කැටියෙකුගෙ සිනා දකින්නයි ප්රර්තනා කරන්නෙ.. ඒත් හිතන්නෙවත් නැති විදිහට ඒ සිහිනය ඒ යුවලගෙන් බොඳ වුනොත්???
අද කියන්නට යන්නෙත් එතරම් ප්රසිද්ධියට පත් නොවුන උරේශා රවිහාරි මහත්මිය විසින් ගායනා කරන ඒ වගේ ගීතයක් ගැන...
මේ වගේ අවස්තාවකදි වරද කාගෙ වුනත් වැඩි වශයෙන් ගැරහීමට, ඇනුම් පද ඇසීමට ලක් වන්නේ කාන්තාවක් වීම සුලබ දෙයක්... ඒ වගේමයි ඉන්පසුව ඇයට නෑදෑ පිරිවර සලකන ආකාරයත් වෙනස් වන්නට පුළුවන්.. ඒ කව්රු මොනව කිවුවත් තමන්ගෙ ස්වාමියා වෙනසක් නොකර ම තමන්ව රැක බලා ගන්නව නම්?... එහෙම මිනිසුන් ඕන තරම් මේ ලෝකයේ සිටිනවා... නමුත් මෙවැනි සිදුවීම් අබියසදි මානසිකව වැටෙන කාන්තාව තවත් පීඩනයට ලක් කරන මිනිසුනුත් ඕන තරම් අද සමාජයේ දැක ගන්න පුළුවන්... මේ ගීතයෙන් කියන්නෙත් දරු සුරතල් බලන්නට නොහැකි වුන නිසා වෙනස් වුන ස්වාමියෙක් ගැනයි... බලන්න තමන්ගෙ පිට වරද පටව ගෙන තමන්ගෙ ස්වාමියගෙ සතුට වෙනුවෙන් කැප වෙන්න පුළුවන්, මෙතරම්ම ඉවසන්න පුළුවන් කාන්තාවන් සිටිනවද කියලා...
මිදුලට උඩින් එබිකම් කර බලන සඳ
පාතට ඇවිත් මට ඇත්තම කියනව ද
රෑ පැල් රකින්නට ආවත් ගෙදර ඉඳ
මගෙ එක්කෙනා රෑ හේනේ නෑ නේද?..
පැරණි කල ගැමි සමාජය තුල වැඩි වශයෙන් මිනිසුන් රැකියාව වශයෙන් කුඹුරු ආශ්රිතව, හේන් වගා ආශ්රිතවව රැකියා කල බව නොරහසක්... හේන් ගොවිතැනට මුල් තැන දුන් ගැමියන් එය ආරක්ෂා කලේ හේනෙ පැලක් තනා ගෙන ඒ මතට වෙලා සත්තුන්ගෙන් තම හේන ආරක්ෂා කර ගන්න රාත්රිය පුරා නිදිවරමින් කාලය ගත කිරීමෙනුයි...
මේ සිදුවීමට ලක් වුන කාන්තාවගෙ ස්වාමියත් රෑට පැල් රකින්නට හේනට යන්නෙ ඇයව ගෙදර තනි කරලා... ඔහු රෑට පැල් රකින්නට ගියත් ඔහුගෙ විශ්වාසය රැක ගෙන මේ කාන්තාව සිය ජීවිතය ගත කලත් ඇගේ නොලැබීම අබියසදි මේ සැමිය නම් වෙනස් වීමට ලක් වෙනවා... ඇයගෙන් දරු සුරතල් බලන්නට නොහැකි වුන ස්වාමියා වෙනත් ආදරයක නැති නම් අනියම් සබදතාවයක පැටලිලා... මේ ගැන දැනෙන කාන්තාවට ඒ පිලිබඳව අහන්නට හිටියෙ එකම එක කෙනයි... ඒ රෑ තතු ගැන හොඳින් දන්න සඳුගෙන් පමනයි...
එබිකම් කරමින් ලෝකය දිහාම බලන් ඉන්න සඳ? පාතට ඇවිත් මට ඇත්තටම දෙයක් කියන්න පුළුවන්ද? මගෙ එක්කෙනා හැමදාම රෑට පැල් රකින්න පැලට යනව, ඒක ඔබත් හොඳින් දන්නවනෙ... කියන්න, එයා පැල් රකින්න ගියාට රෑට හේනෙ ඉන්නෙ නෑ නේද?... ඔහුට ඒ පැල්පතට යන්න එෟය ලබා දෙන්නෙ, ඒ ආදරය ගෙනියන්න උදව් කරන්නෙ ඔබ නේද?... ඒකනෙ වෙනදට මගේ මිදුලට ඇවිත් මගේ තනිකම මකන ඔබත් අද එබිකම් කර කර හොරෙන් බලන්නෙ... වරදක් කල බව දන්න නිසා නේද?...
දරුවෙකු පිලිසිඳ ගන්නෙ නැති පලියට නොයෙක් නම් වලින් අමතන මූනවත් බලන්නවත් අකමැති මිනිසුන් ඇයට උපකාර නොවන බව ඇය දන්න නිසා වෙන්න ඇති ඇගේ දුක කියන්න, තතු දැන ගන්න සොබාදහම තෝර ගන්න
ඇත්තෙ...
සරුසාරෙට වැඩුන, නිල්වන් හේන් යායට එහා තිබුන සුන්දරකමින් අනූන වුන පුංචි කන්ද පාමුල තිබුන පුංචි ගෙදර රෑ පැල වෙනුවට ඇගේ ස්වාමියා තෝර ගෙන තිබුනා... ඒ ගෙදර රෑ මුළුල්ලෙ ලියලපු ආදරේට උදව් කලේ හඳපාන... බලන්න අවාසනාවක මහත, ඇයට සොබා දහමත් විරුද්ධ වෙලා...
ඇනුම්පද වලින් නොනැවතෙන කුරිරු මිනිසුන් වගේමයි සොබාදහමත් එතනින් නොනැවතී ඇයගෙ රිදුන සිත තවත් රිද්දන්නට වුනා... මේ මුළු විස්තරයම ඇයට කියන්නෙ ගිරවෙක්... ගිරවෙක් මේ තතු ඇයට පවසලා නිකන් හිටියෙත් නෑ.. ඔච්චම් කරන්න ගත්තා... මේ ගීතය අපි එක් වෙලා රසවිඳි අවස්තාවක මගෙ යාළුවෙක් හොඳටම සංවේදී වෙලා කල්පනා කර කර ඉඳලා “පුදුමාකාර ගිරවෙක්” කියලා කිව්ව මට අද ත් මතක් වෙනවා... ඔව් ඇත්තටම මහ පුදුමාකාර ගිරවෙක්, ඔච්චම් කලෙත් නිකම්ම ගහක් උඩ වහල එහෙමත් නෙමෙයි වඳ පීදුන කෙසෙල් ගහක වහල.. ඒ ඇයි??? ඒ ඇයගෙ නොලැබීම ගැන ඇයට නොකියාම ඒ ගිරවත් ඇයව ගැරහීමට ලක් කල විදිහ...
හේනට එහා කඳු පාමුල පුංචි පැලේ
ආදර බතට හඳපානලු උදව් කලේ
ගිරවෙක් වහල වඳ පීදුන කෙහෙල් ගහේ
ඒ වග කියා මට ඔච්චම් කෙරුව උදේ...
ඇයව සමාජයත් කුරිරු විදිහට ප්රතික්ෂේප කරනව නම්, ඇය පණ වගේ ආදරය කල ඇගේ ස්වාමියත් ඇයට සෙනෙහසක් නැති ලෙස වෙන අතක යනවනම්, සොබාදහමත් ඇයට විරුද්ධව නම් කටයුතු කරන්නෙ, ඇයට හිත හදා ගන්නව ඇරෙන්න වෙන කුමක්ද කරන්නට හැකි?...
ඇගේ මේ නොලැබීම ඇයත් තේරුම් අරගෙනයි ඉන්නෙ... කෙතරම් සිතට වේදනාවක් වුනත් ඇය සැමියාගෙ සතුට වෙනුවෙන් තම ආදරය පරිත්යාග කරනවා.. බලන්න ඒ සියල්ල කියන්න මේ ගීතය තුළ යොදා ගෙන තියන උපමාත් හරිම අනර්ඝයි... මේ උපමා ආශ්රිතව ඇගේ දුක, ඒ පරිත්යාගය සහ ඇයගේ එකම ප්රාර්තනාව ඔබටම තේරුම් ගන්න ආරාධනා කරනවා...
ලිඳ මොකට ද දිය නැති නම් වැහුනාවේ
තිබහට වතුර ඇති තැනකින් පෙවුනාවේ
කිරි දරු සුවඳ කොතැනින් හරි වින්දාවේ
අහවර නොවන දුක මා ලඟ තිබුනාවේ!!!
ජන ගී ආරක හැඩය ගනිමින් නිම වුන සංගීතය හා උපමා උපමේය වලින් සමන්විත වුන පද ගෙතීමක් හා ඒ කාන්තාවගේ දුක්ක විලාපය ඒ ආකාරයට ම සිත තුළ ජනිත කරවමින් කල විශිෂ්ඨ කටහඬ දායකත්වයකින් යුත් වර්තමානයේ බිහි වෙන අරුත් සුන් ගීත අතර අර්තවත් ගීයක් වුන මෙම ගීතය ප්රසිද්ධියට පත් නොවීම නම් කනගාටුවට කරුනක්..
මිදුලට උඩින් එබිකම් කර බලන සඳ
පාතට ඇවිත් මට ඇත්තම කියනව ද
රෑ පැල් රකින්නට ආවත් ගෙදර ඉඳ
මගෙ එක්කෙනා රෑ හේනේ නෑ නේද..
හේනට එහා කඳු පාමුල පුංචි පැලේ
ආදර බතට හඳපානලු උදව් කලේ
ගිරවෙක් වහල වඳ පීදුන කෙහෙල් ගහේ
ඒ වග කියා මට ඔච්චම් කෙරුව උදේ...
ලිඳ මොකට ද දිය නැති නම් වැහුනාවේ
තිබහට වතුර ඇති තැනකින් පෙවුනාවේ
කිරි දරු සුවඳ කොතැනින් හරි වින්දාවේ
අහවර නොවන දුක මා ලඟ තිබුනාවේ!..
ගායනය: උරේශා රවිහාරී
~~ඉශානි ප්‍රදීපිකා~~
No comments:
Post a Comment