමිනිසුන්ගේ අඳුරින් වැසුනු යුගයක ගැයූ අභීත ගීයකි මේ.
කාලය ගෙවී ගියත් ජීවිතයේ එදිනෙදා හමුවන නොයෙක් මිනිසුන් අතරද මෙවන් කවටයන් හා නිවටයන් අපමණ ඇති බැව් මට හැඟෙයි!
සංයමයෙන් ලියැවුණු සුනිල් ආරියරත්නයන්ගේ අපූර්ව පද පෙළ අැතුලතින් කියැවුණූ උපහාසය තුලින් දේශිභිමානය මේ යැයි පසක් කරයි.
අමරදේවයන්ගේ සංගීත මුසුව ගීත දේහයේ පෞරුෂය වඩන විට නන්දාමාලිනිය ඒ දේහයට ප්‍රාණ වායුව පිඹින්නීය.
උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ
හිස් මිනිසුන්-කුස් පුරවන-සිත් පිනවන-බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවකුගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිලෙන්
තැලී වෙළී සැනහී මිය යන්නෙම්
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමගට මා විසි කරන්න

උපුටා ගැනීම - ගීයක පහස

Shirani Daulagala said...

While we werel in O/L class when doing histry subject to do it practical our teachers used this types of songs to make us understand how our soldgers fought etc.it shows the road to our hearts to love our country respect which these days school children dont have any idea about our histry and love for our country

Amanda Rathnayake said...

I have used this song for sinhala literature a/l paper as an exact for literature discussion of "punaragamanaya" poem. Punaragamanaya is a soul of "vandibatta" in the king's palace...the idea of that song is very same to this song.i got an "A" 4 sinhala.therefore this song vl b evr in my memmory. But I didn't knw de origin of this song.thanx a lot Thejana...

Nimsara Hasarangi said...

කෙටි පද පෙලත් වුවත් ගැඹුරු අර්ථයක් ලබාදෙන ගීයක්.මෙවැනි ගීත ප්‍රචාරය වෙන්නෙ ජාතික රූපවාහිනියෙ විතරයි වගේ දැන්නම්

Anonymous said...

Yes, the interpretation of this song was beautifully written by Thejana.

This made me remember the last stanza of a poem by Ella Wheeler Wilcox, "Flowers Of France" Decoration Poem For Soldiers' Graves, Tours, France, May 30, 1918.

Flowers of France in the Spring,
Your growth is a beautiful thing;
But give us your fragrance and bloom—
Yea, give us your lives in truth,
Give us your sweetness and grace
To brighten the resting-place
Of the flower of manhood and youth,
Gone into the dust of the tomb..

What a deep meaning these few lines also resemble about the brave soldiers?

I also remember the renowned poem 'In Flanders Fields' by John McCrae, (May 1915) which was too written about the bravery of the soldiers who have dedicated their lives to serve their country.

In Flanders fields the poppies blow
Between the crosses, row on row,
That mark our place; and in the sky
The larks, still bravely singing, fly
Scarce heard amid the guns below.

We are the Dead. Short days ago
We lived, felt dawn, saw sunset glow,
Loved and were loved, and now we lie
In Flanders fields.

Take up our quarrel with the foe:
To you from failing hands we throw
The torch; be yours to hold it high.
If ye break faith with us who die
We shall not sleep, though poppies grow
In Flanders fields.

“…the poppies grow”: poppies were a symbol for death in war before World War One, but it was McCrae’s poem that helped to popularize the poppy as a sign of remembrance for the Great War. Poppies have been associated with the battlefield since at least the Napoleonic wars, when poppies would thrive and grow on the fields freshly manured by blood. Poppies were also associated with sleep (opium being a poppy derivate) and McCrae, being a doctor, would have been conscious of this: the idea of sleeping under the poppies is revived in the last lines.

“We are the dead.”: the poem turns, surprisingly, to the dead, who are given voice by the poet. This is a powerful and emotive turn, a direct address of the living by the fallen.

“In the sky, the larks”: these birds, traditional poetic symbols of natural beauty and freedom, contrast strongly with the world below. As often, nature provides an idealized backdrop to the war that provides a contrast with man’s immoral actions.

“Take up our quarrel with the foe”: the message of the poem is to continue the war.

“we throw the torch… hold it high”: emotive image of passing on a burning torch to light the way forward. It must be held high— as a precious object of pride.

“if ye break faith with us who die / We shall not sleep…”: the suggestion is of a curse on those who do not remember the dead; an old and powerful idea.

“Though poppies grow…” reminds us the somnolent (sleep-inducing) power of the poppy.

තේජන අබේදීර said...

Thanks alot for the comments. I really like to read the above comment since it bring us to a great memory of a poem written in 1918

Chiran Windsor said...

