Thursday 11 February 2016

කළිඳු ගංගා දෙණියේ වන තීරේ

තරුණ සේවා සභාවෙන් බිහි වුන ගායක ගායිකාවන් අතරින් චන්ද්‍රලේකා පෙරේරාට හිමි වන්නේ සුවිශේෂී
ස්ථානයක්. ඇයටම ආවේණික වූ නාසික්‍ය හඬ එයට ප්‍රධානම හේතුවක් ලෙස සැලකිය හැකියි. ඇය ගායනා කරන ලද ගීත සියල්ලම වාගේ රසික සිත් ආමන්ත්‍රණය කරන ගීත. මේ ගීතයත් ඇයගේ අනෙක් ගීත වගේම ඉතාම ජනප්‍රිය ගීතයක්.

අමරණීය ප්‍රේම කතා අපි කොතෙකුත් අහලා ඇති. ඒ අතරින් රාමා - සීතා, රාධා - ක්‍රිෂ්ණා, සාලිය - අශෝකමාලා, දීඝගාමිණී - උන්මාද චිත්‍රා, රෝමියෝ - ජුලියට්, ලයිලා - මජ්නු වැනි කතා ඉතාම ජනප්‍රියයි. මේ ගීතයෙන් කියවෙන්නෙත් ඒ වගේ පෙම් යුවළක් ගැන. ඒ තමයි, රාධා - ක්‍රිෂ්ණා. පුරා වෘත්තයන්හි සඳහන් පරිදි ක්‍රිෂ්ණා යනු සෙල්ලක්කාර චරිතයක්. ගෝපිකාංගනාවන් සමඟ වෘන්දා වනයේ කෙළිදෙලෙන් ගත කරන්න තමයි ඔහු වඩාත්ම ප්‍රිය කරලා තියෙන්නේ. අපි මුළින් බලමු මේ ක්‍රිෂ්ණා කියන්නේ කවුද කියලා.

ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන්ගෙන් අටවන අවතාරය ලෙස ක්‍රිෂ්ණා දෙවියන්ව හඳුන්වනවා. ක්‍රිෂ්ණා බිහිවන්නේ දේවකී සහ වාසුදේව යන දෙපළටයි. දේවකීගේ 8වන දරුවා වන ක්‍රිෂ්ණා මැරීමට දේවකීගේ සහෝදරයා වන කම්සා නම් රජු තීරණය කරන්නේ දෛවඥයන්ගේ කීමටයි. මෙයින් කලබල වන දේවකී සහ වාසුදේව ක්‍රිෂ්ණාව කැලයට පිටමං කරනු ලබනවා. එතැන් සිට ඔහු හැදී වැඩෙන්නේ නන්ද සහ යශෝධා යන ගොපළු දෙමව්පියන් යටතේයි. යශෝධා ක්‍රිෂ්ණාට බොහෝ සේ ප්‍රේම කරනවා. ක්‍රිෂ්ණාද වයසින් වැඩෙන විට ගොපල්ලෙක් බවට පත් වන අතරම ඔහුගේ දක්ෂකම නිසාම ඔහු වෘන්දාවනයේ මිනිසුන්ගේ ආරක්ෂකයා බවටද පත් වෙනවා. බටනලා වාදනයේ සමතෙකු වූ ක්‍රිෂ්ණා යමුනා නදිය අසබඩ බටනලා වාදනය කිරීම සිදු කර ඇත.

ඔහුගේ තරුණ වියේදී රාධා ඇතුළු ගෝපිකාංගනාවන් සමඟ නර්තනයේ වාදනයේ යෙදීම භගවත් පුරාණයේ සහ ගීත ගෝවින්දයේ "Rasa Lila" ලෙස හඳුන්වනු ලබනවා. එහි සඳහන් පරිදි ක්‍රිෂ්ණාගේ බටනලා වාදනය ඇසුනු සැනින් තමන්ගේ සියළු වැඩ නවතා පැමිණෙන්නට ගෝපිකාංගනාවන් පුරුදු වී තිබෙනවා. ලංකාවේ ගීත සඳහා මේ කොටස බොහෝ සේ යොදාගෙන ඇති බව දකින්නට තිබෙනවා.

මේ ගීතය තුළ කියවෙන්නේද ක්‍රිෂ්ණාගේ සෙල්ලක්කාර ක්‍රියාවන් පිළිබඳවයි. රාධා විසින් තමන්ගේ දුක ප්‍රකාශ කරා අවස්ථාවක් ලෙස ගත හැකි.

කළිඳු ගංගා දෙණියේ වන තීරේ
ගෝවින්ද කොතැන සැඟවුනිද මට නොතේරේ
පියතුමනි නන්ද හා කොහෙද ඔබේ පුතනු
මා ඔහුගේ ප්‍රියාවය සැඟවුණු තැන කියනු

කළිඳු ගංගාව ලෙස හඳුනවන්නේද යමුනා ගඟ බවයි මගේ මතකය නම්. (හරියටම මතක කෙනෙක් ඉන්නවනම් කියන්න) රාධා ක්‍රිෂ්ණාව සොයනවා. ඇය ගඟ අසබඩත්, වෘන්දා වනයේත් හැම තැනම් හොයනවා ඒත් ඇයට ඔහු හොයා ගන්න බැහැ. ඔහු කොහේ සැඟවී සිටිනවද කියලා ඇයට තේරෙන්නේ නැහැ. ඇය අවසානයේ නන්ද පියතුමාගෙන් අහනවා. මට ඔයාගෙ පුතා සැඟවුන තැන කියන්න. මොකද මමයි ඔහුගේ ආදරවන්තිය.මමයි ඔහුගේ ප්‍රේමය. මට කියන්න ඔහු සැඟවුන තැන. අවසානයේ ඇය නන්දටත් අණ කරන ආකාරයක් ගීතයේ දැක්වෙනවා.

පළුපත් යහනකි මේ ඔහු සැතපුන
ඔහුගේ සිරුරේ සුවඳයි මේ
ළඳකගේ මිණි කොඬොලේ සුන්බුන් මේ
හා හා බැඳුණිද කාමිනියක හා

ඇය මෙසේ ඔහුව සොයාගෙන යනවා. වනය තුළට යද්දි ඇයට හමුවෙනවා යහනාවක් ලෙස සැදුව තැනක්. ඇයට එයින් එන්නේ ක්‍රිෂ්ණාගේ සුගන්ධය. කොළ වලින් සැදූ මේ යහනාවේ එන්නේ ඔහුගේ සුවඳයි. ඔහු මෙතනට සැතපිලා තියනවා. ටිකක් ප්‍රවේසමෙන් බලනකොට ඇයට දකින්නට ලැබෙනවා ආභරණයක සුන් බුන්. ඇය තේරුම් ගන්නවා තවත් ගෝපිකාංගනාවක් සමඟ ඔහු මෙහි යහන් ගත වී ඇති බව. නමුත් සිතෙහි තිබෙන කෝපය නිසාම ඇය ගෝපිකාංගනාව කාමිනිය ලෙස නම් කරනවා. කාමිනිය වෛශ්‍යාව හා සමාන ස්ත්‍රියක්. රාධා ක්‍රිෂ්ණාට බොහෝ සේ ප්‍රේමකරන්නියක්. ඒ නිසාම ඔහුට වෙන කාන්තාවන් ලං වෙනවට ඇයගේ සිතෙහි කැමැත්තක් නැහැ. නමුත් නිරන්තරයෙන්ම ඇයගේ උත්සහයම ව්‍යර්ථ වනවා.

නිල් දිය පොකුණකි මේ ඔහු කිමිදුනු
ඔහුගේ සිරුරේ සිහිලයි මේ
ළඳකගේ මිණි මෙවුලේ මුතු කැට මේ
හා හා බැඳුණිද කාමිනියක හා

මේ විදියට ඇය වනයේ තවත් ඉදිරියට යනවා ඔහුව සොයාගෙන. ඒ යනවිට ඇය පොකුණක් අසල දක්නට ලැබෙනවා තවත් ආභරණයකින් ගිලිහුනු මුතු කැට. පොකුණට බැස බැලූ විට එයින් එන සිසිල ක්‍රිෂ්ණාගේ ශරීරයේ සිසිලට සමාන බව ඇයට දැනෙනවා. ඇය තේරුම් ගන්නවා ඔහු මේ පොකුණ අසලදි තවත් කාන්තාවක් සමඟ ස්නානය කර ඇති බව. එතනදිත් ඇය අහනවා ඔබ තවත් කාමිනියක් හා මෙතන්දි එකතු වුනාද.

රාධාගේ ආදරය, දුක තරහ හොඳින් පිළිඹිබු කල ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි රාධා ක්‍රිෂ්ණාගේ සෑම ඉරියව්වක්ම හොඳින් තේරුම් ගත් තැනත්තියක්. උත්‍තර භාරතීය සංගීතය ආභාෂ කරගනිමින් ඉතා අලංකාර ලෙස මෙම ගීතයේ සංගීතය නිර්මාණය කර තිබෙන්නේ රෝහණ වීරසිංහයන් විසින්. ගේය පද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන්. මේ ගීතය ශ්‍රවණය කරන වාරයක් පාසා චිත්ත රූප මැවෙන ලෙස ගායනය, පබැඳුම, සංගීත නිර්මාණය සිදු වී තිබීම විශේෂත්වයක්.

~ අකූ ~


No comments: