බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා....
අසුරු සැණක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක්සේ
සදා රැඳේවා ඔබේ ලොවේ.....
ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ
සදා රැඳේවා ඔබේ හදේ...
තනුව : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ
මගේ සිත හරියාකාරව හැඳින ගන්නට හැකිවුනේ නුඹට පමනයි. මනැස කෙතරම් සතුටු වුනාදැයි කියා මා දන්නේ නෑ. හිත නම් ගොඩාක් සතුටු වුනා. ඒත් හිතට නොදැනුනු මොකද්දෝ මන්දා කිසියම් නුහුරු හැඟීමක් දැනුනෙ මනසට. ඒක මොකද්ද කියල කියන්න තේරුනේ නැතත් එය ක්ෂණයෙන් අමතක කර දැමීමට පැමිනියේ හිත.
හිත ඔබට නොසෑහෙන ලෙස පෙම් බැන්දා. මනසේ නැගුනු සිතුවිලි මකා දැම්මේ හිත. ඒ සිතුවිලි මනස්ගාත බවට පත්කලෙත් හිතම තමයි. මටත් වඩා මගේ සිත ඔබට ලෙන්ගතු වුනා. හිත යන වේගය වැඩියයි කියන්නට මේ මගේ හිත කිසිවිටක මනැසට ඉඩ ලබාදුන්නේ නෑ.
එහෙව් හිත අද තිබෙන්නේ කොතැනද? මට එය තබාගන්නට "හිතක්" නෑ. ඔබේ පාමුල මගේ හිත තබන්නම්. ඇයි ඒ එය ඒ තරමටම නොවටිනා නිසාද? එසේත් නැතිනම් ඔබේ පය ලඟ දැවටෙන දුහුවිල්ලකටවත් සම කරන්න බැරි නිසාද? එය ඔබට බාරයි.
ඔබේ ලෝකයේ රැජිනවී කිරුළුපලන්නට බලාසිටි මාහට දැන් අහිමි විජිතයකින් සමුගෙන යන්නට සිදුවෙලා. නිකම්ම නොවෙයි, බිඳුනු සෙනෙහසේ ගිණ්දරත් කර පින්නාගෙන.
ඔබට දුකක් තැව්ලක් නොමවේවායි, මගේ ප්‍රාර්ථනය.
ඉතින් මේ අහිංසක යුවතිය බිඳුනු පෙමත් තුරුළු කරගෙන ඔහුගෙන් නික්ම යන්නේ ඔහුට ශාප කරමින්වත් ඔහු කෙරේ ද්වේශයකින්වත් නොවේ. තමාට මේ ලැබුනු දුක ඔහුට හිමි නොවේවායි ප්‍රාර්තනා කරමින්.
ඇයට සිහියට නැගෙනවා ඔහු හා ගතකල සුන්දර අතීතය. ඒ සොඳුරු කාලය ඔහු තුල සදහටම මැකී නොපවතීවායැයි ඇය ප්‍රාර්ථනා කරන්නීය.
ඔහුගේ වෙනස්වීම ඇයට කිසිසේත් දරා ගැනීමට නුපුළුවන. තමාගේ හද මල සැනසූ සැතපූ ඔහු සිත වෙනකෙකු වෙත යාවුනාවත්ද? තමාව නොසලකා හැරීමට තරම් ඔහු සිත කුරිරු වුනේ මන්ද?
ඔබට මගේ හිත පුදදී අවසානයි. එසේනම් ඒ හිතේ විරාගය ඔබේ සිතෙත් රැඳෙන්නට ඕනෙ. නිකම්ම නෙමෙයි කැටපත් පවුරක ලියැවුන ගීතයක් විලසට.
ඒ කියන්නෙ ඔබේ හිතේ හැමදාටම මා ජීවත්කරවන්න. මට ඔබේ විජිතය අහිමි නමුත් ඔබේ සිත තුල ජීවත්ව එහිම මියැදෙන්නට ඉඩ දෙන්න. මේ ජීවිතයේ, මින් මතු ජීවිතයේ පමනක් නොව සදාකාලයටම!!!!!!!
~~තේජන අබේදීර~~
No comments:
Post a Comment