මේ අදහසම උපුටා ගෙන පී බී අල්විස් පෙරේරා ත් අනුවර්තන කවියක් ලියලා තියෙනවා. ඔහුගේ කවිය නම් ලියලා තියෙන්නේ 1944 වගේ පේන්නේ. පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී "පුෂ්ප කී අභිලාෂා" ලිව්වේ මොන වසරේ ද, ඩෝල්ටන් "උඩඟු ලියන්" ලිව්වේ මොන වසරේ ද කියලා දන්නේ නැති නිසා මුලින් ලිව්වේ කවුද කියලා නම් දන්නේ නැහැ. පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී 1889 ඉපදිලා 1968 ජනවාරි 30 මිය ගිය බව විතරයි දැක්කේ.

මම දැකපු තවත් වෙනසක් තමයි ඉන්දියානු කවියේ දෙවියන්ට පූජා කරන්න එපා කියලා තිබ්බත් ශ්‍රී ලාංකික අනුවර්තන දෙකේම හෝ තුනේම බුදුන්ට පූජා කරන්න එපා කියලා නම් නැහැ.

මම අනුමාන කරන විදියට පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී ගේ (1889 - 1968) කවිය ලාංකීය කරලා පී බී අල්විස් අනුවර්තනය කළහම, පී බී අල්විස් ගේ (1917 - 1966) කවියෙන් වැඩි වශයෙනුත්, පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී ගේ කවියෙන් අඩු වශයෙනුත් ආභාසය ලබා ගෙන ඩෝල්ටන් (1926-1987) ලියන්න ඇති කියලා.

https://1drv.ms/u/s!ArjCQTNOtgdNgb4MBCVqOi3MmII94Q


උපුටා ගත්තේ අමර හේවාමද්දුම සහ සරත් විජේසූරිය සංස්කරණය කළ "පී බී අල්විස් පෙරේරා කවි එකතුව" 1993, 76 පිට

මලක් කතා කරයි

උයන් පලු හිතවත!
විදහන සෙයින් ඔබ තැත
මම රෝස තුර මත
සුවඳ පතුරමි වෙමින් විකසිත

හිතවතකු ඇසුරෙන්
සරණ යැදුමක අයුරින්
මම දැන් ඔබ කෙරෙන්
යදිමි තිළිණයක් සෙනෙහෙ පඬුරෙන්

මැසි බඹරුනට
මගේ රොන් රස විඳුමට
ඉඩ නොදෙනු ඔබ හට
කියමි මෙය බිඳ පිනි කඳුළු කැට

කුහක දනපති දන
කෑම මේසය සරසන
ලෙසින් මල ඇරගෙන
නොදිය යුතු මා තුරින් නෙලමින

අවි මුගුරු සුරතට
ගෙන වැද සිටින දෙවොලට
දෙවියා ඉදිරිපිට
නොදෙනු මැන මා රැගෙන තැබුමට

විත් මහ සබා මැද
දනන් රවටන ඇම සඳ
ලොකු මිනිසුන් ගෙළ ද
නො පළඳනු මා මල් දමෙක බැඳ

යුතු මුවග මද හස
උඩඟු ළඳකගෙ වරලස
බැඳ සරසන පිණිස
නොදෙනු හිතවත! මල පඩුරු ලෙස

දෑ නිදහස රිසින
තැත දරන නො පසිඳු වෙන
කෙනෙකු පිය පහරින
තැලෙන්නට මා මගට ලනු මැන

පී බී අල්විස් පෙරේරා

Chiran Windsor said...

පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදීගේ "පුෂ්ප් කි අභිලාෂා" 1922 කවිය සහ පී.බී. අල්විස් පෙරේරාගේ "මලක් කතා කරයි" 1944 අනුවර්තන කවියේ ආභාස ඩෝල්ටන් අල්විස්ගේ "උඩඟු ලියන් ගොතා බඳින" 1966 ගී පද රචනයට දායක වුනු අන්දම ගැන විමසුමක්

https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A_%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93_%22%E0%B6%B4%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A_%E0%B6%9A%E0%B7%92_%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%22_1922_/_%E0%B6%B4%E0%B7%93.%E0%B6%B6%E0%B7%93._%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A_%22%E0%B6%B8%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A_%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F_%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%22_1944_/_%E0%B6%A9%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A_%E2%80%9C%E0%B6%8B%E0%B6%A9%E0%B6%9F%E0%B7%94_%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%22_1966

Chiran Windsor said...

YouTube Video Prepared on this context

https://youtu.be/p-lgsP599Uc

Unknown said...

ඇත්තටම හරිම ආසයි මේව කියවන්න .කියවන විට දැනෙන රසය ඉතාම වටිනව