Thursday 5 November 2015

පද්ද පද්ද ලැම ගස්ස ගස්ස.....

පද්ද පද්ද ලැම ගස්ස ගස්ස ඉඟ
පාට කරන් කෙස් රනින්
තොල උරච්චිකර රතු සායම් ගාගෙන
විලවුන් දියනා සොඳින්
බඳ පච්ච කොටාගෙන රූප රටා ඇඳ
පාන ශ්‍රියා වල් මතින්
අනේ කාලෙ දැන් වනේ වාසේ
කල තවුස් දැහැන් බිඳ සැනින්

කෝල කොමල මුදු ලාලිත සුකොමල
සරාගි අංගන සොබා
ඉඟ වසඟ ශ්‍රියාවට වසඟ වෙලා
සිත නුරාව  හදවත පුරා
සුරා මතින් දුම් උරා මුවින් ලිය පාන
අනග රංගනා
මල්සරා දුරින් හිඳ බලා හිඳී නුඹ
කාර බැඳන් යන තුරා

කාමයෙන් මත්ව සුර සැපත සොයන ගත
මුනින්තලා වැතිරිලා
දහසකුත් එකක් දන  නුවන් අයා
ගෙන සිටී නුඹට මත්වෙලා
කඩදාසි මොනර කොල පහස තුරුල් කර
හාදු දිදී රඟදෙනා
ඈවරයි කෙල්ලෙ දෑවරයි නුඹට සෙයිලමෙන්
රුවට මිල දෙනා

ගායනය : රවීන්ද්‍ර මීගමආරච්චි

ගැමි ලියකගේ සුන්දරත්වය බොහෝ කවියන් විසින් වර්ණනා කර තිබේ. ඇයගේ රූප සොබාව පමනක්ම නොව කතාබහ, ගමන් විලාශය, ඇඳුම් පැලඳුම් මෙන්ම හැසිරීම ආදී නොයෙක් දේ  කවියගේ දෙනතට මෙන්ම මනසටද හොඳාකාරව ගෝචරවේ.

"සුදු හෙළ සාරිය ඇඳලා හැඩ කොටැ ඉඟ වට රැළි ලෙළවා
දිගු නිල් වරලස පීරා නිසි ලෙසමල් දවටා බැඳලා
ගෙල වට මුතු මාලේ දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා යන සුරතල් ලීලා"


ගැමි ලියගේ සුන්දරත්වය අප මනැසට නිතැතින්ම ජනිත කිරීමට මේ පදපෙල සමත්ය.


සුන්දර කාන්තාවන් අතර එතරම් සුන්දරත්වයක් දැකිය නොහැකි කතකගේ වුවද හැඩ දැකීමට කවියා සමත්ය.

"සල්සපු නා නිල් මාහනෙල් කුමුදු සමන් මල් අතරේ. කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ"

ගැමි ලියන්ගේ සුන්දරත්වය හැදියාව හා සැසඳූකල නගරබද ලියන්ගේ සුන්දරත්වය කවියා අගයා ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. 'මගේ කොන්ඩෙ නැතත් ඉන ගාවට රෙද්දෙ හැට්ටෙ නොඇන්දාට හැදිච්චකම තාම තියෙනවා'

මෙහි අර්ථය නගරබද යුවතිය සංකර බව පමනද? නැතිනම් ඇයගේ සුන්දරත්වය විඳීමට අපහසුද?
"ගිනි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක්"
ගැමි ලිය සිත බන්දන මල් වලට උපමා කරන අතරේ නගර ලිය ගිනි මලකට උපමාකෙරේ. මෙහිදී හැඟෙන කරුන නම් නගර ලිය හා ගැමි ලිය දෙස බලන ආකාරයේ පැහැදිලි වෙනසක් තිබෙන බවයි. ගැමි ලිය වෙත සුන්දර බැල්මක් හිමි වෙද්දී නගර ලියට හිමිවන්නේ ශෘංගාරාත්මක බැල්මකි. මෙයට හේතුව බලන්නාගේ කෝණයේ වෙනස්වීමද එසේත් නැත්නම් ලියන්ගේ හැසිරීමේ හා බාහිර ස්වරූපයේ වෙනස්කම්ද යන්න සිතාබැලිය යුතු කරුණකි.

සුනිල් ශාන්තයන් ගායනා කරන 'මිහිකත නලවාලා මග මල් ගන්වාලා' යන්නෙහි ගැමි ගුරුවරියක යන ලීලාව කවියා දැක ඇත්තේ ඉතා ශාන්ත ආකාරයෙනි. රවීන්ද්‍ර ගායනා කරන මෙම ගීතයේදී නගරබද යුවතිය යන අයුරු දක්වන්නේ 'පද්ද පද්ද ලැම ගස්ස ගස්ස ඉඟ'  ලෙසිනි. ඉතින් බලන්න වෙනස කොහොමද කියලා.
මෙය හුදෙක් කවියාගේ දෝෂයක් ලෙසට මා දකින්නේ නැත. ඇත්තෙන්ම මෙය ලියන් අතර පවතින වෙනසයි. මෙහිදී සෑම නගරබද යුවතියක්ම මේ කුලකයට අයත් යැයි පැවසීම කොහෙත්ම සාධාරණ නොවන බව මම දනිමි.

ඉතින් මේ සංකර සමාජය තුල සිටින එක් යුවතියක් ගැන රචකයා කතා කරයි. ඇයගේ ගමන තැම්පත් නැත. ලැම පද්දමින් ඉඟ ගස්සමින් ගමන් කරනා ඇය තම වරල රන්වන් පැහැයෙන් පාට කරගෙන ඇත. මෙසේ බලන කල්හි ගැමි ලිය වුවත් තම ඉඟ සොලවා ලැම පද්දන අවස්ථා නැත්තේ නොවේ. 'සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා..නිතඹ නලෝලා' ජෝතිගේ ගී හඳ සවන වැකේ.
ගැමි ලියගේ දෙතොල නා දළු වලට සමකල අවස්ථා ඇත්තේය. මෙම ගීතයේදී යුවතිය තොල් සායම් තවරා ඇත. රචකයා පවසන අන්දමට 'උරච්චි කර' ඇත. එපමනක් නොව ඇය සුවඳ විලවුන් ගල්වා ඇත. මෙහිදී 'ගල්වා  ඇත' යන්න යෙදීම කෙතරම් සාධාරණදැයි සිතෙන්නේ 'විලවුන් දියනා සොඳින්' යන පද වලට සවන් යොමු කරන විටය.
ගැමි සාමාජයේ නම් පච්ච කොටන්නේ පිරිමින්ය. මෙහිදී නාගරික යුවතිය ඇගේ බඳෙහි පච්චයක් කොටාගෙන ඇත. එය අන් අයට දිස්වන බව පැවසීමට රචකයාට උවමනාවී තිබෙන අයුරකි. ඇය පාන සිනහව දකින්නේ 'වල් මතින්' සිනාවන සිනාවක් ලෙසටයි. 'අනේ කාලේ වනේ වාසේ' අබුද්දස්ස කාලේ  ලබුත් තිත්තලු. මේ  යුවතිය තවුස් දැහැන් බින්ඳීමට වුවද සමත්වේ.
ආත්මාගේ 'ලියතඹරා' මතකයට නැගේ.  

'කෝල කොමල මුදු ලාලිත සුකොමල' රචකයා යුවතියට යම් සුන්දරත්වයක් ඇති බව පවසන අයුරකි. නමුත් ඒ එක්කම ඔහු පවසන්නේ 'සරාගි අංගන සොබා'යනුවෙනි. සුන්දරත්වය පරයා සරාගී බව ඉස්මතුවේ. අප සිතේ නුරාව ඇති කිරීමට ඈ සමත්ය.

