Thursday, 11 February 2016

රුක් අත්තන මල මුදුනේ

රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර
කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ.............


මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා - පියමං කරලා..................
අප වෙනුවෙන් දවස ගෙවා
වෙහෙසී එන්නේ..................

පතොක් වැටිය උඩින් වැටී - දිවයුරු මියයන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ.........................
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ.............

ගායනය හ සංගීතය: විශාරද නන්දා මාලනී
පද රචනය: මහින්ද අල්ගම

රුක් අත්තන මල මුදුනේ සින්දුව සිනමා සිත්තමක් වගේ අපූරු රූප පෙලක් අපේ හිතේ මවනවා. මේ සින්දුව ගැන අපේ විචාරකයින්ගෙ කියවීම මදි කියලත් මට දැනෙනව.
පොඩි දරුවන්ට මේක පිය සෙනෙහස ගැන කියාදෙන සින්දුවක් උනාට වැඩිහිටියන්ට මේක වෙනත් ආරක සින්දුවක් වෙනවා.

හවසට පාර දිහා බලාගෙන, දරුවත් උකුලෙ රඳවගෙන, මේ අම්ම වචනවලට පෙරලන්නෙ දරුවගේ උවමනාව නෙමේ කියල හොඳින් පද කියෙව්වොත් වැටහේවි.
මේ බිරිඳගේ, සතුටින් පොපියමින් නටන හිත අපුරුවට පද වලින් සිත්තමක් වගේ මවල තියනව.ඒකට හරියන්නම සංගීතයත් අපුරුවට සපයල තියනව.
රුක් අත්තන මලේ සුවඳ විහිදෙන්නෙ හවසට.ඈතක ගිහින් හිටිය බඹරු ඔන්න දැන් මල වටා රඟ දෙනවා.මේ රුක්අත්තන මල තමන් නම්, අර ඈතින් ඔහු එන්නෙ මලේ සුවඳ හොයාගෙන නේද කියල ඇයට හිතෙනව.
පලවෙනි අන්තරා කොටසින් අපූරු සැඟවුන කතාවක් කියනව.

"මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ" කියල මෙයා වර්ණනා කරන්නෙ බොහොම ප්‍රබෝධමත් උදෑසනක් ගැන.මේ උදෑසන මෙහෙම ප්‍රබෝධයෙන් තියෙන්නෙ කලින් රාත්‍රිය සතුටින් ගෙවුන හින්ද.ඒ සතුට තමන්ට විතරක් නෙමේ ඔහුටත් ඒ වගේම දැනෙනව.ඒක නිසා තමයි නින්දෙ ඉන්න දරුව ඇහැරවන්නෙ නැතුවම මොනවද මුමුනල හාදුවක් දිල පිටවෙන්නෙ.
පතොක් කියන්නෙ වතුර ගොඩක් රඳවගත්ත ශුෂ්ක තැන්වල උනත් හැදෙන රළු ශාකයක්.මේ පවුලෙ අග හිඟකම් තමයි ඒ පද වලින් කියල තියෙන්නෙ.හැබැයි දවස අවසානයෙ ස්වාමියගෙ දර්ශනය මේ ඔක්කොම දේවල් අමතක කරනව.හරියට සිසිල ගෙනෙන හඳ වගේ.

ආදරය,සෙනෙහස කියල කියන්නෙ නැතිබැරිකම් එක්ක සමාන්තර ගමනකට එකතු නොවන දෙයක් බව අල්ගම මහත්තය කියල තියනව.
අපේ රටේ සදාකාලික නිර්මාණ අතලොස්ස අතරෙ මේ සින්දුවත් හැමදාම තියේවි.

~~දුල්ෂාන් චමින්~~



No comments: