Thursday 26 November 2015

සායම් කිරිල්ලී..

උසස් පෙළ උපකාරක පන්ති යන කාලෙ සිදුවුන සිදුවීමකින් ආරම්භ කරන්න හිතුනා. අපි ක්ලාස් ගියේ
නුගේගොඩ රොටරියට, සක්යා එකට සහ ලීඩ්ස් එකට. මේ කියන සිදුවීම වුනේ රොටරියේ මහින්ද බණ්ඩාරණායක සර්ගෙ ක්ලාස් එකේදි. අපේ ක්ලාස් එක තිබුනෙ වලේ, වලේ තියන ක්ලාස් හෝල් එක රොටරියට ගිය කවුරුත් දන්නවා ඇති. මහින්ද සර්ගෙ ක්ලාස් එකේදි අපි හිටියෙ හරිම සැහැල්ලුවෙන්. වලේ හෝල් එක තරමක් විශාල බව ඔබලා දන්නවා. ඒක පිරෙන් ගානට සිසුන් හිටියේ නෑ. බොහොමයක් ළමයි හිටියෙ තැන් තැන් වල. සමහරු එක ඩේස් එකක තනියම හිටියා. සමහරු කල්ලි ගැහිල හිටියා. තවත් සමහරු පන්තියෙ කොනකට වී තනියම හිටපු අවස්ථාත් නොතිබුනා නොවේ.

ඉතින් සර් දවසක් පන්තියේ පාඩම කරන අතරතුර එතරම් උසක් නැති, සාමාන්‍ය ශරීරයකින් හෙබි ළමයෙක් සර්ව හම්බවෙන්න ආවා. ඒ ළමයාගේ අතේ 'බුක් මාර්ක්' බන්ඩලයක් තිබෙන බව අපට පෙනුනා. සර් අපිට කිව්වා මේ ළමයා දුර ඉඳන් ඇවිල්ලා ඉන්නෙ, ඔහු 'ඒක පුද්ගල ස්වර දැහැනක්' කරනව ඒකට උදව්වක් විදියට 'බුක් මාර්ක්' එකක් ගන්න කියලා. අපිත් විරුද්දවුනේ නෑ. අපි වගේම කොල්ලෙක්නෙ.

හැබැයි සර් කිව්වා එහෙම නිකන්ම 'බුක් මාර්ක්' විකුනගෙන යන්න එපා, අපිට සිංදුවකුත් කියල යන්න කියල. ඒ ළමයා ඉතා කැමැත්තෙන් එය බාරගත්ත. අපෙන් ඇහුව මොන සිංදුවද කියන්න ඕනෙ කියල. අපි සර්ට කිව්වා සර් කැමති සින්දුවක් තියනවනම් එයාට කියල කියවන්න කියල. සර් ආස වුනේ චන්දන ලියනාරච්චිගෙ 'පොල් රුප්පාවේ' කියන ගීතයට. ඉතින් ඒ ළමයා ඉතාම ලස්සනට ඒ ගීතය ගායනා කලා. හැම සිසුවෙක් වගේම 'බුක් මාර්ක්' එකක් ගත්තා. මම එදා ගත්ත 'බුක් මාර්ක්' එක අදටත් මා ලඟ තියනවා.

ඉතින් කාලය ගෙවිල ගිහිල්ලා 'සුපර් ස්ටාර්' උන්මාදය පැමිනියා. එදා රොටරියේදී අපි ඉස්සරහ සිංදු කිව්ව කොලු ගැටයා මෙන්න සිරස සුපර් ස්ටාර් වේදිකාවෙ. මම ඔහුව හඳුනා ගත්තෙ නමින් සහ 'බුක් මාර්ක්' එකේ තිබුන මුහුනින්. එහි තිබුනෙ 'අනුරාධ ගී දැහැන' කියල. ඉතින් මේ අනුරාධ, සිරස සුපර් ස්ටාර් 'සීසන් 1' වල නමවන ස්ථානයට පැමිනියා. එදා සුපර් ස්ටාර් නැරඹූ ඔබට මතක ඇති ඔහුගේ කටහඬ.