එයින් නොනවතින ඇය මධුවිත තොලගා දුම් බී අනඟ රැගුම් පානා තත්වයට පත්වෙයි. පෙරදී සමාජයේ ඉහල යැයි කියාගන්නා පැලැන්තියේ කාන්තාවන්ට පමනක් සීමාවූ දුම් බීම දැන් මධ්‍යම පාන්තිකයන් කරාද පැමින තිබේ. රාත්‍රී සමාජ ශාලාවක හමුවන දුම් නොබොන තරුණියක් නැති තරම්ය. මේ සමාජයේ හැටිද නැත්නම් ඔවුන්ගේ පුහු මානය පෙන්වීමද යන්න දන්නේ ඔවුන්ම පමනි. අද  තත්වය මීටත් වඩා දරුණු වී ඇත. රාත්‍රී සමාජ ශාලාවල පමනක් නොව 'බීච් පාටි' සහ අනෙකුත් රාත්‍රී උත්සව වලදී මදුවිත හා දුම් වලින් නොනවතින තරුණ තරුණියෝ 'ටැබා' හෙවත් දරුණු ගනයේ මත්ද්‍රව්‍ය වලට පවා ඇබ්බැහිවී සිටිති.  
මල්සරා යනු අප ආදරය හා සම්බන්දව යොදන යෙදුමකි. මල්සර හී වැදුනොත් එතැන ආදරයක් හටගනී. මල්සරා ආදරය ජීවමාන කිරීමට අපමන වෙහෙසක් ගන්නෙකි. නමුත් මෙම පද පෙලේදී මල්සරා දුරින් හිඳ බලා සිටී. ඔහු සක්‍රීය නොමැත.  'මල්සරා දුරින් හිඳ බලා හිඳී නුඹ කාර බැඳන් යන තුරා' එනම් මේ යුවතිය හට සැබෑ ආදරයක් හිමිවීමේ ප්‍රවනතාවය අඩුය. ඈ කෙරේ තරුණයන් බලන්නේ වෙනමම ආකාරයකටයි. මෙනිසා මල්සරාට වුවත් කල හැක්කක් නොමැත.

මධුවිතෙන් මත්වන යුවතිය මීලඟට රාගයෙන් මත්වේ. ඇයගේ හැසිරීම් රටාවෙන් තරුණයන්ගේ නුරා ගින්න ඉහල නංවයි. එහිදී තරුණයන් ඈ දෙස බලන රාගික බැල්මට ඇය කුල්මත්වේ. 'මුනින්තලා වැතිරිලා' යන්න ඇගේ කාමාශාව වඩාත් ඉස්මතු කොට පෙන්වයි. තරුණයන් මොනර කොල එසේත් නැතිනම් මුදල් ඇය වෙනුවෙන් වැය කිරීමට මැලි නොවෙති. මන්දයත් ඇයගේ ආශාවන් ඔවුන් හොඳහැටි දන්නා බැවිනි.
මෙහිදී රචකයා තරුණියගේ විනාශය මනාව පෙන්වාදේ. ලංසුවකට ඇයව අලෙවි වන ආකාරයක් පෙනීයයි. ඇයට සෙයිලමෙන් මිලක් නියමවේ. 'ඈවරයි දෑවරයි'යන පද යොදාගැනීම ඉතාම සාර්ථකය. අවසානයේදී ඇය ගණිකාවක් මට්ටමටම ඇද වැටීමක් පද පෙල තුලින් පෙන්නුම් කෙරේ. මෙහි විශාල සත්‍යතාවයක් ඇත. සංකර වීම තුල සමාජ පරිහානිය මැනැවින් පෙන්වා දීමට රචකයා සමත්ව ඇත. රාත්‍රී සමාජ  ශාලාවකට හෝ පෙර පැවසූ 'බීච් පාටි' යකට ගොඩ වූවොත් මෙහි සත්‍යතාව දැකගත හැකිය.
මේ සමාජ පරිහානිය වැලැක්වීමට කටයුතු කිරීම අප කාගේත් යුතුකමක් වන බව නොකිවයුතුමනාය.

~~තේජන අබේදීර~~



4 comments:

Sandun said...

Osm song sung by Raweendra. I really like this song. But now only I realize the real meaning. Thank bro!!! You are osm too.

Gamage Kavi said...

තේජාන....ලොකු කලා දැණුමක් නැති අපි වගේ උන්ට ...උඹල වගේ උන් පහල වෙන්නේ අපේ පිනට. හැම සිංදුවකටම "ලොරි ටෝක්ස් " දෙන .,හැමදේම දන්නව වගේ විතරක් ඉන්න හාල් කැලි වලට වඩා උබල වගේ උන් ගොඩක් වටිනවා......thanks සහෝ...!

Shani Madhu Vitharanage said...

හරිම අගෙයි යාළු.. මම මේ ගීතය අහපු පලවෙනි වතාව.. ඔයා ගොඩක් ලස්සනට අර්ථවත්ව විචාරය කරල තියනවා යාළු.. ගොඩක් ස්තූතියි...!

Unknown said...

ඩවුන්ලෝඩ්