ඉතින් සුපර් ස්ටාර් හරහා ජනප්‍රිය වු අනුරාධ මේ වනවිට ගීත රාශියකටම තම මදුර කටහඬ ලබාදී අවසන්. අද මම කියන්නට යන්නේ ඔහුගේ 'සායම් කිරිල්ලී' කියන ගීතය ගැනයි. ආ....දැන් ඉතින් ඔබ දන්නවානෙ මේ කියන්නෙ කා ගැනද කියල. ඔහු තීක්ෂණ අනුරාධ.

සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ
මාදම් කැලෑවේ මුවා උනා දෝ

මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුළේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං

තරහා වෙලා කඳුළැල් සලා
වරුවක් ගෙවීලා ගියා
නොදනී ඔයා කොහිදැයි කියා
මං සීතලේ තනි වෙලා

මල් දම් බදින්නම්......
සායම් කිරිල්ලී......
මල් දම් බදින්නම්......

කෝලම් කළේ බොරුවක් කියා
නොදනීද තරහා වෙලා
හිනැහී බලා සනසන්න මා
තව ඉන්න බෑ තනි වෙලා

කසුන් ප්‍රිමාල් ගේ ගී පද වැලකට සංගීත නිර්මාණය සඳරුවන් ජයසිංහගේ.

පෙම්වතා තම පෙම්වතිය දකින්නේ 'සායම් කිරිල්ලියක්' විලසට. 'කිරිල්ලිය' නිතර පෙම්වතිය වෙනුවෙන් යෙදන අවස්ථා තිබුනත්, මේ සායම් කිරිල්ලිය අපට බහුලව හමුවන්නේ නෑ. සායම් යනයෙදුම සමග ලස්සනක් ජනිත වෙනවා වගේම කෝල බොළඳ බවකුත් සැඟවිලා තිබෙනව කියල තමයි මගේ හැඟීම. පලමු පද පේලි වලින්ම පෙම්වතියගේ ඇති බොළඳ කම ඉස්මතු වෙනව. සායම් කිරිල්ලිය ඔහුව මගහැර ගිහින්, හරියටම කියනවනම් ඔහුට නොපෙනෙන්නට සැඟවිලා. ඉතින් ඇයි මේ පෙම්වතිය සැඟවිලා.. ඒක පසුව බලමුකො. පෙම්වතා නොයෙක්   උත්සාහ වල යෙදෙනව පෙම්වතිය සනසා ගැනීමට. මම ඔබට පෙම් ගීත ගායනා කරන්නම්, ඔබගේ හුරතලයේ දැවටෙන්නම් යනාදී වශයෙන් පවසා කෙලින්ම ඇයට තම ආදරය නොසඟවා ප්‍රකාශ කරනවා.

දෙවැනි පද පෙලින් කියැවෙනව ඇය ඔහු සමග තරහ වෙලා. ඇය සැඟවිලා කඳුලු සලනවා. පෙම්වතාට ඇයව නැතිව ගෙවුන කාලය ඉතා අපහසුවෙන් ගෙවූ බව පවසයි.
 ' නොදනී ඔයා කොහිදැයි කියා
මං සීතලේ තනි වෙලා'

ඉතින් පෙම්වතා ඇයව සනසන්නට හදනව. 'මම විහිලුවක්නෙ කලේ, ඔයාට විහිලු තෙරෙන්නේ නැද්ද? මට ඔයා ලඟින්ම ඉන්න ඕනෙ. ඉතින් මා දිහා බලන්න. ඔය මුවේ සුන්දර සිනාවෙන් ආයෙත් මාව සනසන්න'

ඉතා සරල බසකින් ආදරයේ එක් පැතිකඩක් හොඳින් නිරූපණය කිරීමට මේ ගීතය සමත්වෙලා තිබෙනව.

~~තේජන අබේදීර~~


No comments: